මෙදා මුළු රටම දියුණු කරනවා


(අංජුල මහික වීරරත්න)

නොදියුණු බවේ පතුලේ සිටි බියගම ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා රැගෙන ගිය අයුරින්ම මුළු රටම දියුණුව කරා රැගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පෙරේදා (22) පැවැසීය.

එදා බියගම දියුණු කිරීමේ සැලසුම් ඉදිරිපත් කරන විට “හීන දකින බව” කියමින් සිනාසුණු අයටත් දියුණුවේ ඵල නෙළා ගැනීමට හැකි වූ බව කී අග්‍රාමාත්‍යවරයා යහපාලන රජය යටතේ ලබන දියුණුවේ ප්‍රතිඵල ද සැමට නෙළා ගැනීමට හැකියාව ඇති බව කීය.

අතීතයේ බියගමින් ලද අත්දැකීම් අද අනාගතය ගොඩ නගන්නට මහෝපකාරී වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසූයේ බියගමින් දේශපාලන ගමන අරඹා වසර 40ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට උරදුන් බියගම එජාප බලමණ්ඩල සාමාජික සාමාජිකාවන් සමග අරලියගහ මන්දිරයේ පැවැති සහෘද සම්භාෂණය අමතමිනි.

“77ට හතළියයි. වසර 40 කට පෙර බියගම සටනට එක් වූ ඔබට ස්තූතියි” යන තේමාවෙන් මෙම සහෘද සම්භාෂණය සංවිධානය කර තිබිණි. 1977 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කළ බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. අතීත මිතුරු මිතුරියන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
“1977 වසරේ ජුලි 22 දා අලුයම වැඩි ඡන්ද 6700ක් ලැබූ මා බියගම පළමුවෙනි මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වී මගේ දේශපාලන ගමන ආරම්භ කළා. එදා තේරී පත්වූ අය අතර වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නේ මා හැර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මැතිතුමාත්, ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාත් පමණයි. මා පමණක් අඛණ්ඩව පාර්ලිමේන්තුව වසර 40ක් නියෝජනය කර තිබෙනවා. එම නිසා පළමුවෙන්ම මගේ දේශපාලන ගමන ඇරැඹීමට උපකාර කළ අද ජීවතුන් අතර සිටින ඔබ සියලු දෙනා මුණ ගැසෙන්නට මට අවස්ථාවක් ලැබී තිබෙනවා. මට මහත් සේ උපකාර කළ ඔබ සැමට ස්තූතිවන්ත වීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.
මාගේ මෙම ගමන සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ට දෙයාකාරයකින් ණය ගැතියි.

පළමුවැන්න නම් මා තරගකාරී දේශපාලනයට ඇදගැනීමයි. දෙවැන්න නම් ජේ.ආර්. ජයවර්ධන මහතා කළ විප්ලවයේ කොටස්කරුවකු වීමට මට අවස්ථාව දීමයි. එමෙන්ම මා මෙහිදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට ස්තූතිය පුද කරනවා. එතුමාත්, මට විප්ලවය ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථාව ලබා දුන්නා. මට ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා සමග කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විජේතුංග මැතිතුමන්ටත් ස්තූතිය පුද කරනවා.

මගේ ගමනට උදව් කළ එහෙත් වර්තමානයේ ජීවතුන් අතර නැති බොහෝ පිරිසක් සිටිනවා. මගේ මව්පියන්, පෝල් පෙරේරා මැතිතුමා, පක්ෂයේ හිටපු සභාපති එන්.ජී.පී. පණ්ඩිතරත්න මැතිතුමා, එමෙන්ම මට උදව් උපකාර කොට මා බියගමට ගිය විට කැලණිය ආසනය භාරගෙන තරග කළ සිරිල් මැතිතුමා මෙහිදී සිහිපත් වෙනවා. එමෙන්ම සුරනිමල රාජපක්ෂ මැතිතුමා මිය යන තුරුම මා සමග සිටියා. සීමන් බාලසිංහ, මට කාර්යාලය ලබා දුන් ලයනල් විජේසිංහ, ඊට පෙර මට කාර්යාලය ලබා දී මෙහි පැමිණීමට උපකාර කළ එස්.ඒ. පෙරේරා, කේ.ඩී. ඩැනියල් මහත්වරුන් ප්‍රමුඛ විශාල සංඛ්‍යාවක් මට සිහිපත් වනවා. ඒ සියලුම දෙනාගේ නම් මෙහිදී සඳහන් කිරීමට අපහසුයි. නමුත් නම් කී නොකී සියලුම දෙනාට මා ස්තූතිවන්ත වෙනවා.

මගේ ගමනේ ඇරැඹුමේ සිට මා සමග වැඩ කළ බොහෝ පිරිසක් අද මෙතැන සිටිනවා.

ඇන්ඩෲ සිල්වා, ජගත් කරුණාරත්න, හෙන්ද්‍රි ගුණසේකර, සුනිල් ගුණසේකර, ෂෙල්ටන් සෙබෙස්තියන් ආදී විශාල පිරිසක් සිටිනවා. මා කැලණියේ සංවිධායක වූ දා පටන් ඔවුන් මා සමග මේ ගමනට එක් වුණා. වල්ගම, මල්වාන, උඩුපිල, කඳුබොඩ, දෙල්ගොඩ ආදී ප්‍රදේශවල සියලුම දෙනා එක කණ්ඩායමක් ලෙස සිතා ඉදිරියට ගියා. එකල ඡන්ද සමයේ මට උපකාර කළ අය අද මෙහි සිටිනවා. ඒ සියලුම දෙනාට මම යළිත් ස්තූතිය පළ කරනවා.

මා බියගම සංවිධායකවරයා ලෙස කටයුතු කළ සමයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ ලේකම් වන ඇන්ඩෲ සමරතුංග මැතිතුමා මට කතා කොට මම උත්සවයට පැමිණීමට බොහෝ සතුටින් සිටින බවත්, අසනීප තත්ත්වය නිසා පැමිණිය නොහැකි බවත් දැනුම් දුන්නා. මා සමග එකට ඡන්ද වැඩ කළ ටියුඩර් ගුණසේකර මැතිතුමාත්, සරත් චන්ද්‍ර රාජකරුණා මැතිතුමාත් මා මෙහිදී සිහිපත් කරනවා. ගම්පහ චන්ද්‍රා ජයකොඩි මැතිතුමාත් මට මතක් වෙනවා. ඔවුන් පිළිබඳව සඳහන් කොට මට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ ඬේවිඞ් හපන්ගම සභාපතිතුමා ගැනත් සඳහන් කළ යුතුම වෙනවා.

කෙසේ හෝ අපි අපේ ගමන ආරම්භ කළා. බියගම ආසනය ජයග්‍රහණය කරා මෙහෙයවූවා. වසර 40ක් දේශපාලනයේ ඉඳීවියැයි මා සිතුවේ නැහැ. ඔබ සමග එක්ව බියගම විශාල සංවර්ධනයකට ගෙන යාමට මට අවස්ථාව ලැබුණා. එයින් මට විශාල අත්දැකීමක් ලැබුණා. පළමු වසර දෙකේදී මා බැණුම් ඇහුව්වා. කරන්නේ මොනවා දැයි ඇසුවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. කටුනායක වෙළෙඳ කලාපය ආරම්භ කළා. ඔබ කරන්නේ මොනවා දැයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මගෙන් ඇසුවා. අපි සියලු දෙනා එක්ව බියගම දියුණු කිරීමට සැලැස්මක් හැදුවේ ඒ යුගයේදීයි. එය මට අදත් හොඳ අත්දැකීමක්. දැනුත් මට ඇතැමුන් බණිනවා. වසර දෙකක් කළේ මොනවා ද? පොරොන්දු ඉටු නොකළේ ඇයි දැයි අහනවා.

එදා අපට විශාල අභියෝගයකට මුහුණ දීමට තිබුණා. එදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් නොදියුණුම පළාතක් ලෙස බියගම ප්‍රදේශය පැවතුණා. යන්න පාරක් නැහැ. මේ පළාතේ දියුණුව වෙනුවෙන් කරන්නේ කුමක් දැයි අප ඇන්ඩෲ සිල්වා, ඩැනියල්, සීමන්, ලයනල් ආදී කණ්ඩායමක් සමග සාකච්ඡා කළා.

බියගම විවෘත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කොට වෙළෙඳ කලාපයක් ඇති කර ඉදිරියට යාමට සූදානම් බව මා එහිදී පැවැසුවා. එම අභියෝගය භාර ගැනීමට මා කැමැති වුණා. මා හීන දකිනවා යැයි එදා බොහෝ අය සිතුවා. නමුත් අපි සිතූ පරිදි ඒ වැඩ කටයුතු කළා. අප වෙළෙඳ කලාපය ඉදි කිරීමට ස්ථානයක් සොයා ගත්තා.

වෙළෙඳ කලාප ඉදි කරන්නට පෙර බියගම පැවැතියේ කෙසේ දැයි මට මතක් වෙනවා. ගෝනි සේදීමේ කර්මාන්තයක් එහි තිබුණා. තවත් සමහරුන් බීඩි එතුවා. කසිප්පු පෙරුවා. ඒ සමගම තෙල් පිරිපහදුවක් පමණක් තිබුණා. ඒ තත්ත්ත්වය වෙනස් කිරීමට මට අවශ්‍ය වුණා. වර්තමානයේදී කර්මාන්තශාලා සියයකට වඩා තිබෙනවා. කොකාකෝලා කම්හල තිබෙනවා. බීජ නිෂ්පාදනය කරනවා. නොයෙක් ආකාරයේ කර්මාන්තශාලා තිබෙනවා. අපගේ දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස බියගම තත්ත්වය මෙලෙස නවීකරණයට පත් වී තිබෙන බව කිව යුතුයි.

වෙළෙඳ කලාප සමග එදා මාර්ගයක් තිබුණේ සපුගස්කන්ද වනතුරු පමණයි. එතැන් සිට සමෘද්ධි මාවත ඉදි කළා. කඩුවෙලින් පාලම ඉදි කළා. බැලුම්මහර දක්වා මාර්ගය හැදුවා. මහවැලියේ විදුලි බලය බෙදෙන කේන්ද්‍රස්ථානය හෙයියන්තුඩුවේ ඉදිකර, ඩීසල් විදුලි බලාගාරය සපුගස්කන්දේ ඉදි කළා. බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කළා. එමෙන්ම බියගම වෙළෙඳ කලාපය ආරම්භ කළා. ඒ අනුව එම ප්‍රදේශයේ දියුණුව ආරම්භ වුණා. පසුගස්කන්ද අලුත් නගරයක් බවට පත් කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සපුගස්කන්දට ගෙනාවා. සපුගස්කන්ද පොලිස් ස්ථානයක් ඉදි කළා. බියගම වෙනුවෙන් වල්ගම අලුත් පොලිස් ස්ථානයක් ඉදි කළා. හැම ගමකටම, හැම පාරකටම විදුලි බලය ලබා දුන්නා. මාබිම කන්දේ සිට ජල නළ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. දුරකථන පහසුකම් දීමට පටන් ගත්තත් එය අවසන් කර ගැනීමට බැරි වුණා.

 ඒ මගේ වරදක් නිසා නොවේ. ඊට පෙර මෙරටට ජංගම දුරකථන පැමිණියා. ඊට පසු කාගෙත් අතේ ජංගම දුරකථන තිබුණා. ඉන් අනතුරුව සපුගස්කන්දේ ලින්ඩන් වෙළෙඳ කලාපය ආරම්භ කළා. බියගම කර්මාන්ත සඳහා වෙන් කළා. සමෘද්ධි මාවතේ සියඹලාපේ ප්‍රදේශයේ කර්මාන්ත සඳහා වෙන් කළා.

සංවර්ධනය කිරීමට නොහැකි යැයි බොහෝ දෙනා පැවැසූ කඩවත නගරය සංවර්ධනය කළා. ගම්පහට නව වෙළඳපොළක් ලබා දුන්නා. මම කඩවත නගරය අලුතින් සංවර්ධනය කළහොත් දිවි නසා ගන්නවා යැයි ඇතැමකු ප්‍රකාශ කළා මට මතකයි. නමුත් ඔවුන් දිවි නසා ගත්තේ නම් නැහැ. සංවර්ධනය වූ කඩවත නගරයෙන්ම ඔවුන් මුදල් උපයා ගත්තා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා ලෙස ඊළඟ පියවරත් ආරම්භ කරමින් මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතින් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා.

එම කඩවත අධිවේගී මාර්ගයේ පළමු අදියර චීන සමාගමක් හරහාත්, දෙවන අදියර ශ්‍රී ලංකාවේ සමාගමක් හරහාත් තුන්වන අදියර ජපන් සමාගමක් හරහාත් 2020 වනවිට සාදා නිම කරනවා. එවිට කඩවත ඉඩකඩම් හිමි අයට පරම්පරා ගණනක් රැක බලා ගැනීමට හැකි වන මට්ටමකට නගරය දියුණු වනවා.

එකල රු. 50ක් රු. 100ක් වටිනා ඉඩම් අද කොතරම් මුදලකට අලෙවි වනවා ද? අපි පාසල් දියුණු කිරීමට කටයුතු කළා. එවකට සුරනිමල රාජපක්ෂ ඇමැතිතුමා විශාකා විද්‍යාලය ඇති කළා. රෝහල් ක්ෂේත්‍රය දියුණු කළා. තරුණ සේවා සභාව හෙයියන්තුඩුවට රැගෙන ගියා. බියගම ආර්ථිකය ආරක්ෂා කිරීමට රන්මුතුගල කමල් ජයකොඩි මැතිතුමාගේ පියාගේ ඉඩමේ එස්.ටී.එෆ්. මූලස්ථානය ඇති කළා. පොලිස් ස්ථාන දෙකක් ද මෙම ප්‍රදේශයට ලබා දුන්නා. නිවාස ඉදි කර දුන්නා. ගම්පහ දියුණු කිරීමට අප නොකළ දෙයක් නැහැ. තවමත් ඉතිරිව තිබෙන්නේ රෝහල සාදා දීම පමණයි. අප එයත් සාදා දීමට කටයුතු කරනවා.

මේ ප්‍රදේශය දියුණු කිරීම සඳහා කළ වැඩ කොටසේදී මට විශාල අත්දැකීමක් ලැබුණා. එම අත්දැකීම් හරහා කර්මාන්ත ඇමැතිවරයා ලෙස සීතාවක, කොග්ගල, පල්ලේකැලේ ආදී වෙළෙඳ කලාප ඇති කිරීමට හැකියාව ලැබුණා. නමුත් 1994 මහ මැතිවරණයෙන් පසුව ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනයෙන් පසුව ඉන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව වන මා පදිංචිව සිටි කොළඹ දිස්ත්‍රික්කයට පැමිණ තරග කිරීමට මට සිදු වුණා. සුරනිමල රාජපක්ෂ මැතිතුමාට බියගම ආසනය භාර දී මම කොළඹ දිස්ත්‍රික්කයට පැමිණියා. එතුමාගෙන් අනතුරුව බියගම ආසනය රුවන් විජයවර්ධන මහතා භාර ගෙන තිබෙනවා. කැලණිය ආසනයට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කර තිබෙනවා.

මට උදව් උපකාර කළ කැලණිය විජිත මහානායක ස්වාමීන් වහන්සේ, බොල්ලැගල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ දෙනෙක් ද මම මේ අවස්ථාවේදී සිහි කළ යුතුයි. එදා මාත් සමග කටයුතු කළ ස්වාමීන් වහන්සේලා අතුරින් අද ජීවත්ව සිටින්නේ ගොළු මහර නායක ස්වාමීන් වහන්සේ සහ ගංගාරාමයේ නායක ස්වාමීන් වහන්සේයි පමණයි. අපි දීර්ඝ ගමනක් පැමිණියා. අද මම මෙතැනට පැමිණියේ එම ගමනට දායක වූ ඔබට ස්තූති කිරීමටයි.

ඒ වාගේම මට විශාල අත්දැකීමක් ලැබුණා. ඒ හරහායි අද මම රටේ අගමැතිවරයා ලෙස ක්‍රියා කරන්නේ. පළමු වසර දෙක තුළ මට පැවරී තිබෙන්නේ රටට හානි වූ සියලු දේ ගොඩ නැගීමටයි. අපට ලැබුණේ ණය බරින් මිරිකුණු ආර්ථිකයක්. එදා ණය ගෙවීමට හැකියාවක් ලැබුණේ නැහැ. අද කෙසේ හෝ ණය ගෙවමින් අප ඉදිරියට යනවා. 2020, 2025 වනවිට අප සම්පූර්ණයෙන්ම ණය ගෙවා අවසන් කර ණය ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැති කරන බව මම මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. පවතින ගැටලුවලට මූලික විසඳුම් ලබා දී පසුව සංවර්ධන කටයුතු සිදුකිරීමටයි අප බලාපොරොත්තු වන්නේ.

ඒ වගේම අප මේ වනවිට කුණු කන්දේ අර්බුදයත් විසඳා අවසන්. නව ව්‍යස්ථාවක් සම්බන්ධයෙන් ද අප මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. නොදියුණු බියගම ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරයක් කිරීමට අපට හැකි වුණා. ඒ වගේම දළුගම, මාකොළ, සපුගස්කන්ද, කඩවත ආදියත් විශාල නගර බවට පත් කළ හැකියි. එදා මෙම ප්‍රදේශයේ දියුණු කරමින් කාර්මාන්ත කලාපයක් ද අප ඇති කර තිබෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ එහා කෙළවරේ පිහිටා තිබෙන මහනුවර නගරය සංවර්ධනය කිරීමේ සැලසුම් සහිතව අප ඉදිරියට යනවා. මහා මාර්ග සෑදීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය අප ගෙන එනවා.

කුරුණෑගල, බිංගිරිය, ඉරණවිල ප්‍රදේශයන්හි සංචාරක හා කර්මාන්ත කලාප ඇති කිරීම සම්බන්ධව ද මේ වනවිට අප සාකච්ඡා සිදු කරමින් පවතිනවා. බස්නාහිර සංවර්ධන හා මහා නගර අමාත්‍යාංශය හරහා කොළඹ ඇති කරන දියුණුව තවත් අවුරුදු දෙකකින් පමණ අපට දැක බලා ගැනීමට හැකි වනවා. ඒ වගේම කළුතර තවත් කර්මාන්ත කලාපයක් ඇති කිරීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිතුමාගේ අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටිනවා.

හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමට අගෝස්තු මාසය වනවිට අත්සන් කරමින් මත්තල ගුවන් තොටුපොළත් මේ වසර අවසන් වීමට පෙර නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාක්මක කිරීමට කටයුතු සූදානම් කරන බවත්, මම මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. ඒ සම්බන්ධව ඇති විවිධ ගැටලු විසඳා ගැනීමට මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ඇමැතිවරුන් කටයුතු කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළුව සමස්ත දකුණු ප්‍රදේශයේම අක්කර 3000ක් පමණ භූමි ප්‍රදේශ අප සංචාරක කර්මාන්තයට වෙන් කර තිබෙනවා. එය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා යටතේ ක්‍රියාත්මක වෙනවා. මෙම සංවර්ධන වැඩ කටයුතු අප ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. මෙම පදනම සකස් කිරීමට වසර දෙකක් පමණ ගත වුණා. එම පදනම ගොඩ නගා ගත් විට රට දියුණු කිරීමට අපට හැකියාව තිබෙනවා.

නැගෙනහිර සංවර්ධනයේ විශාල වැඩ කොටසක් සිදු කිරීමට තිබෙනවා. පිබිදුණු පොළොන්නරුව, රජරට සංවර්ධන වැඩසටහන ආදිය ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වනවා.

මොරගහකන්ද, මල්වතු ඔය ආදී වැඩ සටහන් රාශියක් ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. අපට ඉතා හොඳින් සහයෝගය ලබා දෙන බදුල්ල දිස්ත්‍රික්කයේ උමාඔය ව්‍යාපෘති හේතුවෙන් ඇති වී ඇති අර්බුදය විසඳා දෙමින් එම ප්‍රදේශයත් සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා. බදුල්ල ප්‍රදේශත් අපි අමතක කර නැහැ.
යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ප්‍රදේශත් දියුණු කිරීම සඳහා සංචාරක ව්‍යාපාරය ඇතුළු වැඩසටහන් රාශියක් අප සතුයි. ත්‍රිකුණාමල නගරය ද දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් සැලසුම් කර තිබෙනවා. මේ සියලු දේ සඳහා අවශ්‍ය අත්දැකීම් ලැබුණේ බියගමින් ලද පදනම නිසායි.

1977 විප්ලවය වැනි තවත් විප්ලවයක් අපි සිදු කළා. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළමු වතාවට අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමයි.

1977 දී අපට හයෙන් පහක බලයක් ලැබී තිබුණා. අද රටේ සංවර්ධනයට අපි සියලු දෙනාම එකතු වී එක මතයක් නිර්මාණය කරමින් සිටිනවා. මැතිවරණ සඳහා අපට තනිව ඉදිරිපත් විය නොහැකියි. නමුත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීම හරහා අප සිදු කළේ විශාල විප්ලවයක්. ජාතික ආණ්ඩුවේ වැදගත්කම තිබෙන්නේ එතැනයි.

එසේ නම් මේ වසර දෙක තුළ ආර්ථිකය ගොඩනගන අතරම, අපි මාධ්‍යයට සම්පූර්ණ නිදහස ද ලබා දී තිබෙනවා. දේශපාලන නිදහස ද සම්පූර්ණයෙන්ම ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර සහයෝගය මේ වනවිට අපට ලැබෙනවා. නව ව්‍යවස්ථාවක් පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ සියලු කාර්යයන් සඳහා ශක්තිය මට ලැබුණේ බියගමින් ලද පන්නරය මතයි. අධ්‍යාපන ඇමැතිවරයා වීමෙන් මට ඉතා විශාල පළපුරුද්දක් ලැබුණා. අද අපේ රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා යටතේ අපි අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්යය කර තිබෙනවා. අප මෙවැනි කටයුතු දැන් ආරම්භ කර අවසන්.

මේ ආකාරයට රටේ සංවර්ධනයට අවශ්‍ය මූලික අඩිතාලම සැකසීමට වසර දෙකක් ගත වුණා. දැන් අපට ඉදිරියට යා හැකියි. එම ගමනට එකතු වන ලෙස සියලු දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා. මගේ දේශපාලන ගමන තුළ මට උදව් උපකාර කළ සියලු දෙනාටම මම ස්තූතිවන්ත වනවා.

එදා දේශපාලන වැඩ කටයුතුවලදී මා සමග සිටි මිත්‍රයන් බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ගාමිණී අතුකෝරළ, ගාමිණී දිසානාක මාත් සමග එකට වැඩ කටයුතු කරමින් පසුව පක්ෂයෙන් ඈත් වී ගිය ලලිත් ඇතුලත්මුදලි, වීරසිංහ මල්ලිමාරච්චි ආදී බොහෝ දෙනා දැන් ජීවතුන් අතර නැහැ.

අපි මේ රට සංවර්ධනය කරන්නේ තරුණ පරම්පරාව වෙනුවෙන්. එදා අපි බියගම සංවර්ධනය කළේ තරුණ පරම්පරාව වෙනුවෙන්. දැන් අපට ආර්ථිකය සංවර්ධනය කරමින් ඉදිරියට යාමට හැකි වී තිබෙනවා. එසේ නම් තරුණ පරපුරට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරමු.”

 මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය බියගම ආසන සංවිධායක රුවන් විජයවර්ධන මහත්වරු ද සහභාගී වූහ.