ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් එතෙක් මෙතෙක් නොපිහිටවූ වාර්තා රැසක් තැබීමට ජාතික ජනබලවේගය මෙවර මහමැතිවරණයෙන් සමත් විය. ඡන්ද 6,863,186ක් ලබා ගනිමින් පෙර නොවූ විරූ ලෙස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවූ බහුතර බලයක් තහවුරු කරගනිමින් පාර්ලිමේන්තුවේ ආසන 225න් 159ක් ජයග්‍රහණය කිරීම පක්ෂයක් වශයෙන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයකි.
මහමැතිවරණයක දී ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන්නේ ද මෙවර ජාතික ජනබලවේගය දිනාගනු ලැබූ ඡන්ද 6,863,186 කි. එය සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 61.56 ප්රතිශතයකි. මෙය 1978 සිට ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ තනි පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයක දී ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ද වෙයි. 2024 මහ මැතිවරණයට පෙරාතුව එනම් 2010 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 60.33ක ප්‍රතිශතයක් ලබාගෙන තිබිණ. 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගැනීමට හැකි වූයේ සියයට 59.09ක ප්රතිශතයකි.
2020 වසරේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 145ක් හිමිකරගත් අතර, මහ මැතිවරණයක දී ජයග්‍රහණය කළ වැඩිම මන්ත්‍රී ධූර ගණන වූ මන්ත්‍රී ධූර 159ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය මෙවර මැතිවරණයෙන් නව වාර්තාවක් පිහිටුවීය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය ඡන්ද 1,968,716ක් ලබාගත් අතර, හිමිවූයේ ආසන 40කි. ඡන්ද 257,813ක් ලබා ගනිමින් ආසන 8ක් දිනා ගැනීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමත් විය. ඡන්ද 500,835ක් ලබා ගනිමින් ආසන 5ක් හිමිකර ගැනීමට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හැකිවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබා ගනිමින් ආසන 3ක් හිමිකර ගැනිණ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් සමගින් ආසන 03ක් හිමි කරගැනීමට සමත් විය. ඡන්ද 178,006ක් ලබාගනිමින් සර්ව ජනබලයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට හැකි විය. එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් ද යාපනය හා වන්නි දිස්ත්‍රික්ක නියෝජනය කළ සුළු පක්ෂ කිහිපයක් හා සුළු පක්ෂ කිහිපයක් හා ස්වාධීන කණ්ඩායම් අතරේ ඉතිරි ආසන බෙදී ගියේය.
එමෙන්ම මහමැතිවරණයක ජයග්‍රහණ කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන ද මෙවර ජාතික ජන බලවේගය දිනාගත් අතර, එය දිස්ත්‍රික්ක 21කි. මඩකලපුව දිස්ත්‍රික්කය හැර උතුරේ නැගෙනහිර පාලනය දකුණේ දේශපාලන පක්ෂයක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ. මින් පෙර 2010 වසරේ දී එම වාර්තාව තබා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වන අතර, ඒ දිස්ත්‍රික්ක 19ක් වශයෙනි.
තවද ඉතිහාසයේ ප්‍රථම වතාවට සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වේ.
2024 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී ආසන 141ක් හා ජාතික ලැයිස්තුවෙන් 18ක් වශයෙන් මන්ත්‍රී ධුර 159ක් දිනාගැනීමට සමත් විය. 2020 වසරේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක මට්ටමින් ආසන 128ක් හා ජාතික ලැයිස්තුවෙන් 17ක් වශයෙන් මන්ත්‍රී ධූර 145ක් හිමිකර ගැනිණ.
දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව
මැතිවරණ දිස්ත්‍රික්කයන්හි ඒ ඒ දිස්ත්‍රික්කයට අදාළ මනාප ප්‍රතිඵල සැලකීමේ දී ජාතික ජනබලවේගය පැරණි වාර්තා කණපිට ගැසූ ආකාරය පැහැදිලි වේ.
- ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ආසන 19කි. ඡන්ද 898,759ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 16ක් මාලිමාවට හිමි වූ අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 03ක් හිමිවිය.
- කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ඡන්ද 788,636ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 14ක් සහ සමගි ජන බලවේගයට ආසන 04ක් හිමිවිය.
- හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ඡන්ද 234,083ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 5ක්ද, සමගි ජන බලවේගය එක් ආසනයක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ආසනයක් ද දිනා ගැනිණ.
- කළුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 452,398ක් ලබාගෙන ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 08ක්, සමගි ජන බලවේගයට ආසන 02ක් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.
- දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය ඡන්ද 146,313ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 04ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීධූරයක්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මන්ත්‍රී ධුරයක් සහ ඉලංගෙයි තමිල් අරුසු කච්චියට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.
- පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ඡන්ද 159,010ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 4ක් ද සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගැනිණ.
- අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 331,692ක් ලබාගනිමින් සමස්ත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 7ක් සහ සමගි ජනබලවේගයට ආසන 02ක් හිමිවිය.
- බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 6ක්ද, සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 02ක් ද, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් ද හිමිවිය.
- මොනරාගල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ඡන්ද 174,730 ක් ලබාගෙන මන්ත්‍රී ධුර 05ක් සහ සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිවිය.
- ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 406,428ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 07ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුරයක් හිමිවිය.
- මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 317,541ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 06ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුරයක් හිමිවිය.
- මාතලේ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 181,678ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 04ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුරයක් හිමිවිය.
- මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද 500,596ක් ලබාගෙන ජාතික ජනබලවේගය මන්ත්‍රී ධුර 09ක් සහ සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිවිය.
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද 161,167ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය ලැබූ අතර ජාතික ජන බලවේගයට ආසන 02ක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.
- කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 651,476ක් ලබාගෙන ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 12ක් සහ සමගි ජන බලවේගයට ආසන 01ක් හිමිවිය.
- ඡන්ද 368,229ක් ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ආසන 08ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය.
- ඡන්ද 312,441ක් ලබාගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 07ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.
- යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද 80,830ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් ද, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය හා යාපනය ස්වාධීන කණ්ඩායම (17) එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිකර ගැනිණ.
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 87,031ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ජය ලැබූ අතර ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක්, සමගි ජන බලවේගයට එක් ආසනයක් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට එක් ආසනයක් හිමිවිය.
- වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට ඡන්ද 39,894ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයට ආසන 02ක්, සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට එක් මන්ත්‍රී ධූරය බැගින් හිමිවිය.
- පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද 239,576ක් ලබාගෙන ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් සහ සමගි ජන බලවේගයට ආසන 02ක් හිමිවිය.
- මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරසි කච්චි ඡන්ද 96,975ක් ලබාගෙන මන්ත්‍රී ධුර 03ක්ද, ජාතික ජන බලවේගයට සහ මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධූරය බැගින් හිමිවිය.
දිස්ත්‍රික්ක මට්ටමින් ඒ ඒ පක්ෂ දිනාගත් ඡන්ද ප්‍රමාණය මත මන්ත්‍රී ධුර බෙදී ගිය ආකාරය සලකා බැලීමේ දී මෙතෙක් පැවති මැතිවරණයන් හි බලය තහවුරු කරගෙන සිටි ප්‍රබල පක්ෂයන්ගේ කඩා වැටීම මනාව පිළිබිඹු වේ.
මහමැතිවරණයක දී වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ විජිත හේරත් ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත්විය.
එය මෙවර මහමැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන අතර ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වේ.
ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289 ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත්විය. මෙය මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධූර අපේක්ෂකයෙකු ලබාගත් දෙවන වැඩිම මනාප ගණන ලෙස වාර්තාගත වේ. මීට පෙරාතුව 2020 වසරේ දී මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 527,364ක වැඩිම මනාප ඡන්ද ප්‍රමාණයක් දිනාගනිමින් තැබූ වාර්තාව ද බිඳ දමා තිබේ.
මෙම මැතිවරණයේ විශේෂත්වය වන්නේ ජනාධිපතිවරණයට සාපේක්ෂව ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන තිබීමයි. ජනාධිපතිවරණය පවත්වා දින 54ක පමණ කාලයක දී මහමැතිවරණය පැවැත් වූ අතර, සැප්තැම්බර් 21වන දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අනුරකුමාර දිසානායක ඡන්ද 5,740,179ක් දිනා ගැනිණ. මෙවර මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඡන්ද 6,863,186ක් හිමි වූ අතර එය ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද සංඛ්‍යාවෙන් 1,123,007කි.
එපමණක් නොව ඉතිහාසය පුරාවටම දෙමළ පක්ෂ පාලන බලය රඳවාගෙන සිටි දමිළ ජාතික ජනතාව වාසය කරන ප්‍රදේශවල දකුණේ පක්ෂයක් ජයගත් ප්‍රථම අවස්ථාව ලෙස ජාතික ජනබලවේගය ඉතිහාසගත වේ. ඒ අනුව යාපනය, වන්නි හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ජයගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, චාවකච්චේරි, මූතූර්, කල්කුඩා, පදිරිප්පු, පොතුවිල් යන ප්‍රදේශ හැරුණු විට අනෙක් සියලුම ප්‍රදේශවල ජය ජාතික ජන බලවේගය තහවුරු කරගැනිණ.
මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ දෙක අතර වැඩිම ඡන්ද පරතරය පැවති මැතිවරණය ලෙසද වාර්තාගත වේ. 2024 වසරේ දී ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186 ලබා ගත් අතර සමගි ජන බලවේගය 1,988,716 ක් ලබා ගැනිණ. මෙම පක්ෂ ද්විත්වය අතර ඡන්ද පරතරය 4,894,476කි. 2010 වසරේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6,853,690 ක් ලබා ගත් අතර සමගි ජන බලවේගය 2,771,980ක් ලබා ගැනිණ. මෙම පක්ෂ ද්විත්වය අතර ඡන්ද පරතරය 4,081,710 කි.
2010 මැතිවරණයෙන් පසු වැඩිම ඡන්දදායකයන් පිරිසක් ඡන්දය භාවිත නොකළ මැතිවරණය වශයෙන්ද 2024 මහ මැතිවරණය සුවිශේෂි වේ. 2024 වර්ෂයේ ඡන්දදායකයන් 17,140,354ක් සුදුසුකම් ලැබූ අතර, ඉන් ඡන්දය භාවිත කරන ලද්දේ 11,815,246 දෙනෙකි. ඡන්දය භාවිත නොකරන ලද සංඛ්‍යාව 5,325,108කි.
2020 වර්ෂයේ ඡන්ද 744,373ක් ප්‍රතික්ෂේප විය. මෙවර මහ මැතිවරණයේ දී ඡන්ද 667,240ක් ප්‍රතික්ෂේප විය. මෙය ප්‍රතික්ෂේප වූ දෙවන වැඩිම ඡන්ද ප්‍රමාණයයි. එසේම පක්ෂයක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කාන්තා නියෝජිතයන් වැඩි කාන්තා නියෝජනයක් තේරීපත් වූ මැතිවරණයද මෙ වන අතර මන්ත්‍රීවරියන් 19ක් තේරීපත් විය.
එසේම මෙරට මැතිවරණ ඉතිහාසයේ වතුකර ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පත් වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අම්බිකා සැමුවෙල් 58,201ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය.
මහ මැතිවරණය අවසානයේ දී ජාතික ජන බලවේගය වටා බහුතර බලයක් ඒකරාශී වෙමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණයක ලැබූ ඓතිහාසික ප්‍රතිඵලය 2024 පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරියේ සටහන් විය. ලැබූ ප්‍රතිඵලය මත මීට පෙර පැවති පාලන තන්ත්රයන් කෙරෙහි ජනතාව තුළ පවතින උග්‍ර කලකිරීමත්, අනාගතය කෙරෙහි පවතින දැවැන්ත අපේක්ෂාවත් අවසාන ප්රතිඵලයන්ගෙන් නිරූපණය වී ජාතික ජන බලවේගය වටා බහුතර බලයක් සනිටුහන් කෙරිණ.
ලංකාවේ මැතිවරණ ඉතිහාසයන්හි සියයට තුනක මනාප ප්රතිශතයක සිට ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් වාර්තා තබමින් ලංකා සිතියම සිය පක්ෂයේ වර්ණයෙන් වර්ණ ගැනීමට හැකි වූයේ පක්ෂයක් ලෙස තැබූ නොපසුබස්නා වීර්යය නිසාම ය. පෙර ලැබූ පරාජයන් අනාගත ගමනට ආශීර්වාදයක් කරගනිමින් ජාතික ජන බලවේගයට මෙවර මහ මැතිවරණයෙන් ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තැබීමට හැකිවිය.
මනීෂා වීරසිංහ