මෙහෙම කෙටි කාලයකින් පාර්ලිමේන්තුව වාරාවසාන කරනවා මම දැකලා නෑ


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

හර්ෂ ද සිල්වා

  • දැනුමක්, අවබෝධයක්, විශ්ලේෂණයක් නැතිව ගත්ත තීරණ නිසා තමයි දෙයියනේ මේ රටට මෙහෙම වුණේ. 
  • ඔය කමිටුවලට කිසිම ගෙවීමක් නෑ. මම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති කියලා මට වැඩිපුර ශත පහක්වත් ලැබෙන්නේ නෑ. මට කාර්ය මණ්ඩලයක් ලැබෙන්නෙත් නෑ. ඔෆිස් එකක් ලැබෙන්නෙත් නෑ. මට කිසිම ගෙවීමක් ලැබෙන්නෙත් නෑ.

 

රටේ දේශපාලනය දිනෙන් දින ගිනියම්ය. කුමකින් කුමක්වේදැයි සිතාගත නොහැකි දෙගිඩියාව හැමතැනම පැතිරී තිබේ. මේ ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි. 

?ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසාන කළා. විපක්ෂය කියනවා ඒක අනවශ්‍ය වැඩක් කියලා. 


පිළිතුර: පාර්ලිමේන්තුව කල් තැබුවේ එතුමාට ප්‍රතිපත්ති ප්‍රකාශයක් කරන්නනෙ. ඒකෙන් වුණේ සියලුම කමිටු අහෝසිවීම. ගිය පාර ඔය කමිටු පත් කරන්න මාස හයකට වඩා කල් ගියා. කමිටු නැති නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. 


?මොනවද ඒ ප්‍රශ්න? 


පිළිතුර: ගල් අඟුරු ප්‍රශ්නය ආපු වෙලාවේ කෝප් කමිටුව තිබුණේ නෑ. ඒකට මැදිහත් වෙන්න මට සිද්ධ වුණා. ඊට පස්සේ මට විරුද්ධව නොයෙක් කතා කිව්වා. මේ කමිටු පිහිටුවීම වැදගත්. දැන්​ කෝප් එක නෑ. කෝපා එක නෑ. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව නෑ.  ප්‍රධානම කමිටුවක් තමයි මුදල් පිළිබඳ කාරක සභාව. මගේ පාර්ලිමේන්තු මුදල් කාරක සභාව අහෝසි කළා. දැන් ඒවට අලුතෙන් අය අමුතුවෙන් පත් කරන්න ඕනෑ. ජනාධිපතිතුමාට කතානායකතුමාගේ පුටුවේ ඉඳන් ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න ඕනැ නිසයි එහෙම කළේ. මෙහෙම කෙටි කාලයකින් පාර්ලිමේන්තු වාර අවසන් කරනවා මම දැකලා නෑ. 


?පාර්ලිමේන්තු කාරක සභාවල සභාපතිකම සම්ප්‍රදායක් වශයෙන් යන්නේ ආණ්ඩු පක්ෂයට. යහ පාලන ආණ්ඩුව ඒක වෙනස් කරල විපක්ෂයට දුන්නා. මෙවර පාර්ලිමේන්තුව වාරාවසාන කළේ මුදල් කාරක සභාවේ සභාපතිකමෙන් ඔබ ඉවත් කරන්න කියල ඔබ හිතනවා? 


පිළිතුර: මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. මම එහෙම ලොකු මිනිහෙක් කියලත් මම හිතන්නෙ නෑ. මාව ඉවත් කරන්න පාර්ලිමේන්තුව වාරාවසාන කළා කියලා මම හිතන්නේ නෑ. මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ක්‍රමය යටතෙනෙ අපි මේක කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවල්වල පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයකුට දෙනවා. ලංකාවේ ඔයා කිව්වා හරි. යහපාලන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා තමයි කෝප් කමිටුවේ සභාපතිකම සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට දුන්නේ. හැබැයි ස්ථාවර නියෝගවල කෙළින්ම තියෙනව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දිය යුතුයි කියලා. ඒක මේ විපක්ෂයට අනුකම්පාවෙන් දෙන එකක් නොවෙයි. ඒක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල බොහොම පැහැදිලිවම තියෙනවා. 


?කෝප් සහ කෝපා කමිටු ගැන සාමාන්‍ය මිනිසුන්ටත් සාමාන්‍ය දැනීමක් තියෙනවා. නමුත් මුදල් කාරක සභාවට ගැන එහෙම කතාබහක් නෑ. 


පිළිතුර: මුදල් කාරක සභාව තමයි වැදගත්ම කාරක සභාව. මොකද ඒක බලන්නේ රජයේ සියලු ආදායම් වියදම් ගැනයි. ඒක හරහා තමයි පාර්ලිමේන්තුවට වගකීම එන්නේ. දැන් කෝප් එක තියෙන්නේ රජයට අයිති ව්‍යාපාරවල පසුවිපරම් කිරීමයි. විගණකාධිපතිතුමා වාර්ෂික වාර්තාව දුන්නාම ඒ වාර්තාවට අනුව සිද්ධ වෙච්ච දේ හොයලා බලන එක. කෝපා එක කරන්නේ ඒ විදියටම රජයේ ආයතන ගැන සොයා බැලීම. 


?එතකොට මුදල් කාරක සභාව? 


පිළිතුර: මුදල් කාරක සභාව කරන්නේ ඉදිරියේදී රජය ගන්න තීරණ කාරක සභාව ඉදිරියට ගෙනල්ලා ඒවා විශ්ලේෂණය කරලා ඒවා අනුමත කරන එක. රජයේ සියලුම මුදල් පනත්, ඒවායේ සංශෝධන ඒ විදියට ඒ සියලු දේ මුදල් කාරක සභාව හරහා තමයි ගන්න ඕනෑ. 


?මුදල් කාරක සභාව අනුමත නොකළොත් ඒ තීන්දු ක්‍රියාත්මක කරන්න බෑ? 


පිළිතුර: සභාපති හැටියට මම දෙතුන් වතාවක් හරවලා යවලා තියෙනවා. මොකද යම් තීරණයක් ගැන විශ්ලේෂණයක් කරන්න මුදල් කාරක සභාවට කාර්ය මණ්ඩලයක් හිටියෙ නෑ. කෝප් එකටයි, කෝපා එකටයි විගණකාධිපතිටයි සම්පූර්ණ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. හැබැයි මුදල් කාරක සභාවට එකම එක තාක්ෂණික නිලධාරියෙක්වත් නෑ. ඇත්තටම ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නා. මට කතා කරලත් කිව්වා ඒ තමයි පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් හදලා ඒක මුදල් කාරක සභාවේ තාක්ෂණික කාර්යාලය හැටියට පවත්වාගෙන යාම. ඒ අයවැය කාර්යාලය හරහා රජය ඉදිරිපත් කරන යෝජනා විශ්ලේෂණය කරලා ඒවා හරිද වැරැදිද කියලා බලල මතයක් ඉදිරිපත් කරන්න ඕනෑ. බැරි වෙලාහරි මුදල් කමිටුව අනුමත කරන්න බෑ කිව්වොත් මුදල් අමාත්‍යාංශය අවශ්‍ය සංශෝධන සහිතව ඉදිරිපත් කළ යුතුයි. එතකොට මුදල් කමිටුවට අනුමත කරන්න පුළුවන්. සමහර අවස්ථාවල අනුමත කළත් පාර්ලිමේන්තුවේ සභාගත කාරනකොට ඉදිරියේදී සංශෝධන විය හැකියි කියලා සඳහන් කරනවා. මොකද පනතක් වෙනස් කරන්න මුදල් කමිටුවට බලයක් නෑ. අපට සංශෝධනයක් වෙනසක් කරන්න අයිතියක් නෑ. අපට විශ්ලේෂණය කරලා අදහසක් දෙන්න පුළුවන්. වෙනස් කිරීම් කළ යුත්තේ මුදල් අමාත්‍යාංශයයි. කැසිනෝ පනත ගෙනාපු වෙලාවේ මම ඒක තුන් පාරක් හරවලා යැව්වා. එහෙම කරලා මං කිව්වේ අපි මේක සම්මත කරන්නේ අපට පිළිගත හැකි දින වකවානුවක් හා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා නම් පමණයි. ඒ වගේම කැසිනෝ සම්බන්ධයෙන් නියාමන ආයතනයක් ස්ථාපිත කළ යුතුයි කියලා අපි දැඩි ස්ථාවරයක හිටියා. කැසිනෝ එකට ලයිෂන් එකක් දෙන්න බෑ නියාමන ආයතනයක් නැතිනම් කියලා. 

 

පාර්ලිමේන්තු මුදල් කාරක සභාව අහෝසි කළා. දැන් ඒවට අලුතෙන් අය අමුතුවෙන් පත් කරන්න ඕනෑ. ජනාධිපතිතුමාට කතානායකතුමාගේ පුටුවේ ඉඳන් ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න ඕනැ නිසයි එහෙම කළේ. 



?මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය වුණේ 


පිළිතුර: 2023 සැප්තැම්බර් මාසයේ අවසාන වනවිට මෙම නියාමන ආයතනය ස්ථාපිත කරන්න එකඟ වුණා. 



?ඔබ කිව්වා රජයේ මුදල් ප්‍රතිපත්තිය මුදල් කාරක සභාවෙන් අනුමත විය යුතුයි කියලා. රට වට්ටපු ආර්ථික ප්‍රතිපත්තියටත් එහෙම නම් ඔය මුදල් කාරක සභාවත් වගකිවයුතුයි. 


පිළිතුර: සම්පූර්ණයෙන්ම ඇත්ත. මට හොඳට මතකයි ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් බදු වෙනස් කරනවා කියලා කියනකොට මම පාර්ලිමේන්තුවේ හිටියෙ නෑ. මොකද ඒක පාර්ලිමේන්තුවට ගෙනාවේ පස්සේ. අපි පාර්ලිමේන්තුවට ආවට පස්සේ අගෝස්තුවල මේක සාකච්ඡා වුණා. එතැනදී අපි පෙන්නලා හිටියා මෙහෙම කළොත් මෙහෙම ආදීනව තමයි ලැබෙන්නේ කියලා. හැබැයි විශ්ලේෂණයක් නැතිව ඒක එහෙමම සම්මත වුණා. මම තව එකක් කියන්නම්. පොහොර තහනම් කරපු වෙලාවේ ප්‍රශ්නයක් මතුවුණා. මම දේශපාලනය නොවෙයිනේ කරන්නේ. මම කිව්වා මේක තහනම් කළොත් මුළු රටටම ප්‍රශ්නයක් වෙනවා කියලා. අපි සූම් එකෙන් තමයි සාකච්ඡා කළේ. එතැනදී මුදල් අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කට්ටියයි මහා ගෝරියක් ගිහිල්ලා ඒගොල්ලෝ එක්කෙනාට එක්කෙනා බැණගෙන විශ්ලේෂණයකින් තොරව ඊට සති 2කට පස්සේ ඒක සම්මත කළා. මේ සම්මත කිරිල්ල සම්බන්ධයෙන් මුදල් කාරක සභාව වගකීමක් ගන්න ඕනෑ. 



?ඇයි වගකීමක් ගත්තෙ නැත්තේ? 


පිළිතුර: ඒකට හේතුව තමයි විශ්ලේෂණයක් කරලා ප්‍රශ්න කරලා සංශෝධන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා ඔය කියන කතාව ඇත්ත. ඒ වගේම තමයි ණය පිළිබඳව මුදල් කාරක සභාවේදී තවම කිසිම කතාවක් නෑ. දැන් තමයි අපි ඒක පටන් ගන්නේ. පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පටන් ගන්නකම් මට පුළුවන් වෙලා තියෙනවා අවුරුද්දක කාලයකට කාර්ය මණ්ඩලයක් පත් කරන්න. 



?කෝප් කමිටුවේදී අපි දකිනවා බොහෝ රාජ්‍ය ආයතනවල නාස්තිය, දූෂණය හෙළි වෙනවා. නමුත් ක්‍රියාමාර්ග ගැනීමක් නෑ. කමිටුවලට සහභාගී වන මන්ත්‍රීවරුන්ට අතිරේක දීමනාවක් ලැබීමක් පමණයි නේද වෙන්නේ? 


පිළිතුර: ඔය කමිටුවලට කිසිම ගෙවීමක් නෑ. මම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති කියලා මට වැඩිපුර ශත පහක්වත් ලැබෙන්නේ නෑ. මට කාර්ය මණ්ඩලයක් ලැබෙන්නෙත් නෑ. ඔෆිස් එකක් ලැබෙන්නෙත් නෑ. මට කිසිම ගෙවීමක් ලැබෙන්නෙත් නෑ. මම සද්භාවයෙන් තමයි මේ කාර්ය කරන්නේ. මම සෑහෙන කාර්යභාරයක් මේකට කරනවා. මිනිස්සු දැනගෙන හිටියෙ නැති වුණාට. දවසේ පැය ගානක් මම මේකට වැය කරනවා. නමුත් මට ශතයක්වත් ලැබෙන්නේ නෑ. 



?කමිටුවට එන මන්ත්‍රීවරුන්ට දීමනාවක් දෙනවා. නමුත් ඔබ ඒක ගන්නේ නෑ. 


පිළිතුර: නෑ නෑ දෙන්නේ නෑ. උදාහරණයක් හැටියට මගේ කාලයෙන් සෑහෙන ප්‍රශ්නයක් සභාවට ඒකට ගෙවීමක් නෑ. ඒක අපි බලාපොරොන්තු වෙන්නේ නෑ. දුන්නත් ගන්නෙත් නෑ. සමහරු හිතනවා මේවායින් විශාල වරප්‍රසාද ලැබෙනවා කියලා. නෑ එහෙම එකක් නෑ. අතින් වියදම් කරගෙන තමයි මම කරන්නේ. අනික් ප්‍රශ්නයට උත්තරය තමයි අලුතෙන් සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. මම කෝප් කමිටුවේ නැති නිසා මම ඒක හරියටම දන්නේ නෑ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් කෝප් කමිටුවට ඇවිත් උසාවියට යළි ඉදිරිපත් කරනවා කියලා. මෙච්චර කාලයකට ඒ ටික කර ගන්න බැරි වුණා නමුත් දැන් ඒක කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. 



?කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කළා. ඒකෙන් මන්ත්‍රීවරු වීරයෝ වෙලා රාජ්‍ය නිලධාරීන් ‘පීචන්’ කරනවා. රාජ්‍ය සේවයට මේක බලපාන්නේ නැද්ද? 


පිළිතුර: කෝප් එක ගැන මට ලොකු විස්තරයක් කියන්න බෑ. මම ඒකේ නැති නිසා. හැබැයි මුදල් කාරක සභාව මුල් වතාවට මාධ්‍යයට විවෘත කළේ මම. එතකොට තමයි ජනතාවට පුළුවන් වෙන්නේ ජනතාවගේ බදු මුදල් කොහොමද එකතු කරන්නේ ඒවා කොහොමද වියදම් කරන්නේ කියලා. ඔව් සමහර අවස්ථාවලදී නිලධාරීන් අපහසුතාවයට පත් වෙනවා. එහෙම වෙන්නේ ඔවුන් ජනතා මුදල් පරිහරණය සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැතිව ක්‍රියාත්මක වෙන නිසා. අපේ කමිටුවට ආයෝජන මණ්ඩලයෙ සභාපති ඇවිත් කිව්වා එක ආයතනයකට අවුරුදු 12කට සියයට 27ක බදු විරාමයක් දෙන්න ඕනැ. තව අවුරුදු හතරකට එදා තියෙන බදු ප්‍රමාණයෙන් සියයට 50ක බදු විරාමයක් දෙන්න ඕනෑ කියලා. මම ඔහුගෙන් එක ප්‍රශ්නයයි ඇහුවේ. මම ඇහුවා මේ බදු විරාමය දීම නිසා භාණ්ඩාගාරයට අහිමි වන බදු ප්‍රමාණය කොපමණද කියලා. ඒ ප්‍රශ්නයට උත්තරයක් තිබුණේ නෑ. ඒක තමයි මූලිකම ප්‍රශ්නය. මෙච්චර කල් මේ රටේ වෙලා තියෙන්නේ කිසිම විශ්ලේෂණයක් නැතිව කවුරුහරි කිව්වට කවුරුහරි සාස්තරකාරයෙක් කිව්වට නොයෙකුත් තීරණ අරගෙන තියෙනවා. දැනුමක්, අවබෝධයක්, විශ්​ලේෂණයක් නැතිව ගත්ත තීරණ නිසා තමයි දෙයියනේ මේ රටට මෙහෙම වුණේ. 



?ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වා ‘ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා’ කියලා. ඔබ ඒක පිළිගන්නවද? 


පිළිතුර: මෙහෙමයි මේ අවස්ථාවේදී නොයෙකුත් අමාරු තීරණ ගන්න වෙනවා. එහෙම වුණාම එයින් පීඩාවට පත්වන පිරිස් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද කියලත් බැලිය යුතුයි. ජනතාව අනවශ්‍ය ලෙස පීඩාවට පත් වෙන්න පුළුවන්. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. 



?ඔබට අනුව පළාත් පාලන ඡන්දය තියයිද? 


පිළිතුර: ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්නේ. ඒක දෙන්න ඕනෑ. ඒ නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැතිව මැතිවරණය පවත්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව
 තෙන්නකෝන්