මෙහෙම ගියොත් ආර්ථික ව්‍යසනයකට රට ඇද වැටෙනවා


රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තුවේ ආර්ථික අර්බුදයේ බලපෑම සටහන් කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති

ගාමිණී වළේබොඩ

 

  • බුද්ධිගලනය හරහා රටේ මානව සම්පත් ටික අහිමි වෙනවා. හැබැයි ඩොලර් එනවා කියලා ආණ්ඩුව ඇස් කන් පියාගෙන ඉන්නවා.

රටේ ආර්ථික අර්බුදය, එහි දිග පළල විසඳුම සම්බන්ධයෙන් මෙන්ම උණුසුම් දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තුවේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ගාමිණී වළේබොඩ මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍ර:ඔබලා සමග සන්ධානගතව සිටි ඩලස්ගේ කණ්ඩායම සජිත්ලා සමග සන්ධානගත වෙන්න යනවා. මොකද වෙන්නේ?


පිළිතුර:- ජාතික කඳවුරේ එකමුතුවක් හැටියට තමයි උත්තර සභාගය නිර්මාණය වුණේ. ඒකේ දිගුවක් හැටියට තමයි නිදහස් ජනතා සන්ධානය ඩලස් කණ්ඩායම සමග එකතු වුණේ. ඒ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙනයි. ඒ සන්ධානය නිර්මාණය වෙනකොටම ප්‍රතිවිරෝධතා ගණනාවක් ඇත්තටම තිබුණා.


ප්‍ර:මොනවද ඒ ප්‍රතිවිරෝධතා?


පිළිතුර:- ඩලස් මන්ත්‍රීතුමා ඇතුළු ඒ කණ්ඩායමේ ජාතිකවාදී මතය දරන කණ්ඩායමක් ඉන්නවා වගේම ජාතිකවාදි මතවාදයෙන් පිටස්තර නව ලිබරල් ආර්ථික ක්‍රමය පිළිගන්නා කණ්ඩායමකුත් ඉන්නවා. දැන් සිද්ධ වෙමින් තියෙන්නේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරලා ජාතික ආර්ථිකය ශක්තිමත් කරලා දේශීය කර්මාන්ත පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරනවාට එහා ගිය සජිත් විපක්ෂනායකතුමා කියන වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය මතම. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙ මතවාදයම නියෝජනය කරන ආර්ථික ක්‍රමයට අනුගත වෙමින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් අපට තියෙන ප්‍රශ්නය තමයි ඒ ආර්ථික ක්‍රමය අනුගමනය කරලා මේ රට ගොඩගන්න පුළුවන්ද කියන එක. රට මේ තියෙන අගාධයෙන් තව අඩියක් ගැඹුරට ගිලෙන ආර්ථීකයක් වෙනුවෙන් එසේ එකතුවීම අපට හිතාගන්න බැරි දෙයක්.


ප්‍ර:සම සමාජ පක්ෂය හෙලිකොප්ටරයෙන් බැස්සා. දැන් ඩලස්ලත් බැස්සා. මෙහෙම ගිහින් ඔබේ පක්ෂයේ නායක විමල් තනිවෙයි?


පිළිතුර:- මෙහෙමයි. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්නේ අපි හෙලිකොප්ටරය ලකුණ යටතේ එකතු වුණේ. දැන් ඒ තත්ත්වය ගිලිහී ගිහින් තියෙන්නේ. ඊළඟට එන මැතිවරණය ජනාධිපතිවරණයක් වීමට  තියෙන ඉඩ වැඩියි. අද දේශපාලන කාලගුණය වරින් වර වෙනස් වෙනවා. එතකොට ජනාධිපතිවරණය කියන්නේ අලුත්ම අභියෝගයක්. ඒ අභියෝගයට සන්ධානගත වීම හා ඒ සම්බන්ධව උපාය උපක්‍රම තේරීමට තාම කල් වැඩියි.


ඒ නිසා අපි විශ්වාස කරන දේ තමයි ඒ ගැන කතා කිරීමට මේක අවස්ථාව නොවෙයි කියන එක. එහෙම කල්වැඩි තීරණයක් තමයි ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම අරන් තියෙන්නේ. අපි ඒකට කලබල නෑ. අපි තවම අපේ මතවාදය තුළ හිඳිමින් අපි කටයුතු කරමින් ඉන්නවා. අපි ඉදිරියේදී නිර්මාණය වන තත්ත්වය අනුව බලමු. සන්ධාන හැදෙනවා. කැඩෙනවා.  නැවත එකතු වෙනවා. නැවත එකතු වෙනකොට තිබුණ එකට වැඩි පුළුල් සන්ධාන බවට පත්වෙනවා. විශාල පක්ෂ පොඩි පක්ෂ බවට පත්වෙනවා. මේ කවුරු කවුරුත් කෙසේද ඉන්න ඕනෑ කියලා අවසානයේදී තීරණය කරන්නේ ජනතාව. ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන්න කුඩා හෝ ලොකු හෝ තනි පක්ෂයක් විදියට හෝ පෙනී සිටින්න කටයුතු කරනවා.


ප්‍ර:ඔබ කිව්වා ‘නැවත එක්වෙන්නත් ඉඩ තියෙනවා’ කියලා. ඒ කියන්නේ රාජපක්ෂ කඳවුර සමගද?


පිළිතුර:- පොහොට්ටුව සමග එකතු වෙන්න ඉඩක් නෑ. පොහොට්ටුවේ ආර්ථික ප්‍රතිපත්තිය හා නව ලිබරල් ආර්ථීක ප්‍රතිපත්තිය එකක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා පොහොට්ටුව සමග නම් නැවත එක්වීමේ ඉඩක් නෑ.


ප්‍ර:ඔබ කියන ජාතිකවාදී දේශපාලනයට බිමේ ඉඩක් නැහැ කියලා මම කිව්වොත්?


පිළිතුර:- ජාතිකවාදි දේශපාලනයට ඉඩක් නෑ වගේ පේන්න තියෙනවා. ඒක තමයි ඇත්ත කතන්දරය. ඒක එහෙම වුණේ ජාතිකවාදී දේශපාලන ප්‍රවාහයට සිද්ධ වෙච්ච විනාශය හරහා ජාතිකවාදී දේශපාලන ප්‍රවාහය මේ ආර්ථිකය විනාශ කරන දේශපාලන ප්‍රවාහයන් බවට පොහොට්ටුව ඇතුළු රාජපක්ෂ කණ්ඩායම පත්කර ගැනීමේ ප්‍රතිඵලයක් නිසා තමයි එහෙම වුණේ. ඒක භාවිතාවේ තිබූ ගැටලුවක් මිස ඒ ජාතිකවාදී දේශපාලනයේ ගැටලුවක් නොවෙයි. ඒ නිසා ජනතාවට තේරුම් ගන්න වෙනවා මේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් ණයට අරගෙන අඩුවට ගෙනල්ලා කාලා සැපට ජීවත්වුන ක්‍රමයකින් මේ රටට සුගතියක් අත්වෙන්නේ නෑ කියලා. මේ කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා ක්‍රියාත්මක කරන්න හදන්නේ ඒ ආර්ථික ප්‍රතිපත්තිය. ඒ ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ සුනාමියේ පළමු රැල්ල වගෙයි. සුනාමි පළමු රැල්ල ආවා. ඒක ගියා. මිනිස්සු හිතුවා දැන් හරි කියලා. භය ගියා. නමුත් දෙවැනි රැල්ලෙන් සියල්ලම විනාශ වුණා. දැන් පළමු සුනාමි රැල්ල ඇවිත් ගියා වගේ. ඊළඟට එන රැල්ලට මේ සියල්ලම සුන්නත් දූලි වෙලා යනවා. ඒ රැල්ල නවත්වන එක තමයි ජාතිකවාදී කණ්ඩායමේ වගකීම බවට පත්වෙන්නේ. අපි ඒ වගකීම අතහැරලා නෑ.


ප්‍ර:ඔබ එහෙම කිව්වට රට තිබුණ තත්ත්වයෙන් ගොඩගත්තේ ජනාධිපති රනිල්. ඔහු වැඩ්ඩෙක් නොවෙයිද?


පිළිතුර:- පැහැදිළිවම මේ වැඩේ ගොඩ දාලා නොවෙයි තියෙන්නේ. මේ තියෙන්නේ අපායේ ඉන්ටවල් එක. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ඒකෙන් අපට නිශ්කාශන හමුවුණා. ඒ අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේම ගිනි පොලියට ණය අරගෙන තියෙනවා. ඒ අනුව ඩොලර් ටිකක් රටට ආවා. ඒ වගේම අපේ රටේ විශාල බුද්ධිගලනයක් වෙනවා. ඒ අය දැන් රටට ඩොලර් එවන්න පටන් අරගෙන තියෙනවා. මාසිකව ඩොලර් බිලියන 415 ක් විතර රටට එනවා. ඒවා සහ ණයට ගන්න ඩොලර් ටික මොනවටද රනිල් රාජපක්ෂ ආණ්ඩුව යොදවන්නේ.


ප්‍ර:අද ගෑස් තියෙනවා. ඉන්ධන තියෙනවා. ලයිට් කපන්නේ නෑ.


පිළිතුර:- ඔව්. එහෙම තිබුණට ආණ්ඩුව මොකක්ද කරමින් ඉන්නේ? බිත්තර ගේන්න ඒ ඩොලර් ටික ඉන්දියාවට වියදම් කරනවා. අල, ලූනු, මිරිස්. කරවල ගේන්න වියදම් කරලා පාකිස්තානයේ ගොවියා පොහොසත් කරනවා. හඳුන්කූරට ඕනෑ කරන බටලීය දුම් කුඩු ටික ඉන්දියාවෙන් ගෙනල්ලා ඒ ව්‍යාපාරිකයො පොහොසත් කරවනවා. හැබැයි ලංකාවේ ව්‍යාපාරිකයාට සියයට 30 ට 35 ට ණය අරගෙන කර්මාන්ත කරන්න කියලා කියනවා. මෙහෙම රටකට යන්න පුළුවන්ද?


බුද්ධිගලනය හරහා රටේ මානව සම්පත් ටික අහිමි වෙනවා. හැබැයි ඩොලර් එනවා කියලා ආණ්ඩුව ඇස් කන් පියාගෙන ඉන්නවා. ඒ එන ඩොලර් ටික යොදවන්නේ මොකටද? ඉන්දියාවේ ගොවියා, ව්‍යාපාරිකයා, පාකිස්තානයේ ව්‍යාපාරිකයා, චීනයේ ගොවියා නිෂ්පාදකයා, යුරෝපයේ නිෂ්පාදකයා, ජපානයේ නිෂ්පාදකයා පෝෂණය කරන්න තමයි මේවා යොදවන්නේ.


ප්‍ර:රට තිබුණ තත්ත්වය හැටියට වෙන මොකක්ද කරන්න පුළුවන් කියලා අහන අයත් ඉන්නවා?


පිළිතුර:- නමුත් කරන්න තියෙන දේ තමයි ඒ ඩොලර් ටික පාවිච්චි කරලා ආනයන, ආදේශන කර්මාන්තවලට යන එක හා අපනයන අභිමුඛ කර්මාන්ත පෝෂණය කරලා ඒ අය ගැන අවධානය යොමුකරලා ඒ ක්ෂේත්‍ර පෝෂණය කරලා ආර්ථික ප්‍රසාරණයක් කරන එක. ඒ හරහා ජාතික නිෂ්පාදනය වැඩිවෙලා ඩොලර් උත්පාදනය කරන ප්‍රවාහයකට රට යොමු කිරීමයි කළ යුත්තේ.  නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම සැලැස්මක් දැක්මක් ආණ්ඩුවට නෑ. ඉතින් එහෙම කොහොමද ආර්ථිකය ශක්තිමත් කරන්නේ. හැමදාම ණයට අරගෙන මේ විදියට යන්න පුළුවන්ද? මේ ආණ්ඩුව කුඩ්ඩගේ චරිතයට තමයි පණ පොවන්නේ. තියෙන දේවල් විකුණලා කුඩු ගහනවා වගේ තමයි මේ කරන්නේ. පෝලිම් ටික නැති කරලා ජීවිතවලින් වන්දි ගෙවන්නයි වෙලා තියෙන්නේ.  ඒක තේරුම් යන දවසට පරක්කු වැඩියි.


ප්‍ර:2048 වෙනකොට රට ගොඩදානවා කියලා ජනාධිපති රනිල් කියනවා. ඒ කියන්නේ ඔහු  ඉන්නේ සැලැස්මක් ඇතිව වැඩපිළිවෙළක් ඇතුළේ?


පිළිතුර:- ඒක සුරංගනා කතාවක්. මේ රට සංවර්ධනය කරන්න 2048 වෙනකම් ඉන්න ඕන නෑ. අවුරුදු හතරකදී බොහොම පහසුවෙන් මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්.


ප්‍ර:ඔබ කියන්නෙත් සුරංගනා  කතාවක්.


පිළිතුර:- නෑ. ස්වයං ආර්ථිකයකින් ණය ගෙවාගෙන යා හැකි රටක් හදන්න තව අවුරුදු හයයි ඕනෑ. එතකොට සම්පූර්ණ අවුරුදු 10 ක සර්වග්‍රාහී ආර්ථික සැලැස්මකින් රට හදන්න පුළුවන්. අපි ඒකට සූදානම් නැතිකමයි තියෙන්නේ. අපිට ඒකට වැඩපිළිවෙළක් නෑ. අපි ගමු අපේ මුහුද. අපේ මුහුදෙ තියෙන කිසිම සම්පතකින් වැඩගන්න අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් නෑ. ඒ කියන්නේ අපට ‘බ්ලූ ඉකොනොමික්’ එකක් නෑ. ලංකාව පහුකරලා දවසකට නැව් හාරසියයක් යනවා. ඒ නැව්වලට එක වතුර බෝතලය ගානේ දීලා අපට කීයක් හම්බ කරන්න පුළුවන්ද? එහෙම දෙයක් ගැන කතා කරන්නෙවත් නෑ. දැන් මේ තියෙන අර්බුදකාරී තත්ත්වයට සැලසුම් සකස් කිරීමේ අමාත්‍යාංශයක හැදිලා උගතුන් බුද්ධිමතුන් එකතුවෙලා සියලු දෙනා එකතුවෙලා සාකච්ඡා කරලා වෙනස් නොවන ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් අවුරුදු 10 ක් 12 ක් ක්‍රියාත්මක කරන්න ඕනැ. දැන් එහෙම එකක් නෑ. අරගලයෙ තිබුණ ප්ලෑන් ‘ඒ’ අසාර්ථක වෙලා ප්ලෑන් ‘බී’ එකේ ප්‍රතිඵලයක් හැටියටයි මෙතුමා ජනාධිපති වෙන්නේ. එතකොට මෙතුමගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ බටහිර තෘප්තිමත් වෙන විදියට මේ රටේ ආර්ථිකය හසුරුවන්නයි. ඒක තමයි මේ කරමින් ඉන්නේ. ඒ නිසා තමයි රටේ සියලු සම්පත් විකුණමින් යන්නේ. අවුරුදු දෙක තුනක් සහනදායි තත්ත්වයක් ඇතිකිරීම විතරයි එතුමගේ සැලැස්ම. ඊට වඩා වැඩි යමක් නෑ. තාවකාලික සන්තර්පනය තුළින් ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි එතුමගේ ප්ලෑන් එක. ජනාධිපතිවරණය එතුමා ජයග්‍රහණය කළොත් මොකක්ද කරන්න යන්නේ කියන එක පේනවා මේ ගේන්න යන අණ පනත් දිහා බැලුවම.


ප්‍ර:එහෙම නම් මොකක්ද විකල්පය?


පිළිතුර:- ලෝකයේ ස්ථාවර ආර්ථිකයක් තියෙන ඕනෑම රටක් අධ්‍යයනය කරලා බැලුවොත් අපි කියන ආර්ථික ක්‍රමයෙන් තමයි ඒ ස්ථාවර බව ඇති කරගෙන තියෙන්නේ. ඒක ඇමෙරිකාව වෙන්න පුළුවන්. යුරෝපය වෙන්න පුළුවන්. ජපානය, මැලේසියාව, සිංගප්පූරුව වෙන්න පුළුවන්. අසල්වැසි ඉන්දියාව වෙන්න පුළුවන්. ඉන්දියාව අනුගමනය කරන්නේ අපි මේ කියන ආර්ථික ප්‍රතිපත්තියයි. අපි කියන ආර්ථික ප්‍රතිපත්තිය ලෝකයේ සැබෑවක් වුණු යථාර්ථයක් වුණු, ඒ ක්‍රමය පාවිච්චි කරලා ආර්ථිකය ගොඩ නගාගෙන රටවල් දියුණු වුණ ප්‍රතිපත්තියක්. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කතා කරන හා අද ක්‍රියාත්මක කරන ආර්ථික මොඩලය එහෙම් පිටින්ම සුරංගනා මොඩලයක්. අපේ අතේ සතේ නෑ. අපි කිසිම ධනයක් නිෂ්පාදනය කරන්නේ නෑ. ආර්ථිකය තුළ ධන උත්පාදන ව්‍යාපෘති නෑ. හැබැයි ලෝකෙන් ණයට අරගෙන ඒ මුදල්වලින් පරිභෝජනය කරන දේවල් ගෙනල්ලා කාලා බීලා ඉඳීමේ ආර්ථික මොඩලයක් තියෙන්නේ.


ප්‍ර:ඔබලාට තියෙන්නේ දේශපාලන විවේචනයක්?


පිළිතුර:- නෑ. ඒක මේ අපි විතරක් කියන කතාවක් නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දීලා තියෙන පැකේජය ලොවට හෙළි වුණාට පස්සේ ලෝකයේ ඉන්න ප්‍රධාන පෙළේ ආර්ථික විශේෂඥයෝ 180 ක් මේ ලෝක ආර්ථික අර්බුදය ගැන අධ්‍ය්‍යනය කළා. ඒ අය ලංකාව ගැන විශේෂ ලියැවිල්ලක් නිකුත් කළා. ඒකේ තියෙනවා ‘අයි එම් එෆ් එක ලංකාවට දීලා තියෙන හා ලංකාව එකඟවෙලා තියෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් කෙටි කාලීනව සහනයක් ලැබෙනවා. ඒක වසරක් දෙකක් තියේවි. හැබැයි ඉන් පසුව එන ආර්ථික අර්බුදය, අර්බුදයක් නොවෙයි ඒක ආර්ථික ව්‍යසනයක්. ආයෙ කීයටවත් ගොඩ එන්න බැරි තැනකට ලංකාවේ ආර්ථිකය පත්වෙනවා.’ කියලා. මේක ලෝක ආර්ථික විශේෂඥයන් කියන දෙයක්. මේ කියන කටුක යථාර්ථය තමයි අපි මුහුණ දීලා ඉන්නේ. මේ ව්‍යසනයෙන් රට මුදාගැනීමේ අත්හළ නොහැකි වගකීමක් අප සියලු දෙනාටම තියෙනවා.

 

 

 

සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව
තෙන්නකෝන්