මේ කුණු ප්‍රශ්නය එක පක්ෂයකට අයිති එකක් නොවෙයි


 

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා ගියේය. රටම වියවුලෙනි. හැම තැනම සටන් බිම්ය. මේ ඒ සම්බන්ධයෙන් මහා මාර්ග සහ උසස්  අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය: මීතොටමුල්ල කුණු කන්දට අයිතිකාරයෝ ගොඩක් හිටියට විපතට වගකියන්න  කෙනෙක් නෑ. 
පිළිතුර:
ඇත්ත වශයෙන්ම මේ කුණු කන්ද අද ඊයේ පටන් ගත් එකක් නොවෙයි. අවුරුදු 25ක් විතර පරණයි මේ කුණු කසළ. බලයට පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම කුණු දාන්න මෙතැන පාවිච්චි කළා. කලින් ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් මේකට වගකියන්න ඕනෑ. මේක ජාතික ප්‍රශ්නයක්නේ.  පක්ෂයකට අයිති එකක් නොවෙයි. 

 


ප්‍රශ්නය: මිනිස් ජීවිත සම්බන්ධයෙන් ආණ්ඩුවක වගකීම නේද මේ විපතෙන් පෙන්නුම් කරන්නේ? 
පිළිතුර:
මට තියෙන තොරතුරුවලට අනුව ඔය අවදානම් පවුල්වලට වන්දි දීලා ඉවත් වෙන්න කියල තියෙනවා. නමුත් පවුල් 8යි ඉවත් වෙලා තියෙන්නේ. එහෙම බැලුවම මේ දෙගොල්ලොම මේ ඛේදවාචකයට දායකත්වය ලබා දීලා  තියෙනවා. 


ප්‍රශ්නය: අලුත් ව්‍යවස්ථා හදන්න ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න තියෙන උනන්දුව මිනිස් ජීවිත ආරක්ෂා කර ගන්න ආණ්ඩුවට නෑ නේද?
පිළිතුර:
එහෙම කියන්න බෑ. මොකද ඇත්ත වශයෙන්ම  ඔය මීතොටමුල්ල  එක ප්‍රශ්නයක් විතරයිනේ.  නමුත් අපේ රජය බලයට පත් වුණාට පස්සේ මිනිස් ජීවිත ගැන විශාල හැඟීමකින් කටයුතු කරල තියෙනවා.  උදාහරණයක් වශයෙන් පසුගිය රජය කාලේ කොච්චර අතුරුදන්වීම් වුණාද? ඒවා නිරන්තරයෙන්ම සිද්ධ වුනාණේ.  අද ඒ වගේ අතුරුදන් වීම් නෑ. අපි   නීතියේ උත්තරීභාවය  සුරක්ෂිත කර තියෙනවා. යහපාලනයක්   ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ උතුරු නැගෙනහිර අවතැන්වූ පවුල්වලින් සියයට 60ක් ඔවුන්ගේ මුල් ගම්බිම්වලම පදිංචි කරලා තියෙනවා. ඉතින් මිනිස් ජීවිත ගැන අපි හැඟීමකින්  කටයුතු කරනවා කියලා ඒකෙන්ම පේනවා. 

 


ප්‍රශ්නය: මීතොටමුල්ල සිද්ධයේදී වුණත් ආණ්ඩුවේ අයම විවිධ කතා කියනවා. ඒකමතිකත්වයක නෑ. මේ හැම ප්‍රශ්නයකටම මුල ඒක නේද? 
පිළිතුර:
නෑ ඉතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලන ආණ්ඩුවට ප්‍රධාන දායකත්වය  දුන්නේ  එක්සත් ජාතික පක්ෂයෙන්. නමුත් පළාත් සභා තියෙන්නේ බොහොමයක් මැතිවරණවලදී  ආණ්ඩුවට විරුද්ධව වැඩ කරපු අය අතේ. ඉතින් මෙහෙම වුණාම  පළාත් සභා හා ආණ්ඩුව  කණ්ඩායම්  දෙකකට අයත් වුණාම සහයෝගයෙන් වැඩ කරන්න ඕන. ඒක තේරුම් ගන්න  ඕන. පළාත් සභාවලටත් හුඟක් බලතල  තියෙනවා. මධ්‍යම  ආණ්ඩුවට වඩා පළාත් සභාවලට  ඉඩම් සම්බන්ධයෙන් හුඟාක් බලතල තියෙනවා. ඒ නිසා ඉතින් මධ්‍යම  ආණ්ඩුවේ ඇමැතිවරුන් පළාත් සභාවල ඇමැතිවරුන් සහයෝගයෙන් වැඩ කරන්න ඕනෑ. ඉන්දියාවේ ඕක තියෙනවා. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට  ප්‍රාන්ත කිහිපයකම බලය නෑ. ඒ නිසා ඒ ප්‍රාන්ත සමග සහයෝගයෙන් වැඩ කරන්න මධ්‍යම ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැතිනම් සංවර්ධනයක් ඇති කරන්න බෑ. උදාහරණයක් වශයෙන් මට අවශ්‍ය වුණා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්  නුවර ආරම්භ කරන්න මට ඉඩමක් අවශ්‍ය වුණා. ඉතින් මධ්‍යම පළාතේ මහ ඇමැතිතුමත් එක්ක කතාකරලා මම ඒක ලබා ගත්තා. එතුමාට ඕනනම් ඉඩම නොදී ඉන්න තිබුණා. නමුත් අපි සහයෝගයෙන් ඒ ප්‍රශ්නය විසඳා ගත්තා. එහෙම සහයෝගයෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. බොහෝ තැන්වල මහ ඇමැතිවරුන්ගේ ප්‍රමිතියක් නෑ.  

 


ප්‍රශ්නය:  ප්‍රමිතියක් නෑ කිව්වේ?
පිළිතුර:
ඇත්ත වශයෙන්ම හුඟ දෙනෙක් මහ ඇමැතිවරු වෙලා තියෙන්නේ මහ ඇමැතිකමට පත් වෙච්ච අය  පාර්ලිමේන්තුවට  ගිය හින්දනේ. ඇත්ත වශයෙන්ම මහ ඇමැතිකමට පත්වෙච්ච අය පාර්ලිමේන්තු ගිය නිසා නිකම් අය පත් වුණා. ඉතින් ප්‍රමිතියක් නෑ. 

 


ප්‍රශ්නය: ඔබ ඔය කියන්නේ  බස්නාහිර පළාත් සභාව ගැනද? 
පිළිතුර:
මම කියන්නේ ඉතින් ඒගොල්ලන්ගේ  කතා විලාසය දැක්කම කියන්න පුළුවන් ප්‍රමිතිය හුඟාක් අඩුයි කියලා. අන්‍යොන්‍ය සහයෝගයෙන් වැඩකරන්න දෙපැත්තම දැනගන්න ඕනෑ. 

 


ප්‍රශ්නය: මේ ආණ්ඩුවේ  ප්‍රශ්නය එහෙම වැඩ නොකෙරෙන එක නේද? 
පිළිතුර:
සමහර පළාත්වල වෙනවා. දැන් මධ්‍යම පළාතේ අපි කටයුතු කරගෙන යන්නේ.

 


ප්‍රශ්නය: අනතුරුදායක තැන්වලින් යන්න කිව්වම මිනිස්සු නොයන්නේ වන්දි දීම ආදිය ගැන මිනිසුන්ට බලවත් අවිශ්වාසයක් තියෙන  නිසා. සාමසර කන්ද, සලාව  අවි ගබඩාව පුපුරායාම උදාහරණ?
පිළිතුර:
ඒ වගේ දේවල් නිසා නෙවෙයි. මීතොටමුල්ල  ගත්තොත් මෙතැන ලොකු ව්‍යාපාරයකුත් තිබුණනේ. ලොරියක් ඇතුළට එනකොට  1500ක් දෙන්න ඕනෑ. යනකොට 1000ක් දෙන්න ඕනෑ. ඒ විධියට කුණු කන්ද ඇතුළෙන් ලොකු ව්‍යාපාරයක්  ගියා. ඒ පළාතේ අයත් ඒකට සම්බන්ධයි. 

 


ප්‍රශ්නය: අන්තිමට මියගිය පුරවැසියකුට රුපියල් ලක්ෂයක් දීලා ආණ්ඩුව අතපිහිදා ගත්තා.? 
පිළිතුර:
ඒක වැරදියි. ලක්ෂය දුන්නේ රක්ෂණයෙන්. ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිවම කිව්වා විනාශ වෙච්ච සෑම නිවෙසකටම සමාන වන්දියක් දෙනවා කියලා. ඒ වගේම මියගිය අයට දිය යුතු වන්දිය ගැන දැන් සාකච්ඡා කරමින් යනවා. ඒ නිසා අපි වගකීමෙන් මේ කටයුත්තට මැදිහත් වෙනවා. 

 


ප්‍රශ්නය: මීතොටමුල්ල කුණු කන්දට සයිටම්  එකත් වැහිලා ගියා. 
පිළිතුර:
සයිටම්  එකේදී  ඇත්ත වශයෙන්ම සයිටම් එක පිළිගත්තා කියලා අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ පටන්  ගත්තේ. ළමයි අවසාන විභාගයෙන් සමත් වුණේ අපේ ආණ්ඩුව කාලේ. ඒ ළමයි  ලියාපදිංචිය ඉල්ලුවා. වෛද්‍ය සභාවෙන් ඒක දුන්නේ නෑ. එතකොට තමයි ළමයි උසාවි ගියේ. දැන් උසාවි තීන්දුවක් දීලා  තියෙනවා. 

 


ප්‍රශ්නය: නමුත් වෛද්‍ය සභාවෙන් අභියාචනයක් ඉදිරිපත්  කරලා තියෙනවා.
පිළිතුර:
ඕව්.  ඒ අතරතුර  අපිත් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා.  හැබැයි මෙතැනදී  කියන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ වෘත්තීය සමිතියක් විතරයි. ඒකට වෛද්‍ය අධ්‍යාපනය ගැන කිසිම වගකීමක් නෑ. ඒගොල්ලො මේ නැති බලයක් ආරෝපණය කරගෙන ඉන්නේ.  සයිටම් නඩුවේදී පළමු වගඋත්තරකරුවන් තමයි වෛද්‍ය සභාව. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගතඋත්තරකාරයෙක් කරන්න කියලා ඉල්ලුවා. නමුත් උසාවිය  කිව්වා ඒ අයට එහෙම අයිතියක් නෑ කියලා. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම  තියෙන්නේ වෛද්‍ය  සභාවට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිසමට.  අපි වෛද්‍ය සභාවට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. සයිටම් ආයතනයේ ප්‍රමිතිය ආරක්ෂා වෙන අතරම ඉදිරියේදී රජයේ නොවන උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කරන්න මේ හරහා පුළුවන් වෙනවා. විශ්වවිද්‍යාල ගණනාවක් මේ රටට එන්න ඉන්නවා  සයිටම්  තීන්දුව අනුව. 

 


ප්‍රශ්නය: සටන ඇරැඹුණේ සයිටම් එක අහෝසි කරන්න. ඔබ කියනවා නෙවිල් ප්‍රනාන්දු  රෝහල රජයට පවරා ගන්නවා කියලා. ඒක කොහොමද මේකට විසඳුමක් වෙන්නේ? 
පිළිතුර:
සයිටම් එක අපිට අහෝසි කරන්න බෑනේ. නඩු තීන්දුවක් තියෙනවා. සයිටම් එක  පිළිගන්න කියලා.  ආණ්ඩුවට ඕනෑ වුණත් සයිටම් එක අහෝසි කරන්න ආණ්ඩුවට බෑ. ඒ නිසා පවරා ගැනීම හැර අනිත් ඔක්කොම අපි කරලා  තියෙනවා. 

 


ප්‍රශ්නය: මොනවද කරලා තියෙන්නේ?
පිළිතුර:
මුලින්ම කිව්වනේ සයිටම් එකේ ප්‍රමිතියක් නෑ කියලා. ඇත්ත වශයෙන්ම සයිටම් එකේ ළමයින්ට ලැබුණු නඩු තීන්දුව අනුව දැන් ඔය ඉන්න විදියටම වෛද්‍ය සභාව  ලියාපදිංචි කරන්න වෙනවා. නමුත් ළමයි  කැමැත්තෙන්ම අපේ යෝජනාවලට අනුව තවත් විභාගයකට පෙනී ඉන්නවා කියලා. සායනික පුහුණුව  මදියි කිව්වනේ. ළමයි කිව්වා තව මාස කිහිපයක් සායනික පුහුණුව රජයේ රෝහලක කරනව කියලා.  ස්පිරිතාලයේ ලෙඞ්ඩු හා  කිව්වනේ. නෙවිල් ප්‍රනාන්දු කිව්වනේ ස්පිරිතාලය ආණ්ඩුවට බාර දෙන්නම් කියලා. චෝදනා කරපු අයගේ සැකසංකාවලට අපි උත්තර දීලා තියෙනවා. 

 


ප්‍රශ්නය: නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට  පවරා ගැනීම මේකට උත්තරයක් වෙන්නේ කොහොමද? 
පිළිතුර:
මේගොල්ලෝ  කියන්නේ රෝහලේ ලෙඞ්ඩු නෑ කියලනේ. රජයට පවරා ගත්තාම මේක රජයේ රෝහලක් වෙනවා. එතකොට ලෙඞ්ඩු එක දිගට එන්න පටන් ගන්නවා. 

 


ප්‍රශ්නය: කවද්ද නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නේ? 
පිළිතුර:
ඉතාම ඉක්මනින්ම වෙනවා. සෞඛ්‍ය ඇමැතිතුමා සාකච්ඡා  වට ගනණාවක් පැවැත්වූවා. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයත් එක්ක. මොකද  පඩිගෙවන්න එපැයි. රජයට පවරා ගත්තාම පඩි ගෙවන්න ඕනෑ. ඒවා ඔක්කොම   දැන් සාකච්ඡා කරගෙන යනවා.

 

 
ප්‍රශ්නය: තව මොනවද එන්න තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාල. 
පිළිතුර:
මනිපායි විශ්වවිද්‍යාලය එන්න කැමැත්ත  ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒ අයත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මම මේ ළඟදී ඉන්දියාවේ ගියා විශ්වවිද්‍යාලයක් විවෘත කරන්න. ඒ අයත් ලංකාවට එන්න කැමැතියි. මොනෑෂ් විශ්වවිද්‍යාල ලංකාවට එන්න කැමැත්ත පළ කරලා තියෙනවා. අවුරුද්දකට අපේ ළමයි හැත්තෑ පන්දහසක් විතර රට යනවා අධ්‍යාපනය සඳහා. හරි අවුරුද්දට මිලියන 9000 ත් 10,000ක් යනවා. ඒ මුදල්  ඔක්කොම අපිට ඉතිරි කර ගන්න පුළුවන්. අපේ කථිකාචාර්යවරුන්ටත්  අතිරේක  ආදායමක් ඒ නිසා ලැබෙනවා. 

 


ප්‍රශ්නය: අධ්‍යාපනය මුදලට  විකුණන අතරේ  මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය වළලන්න කටයුතු කරනවා  කියලත් චෝදනාවක් තියෙනවා. 
පිළිතුර:
නිදහස් අධ්‍යාපනය ආරම්භ කළේ එක්සත් ජතික පක්ෂය.  ඒ නිසා නිදහස් අධ්‍යාපනය  කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. පසුගිය අවුරුදු දෙක තුළ අපි විශ්වවිද්‍යාලවලට අවශ්‍ය සියලු දේම ලබා දීලා තියෙනවා. ශිෂ්‍ය දීමනා වැඩි කරලා තියෙනවා. ලැප්ටොප් දීලා තියෙනවා. 2018  වෙනකොට  සරසවි ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳනවා. රජයේ වෛද්‍ය විද්‍යාල දෙකක් ආරම්භ කරනවා. 

 


ප්‍රශ්නය: උසස් පෙළ සමතුන්ට බාහිර උපාධියක් හැදෑරීමේ අවස්ථාව තිබුණා. නමුත් දැන් ඒකටත් විවිධ  බාධා කිරීම්  කරනවා 
පිළිතුර:
නෑ නෑ එහෙම කරන්නේ නෑ. නමුත් මෙතැන තියෙන්නේ ළමයි ලියාපදිංචි වෙලා. ඔයා  දන්නවද කැලණියේ විතරක් අසූපන්දහසක් ලියාපදිංචිවෙලා ඉන්නවා. නමුත් ඒ හැමෝම විභාග අවසන්  කරන්නේ  නෑ. සමහරු අවුරුදු 10-15 ඉන්නවා. එහෙම ශිෂ්‍යයන් ලියාපදිංචි කරගෙන ඉන්න එක විශ්වවිද්‍යාලවලට බරක්. 

 


ප්‍රශ්නය: එහෙම බරක් වෙන්නේ කොහොමද? ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලට සල්ලි ගෙවනවනේ. 
පිළිතුර:
ඒ වුණාට බරක්නේ. සංඛ්‍යා ලේඛන  තියාගන්න ඕන. දත්ත තියා ගන්න ඕන. මේවා විශ්වවිද්‍යාලවලට බරක්. අනිත් එක ඔය  අපි කියන්නේ නෑ බාහිර උපාධිය අනවශ්‍යයි කියලා. නමුත් රටට අවශ්‍ය උපාධිධාරීන් බිහි කරන්න ඕන. අපි පිළිගන්න  එපැයි රටේ කලා උපාධිධාරීන් වැඩියි. අද රැකියා පෝලිම ගත්තත් රැකියා පෝලිමේ සියයට 50ක් විතර ඉන්නේ බාහිර උපධිධාරීන්. ඒ අය විශ්වවිද්‍යාල  පරිසරයක ජීවත් වෙලා නෑ. ඒගොල්ලෝ  පංතිවලට යනවා. විභාග ලියනවා. උපාධිධාරියකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඔවුන් දන්නේ නෑ. 

 


ප්‍රශ්නය: මෙතැන තියෙන ඇත්ත  ප්‍රශ්නය උපාධිධාරීන් ආණ්ඩුවට බරක්වීමයි. 
පිළිතුර:
නෑ නෑ උපාධිධාරීන් බිහිවීම  ආණ්ඩුවට බරක් නොවෙයි. රටට අවශ්‍ය උපාධිධාරීන් බිහිකිරීමයි. අපේ අරමුණ. ඇත්තටම කලා උපාධිධාරීන් රටට වැඩියි. 

 


ප්‍රශ්නය: නමුත් එය ඔවුන්ගේ අයිතිය
පිළිතුර:
ඔව්. ඔවුන්ගේ පැත්තෙන් ඒක හරි. නමුත් අපි කල්පනා කරන්නේ ආණ්ඩුවක්  හැටියටයි.  

 


ප්‍රශ්නය:  දැන් පාසල් නිල ඇඳුම වෙනස් කිරීමේ යෝජනාවක් ඇවිත් තියෙනවා. ඔබ එකඟද?
පිළිතුර:
ඒ කියන්නේ?

 


ප්‍රශ්නය: කැමති ඇඳුමකින් සැරසී  පාසල් එන්න පුළුවන් කියලා කියනවා. 
පිළිතුර:
ඒක ඉතින් නිදහස. නිදහස මත පදනම් වෙච්ච තීරණයක්. ඒ තීරණයට අපි ගරු කරන්න  ඕනෑ.  

 


ප්‍රශ්නය: ඔබේ විරෝධයක් නෑ. 
පිළිතුර:
 එහෙම ගේනවා නම් මගේ විරුද්ධත්වයක් නෑ. දැන් පිරටවල එහෙමනේ. බොහෝ පිටරට  පාසල්වල ළමයින්ට යුනිෆෝම් නෑ. 

 


ප්‍රශ්නය: නමුත් මේක ලංකාව? 
පිළිතුර:
අලුත් අත්හදා බැලීම්වලට යා යුතුයි. 

 


ප්‍රශ්නය: රජයේ ඉඩමක් ඔබ බලෙන් අත්පත් කරගෙන තියෙනවා කියලා  චෝදනාවක්  තියෙනවා. 
පිළිතුර:
පට්ටපල් බොරුවක්. ඔය කියන්නේ බලන්ගොඩ රාස්සගල වත්ත ගැනයි. ඔය වත්ත මගේ නෝනාගේ මුත්තට ඒ  කියන්නේ මහවලතැන්නේ රටේ මහත්තයාට අයිතියි. ඒක අනූනව අවුරුද්දකට දීලා තිබුණා. අනූ ගණන්වල බද්ද අවසන් වුණා. එතකොට මගේ නෝනටයි එයාගේ සහෝදරයටයි අක්කර පනහක්  එන්න ඕනෑ. නමුත් ඒ කාලේ තිබ්බ ආණ්ඩුවෙන් දුන්නේ නෑ. ඊට පස්සේ අපි නඩු දැම්මා.  අධිකරණයෙන් කිව්වා එක්කෝ  ඒ ඉඩම  දෙන්න. එහෙම නැතිනම් විකල්ප ඉඩමක් දෙන්න කියලා. ඒ අනුව  තමයි මේක හම්බ වුණේ.  රාස්සගල වත්ත අක්කර 1500ක වත්තක්.  අනික් එක මම මතක් කරන්න ඕන ඇත්ත වශයෙන්ම අපිට කාටවත් අනුන්ගේ ඉඩම් අවශ්‍ය නෑ. මහවලතැන්න රටේ මහත්තයාට අක්කර තිස්දහසක් තිබුණා. අපේ පවුලේ ආදි පුරුෂයා ගත්තොත් අපට වෑවිල හා දෙහිපෙ අපට අක්කර පන්දහසක් විතර නින්දගම් තිබුණා. 1974 වෙනකම්ම ඒව අපිට තියෙනවා. ඒ විදියට අපිට පරම්පරාවෙන් ඉඩම් ලැබිලා තියෙනවා. මමයි මගේ නෝන මහත්තයයි අවුරුදු 25ක් අධිකරණයේ වැඩකරලා තියනවා. සමහර අවුරුදුවල ලක්‍ෂ 25 ආදායම්  බදු ගෙවලා තියෙනවා. අපේ දරුවන්ට මම  ඉතිරි  කරලා තියනවා මිලියන 1500ක වත්කම්. ඒ නිසා අපට අනුන්ගේ ඉඩම් අවශ්‍ය නෑ. ඒක බොරු චෝදනාවක්.

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්