මේ වගේ කැබිනට් මණ්ඩලයක මම මීට පෙර ඉඳලා නෑ


 

මේ වගේ කැබිනට් මණ්ඩලයක නම් මම මීට පෙර ඉඳලා නෑ යනුවෙන් කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මෙම සාකච්ඡාව අතර මඟදී කීවේය. අමාත්‍යවරයා එසේ කීවේ ඇයි? මේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දිගින් දිගටම විමසමින් කළ සාකච්ඡාවකි.


● ප්‍රශ්නය- ඔබට අනුව වැඩිම සෙනඟ ගැටඹේද? ගොල්ෆේස්ද?
● පිළිතුර-
මම නම් ගියේ නුවර ගැටඹේ. එහෙ හිටියා විශාල ජනතාවක්. මම දැක්කේ එච්චරයි. පින්තූරනම් දැක්කා. පින්තූරවලින් ගැටඹේත් සෙනඟ ඉන්න බව පේනවා. ගෝල්ෆේස්වලත් සෙනඟ ඉන්න බව පේනවා.

 


● ප්‍රශ්නය- ඇන ගනී කියලා හිතලා ගෝල්ෆේස් දුන්නත් ගොඩ ගියා කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ?
● පිළිතුර-
ඒක ඉතින් මම දන්නේ නෑ. නමුත් පිට්ටනියක් දීමේදී හැමදාම තිබුණේ අර්බුද. ඒකාබද්ධ විපක්ෂය මේ පාර පිට්ටනි තෝරා ගන්නා වෙලාවේ ගෝල්ෆේස් එක ඒකාබද්ධ විපක්ෂයට දීලා තියෙනවා. ඇනගන්න දුන්නද කියලානම් මම දන්නේ නෑ,

 


● ප්‍රශ්නය- ගෝල්ෆේස් එකෙන් ලොකු පණිවිඩයක් දුන්න කියලා කියනවා. ඔබත් එහෙම හිතනවාද?
● පිළිතුර-
ඒක තමයි මම කිව්වේ ගෝල්ෆේස් එකටත් විශාල සෙනඟක් ආවා. ඒ වගේම ගැටඹේටත් සෙනඟ ආවා. ඒ ආපු ජනතාව දුන්න පණිවිඩය තමයි මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනෑ කියන එක. 

 


● ප්‍රශ්නය- මැයි රැලිවලදී කතා නොකළෙම කම්කරුවා ගැනනේ. ඒ නිසා මගේ ප්‍රශ්නය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයට අදාළව මොනවහරි පණිවිඩයක් තිබුණාද කියලයි.
● පිළිතුර-
ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ කණ්ඩායම් දෙක එකතු කරගන්නයි. මේ කණ්ඩායම් දෙක එකතු කෙරිල්ලෙදී එක කණ්ඩායමක කොන්දේසිවලට අනික් කණ්ඩායම එකඟ වෙන්න ඕනෑ කියලා කොන්දේසියක් දැම්මොත් මේ දෙක එකතු කරන්න බැහැ. ඒ නිසා කණ්ඩායම් දෙකේම ඉදිරිපස ඉන්න කොටස් කල්පනා කරන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පනස් ලක්ෂයකට වැඩි සාමාජිකයන් පිරිසක් ඉන්නවා. එතකොට ඒ ජනතාවගේ අනාගතය වෙනුවෙන්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි මේ බෙදීම නවත්වලා අපි එකතු වෙන්න ඕනෑ කියලා. ඒ පණිවිඩය ඉතින් කාගෙත් හිතේ තියෙනවා. ඉතින් මම නම් මගේ කතාවේදී ඒක කිව්වා. මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හිටියා ලබන පාර එක මැයි රැලියක් කරමු මේ කණ්ඩායම් දෙකම එකට එකතු කරලා කියලා. ඒ සඳහා කටයුතු කළ යුතුයි කියලත් මම කිව්වා. ඒ නිසා හැමෝම වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි.

 


● ප්‍රශ්නය- ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ “ඇමතිකම් දාලා එළියට එන්න” කියලයි.
● පිළිතුර-
ඒක ඉතින් ඔවුන්ගේ ඉල්ලීමක්නේ. නමුත් යම් යම් පරමාර්ථවලට යටත්වනෙ මේ ඇමතිකම් දරන්නේ. රටක වගකිවයුතු දේශපාලන පක්ෂයක් වශයෙන් රටට අයාලේ යන්න දෙන්න බැහැනේ. මැතිවරණ ප්‍රතිඵල අනුව කාටවත් තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බෑනේ. ඒ නිසා ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ වුණේ. එහෙම ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණෙන් තමයි එකතු වුණේ. එහෙම එකතු වෙලා යම්කිසි වැඩ කොටසක් කළා.

 


● ප්‍රශ්නය- ආණ්ඩුවට ඇවිත් කරපු වැඩ ගැන සතුටුයිද?
● පිළිතුර-
සාර්ථක වෙන්නත් පුළුවන්. අසාර්ථක වෙන්නත් පුළුවන්. කම්කරු ඇමති වශයෙන් කම්කරුවා වෙනුවෙන් මම සෑහෙන වැඩ කොටසක් කළා. පඩි වැඩි කළා. අවම වැටුප නියම කළා. ඔය දැන් ප්‍රකාශයට පත් කරපු නිවාඩු ක්‍රමය ලබා දෙනවා. ඒ වගේ යම් යම් දේවල් කළා පුළුවන් විදියට. කොහොම වුණත් ඇමතිකම් නම් දාලා එන්න පුළුවන්. නමුත් ඇමතිකම් දාලා ඇවිල්ලා අපි මේ පක්ෂය ගොඩනගන්නේ කොහොමද කියලා තීන්දු කරන්න ඕනෑ. ඉස්සෙල්ලාම පක්ෂය සමගි කරන්න ඕනෑ. ඒකට අවශ්‍ය අඩිතාලම දාගන්න ඕනෑ කියන එකයි මගේ අදහස. එතකොට ඇමතිකම් අතහැරලා එන අය එයි. ඒ වගේම පක්ෂය ගැන හැඟීමක් නැතිව ඇමතිකම් ලොකු කරගත්ත අය නතර වෙයි. 

 


● ප්‍රශ්නය- ඒ කියන්නේ ඇමතිකම් ලොකුකර ගත්ත අයත් ඉන්නවා. 
● පිළිතුර-
ඔව්. වෙන්න පුළුවන්.

 


● ප්‍රශ්නය- සමහරු එහෙම කියලා තියෙනවා.
● පිළිතුර-
නෑ නෑ එහෙම කියලා නෑ, දැනට නම් හැමෝම කියන්නේ නියමිත කාලය ගියාට පස්සේ එනවා කියලයි. එතකොට ඇමතිකම් දරමින් ඉන්න ඕනෑ කියලා හිතන අයත් ඉන්න පුළුවන්.

 


● ප්‍රශ්නය- ඒ කවුද? එක  නමක් කියන්න.
● පිළිතුර
- එහෙම හරි නෑනේ. තාම මට නම් තියෙන්නේ සැකයක් විතරයි.

 


● ප්‍රශ්නය- ලබන සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා යූඑන්පී ජාතික ආණ්ඩු ගිවිසුම හමාරයි. මොකක් වෙයිද?
● පිළිතුර-
ඔව්. සැප්තැම්බරයේදී අවසන් වෙනවා. ගිවිසුම ඉවරයිනේ. ඊට පස්සේ තවදුරටත් ඉන්නවාද නැද්ද කියන තීරණය ගන්න වෙනවා.

 


● ප්‍රශ්නය- මේ තරම් කැබිනට් සාමූහික වගකීම් කඩවෙන වෙනත් ආණ්ඩුවක ඔබ ඉඳලා තියෙනවාද?
● පිළිතුර-
ඇත්ත වශයෙන්ම නෑ. මේ තරම් කැබිනට් මණ්ඩලයේ එකිනෙකා විවේචනය කරගන්න ආණ්ඩුවක මම ඉඳලා නෑ, ඒ වගේම කැබිනට් ප්‍රකාශක වශයෙන් පිස්සු කෙළින ආණ්ඩුවක් මම දැකලා නෑ. එතකොට ඇත්තටම එවැනි කැබිනට් එකක සිටීම ගැන ඇත්ත වශයෙන්ම මට නැවත හිතන්න වෙනවා.

 


● ප්‍රශ්නය- යූඑන්පී මැයි දින වේදිකාවේදී කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න ඔබට එරෙහිව ලොකු විවේචනයක් කළා.
● පිළිතුර-
සාමාන්‍යයෙන් ඉතින් රාජිත සේනාරත්නගේ ප්‍රකාශවලට මට පුළුවන් ඊට වඩා හත් අට ගුණයකින් උත්තර දෙන්න. නමුත් මම එහෙම උත්තර දෙන්න යන්නේ නැහැ.

 


● ප්‍රශ්නය- ඒ කියන්නේ බයයි?
● පිළිතුර-
නෑ නෑ අර කතාවක් තියෙනවනේ බල්ලෙක් අපිව හපා කෑවට අපි බල්ලව හපන්නේ නෑ කියලා. ඒ න්‍යාය අනුව මම කටයුතු කරනවා. මගේ මිත්‍රයෝ හුඟ දෙනෙක් මට කිව්වා මේවට උත්තර දෙන්න යන්න එපා කියලා.

 


● ප්‍රශ්නය- නමුත් ඔබ කැබිනට් එකේදී මේ ගැන කතා කරලා තිබුණා.
● පිළිතුර-
ඔව්. මම කැබිනට එකේදී කතා කළා. ඒක ගැන දීර්ඝ සාකච්ඡාවක් ඇති වුණා.

 


● ප්‍රශ්නය- නමුත් ඒ කැබිනට් රැස්වීමට ඇමති රාජිත ඇවිත් සිටියේ නෑ
● පිළිතුර-
ඔව්! රාජිත හිටියේ නෑ.


● ප්‍රශ්නය- අනික් ඇමතිවරු මොනවද කිව්වේ?
● පිළිතුර-
ජනාධිපතිතුමා ඇත්තවශයෙන්ම කනගාටුව ප්‍රකාශ කළා. එවගේම මේ කාරණය ගැන මට කතා කරපු සියලුම කැබිනට් ඇමතිවරු ඒ අයගේ අප්‍රසාදය පළ කළා. මොතැනදී මම එකක් කියන්න ඕනෑ. මේ ගැන අපි තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා. මේකට ගත යුතු පියවර මොකක්ද කියලා.


● ප්‍රශ්නය- මොනවගේ පියවරක් ද ගන්න යන්නේ? 
● පිළිතුර-
ඒක මෙහෙම කියන්න බෑ. සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න ඕන.


● ප්‍රශ්නය- සාකච්ඡා කරන්නේ පක්ෂයක් හැටියටද? 
● පිළිතුර-
ඔව්. පක්ෂයක් හැටියට. අපේ පක්ෂයේ ඉන්න ඇමතිවරුන් හැටියට සාකච්ඡා කරනවා.


● ප්‍රශ්නය- ඇමති රාජිත කිව්වා ඔබ ගිනි අරගෙන ඉන්නේ කියලා. ඔබ ගිනි අරගෙනද ඉන්නේ.
● පිළිතුර-
දැන් මෙතැන වෙලා තිබුණේ කැබිනට් එකේදි ජනාධිපතිතුමා විහිළුවට කරපු ප්‍රකාශයක්. සරත් ෆොන්සේකා ගැන. ඒ ප්‍රකාශය ගැන වැරදි අර්ථ නිරූපණයක් දුන්නා. කවුද මේ රාජිත. මම කම්කරු ඇමතිනේ. ඉතින් මට යම් යම් බලපෑම් ආවා. වෘත්තීය සමිති මගෙන් ඇහුවා උද්ඝෝෂණ පාලනය කරන්න, අපේ මූලික අයිතියක් වන වැඩ වර්ජනය කිරීම ඒවා මර්දනය කරන්න සරත් ෆොන්සේකා දාලා මර්දන යාන්ත්‍රණයක් හදනවාද කියලා. ඒක මං මාධ්‍ය මඟින් පැහැදිලි කළා. එහෙම පැහැදිලි කිරීම් කළෙත් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරලා. ජනාධිපතිතුමා මගෙත් එක්ක කිව්වා රාජිත කියන ජාතියේ දෙයක් අදහස් කළේ නෑ කියලා.


● ප්‍රශ්නය- නමුත් ඇමති රාජිත කියනවා මම කිව්වේ කැබිනට් එකේ වෙච්ච දේ කියලා. 
● පිළිතුර-
ඒ එයා කියන දේනේ. මම කියන්නේ මම කියන දේ. ඒක එයාගෙන් අහන්න. එතකොට මම කිව්වා ජනාධිපතිතුමාත් කියන්නේ එහෙම තීරණයක් ගත්තේ නැහැ කියලා. ඕකට තමයි මෙයා මේ මට පහර ගැහුවේ.


● ප්‍රශ්නය- ඔබ වගකීමෙන් කියනවද සරත් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් එහෙම යාන්ත්‍රණයක් එන්නේ නැහැ කියලා.
● පිළිතුර
- ඔව්. කැබිනට් එකේදී එහෙම තීරණයක් ගත්තා. අගමැතිතුමා පාර්ලිමේන්තුවේදීත් කිව්වා එහෙම එකක්  නෑ කියලා. ඒ පුද්ගලයා පත් කරන්නේ නෑ කියලා බොහොම විවෘතව කිව්වා.


● ප්‍රශ්නය- එහෙනම් කොහොමද මේ ගින්න ඇවිළුණේ?
● පිළිතුර-
ඒවා ඉතින් ගිනි තියපු අයගෙන් අහන්න. 


● ප්‍රශ්නය- උද්ඝෝෂණය කරන්න ආණ්ඩුව තැන් නියම කරන්න යනවා. මෙහෙම ගියොත් සටන් පාඨත් අණ්ඩුවෙන්ම දෙයි?
● පිළිතුර-
ඔව්. ඒක නම් ඇත්ත. මෙතැනදී අපි පැහැදිලි කරගන්න ඕනෑ අපේ රටේ වෘත්තීය සමිති දැඩි වගකීමෙක් තොරව කටයුතු කරන තත්ත්වයට පැමිණිලා. වෘත්තීය සමිතිවලට තමන්ගේ වෘත්තීය අරගල කිරීමේ අයිතිය තියෙනවා. සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න බැරිනම් අරගලවලට යන්න ඕනෑ. නමුත් දැන් වෘත්තීය සමිති විතරක් නෙමෙයි හැම සංවිධානයක්ම පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. ඒකෙන් ජනතාවට විශාල බාධාවක්, හිරිහැරයක් වෙනවා. පාරවල් හරස් කරගෙන වාහනවලට යන්න දෙන්නේ නැතිව සටන් කරනවා. ගමේ වතුර නැති වුණත් පාරේ වාඩිවෙලා උද්ඝෝෂණය කරනවා. මේක සමාජ රෝගයක් වෙලා. ඒවා වළක්වන්න ඕනෑ.  එහෙම නැතිව රටේ වැඩක් කරන්න බැහැනේ. ජනතා සේවාවන් කොහොමද ඉෂ්ට කරන්නේ? ඒවා ගැන මේ අය හිතන්නේ නෑ. එවැනි තත්ත්වයකට රට පත් වෙමින් යනවා.


● ප්‍රශ්නය- මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳුණේ නැති වුණාමයි. ප්‍රශ්න විසඳුවා නම් ඉවරයිනේ?
● පිළිතුර-
මෙහෙමයි. මේ උද්ඝෝෂණ පසුගිය කාලෙත් තිබුණා. දැන් වැඩියි. යහපාලනය කියලා හැමදේම ඉවසන්න ගියොත් එහෙම කිසිම දෙයක් කරන්න බැරිවෙයි. මිනිස්සු නීතිය අතට ගනීවි. එවැනි තත්ත්වයකට රට පත් වෙමින් යනවා. අපි මේ වැඩ වර්ජන නතර කරන්න යනවා නොවෙයි.


● ප්‍රශ්නය- මේ වැඩ වර්ජන පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂ කල්ලිය කියලා ආණ්ඩුව කියනවා.
● පිළිතුර-
ඒක මම හිතන්නේ නෑ. වැඩ වර්ජන පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂවාදීන් විතරක් නෙවෙයි. ආණ්ඩුවේ අයත් ඉන්නවා. දැන් ටෙලිකොම් වැඩ වර්ජනය පිටිපස්සේ ජවිපෙ, ආණ්ඩුවට සම්බන්ධ අය. මේ ආණ්ඩුවේම අය.


● ප්‍රශ්නය- කවුද ඒ.
● පිළිතුර-
ඒක මම කියන්න අවශ්‍ය නෑ.


● ප්‍රශ්නය- ඉතින් මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්ද?
● පිළිතුර-
ඔව් ඉතින් බොහොම දුර්වල මට්ටමින් තමයි යන්න වෙලා තියෙන්නේ. මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරන්න ඕනෑ. අපි මේ ආණ්ඩුවට බැඳුණේ නිශ්චිත කාලයකට. ඒ කාලය තුළ අපි අවංකව වැඩ කරනවා. එහෙම නැතිනම් අපි ආණ්ඩුවේ ඉඳගෙන කකුලෙන් අදින්නේ නෑ.


● ප්‍රශ්නය- ඔබ එහෙම කිව්වත් ඔබ ඉන්නේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන කියලයි ඇමති රාජිත කියන්නේ?
● පිළිතුර-
එයා එහෙම කිව්වට එයාගේ කකුල් දෙක දහ පොළක විතර තියාගෙන ඉන්නවා. මේ රටේ දේශපාලන පක්ෂ 12ක් තියෙවානම් එයින් දහයකවත් එයා ඉඳලා තියෙනවා. මම කකුල් දෙක දෙපැත්තේ තියාගෙන නෑ. මගේ කකුල් දෙක ස්ථීර වශයෙන්ම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ වගේම එදත් ශ්‍රී ලංකා අදත් ශ්‍රී ලංකා. මම ගෙදර යනවානම් යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලයි.


● ප්‍රශ්නය- ඔබ රත්නපුරයට ගිහින් මම මහින්ද ළඟට යනවා කියලා කොළඹ අවිත් කැබිනට් එකේ වාඩිවෙනවා කියලත් ඇමති රාජිත කිව්වා?
පිළිතුර-
මම දන්නෑ කොහොමද ඒ ආරංචිය ලැබුණේ කියලා. නමුත් මම ප්‍රකාශ කරලා තියෙනවා “අපි නිශ්චිත කාලයකට ආණ්ඩුවට එකතු වුණා. ඒ ඉන්න කාලයට මොකක් හරි සේවයක් කරන්න බලනවා. ඒ කාලය අවසන් වුණාට පස්සේ පක්ෂයත් එක්ක ආණ්ඩුවෙන් යනවා. 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්