මේ වගේ වෙනසක් ජනතාව බලාපොරොත්තු වුණේ නෑ


සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව විපක්ෂයේ අරගලය කෙබඳුද? මේ ගැන විමසමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.   

ප්‍රශ්නය - රාජපක්ෂලා ඒකාධිපතියො කියලා කිව්වට 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නම්‍යශීලී ප්‍රතිපත්තියක්?   
 
පිළිතුර - අපි 20 දිහා බැලුවම ජනතාව බලාපොරොත්තු වුණේ මේ වගේ ව්‍යවස්ථාවක් නොවෙයි. ආණ්ඩුවට ලැබුණු ජනවරම අපි පිළිගන්නවා. ඒ වගේම 19 වැනි සංශෝධනයෙන් යම් යම් වෙනස් කිරීම් කළ යුතුයි කියලත් අපි පිළිගන්නවා. නමුත් මේ වගේ වෙනසක් ජනතාව බලාපොරොත්තු වුණේ නෑ.   
 
ප්‍රශ්නය - ඔබ එහෙම කියන්නේ?   
 
පිළිතුර - මේ රටේ ව්‍යවස්ථාව යටතේ ප්‍රධාන තනතුරු හැත්තෑවක් විතර තියෙනවා. කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, අගවිනිසුරු, නීතිපති වගේ ප්‍රධාන තනතුරු තියෙනවා. දැන් මේ ප්‍රධාන තනතුරු සියල්ලම පුරවන්නේ ජනාධිපතිවරයා. පත් කරන්නත් බලය තියෙනවා. අස් කරන්නන් බලය තියෙනවා. නමුත් 19 වැනි සංශෝධනය යටතේ කැබිනට් ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු හැර අනික් පත්වීම් සියල්ලම ජනාධිපතිවරයා නම් කරලා එව්වම ව්‍යවස්ථා සභාවෙන් ඒක කිරල මැනලා නිර්දේශයක් දෙනවා. ඒ නිර්දේශය ජනාධිපතිවරයා පිළිගන්නම වෙනවා. උද‌ාහරණයක් විදියට ජනාධිපතිවරයා නමක් එවනවා. ව්‍යවස්ථාදායක සභාව තීරණය කරනවා එයා සුදුසු නැහැ කියලා. ඒක ජනාධිපතිවරයාට පිළිගන්නම වෙනවා. 
 
ප්‍රශ්නය - යහපාලන ආණ්ඩුව කැඳ හැළියක් වුණේ ඔය අවුල තිබුණ නිසානේ?   
 
පිළිතුර - අවුලක් තිබ්බේ නෑ. එතැන වුණේ මෛත්‍රීපාලගෙයි රනිල්ගෙයි පෞද්ගලික හැප්පිල්ලක් තිබුණා. එහෙම නැතිව ව්‍යවස්ථාදායක සභාව තුළ අවුලක් තිබ්බේ නෑ.   
 
ප්‍රශ්නය -  ඒ ක්‍රමය හඳුන්වා දීමම නේද අවුල? 
 
පිළිතුර - නෑ ඉතින් සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්නම් ප්‍රශ්න මතු වෙන්නේ නැහැනේ. මේ සැරේ ගෝඨාභය ජනාධිපති මහින්ද අගමැති සහෝදරයෝ දෙන්නනේ. අවුලක් ඇති වෙන්න හේතුවක් නෑනේ. 
 
ප්‍රශ්නය -  ආණ්ඩුව කියනවා 20 ට සංශෝධන ගේන්න කියලා. මං අහන්නේ එමගින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නුම් කරනවා නේද කියලා.   
 
පිළිතුර - හරි ඒක ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා කියමුකෝ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරලා යන්නේ ඒකාධිපති වාදයටනේ. අපි 19 ගේනකොට පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡා වට කීයක් තිබුණද? මමයි එද‌ා සභානායක. විපක්ෂයත් එක්ක සාකච්ඡා කීයක් කළාද? මමයි ජනාධිපතිතුමයි, අගමැතිතුමයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමග හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා වට දහයක් විතර තිබ්බා. දැන් විපක්ෂයත් එක්ක කිසිම සංවාදයක් නෑ. 20 තනිකරම හිතුවක්කාර විදියට හදලා තියෙන්නේ අනික කවුද හැදුවේ කියලා කියන්න දන්න කෙනෙකුත් නෑ. 20 හැදුවේ කවුද කියලා සොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න වෙලා. ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් ඇහුවම ඇටි කෙහෙල්කාපු උගුඩුවෝ වගේ ඉන්නවා. උත්තර නෑ.   
 
ප්‍රශ්නය - ඇමැති ජී.එල්. කිව්වා ‘‘20 හැදුවේ ආණ්ඩුව’’ කියලා?   
 
පිළිතුර - හරි ආණ්ඩුව කිව්වට ආණ්ඩුවේ කවුද මේක හැදුවේ. ඉතිහාසයෙ හැම ව්‍යවස්ථාවකටම නිර්මාතෘ කෙනෙක් ඉන්නවනේ. 48 ව්‍යවස්ථාව හැදුවේ සෝල්බරි සාමිතුමා 72 දී ජනරජ ව්‍යවස්ථාව හැදුවේ කොල්වින් ආර් ද සිල්වා එතුමා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරලා හදන ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කළා. 78 දී ජේ.ආර්. ජයවර්ධන ගෙනාව ව්‍යවස්ථාව එච්.ඩබ්ලිව්. ජයවර්ධන හැදුවේ. චන්ද්‍රිකා කුමාරතුංග කාලේ ව්‍යවස්ථා කෙටුම්පතක් ජී.එල්. හැදුවා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒකෙත් සංවාදයක් තිබුණා. 19 වැනි සංශෝධනය හැදුවේ ජයම්පතී වික්‍රමරත්න. ඒ වෙලාවේ විපක්ෂයත් එක්ක සාකච්ඡා වට දහයක් විතර කළා. එතකොට මේක හැදුවේ කවුද? ඇයි මේ හැදුවකෙනා හැංගිලා ඉන්නේ.   
 
ප්‍රශ්නය - කාරක සභා විවාදයේදී ඔබලාට යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා? 
 
පිළිතුර - කාරක සභා අවස්ථාවේදී කරනවාට වඩා හොඳයිනේ ඊට කලින් පුළුල් සාකච්ඡාවක් ඇති වුණානම්. දැන් මේකේ ආණ්ඩු පක්ෂය එක්කත් සංවාදයක් නෑ. විපක්ෂයත් සමග කිසිම සංවාදයක් නෑ.   
 
ප්‍රශ්නය -  20 කියන්නේ හරි ව්‍යවස්ථාවක් ගේනකම් හදපු කෙටුම්පතක් කියලයි ආණ්ඩුව කියන්නේ? 
 
පිළිතුර - අංගසම්පූර්ණ ව්‍යවස්ථාවක් ගේන්න තියෙන බාධාව මොකද්ද? කොල්වින් ආර් ද සිල්වා මහත්තයා කළා වගේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරලා ව්‍යවස්ථාවක් හදන්න ගත්තානම් මාසෙන් මේක අවසන් කරන්න පුළුවන්. මේක ඉතාම භයානක තත්ත්වයක්. කිසිම සංවාදයක් නෑනේ.   
 
ප්‍රශ්නය -  කොහොම වුණත් මේක සම්මත කර ගන්න සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල පිරිසකගේ සහාය ලැබෙනවා කියලා ආණ්ඩුව කියනවා.   
 
පිළිතුර - පත්තරවලනේ ඔය කතාව තියෙන්නේ. මම දන්න තරමට අපේ කිසි කෙනෙක් යන්නේ නෑ. මොකද මේකෙන් වෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විතරක් නොවෙයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පඹයො වෙනවනේ. අගමැතිවරයත් පඹයෙක් වෙනවා. අවුරුද්දක් ගියාම පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලය ජනාධිපති අතට පත්වෙනවා. ඇමැතිවරයාගේ බලතල ඔක්කොම ජනාධිපතිවරයා අරගෙන සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රශ්න අහන්නේ අගමැතිවරයාගෙන්නේ. මොකද එයානේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ නෑනේ.  
 
ප්‍රශ්නය -  ඔබලා සමග ඉන්න හවුල්කාර පක්ෂ ඉන්නේ කලකිරීමෙන්  
 
පිළිතුර - කා එක්කද?  
 
ප්‍රශ්නය - විපක්ෂ නායක සජිත් ප්‍රේමද‌ාස ගැන  
 
පිළිතුර - නෑ එහෙම කලකිරීමක් නෑ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා හැම පාර්ලිමේන්තු සතියකම සමගි ජන බලවේගයේ සුළු පක්ෂ නායකයන් හමුවෙනවා. විපක්ෂයේ පක්ෂ නායකයන් හමු වෙනවා.  
 
ප්‍රශ්නය - සුළු පක්ෂ නායකයෝ සන්ධානයක් හදන්න කියලා කියනවා. එහෙත් සජිත් ශබ්දයක් නෑ  
 
පිළිතුර - එහෙම එකක් නෑ. සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා මේ පක්ෂය හදනකොට මාස තුනයිනේ මහ මැතිවරණයට තිබුණේ. මාස තුනක් තිබ්බෙත් නෑ ඇත්තටම මාසයයි තිබුණේ. ඔය මාසෙන් ගත්ත ප්‍රතිඵලය හොඳටම ඇති. 
 
ප්‍රශ්නය -  සුළු පක්ෂ නායකයන් සජිත්ගෙ තනි නායකත්වය පිළිගන්න කැමැති නෑ. ඔවුන් ඉල්ලන්නේ නායකත්ව මණ්ඩලයක්?  
 
පිළිතුර - ඒවා අපට සාකච්ඡා කරලා විසඳාගන්න පුළුවන්. දැනටමත් කෙටුම්පත හදලා තියෙන්නේ.  
 
ප්‍රශ්නය -  ඔබ ඔහොම කිව්වට සමහර සුළු පක්ෂ නායකයන් සාකච්ඡාවලට එන්නෙත් නෑ.  
 
පිළිතුර - මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අපි කිහිප වතාවක් රැස්වුණා. ඒකට පක්ෂ නායකයො ආවා.
 
සමගි ජන බලවේගයෙ පක්ෂ නායකයොත් ආවා. විපක්ෂෙ පක්ෂ නායකයොත් ආවා. 
 
ප්‍රශ්නය -  ආපු නැති පක්ෂ නායකයෙක් ගැන ඔබට පොඩි හෝ මතකයක් නැද්ද?  
 
පිළිතුර - එහෙම මතක් වෙන්නෙම නෑ. මොකද අපි පාර්ලිමේන්තුවේදි හමු වෙනවනේ.  
 
ප්‍රශ්නය - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට නම් කරලා තිබුණේ හර්ෂ ද සිල්වාගේ නම නමුත් එදා උදේ පාන්දර ඔබේ නම උඩින් ආවා? ඒක එහෙම වුණේ?  
 
පිළිතුර - ගැටුමක් මුකුත් නෑ මම ගෙදර හිටියේ ගෙදර ඉන්නකොට මට කතා කරලා කිව්වා ‘‘මේක බාර ගන්න’’ කියලා. ඉතින් මම බාර ගත්තා. තනතුරුවලට කෑදරකමක් කාටවත් තිබුණේ නෑ.  
 
ප්‍රශ්නය - මෙතැනදි ඔබට විශේෂ වෙන්නේ?  
 
පිළිතුර - මම හිතනවා මම සභානායක කම කරපු හැටිගැන ඇගයීමකින් තමයි සජිත් නායකතුමා මට මේක බාර දුන්නේ. මතකනේ දින පනස් දෙකේදී මන්ත්‍රීවරුන් හතළිස් දෙන්නෙක් එක්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කරපු සටන.  
 
ප්‍රශ්නය -  එජාපයට අලුත් නියෝජ්‍ය නායකයෙක් ඉන්නවා. ඔබේ හැඟීම  
 
පිළිතුර - සුබවාදීව හිතනවා. අපිත් එක්ක එකඟතාවයක් ඇතිකර ගන්නවා නම් හොඳයි. අපි අපේ පක්ෂයේ වැඩ පිළිවෙළ අරගෙන යනවා. ඉදිරි සති 8 තුළ අපි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම යනවා. මේ 19-20 මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට යනවා. එහෙම ගිහින් අපි ශාඛා සංවිධාන හදනවා. මට බාරවෙලා තියෙන්නේ හබරාදුව ආසනය. අපට ඇත්තටම කාර්යාලයක්වත් නෑනේ. එහෙම මුකුත් නැතිව තමයි අපි ආසන 54 ක් ගත්තේ.  
 
ප්‍රශ්නය - ඔබ ආණ්ඩුව තියෙන කාලේ හන්තාන රක්ෂිතයේ ඉඩම් අරගෙන වගාවක් පටන් අරගෙන කියලා චෝදනාවක් තියෙනවා  
 
පිළිතුර - ඕක මේ කාලයක් තිස්සේ කරන චෝදනාවක්නේ. මට හන්තානේ තැනින් තැන ඉඩම් කිහිපයක් තියෙනවා. නඩු තීන්දුවලින් මට ලැබුණු ඉඩම් තියෙනවා. මම සල්ලි දීලා ගත්ත ඉඩම් තියෙනවා.
  
ප්‍රශ්නය - නීති විරෝධීව ඔබ වගාවක් පටන් ගත්තා කියන ඉඩම  
 
පිළිතුර - ඒ ඉඩම මම 1990 දී මිලදී ගත්ත එකක්. ඉඩම කැලෑවට ගිහින් තිබුණේ. මැතිවරණය අවසන් වුණාම මම මගේ දුවට කිව්වා ‘මේකේ වවමු’ කියලා.  
 
ප්‍රශ්නය -  වවන්න අවසර ගන්න ඕනෑ?  
 
පිළිතුර - ඔව් එ්ක හරි නමුත් ඉඩමට ඇතුළු වෙන්න කාගෙන්වත් අවසර ගන්න ඕනැ නෑ. මම වගාවක් කරලා නෑ. මම ශුද්ධ කළේ ඉඩමට ඇතුළු වෙන්න. මගේ ඔළුවටත් උඩින් මානාගස් වැවිලා තිබුණේ. මම ඇතුළු වුණේ ඉඩම ශුද්ධ කරන්න. ඒ විදියට ඉඩමකට ඇතුළු වෙන්න කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නෑ. ඒක අවුරුදු සිය ගානක් පැරැණි පොදු නීතියක්. මම ඉඩම ශුද්ධ කළේ ඉඩමට ඇතුළු වෙන්න. ඒකට කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නෑ.  
 
ප්‍රශ්නය -  නමුත් වගා කරන්න අවසර ගත යුතුයි. ඔබ ඒ ප්‍රශ්නය මග ඇරියා?  
 
පිළිතුර - මගඇරියා නොවෙයි. මම වගා කළේ නැහැනේ. අනික ඒක රක්ෂිතයක් නොවෙයි. හන්තානය සුරැකීම කියලා ගැසට් එකක් තියෙනවා. ඒකේ සීමාවන් තියෙනවා. ඒ ඒ සීමාවන්ට යටත්ව අවසර අරගෙන කටයුතු කළ හැකියි. නමුත් අපි එතැනට ගියේ නෑ. මෙතැන වුණේ ඉඩමට ඇතුළු වෙන්න ඉඩම ශුද්ධ කිරීම පමණයි. දැන් මෙතැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. මගේ යාබද ඉඩමේ ආගමික ස්ථානයක් තියෙන්නේ. ආගමික ස්ථානයක් කියලා කිව්වට සංචාරක හෝටලයක් විදියට තමයි පවත්වාගෙන යන්නේ. එතැන ගොඩනැගිලි රාශියක් ඉදි කරලා තියෙනවා. ඒකට නීතිය ක්‍රියාත්මක නෑ. එක රටක් - එක නීතියක් නම් කොහොමද එකිනෙකට යාව තිබෙන ඉඩම් දෙකකට නීති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ? අපි කිසිම නීති විරෝධී දෙයක් කරලා නෑ. මේවා මේ පොහොට්ටුවේ හෙංචයියන් දේශපාලනිකව පළිගන්න කරන චෝදනා. අධිකරණයට ගියොත් ඔය රාජ්‍ය නිලධාරින්ට එක රටක් - නීති දෙකක් කොහොමද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න වෙනවා. මම ඔබට මාගේ ඉඩමේ ඡායාරූප සහ යාබද ඉඩමේ ඉදිකිරීම් කරලා තියෙන හැටි පෙන්වන ඡායාරූප දෙන්නම්. ඒ ඡායාරූපවලින්ම මගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙනවා.
 
අපේ පරම්පරාවට රජවරුන්ගෙන් නින්දගම් වශයෙන් ලැබුණු ඉඩම් දහස් ගණනක් තියෙනවා. ඔය ඉඩමත් මම පංසලකට පූජා කරන්න හිටියේ. අල්ලපු ඉඩමේ ආගමික මධ්‍යස්ථානයක් තියෙන නිසා ඒ ස්වාමින්වහන්සේ ඉඩම ප්‍රතික්ෂේප කළා. අපිට ඉඩම් තණ්හාවක් නෑ.
 
 
සාකච්ඡා කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්