යල්පැන ගිය නීති සමඟ අපේ සේවකයින්ගේ ඵලදායිතාව අඩු වෙලා


කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

 මනුෂ නානායක්කාර

  • දැනට සේවක අර්ථසාධක අරමුදල තිබුණත් එයින් මුදල් ගැනීමට හැකි වන්නේ  විශ්‍රාම යෑමේදී පමණයි. මෙවැනි දේවල්වලට වන්දි ගෙවන්න ඒක පාවිච්චි කරන්නේ නැහැ. මේ නිසා ආණ්ඩුව ක්‍රියාත්මක කරන මේ ක්‍රමයට හාම්පුතුන්ගේ දායකත්වය ලබාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ හරහා සමාජ ආරක්ෂණ වැඩපිළිවලක් ලෙස එය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ රැකියාව අහිමි වුනොත් මෙයින්  වන්දි ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට භාවිතා වන කම්කරු නීති වර්තමානයට නොගැලපෙන බවත් මෙම නීති සංශෝධනය වියයුතු බවත් වූ සංවාදය දීර්ඝ කාලයක් පුරාවට පැවතියකි. කෙසේ වෙතත් මේ වනවිට කම්කරු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත රටට නව කම්කරු නීතියක් සකස්කරගැනීමේ වැඩපිළිවෙලක නිරත වී සිටින අතර එහි අවසාන අදියරට ළඟාවෙමින් සිටියි. මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමඟ සිදුකළ සාකච්ඡාවේදී ඔහු පැවසූ අදහස් මෙසේය,  


ප්‍ර  රට තුළ භාවිත වන කම්කරු නීති වෙනස් කිරීමේ වැඩකටයුතු ආරම්භකර තිබෙනවා. මේ ක්‍රියාවලිය ගැන මුලින්ම කතා කරමු?


අපේ රටේ කම්කරු නීතිය යල්පැන ගිය කම්කරු නීතියක්. කම්කරු ක්ෂේත්‍රයේ   අවුරුදු පනහක්, සියයක් පැරණි පනත් තිබෙනවා. මේ නීති අනාගත ලෝකයට නොගැලපෙන නීති. ඒවා වලින් ශ්‍රමිකයා ආරක්ෂා වෙන්නේ නැහැ. ශ්‍රමිකයා ආරක්ෂා කරනවා කියන්නේ රැකියා බහුල කිරීම, නව ආයෝජන වැඩි කිරීම ආදී දේත් ඒ මගින් සිදුවිය යුතුයි. නමුත් එවැනි දේට  මේ නීති මගින් කිසිම සහයෝගයක් ලැබෙන්නේ  නැහැ.  ශ්‍රමිකයාට කරදරයක් වුණත් සහන ලබාගන්න දීර්ඝ කාලයක් ගතවන, සොච්චම් මුදලක් ලැබෙන වැඩ පිළිවෙලක් තිබෙන්නේ. මේ නිසා විශාල ශ්‍රමික පිරිසකට වැඩපිළිවෙලක් හදන්න පුළුවන් අවස්ථාවකට අපි යායුතුයි. අපේ ඵලදායිතාව වැඩි කරගන්න පුළුවන් රටක් බවට පත්විය යුතුයි. මේ යල්පැනගිය නීති සමඟ අපේ සේවකයින්ගේ ඵලදායිතාව බොහොම අඩුවෙලා තිබෙනවා. ඔවුන් එකතැන පල්වෙන මට්ටමට පත්වෙලා. ඒ නිසයි මේ නීති වෙනස් කරන්නේ. කම්කරු නීති වෙනස් කිරීම ගැන දශක ගණනාවක් පුරාවට කතා වුණා. නමුත් මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මේ නිසා තමයි මේ වතාවේ අපි කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතිය අරගෙන පසුව මිනිස්සුන්ගේ අදහස් ලබාගැනීම ආරම්භ කළේ.  කම්කරු සංවිධාන, වෘත්තීය සමිති, හාම්පුතුන්ගේ සංගම්, වාණිජ මණ්ඩල ආදී විවිධ පාර්ශ්ව මේ සඳහා එකතු කරගෙන අදහස් ලබාගැනීම් ආරම්භ කළා. මේවා සියලු‍ම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරලා හැමදෙනාටම විවෘත කරලා වාචිකව ලිඛිතව මේ සියල්ලන්ගෙන්ම අදහස් ලබා ගැනීම කළා. මේ සියලු‍ ක්‍රම හරහා   ඉතාම විශාල පිරිසක් අපිට තොරතුරු ඉදිරිපත් කළා .


ප්‍ර  ශ්‍රම බළකායට කාන්තා දායකත්වය වැඩි වශයෙන් ලබාගැනීම සම්න්ධයෙන් මෙහිදී අවධානය යොමුවී තිබෙනවාද?


දරුවන් බලාගැනීමේ ප්‍රශ්න, වැඩ කරන කාල සීමාවන්ගේ ගැටලු‍ ආදී මෙවැනි ප්‍රශ්න නිසා මේ රටේ බුද්ධිමත් කාන්වන්ගෙන් බහුතරයක් ගෙවල්වල ඉන්නෙ.  එතැනදී මම කියන්නේ කාන්තාවො වැඩ නොකරනවා කියලා නෙවෙයි. ඒ අය ගෙදර වැඩ  ගණනාවක් කරනවා. නමුත් එයාලගේ බුද්ධිය පාවිච්චි කරලා මොවුන්ගේ දායකත්වය, ශ්‍රම බළකායට ලබාගැනීමේ වෙනස්කම් තිබෙනවා. ඒ වගේම කාන්තාවන්ට වැඩ කරන්න තිබෙන වෙලාවන් එක්කත් මේ ප්‍රශ්නය තිබෙනවා. මොකද, අපේ රටේ රාත්‍රි කාලයේ කාන්තාවන්ට වැඩ කරන්න තහනම්. මෙවැනි නීති ගොඩක් තිබෙනවා. මේ නිසා කාන්තාවන්ට වැඩියෙන් ශ්‍රම බළකායට එකතුකරගන්න සෑම ආයතනයකම යම් කාන්තා ප්‍රතිශතයක් බඳවාගත යුතුයි කියන කාරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රාත්‍රි කාලයේ වැඩකරන්න තිබෙන සීමාවන් අයින් කරන්න බලාපොරොත්තු‌ වෙනවා. කාන්තාවන්ට වැඩ කරන්න පුළුවන් වෙලාව, කළ හැකි අතිකාල   ප්‍රමාණය වගේ කාන්තාවන්ට කියලා වෙනම නීති තිබෙනවා.  ඒ කියන්නේ වෙනස්කොට සැලකීමක් එතැනදී වෙන්නේ. මේ දේවල් සම්පූර්ණයෙන්ම සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ කැමැත්ත මත වැඩ කරන්න පුළුවන්, තමන් කැමතිනම් වැඩ කරන්න අකමැතිනම් වැඩ නොකර ඉන්න පුළුවන් වන ආකාරයේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න තමයි අපි සූදානමින් ඉන්නේ. මෙහි තවම අවසන් කෙටුම්පතක් සකස්කරලා නැහැ.


ඒ වගේම කාන්තාවන් වැඩියෙන් ශ්‍රම බළකායට එකතුවෙන්න අවශ්‍ය නම් අපි දරුවන්ගේ ආරක්ෂාව ගැනත් වැඩි වැඩියෙන් බලන්න වෙනවා. මේ නිසා කාන්තාවගේ ආරක්ෂාව බලනවා වගේම දරුවන්ගේ ආරක්ෂාව සලසන්න ආයතන මට්ටමින් වැඩබිම් ආශ්‍රිතවත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙනවා. මේ ආකාරයට කාන්තාව තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ඔවුන්ට පහසුවෙන් ශ්‍රම බළකායට එකතුවෙන්න පුළුවන් වෙනවා. වැඩ බිමේදී විවිධ විවිධ විදිහට සිදුවන කරදර සීමා කිරීම සඳහා නීති මගින් අවශ්‍ය කටයුතු කරනවා. කාන්තාවන්ට නිදහසේ වැඩකරගෙන යන්න අවශ්‍ය පරිසරය සකස්කර දෙන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරනවා. අපි රටක් විදිහට සංස්කෘතිකමය වශයෙන්  කාන්තාවෝ වැඩකරන්න අවශ්‍ය නැහැ වගේ වෙනස්  මතයක ඉන්නවා. ඒ ප්‍රතිපත්තිය කාන්තාවන්ගේ අවශ්‍යතාවය මතම කාන්තාවන්ගේ ඉල්ලීම මතම සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා.


ප්‍ර  මෙහිදී කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන්, වන්දි ලබාදීම් ආදිය සම්බන්ධයෙන් නීති වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවාද?


බොහෝ ආයතන කාන්තාවන් වැඩි වශයෙන් රැකියාවලට බඳවාගන්න අකමැති කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු දෙන්න වෙන නිසා. ඒ නිවාඩු කාලය තුළත් කාන්තාවන්ට වැටුප් ගෙවන්න සිදුවෙනවා. මෙවැනි කාරණා නිසා තමයි අලු‍ත් සංශෝධන සමග කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩු , රැකියාවක් අහිමි වුණොත් වන්දි ලබාගැනීම් , අනතුරක් සිදුවුණොත් වන්දි ලබාගැනීම වගේ කාරණා රැකියා කරන ආයතන වලින් ඉවත් කරලා රජය විසින් සකස් කරන රක්ෂණ ක්‍රමයක් වැනි ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නත් අපි සූදානම් වෙන්නේ. 


දැනට සේවක අර්ථසාධක අරමුදල තිබුණත් එයින් මුදල් ගැනීමට හැකි වන්නේ  විශ්‍රාම යෑමේදී පමණයි. මෙවැනි දේවල්වලට වන්දි ගෙවන්න ඒක පාවිච්චි කරන්නේ නැහැ. මේ නිසා ආණ්ඩුව ක්‍රියාත්මක කරන මේ ක්‍රමයට හාම්පුතුන්ගේ දායකත්වය ලබාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ හරහා සමාජ ආරක්ෂණ වැඩපිළිවලක් ලෙස එය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ රැකියාව අහිමි වුනොත් මෙයින්  වන්දි ගන්න පුළුවන්. ඒවගේම මාතෘ දීමනා සියල්ල රජය මගින් තමයි අපි ගෙවීම් කරන්නේ. එවිට කාන්තාවන් වැඩට ගන්න කවුරුත් අකමැති වෙන්නේ නැහැ. මේ නිසා කන්තාවන්ට පහසුවෙන් වැඩ කරන්න හැකියාව ලැබේවි කියා අපි විශ්වාස කරනවා.

 

  • වතු ක්ෂේත්‍රය තුළ ඔවුන්ට ලබාදෙන පහසුකම් අඩුයි. ඔවුන්ට ගැලපෙන පහසුකම් ලබාදෙන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම වතු සමාගම් සමගත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි වතු සේවයට අනන්‍ය වූ නීති කිහිපයක්ම අපි හඳුන්වා දෙනවා. මොකද ඒ කාන්තාවන්ගේ ආරක්ෂාව, සුබසාධනය වගේම ඒ අය බොහෝ වෙලාවට වතු ක්ෂේත්‍රයේ වැඩකරන පුද්ගලයින් අනිත් ක්ෂේත්‍ර සමග සසඳන්න අමාරුයි. ඔවුන්ට අනන්‍ය වූ ප්‍රශ්න තිබෙනවා


ප්‍ර  රට තුළ ඉදිරියේදී  පෞද්ගලික අංශය පුළුල් වෙන බව පෙනෙන්නට තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමුකර තිබෙන්නේ කෙසේද?


ඇත්තෙන්ම අනාගතයේදී රාජ්‍ය අංශය හැකිළෙනවා . එවිට පෞද්ගලික අංශය තවදුරටත් වර්ධනය වෙනවා.  එතැනදී මේ ක්ෂේත්‍රවල ඕනෑම කෙනෙකුට වැඩකරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ‌මෙතැනදී කාන්තාවන් යම් ප්‍රතිශයක් අනිවාර්යෙන්ම සේවයට බඳවාගත යුතුයි වගේ නීතියක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වෙනවා. 


ඒ වගේම ලංකාවේ සිට වෙනත් රටකට වැඩ කරන පුද්ගලයින් සිටිනවා. උදාහරණයක් ලෙස තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍රවල සේවා මුර තිබෙනවා.  මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් නීති සංශෝධනය කරන්න අපි දැනටමත් යොමුවෙලා තිබෙනවා. ඒ නීති අනුමත වෙලා තිබෙන්නේ. මොකද විදෙස් රටවල වෙලාවයි ලංකාවේ වෙලාවයි වෙනස්. ඒතැනදී රාත්‍රි කාලයටත් සේවය කරන්න වෙනවා. මේ ආකාරයට ගැලපෙන ලෙස සේවය කරන්න අවස්ථාව සලසා දෙන්න අපි සූදානම්. ඒ වගේම ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් ආකාරයට (Work from home), අර්ධකාලීන සේවයේ නිරතවීමට හැකි ආකාරයට (Part time) , මෙවැනි දේ සම්බන්ධයෙන් අලු‍ත් නීති එකතු කරන්න අපි බලාපෙරොත්තු වෙනවා. එතකොට කාන්තාවො, තරුණයෝ, ඉගෙන ගන්න අයට මේ කැමති ආකාරයකට රස්සාවල් කරන්න අවශ්‍ය පහසුකම් හදන්න පුළුවන්.  මෙවැනි ආකාරයට නීති ලිහිල් වුණාම තමන්ගෙ දැනුම රටේ සංවර්ධනයට ලබාදෙන්න තවත් බොහෝ පිරිසකට හැකියාව ලැබෙනවා වගේම තමන්ට ආදායමක් ලබාගන්නත් පුළුවන්.


ප්‍ර  කම්කරු නීති පිළිබඳව කතා කිරීමේදී වතු ක්ෂේත්‍රයට විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. මේ වනවිටත් ඔවුන් දැඩි අපහසුතාවයන් මැද සේවයේ යෙදෙනවා. මේ සම්බන්ධයෙන් සිදුවන වෙනස්කම් මොනවාද?

 
වතු ක්ෂේත්‍රය තුළ ඔවුන්ට ලබාදෙන පහසුකම් අඩුයි. ඔවුන්ට ගැලපෙන පහසුකම් ලබාදෙන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම වතු සමාගම් සමගත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි වතු සේවයට අනන්‍ය වූ නීති කිහිපයක්ම අපි හඳුන්වා දෙනවා. මොකද ඒ කාන්තාවන්ගේ ආරක්ෂාව, සුබසාධනය වගේම ඒ අය බොහෝ වෙලාවට වතු ක්ෂේත්‍රයේ වැඩකරන පුද්ගලයින් අනිත් ක්ෂේත්‍ර සමග සසඳන්න අමාරුයි. ඔවුන්ට අනන්‍ය වූ ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන නීති ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. 


ප්‍ර  කම්කරුවන් වගේම ආයෝජකයින් සම්බන්ධයෙන් මෙම නීති සංශෝධනවලදී අවධානය යොමුවෙනවාද?


මේ ගැන අපි අවධානය යොමුකළ යුතුයි. මෙය කම්කරු අමාත්‍යාංශයේ විෂයපතයට එහා ගිය කාරණවක්. නමුත් අපි රටක් විදිහට බොහොම උවමනාවෙන් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක නරන්න අපි ආණ්ඩුවක් විදිහට වැඩ කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ කියන සංකල්පය මත ලංකාවට ආයෝජනය කරන්න කැමතිනම් ඔවුන්ට අවස්ථාව දෙන්න අපි සූදානම්. මොකද ඒ අය ලෝකයේ කොතැන සිටියත් ශ්‍රී ලාංකිකයෝ. ඔවුන් ද්විත්ව පුරවැසියෝ වුණත් ශ්‍රී ලංකික ඩයස්පෝරාව ලෙස තම තමන් කැමති විදිහට ආයෝජන කරන්න ඔවුන් සියලු‍ දෙනාට අපි ආරාධනා කරනවා. ඔවුන්ට සුවිශේෂී වීසා ක්‍රමයක් හඳුන්වා දෙන්න, සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 


ප්‍ර  මෙම නීති සංශෝධනවලදී වැඩකරන පැය 08 ක කාලය වෙනස් කරන්න අදහසක් තිබෙනවාද?


වැඩකරන නිශ්චිත පැය 08 කියන කාරණාව ලෝක කම්කරු සංවිධානය  පිළිගත්තු කාරණයක්. මෙය නිශ්චිත කාරණයක් නිසා එය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සේවකයාගේ කැමැත්ත මත ඇතැම් ක්ෂේත්‍රවල පැය 08 වඩා වැඩියෙන් වැඩ කරන අවස්ථා තිබෙනවා. ඕනෑම ක්ෂේත්‍රයක තමන් කැමති විදිහට හැකියාව පරිදි සාකච්ඡා කරලා කරගන්න පුළුවන් විදිහට නීති ලිහිල් කරනවා. නමුත් මූලික වැඩ මුරය අපි වෙනස් කරන්න කිසිම ආකාරයකින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.


ප්‍ර  මෙම කම්කරු නීති සංශෝධන සඳහා වෘත්තීය සමිති වල සහාය ලැබීම් කෙබඳුද?


වෘත්තීය සමිතිවල සහාය අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මේ රටේ ශ්‍රම බළකායෙන්  වෘත්තීය සමිති නියෝජනය කරන්නේ  සියයට10 ක් පමණයි. නමුත් ඊට වඩා විශාල ශ්‍රම බළකායක් රටේ ඉන්නවා.  සියයට90ක් වෘත්තිය සමිති වල නැහැ.  අපි මේ දෙපිරිසගේම මතය ගැන බලන්න ඕනෑ. මේ වෙලාවේ සියලු‍දෙනාගේම මත ලබාගන්න පටන් අරගෙන තියෙන්නේ. වෘත්තීය සමිතිවල සහාය අපිට අවශ්‍යයයි. ඒ නිසයි සියලු‍ දෙනා සමගම මේ සාකච්ඡා පවත්වන්නේ. වෘත්තීය සමිති සම්බන්ධ නීති වෙනස් කිරීම ගැන විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් වෙලා තිබෙනවා. සමහර පාර්ශ්ව නීති ශක්තිමත් කිරීම ගැන කියා තිබෙනවා. සමහර පාර්ශ්ව චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. මේ සියලු‍ දෙනා සමග සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. 


ඒ වගේම රටේ මේ ඇති වුණ ආර්ථික ව්‍යවසනය සමග බොහෝ පිරිසකට රැකියාවන් අහිමිවෙලා තිබෙනවා. මෙයට ලොකු අවධානයක් යොමුකරලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ රැකියා අහිමි වුණ පුද්ගලයින් යළි රැකියා ගතකිරීම කරන්නෙ කොහොමද  කියන කාරණය පිළිබඳවත් අපේ අවධානය යොමුවෙලා තිබෙනවා. එයට ගැලපෙන ආකාරයට කම්කරු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කරලා තාක්ෂණය එකතුකරගෙන කම්කරු ශ්‍රම වෙළඳපොළ සම්බන්ධයෙන් පද්ධතියක් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා


ප්‍ර  මෙලෙස සකස් කරන නව කම්කරු නීති ක්‍රියාත්මක කිරීමට බලාපෙරොත්තු වන්නේ කවදා සිටද? 


මේ සියලු‍ තොරතුරු අරගෙන සංශෝධනය කළ යුතු යැයි හැඟෙන කාරණා සම්බන්ධයෙන් මේ මාසේ 14 වැනිදා වන විට කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.  ඊට පසුව මේ මාසයේ අවසානය වන විට මූලික කෙටුම්පතක් සකස්කරලා එය කම්කරු උපදේශන සභාවට යොමුකරන්නත් එයින් අනුමැතිය ලැබුණු පසු මේ සම්බන්ධයෙන් කැබිනට අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ විනිවිධභාවයෙන් මේ කටයුතු කරන්නවා. අගෝස්තු මාසය වන විට අපිට මෙය අවසන් කරන්න හැකිවේවි. 

 

■ චාමර සම්පත්