යහපාලන අතිජාත සුජාත දරුවා අපචාරයට පත්වීම කනගාටුවට කරුණක්


ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිසබේදී කියයි

 

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

යහපාලනය උදෙසා බිහිකළ අතිජාත සුජාත දරුවා වන 19 වැනි සංශෝධනය අපචාරයට පත්වීම කනගාටුවට කරුණක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය. නීතියේ ආධිපත්‍යය හා රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම එහි අරමුණ වූ බව කී ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට ඇඟිලි ගැසීමක් තමා සිදු නොකළ බවත් එහෙත් ඒ ගැන සොයා බැලීමට ව්‍යවස්ථානුකුල බලයක් හා සදාචාරාත්මක අයිතියක් ඇති බවත් කීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කළ ‘ව්‍යවස්ථා සභාව’ පිළිබඳ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව කීය. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාට හෝ වෙනයම් පාර්ශවයක් විවේචනය කිරීමට තම අදහස් ඉදිරිපත් නොකරන බව කී ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව හරිමගට ගැනීමේ නීතිමය හා සදාචාරාත්මක අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තම අදහස් දැක්වීම කරන බව කීය. ජනාධිපතිවරයා මෙසේද කීය. මේ ගරු සභාවේ අද මේ ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවේ දී වගේම ඉන් පිටත විවිධ උත්සව සභාවල ප්‍රවෘත්ති සාකච්ඡා තුළ දේශපාලන වේදිකාව තුළ මා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අවස්ථා කිහිපයකදී ම ගරු අගමැතිතුමාත් පිළිතුරු දී තිබුණා. ඒ වගේම මම එදා මේ ගරු සභාවේ කතා කළ දිනට පසු දින ඔබතුමන් ඒ පිළිබඳව මට පිළිතුරු ප්‍රකාශයක් රටට නිකුත් කර තිබුණා.

අද මේ විවාදය ආරම්භ වූ අවස්ථාවේ සිට ඊට සහභාගි වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් මේ ප්‍රශ්නයේ දී දැනට මා දරන ස්ථාවරය පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකථනයක් දෙමින් මා පිළිබඳව දැඩි විවේචනයන් කර තිබුණු බවත් මට දැනගන්නට ලැබුණා. නමුත් ගරු කථානායකතුමනි මම අද මේ ගරු සභාවට ආවේ ඔබතුමාගේ අවසරය තුළ විශේෂයෙන්ම ඒ එකම කතාවකටවත් පිළිතුරු දීමට නම් නොවන බව මා මුලින්ම ප්‍රකාශ කරන්නට ඕනෑ. මා මීට පෙර මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව දී ඇති විග්‍රහයන් සහ විවේචන මා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ගරු අගමැතිතුමාගේත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ඇති විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් මම විවේචනයක් නැත්නම් විරෝධයක් පළ කර ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනී ගියා.

මම ඉතා පැහැදිලිවම කියන්නට ඕනෑ ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට පත් කර ඇති පත්වීම් ලබා ඇති විනිශ්චයකාරතුමාලා සම්බන්ධයෙන් මගේ කිසිදු විවේචනයක් නැහැ. ඒ පිළිබඳව මගේ කිසිදු දෝෂාරෝපණයකුත් නැහැ. ඒ පිළිබඳව කිසිම මගේ විරුද්ධත්වයකුත් නැහැ. ප්‍රශ්නය කණපිට හරවා අධිකරණයට සහ රටට මා පිළිබඳව ඉතාම වැරදි රූපයක් පෙන්වන්න මේ ප්‍රශ්නයේ දී ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බව මට පෙනී ගියා. ගරු කථානායකතුමනි, ඔබතුමත් මේ ගරු සභාවේ සියලු මැති ඇමතිතුමාලත් දන්නා පරිදි මේ ගරු උත්තරීතර සභාවේ මම සාමාජිකයෙක් නොවෙයි.

මා අද මේ කතා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිධෑමට තිබෙන ප්‍රතිපාදනත් ඒවගේම පාර්ලිමේන්තුවේ කතා කිරීමට තිබෙන ප්‍රතිපාදනත් ඒ පදනම මුල් කරගෙන බව මා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෑ. 2015 ජනවාරි මාසේ 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණයේ දී අප ගරු කථානායකතුමනි, ඔබතුමාලා සියලු දෙනාම මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. ඒ මැතිවරණ ප්‍රකාශනයට අත්සන් තැබූ පිරිස් කවුද යන්න ඔබතුමා ඇතුළු මේ ගරු සභාවේ විශේෂයෙන්ම අද ආණ්ඩු පක්ෂ නියෝජනය කරන වගේම විපක්ෂයේ සිටින පිරිස්වලට මතක ඇතැයි කියා මා විශ්වාස කරනවා. දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සිවිල් සංවිධාන 49ක් ඒ ප්‍රකාශනයට විහාරමහාදේවි උද්‍යානයේ දී ඓතිහාසික ප්‍රකාශනයට අත්සන් තබනු ලැබුවා. ඒ අත්සන් තැබූ ප්‍රකාශනයේ තිබුණු කරුණු මුල් කර ගත් විට මූලික වශයෙන්ම ඉතාමත් වැදගත් වූ සංකල්පයක් ජාතික දේශපාලනය සහ අන්තර්ජාතික දේශපාලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ යහපාලනයන් උද්දමන පිළිබඳව දක්වන අදහස්වල දී අපි ඒ ඇතුළු කළේ මූලික වශයෙන්ම මේ යහපාලනය කියන සංකල්පය සහ ඊට අදාළ මුල් වූ කරුණු රාශියක්.

ඒ කරුණු ඉදිරිපත් කිරීම තුළ මූලික වශයෙන්ම ඒ මැතිවරණ ප්‍රකාශනයෙන් රටේ ජනතාවට දුන් පොරොන්දුවක් තමයි අපි ඉෂ්ට කළේ. ගරු කථානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඔබතුමාට වගේම මේ ගරු සභාවේ සියලුදෙනාට මතකයේ තිබෙනවා. මා ජනාධිපති ධුරයට පත්වන විට මා පත්වනවාත් සමඟම ඒ මොහොතේම මා දිවුරුම් දුන් මොහොතේම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා මා ඉදිරියේ දී. ඒ අපි ඇති කරගත් එකඟතාවක්. සම්මුතියක්. ඒවගේම ඒ එකඟතාවය මත අපි කටයුතු කිරීමට ඇති කරගත් සම්මුතීන් ගිවිසුම් තුළ මැතිවරණ ප්‍රකාශනයේ කරුණු ඒ සියල්ල ගත් විට ඔබතුමාට මතක ඇති අපි අගෝස්තු මාසයේ 2015 මහා මැතිවරණය දක්වා ගරු රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාර ගන්නා විට දිවුරුම් දෙන විට මේ ගරු සභාවේ මගේ මතකයේ හැටියට එක්සත් ජාතික පක්ෂයේ ගරු මන්ත්‍රීවරු ඇමතිවරු සිටියේ 41ක් හෝ 47ක්.

මට හරියටම මතක නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 142ක් මන්ත්‍රී ධුර තිබුණා. එයින් ඉතාම සෘජුවම 127ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. අනිත් සංඛ්‍යාව ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂවල ගරු මැති ඇමතිවරු. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තහම ගරු සභාපතිතුමනි, මා පැහැදිලිව කියන්නට ඕනෑ 19 වෙනි සංශෝධනයෙන් කළේ අසීමිත බලයක් තිබුණු විධායක ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට ගන්න එක. පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට එතනින් ස්වාධීන කොමිෂන් සභාවලට. ගරු කථානායකතුමනි, මෙතන සිටින බෞද්ධ වේවා වෙනත් ආගමික ඒ සියලු අංශවල කවුරුත් අපි දන්නවා දානයට කැමතියි. අපේ ලාංකික සංස්කෘතිය සිංහල වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා ක්‍රිස්තියානි වේවා ලෝකයේ කිසිම රටක නැති ආකාරයට දන් දෙනවා. ලංකාවේ තරම් දන්සැල් ලෝකේ කොහෙවත් නැහැ. ඒවගේම තමයි මානව ඉතිහාසය ගත් විට දානය දීම පිළිබඳව බෞද්ධ ඉතිහාසයේ ඉඳලම ගරු කථානායකතුමනි, අපි දන් දෙනවා. ආහාර දන් දෙනවා. ඇඳුම් පැළඳුම් දන් දෙනවා. තමන්ට තිබෙන වස්තුව ධනය ගෙවල් ඉඩකඩම් දන් දෙනවා. සමහර වෙලවාට අපි අපේ යුද්ධය මතක් කළොත් අවුරුදු 30 කට ආසන්න රට වෙනුවෙන් රණවිරුවන් ජීවිතය දන් දුන්නා. එල්ටීටීඊ සංවිධානය එන විට ඔවුන්ගේ යුද ටැංකි ඒවාට පැන්නා. ජීවිතය දන් දුන්නා. ඒවගේම රුධිරය පූජා කරනවා. දන් දෙනවා. මමත් ආහාර දන් දීලා තිබෙනවා. ඇඳුම් පැළඳුම් දන් දීලා තිබෙනවා. දැන්නම් නෙවෙයි තරුණ කාලේ රුධිරයත් දන් දීලා තිබෙනවා.

නමුත් ලෝකයේ ගරු කථානායකතුමනි ශරීරවල අවයවත් දන් දෙනවා. ඔබතුමා දන්නවා. වෛද්‍ය විද්‍යාවේ තිබෙන හාස්කම් එක්ක. නමුත් බලය දන් දුන්න අය ලෝකයේ හරිම අඩුයි ගරු කථානායකතුමනි. 2015 ජනවාරි 08 මට ලැබුණු ජයග්‍රහණයේ දී මම ජනතාවට දුන් පොරොන්දු අනුව ලෝකයේ ඉතාමත් මම දන්නේ නැහැ කී දෙනෙක් ඒ වැඬේ කරලා තිබෙනවද කියලා තමා බලයට පත් වීමෙන් පසුව තමාගේ බලය දන් දුන්න කෙනෙක් මම. ඒක මම දන්නේ නැහැ කී දෙනෙක් කරලා තිබෙනවද කියලා ලෝකයේ. ඒ නිසයි මම ඒකයි කිව්වේ. මම ආහාර දන් දීලා තිබෙනවා. ඇඳුම් පැළැඳුම් දන් දීලා තිබෙනවා. අතේ තියෙන මිටේ තිබෙන විදියට මුදල් දන් දීලා තිබෙනවා.

රුධිරයත් දන් දීලා තිබෙනවා රෝගීන්ට. මම බලයට පත් වෙලා මෑත යුගයේ ලෝකයේ කිසිම නායකයෙක් නොකළ තමා අතේ තිබුණු බලයට පත්වීමෙන් පසුව තමා අතේ තිබුණු බලය තමාගේ බලය දන් දීලා තිබෙනවා. මම එහෙමයි මේ ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය දීලා තිබෙන්නේ. ඉතාම පවිත්‍ර චේතනාවෙන් ඒ අරමුණු ඉෂ්ට කර ගන්න. නමුත් මම කියපු සුජාත දරුවා 19 වෙනි සංශෝධනය මට කණගාටුයි කියන්න සමාවෙන්න ඒ සුජාත දරුවා මට පේන විදියට නම් අපචාරයට ලක් වී තිබෙනවා. එහෙම කියන්න මට කරුණු තිබෙනවා ගරු කථානායකතුමනි. ප්‍රධාන වශයෙන්ම මේ කරුණු පිළිබඳව කතා කරන විට අපි මූලික වශයෙන් බලය දන් දුන් මිනිස්සු විදියට ජනතාවට ඉතා පවිත්‍ර චේතනාවෙන් අපි 19 වෙනි සංශෝධනය ව්‍යවස්ථා සභාව හැදුවා. ස්වාධීන කොමිෂන් සභා හැදුවා. ස්වාධීන කොමිෂන් සභා සහ විශේෂයෙන්ම ව්‍යවස්ථා සභාවේ කාර්යය වගකීම ප්‍රතිපත්ති එහි මගපෙන්වීම් මේවා පිළිබඳව 19 වෙනි සංශෝධනයේ පැහැදිලිව තිබෙනවා.

නමුත් ඒ 19 වෙනි සංශෝධනය තිබෙන කිසියම්ම දෙයක් අපි කරලා නැහැ. අපේ රටේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඇතුල් කරන ලද පළාත් සභා පනතින් පළාත් සභා පිහිටුවලා දැන් වසර 30කට වැඩියි. නමුත් කිසිම ආණ්ඩුවක් ගරු කථානායකතුමනි, පළාත් සභා ක්‍රමයේ සාර්ථක අසාර්ථකභාවය අඩුපාඩු දුර්වලකම් ඒවා ශක්තිමත් කරනවද නොකළ යුතු ද ශක්තිමත් කරනවා නම් කෙසේද? මේ කියන කරුණු අවුරුදු 30ක් ගත වෙලත් පළාත් සභා පිළිබඳව පසුවිපරමක් කිසිම ආණ්ඩුවක් කරලා නැහැ. අපි කරලත් නැහැ. මම කරලත් නැහැ. ඒ තුළ පළාත් සභාවේ අපි බලාපොරොත්තු වුණු අරමුණු කොතෙක්දුරට සාර්ථක ද අසාර්ථක ද කියලා අපිට නිවැරදිව මෙච්චරයි කියලා ගණන් හදලා කියන්න පුළුවන්කමක් නැහැ. එවැනි අධ්‍යයනයක් පසුවිපරමක් කර නැති නිසා. අද පළාත් සභාවලට වෙන් කරන සල්ලිවලින් සියයට 85ක් නඩත්තුවට. සියයට 15ක් සංවර්ධනයට. නිලධාරීන් දහස් ගණනක් පළාත් සභාවල අද බොහෝ වෙලාවට වැඩක් හරි වගකීමක් නැතිව ඉන්නවා පළාත් සභා විසුරුවලා වසර එකහමාරක් නිසා. එතකොට පළාත් සභා ක්‍රමය ගැනත් තමාගේ වගකීම අපි සෑම කෙනෙක්ම ඉෂ්ට කරලා නැහැ. පසුවිපරමක් කරලා, අධ්‍යනය කරලා පළාත් සභා ශක්තිමත් කිරීමට. නිවැරදි කිරීමට. ඒ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන. ඒවගේම තමයි ගරු කථානායකතුමනි, මා මෙහිදී බොහොම හෘද සාක්ෂියට එකඟව මේ කියන්නේ මම මේ කථාකරන්නේ ඔබතුමාට විරුද්ධවත් අගමැතිතුමාගේ අදහස්වලට විරුද්ධවත් අද දවසේ දී මේ ගරු සභාවේ දී මාව විවේචනය කළ අයට විරුද්ධවවත් නොවෙයි. අපි අතේ යම්කිසි වැරැද්දක් සිදුවෙනවා නම් ඒ වැරැද්ද අපි නිවැරදි කර ගත යුතුයි. අපි වාහනයක් එළවගෙන යන කොට ඒක පාරෙන් පනින බව පේනවා නම් ඒක ඉක්මනට අපි පාරට ගන්න ඕන විදුලි කණුවක ටෙලිෆෝන් කණුවක හැප්පෙන්න කලින්. කාණුවකට වැටෙන්න කලින්. දැන් මේ ව්‍යවස්ථා සභාවේ ප්‍රශ්නයේ දී ප්‍රධාන වශයෙන්ම සහ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රශ්නයේ දී දැන් ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවත් මීට සති තුනකට හතරකට කලින් මෙහිදී මම කළ ප්‍රකාශය ඉතාමත් බරපතළ විදියට වැරදි අර්ථකථනයක් දී තිබෙනවා මේ ගැන කතා කළ බොහෝ අය. මම එතනදි කිව්වේ ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව නෙවෙයි. මම එතනදි කිව්වේ ව්‍යවස්ථා සභාවේ වගේම ස්වාධීන කොමිෂන් සභාවලත් සීමාව කොතනද? ඊට අදාළ කරුණු කාරණා මොනවද? ප්‍රතිපත්තිය කුමක්ද? මඟපෙන්වීම් මොනවද? ඒ කිසිම දෙයක් ස්වාධීන කොමිෂන් සභාවලත් නැහැ. මෙහිදී මම එදා කිව්වේ පැහැදිලි ලෙසම බරපතළ අපරාධකාරයෝ කුඩුකාරයෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ගරු කථානායකතුමනි මම එදා කියපු දේ මම මේ කියන්නේ.

පාතාල අපරාධ කල්ලි නායකයෝ වැලිකඩ හිරගෙදර පාලනය කරන්න බැරි නිසා අපි සාකච්ඡා කරලා අධිකරණ ඇමතිවරයා අපි තීරණයක් අරගෙන අඟුණුකොළපෑලැස්සට දැම්මා. අඟුණුකොළපෑලැස්සට දාපුවහම මහා මත්කුඩු ජාවාරම්කාරයෝ, අපරාධකාරයෝ, පාතාල කල්ලි නායකයෝ මානව හිමිකම් කොමිෂන් සභාව මේ වගේ දිග මාගලක් වගේ එකක් එවනවා විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියාගෙන් උත්තර අහලා මෙන්න මේවට උත්තර දෙන්න කියලා. කවුද අඟුණුකොළපෑලැස්සේ යන්න දුන්නේ. කවුද අපරාධකාරයින්ට ආරක්ෂාව දෙන්න කිව්වේ. කාගේ උපදෙස් අනුව ද ඔබ ගියේ. ඔබ එහේ ආරක්ෂක කටයුතු කරන්නේ කුමන ආකාරයට ද? මෙහි ඇති වගකීම ඔබ භාර ගන්නවද? මම එදත් කිව්ව එක අදත් කියනවා. මානව හිමිකම් කොමිෂන් සභාව මංගල සමරවීර ඇමතිතුමනි පෙනී සිටින්නේ පාතාලයින්ගේ අපරාධකාරයින්ගේ කුඩුකාරයින්ගේ මානව හිමිකම් සඳහා ද? මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමිය මම දැක්කා මගේ කතාවෙන් පස්සේ සාකච්ඡාවක් කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ප්‍රකාශයක් කරලා තිබෙනවා ජනාධිපතිතුමා මෙහෙම කියලා තිබෙනවා. එහෙම කියපුවහම අපිට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. මේවායින් ඉල්ලා අස්වෙලා යන්න හිතෙනවයි කියලා. මම අහන්නේ මේ රටේ මිලියන් 21 කට ආසන්න ජනතාවගේ මානව හිමිකම් ද රකින්නේ මානව හිමිකම් කොමිෂන් සභාව.

අපරාධ පාතාල කාරයින්ගේ මානව හිමිකම් ද රකින්නේ. මේ මානව හිමිකම් ගැන ලෝකයේ මහා කයිවාරු ගහන රටවල ලොකු ලොක්කෝ ත්‍රස්තයෝ අල්ල ගත්තහම කුඩු කාරයෝ අල්ල ගත්තහම පාතාලය අල්ල ගත්තහම ඔය කියන එක මානව හිමිකමක්වත් ඒ රටවල ක්‍රියාත්මක වෙනවද? එක මානව හිමිකමක්වත්. මේ අපිට තමයි මේ මානව හිමිකම දෙන්නේ. ඒවගේ තමයි මම මෙතන ප්‍රධාන වශයෙන්ම මේ කාරණාවේ දී පැහැදිලි කළේ ඉතාම කරුණු සහිතව මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී විනිශ්චයකාරතුමාලා පත් කිරීම පිළිබඳව යන මේ සංවාදය දැන් අද කථා කළ ආණ්ඩු පක්ෂයේ ගරු ඇමතිතුමෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දෙන්නෙක් ඉතාම දැඩි ලෙස මාව විවේචනය කරලා තිබුණා මම දැන ගත්තා මේ විනිශ්චයාකරතුමාලා පත් කිරීම ගැන මම දොස් කියනවයි කියලා. මගේ ප්‍රශ්නය මම කලිනුත් කිව්වේ පත් කරලා ඉන්න අය ගැන නෙවෙයි. මගේ ප්‍රශ්නය ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරන අය පිළිබඳව මොකද්ද කුමක්ද වගකීම කියන අය. ව්‍යවස්ථා සභාව මේ වන විට විනිශ්චයකාරවරු 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. සමහර අයගේ නම් මම තුන් සැරේ එවලා තිබෙනවා. ඇයි ඒ එවන්නේ. ඒ විනිශ්චයකාරතුමාලට ව්‍යවස්ථා සභාව ඉදිරියට එන්න බැහැ. ඒගොල්ලන්ට අග්‍රවිනිශ්චයකාරතුමා මුණගැහෙන්න බැහැ. ඒගොල්ලන්ට අල්ල ගන්න පුළුවන් මිනිහා මම විතරයි. මාව පාරේදි හරි අල්ලග න්න පුළුවන්. ඉතින් ඒ අය දුක් ගැනවිල්ල කියන්න පුළුවන් තැනට ඇවිල්ලා කියනවා.

ඒ ගොල්ලන්ට අසාධාරණයක් වෙලා කියලා ඒ අය කියනවා. ඒගොල්ල කියනවා ඔබතුමා තමයි අපේ නම් ගැන බලන්නේ නැත්තේ කියලා. එතකොට මේ නම් කපන්නේ මම කියලා ඒ අයගේ මුලින් හැඟීමක් තිබුණා. දැන්නම් ඒක නැහැ. එතකොට ඉතා පැහැදිලි ලෙසම විනිශ්චයකාරතුමෙකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් ඒ විනිශ්චයකාර ධුරය දරන පුද්ගලයාට ඒ මහත්මයාට හෝ මහත්මියට අයිතියක් තිබෙනවා තමාගේ සේවා කාලයට අයත් උසස්වීම තමාට ව්‍යවස්ථා සභාව හෝ වෙනත් ආයතනයකින් ලබා නොදෙන්නේ ඇයි කියන කාරණය දැන ගන්න. සාමාන්‍ය කම්කරුවෙක් ගත්තත් කම්කරුවෙක්ගේ උසස්වීමක් සුදුසුකම් සේරම හරිනම් එයාට උසස් වීම දෙන්නේ නැත්නම් ඔහුට අයිතියක් තිබෙනවා තමාට තමාගේ උසස්වීම දෙන්නේ නැත්තේ ඇයි කියලා අහන්න. එතකොට විනිශ්චයකාරවරයෙක් කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි. මේ ප්‍රශ්නයේ දී ප්‍රාථමික අධිකරණය, දිසා අධිකරණය මහාධිකරණය මේ සියලු අධිකරණවල සේවය කරන ගරු විනිශ්චයකාරතුමාලගේ තුමියන්ලාගේ අද අපේක්ෂා භංගත්වයක් ඇති වෙලා තිබෙනවා. බලාපොරොත්තු සුන් වෙලා තිබෙනවා. ඒ අය මගෙන් අහනවා අපිටත් මේ දේ වෙයිද? අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද? අපි මේ පුංචි තැන ඉඳලා ප්‍රාථමික අධිකරණයේ ඉඳලා අපි මේ යන්නේ අපේ උසස්වීම් එක්ක අනාගත බලාපොරොත්තු එක්ක. ඒකට අපි හුඟක් මහන්සි වෙනවා. නමුත් මේ නම් ප්‍රතික්ෂේප කරන අයට ඒ අයගේ නම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියන කාරණාව දැනගැනීමේ පැහැදිලි ශුද්ධ වූ අයිතියක් තිබෙනවා මම දන්න විදියට නම් ගරු කථානායකතුමනි. මේ තත්ත්වයන්වල දී මම ගරු කථානායකතුමනි, ඔබතුමාට මම දැන් කියනවා 2015 අප්‍රේල් මාසේ 27 වන දා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන වෙලාවේ ඔබතුමා ගරු කරු ජයසූරිය මැතිතුමා ඇමතිවරයෙක් විදියට මේ ගරු සභාවේ දී කරන ලද කතාවේ කොටසක්. එවකට ගරු කථානායකතුමා චමල් රාජපක්ෂ මැතිතුමා. ඔබතුමා එවකට රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ බුද්ධ ශාසන ගරු අමාත්‍යතුමා. ඔබතුමා 19 වෙනි සංශෝධනයේ විවාදයට සහභාගි වෙමින් මෙන්න මෙහෙම කියනවා. මට මේ අවස්ථාවේදී මතක් වෙනවා පසුග ිය ජනාධිපතිවරණයේ මෛත්‍රී චින්තනය නමැති අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අරන් අපි හන්දියක් හන්දියක් ගානේ ගිහින් ජනතාවගේ වරමක් ඉල්ලුවා. අපිට දින 100ක් දෙන්න. ඒ දින සීය තුළ මේ රටේ යුක්තිග රුක හා සාධාරණ සමාජයක් ඇති කරලා මේ රට නිර්දේශපාලනීකරණය කරනවා කියා අපි කිව්වා. ඊළඟට ඔබතුමා ඒ විවාදයේ දී කියනවා මේ දේශපාලනීකරණය වූ සමාජය දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වූ පොලීසිය දේශපාලනීකරණයට වූ අධිකරණය පිරිසිදු කිරීම සඳහා අපට සමාජයේ වැදගත් පුද්ගලයින් අවශ්‍ය යයි.

අද අපි බලාපොරොත්තු වන්නේ ඒකයි. අපි මහජනතාවටත් කිව්වේ එහෙමයි. ගරු කථානායකතුමනි, අගමැතිතුමනි, ගරු විපක්ෂනායකතුමනි වැනි දේශපාලනඥයින් මෙන්ම කීර්තිමත් පුද්ගලයින් මෙතන සිටීම ඉතා වැදගත් ලෙස මා දකිනවා. අප යම් විදියකින් එතනින් කීර්තිමත් පුද්ගලයින් අයින් කරන්න බලාපොරොත්තු වනවා නම් කොමිෂන් සභාවලට දේශපාලනඥයින් විතරක් පත් කරන්න බලාපොරොත්තු වනවා නම් ගරු කථානායකතුමනි මේ පණත් කෙටුම්පත ගැන කතා කිරීමේ වැඩක් නැහැ. මේක ගෙනැල්ලා වැඩකුත් නැහැ. එහෙම වුණොත් අපේ මූලික පරමාර්ථය සාර්ථක වූ බවක් අප දකින්නේ නැහැ. ගරු කථානායකතුමනි ඔබතුමයි මේ එහෙම කියන්නේ. එසේ ඒ අධිකරණය ද පොලීසිය ද රාජ්‍ය සේවය ද සමාජය ද සියල්ල දේශපාලනීකරණය වූ බව එදා ඔබතුමා සඳහන් කළ ආකාරයටම අද චෝදනාවක් තිබෙනවා රටේ විනිශ්චයකාරතුමාලගේ ඉඳලා උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අපක්ෂපාතී මධ්‍යස්ථ මත දරන්නන්ගේ ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලයි කියලා. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ කතාව කියලා කතාවක් තිබෙනවා ගරු කථානායකතුමනි. පසුගිය දිනක ඔබතුමා මේ පිළිබඳව මම ඉදිරිපත් කළ විවිධ උත්සව රැස්වීම්වල දී ඔබතුමා මට ලිපියක් එව්වා විනිශ්චයකාරතුමාලා පත් කිරීම ගැන. ඔබතුමා එවපු ලිපියේ මට එවපු ලිපිය 2019 ජනවාරි 02 වෙනිදා මෙසේ තිබෙනවා. එහි මැද තිබෙනවා එසේම යම් පුද්ගලයෙකු තෝරා ගැනීමේ දී ජ්‍යෙෂ්ඨත්වය පමණක් අප කිසිවිටක උපයෝගී කර නොගන්නෙමු. නීති සහ අධිකරණ ක්ෂේත්‍රයන්හි ලබාගත් කුසලතාව හැකියාව කාර්යක්ෂම බව හා ස්වාධීනත්වය මෙන්ම අවංකභාවය ද අපගේ අවධානයට ලක් වේ. මේ අනුව අදක්ෂ පුද්ගලයින් අල්ලස් චෝදනා ලත් පුද්ගලයින් මෙන්ම ස්වාධීනව කටයුතු නොකළ බවට සාධක ඇති පුද්ගලයන් ද සභාව මගින් අතීතයේ දී ප්‍රතික්ෂේප කර ඇත. දැන් මේ නම් ප්‍රතික්ෂේප කළ අය පිළිබඳව තමයි මේ ඔබතුමා කියන්නේ. දැන් මෙතන ප්‍රශ්නය ගරු කථානායකතුමනි ඔබතුමාගෙයි අපෙයි වගකීමක් විතරක් නෙවෙයි අග්‍රවිනිශ්චයකාරතුමාගෙත් වගකීමක් තිබෙනවා මම දන්න විදියට විනිශ්චයකාරවරයකුගේ උසස්වීමට ඔහු නුසුදුසු නම් ඔහුට දැනුම් දෙන්න මෙන්න මේ තත්ත්වය තුළ ඔබ නුසුදුසුයි කියා. විනය පරීක්ෂණයක් ද අල්ලස් දූෂණ පිළිබඳව ප්‍රශ්නයක් ද වෙනත් කාරණයක් ද සේවයේ අකාර්යක්ෂමතාවය ද වෙනත් යම් යම් ඉන් බාහිර වූ කරුණු ද එහෙම නම් ඔහුට කිව යුතු වෙනවා. දැන් මේ 14 දෙනෙක් මගේ පස්සේ එන්නේ ඒ අයට වුණු දැන් එතනින් භාගයක් විශ්‍රාම ගිහිල්ලා. ඒගොල්ලෝ ඒ ගැනත් කියනවා.

අපිට උසස්වීම් හම්බ වුණා නම් අපි 65 වෙනකන් අපි 60න් යන්න වුණා උසස්වීමක් නැති නිසා. හැබැයි අපිට උසස්වීම දුන්නේ නැත්තේ ඇයි කියලා අපිට කියන්නේ නැහැ. එතකොට අර වෙනත් සමාජයේ අයගේ වගේ ඒ අය මා සමග කියනවා ජනාධිපතිතුමා අපේ දරුවෝ අපිට මොකද කියන්නේ. අපේ දරුවෝ අපෙන් අහනවා අපේ තාත්තලා මොනවද කරලා තිබෙන වැරදි කියලා. උසස්වීම හම්බ වුණා නම් අපි 65 වෙනකන්. දැන් අපිට 60 න් යන්න වුණා උසස්වීමක් නැති නිසා. හැබැයි අපිට උසස්වීම් දුන්නේ නැත්තේ ඇයි කියලා අපිට කියන්නේ නැහැ. එතකොට අර වෙනත් සමාජයේ අයගේ වගේ ඒ අය මා සමඟ කියනවා ජනාධිපතිතුමා අපේ දරුවෝ අපට මොකද කියන්නේ. අපේ දරුවෝ අපෙන් අහනවා අපේ තාත්තලා මොනවද කරලා තිබෙන වැරදි කියලා. ඇයි අපිට උසස්වීම දෙන්නේ නැත්තේ කියලා. එහෙම නම් ඇයි අපිට මේකට උත්තරයක් දෙන්නේ නැත්තේ. මේ කියන කාරණාව ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම එහි ප්‍රශ්නයක් විදියට ඇතුළත් වෙනවා. ඊළඟට 2019 ජනවාරි 02 වෙනි දින ඔබතුමා මට එවපු ලිපියෙම මැද සඳහන් වෙනවා එලෙස සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමේදී සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් සභාවේ සියලුම සාමාජිකයන්ගේ තීරණ තීන්දු බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන බවත් සියලු අදහස් සලකා අපක්ෂපාතී අවසන් තීරණයකට එළැඹෙන බවත් කාරුණිකව දන්වමි. සාධාරණ හා විනිවිදභාවය එහෙම නම් විනිවිදභාවය නම් මේ පත්වීම්වලට නම් එවන ජනාධිපතිවරයාට අයිතියක් නැද්ද ඇයි මේ නම ප්‍රතික්ෂේප කළේ කියලා දැනගන්න.

මට එහෙම එවලා නැහැ අහවලා නුසුදුසු මේ හේතුව නිසා කියලා. ඔබතුමා එවන්නෙත් නැහැ. අග්‍රවිනිශ්චයකාරතුමා එවන්නෙත් නැහැ. එතකොට විනිවිදභාවය සාධාරණය කියන ප්‍රශ්නයේදි මේ නම් ප්‍රතික්ෂේප වුණු 14 දෙනාම කියන කාරණය තමයි මේ වචනම තමයි ඒ අයත් පාවිච්චි කරන්නේ. සාධාරණය සහ විනිවිදභාවයක් නැහැ උසස්වීම්වලට අපේ නම් ප්‍රතික්ෂේප කරලයි කියලා. ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට ලක් වීමේදී අපිට මෙහිදී කියන්න පුළුවන් කරුණු ප්‍රධාන වශයෙන් මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීමත් සමග ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු ඉතාම වැදගත් අරමුණක් වූයේ නීතියේ ආධිපත්‍ය බලගැන්වීම් සහ ව්‍යවස්ථාවට අනුකූලව රාජ්‍ය පාලනය පවත්වා ගෙන යෑමයි. එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන එම සංශෝධනයට එක් කරනු ලැබූ වැදගත්ම යාන්ත්‍රණය වනුයේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමයි. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය කර එය විධායක ජනාධිපතිවරයාගේ බලතලවලට යටපත් කර ඇතැයි යන මතය අප 2015 මැතිවරණයට ඉදිරිපත් වන කාලයේ දී තදින් සමාජ ගත වී තිබූ විශේෂ විවේචනයකි. මේ තත්ත්වය අනිසිදායක ප්‍රතිඵල ගෙනදුන් තත්ත්වයක් ලෙසට අප සියලු දෙනාගේම මතය විය. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ විනිවිදභාවයකින් තොර තීරණ ගැනීම සඳහා විධායක ජනාධිපතිවරයකු පොළඹවන ක්‍රමවේදයක් ලෙසට දිගින් දිගටම විවේචනයට සහ අප්‍රසාදයට ලක් වූ ක්‍රමවේදයක් විය. එවැනි පසුබිම් තලයක දී අප ජනතාව වෙත දෙනු ලැබූ එක්තරා වැදගත්ම දේශපාලන පොරොන්දුවක් වූයේ නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් වඩා යහපත් විනිවිදභාවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හඳුන්වා දීම මගින් රාජ්‍ය පාලන ක්‍රමය ජනහිතවාදී වඩා කාර්යක්ෂම ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමයි. 19 වන සංශෝධනය මගින් බලගන්වනු ලැබූ නව ව්‍යවස්ථා සභාවේ කාර්ය මගින් බලාපොරොත්තු වූ උසස් අරමුණු වන්නේ මේ මූලික අභිමථාර්ථයන් සාක්ෂාත් කර ගැනීමයි. නමුත් මේ උසස් අභිමථාර්ථයන් මේ වසර 03කට මදක් වැඩි කාලයක් තුළ ඉටු කර ගැනීමට හැකි වූවාද යන උභතෝකෝටික ප්‍රශ්නය අද සමාජය පුරා පැතිර ඇත.

මේ සභාව පිහිටුවා එය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සලසා දීම විධායකයේ මූලික බලය දරන්නා ලෙසින් මා වෙත පැවරී ඇති වගකීම මම කණගාටුවෙන් යුතුව මතක් කරනු කැමැත්තෙමි. එහි ඇති වැදගත්කම හොඳින් අවබෝධ කරගත් බැවින් 33 වන ව්‍යවස්ථාවේ ඈ උප ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට මා ප්‍රමුඛත්වයක් ගත් බව නොරහසකි. තමුන්නාන්සේලා සියලු දෙනා දන්නා පරිදි ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිත්වය දරන්නේ රටේ තුන් වෙනියා වූ ඉහළ ම පුරවැසියා වූ ඔබතුමාය. එහි සංයුතියේ දී රටේ අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඇතුළු ඉතාමත් සුවිශේෂී පුද්ගලයින් සිටින බව අප සියලුදෙනාම දනිමු. මෙවැනි සංයුතියකින් ඉතාමත් සුවිශේෂී සහ බලවත් සභාවක වැඩකටයුතු සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමක් බලපෑමක් කිරීම අනිසි අන්දමේ යෝජනාවක් කිරීමක් වැනි කිසියම් ආකාරයේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බැවින් මෙම පසුගිය වසර 04 තුළ නොකළ බව සියලුදෙනා දන්නා විවාදාත්මක කරුණකි. එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී බලපෑමක් නොකර ව්‍යවස්ථා සභාවට තම අභිමතයට අනුව කටයුතු කිරීමට මම ඉඩප්‍රස්ථාව සලසා දෙනු ලැබුවේ ඉහත කී 33 (ඈ) ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමට මට ඇති යුතුකම සහ වගකීම ගැන මම හොඳින් වටහා ගෙන ඇති බැවිනි. එසේ වුවත් අද පැන නැගී ඇති තත්ත්වය තවදුරටත් නිහඬව සිටීමට නො හැකි තත්ත්වයක් උදාවී ඇත. ව්‍යවස්ථා සභාව තම කටයුතු කර ගෙන යනු ලබන්නේ ව්‍යවස්ථාවට අනුකූලව ද යන්න පිළිබඳව අද විශාල සැකයක් සමාජය තුළ ඇත. ඒ අනුව ව්‍යවස්ථාවේ මා වෙත බල පවරා ඇති යුතුකම් සහ කාර්යභාරය අනුව විශේෂයෙන් 33(1) (ඈ) යටතේ ක්‍රියා කරමින් ව්‍යවස්ථා සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට මට නීතිමය වගකීමක් පමණක් නොව සදාචාරාත්මක වගකීමක්ද ඇත. ව්‍යවස්ථා සභාවක් ක්‍රියාත්මක කිරීමේ දී විධායක ජනාධිපතිවරයාගේ බලතල අභිබවා ක්‍රියාත්මක වීමක් නොවිය යුතුය. එයට හේතුව නම් ව්‍යවස්ථාවේ තුන් වන සහ හතරවන ව්‍යවස්ථා මගින් ජනතාවගේ විධායක ස්වෛරී බලය පවරා ඇත්තේ ජනතාව විසින් මැතිවරණයක දී තෝරා ගනු ලැබූ විධායක ජනාධිපතිවරයා වෙතයි. මුල්වරට ව්‍යවස්ථා සභාවක් පත් කිරීමේ සංකල්පය 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධව කරනු ලැබූ ව්‍යවස්ථා අනුකූලත්වය පිළිබඳව නඩු තීරණයේ දී ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා සභාවකට ජනාධිපතිවරයාගේ බලතල අභිබවා ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි. එය තම රාජකාරි කටයුතු සිදු කිරීමේදී විධායක ජනාධිපතිවරයා සමගාමීව සහ සහයෝග යෙන් ක්‍රියා කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව ප්‍රකාශ ඇත. මෙම නීතිමය මූලධර්මයන් එදා මෙන්ම අදටත් එක හා සමානව වලංගුය. එමෙන්ම වර්තමාන තත්ත්වයන්ටත් එක හා සමානව ආදේශ කර ගත හැකිය.

නමුත් අද වන විට ව්‍යවස්ථාදායක සභාව හැසිරී ඇති ආකාරය එහි ක්‍රියාකාරිත්වය එහි ආකල්ප සහ එය තුළින් විද්‍යාමාන වන සංස්කෘතිය තුළින් පැහැදිලි වන්නේ ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලනයට ගරු කරන සමාජය බලාපොරොත්තු වූ කිසිවක් ඒ ආකාරයෙන් සිදු නොවන බවයි. ගරු ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් මෙම විවාදය ආරම්භ වූ අවස්ථාවේ පත්කර ඇති විනිසුරුවරුන්ට මම විරෝධය පළ කරලා කියලා කියන මතය මම නැවත නැවතත් ප්‍රතික්ෂේප කරනවා. ඒ හදන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිටින විනිසුරුතුමන්ලා මාත් එක්ක තරහ කරන්නයි. කිසිම තැනක මම එහෙම එකක් කියලා නැහැ. මගේ එකම ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරපු අය සම්බන්ධව කවුද වගකීම ගන්නේ. එයට ඇයි උත්තරයක් දෙන්නේ නැත්තේ. ඒ කිසි කෙනෙක් මගේ නෑදෑයෝවත් මිත්‍රයෝවත් නොවේ. ඒගොල්ලෝ ඇවිල්ලා මට අභියාචනා දෙනවා, මේ කාරණය කියනවා. ඒ ප්‍රශ්නයට මම පිළිතුරක් ලබාදීම වගේම ඊට පහළ මේ උසස්වීම් බලාපොරොත්තුවෙන් ඉන්න මහාධිකරණය, දිසා අධිකරණය, ප්‍රාථමික අධිකරණය මේ අධිකරණවල උසස්වීම් පිළිබඳ බලාපොරොත්තු ඇතිව සිටින අයට උසස්වීම් ලබාදීමේ දී සාධාරණ, අපක්ෂපාතී, ස්වාධීන ක්‍රමවේදයක අවශ්‍යතාවය අපි දැඩි ලෙස අවධාරණය කිරීම අවශ්‍ය නිසයි ගරු කථානායකතුමනි මම මේ කරුණු සඳහන් කළේ. ඒ නිසා මේ කරුණු ඉදිරිපත් කිරීමේ දී කිසිසේත් ඔබතුමාව හෝ කිසිවෙක් එල්ලකරගෙන නොවේ, මම මේ කරුණු සඳහන් කළේ. රජයක් විදියට අපි සෑම කෙනෙක්ම මේකට වගකියන්න ඕන.

අපි වැරදි පාරක ගියොත් ඔක්කොම අමාරුවේ වැටෙනවා. අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල තුළම, ස්වාධීන කොමිෂන් සභාවල මේ කියන ආකාරයට කිසිම රෙගුලාසි හදලා නැහැ, ඒවායේ ප්‍රතිපත්තිය මොකක්ද, ඒගොල්ලන්ගේ මගපෙන්වීම මොකක්ද එහෙම කිසිම දෙයක් නැහැ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් පොලිස් කොමිෂන් සභාව පොලිසියේ ඉහළ නිලධාරියාගේ ඉඳලා රාළහාමිගේ මාරුවීම දක්වා ඒගොල්ලෝ ඇතුල්වෙලා ඉන්නවා. හැබැයි කොමිෂන් සභාවේ අරමුණ ඊට වඩා වෙනස් දෙයක්. හොඳ ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කරන්න, හොඳ මහජන සේවාවක් ඇති කරන්න, පොලිසියේ නව පර්යේෂණ අංශ වගේම දැනුම වැඩි කරන අංශ එක්ක ප්‍රමිතිය උසස් කිරීම ඒවා තමයි කිරීම අවශ්‍ය වන්නේ. අද මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා.

දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සීමාව කොතනද කියලා නැහැ. අමාත්‍යාංශ ලේකම්ගේ ඉඳලා කම්කරුවා දක්වා කොමිෂන් සභාවෙන් තමයි කළමනාකරණය වෙන්නේ. ඉතින් දෙපාර්තමේන්තු ප්‍රධානියා, අමාත්‍යාංශ ලේකම් ඒ අයටත් යම්කිසි වගකීමක් තිබෙනවා. අපි හදපු 19 වන සංශෝධනයෙන් බිහි වූ අනිත් දරුවෝ තමයි ස්වාධීන කොමිෂන් සභා. මේවා වැරදි පැත්තකට යනව නම් ඉතාමත් බරපතළයි. ඒ මොකද පුළුල් බලතල රාශියක් දී තිබෙන නිසා ඒවා දේශපාලනීකරණය වුවහොත් රට තුළ අපක්ෂපාතිත්වය, මධ්‍යස්ථභාවය සහ ස්වාධීනත්වය කරුණු සම්බන්ධයෙන් බරපතළ අභියෝගයකට සමාජය ලක්වෙනවා.

ඒ නිසා මම ඉතාමත් සද්භාවයෙන් මෙම කරුණු සඳහන් කළේ මේ තත්ත්වය පැහැදිලි කිරීමටයි. මේ උත්තරීතර සභාවේ මම මන්ත්‍රීවරයෙක් නෙවෙයි, ජනාධිපතිවරයා විදියට ජනාධිපතිවරයාටත් දැනට තිබෙන බලතල සම්බන්ධව මේ කෙරෙන කටයුතුවලදි ඒ පිළිබඳවත් ප්‍රශ්න මතුවී තිබෙන නිසා තමයි මම මේ කරුණු පැහැදිලි කිරීම කරනු ලැබුවේ. 2015 මැතිවරණ ප්‍රකාශයේ මම කිව්වේ ජනාධිපති ධුරය අහෝසි කරන්න තමයි මම එන්නේ කියලා. ඒක අහෝසි කිරීම මම අතින් සිදුනොවුණු දෙයක් නෙවේ. පාර්ලිමේන්තුවට අයිති දෙයක්. ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ මේ උත්තරීතර සභාව ගන්නේ කුමන් තීරණයක් ද ඒ ඕනෑම තීරණයකට මගේ එකඟත්වය අදත් එහෙමයි, එදත් එහෙමයි. ඒ නිසා මෙම කරුණු පැහැදිලි කිරීම පිළිබඳ ඔබ සියලු දෙනාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා.