(අංජුල මහික වීරරත්න)
‘‘රටේ වැඩි ජනගහනය නියෝජනය කරන කාන්තා පරපුරේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම කාන්තා සංවර්ධන සහකාර තනතුරු ඇති කරන බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
‘‘පළාත් පාලන ආයතන සහ පළාත් සභා සඳහා කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට තමා විපක්ෂයේ සිටින කාලයේ පටන් හඬ නැගූ බව සිහිපත් කළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, යහපාලන රජය යටතේ කාන්තාවට තැනක් දීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බවද’’ කීවේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සහ රාජ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳව කොළඹ දිස්ත‍්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පැවැති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
උත්සවයේදී උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරුන් 99 දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමද, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ලැප්ටොප් පරිගණක යන්ත‍්‍ර දීමද අගමැතිවරයා අතින් සිදුකෙරිණි.
උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
‘‘ස්වදේශ කටයුතු ඇමැතිතුමාත්, නියෝජ්‍ය ඇමැතිතුමාත් එක්වී ප‍්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඉතා හොඳින් කරමින් සිටිනවා. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. එතුමා රට පුරා යමින් අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා විටින් විට මාත්, ජනාධිපතිතුමාත් දැනුම්වත් කරනවා.
එතුමා ඉටු කරන සේවාව පිළිබඳව මගේ ප‍්‍රශංසාව පළ කිරීමට කැමතියි. ඒ වගේම එතුමාගේ වැඩ කටයුතු සඳහා උපකාර කිරීමට දක්ෂ නියෝජ්‍ය ඇමැතිවරයෙකු ද සිටිනවා. ඒ නිසා නිමල් ලංසා මහතාටත් මා ප‍්‍රශංසා කරනවා.
රජයේ බොහෝ කටයුතු ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි. එදා මා බියගම මන්ත‍්‍රී ලෙස තේරී පත්වූ වහාම පළමුවෙන් කළේ කැලණිය සහ මහර කොට්ඨාස නියෝජනය වන පරිදි බියගමට ප‍්‍රාදේශීය ලේකම්වරයකු පත් කිරීමයි. ඒ ප‍්‍රාදේශීය ලේකම්තුමා බියගම ප‍්‍රදේශයේ විශාල සංවර්ධනය ඇති කිරීමට මා සමග ඉතා හොඳින් කටයුතු කළා.
ඒ වගේම ගංවතුර ආපදා වැඩ කටයුතු කිරීමේදී දකුණු පළාතේ සහ කළුතර දිස්ත‍්‍රික්කයේත් ප‍්‍රාදේශීය ලේකම්වරුන් ගණනාවක් ද මට හමුවුණා.
අප දැන් සූදානම් වන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඔබ හරහා අලූත් වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමටයි. ඒ සම්බන්ධයෙන් මා ජනාධිපතිතුමා සමගත් මේ වන විට සාකච්ඡුා කර තිබෙනවා.
රටේ ප‍්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී ජාතික ආණ්ඩුව බිහි කළේ පළමු වතාවටයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වමින් අප ජාතික ආණ්ඩුව බිහි කළේ රටේ සංවර්ධන වැඩකටයුතු වෙනුවෙනුයි. රට මුහුණ දී ඇති ගැටලූවලට විසඳුම් සෙවීමට නම් අප කෙටි කාලයක් හෝ එකට එක්ව වැඩකටයුතු කළ යුතු වෙනවා.
ඒ අනුව එතුමා ජනාධිපති ධුරයට තේරී පත් වීමෙන් පසු මා අගමැති ලෙස වැඩ බාරගත් අතර සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කරමින් මේ වැඩකටයුතු ආරම්භ කළා.
පක්ෂ දෙකක් එක්ව වැඩ කිරීමේදී බොහෝ විට ගැටලූ පැන නැගිය හැකියි. ගැටලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළද ඇති වනවා. විවිධ අදහස් මතු වෙනවා. නමුත් අප කෙසේ හෝ ඉදිරියට යා යුතුයි.
අප බොහෝ විට අවධානය යොමු කළේ බි‍්‍රතාන්‍ය පාලන ක‍්‍රමයට වඩා ජර්මන් ක‍්‍රමය පිළිබඳවයි. ඇතැම් විට රටක ප‍්‍රධාන පක්ෂ එකතු වීමත්, ඇතැම් විට බෙදී යාමත් ඒ ක‍්‍රමය තුළ දකින්න ලැබෙනවා. ප‍්‍රධාන පක්ෂ එකට එකතු වී වැඩ කළද වෙන්වී වැඩ කටයුතු කළද ඉන් බොහෝ කාර්යභාරයක් පැවරෙන්නේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් සහ ග‍්‍රාම නිලධාරීවරුන් වෙතයි.
ජාතික ආණ්ඩුව නිර්මාණය කර වසර දෙකක් සපිරෙන සැප්තැම්බර් 04 වැනි දින ‘2025 ආර්ථික සැලසුම’ ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. මගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අනෙක් අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කරනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දිස්ත‍්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරනවා. ‘2025 ආර්ථික දර්ශනයේ’ පිටපතක් සියලූදෙනා වෙත විද්‍යුත් තැපැල් මගින් යොමු කිරීම සුදුසු යයි මා යෝජනා කරනවා.
අපේ ආර්ථික දර්ශනය පිළිබඳව ඔබට සාමාන්‍ය දැනුම ගත හැකියි. නමුත් ඊටත් වඩා සවිස්තරාත්මක වාර්තාව මුදල් අමාත්‍යාංශය සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් නිර්මාණය කර තිබෙනවා. ඒ රාජ්‍ය අංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහායි.
අප සංවර්ධන ඉලක්ක සඳහා ගමන් කරන්නේ පෞද්ගලික ආයෝජන හරහායි. අපේ මුදල් යොදවන්නේ ඒ සැලසුම් සකස් කිරීමටයි.
ආයෝජන මණ්ඩලය හරහා පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන විට ඒ කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔබේ සහයෝගය අවශ්‍ය වනවා. අදාළ වාර්තා සීඝ‍්‍රයෙන් ඔබ හරහා අප වෙත එවිය යුතුයි. ඒ වගේම ප‍්‍රාදේශීය මට්ටමේ ඇති කුඩා ව්‍යාපාර වෙතත් විශේෂ අවධානය යොමු කළ යුතුයි.
මෙහිදී මා තවත් එක් අංශයක් ගැන කතා කරන්න කැමතියි. ඒ කාන්තා වැඩකටයුතු හා සැලසුම් සම්බන්ධවයි. දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ කාන්තා සැලසුම් හා වැඩ කටයුතු සම්බන්ධයෙන් අඩුවක් දකින්න ලැබෙනවා. නමුත් රටේ කාන්තා ප‍්‍රතිශතය 52% ක තරම් අගයක් ගන්නවා.
ප‍්‍රාදේශීය මට්ටමේ, තරුණ සේවා, කෘෂි කාර්මික, වාරි මාර්ග, විදුලි බල, මාර්ග ඉදිකිරීම, අධ්‍යාපනය ආදී සියලූ ක්ෂේත‍්‍රයන්වල වැඩකටයුතු හොඳින් වුණත් කාන්තා වැඩ කටයුතු හා සැලසුම් සම්බන්ධයෙන් අඩුවක් දකින්න ලැබෙනවා. ආගමික වැඩකටයුතුත් ඉතා හොඳින් කරනවා.
නමුත් සියයට 52 ක් වන රටේ කාන්තාවන් වෙනුවෙන් කරන්නේ මොනවාද? ඒ නිසා එය ප‍්‍රධාන කර සැලකිය යුතුයි.
මගේ අමාත්‍යාංශය හරහා කාන්තා කටයුතු සහ සැලසුම් වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුර ඇති කරනවා. වනිතා කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්වී සියලූ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුර ලබාදෙනවා.
ඒ තනතුර සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගෙන මනා පුහුණුව දීමෙන් අනතුරුව ඒ සඳහා පත්වීම් දීමට නියමිතයි. ඉන් පසුව මේ වැඩකටයුතු සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ද පුහුණුව දිය යුතුයි.
පුහුණුවෙන් පසු වැඩකටයුතු ආරම්භ කර ඉදිරියට යා යුතුයි. ඒ ආකාරයට වැඩ කටයුතු කර කාලයක් ගත වන විට දක්ෂතා සහිත නිලධාරීන් හරහා වැඩකටයුතු දිස්ත‍්‍රික් මට්ටම දක්වා ගෙන ගොස් තවත් ඉදිරියට යා හැකියි.
මෙහි තවත් අංශයක් තිබෙනවා. ඒ එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී සියයට 25 ක අනිවාර්ය කාන්තා නියෝජනය ඇති කිරීමයි. ඒ අනුව මැතිවරණවලදී පිරිමි අපේක්ෂකයන්ට 75% ක උපරිම මැතිවරණ නියෝජනය හිමි වනවා. පළාත් පාලන ආයතන තුළ 25% ක කාන්තා නියෝජනය ඇති කර අඩුපාඩු සකසා ගනිමින් ඒ ක‍්‍රමය ඉදිරියේදී පළාත් සභා තුළද ක‍්‍රියාත්මක කළ හැකි වෙනවා.
කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුර ඇති කිරීම හරහා බිම් මට්ටම තුළ විශාල කාන්තා නියෝජනය ඇති වීමට නියමිතයි. ඒ අනුව සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළම කාන්තා වැඩකටයුතු සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීම කාන්තා නියෝජිතයන් වෙත පැවරෙන රාජකාරියයි.
පළාත් පාලන ආයතන සහ පළාත් සභා තුළ කාන්තාවන්ට නියෝජනය අත්‍යවශ්‍ය බව මා පැවසූයේ විපක්ෂයේ සිටින කාලයේ සිටයි. එහිදී යෝජනා ඉදිරිපත් කළද ඒවා ක‍්‍රියාවට නැංවූයේ නැහැ. නමුත් 2015 වසරේදී කාන්තාවන්ට 25% ක නියෝජනයක් දිය යුතු බවට නීතිය මා සම්මත කරගත්තා.
නීතිය සම්මත වුණේ මනාප ක‍්‍රමය සහ පැරණි මැතිවරණ ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙමින් පැවතියදීයි. පැවැති මැතිවරණ ක‍්‍රමය අප සංශෝධනය කළා. ඒ අනුව ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ 60% ක් කොට්ඨාස ක‍්‍රමය යටතේත්, ඉතිරි 40% ක් අනුපාත ක‍්‍රමය යටතේත් තෝරා පත්කර ගැනීමටයි. පක්ෂ නායකයන් මුණගැසී මේ සම්බන්ධයෙන් මා සාකච්ඡුා කරනවා.
ඉදිරියේදී තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රී සංඛ්‍යාව ඉහළ යනවා. දැන් තිබෙන්නේ මේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමයි.
අය වැය සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් කටයුතු දෙසැම්බර් මාසයේ අවසන් වූ පසු මැතිවරණ කටයුතු ජනවාරි මාසයේදී සූදානම් කරන්නැයි මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව එළැඹෙන ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
මැතිවරණයෙන් කාන්තා නියෝජිතයන් තේරී පත්වූ පසු පෙබරවාරි මාසයේ සිට ඔවුන් තමන්ගේ රාජකාරි ආරම්භ කරනවා. මීට අමතරව කාන්තා වැඩකටයුතු සම්බන්ධයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අය වැයට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යාංශය සමග මා සාකච්ඡුා කරමින් සිටිනවා. එවිට කාන්තා නියෝජිතයන් සහ කාන්තා කටයුතු වෙනුවෙන් පත් කරන සංවර්ධන සහකාරවරුන් යන අංශ දෙකම කාන්තාවන් වෙනුවෙන් රාජකාරි ඉටු කරනවා. නව වැඩ කටයුත්ත වෙනුවෙන් අප ඉදිරියේදී අවධානය යොමු කරනවා.
අවුරුදු 8x9 ක් පුරා කාන්තාවන් වෙනුවෙන් මා සැලසුම් කළ මූලික වැඩ කටයුතු මේ අනුව අවසන් වෙනවා. දැන් තිබෙන්නේ ඉදිරියට යාමටයි.
ප‍්‍රාදේශීය ලේකම් ක්ෂේත‍්‍රයේ 70% ක් පමණ තනතුරු දරන්නේ කාන්තාවනුයි. ඔවුන් වගකීම් භාරගෙන ඉදිරියට යා යුතුයි. ඒ අනුව මේ වැඩසටහනෙන් පසු ඔබට කාර්යක්ෂමව ඉදිරි වැඩ කටයුතු ඉටු කිරීමට හැකිවේවා යයි මා ප‍්‍රාර්ථනා කරනවා’’ යයිද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා
‘‘අප ශ්‍රී ලංකාවේ හැම දිස්ත‍්‍රික්කයකම රාජ්‍ය නිලධාරීන් හමුවුණා. අවසන් වශයෙන් හමුවන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ඔබයි. රජයේ නව ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමේදී රාජ්‍ය නිලධාරියා හා දේශපාලන යාන්ත‍්‍රණය කෙසේ සම්බන්ධ විය යුතුදැයි අප කල්පනා කළා.
රාජ්‍ය සේවකයා කවරකුදැයි ආයතන සංග‍්‍රහයේ සඳහන් වෙනවා. ආයතන සංග‍්‍රහය නොසලකන අවස්ථාද තිබෙනවා. රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වන්නේ රාජ්‍ය සේවකයා හරහායි.
රාජපක්ෂ යුගයේදීත් රාජ්‍ය සේවකයා ක‍්‍රියා කළේ එකල ක‍්‍රියාත්මක ප‍්‍රතිපත්ති මත සිටයි. දේශපාලනය හා රාජ්‍ය යාන්ත‍්‍රණය දෙකක් නොවෙයි. සමහරුන් එය දෙකක් ලෙස සිතනවා.
ආණ්ඩුවක් මාරු වූ විට අමාත්‍යවරයා ලේකම්වරුන් පත් කරනවා. අප සැමවිටම පත් කිරීම් කරන්නේ පරිපාලන යාන්ත‍්‍රණය පදනම් කරගෙනයි. තනතුරු සඳහා කිසි විටෙකත් අප බි‍්‍රගේඩියර්වරුන්, ජනරාල්වරුන් පත් කර නැහැ. රාජපක්ෂ යුගයේදී නම් එවැනි පත් කිරීම් කළා. එවිට කිසිවකුත් විරුද්ධව කෑ ගැසුවේ නැහැ.
පුරවැසියකුගේ උපතේ සිට මරණය දක්වා සියලූ වගකීම් දරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි. පවතින රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම රාජ්‍ය සේවකයාගේ වගකීමයි. මුළු ලොවම දියුණු වී ඇත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මතයි. රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමේදී දේශපාලන අධිකාරිය කල්පනාකාරී විය යුතුයි.
රාජ්‍ය සේවකයාට විවිධ අදහස් තිබිය හැකියි. නමුත් රජයක් පත්වූ විට රජයේ සේවකයා රජයේ අදහස සමග කටයුතු කළ යුතුව තිබෙනවා. රජයේ සේවකයාට පෞද්ගලික මත තිබුණත් රජයේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීමට රාජ්‍ය සේවකයා බැඳී සිටිනවා.
පසුගිය රජයේ කාලය දැන් අවසානයි. ඇතැම් රාජ්‍ය සේවකයන් තවමත්් පසුගිය රජය මතයේ සිටිනවා නම් එය ආයතන සංග‍්‍රහයට පටහැණියි. රාජ්‍ය සේවකයා රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නංවන්නේ නැතිනම් එය දඬුවම් ලැබිය හැකි වරදක් බව ආයතන සංග‍්‍රහයේ සඳහන්ව තිබෙනවා.
අප රජය රාජ්‍ය සේවක වැටුප් ඉහළ ප‍්‍රතිශතයකින් වැඩි කළා. 2020 වන විට විශේෂඥ වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ විසිදහසක් වෙනවා. මෙය එක් උදාහරණයක් පමණයි. කාර්යාල කාර්ය සහයකයාගේ සිට නීතිපති දක්වා පඩි වැඩිවීම ක‍්‍රියාත්මකයි.
රාජ්‍ය ආයතනයක රියැදුරකුගේ මූලික වැටුප රුපියල් 12,000 යි. 2020 වන විට ඒ මුදල රුපියල් 28000 ක් වෙනවා. වෘත්තීය සමිති මේ කරුණු නැවත කියවා ගත්තොත් හොඳයි. ඔබේ වැඬේ හරිගියා වගේම රටේ වැඬේ හරියාකාරව කිරීමට ඔබ සිතාගත යුතුයි.’’
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා:
‘‘ශ්‍රී ලංකාව පුරා සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මේ වැඩසටහන පැවැත්වුවා. මේ දැනුවත් කිරීම තුළින් ජනපති - අගමැති ප‍්‍රමුඛ රජය රටේ අනාගතය ගොඩනැගීම සඳහා ක‍්‍රියාත්මක කරන වැඩසටහන් ගැන ඔබට අවබෝධය ගැනීමට හැකියාව ලැබෙනවා.’’
කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාද අදහස් දැක්වීය.