යාවත්කාලීන විය යුතු සීමානිර්ණය


සීමානීර්ණය මැතිවරණ කටයුතුවලදී මෙන්ම සියලු‍ පරිපාලන කටයුතු නිවැරදිව පවත්වාගෙන යාමට ඉවහල් වන විෂයපථයකි. නමුත් ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් ඔවුනොවුන්ට අභිමත පරිදි සීමානිර්ණය කරගැනීමට යාමෙන් සීමානිර්ණ විෂය මේ වෙනවිට බෙහෙවින් ව්‍යාකූල වී තිබේ. දැනට අතුරුදන් වී ඇති පළාත් සභා මැතිවරණයට මෙන්ම, දැනට ප්‍රකාශයට පත්කර එහෙත් පවත්වන දිනයක් නොමැති පළාත් පාලන මැතිවරණය සඳහා ද මෙම සීමානිර්ණයේ ගැටලු‍ බලපා තිබේ. පළාත් පාලන ආයතනවල සභික මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීම පදනම් කරගනිමින් මේ වෙනවිට සීමානිර්ණයක් සිදුකර ඇති අතර, පළාත් සභා සම්බන්ධයෙන් ද එවැන්නක් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතී. කෙසේ වෙතත් පවතින නීතිය යාවත්කාලීන නොවීම සහ විවිධ බලපෑම් හේතුවෙන් සීමානිර්ණ කොමිෂන් සභාව කොතරම් හොඳ සීමානිර්ණයක් සිදුකිරීමට උත්සාහ කළත් ඔවුන් අපහසුතාවට පත්වන අවස්ථා ඉස්මතු වී තිබේ. 


පළාත් පාලන ආයතන සම්බන්ධ සීමානිර්ණයේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් සම්පාදිත වාර්තාවක් පසුගිය සතියේ එළිදැක්වූ අතර එහිදී සීමානිර්ණය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක්විය. සීමානිර්ණය වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන විය යුතු මෙන්ම, ඒ සම්බන්ධ නීති වෙනස් විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය. සීමානිර්ණ කාර්යයේදී මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. 
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ ද කීවේය. “පළාත් පාලන ආයතනයක මූලික කාරණා වන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සැපයීම. ඒ කියන්නේ නිවාස‌, ආහාර පාන, මහාමාර්ග ඇතුළු මිනිසුන්ගේ මූලික අවශ්‍යතා. එහෙම නම් ඒ විෂය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට තමයි අපි ඡන්ද ක්‍රමය සැකසිය යුත්තේ. එවිට එම ආයතනවලට පත්වන නියෝජිතයන් එම කාර්යයන් සිදුකළ යුතුයි.
සීමානිර්ණය කිරීමේ නිර්ණායක තවමත් අතීතයේ ඒවාම තමයි. ඒවා කිසිවක් වෙනස් වෙලා නැහැ. එහිදී ජනගහනය, භූමිය වගේම ජාතිය, ආගම සහ කුලය ගැන සලකන්න ඕන කියලා මතයක් තියනවා. සීමානිර්ණයෙන්ම මේ රට බෙදල තියෙන්නෙ. මිනිස්සු මානසිකව බෙදල තියෙන්නේ. කොළඹට බහු ආසන දෙන්න බැරි ඇයි කියලා අහන්නේ මේ නිසා තමයි. එහෙම දෙන්න අවශ්‍යතාවක් නැහැ. මොකද අපි පළාත් සභාව නියෝජනය කරන්න නියෝජිතයෙක් යවනවා මිසක් එයාව වාර්ගික පදනම් මත යවන එකක් නෙවෙයි තියෙන්නේ. යවන්නේ කවුද කියලා ඡන්ද දායකයෝ තීරණය කරයි. අපිට තියෙන්නේ නියෝජිතයෙකුට අවස්ථාව දෙන්න. ජනගහනය, භූමිය වගේම ජාතිය ආගම සහ කුලය ගැන හිතලා සීමානිර්ණය කරන්න ඕනේ කියන අතීත ආකල්පය සමගයි අපි තවම ඉන්නේ. 
සීමානිර්ණ කොමිසමට නීතියෙන් බැහැරව වැඩ කරන්න බැහැ. ඒ නිසා මුලින් වෙනස් වෙන්න ඕනේ නීතියයි. අපි ඒ නීතිය වෙනස් නොකරන තාක් කල් කුමන ආකාරයෙන් සීමානිර්ණය කළත් හැමදාම ප්‍රශ්න තිබෙනවා. මේ නිසා මම විශ්වාස කරන්නේ සීමානිර්ණයක් සිදුවිය යුත්තේ ආයතනයේ අවශ්‍යතාව කුමක්ද කියලා බලලා ඒ අනුවයි. පළාත් පාලන ආයතනවල අවශ්‍යතාව කුමක්ද, පළාත් සභාවල අවශ්‍යතාව කුමක්ද, පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව මොකක්ද මෙහිදී අපි අවබෝධ කරගත යුතුයි. 
පාර්ලිමේන්තුවේ කරන්නේ මුදල් පාලනය සහ නීති හදන එක. එතැන පාලම් බෝක්කු හදන්න යන්නේ නැහැ. පාර්ලිමේන්තුවට නියෝජිතයන් යැවීමේදී යම්කිසි ආකාරයකට නීති හැදීමට සුදුස්සන් එයට යැවිය යුතුයි. සීමානිර්ණය විය යුත්තේ ඒ වෙනුවෙන්. පළාත් සභාවට, පළාත් පාලන ආයතනයටත් මෙවැනිම කාර්යයන් තිබෙනවා. නමුත් අද අපි ඒ තැන නෙවෙයි ඉන්නේ. ඒ වගේම අපි මොනව කළත් අපි පුංචි දූපතක්. මේ ලෝකය ඉදිරියට ගමන් කරද්දි අපිට විතරක් තනිවෙන්න බැහැ. තාක්ෂණය සන්නිවේදනය ඇතුළු සියලු‍ දෙයින්ම අපිට බේරිලා ඉන්න බැහැ. දැන් ලෝකය හරිම පුංචියි. විශ්ව ගම්මානයක් කියලනේ කියන්නේ. මේනිසා අපිට ‌ලෝකයෙන් හුදෙකලා වෙන්න බැහැ. අපි මොනවා කළත් අපිට ආර්ථිකය සහ දේශපාලනය අමතක කරන්න බැහැ. මේනිසා අපි සීමා නිර්ණයක් නිවැරදිව කරනවා නම් අපි ආර්ථික සහ දේශපාලන සාධක කෙරෙහිත් අවධානය යොමු කළ යුතු වෙනවා. අපි රටක් විදිහට දියුණුවෙන්න අවශ්‍ය නම් කළ යුත්තේ එයයි. අපි දැන් ඉන්නේ සම්පූර්ණ සහනාධාර සංස්කෘතියක. එ්කෙන් ඉවත් වෙලා රටක් විදිහට ඉදිරියට යන්න අවශ්‍ය නම් මේ ආයතනවල නියෝජිතයින් පත්කරගැනීමේ සීමානිර්ණ සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. ඒක කොහොමද වෙන්න ඕනේ කියන දේ පිළිබඳ අපි කතිකාවතකට යා යුතුයි. 1935 ගහපු ගැසට් එක තව දුරටත් ඉදිරියට අරගෙන යනවා නම් තේරුමක් නැහැ. ඒව‌ගේම මේ සීමානිර්ණය ගැන මිනිස්සු දන්නේ නැහැ කියනවා. නමුත් මිනිස්සු මේ ගැන දන්නවා හොඳටම.   සීමා නිර්ණය කියන විෂය වෙනම පනතක් මගින් එකම ආයතනයක් ලෙස පැවතිය යුතුයි. ඇත්තටම මෙය පෞද්ගලික පනතක් හරි ගෙනත් කළ යුතු කාරණයක්.” යනුවෙන් හෙතෙම අවධාරණය කළේය.
සැබැවින්ම මැතිවරණ ක්‍රියාවලියේදී වුවද සීමානිර්ණය පිළිබඳ ජනතාවගේ වැඩි අවධානයක් යොමුනොවන අතර වැඩි අවබෝධයක් ද නොමැති තත්ත්වයක් මතුව තිබේ. නමුත් එය වර්තමානයට ගැළපෙන ලෙස යාවත්කාලීන කරගැනීම රටක් ලෙස ඉදිරි ගමනට බොහෝසෙයින් වැදගත් වනු ඇත. එමෙන්ම එය සාර්ථක කරගැනීමට නම් ඒ සඳහා එල්ල වෙන දේශපාලන බලපෑම් ද නතර විය 
යුතුව ඇත.
චාමර සම්පත්