යුගදනවි කැබිනට් පත්‍රිකාව දැම්මේ බැසිල් ඇමැතිතුමා නොවෙයි - ජනාධිපතිතුමයි


විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ   

  • ජනාධිපතිතුමා කිව්වා අපි මේක අත්සන් කරන්නේ නෑ. අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නේ. ඒ නිසා ඕනැ දෙයක් සාකච්ඡා කරන්න කියලා.   

 

යුගදනවි බලාගාරය රටේ දේශපාලනය කලඹවමින් තිබේ. කුමක් වෙයිද? මේ ඒ ගැන විමසමින් විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය- යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමට දීමේ ව්‍යාපෘතියේ අලුත්ම තත්ත්වය?   


පිළිතුර- ඇත්ත වශයෙන්ම යුගදනවි බලාගාරයේ කොටස් දෙනවා කිව්වම අපි බලන්න ඕනැ කොයිතරම් විදුලිබල මණ්ඩලයටත් විදුලිබල පද්ධතියටත් බලපානවාද කියලා.   


ප්‍රශ්නය-  මගේ ප්‍රශ්නය වුණේ ඒකේ අලුත්ම තත්ත්වය ගැනයි.   


පිළිතුර- මේකට ඉතිහාසයක් තියෙනවනේ. මොකද ලංකාවේ විදුලිබල මණ්ඩලය පටන් අරන් දැන් අවුරුදු 52ක් වෙනවා. 90 දශකය වෙනකම්ම විදුලිබල මණ්ඩලය තමයි විදුලිය නිෂ්පාදනය කළේත් බෙදාහැරියේත්. 90 දශකයේ තිබුණ රජය තීරණය කළා තාප විදුලිබලාගාර පෞද්ගලික අංශයට දීලා ඒ ගොල්ලන්ගෙන් විදුලිය මිලට ගන්නවා කියලා. රජය ආයෝජනය නොකර ඒ අනුව තමයි ඔය ඇඹිලිපිටිය බලාගාරය, සපුගස්කන්ද බලාගාරය, මාතර බලාගාරය, ලක්දනවි බලාගාරය ආරම්භ වුණේ. ලක්දනවි බලාගාරය මගේ හිතේ මෙගාවොට් 150ක්ද කො​හේද නිෂ්පාදනය කරනවා. ඒක අපේ විදුලිබල පද්ධතියෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක්. කොළඹ නගරයට විදුලිය දෙනකොට ඒක මදි. ඒ වෙලාවේ රජය තමයි මැදිහත් වුණේ ඒ විදුලිබලාගාරය ආරම්භ කරන්න. ඒකට ලක්දනවි කියලා විදුලිබල අමාත්‍යාංශයටත් රජයටත් කොටස් තියෙන සමාගමක් තියෙනවා. චීන සමාගමක් ඉදිරිපත් වුණා ඒකට ආයෝජනය කරන්න. චීන සමාගමට නොදී මේ සමාගමට දුන්නා. හැබැයි ඒ සමාගමට සියයට 30ක මුදල දාන්න මුදල් තිබුණේ නෑ. ඒකට රජය මැදිහත්වෙලා රජයට අනුබද්ධ ලෙකෝ සමාගම මිලියන දෙදහක්ද කොහේද දාලා ඒ සමාගම ශක්තිමත් කළා. ඊට පස්සේ ඒ සමාගම ජාත්‍යන්තර එච්.එස්.සී. බැංකුවෙන් ඒ මුදල ලබා ගත්තා. එක බැංකුවකින් නොවෙයි හොංකොං ශාඛාව වගේ ශාඛා කිහිපයකින් ඒ මුදල් ගත්තා.   


ප්‍රශ්නය-  ඒ බැංකු කිව්වා මහා බැංකු ඇපකරයක් තියන්නේ නැත්නම් ණය දෙන්න බෑ කියලා?   


පිළිතුර- ඔව් එතකොට නීතිපතිවරයත් එක්ක සාකච්ඡා කළාම අපේ ව්‍යවස්ථාව අනුව එහෙම ඇපකරයක් තියනවා නම් මුදල් අමාත්‍යංශයට සියයට 50ක් තියන්න ඕනෑ කියලා. ඒ අනුව රජයට අනුබද්ධ ආයතන ටික මුදල් අමාත්‍යාංශයට ගත්තා. එහෙම තමයි ඇපකරය දුන්නේ. මේ සමාගම හදනකොට කොන්දේසියක් තියෙනවා මේ සමාගම 2035 දී රජයට අයිති වෙන්න ඕනෑ කියලා. එතකොට දැන් මේ අවුරුද්ද වෙනකොට ඒකේ ණයත් ගෙවලා අවසන්වෙලා වගේ තියෙන්නේ. තව අවුරුදු 10ක් විතර තමයි ඒ ගොල්ලන්ට පාලනය කරන්න තියෙන්නේ. ඒ අතරතුරේදී 2000 ඉඳලම විදුලි ක්ෂේත්‍රයෙ කතාබහට ආවා ඩීසල්වලින් දුවනවට වඩා ලාභයි ෂොලිඩ් එන්ජින්වලින් දුවන එක කියලා. එහෙම කතා බහ කළා මිසක් කවදාවත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. එහෙම තිබියදී තමයි පහුගිය කාලෙදි තෙල් සංස්ථාවත් විදුලිබල මණ්ඩලයත් මේ අමාත්‍යංශයත් සාකච්ඡා කරලා ටෙන්ඩර් දෙකක් කැඳෙව්වේ. එකක් තෙල් සංස්ථාව මේ විදුලිය ගන්නකොට ෂොලිඩ් ගෑස් ගන්නකොට ඒක බෙදාහැරීමේ නළ පද්ධතිය දාන එක. විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් එකක් කැඳෙව්වා ෂොලිඩ් ගෑස් මිලදී ගන්න. එතකොට මේ ෂොලිඩ් ගෑස් මිලට ගත්තා කියලා හරියන්නේ නෑ මේවා කොළඹට ගෙනල්ලා තියාගන්න ගබඩාවක් ඕනෑ.   


ප්‍රශ්නය-  කොළඹ වරාය ඒකට සුදුසුයි කියලා යෝජනාවක් ආවා.   


පිළිතුර- කොළඹ වරායට ඒක ගෙනාවොත් නැව් ගමනාගමනයට බාධාවක් වෙනවා. පහුගිය රජය ජපානයත් එක්ක අත්සන් කළා ජපානයයි ඉන්දියාවයි මේවා මුහුදෙ ගබඩා කරන්න. හැබැයි ඒක වරාය ඇතුළේ දැම්මොත් අර මම මුලින් කීවා වගේ විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒක ක්‍රියාත්මක වුණේ නෑ, දැන් ඔය තත්ත්වය තියෙනකොට මේ ටෙන්ඩරය කැඳවලා තියෙනකොට ඇමෙරිකානු තානාපති කාර්යාලය ව්‍යාපාරික කණ්ඩායමක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් සාකච්ඡා කළා.   


ප්‍රශ්නය- ඇමෙරිකානු තානාපති කාර්යාලය, ජනාධිපති කාර්යාලයට ගිහින් මොනවද සාකච්ඡා කළේ?   


පිළිතුර- ඔවුන් කිව්වා එල්එන්ජී සපයන්න සූදානම් කියලා. මේක ලෝකයේ විශාලතම සමාගමක්. ඔවුන් යහපත් මිල ගණන් ඉදිරිපත් කළා.   


ප්‍රශ්නය- මේ සාකච්ඡාව වෙන්නේ ජනාධිපතිවරයත් එක්ක?   


පිළිතුර- ඔව්. ජනාධිපතිතුමා එක්ක තමයි සාකච්ඡා කළේ. එතැනදි ඔවුන් කිව්වා ඕනැ නම් කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ සියයට 50ක කොටස් ගන්න ලෑස්තියි කියලා.

   
ප්‍රශ්නය-  ජනාධිපතිවරයා ඒකට එකඟ වුණාද?   


පිළිතුර- ජනාධිපතිවරයා නොවෙයි රජය කල්පනා කළා මේ වෙලාවේ සියයට 50ක කොටස් දෙන්න බෑ, සියයට 40ක කොටස් දෙන්නම් කියලා. ඒ ගොල්ලෝ එකඟ වුණා සියයට 40ක කොටස් ඩොලර් මිලියන 250කට ගන්න. රජය ඒකට එකඟ වුණා. එහෙම එකඟ වෙලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයට මේකේ තියෙන වැදගත්කම පැහැදිලි කළා. එදා කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා ජනාධිපතිතුමාට මේ ගිවිසුම අත්සන් කරන්න.   


ප්‍රශ්නය- කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නෑ. බොරු කියන්න එපා කියලා ඇමැති විමල් වීරවංශ කියනවා?   
පිළිතුර- ගැලරියට කතා කරන අයට ඕනෑ තරම් බොරු කියන්න පුළුවන්නේ. එදා මම දන්න තරමින් ඩලස් අලහප්පෙරුම මහත්මයා විතරයි ඇමැතිවරයා හැටියට කිව්වේ මට සතියක් විතර කල් දෙන්න. මට මේක බලන්න’ කියලා. ජනාධිපතිතුමා කිව්වා අපි මේක අත්සන් කරන්නේ නෑ. අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නේ. ඒ නිසා ඕනැ දෙයක් සාකච්ඡා කරන්න කියලා.   


ප්‍රශ්නය- නමුත් රෑ 12ට අත්සන් කරන්න කලින් මේක කැබිනට් එකේ සාකච්ඡා කළේ නෑ.   


පිළිතුර- මුදල් ඇමැතිතුමා නොවෙයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. ජනාධිපතිතුමයි ඉදිරිපත් කළේ. 

 
ප්‍රශ්නය-  නමුත් ඇමැති විමල් වීරවංශ ප්‍රසිද්ධියේ කිව්වා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැබිනට් එකට මේක ඉදිරිපත් කරපු හැටි?   


පිළිතුර- බොරුනේ. මුදල් ඇමැතිතුමාගේ කිසිම සම්බන්ධයක් මේකට නෑ. මම ඒකනේ කිව්වේ මේ ගැලරියට කතා කරනවා කියලා අපි ඔක්කොම කැබිනට් එකේ හිටපු උදවියනේ. විමල් වීරවංශ මහත්මයත් උදය ගම්මන්පිල මහත්මයත් කියන්නේ මුළු ලංකාවෙම විදුලිය ඇමෙරිකාවට දුන්නා කියලනේ.   


ප්‍රශ්නය- ගෑස් ඒකාධිකාරිය දුන්නා කියලා කියන්නේ?   


පිළිතුර- ගෑස් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කෙරවළපිටිය යුගදනවි එකටයි, අලුතෙන් එන සමාගමටයි කැලණිතිස්ස එකටයි විතරයි. ඒක ලංකාවේ විදුලිබල අවශ්‍යතාව සියයට දහයටත් අඩු ප්‍රමාණයක්. විදුලිබල මණ්ඩලය විදුලිබල නිෂ්පාදනය අතින් සියයට 45ක් 50ක් අතර ප්‍රමාණයක් ජල විදුලිය පාවිච්චි කරන්නේ. ඊට අමතරව අපි ගල් අඟුරු බලාගාරයෙන් 900ක් විතර නිෂ්පාදනය කරනවා. ඊට වඩා බලයක් අපි චීන සමාගමට දීලා තියෙනවනේ. ගල් අඟුරු බලාගාරයේ චීන සමාගම අපේ කටයුතුවලට සහාය දෙනවා. ඒ ගොල්ලෝ කිව්වොත් ‘අපි මේක නවත්වනවා’ කියලා. එහෙම වුණොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. මොකද සියයට 35ක් 40ක් විදුලිය සපයන්නේ නොරෝච්චෝල බලාගාරයෙන්. එහෙම නම් ඊට වඩා භයානක තත්ත්වයක් තියෙන්නේ යුගදනවි බලාගාරය ගන්න ඇමෙරිකානු සමාගම කිව්වොත් අපිට ගෑස් දෙන්න බෑ’ කියලා අපට පහුවෙනිදට ඒක දුවන්න පුළුවන්. මෙතැන බොරු බියක් රටේ ඇති කරනවා. ඒක ගැනයි අපට කනගාටුව.   


ප්‍රශ්නය- අපි මේ සාකච්ඡාව කරන මොහොතෙත් විදුලිබල මණ්ඩලයෙ, තෙල් සංස්ථාවේ හා වරායේ සේවකයෝ මහපාරේ උද්ඝෝෂණය කරනවා.   


පිළිතුර- නෑ. නෑ. නෑ. අද විදුලිබල මණ්ඩලය සීයට සීයක් දුවනවා. විදුලිය නිෂ්පාදනය කරනවා. තමුන්නාන්සේ දකින්න ඇති විදුලිබල මණ්ඩලයේ සේවක වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා ‘අපි ජේවීපී’ එකට ඉඩ දෙන්නේ නෑ කියලා. තමුන්නාන්සේලාගේ මාධ්‍යයෙනුත් ඒක වාර්තා කරන්න ඇති. අදටත් අපේ සේවකයෝ වැඩ කරනවා. 

 
ප්‍රශ්නය- විමල් වීරවංශ, උදය ගම්මන්පිල කියන්නේ මහින්ද සුළඟේ නිර්මාතෘවරු. ජනාධිපතිවරයව ගේන්න මේ ආණ්ඩුව ගේන්න පුරෝගාමී වුණෙත් ඔවුන්? 

 
පිළිතුර- නමුත් ඒ මහත්වරුන්ගේ හැසිරීම් දිහා අපට විවිධ කෝණවලින් බලන්න පුළුවන්. මොකද හවුල්කාර පක්ෂවලට අපේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දීලා තියෙනවා. ඒ වගේම ඒ අයට නිදහසේ වැඩ කරන්න ඉඩදීලා තියෙනවා. ඒ අමාත්‍යංශවලට කිසිම ඇඟිලි ගැසීමක් නෑ. ඉතින් ඒ අයට කල්පනා වෙනවා ඇති රටේ විවිධ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව මුහුණ දෙනවා. මේ විදියට කතා කරලා අපට යම් ජනප්‍රියත්වයක් ලබාගන්න පුළුවන් වෙයිද කියලා බලනවා ඇති. එහෙම නැතිව මෙතැන වෙන හේතුවක් නෑ. 

 
ප්‍රශ්නය-  හවුල්කාර පක්ෂ කියන්නේ ප්‍රමාණවත් අභ්‍යන්තර සාකච්ඡාවක් වෙන්නේ නෑ කියලයි.   


පිළිතුර- ඉතින් ඔය ජන සභාව තිබ්බ දවසට කලින් දවසෙ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගමැතිතුමත් කැබිනට් මණ්ඩලයේ හුඟක් අයත් ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයොත් රෑ 9 විතර වෙනකම් සාකච්ඡා කළා. ඊට හාත්පසින්ම වෙනස් ප්‍රකාශනේ කළේ.   


ප්‍රශ්නය- අවසන් එකඟතාවක් ඇතිවුණේ නෑ කියලයි ඇමැති විමල් කියන්නේ?   


පිළිතුර- ඉතින් ඒ ගොල්ලෝ කිව්වට අපි දැනුවත්ව එහෙම ගිවිසුම් අත්සන් කළේ නැතුවට විවිධ ප්‍රශ්න අහලා ඒවාට උත්තර අරගෙන බොහොම පැහැදිලිව ඒ කටයුත්ත කළා.   


ප්‍රශ්නය- ඒ කියන්නේ යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමට දෙන එක ස්ථිරයි.   


පිළිතුර- ඔව්! දීලනේ තියෙන්නේ. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. එහෙමනම් ඔයිට වඩා භයානක තත්ත්වයක් ගල් අඟුරු බලාගාරයේ එන ටෙක්නිකල් කොටස අස්වෙලා ගියොත් එහෙම කොහොමද දුවන්නේ. නවසීයක් එතැන ඉන්නවා. ඇමෙරිකාවට වඩා බලයක් එහෙමනම් චීනෙට තියෙනවා. එහෙම දෙයක් වෙන්නේ නෑ.   

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්