ජල සම්පාදන හා ජලාපවහන ඇමැති වාසුදේව නානායක්කාර
- යුගදනවි ආයෝජනයක් නෙවෙයි විකිණීමක්
රටේ උණුසුම් දේශපාලන කාරණා බඩු මිල හා ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- වැඩකරන ජනතාවගේ බලයක් ගොඩනගන උන්මාදයක් තියෙනවා කියලා ඔබ කිව්වා. ඉතින් දැන් පුළුවන්ද?
පිළිතුර:- ඒක මේ තරුණ කාලේ ඇතිවෙච්ච උන්මාදයක්. ඒක තවමත් තියෙනවා රස්නයෙන් හා උණුසුමෙන්.
ප්‍රශ්නය:-ධනපති පක්ෂවලට ගිහින් ඇමැතිකම් අරගැනීම නිසා වැඩකරන ජනතාව මග හැරුණා කියලා සිතීමක්ද ඒක තුළ තිබෙන්නේ?
පිළිතුර:- ඔව් ඉතින් සිද්ධි පෙළ ගැහෙන විදියට තමයි තීන්දු තීරණ ගැනෙන්නේ. මේ රටේ මැද මාවතේ බලවේගයි වමේ බලවේගයි එකට ගමන් කරන්නේ. ඒවා ධනපති ද නැද්ද කියලා නොසිතා වැඩ කරන්නත් වෙනවා. මැද මාවතේ හා වමේ බලවේගවල ගමන් මාර්ගය එකයි.
ප්‍රශ්නය:-ඇත්තටම අපේ රටේ මැද මාවතක් තියෙනවද?
පිළිතුර:- ඔව්. මැද මාවත කියන්නේ දක්ෂිණාංශික මාවතට විරුද්ධ වාමාංශික නොවන මාවතක්.
දක්ෂිණාංශික මාවත කියන්නේ අධිරාජ්‍යවාදය සමග එකට ගැට ගැහිලා තියෙන ලිබරල් ආර්ථික ක්‍රමයක් උඩ යන ගමනක්නේ. ව්‍යාපාරික ලාභය තමයි ඒ අයගේ ආර්ථිකයේ එකම කෝදුව. අපි මැද මාවත කියන්නේ සමාජය තමන්ගේ ප්‍රධාන ඉලක්කය කරගෙන ආර්ථිකය ගොඩ නගන දේශීය ආර්ථිකයක් ගොඩ නගන ඒ වගේම ජාතික සම්පත් ආරක්ෂා කරන ආර්ථික වැඩපිළිවෙළකට. අපේ වමේ මාවත ඒකත් එක්ක එකට ගමන් කරනවා.
ප්‍රශ්නය:-මැද මාවතේ ආණ්ඩුවකට එරෙහිව ඔබ ඇතුළු ඇමැතිවරුන් තුන් දෙනකුට අධිකරණයට යන්න වෙලා?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- එහෙම නම් කොහොමද ඒක මැද මාවතක් වෙන්නේ?
පිළිතුර:- මැද මාවත එක්ක ගමන් කිරීමේදී අපට යම් ප්‍රශ්න මතුවුණාම ඒ ප්‍රශ්න පිළිබඳව අපට ක්‍රියාත්මක වෙන්න වෙනවා මැද මාවතේ ස්ථාවරයත් රැකගන්න.
ප්‍රශ්නය:- යුගදනවි ගිවිසුමට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමක ඔබ, විමල් හා ගම්මන්පිල යන ඇමැතිවරුන් වගඋත්තරකරුවන් වෙලා?
පිළිතුර:- ඔව්. ඒ වගඋත්තරකරුවන් හැටියට අපේ ස්ථාවරය අපි වෙනම ඉදිරිපත් කරනවා.
ප්‍රශ්නය:-නීතිපතිවරයා පවා කියනවා ඔබලාගේ ක්‍රියා කලාපය කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් උල්ලංඝණය කිරීමක් කියලා?
පිළිතුර:- සාමූහික වගකීම කියන එක ඒ ප්‍රශ්නයට සාපේක්ෂයි කියලයි මම හිතන්නේ. සමහර දේවල් පිළිබඳ සාමූහික වගකීම එක්තරා විදියකට ව්‍යතිරේඛීව බලන්න වෙනවා. අනිත් එක සාමූහික වගකීම තියෙන්නේ අප අතරේ ප්‍රමාණවත් සාකච්ඡාවක් වෙලා අප අතරේ ඒ කාරණාව හරියාකාරව සම්මත වුණා නම් පමණයි. එතකොට තමයි අනික් අතට ඔය කියන සාමූහික වගකීම තියෙන්නේ. සාමූහික වගකීමේ අංගෝපාංග කිහිපයක් තියෙනවා. ඉතින් ඒවා අනුව බැලුවාමත් සාමූහික වගකීමක් තියෙනවාය කියලා කිව්වත් අපට ව්‍යතිරේඛයක් හැටියට ගන්න වෙනවා මේ අවස්ථාව මේ කාරණය.
ප්‍රශ්නය:- ඇමැති විමල් වීරවංශ කියනවා ‘යුගදනවි කැබිනට් පත්‍රිකාව ඇහැට දැක්කේවත් නෑ’ කියලා. ඔබ දැක්කද?
පිළිතුර:- කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකරනේ ඒක සම්මත කළේ.
ප්‍රශ්නය:-ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යුගදනවි ගිවිසුමේ පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා?
පිළිතුර:- ඔව්. එතුමා ඉදිරිපත් කළේ ඒ ගිවිසුමේ පිටපතක් කියා කියූ දෙයක්. ඒක මම දන්නෑ සත්‍ය ගිවිසුමම ද කියලා.
ප්‍රශ්නය:-ඒ කියන්නේ ඔබතුමා ඒ ගිවිසුම ඇහින් දැකලා නෑ?
පිළිතුර:- අපට තාම ඉදිරිපත් කළේ නැහැනේ. ඒ නිසා මම දැක්කේ නෑ. ඒ නිසා ජවිපෙ නායකයා ඉදිරිපත් කළ ගිවිසුම් පිටපතයි ඇත්ත ගිවිසුමයි සන්සන්දනයකින් පසුව තමයි අපට කියන්න පුළුවන් වෙන්නේ. ‘ඔව් මේක තමයි ගිවිසුම’ කියලා.
ප්‍රශ්නය:- රට මහා අවුල් ජාලාවක තියෙන්නේ. මහජනයා ඉන්නේ අසහනයෙන් හා භීතියෙන්. රටේ ආණ්ඩුවක් නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා?
පිළිතුර:- අපට වෙලා තියෙන ප්‍රශ්නය පළමුවෙන්ම පොහොර පිළිබඳ ප්‍රශ්නය එක පිම්මෙන්ම කරන්න කියලා අදහස් කිරීමයි. ඒකෙන් ඇතිවෙච්ච අවුලක් තියෙනවා. අපි ඇල්ලූ පිම්ම වැරදුණා. අනෙක් අතට ඩොලර් හිඟය. ඒ වගේම ලෝකයෙ හැම දෙයකම මිල වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබීම. මේ ඔක්කොම එකට එකතු වෙලා අපේ රුපියලේ වටිනාකම වැටුණා. මේ ඔක්කොම එකතු වුණාම ඔය ඔබ කියන අර්බුදකාරී තත්ත්වය ඇතිවෙලා තියෙනවා.
ප්‍රශ්නය:-මේ අර්බුදයෙන් ගොඩ ඒමක් පේන්නවත් නෑ? දවසෙන් දවස ප්‍රශ්න අලුත් වෙනවා?
පිළිතුර:- මේකට රජයට විසඳුම් තියෙනවා. අඩු ආදායම්ලාභී ජනයා වෙනුවෙන් ආණ්ඩුව අත්‍යවශ්‍යම තෙල් පැට්‍රෝල් ඩීසල් ඇතුළත්ව ඒ අවම අවශ්‍යතාවයක් ඉටුකළ හැකි ප්‍රමාණයක් ඔවුන්ට ඔරොත්තු දෙන මිලකට ලබා දෙමින් ඉහළ පන්තියේ උදවිය භාවිතා කරන පැටෝල් ඩීසල් හෝ අනෙකුත් ද්‍රව්‍ය ඒවා ඉහළ මිලකින් පවත්වාගෙන යාම එක විදියක්. ඒ කියන්නේ මිල මට්ටම් දෙකක්. කූපන් ක්‍රමයක් මත අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය දේවල් අවශ්‍යම අවම ප්‍රමාණය අපි ලබා දෙනවා.
ප්‍රශ්නය:-රටේ ඉහළ පවුල් කියලා ජාතියක් දැන් ඉන්නවද?
පිළිතුර:- අපොයි ඔව්. රුපියල් පනස්දාහට වඩා මාසික ආදායම් තියෙන අය අඩු ආදායම්ලභීන් නොවෙයි. පනස්දාහට වඩා අඩු ආදායම් තියෙන පවුල් අඩු ආදායම්ලාභීන්.
ප්‍රශ්නය:-බඩු මිල ගුවන්ගත වෙලා තියෙන විදියට රුපියල් පනස්දාහකින් ජීවත්වෙන්න පුළුවන්ද?
පිළිතුර:- පනස්දාහ තමයි අවම කියලා කියන්නේ. ඒක තමයි අපේ සංඛ්‍යා ලේඛන අංශ කියන්නේ.
ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය වුණේ බඩු මිල ඉහළ ගිහින් තියෙන විදියට තුන් වේලෙන් එක වේලක්වත් කන්න පුළුවන්ද? ඇමැතිවරුන්ට මේවා තේරෙන්නේ නෑ?
පිළිතුර:- නෑ හොඳට තේරෙනවා. දැනට තියෙන තත්ත්වය යටතේ පනස්දාහක මාසික ආදායමක් ලැබෙනවා නම් යම්තම් ඔරොත්තු දෙනවා. පනස්දාහමයි ඊට පහළින් ඉන්න අයටයි ඔක්කොටම දෙන්න ඕනෑ සාධාරණ මිලකට අත්‍යවශ්‍ය ආහාර හා ද්‍රව්‍ය ප්‍රමාණයක්. ඒකේ අලාභය ආණ්ඩුව විඳින්න ඕනැ.
ප්‍රශ්නය:-රටේ ඩොලර් නෑ. තියෙන සංචිතයෙන් ණය වාරික ගෙවන්න තියෙනවා?
පිළිතුර:- ඔව්. ඉතින් ඒවා කරන්න ඕනෑ. ඒවා නොකර ආණ්ඩුවකට ජාත්‍යන්තරව පවතින්න බෑ. ඒක අපි ඉටුකළ යුතු අපේ බැඳීමක්. ඒකට වුවමනා ඩොලර් ටික හොයාගන්න ඕනෑ. ඒක අවුලක් නොවෙයි සමාජයට හෝ ජනතාවට. ජනතාවට තියෙන අවුල තමයි මේ බඩුමිල වැඩිවීම. මේ අමාරුම කාලය අපි ගෙවාගෙන ගියොත් මං හිතන්නේ හොඳ කාලයකට ළඟා වෙන්න පුළුවන්.
ප්‍රශ්නය:-රටේ ආර්ථිකය හදන්න ආණ්ඩුව ආයෝජකයන්ට ආරාධනා කරනවා. ඇමැතිවරු ඒවට විරුද්ධව කතා කරලා අධිකරණයටත් යනවා?
පිළිතුර:- ඔබ කියන්නේ යුගදනවි එක ගැන වෙන්නැති. ඒක ආයෝජනයක් නොවෙයි. ඒක විකිණීමක්. ආයෝජනයක් කියන්නේ ආයෝජකයා බද්ධ ව්‍යාපාරයකට සම්බන්ධ වෙනවා. එතකොට අපිට 51 යි. ආයෝජකයාට 49 යි. අන්න ඒ බද්ධ ව්‍යාපාරයට අපි අපේ මුහුදයි අපේ බලාගාරවලට ගෑස් සැපයීමයි අපි ඒ ආයෝජකයාට බාර දෙනවා. ඒකේ පාලනය අපේ. එතකොට අපි අවුරුදු 20 ක් ගිවිසුම්ගතවන විට එයාගේ ආයෝජන මුදල ඉවරයි. ලාභයක් හම්බ කරගෙන ඉවරයි. එතකොට ඒක අපේම අයිතියට ගන්නවා. ඒක තමයි අපි ආයෝජන ක්‍රමය හැටියට පිළිඅරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් අපේ දේපළක් නෑ. ඒ ගොල්ලෝ ඉඩමක් අපෙන් ගන්නවා නම් ඒක ගන්න ඕනෑත් බද්දකට. එහෙම අරගෙන ඒගොල්ලන්ගේ ආයෝජනයක් ඒගොල්ලොම කරනවා. එහෙම බදු දෙන්න බෑ අපේ බලශක්ති අයිතිය. බලශක්තිය මේ රටේ ස්වෛරිභාවයෙ කොටසක්.
ප්‍රශ්නය:-ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ජාත්‍යන්තර ණය අරමුදලට යා යුතුයි කියලා සමහරු කියනවා. අයි.එම්.එෆ්. ගියොත් ‘ඇමැතිකමෙන් යනවා’ කියලා ඔබ කියනවා?
පිළිතුර:- ඒ කියන්නේ මම හිතන්නේ අයි.එම්.එෆ්. නොයෑමට අපි සහතික වන ප්‍රමාණය කොපාමණ ද කිව්වොත් එහෙම කියන්නත් මට පුළුවන් කියන එක.
ප්‍රශ්නය:-කොහොමද ඔබ එහෙම සහතිකයක් දෙන්නේ?
පිළිතුර:- මොකද මම දන්නවා දැනට මේ පිළිබඳව කටයුතු කරන අපේ කැබිනට් අමාත්‍යවරුන් අතරෙන් වැඩි දෙනා හොඳාකාරවම දන්නවා අයි.එම්.එෆ්. එකත් එක්ක ණය ගිවිසුම්වලට එනකොට අපිට දරාගන්න වෙන කොන්දේසි අපට කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නෑ කියලා.
ප්‍රශ්නය:-ඔබ දන්න විදියට මොනවද ඒ කොන්දේසි?
පිළිතුර:- පළමුවැනි කොන්දේසිය වෙන්නේ අපේ රුපියල පාවෙන්න හැරීම.
වෙෙළඳපොළේ ඕනෑම ගණනකට තීරණය වෙන ආකාරයට රුපියලේ වටිනාකම තීන්දු ෙවන්නට ඉඩ හැරීම. දෙක, ජාතික සම්පත් ලෙස අපි සලකන අපේ දේපොළ ඒ අයට ඒවා මිලදී ගැනීමට හෝ දිගුකාලීනව ආයෝජනයට ගැනීමට ඉඩකඩ සැලසීම. සුබසාදන කටයුතු කප්පාදු කිරීම. රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම. රැකියා විරහිතභාවය වැඩි කිරීම. දන්න විදියට අයි.එම්.එෆ්. එක ඕනෑම රටක් එක්ක එකඟතාවට එන කොන්දේසි.
ප්‍රශ්නය:-යුගදනවි කැබිනට් පත්‍රිකාව කැබිනට් එක නොදැන සම්මත වූ ලෙස සැලකුවා වගේම ඔබලා නොදැන අයි.එම්.එෆ්. ගියොත්?
පිළිතුර:- නොදැන කියන එකේ නොදැන්වීමයි. නොදන්වා කියන එකේ තේරුම ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් එක ඉදිරියට ලබා දීලා ඒක අධ්‍යයනය කරලා ඊට පස්සේ ඒක ගැන තීරණයක් ගැනීම වෙනුවට එම කැබිනට් රැස්වීමක් අවසන් වෙද්දී මෙහෙම පත්‍රිකාවක් තිබෙනවා කියා එය එදාට සම්මත වූ ලෙස සැලකීම. ඒක වැරැදි ක්‍රමයක්.
ප්‍රශ්නය:-ලෝක වෙළෙඳ පොළේ තෙල්මිල අඩු වී තියෙන වෙලාවක අපේ රටේ මහ රෑ තෙල්මිල ඉහළ දැම්මා?
පිළිතුර:- ඔය කියන විදියට ලෝක
වෙෙළඳපොළේ තෙල් මිල අඩුවෙලා නෑ. හැත්තෑවට විතර අඩුවෙලා තියෙනවා. පහුගිය කාලයේ තෙල් වැඩි මිලට මිලදී ගනිමින් අඩු මිලට ජනයාට දුන්නා. අදත් ජනයාට දෙන්නේ අඩු මිලට. ඒ නිසා ඇතිවූ ණය බර අපට පියවා ගන්න වෙන්නේ තෙල්මිල අඩුවීමත් එක්ක ලැබෙන අවස්ථාවෙන්.
ප්‍රශ්නය:- ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ පහළ යන විට ලංකාවේ තෙල් මිල ඉහළ පහළ දාන්න ආණ්ඩුවක් මොකටද?
පිළිතුර:- ඔව් ඒක හරි. ව්‍යවස්ථායි අරමුදලක් හදාගෙන ඕනෑම වෙලාවක අවශ්‍යම අයට අපි තෙල් දෙන්න ඕනැ. ඊළඟට ඉහළ මිලකට යද්දී මුදල් තියෙන අයට මිලදී ගැනීමට අවස්ථාව සලසන්න ඕනැ.
ප්‍රශ්නය:-‘වාසු සහෝදරයට නැවතත් දේශපාලන වැරැද්දක් වෙලා’ කියලා මම කිව්වොත්.
පිළිතුර:- එහෙම නිගමනය කරන්න කෙනෙකුට බැරි නෑ. නමුත් මට වෙනත් මාවතක් නෑ.
ප්‍රශ්නය:-ස්වයං විවේචනාත්මකව එහෙම පිළිගන්නවාද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්.
ප්‍රශ්නය:-ඇත්තටම රටට වැරදීමක් වුණාද?
පිළිතුර:- නෑ මම හිතන්නේ ඉතා වටිනා දැක්මක් ඇති ඉතා වටිනා ක්‍රියාදාමයක් අප ඉදිරියේ තබා ගෙන තමයි ආණ්ඩුවේ වැඩ කටයුතු පටන් ගත්තේ. ඒ ඔක්කොම අවුලට ගියා කොරෝනා වසංගතයත් ජාත්‍යන්තර වසංගතයත් නිසා. නමුත් අපි මේක දරාගෙන ඉදිරියට ගියොත් තව අවුරුද්දකින් හමාරකින් අපට ඔළුව උස්සලා අපට උවමනා කරපු ගමන යන්න පුළුවන්.
ප්‍රශ්නය:-ඉදිරියට කෙසේ වෙතත් ජනතාව ඉදිරියට හෝ යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා ඔබ හිතනවද?
පිළිතුර:- ඔව්. යන්න පුළුවන්. මේ උග්‍රම ස්වභාවය තුනී වෙලා දියවෙලා යනකොට වැව් දාහක්, ඇළවේලි දහස් ගානක්, හැම දෙනාටම පානීය ජලය... ඊළඟට කිලෝමීටර ලක්ෂයක් මාර්ග කාපට් කරලා. එකිනෙක ගම්මාන යා කිරීම, අපි කරගෙන යනවා. එතකොට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්