යුද අපරාධ වූ බවක් පිළිගන්නේ නැති බවයි අපි කියන්නේ


විදේශ ඇමැති මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන

  • අතුරුදන් වුණා කියන අය වෙනුවෙන් අද වෙනකම් එක නඩුවක්වත් නෑ

 

ජිනීවා හි මානව හිමිකම් කොමිසම හෙටින් ආරම්භ වේ. කුමක් වෙයිද? මේ ඒ ගැන හා රටේ උණුසුම් දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් විමසමින් විදේශ ඇමැති මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි. 

ප්‍රශ්නය - ජිනීවා මානව හිමිකම් කොමිසමේදී මොකක් වෙයිද?   


මානව හිමිකම් කොමිසම අපේ රට හා තවත් රටවල් 9 ක් ගැන සුවිශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒක ඉතාම කණගාටුදායකයි. ඒකට හේතුව එම වාර්තාවට පදනම් කරගෙන තියෙන තොරතුරු, සංඛ්‍යා ලේඛන ආදිය වැරැදි නිසයි. එසේ නිවැරැදි නොවන කරුණු මත පදනම්ව යම් කිසි රටකට චෝදනා කිරීම එම රටේ ස්වාධීනත්වයට ස්වෛරීභාවයට එල්ල කරන විශාල තර්ජනයක්.   


ප්‍රශ්නය - රාජපක්ෂවරුන්ගේ පාලන කාලවලදී ඔය තර්ජනය හැමදාම එල්ල වෙනවා.   


ප්‍රශ්නයත් ඒකම තමයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය අරගෙන තියෙන්නේ ස්වෛරී නිදහස් රාජ්‍යයක් ලෙසයි. ඒ නිසා මේ ආයතන අපක්ෂපාතීව ක්‍රියාත්මක විය යුතුයි. තෝරාගත් රටවල් අතළොස්සකට පමණක් බලපාන ක්‍රියාදාමයක් අපි ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා අපේ රටට ඉදිරිපත් කරලා තියෙන වාර්තා සාධාරණ කරුණු මත නොවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ.   


ප්‍රශ්නය - එම වාර්තාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය?   


එම වාර්තාව පිළිගත නොහැකි බවත් ප්‍රතික්ෂේප කරන බවත් අපි දැනුම් දීලා තියෙනවා. 

 
ප්‍රශ්නය - එසේ ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත්ද? මේ බලපෑම හැමදාම එනවා.   


අපි ඒ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා කියන්නේ පිළිගත් සාධාරණ පදනමකින් තොරව එය ඉදිරිපත් කර තිබෙන නිසයි. එසේ නොවන වාර්තාව තමයි අපි ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි අනුබද්ධ සංවිධාන 30 ක් සමග අපි අඛණ්ඩව කටයුතු කරලා තියෙනවා. ඒ කිසිවකින් මෙහෙම පැමිණිල්ලක් අපේ රටට එල්ල වෙලා නැහැ. ඒ නිසා මේ හුදකලා පැමිණිල්ල මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ​ලෝකයේ පරදවන්න බෑ කියපු දරුණුතම කොටි සංවිධානය පරාජය කරපු නිසා ඉන් පස්සේ ඇති වුණ දැවැන්ත ශ්‍රී ලංකා විරෝධී විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව මෙහෙයවන ක්‍රියාදාමයක් තමයි මේ ඇදි ඇදී යන්නේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි. ඔබතුමාගේ පුවත්පත සමග මම සම්මුඛ සාකච්ඡා කිහිපයක්ම කළා. 2015 දී ආපු යහපාලන ආණ්ඩුව සම අනුග්‍රහාකත්වය ලබා දෙනවා කියලා අත්සන් කළා. අපේ රටට විරුද්ධව කටයුතු කරන්න අපි කැමතියි කියලා තමයි ඒ යෝජනාව තිබුණේ. 

 

අපි අපේ රටේ සැබෑ තත්ත්වය ලෝකයටම කියනවා. අපේ වීරෝදාර සෙබළුන් දහස් ගාණක් ජීවිත පූජා කරලා තියෙනවා. ඒ ගැන නොසලකා ඉන්න බැහැ. තවත් දහස් ගාණක් රණවිරුවෝ සදාකාලික ආබාධිත භාවයට පත්වෙලා තියෙනවා. කොටි සංවිධානය පරාජය කිරීම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය දීලා තියෙනවා.

 
ප්‍රශ්නය - එහෙම යෝජනාවකට එකඟ වෙන්න වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු වුණා යුද අපරාධ හොයන්න කොමිසමක් පත් කරනවා කියලා. නමුත් ඒක කළේ නෑ. 

 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කිරීම පමණයි ජනාධිපතිවරයාට හෝ රජයට පුළුවන්කම තියෙන්නේ. විදේශ නඩුකාරයන්ගෙන් සමන්විත අධිකරණ පද්ධතියකට අපේ ව්‍යවස්ථාවෙන් ඉඩ නෑ. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ දේශීයව විභාග වෙන කටයුතුවලට අනුව කටයුතු කරන්න බැඳීසිටින බව අපි ඒකෙන් ඉවත් වෙන වෙලාවේ මම දැනුම් දුන්නා. ඒ වගේම අපි පොරොන්දු වුණා දේශීය වශයෙන් අධිකරණයක් හෝ විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවනවා කියලා. කලින් කොමිෂන් සභාවල වාර්තා හා අලුත් තොරතුරු තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒ තොරතුරු ලබා දිය හැකියි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවකුගෙන් සමන්විත එම කොමිසම පත් කරනවා කියලත් අපි පෙරොන්දු වුණා.   


ප්‍රශ්නය - එහෙම පොරොන්දු වීම තුළම යුද අපරාධ සිදු වුණා කියලා පිළිගැනීමක් වෙනවා නේද?   


නෑ. යුද අපරාධ සිදු වූ බවක් පිළිගන්නේ නැති බව අපි කියලා තියෙන්නේ. අතුරුදන් වුණා කියන අය වෙනුවෙන් අද වෙනකම් නඩුවක් නෑ. ලංකාවේ ඕනෑම කෙනෙකුට මානව හිමිකම් උල්ලංඝණය වුණා කියලා මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන්. ඒකට සිංහල, දෙමළ මුස්ලිම් භේදයක් නෑ. ඒ එක ක්‍රියාදාමයක්. එහෙම නැත්නම් ​පොලිසියට ලැබෙන පැමිණිලිවලට අනුව නඩු දාන්න පුළුවන්. සමහරු එහෙම නඩු දාලා තියෙනවා. කොටි සංවිධානයේ ග්‍රහණයෙන් මිදිලා ලක්ෂ තුනක ජනතාවක් මේ පැත්තට එතකොට ඒ කිසිවකු අපේ හමුදාව අතින් මිය ගියේ නෑ. හමුදා සෙබළු ඒ දරුවන්ව, මහලු මිනිසුන්ව කරේ තියාගෙන ජලාශවලින් මේ පැත්තට ගෙනාවේ. ප්‍රභාකරන්ගේ මව, පවුලේ අය කොටි සංවිධානයේ නායකයන්ගේ පවුල්වල අය රැක ගත්තේ නැද්ද? ඒ නිසා හමුදාවට එහෙම ​චෝදනා කරනවා නම් සාක්කිකාරයෝ ඉන්න ඕනෑ. එහෙම නම් නඩු විභාගයක් පැවැත්විය යුතුයි. ඒ මූලික ප්‍රතිපත්තියෙ ශ්‍රී ලංකා රජය ඉන්නවා. ඒකට විදෙස් විනිසුරුවන් අවශ්‍යයි කියන සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ඉවත් වෙලා අපේ මූලික ප්‍රතිපත්තිය යටතේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න අපි සූදානම්. අපිට මතකයි අමිර්තලිංගම්, සිවසිද්දම්බරම්, යෝගේශ්වරන් මේ මන්ත්‍රීවරු තුන් දෙනාම හිටියේ එකම ගෙදර. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඔවුන් මරලා දැම්මා. දෙමළ දේශපාලන නායකයන් බේරාගත්තේ අපි. අදත් දෙමළ දේශපාලන නායකයන් ආරක්ෂාව යටතේ පෙළපාළි යනවා. අවුරදු ගණනකට පස්සේ ඔප්පු වෙලා තියෙනවා කදිරගාමර් මැතිතුමා ඝාතනය කළේ කවුද කියලා. අපි මේ ගැන කතා කළා ඇති. මේ හැම දෙයක් ගැනම විශේෂ කොමිසමක් දාලා පරීක්ෂණ කළ යුතුයි කියලා අපි කියන්නේ?   


ප්‍රශ්නය - කොයි කාලෙද ඔය පරීක්ෂණ කෙරෙන්නේ?   


දැනට කොමිසමක් පත්කරලා තියෙන්නේ. ඉදිරි දිනවලදී දැන්වීම් ජනමාධ්‍ය හරහා ඉදිරිපත් වේවි. පරණගම කොමිසම කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ පත් කළ සුවිශේෂී කොමිසමක්. එතුමා උතුරේ ගමක් ගමක් ගානේ ගිහිල්ලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව අනුව කිසි ලෙසකින් මේ අය කියාපාන සංඛ්‍යා නැති බව ඔප්පු වෙලා තියෙනවා. මේ තොරතුරු මත සමහර අය තමන්ගේ ඥාතීන් වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. අතුරුදන් වූවන් ගැන තියෙන කොමිසම ක්‍රියාත්මකයි. ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිගමට ලබා දීලා තියෙනවා. උතුරේ හා නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම සාර්ථකව සිදුවෙනවා. එකළොස් දාහකට වැඩි ප්‍රමාණයක් හිටපු ක්‍රියාකාරී කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුවක් දීලා සාමාජගත කරලා තියෙනවා. මේ විදිහට අපි විවිධ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මේවා ගැන මානව හිමිකම් කොමිසම ගැඹුරින් පිළිගන්නවා කියලා මම හිතන්නේ නෑ. 

 

ප්‍රශ්නය -ඇයි ඔබ එහෙම හිතන්නේ?   


මම එහෙම හිතන්නේ ඒ අය පූර්ව මතයක් දරනවා තමන්ට වැඩි වැඩියෙන් කේළාම් කියන අය දෙන තොරතුරු මත. නමුත් අපි අපේ රටේ සැබෑ තත්ත්වය ලෝකයටම කියනවා. අපේ වීරෝදාර සෙබළුන් දහස් ගාණක් ජීවිත පූජා කරලා තියෙනවා. ඒ ගැන නොසලකා ඉන්න බැහැ. තවත් දහස් ගාණක් රණවිරුවෝ සදාකාලික ආබාධිත භාවයට පත්වෙලා තියෙනවා. කොටි සංවිධානය පරාජය කිරීම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය දීලා තියෙනවා. එහෙම නම් ඒ නිදහස එක් ජාතිකත්වයකට පමණයි ලැබුණේ කියලා කියන්න දරණ උත්සාහය සාධාරණ නැහැ. 2010 ජනාධිපතිරවණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදිරිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ඉදිරිපත් කළේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා. එතුමාට උතුරේ පූර්ණ වශයෙනුත් නැගෙනහිර පළාතෙන් සම්පූර්ණ සහයෝගය ලැබුණා. එතුමා හිටපු යුද හමුදාපති. එතුමා නිර්දෝශී කෙනෙක් කියලා කියපු නිසා තමයි එහෙම ඡන්ද ලැබුණේ. ඒ ඡන්දෙන් පරාද වුණාට පස්සේ තමයි යළිත් මේ යුද අපරාධ චෝදනා නගන්න පටන් ගත්තේ. කොටි සාමාජිකයන් සිවිල් ඇඳුමෙන් සැරසිලා සාමාන්‍ය ජනතාව අතර ඉඳගෙන හමුදාවට දරණු ප්‍රහාර එල්ල කළා. ඒ පිළිබඳව වාර්තා තියෙනවා. රට අතහැරලා ගිය පිරිස් ඉන්නවා. සමහරු බොරුවට ගිහින් ඉන්නේ. සමහර රටවල් ඒ තොරතුරු අපට දීලත් නෑ. අපි නිල වශයෙන් ඒ තොරතුරු ඉල්ලලා තියෙනවා. එතකොට අපට සැබෑවට අතුරුදන් වෙච්ච අය ඉන්නවා නම් ඒ අය ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ නිසා අපි පත්කරපු කොමිෂන් සභාව විශාල ජයග්‍රහණයක්. සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාවට එමගින් සාධාරණය ඉටුවෙනවා. කොටි සංවිධානයත් ඒ පළාත්වල ජනතාව විශාල වශයෙන් මරලා දැම්මා. ළමා බළකා පිහිටෙව්වා. ඒ අය ඒ ​තොරතුරු දැන් කියනවා. ජිනීවා මානව හිමිකම් කොමිසමට අපි මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. 

 
ප්‍රශ්නය - කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ජිනීවා මානම හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයට චෝදනා කරනවා.   


ඔව්. එහෙම චෝදනාවකුත් තියෙනවා. 2019 දී මේ රටේ ජනතාව පත්කර ගත් ජනාධිපතිතුමා කර තිබෙන නිල පත්වීම් ගැනත් චෝදනා කරනවා. 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගැනත් ඔවුන් කතා කරනවා. ඒ විදිහට රටක අභ්‍යන්තරයට අයිති බොහෝ දේවල් ගැන මේ කොමිෂන් සභාව කතා කරනවා. මොකද 2019 න් පස්සේ මේ අතර කාලය ගැන කතා කරන්න දෙයක් නැති නිසා ඒ වගේ චෝදනා කරනවා. අපේ රටට පක්ෂ නොවන පිරිසක් අප රට තුළ ඉන්න නිසා මේ චෝදනා කිරීම් දිගමට සිදුවෙන්න පුළුවන්. කොටි සංවිධානය ගිය සුමානෙත් රටවල් කිහිපයක් තහනම් කළා. ඇයි ඒ තහනම් කරන්නේ? ගැඹුරින් විමසිය යුත්තේ එයයි. කොටි සාමාජිකයන්, ඔවුන්ගේ අනුගාමිකයන් වගේම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුමත කරනවා නම් ඔවුන්ව තහනම් කරලා තියෙන්නේ ඇයි? එයට හේතුව තමයි මේ අය ගැන සැකයි. මේ අය ඉතා භයානක ලෙස නීතිය කඩ කරන අය විදියටයි සලකන්නේ. අපි රජයක් හැටියට කියන්න ඕන උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත් කළේ මේ රටේ රාජ්‍ය සේවයේ ගෞරවයක් දිනපු කීර්තිමත් දෙමළ නිලධාරිනියක්. ඇයට තමයි ජනාධිපතිතුමාගේ බලතල පවරලා තියෙන්නේ. එහෙම නම් අයි උතුරේ ජනතාව ගැන විශ්වාස කරන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? ඒකීය රාජ්‍ය පිළිගන්න බෑ කියලා සමහර දෙමළ නායකයන් කියනවා. පසුගිය මැතිවරණයේදී ඔවුන් විශාල වශයෙන් පිරිහිලා තියෙනවා. ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළේ අපට විරුද්ධව ඉන්නේ තෝරාගත් රටවල් තුන හතරක්.   


ප්‍රශ්නය - ඉන්දියාවේ තත්ත්වය කොහොමද?   


ඉන්දියාව අපේ මිත්‍ර රටක්. අපට විරුද්ධත්වයක් පළ කිරීමට ඉන්දියාව කටයුතු නොකරයි කියලා අපි විශ්වාස කරනවා.   


ප්‍රශ්නය - කොළඹ වරායෙ නැගෙනිහර ජැටිය නොදීම ගැන ඉන්දියාව උරණ වුණා.   


හැම රටක්ම තමන්ගේ ව්‍යාපාරවල පසුබෑම් ඇති වුණාම විරුද්ධත්වය පළ කරනවා. නමුත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තියෙන්නේ ඊට වඩා කිට්ටු සමීප සම්බන්ධයක්. ඒ නිසා මේ ජිනීවා සැසි වාරයේදී ගැටුමක් ඇති වේවි කියලා මම හිතන්නේ නෑ.   


ප්‍රශ්නය - ආණ්ඩුව කිව්වා බටහිර ජැටිය දෙන්නම් කියලා. ඉන්දියාව කැමතිද? 

 
ඉන්දියාව ගන්න ක්‍රියාමාර්ගය ගැන තවම සාකච්ඡාවක් වෙලා නෑ. එක එක ව්‍යාපෘති තියෙනවා. ඒ ගැන සාකච්ඡා ආරම්භ වුණාම තමයි කියන්න වෙන්නේ මොකද්ද වෙන්නේ නෑ කියලා. ඕනෑම ආයෝජනයක් සම්බන්ධයෙන් විවෘතව හා පැහැදිලි තත්ත්වයක් යටතේ කටයුතු කළ යුතුයි කියන එකයි ආණ්ඩුවේ ස්ථාවරය. 

 
ප්‍රශ්නය - ලෝක දේශපාලන බල පොරයට ශ්‍රී ලංකාව හසු කරලා කියලා මේ ආණ්ඩුවට එදිරිව බරපතළ චෝදනාවක් තියෙනවා.

   
ශ්‍රී ලංකාවේ නොබැඳි පිළිවෙත, මධ්‍යස්ථ නොබැඳි රටක් ලෙස අනුගමනය කරන පිළිවෙත ජනාධිපතිතුමා තම ජයග්‍රණය ලබා ගැනීමටත් ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළා. ඒ ඒ රටවල හමුවන සෑම නියෝජිතයකු වෙතත් ඒ පණිවුඩය ලබා දීලා තියෙන්නේ. ජනාධිපතිතුමාට හා පාර්ලිමේන්තුට විතරයි ජන වරමක් තියෙන්නේ රට සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න. ජනාධිපතිතුමාගේ වරමට අනුව තමයි විදේශ ඇමැති හැටියට මමත් මේ හැම රටක් එක්කම කටයුතු කරන්නේ. ප්‍රවෘත්ති නම් නොයෙක් විදිහට වැටෙනවා.   
ප්‍රශ්නය - බී.කේ.ජී. පක්ෂය ලංකාවේ ආණ්ඩු බලය ගන්නවා කියලත් කියනවා.   


ඉන්දියාවේ කොහේද ප්‍රාන්තයක ඇමැතිවරයෙක් එහෙම කතාවක් කියලා තියෙනවා. 

 
ප්‍රශ්නය -ඔබ ඉන්දියාවෙන් ඒ ගැන නිල වශයෙන් විමසීමක් කළාද?   


ප්‍රාන්තයක ඇමැතිවරයෙක් කළ ප්‍රකාශයකුත් නොවෙයිනේ. තවත් කෙනෙක් කියපු කතාවක්නේ. සන්නිවේදනය අද බොහොම දියුණුයිනේ. ඒ නිසා තොරතුරු ඉක්මණින් දැනගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය එලෙසින්ම රකිමින් කටයුතු කිරීම තමයි අපේ ස්ථාවරය. එයින් අපි අඟලක් හෝ වෙනස් වෙන්නේ නැහැ.   


ප්‍රශ්නය - ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ ඇමැති විමල් වීරවංශගේ නිවසේදී හමු වුණා. ඔබ හිටියේ නැහැ. ඒ කියන්නේ ඔබ ඒ සටනට නෑ. 

 
සභානායකවරයා හැටියට හා මේ ආණ්ඩුව පිහිටුවීම සඳහා මූලික වුණ කෙනෙකු හැටියට විශාල දේශපාලන භාරධූර වගකීමක් මට බාර දුන්නා. ඒ අනුව සියලු දෙනා සමගි කිරීමයි මගෙන් ඉෂ්ට විය යුතු වගකීම වන්නේ.   
ප්‍රශ්නය - ඇමැති විමල් කියනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්ව බලයක් අවශ්‍යයි කියලා. ඔබත් ඒ මතය දරනවද?   


එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ එතුමාගේ පක්ෂයේ අදහසක්නේ. නොයෙක් අදහස් එක එක පක්ෂවල තියෙනවනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රාජ්‍ය නායකත්වය බාර දීලා තියෙනවා. අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දීලා තියෙනවා. ආණ්ඩුවක් පිහිටුවලා තියෙනවා. ඒ ආණ්ඩුවට තුනෙන දෙකක බලයක් ලැබිලා තියෙනවා. මේක ආරක්ෂා කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා ජනතාව සහභාගි කරගත් දියුණු මාවතක රට ගමන් කරවන්න ඕනෑ. ඒක තමයි ප්‍රධානම ක්‍රියාව. ඒ නිසා මට නම් එවැනි මතභේදයක් දැනට නෑ. එවැනි මතභේදයක් ඇතිකර ගත යුතුත් නෑ. වාද විවාද තියෙන්න පුළුවන්.   


ප්‍රශ්නය - මහින්ද සුළඟේ ඇත්ත ඉතිහාසය ඔබ දන්නවා. ඒ අනුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විමල් වීරවංශට කතා කරන විදිය හරිද?   


විවිධ අදහස් තියෙන අය මේ ආණ්ඩුවේ කොටස්කාරයොනේ. විවිධ අදහස්වලට අතිරේකව විවිධ මතාධාරීහු අපේ කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා. මහා සටනක් කරන්න වුණානේ තිබුණ යුගය අවසන් කරන්න. අප අමතක නොකළ යුත්තේ එයයි. කොයි තරම් සටනක් කරල ද අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන මේ ආණ්ඩුව ගෙනාවේ. ඒ නිසා අපි එකඟ වූ කරුණු සාර්ථකව ජයග්‍රහණය කරවීමටත් නොසිතූ අභියෝගය වූ කොවිඩ් අර්බුදයට සාර්ථකව මුහුණ දී එය ජය ගැනීමටත් මේ මොහොතේ ක්‍රියා කළ යුතුයි. එය හැර අන් දෙයක් ගැන මේ මොහොතේ කතා නොකළ යුතුයි.

 

 

සාකච්ඡා කළේ :  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්