රංගේ බෝම්බයක් ගහයි


රංගේ බණ්ඩාරට 
ආණ්ඩුවෙන්ම 
විරෝධය

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා ඉකුත්  සතියේ දේශපාලන කරළියේ බෝම්බයක් පුපුරුවා හැරියේය. ඒ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු යැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි. එම ප්‍රකාශයත් සමග දේශපාලන කරළිය ගිනියම් වූ අතර, ඔහුට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් ගල් මුල් ප්‍රහාර එල්ල වෙන්නට විය. රංගේ බණ්ඩාර ප්‍රකාශය කර ගෙදර යන්නටත් පෙර ඊට ප්‍රතිචාර දැක්වූයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වෙන අතර පොහොට්ටුවේ වැඩපිළිවෙළ ගමට ගෙන යන්නට මේ දිනවල දැඩි කැපවීමෙන් කටයුතු කරන්නෙකි. 
රංගේ බණ්ඩාරට පිළිතුරු දෙමින් නාමල් කීවේ, මැතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොදෙන බවය. ඊළඟට නිවේදනයක් නිකුත් කරමින් උත්තර දුන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති කරන්නට තිරය පිටුපස සිට සන්ධානයක් ගොඩනැගීමට ද මූලික වී සිටින නිමල් ලන්සා කණ්ඩායමය. ලංසා නිවේදනයක් නිකුත් කරමින් කීවේ, මැතිවරණය කල්දැමිය යුතු බවට රංගේ බණ්ඩාර කරන ප්‍රකාශය ආණ්ඩුවේ ප්‍රකාශයක් නොවන බවය. 
‘‘මෙයා මේ කතා මොනවට කියනවද දන්නේ නෑ. මේවයින් වෙන්නේ ජනාධිපතිවරයා අපහසුතාවට පත්වෙන එක විතරයි. මේක රංග බණ්ඩාරගේ පෞද්ගලික මතයක් මිසක් ජනාධිපතිතුමාගේවත් රජයෙවත් මතය නෙමේ.ජනාධිපතිවරණය නියමිත කාලෙදි අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක්. රංගේ බණ්ඩාර මහත්තයා කියන ඒවට පදනමක් නෑ’’ ඔහු කීවේය.
රංගේ බණ්ඩාරට සහායට හිටියේ ආණ්ඩුවේ  මනූෂ නානායක්කාර ඇමතිවරයා පමණි. ඔහු කියා තිබුණේ රංගේ බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයාට එවැනි යෝජනාවක් කිරීමට අයිතිය තිබෙන බවය. 
ජනපති රනිල්ගෙන් ද බොහෝ දෙනා මේ ගැන විමසන්නට වූවේ ඔහුගේ මතයත් එය දැයි දැනගැනීමට ය. “ආණ්ඩුවේ මතය අපි කියලා තියෙනවා. නමුත් වෙනත් ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණය ගැන අදහස් කියන්න පුළුවන්. අපි ඒකට කලබල වෙලා වැඩක් නෑ.” ජනපති කී දේ කිසිවෙකුට නොතේරුණත් ඔවුන් එතැනින් එහාට ඒ ගැන ප්‍රශ්න කර නොතිබුණි.
බ්‍රහස්පතින්දා දිනයේ මුදල් අමාත්‍යංශයේ ජනාධිපතිවරයාගේ කාර්යාලයට පැමිණි මැති ඇමතිවරු ඇතුළු නිලධාරීහු ද රංගේ කියූ ප්‍රකාශය ගැන විමසන්නට වූහ. “රංගේගේ ප්‍රකාශය සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීතුමාත් අනුමත කරලා තිබුණා. ඒ කියන කතාව ඇත්ත. මේ වෙලාවේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න හොඳ නෑ. හොඳම විසඳුම මැතිවරණය කල් දමන එකයි.” මහාචාර්ය ආශු මාරසිංහ කියද්දී, එහි සිටි නිලධාරියෙකු කීවේ හුඟක් අයට ජනාධිපතිතුමාගේ දේශපාලනය නොතේරෙන බවයි.
“මම කැබිනෙට්ටුවට කිව්වේ ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය කියලා විතරයි.” කියමින් ජනපති රනිල් සිනාසුණේ කිසියම් ඉඟියක් ද පිරිසට ලබා දෙමිනි.

බාලසුබ්‍රමනියම් 
ඩග්ලස් දේවානන්දා උතුරේ සංවිධානය කළ තරුණ සමුළුවේදී ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගෙන් විමසා සිටියේ ඔවුන්ගේ කැමතිම ගායකයා කවුරුන්ද කියාය. රැස්ව සිටි පිරිස එක හඬින් කෑගසා කීවේ ඒ බාලසුබ්‍රමනියම් කියාය.
එසේ නම් ඔහුගේ ගීතයක් ගායනා කරන ලෙස ජනපති ඉල්ලා සිටි අතර එක් තරුණයෙක් පැමිණ බාලසුබ්‍රමනියම්ගේ ගීතයක් ගායනා කළේ තරුණ පිරිස මෙන්ම ජනපති රනිල් ද අමන්දානන්දයට පත් කරවමිනි.
තරුණයන් හමුවේ ජනපති රනිල් කීවේ ලබන වසරේ යාපනයේ යොවුන් පුරයක් පවත්වන්නැයි තමන් උපදෙස් දුන් බවය. ඊට පෙර ඉන්දීය කලාකරුවන් ගෙන්වා සංගීත ප්‍රසංගයක් පවත්වන ලෙස ද ඔහු දැනුම් දුන්නේය. තරුණ හමුව ආරම්භ වූවේ ජාතික ගීය සිංහලෙන් වාදනය කරමිනි. වහාම තරුණ සේවා සභාවේ සභාපති කැඳවූ ඔහු දෙමළ භාෂාවෙන් ද ජාතික ගීය වාදනය කළ යුතු බවට කළ දැනුම්දීම අනුව ජාතික ගීය දෙමළ බසින් ද වාදනය වූවේය.

ප්‍රශ්න අමතක කර 
ශ්‍රීලනිපය 
වැඩ පටන් ගනී 
පසුගිය 28 වැනිදා ශ්‍රීලනිප සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ගේ රැස්වීමක් වැල්ලවත්ත ප්‍රදේශයේ දී පැවැත්වණි. එහිදී දිස්ත්‍රික් නායකයන් අදහස් පළ කළ අතර ඔවුන් කියා සිටියේ ”‍ඡන්දයක් ආවොත් අපි මොකද කරන්නේ. ජනාධිපතිවරණයක් ආවොත් අපිට ලෑස්ති වෙන්න කාලෙ මදි. ඒ නිසා අපි ජන්දෙ කරන්න වෙනම තැනක වැඩ පටන් ගමු. පක්ෂ මූලස්ථානයේ නීත්‍යනුකූලව ලැබෙයි.”‍ 
ඒ අනුව ඉදිරි  ජනාපතිවරණයක දී නිශ්චිත සැලසුමකට අනුව වැඩ ආරම්භ කිරීමට තීරණය කරන ලදී. එහිදී දිස්ත්‍රික් නායකවරුන්ගෙන් අදහස් ලබාගැනීම ද සිදු කෙරිණි. ඒ සඳහා දැඩි උනන්දුවකින් ඔවුන් අදහස් දැක්වූ අතර එහිදී ඔවුන් කියා සිටියේ ඉදිරි මැතිවරණ සඳහා පක්ෂය ඉදිරිපත් විය යුතු බවයි. එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පැමිණ සිටියේය. ජනාධිපතිවරණයේ දී මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ශ්‍රීලනිපය තීරණය ⁣ගෙන ඇති අතර ඒ සඳහා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ද යෝජනා වී තිබේ. එම ස්ථානය පිළිබඳ ඉදිරි දින කිහිපයේ දී තීරණයක් 
ගැනීමට නියමිතය.

විවාදය ගැන 
සජබ කියන දේ 
සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය ගැන කතාබහක් පසුගිය සතියේ මාධ්‍ය තුළින් නැවත මතු කරද්දී, විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වූ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඒ ගැන කතාබහට එක්වුණේ විවාදයේ සම්බන්ධිකාරක නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සමගයි.
මුජිබර් රහුමාන්, නලින් බණ්ඩාර ගෙන් විමසා සිටියේ “නලින් මොකද දැන් විවාදයේ තත්ත්වය. මොකක්ද අපේ ප්‍රතිචාරය.” කියාය.   ඒ අවස්ථාවේ හර්ෂණ රාජකරුණා කීවේ “අපි මේ ගැන පිළිතුරක් ලබාදිය යුතුයි නේද?” කියාය. “ ඒ ගැන නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයාට ලිඛිතව පිළිතුරක් යොමුකරනවා.” කියා නලින් බණ්ඩාර කීවේය. 
“ලිපියට අඩංගු කරුණු මොනවා ද?” මුජිබර් අසද්දී නලින් බණ්ඩාර  කීවේ “ජාතික ජනබලවේගය යෝජනා කළ නායකත්ව විවාදයට අපි එකඟයි, එය ඔවුන් ප්‍රකාශ කළ පළමු මොහොතේම අපි සඳහන් කළත් ජාතික ජනබලවේගය පළමුවෙන් අපි යොජනා කළ ආර්ථික කමිටු විවාදය ගැන එකඟතාව හෝ එකඟනොවීම සඳහන් නොකිරීම පිළිබඳව ලිපියෙන් ප්‍රශ්න කරනවා.”  කියාය. 
“පළමුව ආර්ථික කමිටු විවාදය, දෙවනුව නායකත්ව විවාදය යන්න පිළිබඳව වූ ස්ථාවරය තුළ දිගටම රැඳී සිටින බව ඔවුන්ට දන්වනවා.” නලීන් වැඩිදුරටත් කීවේය. මුජිබර් රහුමාන්  කීවේ “ඔය ලිපියට අපේ ආර්ථික කමිටුවට ජනගත කර ඇති ‘බ්ලු‍ ප්‍රින්ට්’ එක ගැන කරුණු ඇතුළත් කරන්න. විවාද කරනවානම් අපි දැනටමත් ආර්ථික වැඩපිළිවෙළ තුළ තාක්ෂණික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබෙනවා.”
“ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියන එක ඇත්ත. අඩුම ගානේ ජාතික ජනබලවේගයට අපේ බ්ලු‍ ප්‍රින්ට් එක ගැන හරි විවාද කරන්න පුළුවන්නේ. ඒ ආර්ථික වැඩපිළි‍වෙළට විකල්ප තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න ඒ විවාදයේ දී අවස්ථාවක් තිබෙනවා.” හර්ෂණ කීවේය.  මුජිබර් රහුමාන් කීවේ කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරු එක්ක නම් ජාතික ජනබලවේගයේ කවුරුවත් මුහුණට මුහුණ විවාදයකට එන්නේ නෑ. ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙළ. එය කියුබාවේ, වෙනිසියුලාවේ ආර්ථිකය මිසක් අනුර කුමාර දිසානායක මවා පාන දෙයක් නෙවෙයි.”
අජිත් යන්නෙ කවද්ද
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ජනාධිපතිවරණය කල් තබන්න තැබූ යෝජනාව ගැන ඇතිවුණ සංවාදයක දී ඉරාන් වික්‍රමරත්න  කීවේ “ පිස්සු කතාවක්.  ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල් තියන්න පුළුවන් කියලා  අපේ ව්‍යවස්ථාවේ නෑ.”  හෙක්ටර් අප්පුහාමි කීවේ “ඕක ජනාධිපතිවරයා හොරාට ඉස්සර මුට්ටිය දාලා බැලූ අවස්ථාවක්. හැබැයි වැඩේ ගැස්සුණා.” කියාය. 
“දැන් කවද්ද අජිත් යන්නේ.”  මුජබර් ඇසුවේ අජිත් මාන්නප්පෙරුම ආණ්ඩුවට යනවා යැයි කියන කතාව ගැනය. “ මම යනවා කිව්ව කතාව හැම කාලේම වෙච්ච දෙයක් නේ. ඒ කාලේ මහින්ද රාජපක්ෂ ළඟට යනවා කිව්වා. මෛත්‍රීපාල සිරිසේන ළඟට යනවා කිව්වා. දැන් රනිල් ළඟට යනවා කියලා කියනවා. මේවා එක එක්කෙනාගේ ස්වයං වින්දනවලට හොඳ කතා. දේශපාලනයේ ප්‍රතිපත්ති තුළ කටයුතු කරනවා මිසක් පිල් මාරු කරලා වරප්‍රසාද දිනා ගන්නවත් ඉන්න තැන වරප්‍රසාද ගන්න කෙටි මාර්ග හොයන කෙනෙක් නෙවෙයි මම.  අද රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් නායකත්වය සහ කණ්ඩායම ඉන්නේ සමගි ජනබලවේගයේ. ඒ නිසා ඔය කතාවලට මම සැලෙන්නේ නෑ.”  සිනාසෙමින් එසේ කියු අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා, විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වුණා.
පොහොට්ටුවෙන් 
කැපුණු සේමසිංහ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කලා වැව ආසන බල මණ්ඩල රැස්වීම ඉකුත් සති අන්තයේ දී තලාවේ දී පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එය ආසන බල මණ්ඩල රැස්වීමක් වුවද, පොහොට්ටුව අනුරාධපුරෙන් වැඩ පටන් ගන්නා රැස්වීමක් බවට පොහොට්ටුව රට පුරා ලොකු ප්‍රචාරයක් දී තිබිණි. සංවිධාන කටයුතුවලට මූලිකත්වය ගෙන තිබුණේ අනුරාධපුරේ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයාය. මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට කොළඹින් ද පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක්ම සහභාගි වී සිටියහ. පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි, ඩී. වීරසිංහ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ. පොහොට්ටුව සමග මෙන්ම මහින්දලා සමග කාලයක් තිස්සේ සමීපව වැඩකළ අනුරාධපුරේ ෂෙහාන් සේමසිංහ, රාජ්‍ය ඇමැතිවරයාට මේ උත්සවයට ආරාධනා කර නොතිබිණි. අනුරාධපුරේ පොහොට්ටුව නියෝජනය කරමින් ආණ්ඩුව සමග එක්ව තනතුරු දරන සේමසිංහට මීට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට විය. ඒ සම්බන්ධයෙන් සේමසිංහ රාජ්‍ය ඇමතිවරයා කීවේ තමාට ඒ සඳහා ආරාධනයක් නොලැබුණු බවය. මළ ගෙදරකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට ආරාධනයකින් තොරව සහභාගී නොවන බව ඔහු මාධ්‍යයට කියා තිබිණි. දේශපාලන කරළියේ බොහෝ දෙනා කියන්නේ සේමසිංහ මේ වෙන විට ජනාධිපතිවරයාගේ අතිශය සමීප​ෙයකු බවට පත්ව සිටින බැවින් ඔහු පොහොට්ටුවෙන් කැපී ඇති බවය. එබැවින් ඔහුට මේ රැස්වීමට ආරාධනා නොකළ බවට දැන ගන්නට ඇත.
තලාව රැස්වීමේ තවත් විශේෂත්වයක් වූයේ එහි මූලිකත්වය දී තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටය. මෙවැනි රැස්වීම්වල කෙටි වේලාවක් හෝ කතා කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, මේ රැස්වීමේ කතාවන් නොකළ අතර ප්‍රධාන කතාව කළේ නාමල්ය.

නෙළුම් මාවතේ 
කොටු වූ ප්‍රසන්න

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද වන ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ඉකුත් අඟහරුවාදා බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි පොහොට්ටු කාර්යාලයට ගියේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හමුවීමේ බලාපොරොත්තුවෙනි.
එදා බැසිල් නොසිටීම නිසා ප්‍රසන්න එහි සිටි කිහිපදෙ​ෙනකු සමග කතාබහ කොට අමාත්‍යංශයට යාමට කාර්යාලයෙන් පිටවිය. ඔහුට යන්නට ඉඩක් ලැබුණේ නැත. පොලිසිය මැදිහත්ව ඔහුගේ ගමන නතර කළේය. ඊට හේතු වූයේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක්, ඒ ඉදිරිපිට විරෝධතා පුවරු අත තබාගෙන විරෝධතාවක යෙදීමය. ප්‍රසන්න පොලිසියෙන් විමසා සිටියේ කවුද මේ කට්ටිය කියායි. පොලිසිය කීවේ ඒ පිරිස සිවිල් සංවිධානවල කට්ටියක් බවය. ප්‍රසන්නට යන්නට නොදී විරෝධතාකරුවන් ඔහුගේ වාහනයට ද බාධා කළ අතර එක් අ​ෙයකු ඔහුගේ රථයේ ඉදිරිපස වීදුරු අරින්නට උත්සාහ කළ ද එම උත්සාහය අසාර්ථක විය. සිද්ධිය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදියෙක්  ප්‍රසන්නගෙන් මේ ගැන විමසීය. “ඒගොල්ලෝ මේ රට අරාජික කරන්න අර අදින කට්ටියක්. කීයක් හරි හොයාගන්න දඟලනවා. ඉතින් ඔහේ කෑ ගැහුව දෙන්” යැයි කියමින් උත්තර දී ප්‍රසන්න පිටව ගියේය.
ප්‍රසන්න ගිය සති අන්තයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීය. එම කතාබහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද ඇදී ගිය අතර එහිදී ප්‍රසන්න කීවේ ජනාධිපතිවරණය ස්ථිර වශයෙන් එන බවය. “ජනාධිපතිතුමා ඉදිරිපත් වෙයි ද කියල සමහරු අහනවා. එතුමා අනිවාර්‌යයෙන්ම ඉදිරිපත් වේවි. ඒ ගැන  සැකයක් නෑ”. ප්‍රසන්න සුපුරුදු සහතිකය නිකුත් කළේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිනවීමට සියලු‍ දෙනාගේ සහාය අවශ්‍ය බව ප්‍රසන්න ක්‍රියා සිටියේය. ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන ද ඊට සහභාගි වී සිටියේය. ඔහු කීවේ අපූරු කතාවකි.
‘‘වෙන කරන්න දෙයක් නෑ ඇමතිතුමා, අපිට හිත හදාගෙන මේ වැඩේ කරන්න වෙනවා’’. හිටපු සභාපතිවරයා කීවේය. පක්ෂය කොහොමත් තීන්දුවක් අරගෙන තියෙන්නේ, ඉතින් ඒක ඉක්මනින් කියාවි. අපි එතකොට අවශ්‍ය දේ කරමු.  ඔහු යෝජනා කළේය. ප්‍රසන්න ද කීවේ පක්ෂයේ තීන්දුව ඉක්මනින් කියයි කියාය.

අමුණුගමට 
දේශපාලනය 
එපාවෙයි

හිටපු අමාත්‍යවර​ෙයකු වන ආචාර්ය සරත් අමුණුගම පසුගිය කාලයේ කටයුතු කළේ මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා වශයෙනි. දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂ ගිය සතියේ උත්තර ලංකා සභාගයට සම්බන්ධ පක්ෂ සහ තවත් කණ්ඩායම් කිහිපයක් සමග නව සන්ධානයක් ගොඩනැගීම හේතුවෙන් අමුණුගම සිය පක්ෂයේ තනතුර අත් හැරියේය. දැනගන්නට ඇති පරිදි ඊට හේතු වී ඇත්තේ, විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම එක්ව එම සන්ධානය ගොඩනැගීමට අමුණුගම විරෝධය පළ කර ඇති බවය.