අද වැනි අවුරුදු දිනක තොරතෝංචියක් නැතිව දොඩමලු වන රූපවාහිනී තිර අතර ඇතැම් අවුරුදු කෑම මේස නෙතට උලෙළක් මුත් සිතට නැගෙනුයේ කඳුළකි. දැකුමෙන්ම එවැනි රසවත් කෑම මේසයක ඇති රසය සිතට නැගෙන මුත් එවැන්නක් තම නිවසේ අවුරුදු කෑම මේසය මත නොවීම එයට හේතුවය.
අවුරුදු ගණනාවක් තිස්සේම රාජ්‍ය නායකයාගේ නිවසේ සරුසාර අවුරුදු කෑම මේසය දැක බලා හීල්ලූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මෙවර එවැනි කෑම මේසයක් දැකගත නොහැකි වන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිවසේ සිට රට වටා අවුරුදු දවසේ ඔහුගේ කෑම මේසයට කැමරාව තහනම් කර ඇති නිසාය. රාජ්‍ය නායකයා කන බොන හැටි, නිවසේ ජීවත් වන හැටි රටවැසියන්ට පෙන්වීම තේරුමක් නොමැති ක්‍රියාවක් බව ජනාධිපතිවරයා තීරණය කිරීම එයට හේතුවය.
රාජ්‍ය නායකයා අවුරුදු නැකැත් ඉටු කරන ආකාරය, රාජ්‍ය නායකයාගේ පවුලේ උදවිය කැවුම් උයන්න, නැකතට කන බොන හිසතෙල් ගල්වන ආකාරය රූපවාහිනියෙන් විකාශය වීම ඇරඹුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වූ පසුවය. ජනධිපතිවරයාගේ පෞද්ගලික නිවස වූ කාල්ටන් නිවසේ සිට ‘‘රට වටා අවුරුදු’’ සමරන රූපවාහිනී ලයිව් විකාශයට ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ අවුරුදු වතාවත් සිදු කරන ආකාරයද ඇතුළත් කෙරිණි. ජනාධිපතිවරයාත් බිරිය හා දරුවනුත් ජනාධිපතිවරයාගේ සොහොයුරන් සහ ඔවුන්ගේ බිරියනුත් එකම වර්ණයෙන් යුතු ඇඳුමින් සැරසී ප්‍රීතිමත් අවුරුද්දකට ආශීර්වාද ලබන හැටි එකල රූපවාහිනී අවුරුදු විකාශයේ අනිවාර්ය අංගයක් විය. ඇතැම් අවස්ථාවක රජගෙදර සිට අවුරුද්ද උදාවේ කිරි උතුරුවන දර්ශනද විකාශය කෙරිණි. ජනාධිපතිවරයාගේ පවුල ශක්තිමත් පවුලක් බව රටට පෙන්වීම මෙහි අරමුණ වූ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ශක්තිමත් කෙරිණි. ජනාධිපතිවරයා සහ පවුලේ උදවියගේ ආහාර මේසයේ ඇතුළත් දෑ පවා රූපවාහිනී කැමරාවලට හසුවිය. රටේ ඇතැම් ජනතාවට කැවිලි ගණනාවකින් යුතු අවුරුදු තේ මේසයක් සකස් කර ගැනීමේ හැකියාවක් එදා තිබුණෙත් නැත. අදත් නැත. එහෙත් ජනාධිපති පවුල ආහාර ගන්නා තේ මේසය දුටු විට දැකීමෙන් පවා කුස පුරවා ගත හැකි රසයක් ලැබෙන ලෙස ‘‘කාල්ටන් අවුරුදු’’ සිරිත් විරිත් හා තේ මේසය ජන මනස තුළට ගෙන යාමට එහි සංවිධායකයෝ දක්ෂ වූහ.
රූපවාහිනී ආයතන අවුරුදු දිනයේ සිදුකරන ගමින් ගමට අවුරුදු සිරිත් විකාශය ගුවන් ගත වන්නේ සජීවී විකාශයක් හැටියටය. එවැනි සජීවී වැඩසටහනක් ගෙන ඒමේ වියදම අදින් වසර පහළොවකට පමණ පෙර රුපියල් ලක්ෂ සියය ඉක්මවීය. එම වැය බර පියවා ගන්නේ අනුග්‍රාහකයන්ගෙන් ලැබෙන දැන්වීම්වලිනි. ‘‘රටවටා අවුරුදු’’ වැඩසටහන් රූපවාහිනී සේවා මගින් දැඩි ලෙස ව්‍යාප්ත වූයේ සුනාමි ඛේදවාචකයෙන් පසුවය. එම වැඩසටහන් ජනප්‍රියවෙද්දී රජයේ බලධාරීන්ට රාජ්‍ය නායකයාගේ නිවසේ සිට නායකයා අවුරුදු සමරන හැටි ජනතාවට පෙන්වීමේ උන්මාදයක් ඇතිවුණේය. රජ ගෙදරටත්, කාල්ටන් නිවසටත් රූපවාහිනී කැමරාව යොමු වූයේ ඒ අනුවය. සෑම වසරකම මෙම ක්‍රියාවලිය සිදුවුණේය. අද වන විට ද අන්තර්ජාලයේ යූටියුබ් රූපරාමු ගණනාවක කාල්ටන් නිවසේ රාජ්‍ය නායක පවුලේ අය අවුරුදු සැමරූ විවිධ අවස්ථා දැක ගත හැකිය. මුල් කාලයේ රාජ්‍ය නායකයාද අවුරුදු සිරිත් විරිත් පිළිපදින අයුරු ජනතාවට ආදර්ශයක් ලෙස පෙන්වීම මෙමගින් අරමුණු කරගන්නට ඇතත්, පසුකාලීනව මෙම වැඩසටහන මගින් රාජ්‍ය නායකයාගේ පවුලේ එකමුතුභාවය, නිරෝගීභාවය ඇතුළු ඔහුගේ පෞරුෂය වර්ධනය කෙරෙන ආකාරය සියුම්ව ජනසමාජයට ඇතුළු කෙරිණි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ජනාධිපති නිවසේ සිට සෑම පෝ දිනකම විකාශය කළ පෝදා බණ වැඩසටහන ජනතාව අතර අර්ථගැන්වුණේ දේශපාලන වැඩසටහනක් හැටියටය. එහි ආරම්භක අරමුණ අවංක වුවත් පසුකාලීනව ධර්මය ශ්‍රවණය කිරීමට උපාසක උපාසිකාවන් සැපයීමේ අවස්ථාව පක්ෂයේ ආසන සංවිධායකයන්ට ලැබිණි. ආසන සංවිධායකයන් එම අවස්ථාව යොදා ගත්තේ ජනාධිපතිතුමා මුණගැසී කතාබහ කිරීමට තම ඡන්නදායකයන්ට අවස්ථාව ලබාදී තමාගේ ස්ථාවර ඡන්ද බැංකුව ශක්තිමත් කර ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙසිනි. එකල අරලියගහ මැඳුරේ පෝදා බණ අසන වැඩසටහනට නම ඇතුළත් කර ගැනීම සඳහා ‘‘ධර්ම යුද්ධයක්’’ ආසන සංවිධායකයන් අතර පැවතුණි.
මාස කිහිපයකට පෙර එම ලැයිස්තු සැකසෙන අතර, අරලියගහ මැඳුරේ සංවිධායකයන්ට ආසන සංවිධායකයන් සහ මන්ත්‍රීවරුන්ට කතාකර ඔබතුමාගේ සිය දෙනකුට අහවල් මාසයේ බණ වැඩසටහනට පැමිණිය හැකි බව දැනුම් දෙයි. ‘‘ධර්ම යුද්ධය’’ හටගන්නේ ඉන් පසුවය. සමහර මන්ත්‍රීවරුන්ට ඉක්මන් අවස්ථාවක් වුවමනා කෙරෙයි. සමහරු තම ප්‍රාදේශීය සංවිධායකයන් අමතා ඡන්නදායකයන්ගේ නම් ලැයිස්තු ගෙන්වා ගනියි. එම අවස්ථාව ලැබෙන්නේ ගම් මට්ටමේ පක්ෂ සංවිධායකයාගේද ප්‍රතිරූපය නැංවෙන ආකාරයටය. පොහොය දිනයට දුර බැහැර පළාත්වලින් පැමිණි බස් රථ හත අටක්වත් අරලියගහ මැඳුර අසල නවත්වා තිබෙනු දැක ගත හැකිය. ඒ පෝදා බණ වැඩසටහනට ශ්‍රාවකයන් රැගෙන ආ බස් රථය. ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන්ටද ජනාධිපතිතුමාට මුහුණ පෙන්වා හොඳ නම දිනා ගැනීමට මෙහිදී අවස්ථාවක් ලැබිණ. ධර්ම ශ්‍රවණය ‘‘ධර්ම අල්ලසක්’’ හැටියට ඉහළ නිලධාරීන් සහ ආසන සංවිධායකයන් භාවිත කළේ ඒ ආකාරයටය.
මෙම ධර්ම දේශනාව නොමිලේ ධර්ම ශ්‍රවණයක් වූයේ නැත. පැමිණි සියලු දෙනාටම එක්කෝ උදෑසන ආහාරය හෝ දිවා ආහාරයද තේ පැන් සංග්‍රහයක්ද නොමිලේ පිරිනැමුණි. ඒ සඳහා විශාල පිරිවැයක් මාසිකව දැරීමට කිසිවකුට හෝ සිදුවිය. එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය හෝ වෙනත් මාධ්‍ය සමාගමක් විසින් ‘‘පෝදා බණ’’ වැඩසටහන රූගත කර රූපවාහිනී ආයතනයට ලබාදෙයි. මේ සඳහා ද විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. පෝදා ධර්ම දේශනාව නොමිලේ ශ්‍රවණය කළ ධර්ම දේශනයක් නොවූයේ ඒ නිසාය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පසුව බලයට ආ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද අවස්ථා කිහිපයක්ම තම නිවසේ අවුරුදු කෑම මේසයට පවුලේ ඥාතීන් එක්ව සිටින ආකාරය අඩංගු රූපරාමු ජනමාධ්‍යයට නිකුත් කළේය. එහෙත් කෙටි කාලයකට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ තම නිවසේ අවුරුදු සිරිත් විරිත් සැමරුව ද නැද්ද යන්න කිසිවක් ජනමාධ්‍යයට නිරාවරණය කළේ නැත.
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක අවුරුදු කෑම මේසයේ හෝ හිසතෙල් ගාන අවස්ථාවේ හෝ සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ නොවන බව මේ වන විට දැන ගන්නට ඇත. වර්තමාන ජනාධිපතිවරයාගේ අදහස කළ යුතු සිරිත් විරිත් කිහිපය අතර තම පෞද්ගලික ජීවිතය ජනමාධ්‍ය සැකසීම වෙනුවෙන් අලෙවි කිරීමට උත්සාහ නොකිරීම අගය කළ යුතුය. ඔහු බලයට පත්වූ රාජ්‍ය නායක නිවසේ සිට කරන පෝදා ධර්ම දේශනා වැඩසටහන නැවතිණි. ජනාධිපතිවරයාගේ බිරිඳ සහ පුත්‍රයා සිටින රූපරාමු ජනමාධ්‍යයෙන් ප්‍රචාරය නොකෙරෙයි. රට පාලනය කරනවා මිස තම පෞද්ගලික ප්‍රතිරූපය නැංවීමට රාජ්‍ය ධනය කෝටි ගණනින් යොදා නොගැනීම රටට ආදරය කරන ජන නායකයකුගේ වගකීමය. ජනතාව රාජ්‍ය නායකයාට ආදරය කරන්නේ එවිටය. ‘‘රට වටා අවුරුදු’’ කාල්ටන් නිවසේ සිට ප්‍රචාරය කළ සමයේ එය අගය කළ පිරිසකුත් සිටි මුත් වැඩිපුර ලැබුණේ ඇනුම් බැණුම් බව එකල රාජ්‍ය නායකයන් තේරුම් ගත්තේ නැත.
රට තුළ විශාල පිරිසක් අවුරුදු කිරිබත පිස ගැනීමටවත් නොහැකි ආර්ථික දරිද්‍රතාවකින් පෙළෙන රටක රාජ්‍ය නායක මැදුරේ සුවිශාල කිරිබතකින් සහ පරිවාර කැවිලි පෙවිලි දුසිම් ගණනකින් යුතු අවුරුදු මේසය එවැනි ජනතාවට ගෙන එන්නේ ක්‍රෝධයකි. රට බේරාගත් නායකයා වූ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දූෂණ වංචා නැගීමට ජනතාව පෙලඹුණු එක් හේතුවක් වූයේ එයයි.
රසමසවුළු මෙන්ම එකම පැහැයෙන් යුත් ඇඳුමින් සැරසුණු දුසිම් ගණනක් වූ ඥාති හැත්ත බුරුත්තම ළංකර ගෙන රදල ප්‍රධානියකු සේ අවුරුදු සිරිත් විරිත් සැමරූ මොහොතේ ජන මනස උකහා ගත්තේ ඔවුන් අවුරුදු සිරි අසිරිය විඳින්නේ අපගේ ජාතික ධනයෙන් නේද? යන සිතිවිල්ලය. රාජපක්ෂ විරෝධී දේශපාලන පක්ෂ එම මතයට තවත් පොහොර දැමීමේ ප්‍රතිඵලය වූයේ ජනතාව තුළින් ප්‍රතික්ෂේප වීමය.
රාජ්‍ය නායකයකු කළ යුතුව ඇත්තේ තමා අවුරුද්දට කන බොන හැටි ජනතාවට පෙන්වීම නොව, රටේ සියලු පුරවැසියන්ටම අවුරුදු කෑ හැකි ආර්ථික තත්ත්වයක් ඇති කිරීමය. අවුරුදු සමයට ඉහළ නගින බඩු මිල පාලනයට නිසි පියවර ගැනීමය.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අවුරුදු සමයේ කුමක් කළා දැයි කිසිවකුත් දැන සිටියේ නැත. ජේ. ආර්. ජනාධිපති සමයේදීවත් ඉන් විශ්‍රාම ගිය පසුවවත් අවුරුදු වෙසක් වැනි සැමරුම්වලට අදාළ ඔහුගේ ඡායාරූපයක්වත් කිසි කලක දැන ගත නොහැකි විය. ඔහුගේ බිරිඳ, ජයවර්ධන ආර්යාව තමන්ගෙන් උදව් ඉල්ලූ අසරණ කාන්තාවන් හැටකට පමණ මාස් පතා මුදල් ත්‍යාගයක් පිරිනැමුවාය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විශ්‍රාම ගිය පසු ලේකම්වරයා ලෙස සේවය කළ හිටපු දිසාපති ප්‍රේමතිලක මාපිටිගම මහතා ආර්යාවගේ පරිත්‍යාගශීලීත්වය ගැන මෙවැනි සටහන් තබා ඇත.
‘‘මේ අය අතර ශ්‍රීලනිප රජයේ හිටපු ඇමැතිවරයකුගේ බිරිඳක් හදිසි ප්‍රහාරවලින් මියගිය හමුදාවල හා පොලිසියේ නිලධාරීන්ගේ යැපෙන්නන්, රජයේ උසස් නිලධාරීන්ගේ වැන්දඹුවන් ඇතුළු කාන්තාවෝ හැට හැත්තෑවක පමණ පිරිසක් වූහ. මේ අය සෑම මසකම නිශ්චිත දිනයක ‘‘බ්‍රේමාර්’’ නිවස වෙත ඇදෙති. ආර්යාව ඔවුන් වෙනුවෙන් වෙන් කෙරෙන මුදල කවරවල බහා වෙන වෙනම වෙන්කර තබන්නීය. තේ කෝප්පයක් බී මේ පිරිස ආර්යාවට සුබපතා සතුටු සාමීචියේ යෙදී ඊළඟ මාසයේත් මෙවැනිම දිනක හමුවන බව කියා සමුගනිති. සිංහල අවුරුද්ද හා නත්තල් වැනි උත්සව සමයට මොවුනට මුදල් ආධාරවලට අමතරව රෙදිපිළි වැනි තෑගි බෝගද ලැබේ.’’ ඒ හැරෙන්නට ජේ.ආර්. පවුලේ අවුරුදු සැමරුමක් ගැන වෙනත් කිසිම අවස්ථාවක සඳහන් නොමැත.
බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයකු සහ හිටපු ඇමැතිවරයකු වන ලක්ෂ්මන් සෙනෙවිරත්න ජේ. ආර්.ගේ රජයේ අවසන් භාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. ඔහුගේ පියා වූයේ ජේ. ආර්. සමග සමීපව දේශපාලනය කළ හිටපු කම්කරු ඇමැති කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න ය. ලක්ෂ්මන් සෙනෙවිරත්න කියන්නේ, තමා හෝ එකල මන්ත්‍රීවරුන් කිසිවකුත් කිසිම දිනක පක්ෂ නායක ජේ. ආර්.ට බුලත් හුරුලු දෙන්නට අවුරුදු සමයේ වෝඩ් පෙදෙසේ ජයවර්ධන නිවසට නොගිය බවය. ‘‘එහෙම සම්ප්‍රදායක් ජයවර්ධන ජනාධිපතිතුමාට තිබුණේ නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ජනාධිපති නිවසේ සිට සෑම පෝ දිනකම විකාශය කළ පෝදා බණ වැඩසටහන ජනතාව අතර අර්ථගැන්වුණේ දේශපාලන වැඩසටහනක් හැටියටය.
අපේ පියාණන් අවුරුදු ගාණක් ජේ.ආර්.ට සමීපව හිටියා. තාත්තා කවදාවත් කියල නෑ. අවුරුදු දවසට නායකයා බැහැදකින්න ගියා කියලා’’ ලක්ෂ්මන් සෙනෙවිරත්න සඳහන් කරයි.
ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක අවුරුදු සමයේ සුබපතා ඇයට බුලත් අතක් දී වඳින සිරිතක් එකල ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තුළ තිබුණේය. මෙම මන්ත්‍රීවරුන් මැතිනියට සැලකුවේ තමන්ගේ අම්මාට සලකන විදිහටය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මුණගැසී අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපතා ආශීර්වාද ලබාගැනීමට ශ්‍රීලනිපයේ බොහෝ දේශපාලකයන් ගියේ රොස්මිඩ් නිවසටය.
එහෙත් ඒ අවුරුදු නැකතට නොවේ. ඉන් පසුවය. අවුරුදු නැකැත් සැමරීමට බොහෝ වේලාවට මැතිනිය අතින් ඉටුවුණේ හොරගොල්ල වලව්වේදීය. එය ඇයට සහ දරුවන්ට පමණක් සීමාවිය. මැතිනිය හොරගොල්ලේ ගෙවන දවස් කිහිපයේ සමහර ශ්‍රීලනිප දේශපාලකයන් ඇය මුණගැසී සුබපතා එන සිරිතක් තිබුණ ද, බොහෝ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගියේ ඇය රොස්මීඩ් නිවසට පැමිණි පසුවය. ශ්‍රීලනිප හිටපු මන්ත්‍රී තිලක් කරුණාරත්න ඒ පිළිබඳව මෙසේ සඳහන් කරයි.
‘‘ගොඩක් දෙනා බුලත් අතක් එහෙම අරගෙන ගියා. හැබැයි අවුරුදු දා නෙවෙයි. ඊට පස්සේ. මමත් ඒ කාලෙ යනවා බුලත් අතක් අරගෙන ගිහින් වැඳල එහෙම එනවා. අම්මා කෙනෙක් වගේ හැමෝම එතුමියට ගරු කරනවනෙ. තේ මේසේ දින ගණනාවක් යනකම්ම ඇරල තියෙනවා. ඒ ඇරෙන්න බොරු ෂෝ එතුමිය ළඟ තිබුණේ නෑ. යන අයට නම කියලමයි කතා කරන්නෙ. කොහොම ද අවුරුදු ජය ද? අපි මොනවද ඊළඟට කරන්නෙ? වගේ ප්‍රශ්න අහනවා. එතුමියත් තේ මේසෙ වාඩිවෙලාම සමීපම අය එක්ක කතා කරනවා. මැතිනි ඒ කාලෙ මා එක්ක බොහොම හිතවත්. මම ගිහාම තිලක් එන්න ඇතුළට කියල තේ මේසෙටම එක්ක ගිහිං එතුමියත් එතැනින් වාඩි වෙනවා. අපි කවුරුත් එතුමියට වැඳල ආචාර කරල එන්නේ. ඒ අපේ සිංහල ගතිය නිසා. එතුමිය අපි කාටත් අම්ම වගේ’’ තිලක් කරුණාරත්න සඳහන් කරයි.
එහෙත් ඒ සියල්ල ඒ කිහිප දෙනා අතරට පමණක් සීමාවූ හමුවීම්ය. මැතිනියගේ නිවසේ අවුරුදු කෑම මේසයක පිටස්තරයන්ට සංග්‍රහ කරන ඡායාරූපයක්වත් කවදාවත් දකින්නට නොලැබුණේය. පිරුණු කළය කවදාවත් සෙලවෙන්නේ නැත. එලෙසම මැතිනියට නිසි ගරු සරුවද ජනතාවගෙන් ලැබුණි. රාජ්‍ය නායකයා ජනතා නායකයා එවැන්නකු විය යුතුය. තමා කන බොන හැටි, හිසතෙල් ගාන හැටි, තම ඥාතීන් හැත්ත බුරුත්තම එක්ව අවුරුදු සමරන හැටි රූපරාමු ලෙස රසවත් මුත් එය දුගී දුප්පත් ජනතාවගේ සිත තුළට ක්‍රෝධයක් ගෙන එන්නේය. එවැනි රූපරාමුවලින් පෞරුෂ හැදෙන්නේ නැත. සිදුවන්නේ තිබෙන පෞරුෂයද වැනසීමය. එවැනි ‘‘සෝබන’’ වැඩවලින් ඉවත්ව සිටින වත්මන් ජනාධිපතිවරයා රටවැසියන්ට නිවැරැදි මගපෙන්වීමක් කරන බව නම් අපට කිව හැකිය.
ප්‍රේමකීර්ති රණතුංග