රජයට අහිමි වූ මුදලක් නැවත ලබාගත හැකිනම් වැඩියම සතුටු වන පුද්ගලයා මමයි


මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය 

ආනයනික සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 16කට අධික බදු අහිමවීමක් සිදු වී ඇති බව විගණකාධිපති වාර්තාව මඟින් පෙන්වා දෙයි. අහිමි වූ බදු මුදලින් 30%ක ප්‍රමාණයක් ආදායම් බදු වශයෙන් අයකර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ කළ සාකච්ඡාවකි.   


? දකුණු ආසියාවේ ලොකුම බදු වංචාව යැයි පැවසෙන වැට් බදු වංචාව හෙළි කළෙත් ඔබ නියෝජ්‍ය මුදල් ඇමැති කාලයේ ම නේද?   


ඔව්, ඇත්තටම මේක අදටත් දකුණු ආසියාවේ ලොකුම බදු වංචාව වෙන්න පුළුවන්. මේක සිදු වුණේ 2001/11/15 සිට 2004/08/25 දක්වා. වැට් බදු ආපසු ගෙවීමේ දී කිසිදු හිමිකමක් නැති ව්‍යාජ ලෙස ලියාපදිංචි කරපු සමාගම් 20කට චෙක්පත් 235ක් හැඳුනුම්පත් 13ක් භාවිත කරමින් එකම පුද්ගලයෙක් මේ වංචාව කළේ. ඒ කාලෙ හැටියට කෝටි 400ක්. රුපියල් බිලියන 4ක්. දැන් අඩුම ගානේ බැලු‍‍වොත් බිලියන 100ක විතර දැවැන්ත වංචාවක්.   


2004 අප්‍රේල් මාසේ අග භාගයේ තමයි නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා විදියට වැඩ භාර ගත්තේ. වැඩ භාර අරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වූවා. ඒ අවස්ථාවකදී තමයි වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් මේ සිද්ධිය පිළිබඳ මාව දැනුම්වත් කළේ. ඒ මොහොතේම මෙහි ගැඹුර සහ සත්‍යතාව පිළිබඳව අවබෝධ වුණා. එවකට මුදල් ලේකම්වරයා විදියට කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට මේ සම්බන්ධව ජූනි 03 වැනිදා ලිපියක් යොමු කළා පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. ඒ ලිපිය මත ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ලිපිය සහ තොරතුරු යොමු කිරීමෙන් පසුව තමයි පරීක්ෂණය ආරම්භ වුණේ.   


අලු‍‍තින්ම නියෝජ්‍ය ඇමතිකමට ගිහිල්ලා මාසයයි. මුදල් ලේකම්තුමාට මෙවැනි බරපතළ නියෝගයක් කරන්න බය හිතුනේ නැද්ද?   


පැවරුණ වගකීම ඉටු කරීමේ දී අවදානම බාර ගන්න සූදානම්.   


මේ ජාවාරම අහුවුණාට පස්සෙ මොකද වුණේ?   


දීර්ඝ කාලීන නඩු විභාගයක් පැවැත්වුණා. ලංකාවෙ මෙතෙක් නියම කරපු ලොකුම දඩ මුදල් නියම කළේ මේ නඩුවෙදි. නඩුව ඇහුවෙ කොළඹ මහාධිකරණයේ දී. චූදිතයන් 14 දෙනෙක් හිටියා. ඒකෙන් දෙදෙනෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. හය දෙනෙක් පලා ගිහින් ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කළා. දඬුවම් හිමි වෙච්චි කිහිපදෙනෙකුට මිලියන 61ක දඩ මුදලක් නියම කරල ඔවුන් ගෙවලා නිදහස් වුණා. එක්කෙනෙක් බන්ධනාගාර ගත වුණා. ඔහුගේ දඩ මුදල දශ ලක්ෂ 2495ක්. ඔහුට ගෙවන්න බැරි වුණා. තවත් කෙනෙකුගේ දඩ මුදල් දශ ලක්ෂ 6351ක්. ඔහුත් බන්ධනාගාර ගත වෙලා බන්ධනාගාරයේ දී මිය ගියා. තවත් විත්තිකරුවන් දෙදෙනකුගේ දඩ මුදල් දශලක්ෂ 12080ක්. ඔවුන්ට දඩ මුදල් ගෙවා ගන්න බැරිව සියලු‍‍ දේපළ රාජසන්තක වුණා. විවෘත වරෙන්තු නිකුත් කළ අයටත් දඩ මුදල් නියම වුණා දශ ලක්ෂ 5466ක්. ඔවුන්ගෙත් දේපොල රාජසන්තක කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම හොඳින් මේ නඩුව මෙහෙයවලා රජයට විශාල මුදලක් අය කරල දුන්නා. ඒ වගේම සුවිශේෂී දඬුවම් උරුම වෙච්ච නඩුවක් බවට පත් වුණා.   


එහි වැරදිකරුවන්ට දඬුවම් දීමට පහසු වූයේ එය රජයේ මුදල් වැරදි ක්‍රම යොදාගෙන කළ පැහැදිලි සොරකම් කිරීමක් වූ නිසයි. සොරකම් කිරීම පැහැදිලිව පෙනුන නිසා එය අපරාධයක් සේ සළකා නීති කටයුතු කිරීමට ඉඩ ලැබීමෙන් මෙවැනි සුවිශේෂී දඬුවම්වලට වැරදිකරුවන් බවට ලක් කිරීමට ඉඩ ලැබුණා.   


දැන් ආපහු කරළියට ඇවිත් තියෙනවා සීනි බදු වංචාව. කොහොම ද මේ වංචාව සිද්ධ වෙන්නෙ?   


2020 ඔක්තෝබර් මාසෙ 14 වැනි දා රජය සීනි, සැමන්, පරිප්පු සහ ලොකු ළූණු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක එතෙක් තිබුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළා. රජය කියන්නෙ මේ අඩු කිරීමෙන් මිල අඩු වෙලා පාරිභෝගිකයන්ගේ මාසික වියදම රුපියල් 500කින් පමණ අඩුවෙයි කියල අපේක්ෂා කළ බවයි. නමුත් ඒක ඉටු වුණේ නෑ. පැවැති මිල ම ඒ විදියට ම තිබුණා. ඉතින් ඒ තුළින් මහත් ආන්දෝලනයක් ඇති වුණා විශාල වංචාවක් සිදු වුණා කියල. ඒ කියන්නෙ රජයට අය විය යුතු විශාල බදු මුදලක් අහිමි වූ බවට චෝදනා එල්ල වුණා.   


ඒ ගැන සොයා බැලීම සඳහා පත් කළ විගණකාධිපතිවරයාගේ කණ්ඩායමේ වාර්තාවෙන් බොහෝ කරුණු හෙළි වුණා නේද?   


විගණකාධිපතිවරයා ඉතාමත් ම සැලකිල්ලෙන් දක්ෂ ලෙස කරුණු සොයා බලල වාර්තාවක් නිකුත් කළා 2021 නොවැම්බර් 10. එහි පැහැදිලිව කියල තියෙනවා මේ කරුණ නිසා රුපියල් බිලියන 16කට ආසන්න බදු මුදලක් රජය කැප කරල තියෙනවා, ඒ මුදල කිසිසේත්ම රජය බලාපොරොත්තු වූ පරිදි ජනතාවට හිමි වුණේ නෑ කියල. ඒ වගේ ම මේ කැප කළ මුදල සීනි ආනයනකරුවන් අතර බෙදී ගිය ආකාරය සහ ඇතැම් ආයතන උපරිම ප්‍රයෝජන ගත් බවත් එක් ආයතනයක් මේ කාලය තුළ තමන්ගේ සාමාන්‍ය සීනි ආනයන 1222%ක ගුණයකින් වැඩි කරල තියෙනවා කියලත් කියල තියෙනවා.   


එම වාර්තාවේ වැදගත් නිර්දේශ මොනවා ද?   


මේ වාර්තාවේ නිර්දේශ 12ක් ඉදිරිපත් කළා. පළමු නිර්දේශයේ තියෙනවා මේ මුදල් නීත්‍යනුකූලව ආපසු අයකර ගැනීම පිළිබඳ සැලකිලිමත් වෙන්න කියල. “සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයන් වෙත විතැන් නොකළ තමන් අත රඳවා ගත් පාර්ශ්ව නිවැරැදිව හඳුනාගෙන ඉදිරියේ දී හෝ එම ආර්ථික වාසිය නෛතික රාමුව තුළ ජනතාවට ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම.”   


වාර්තාව පිටවෙලා වසරක් ගත වෙලත් නිර්දේශවලින් කිහිපයක්වත් ක්‍රියාත්මකව තිබුණා ද?   


මේකෙ ප්‍රධානතම නිර්දේශය තමයි මේ මුදල් අයකර ගැනීම පිළිබඳ සොයා බැලීමට කටයුතු කිරීම. ඒ නිසා මම දන්න විදියට මේ ගැන කාගෙවත් විශේෂ අවධානය යොමු වෙලා තිබුණේ නෑ. මම මේ තනතුර භාර ගත්තට පස්සෙ තමයි මේ කටයුතු කඩිනම් කරන්න කටයුතු කළේ.   


ඔබ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මේ කටයුත්තට මැදිහත් වුණා ද?   


ඇත්තෙන් ම මම මේ තනතුරට පත් වුණේ සැප්තැම්බර් මාසෙ 12 වෙනි දා. 27 වෙනිද වෙද්දි මේ වාර්තාව අධ්‍යයනය කරල මම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට ලිවුවා මේ වාර්තාවේ දැක්වෙන පළමු නිර්දේශය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න, ඒ සඳහා ඔවුනට ඇති හැකියාව පිළිබඳ දින 10ක් තුළ මට වාර්තාවක් දෙන්න කියල. ඒ කියන්නෙ මම වැඩ භාර අරගෙන සති දෙකක් ඇතුළත මේ තීරණේට බැස්සා.   


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොම ද?   


ඇත්තටම ඉතා ම හොඳ ප්‍රතිචාර ලැබුණෙ. ඒ ගැන මම ස්තූතිවන්ත විය යුතු යි. ඔවුන්ටත් මේක අලු‍‍ත් අත්දැකීමක් වුණා. ඇත්තටම දින 10කින් ඒ වාර්තාව දෙන්න ඔවුන්ට බැරි වුණා. මොකද දීර්ඝ හා ගැඹුරු සොයා බැලීමක් කරන්න සිදු වුණා කොහොම ද මේක අයකර ගන්නෙ කියල. කොහොම ද මේ බදු දැලට අදාළ සමාගම් කොටුකර ගන්නෙ කියල නැවත නැවත සාකච්ඡා කරල නොවැම්බර් මාසෙ 04 වැනි දා ඔවුන් මට සවිස්තර වාර්තාවක් දුන්නා.   


ඔබ මේ සම්බන්ධ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ද?   


ඔව්. මෙම මේ ගැන කරුණු ඉදිරිපත් කරනව කියල පාර්ලිමේන්තුවට පොරොන්දු වෙලා තිබුණෙ. ඒ නිසා මම ඉතා පැහැදිලිව මේ පිළිබඳ ප්‍රකාශයක් කරල ඉල්ලීමක් කළා සියලු‍‍ම සාමාජිකයන්ට මේකට උදව් කරන්න කියල. මුදල් කමිටුවට, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ආරාධනා කළා. ආදායම් බදු කොමසාරිස්වරයාගේ වාර්තාව අධ්‍යයනය කරල මේ බදු මුදල අයකර ගැනීමට හෝ රජය කැප කළ මුළු බදු මුදලම අයකර ගන්න හැකි ක්‍රමවේදයන් තියෙනව නම් කරුණු ඉදිරිපත් කරන්න කියල.   


එහි තියෙන්නේ ආදායම් බදු ලෙස කොටසක් අයකර ගැනීම ගැන නේද? සම්පූර්ණ මුදල අයකර ගන්න විදියක් නැත් ද?   


ඉතා පැහැදිලිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඒ ලිපියේ සඳහන් වෙනවා මුදල් අයකර ගන්න වෙන්නෙ මේ රටේ තියෙන නීති පද්ධතියේ හැටියට. ඒකෙ පැහැදිලිව තියෙනවා මේ කැප කළ මුළු බදු මුදල නැවත අය කරගන්න පවතින නීතියේ හැටියට බැහැ කියලා. ඒ නිසා මේක අයකර ගන්න වෙන්නෙ අදාළ ආයතනවල ආදායම් බදු අයකර ගැනීමේදීයි කියලා. දැනට තියෙන නීතියේ හැටියට ඔවුන්ගේ ලාභයෙන් 24%ක් ඔවුන් ලැබූ සාමාන්‍ය ලාභයට අමතරව ඔවුන් ලැබූ විශේෂ ලාභයෙන් අයකර ගන්න පුළුවන්. අපි දැනට ඉදිරිපත් කරල තියෙන සංශෝධන කළාට පස්සෙ 30%ක් අය කර ගන්න පුළුවන් කියන කරුණ තමයි ඔවුන් මට ඉදිරිපත් කරල තියෙන ලිපියේ තියෙන්නෙ. 2021 සහ 2022 බදු වර්ෂයන් තුළ මේ කටයුත්ත කරන්න පුළුවන් කියන කාරණාව තමයි ඒ ලිපිය මගින් මට දැනුම් දුන්නේ. ඒ ලිපිය හැන්සාඩ් ගත කරල තියෙන්නෙ.   


මොකද මෙහිදී අපි මුහුණ දෙන්නේ වැට් බදු වංචාවේ දී ක්‍රියා කළ ආකාරයට වඩා අපහසු තත්ත්වයකට, වැට් බදු වංචාවේදී එය හොරකමක් ලෙස පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඒත් මෙහිදී සිද්ධ වෙලා තියෙන්නේ අඩු කළ බදු මුදලේ වාසිය පාරිභෝගිකයාට නොයාම නිසා ඇති වූ තත්ත්වයක්. එම අවස්ථාවේ දී විශේෂයෙන් එක් ව්‍යාපාරිකයෙක් තමන්ගේ වෙෙළඳාම විශේෂ ලෙස වැඩි කරා. ඔහු ඒ තීරණය ගත්තේ කෙසේද? යන්න වෙනම කරුණක්. ඒ කෙසේ වුවත් එය එක් පැත්තකින් බැලු‍‍වොත් එක් පැත්තකින් පෙන්වා දිය හැක්කේ ව්‍යාපාරික තීරණ ගැනීම ඔහුගේ අයිතියක් බවයි. ඇති වූ තත්ත්වය නම් ඒ බදු අඩු කිරීමට සාපේක්ෂව මිල අඩු නොවීමයි.   


රජය මේ සඳහා බදු අඩුකර මාසයකට පසු සීනි මිල අඩු නොවුණ නිසා මිල පාලනයක් යොදා තවත් උත්සාහයක් ගෙන තිබුණා. නමුත් මිල අඩුවුණේ නැහැ. ඒක වෙනම සොයා බැලිය යුතු තවත් කරුණක්. කෙසේ වුවත් මේ රජය අඩු කළ බදු මුදලේ වාසිය ජනතාවට ලැබුණේ නැති එක තමයි ප්‍රශ්නය වුණේ. ඒ නිසා තමයි විගණකාධිපතිවරයාත් තම වාර්තාවේ රජය කැප කළ බදු මුදල ලෙස සඳහන් කොට තිබුණේ. ඉතින් මෙය අපේ රටේ නීතිය හැටියට එහි ලාභය ලබාගත් අය වැට්බදු වංචාව ලෙස හොරකමක් හෝ වංචාවක් කළ අය ලෙස හඳුනා ගැනීමට අවස්ථාවක් උදාවන්නේ නැහැ.   


ඒ නිසා තමයි ඒ ගැන සලකා බලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙය ආවරණය කර ගත හැක්කේ මෙම ආයතනවලින් ආදායම් බදු අයකර ගැනීම තුළින් බව පෙන්වා දී ඇත්තේ. නමුත් මම පාර්ලිමේන්තුවට විවෘත ආරාධනාවක් කළා මුදල් කමිටුවට, පොදු ව්‍යාපාරක කාරක සභාවට, මුළු සාමාජිකයින් සියලු‍‍ දෙනාට, රටටත් මේ ආරාධනාව විවෘතයි. මේ ලියවිලි සියල්ල හැන්සාඩ්වල ප්‍රසිද්ධ ලියවිලි ලෙස සටහන්ව තිබෙනවා. මේ දැනට නීතිය තුළ අපට කරගත හැකි ප්‍රමාණයයි. එසේ වුවත් මෙම මුදලින් තවත් වැඩි ප්‍රමාණයක් හෝ මුළු මුදලම හෝ අයකර ගැනීමට යම්කිසි හැකියාවක් නීතිමය තත්ත්වයක් නව නීති සම්පාදනය කිරීමෙන් කළ හැකි තත්ත්වයක් හෝ ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න.   
ඒ හැමදෙයක්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු දේ කරන්න සූදානම්. මොකද මේ අසීරු අවස්ථාවේ රජයට අහිමි වූ මුදලක් නැවත ලබා ගත හැකි නම් ඒ සඳහා වැඩියෙන්ම සතුටු වන තැනැත්තා මමයි. ඒ වගේම ජනතාවට විවිධ බදු හඳුන්වා දෙන මොහොතේ ඔවුන්ගේ සිත් කම්පනය කළ මෙවැනි සිද්ධීන් නිරවුල් කිරීම නීතිගරුක සමාජයට කරන විශාල ගෞරවයක්.   


පසුගිය දා දවසක් පුරා බදු වංචා, නොගෙවා සිටීම් වැනි කරුණු සාකච්ඡා කළා නේද?   


මහින්දානන්ද අලු‍‍ත්ගමගේ හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කරපු සභාව කල් තැබීමේ යෝජනාවක දී දිනයක් පුරා කරුණු දැක්වීම් කළා. දේශීය ආදායම්, රේගුව සහ සුරා බදු ගෙවිය යුතු පුද්ගලයන් නොගෙවා සිටින ආකාරය, බදු හිල්, බදු දැලේ තියෙන අඩුපාඩු ගැන සියලු‍‍ මන්ත්‍රීවරුන් කරුණු දැක්වූවා.   


මෙවැනි වංචා අවම කිරීමට ගන්නා වූ ඉදිරි පියවර මොනව ද?   


සාමාන්‍යයෙන් මෙවැනි විවාදයක වෙන්නෙ එදා දවසේ විවාද කරල අන්තිමට විවාද කරපු අයත් නෑ. අමාත්‍යවරයා විතරක් තනි වෙලා කරුණු ටිකක් ඉදිරිපත් කරනවා. නමුත් එදා මම පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා අද මම සංක්ෂිප්ත කරුණු දක්වලා මේ තොරතුරු අධ්‍යයනය කරල දීර්ඝ පැහැදිලි විස්තරයක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නම් කියල. මම ඒක ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කළා. ඒ දවස පුරා වෙච්චි සාකච්ඡාවෙදී අපේ අවධානය යොමු වෙච්ච අංශ, යොමු විය යුතු අංශ, නීත්‍යානුකූලව අය කළ නොහැකි බදු, ඒ වගේම සාවාද්‍ය කරුණු, අතිශයෝක්ති කරුණු ආදී සියල්ල ගැන ඒ වාර්තාව තුළින් ඉදිරිපත් කළා.   


එමෙන්ම නැවතී තිබුණු රැමිස් ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම තුළින් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඉහළ තලයකට ගෙන ඒමට අපිට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පදනම් කර ගනිමින් කටයුතු කරන නිසා බදු ගෙවන්නා සහ නිලධාරීන් අතර හමුවීම සිදුවන්නේ මාර්ගගත ක්‍රමයටයි. ඒ තුළින් වැරදි අවම කොට කාර්යක්ෂම සේවාවක් සිදු කිරීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිඟය සපුරාලීම සඳහා දැනට සේවයේ සිටින සංවර්ධන නිලධාරී දක්ෂ උපාධිධාරීන් එම පුරප්පාඩු පිරවීම සඳහා පවතින නීති රෙගුලාසි යටතේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.   


නව බදු ප්‍රතිපත්තිවල ඉලක්කයක් තිබේ ද?   


2019 ගත්ත ප්‍රතිපත්තිමය තීරණත් එක්ක අද ලෝකෙයේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අඩුම බදු ආදායම තියෙන රට බවට අපි පත් වෙලා තියෙනවා. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.2% 2021 දී බදු ආදායම. ඒ වර්ෂයේ අපේ බදු ආදායම බිලියන 1400යි වියදම 3900යි. 240%ක් වියදම වැඩියි. පුනරාවර්තන වියදම ගත්තත් 180%කින් වැඩියි. එවැනි තත්ත්වයක් තුළ රටක් පවතින්න බෑ. ඒ නිසා අපට අවශ්‍ය වෙන බදු ආදායම වැඩිකර ගැනීමත් බදු ව්‍යුහය තුළ 80% - 20%ක් වන වක්‍ර සහ ඍජු බදු අනුපාතය වෙනස් කර ගන්නත් සිද්ධ වෙනවා.   


රේගුවේ වෙන්දේසි කළ හමර් රථය පිළිබඳ ඇති වූ ආන්දෝලනය කුමක් ද?   


වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා මගෙන් ප්‍රශ්නයක් අහල තිබුණ රේගුවේ තියෙන වාහන හතරක් වෙන්දේසි කිරීම පිළිබඳ. ඊට පිළිතුරු ලබා දීමේ දී මම දැක්ක එක හමර් රථයක් නීති විරෝධී ලෙස ලංකාවට රැගෙන ආ තැනැත්තා රාජසන්තක කළ එම රථය රජයේ තක්සේරු මිලටත් වඩා අඩුවෙන් ලබාගෙන තියෙන ආකාරය. වාහනයක් රාජසන්තක කිරීමට තරම් බරපතළ වාහන ගෙන්වීම සපුරා තහනම් අවස්ථාවක තමන්ගේ අරමුණ රජයේ තක්සේරු මිලටත් වඩා අඩුවෙන් ඉටු කරගෙන තිබීමයි. පෙර වර්ෂයක විගණකාධිපති වාර්තාවක් පරිශීලනය කිරීමේ දී මෙහි යම් සංවිධානාත්මක ජාවාරමක ස්වරූපයක් පෙණුන නිසා මම මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. ඒ විමර්ශනය සිදුවෙමින් පවතිනවා. මම හිතනවා කාලයක් තිස්සේ සිදු වූ කරුණු රැසක් මේ තුළින් එළියට ඒවි කියල.   


ජාවාරම්කරුවන් ගුවන්තොටුපොළෙන් හොරෙන් රත්‍රන් ගෙන ඒම පිළිබඳ ඇති වූ කතා බහට මොක ද වුණේ?   


අපි ගුවන්තොටුපොළෙන් මගීන්ට රත්‍රන් භාණ්ඩ පැලඳගෙන එන්න අවස්ථාව දීල තියෙනවා. අපිට දැන ගන්න ලැබුණ මේ වකවානුවේ දිනකට රත්‍රන් කිලෝ 50ක් විතර මේ විදියට ගුවන්තොටුපොළෙන් රටට එනවා කියල. අපි හැමෝම දන්නවා කැරට් 22න් තමයි අපි රත්‍රන් භාණ්ඩ හදන්නෙ. නමුත් කැරට් 24 රත්‍රන් ආභරණ විදියට යන්තම් හදල කඹ වගේ කරේ දාගෙන ලංකාවට රැගෙන එනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නෙ. මේ තුළින් අපට එක් මසකට ඩොලර් මිලියන 30ක විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒ නිසා අපි වහ වහා නීති සම්පාදනය කරමින් තිබෙනවා මේ තත්ත්වය වළක්වන්න. අපි කර්මාන්තරුකවන්ට අවසර දීල තියෙනවා නීත්‍යනුකූලව රත්‍රන් ආනයන කිරීමට. ඒ 0.04% වගේ ඉතා අඩු බදු මුදලක් යටතේ. එහෙම තත්ත්වයක් තියෙද්දි මේ කෙරෙන්නෙ විදේශ විනිමය හිඟ වෙලාවක ජාතික අපරාධයක්. ඒ නිසා එය වැළැක්වීමට හැකි නීති කඩිනමින් සම්පාදනය කරනවා.   

 

 

 

විශේෂ ලියුම්කරුවකු විසිනි