ජාතික නිදහස් පෙරමුණේ
නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් වීරවංශ
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සභාපතිත්වයෙන් අද (4) නව දේශපාලන සන්ධානයක් බිහි වේ. ඒ කුමක් පිණිස ද? මේ ඒ ගැන විමසමින් ඒ මහතා සමග කළ සංවාදයකි.
?ඔබේ අලුත් සන්ධානයේ නම?
නම එළිදක්වන්නේ 4 වැනිදා පැවැත්වෙන එම උළෙලේදීම කියලා තීරණය කළා අපි සියලු දෙනාම.
?කවුද නායකයා?
දැනට තීරණය කරලා තියෙනවා. ඒ වගේම වාසුදේව මැතිතුමා ප්‍රකාශයට පත් කරලත් තියෙනවා සන්ධානයේ සභාපති වශයෙන් මාව පත් කළා කියලා.
?ඔබ හිතනව ද රට තුළ නව දේශපාලන සන්ධානයකට ඉඩක් තියෙනවා කියලා?
අනිවාර්යයෙන්ම, මොකද දැන් තියෙන්නේ සංක්‍රාන්තික තත්ත්වයක්. සමහර කොටසක් කුමන හෝ දේශපාලන පක්ෂයක් තෝරාගෙන තියෙනවා. තව කොටසක් වික්ෂිප්තව බලාගෙන ඉන්නවා. දේශපාලනය ගැන පොදුවේ කලකිරුණු පිරිසක් ඉන්නවා. සුදුසු මාවත හොයමින් ඉන්න පිරිසක් ඉන්නවා. අපි මේ කරන්නේ ඒ සියලු දෙනාම සඳහා වූ ඇද වැටී තිබෙන වළෙන් අපේ රට ගොඩගත හැකි උත්තර සභාගයක් පිහිටුවන එක.
?ඔබේ අලුත් සන්ධානයේ පදනමත් රාජපක්ෂ විරෝධය ද?
නෑ. රාජපක්ෂලා මේකට කිසිම සම්බන්ධයක් නෑ. රාජපක්ෂලත් එක්ක මේකට කිසිම ගනුදෙනුවක් නෑ. අපට තියෙනවා නම් දැන් රාජපක්ෂ විරෝධයක් ඒක නොවෙනස්ව දිගටම පවතීවි.
?එකම ගෙඩියට මෛත්‍රීපාල සිරිසේන, අනුර කුමාර, ඩලස්, පෙරටුගාමින්, චම්පික වගේම උවිඳු විජේවීර පොර කනවා. ඒක ඇතුළේ විමල්ට ඔළුව උස්සන්න පුළුවන්ද?
විමල් නොවෙයි රටයි උස්සන්න ඕනෑ. රටේ ඔළුව උස්සන වැඩේ කරන්න විමල් ඇතුළු මේ පිරිසට පුළුවන්.
?මොකක්ද වැඩ පිළිවෙල? කොතැනින් ද පටන් ගන්නේ?
දැන් මේ ප්‍රශ්නය වවාගෙන කන දේශපාලනයක්නේ කරන්නේ. කවුරුත් අඩුවැඩි වශයෙන් කරමින් ඉන්නේ ප්‍රශ්නය වවාගෙන කන එකනේ. විපක්ෂයේ අය ප්‍රශ්නය වවාගෙන කනවා එක විදියකට. ආණ්ඩුවේ අය ඒකම තව විදියකට කරනවා. අපි ඒකෙන් වෙනස්.
?කොහොම ද වෙනස් වෙන්නේ?
අපි වෙනස් වෙන්නේ අපි මේ ප්‍රශ්නයට උත්තර දෙන නිසයි. අපි තෙල් ප්‍රශ්නය දැක්කම පෝලිම් දැක්කම ඒකෙන් සතුටු වෙච්ච අය නොවෙයි. අපිට තියෙන සම්බන්ධතා පාවිච්චි කරලා රුසියාවේ තෙල් සමාගමක සභාපතියි ප්‍රධාන විධායක නිලධාරියාවයි ලංකාවට ගෙන්වලා සාකච්ඡා පවත්වලා ඒ වැඩේ ගොඩදාන්න උත්සාහ කරපු අය. අපි ප්‍රශ්නය වවාගෙන කන අය නොවෙයි. දැන් රට ඉල්ලන්නේ උත්තර. ඒ නිසා අපි හදන්නේ උත්තර සභාවක්.
?දැන් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවනේ. මොකක්ද ඔබේ උත්තරය?
මේකට උත්තර ගොඩක් තියෙනවා. දැන් ඔය රාජ්‍ය සේවකයන්ට අවුරුදු පහකට රට යන්න අවසර දීම එක හොඳ දෙයක්. ඒක අපේ එක උත්තරයක්. දෙවැනි එක තමයි අපේ ඉදිකිරීම් කර්මාන්තය දැන් සම්පූර්ණයෙන්ම නතර වෙලා. මේකෙ ඉන්නවා විශාල ශ්‍රමිකයො ප්‍රමාණයක්, පුහුණු පෙදරේරුවන්, පුහුණු වඩු කාර්මිකයන්, ඒ වගේ විවිධ අය ඉන්නවා. මේ පිරිස විශේෂ පුහුණුවක් නොලැබුවත් අත්දැකීමෙන් දන්නවා දැන් අපි මොකක්ද කරන්න ඕනැ. අපේ තියෙන වෘත්තිය පුහුණු අධිකාරියට කියන්න ඕනෑ මේ අය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එකතු කරන්න. ඒගොල්ලන්ගේ හැකියාව බලන්න. සුදුසු අයට එම්.වී. කිව් 4 හරි 5 සහතිකය දෙන්න. ඒ සහතිකයේ දීපු ගමන් අපේ තානාපතිවරුන්ට කියන්න ඕනෑ උඹලගේ රටවල්වල තියෙන ඇබෑර්තු මොනවද කියලා. ඔවුන්ගෙන් ඒ තොරතුරු ටික අරගෙන ඒ ඇබෑර්තුවලට අර සහතිකලාභීන් යවනවා. ඒ තව උත්තරයක්. අපේ අම්මලා මැදපෙරදිග යවන්න ඕනැ නෑ. යුරෝපා රටවලත් මේ ඇබෑර්තු තියෙනවා.
?මෙතැන මොන උත්තර දුන්නත් ජනතාව තුළ විශ්වාසය හදන්න බැරිනම්?
මම ඊළඟට කියන්න ගියේ ඒකම තමයි. ඔය ඔබ කියන විශ්වාසය ජනිත කළ යුතුමයි. මේ තියෙන්නේ දූෂණයෙන් තොර පාලනයක් කියන විශ්වාසය ඇති කරන්න ඕනෑ. ඒකට මොකක්ද කරන්න ඕනැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කළ පනතක් තියෙනවා. ඒ ගැන කෙටුම්පත් කරලා තියෙන්නේ ලංකාවේ. නමුත් ඒක තාම පාර්ලිමේන්තුවට ගෙනත් නෑ. ඒ පනත සම්මත කළොත් අපේ රටේ සල්ලි කවුරුහරි සොරකම් කරලා වෙන රටක හංගලා තියෙනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒගොල්ලන්ගේ වියදමින් හොයලා බලලා ඒක අපිට නැවත අය කරගන්න හදලා තියෙනවා. ඒ හොරකම් කරපු ධනය දේපොළ හැටියට තියෙනවා නම් ඒත් ලබා දෙනවා. ඒක කරපු ගමන් මොකක්ද වෙන්නේ විශ්වාසය ඇතිවෙනවා. අන්න එතකොට දැනට විදේශගත ශ්‍රමිකයා තමන්ගේ ප්‍රවේශගත වෙනවට වඩා උද්යෝගයෙන් එවන්න පෙළඹෙනවා.
?ඇත්තෙන්ම ජනතාවට අවශ්‍ය කරන්නේ ක්ෂණික උත්තර ?
මේවා කෙටිකාලීන තමයි. ඔබ හිතන්න එපා පෙදරේරුවෝ ටික තෝරාගන්න මාස හය හතක් යනවා කියලා. මේ මනුස්සයාව රට යවන්න අවුරුදු ගානක් ගත වෙන්නේ නෑ. දවස් දෙක තුනක් නිදි මරාගෙන කාර්යක්ෂමව කරන්න ඕනෑ. එච්චරයි. උත්තර තියෙනවා. උත්තර නැති ප්‍රශ්න තියෙන්න බැහැනේ.
?ඔබත් කැබිනට් මණ්ඩලවල හිටියා. විපක්ෂයට වැටෙන්නම ඕන ද උත්තර ගලන්න?
රාජ්‍ය නායකයා අපි නොවෙයිනේ. කැබිනට් මණ්ඩලයේ ඉන්නකොට මට පුළුවන් වැරැද්දක් වෙනකොට ඒකට විරුද්ධ වෙන්නත් ඒ අතරේ මම පවරපු රාජකාරිය හරියට කරන්නත්. මම ඒ වැඩේ හරියට කළේ නෑ කියලා කවුරුවත් කියන්නේ නැහැනේ. මේ මගේ මේසය උඩ තියෙන්නේ වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදනය කරන කඩදාසිවලින් හදපු ලොතරැයි පත්. මේ වාලච්චේන කඩදාසි කම්හල යකඩවලට විකුණන්න ඔක්කොම සැලසුම් කරල තිබුණේ. මැෂින් දෙකක් තිබුණා. ඒකෙන් එකක් අපි හැදුවා. සල්ලි දුන්නෙත් නෑ. බොහොම අමාරුවෙන් හදාගත්තේ. දැන් ඒක වැඩ. ලොතරැයි මුද්‍රණය කරන කොළ මෙට්‍රික් ටොන් 1 ක් ඉන්දියාවෙන් ගෙන්වන්නේ කෝටි හයයි නම් මේක කෝටි පහයි ගානක්. හරිම ගාන නොවෙයි මම මේ තේරුම් ගන්න කියන්නේ. මේ වාලච්චේන කඩදාසි කම්හල අපි හදලා ගත්තා නැත්නම් ලොතරැයිය ගහන්නේ ඉටි ගෙඩියෙ ද? දැන් මෙතැන පර්යේෂණ කරනවා පත්තර කඩදාසියත් කොහොම කොහොම හරි හදන්න. පරණ මැෂින් එක මේ. අලුත් එකක් නොවෙයි. අන්න උත්තර. දැන් දවසෙන් දවස ඒක ආදායම් වැඩිකර ගන්නවා. පරණ ණය තොගයක් තියෙන නිසා ලාභ ලැබෙනවා කියලා කියන්න බෑ. නමුත් සියලුම දෛනික වියදම් පඩි නඩි පවා ගෙවන්න ආදායමක ලැබෙනවා. ඛණිජ වැලි එකේ ටෙන්ඩරය තමයි දූෂිතම ටෙන්ඩරය. කවුරු කළත් කාට හරි චෝදනාවක් එනවා. මම කර්මාන්ත ඇමැති කාලේ ටෙන්ඩර් කැඳවීම ‘ඔන්ලයින්’ කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒකට විශේෂයන්ගෙන් ක්‍රමයක් හැදුවා. ඒක පටන් ගත්තා. ඔය අතරේ මම එළියට වැටුණා. හැබැයි නිලධාරීන් ඒක ඉදිරියට ගෙනිච්චා. ඔන්න පහුගිය සතියේ ඔන්ලයින් ටෙන්ඩරය පළමු වතාවට කරලා. වෙනදා ඩොලරය එකසිය ගානට දෙසිය ගානට යන ටෙන්ඩරය මේ පාර තුන් සියයට වැඩියි. අතරමැදියො නෑ. කෙළින්ම කර්මාන්තයෙ ඉන්න අයමයි ටෙන්ඩරයට ආවේ. පැය හතෙන් සියල්ල සම්පූර්ණයි. ඕකට තමයි කියන්නේ ‘සිස්ටම් චේන්ජ් කියලා. ඇයි හොරා කන්න තියෙන අවස්ථාව මේ තාක්ෂණ ක්‍රමවේදය හරහා නැති කළා. ඒ ටෙන්ඩරයට ආපු ඒත් නොලැබුණ අය කියනවලු.’ අපට නොලැබුණාට කමක් නෑ. මේ ක්‍රමය දිගටම කරන්න. අපි කැමැතියි මේකට කියලා.
?ජනාධිපති රනිල් අතුරු අයවැයක් ඉදිරිපත් කළා. මොකක්ද ඔබේ තක්සේරුව?
ඒකේ මේ ආර්ථික අර්බුදය නැමැති ලෙඩා දැන් ඉන්නේ දැඩි සත්කාරයේ. මේ අතුරු අයවැයෙන් කරලා තියෙන්නේ පැරසිටමෝල් පෙති දෙකක් දෙන එක විතරයි. එහෙම නැතිව දැඩි සත්කාරයෙ කරන්න ඕනැ ශල්‍යකර්මය මේකෙන් කෙරෙන බවක් පේන්නේ නැහැ. අතුරු අයවැයේ තියෙනවා ඉදිරියේ දී සංශෝධනය කළ යුතු පනත් කිහිපයක් ගැන. විදේශ විනිමය පනත ඒකේ එකක්. මම රටේ ජනාධිපතිනම් මම මුලින්ම කරන්නේ විදේශ විනිමය පනත සංශෝධනය කිරීමයි. දැන් තියෙන විදේශ විනිමය පනතෙන් අපි කියනවනේ අපනයන ආදායම ඉහළ ගිහින් කියලා. නමුත් ඒ ගාන අපට එන්නේ නෑ. එන්නේ නැහැ කියලා කරන්න දෙයකුත් නෑ. මහ බැංකුවට අලුතෙන් ගෙනාපු පනත අනුව මුකුත් කරන්න බෑ. ඉතින් ඕක වෙනස් කරන්න ඕනැ. ඒකනේ මුලින්ම පටන් ගන්න ඕනැ. නමුත් ඒක තියෙන්නේ ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත පනත් අතර. ඒකෙන්ම පේනවා අර්බුදයෙ බරපතළකම තේරුම් අරන් නෑ කියලා.
?සිපෙට්කෝ ඉන්ධන හල් 700 ක් විදේශ සමාගම්වලට දෙන්න හදනවා. ශ්‍රීලංකන් එකත් ප්‍රතිව්‍යූහගත කරන්න හදනවා. ඔබලා ‘මීක්’ නෑ.
ශ්‍රීලන්කන් එක වගේ එකක් නම් අපි කියන්නේ අපට නඩත්තු කරන්න බෑ. නඩත්තු කරන්න පුළුවන් සමාගමකට දීම ගැන නම් මගේ විරුද්ධත්වයක් නෑ. නමුත් හැම රාජ්‍ය ආයතනයක්ම බරයි කියලා බලශක්ති සුරක්ෂිතතාව අපි නැතිකර ගත්තොත් මොකද වෙන්නේ? අයි.ඕ.සී එකට තෙල් එන්නේ ඉන්දියාවෙන් ඩොලර් යවලා නොවෙයිනේ. ඒ ඩොලරුත් ලංකාවෙන් යන්නේ. තෙල් ගන්නකොට විතරක් නොවෙයි මෙහෙ රුපියල්වලට විකුණලා ඒ රුපියල් ටිකත් ඩොලර් කරලා තමයි ඉන්දියාවට යවන්නේ. එතකොට අපි හිතනවා නම් විදේශ සමාගම්වලට මේ ඔක්කොම දුන්නම රට ඇතුළේ ඩොලර් ඉතිරි වෙනවා කියලා එහෙම නෑ. ජංගම දුරකථනවලින් අපි කෝල් කළාම අපට රුපියල් යන්නේ. හැබැයි ඒ රුපියල් ඩොලර් කරලා තමයි එයාලා රට යවන්නේ. ඒත් ඒකෙන් කියන්නේ නෑ මේ අර්බුදයට මුවාවෙල සෑම රාජ්‍ය ආයතනයක්ම කුණු කොල්ලයට දෙන්න ඕනැ කියලා. සමහරු බලන්නේ මේක පාවිච්චි කරලා හොඳ කොමිස් එකක් අරගෙන ඔක්කොම ටික විකුණ විකුණ යන්න. ඒකට ජනතාව අනුමැතිය දිය යුතු නෑ.
?අරගල බිම හිස් වුණාට අරගලය වරින්වර උණුසුම් වෙනවා. මේ ප්‍රශ්නවල නිමාව දකින්නේ කොහොමද?
මහජනයාගේ විශ්වාසය තහවුරු කළ යුතුයි. හැබැයි දැන් මේ යන අරගලය පළල් මහජන පදනමින් ඇරැඹුණ එකක් නොවෙයි. අන්තරෙයි යම් යම් සංවිධාන කිහිපයක් කරගෙන යන එකක්නේ. ඔය ඔබ කියන මුල් අරගලය ආරම්භ කළේ පළල් ජන සමාජය. ගෝල්ෆේස් පිටියට මුලින්ම ආවේ ඉන්ටර්නැෂනල් ස්කූල්වලට ගිය දරුවන්. පස්සේ ඒක වෙන කට්ටියක් හයිජැක් කළා. ඒ අයට පිටින් සල්ලි ආවේ. දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානියා කියනවානේ ‘අපි සල්ලි එව්වා අරගලයට. අපි ළඟ ඔප්පු කරන්න රිසිට් තියෙනවා’ කියලා. අරගලයෙ හිටපු දමිතා හරි කවුරුහරි ඒ ප්‍රකාශයට චැලේන්ජ් කළාද? නෑනේ. එහෙම කළොත් දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානියා රිසිට් ටික දාපු ගමන් ඔක්කොම ඉවරයිනේ. ඇත්තටම පොලිසිය මේ වෙලාවේ කරන්න ඕනැ ජනාධිපති මන්දිරයෙ ස්විමිං පූල් එකේ නාපු අය අල්ලන එක නොවෙයි. මේ අයට සල්ලි ආවේ කාගෙන්ද කියලා රටට අනාවරණය කරන එකයි. දැනුණ පීඩනය නිසා ආණ්ඩුව කෙරෙහි ඇතිවුණ කෝපය නිසා සද්භාවයෙන් ආපු ජනයාගේ හැඟීම හයිජැක් කළ ඒ අය තමන්ගේ සාක්කු පුරවාගන්නත්, මේ රට හයිටියක් බවට පත් කරන්නත්, එතැනට තමයි ඒගොල්ලෝ ගෙනියන්න බැලුවේ. එතැනට ඇද වැටෙන්න කලින් කොහොම හරි මේ රට ආරක්ෂා වුණා. එහෙම වුණේ මේ රට බුදුන්ට පූජා කරපු රට නිසා වෙන්නැති. නමුත් සැලසුම තිබුණේ එහෙම අරගලයට ආපු සාමාන්‍ය මිනිසාට ඒ ඕනෑකම තිබුණේ නෑ. රට සුරපුරයක් කරගන්නයි ඒ මිනිහට ඕනැ වුණේ.
?මැතිවරණයක් පේනතෙක් මානයකවත් නෑ. ඔබ සන්ධාන හදනවා. ඇයි මේ හදිසිය?
නෑ හදිසියක් නෑ. අපි කාටත් කලින් ඒ අභියෝගය බාරගන්නවා. අපි මෙච්චර කාලයක් නායකයන් ගැන විශ්වාසය කියලා ඒ නායකයන්ගෙන් මේ රට ගොඩගන්න පුළුවන් කියලා හිතුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි දක්වපු දායකත්වය ගැන අපි සතුටු වෙනවා. ඒ ගැන පැකිලීමක් තැවීමක් නෑ. එමගින් රටට සාමය උදාවුණා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ගෙනාව එකෙන් අපි බලාපොරොත්තු වුණ දේ වුණේ නෑ. එක පැත්තකින් එයා පවුලේ හිරකාරයෙක් වුණා. අනික් පැත්තෙන් මානසික බැරියර් එකක් තිබ්බා. එයාට විශ්‍රාම දිවිය ඇමෙරිකාවේ දරු මුණුබුරන් එක්ක ගෙවන්න ඕන නිසා ඇමෙරිකාව ප්‍රකෝප කර නොගත යුතුයි කියලා. ඔන්න ඔය හේතු දෙක නිසා තමයි ඔය ඉරණම නිර්මාණය කරගත්තේ. හොඳම උදාහරණය ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටුව වහගෙන කට්ටිය ඉන්නවා. ගෝල්ෆේස් එකේ ඉන්න කට්ටියට අත තියන්නේ නෑ ඒක හරි. මොන රටේ ද ජනාධිපති ලේකම් කාර්යාලයෙ ගේට්ටුව අවහිර කරගෙන ඉන්න අයව අයින් කරන්නේ නැත්තේ. එහෙම කරන්නේ ලෝකයේ ඉන්න නිවටම ජනාධිපතිනේ. එහෙම නොකළේ ඇයි? ඇමරිකාව උරණ වෙයි කියලා. ඒ වගේම ඔහු පී.බී. ජයසුන්දරලගේ උපදෙස්වලට වැඩ කරලා ඒ ඉරණමට ගියා. අපට ඒ මහා ජනවරමට වෙච්ච දේ ගැන අපට වේදනාවක් තියෙනවා. ඒ නිසා තවත් එසේ පුද්ගලයන් මත විශ්වාස කරලා වැඩ කරන මාවතක අපි ගමන් කළ යුතු නෑ. අපට මේ රට වටිනවා. අපට මේ රට හදන්න පුළුවන්. ජනයාගේ විශ්වාසය දිනා ගන්න ඕන. කැපවීම ඕනැ. එකම මාවතකට රට යොමු කිරීමයි මේ උත්සාහය.
?හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්වා වමේ පක්ෂත් එකතු කරගෙන අපි ආණ්ඩුවක් හදනව’ කියලා.
ඔබේ සන්ධානයෙ ශ්‍රී ලංකා එකත් ඉන්නව ද?
නෑ නෑ අපි හදන්නේ අපේ සන්ධානයක් වගේම අපේ ආණ්ඩුවක්.
?ඩලස්ලා විපක්ෂයට ගියා. ඔවුන් සමග තියෙන සම්බන්ධය?
ජනාධිපතිවරණය පාර්ලිමේන්තුවේ පැවැත්වුණාම අපි සහයෝගය දුන්නේ ඩලස් අලහප්පෙරුම මැතිතුමාටනේ. ගිය බදාදා තමයි ඔවුන් විපක්ෂයට ආවේ. මීට පෙර ඒක වුණා නම් වඩාත් සුදුසුයි කියලා මම හිතනවා. අපේ සමුළුවට ආරාධිතයන් හැටියට සහභාගි වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉදිරියේ දී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
?ඔබ ගත්ත දේශපාලන තීන්දුවලින් පසුව නොගත්තා නම් හොඳයි කියලා හිතුන එක තීන්දුවක් කියන්න?
ගෝඨාභය ගැන තබපු තක්සේරුව වැරැදියි. ගෝඨාභයට සහයෝගය දීම ගැන මම පසුතැවීමක් වෙන්නේ නෑ. ඒකට හේතුව ගෝඨා නොවේ නම් දිනන්නේ සජිත්නේ. එහෙම වුණා නම් ඒක මහා ඛේදවාචකයක්නේ. හැබැයි ඔහු ගැන තක්සේරුව අපි ඇතිකර ගත්තේ ආරක්ෂක ලේකම් හැටියට ඔහුගේ භූමිකාව දිහා බලලා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හැටියට ඔහුගේ භූමිකාව දිහා බලලයි. ඒ ගත්ත තක්සේරුව ගැන දැන් දුකක් තියෙනවා.
සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්