අධිකරණ ඇමැති
විජයදාස රාජපක්ෂ
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින කතා බහත් සමග රජයට එරෙහිව චෝදනා රාශියක් එල්ලවී ඇත. ප්‍රශ්න විසඳීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවට චෝදනා නැගේ. මේ පිළිබඳව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළෙමු.
?ළඟකදි මැතිවරණයක් එන පාටක් නැහැ වගෙයි නේද?
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අපට අවශ්‍යතාවක් නැහැ. නියමිත දිනයට මැතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය වෙමින් තිබුණෙ. මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම පිළිබඳව ගැටලුවක් ඇතිවී තිබෙනවා. ඉතිහාසයේ කවරදාකටත් නොවූ ආකාරයට රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙනවා. රට බංකොලොත් බවට පත්වීම නිසා ආර්ථිකය නැවත ගොඩගැනීමට අවශ්‍ය තීරණ ස්වාධීනව ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවටත්, මුදල් අමාත්‍යාංශයටත් අවස්ථාව ලබාදී තිබෙනවා. මහ බැංකුව කිසිම දේශපාලන බලපෑමක් නොමැතිව ස්වාධීන තීන්දු තීරණ ගත් නිසා මේ වනවිට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 2ක් දක්වා ගොඩනගා ගැනීමට හැකියාව ලැබුණා. අපිට එක ඩොලරයක්වත් තිබුණේ නැහැ. පසුගිය මාස හත - අටේ රජයේ වියදම් අඩු කරල ආනයන අඩු කරල අරපරිස්සමින් වියදම් කරපු නිසා මේ තත්ත්වයට ආවා. භාණ්ඩාගාරයට ඉලක්ක දීල තිබුණා. භාණ්ඩාගාරයෙන් ණය ගෙවන්නෙ නැහැ කියල කිව්වට, ද්විපාර්ශ්වික ණය විතරයි ගෙව්වෙ නැත්තෙ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන සමග ගත්ත ණය සඳහා පොලී ගෙවීම් දිගටම කරනු ලබනවා. ගිය වසරෙත් ගෙව්වා.
මේ වසරේ රුපියල් බිලියන 3400ක පමණ ආදායමක් බලාපොරොත්තු වෙනවා. වියදම රුපියල් බිලියන 5800ක් වනු ඇතැයි අපේක්ෂා කරනවා. ලොකු පරතරයක් තිබෙනවා. මේ වසරෙත් රුපියල් බිලියන 1500ක පමණ ණය පොලියක් ගෙවන්නත් තියෙනවා. රටට ලැබෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ණය පොලිය ගෙවීමටයි. ආර්ථිකය කළමනාකරණයේදී වැටුප් හා සහනාධාර, සෞඛ්‍ය යන අංශ සඳහා ප්‍රමාණවත් මුදල් භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වය නිසා වෙනත් දේවල්වල මුදල් යෙදවීමට මහාභාණ්ඩාගාරයට පුළුවන්කමක් නැහැ. අනිත් පැත්තෙන් අත්‍යවශ්‍ය සේවා හා වැටුප් ගෙවීම් සඳහා මුදල් යෙදවීම මූලික කටයුත්තක්. නමුත් හැකිතාක් ඉක්මනින් මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීමේ අවශ්‍යතාව අප පෙන්වාදී තිබෙනවා. පොදුවේ රජයක් විදියට මේ මුදල් ලබාදීමට හැකි ප්‍රථම අවස්ථාවේදී දෙන්න කියල ඉල්ලල තියෙනවා.
?ඔබ කිව්වෙ මුදල් අමාත්‍යාංශයට හා මහ බැංකුවට ස්වාධීන තීරණ ගන්න ඉඩ දීල තියෙනවා කියලයි. මුදල් ඇමති කියන්නෙ රටේ ජනාධිපති, පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ඔහුගෙ ස්වාධීන තීරණයද?
ජනාධිපති මුදල් ඇමති වුණාට මුදල් කළමනාකරණයේ ක්‍රමයක් තියෙනවා. භාණ්ඩාගාරයෙ උපදෙස් මත කටයුතු කිරීමට ඔහුට සිදුවී තිබෙනවා. කාලයක් තනි තීරණ ගත් නිසා රට විනාශ වුණා. ඒ නිසා තනි තීන්දු ගන්න අපි ටිකක් බයයි. තීන්දු - තීරණ ගතයුතු අයට ඒ සඳහා අවශ්‍ය තීරණ ගන්න ඉඩ දීල තියෙනවා. රෑ වැටුණ වළේ දවල් වැටෙන්න බැහැ. අපි දේශපාලන ඇඟිලි ගැසීම් කරන්නෙ නැහැ. අනික අපි මුදල් අච්චු ගහන්නෙත් නැහැ. මුදල් අච්චු ගැහුව නම් ඔය වැඩේ කරන්නත් තිබුණා. නමුත් මුදල් අච්චු ගැසීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් ප්‍රශ්නයකුත් තියෙනවා. මුදල් අච්චු ගැහුවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය නොලැබෙන්න ඉඩ තියෙනවා.
?පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු ගණනාවක් විභාග වෙමින් පවතිනවා. ඡන්දය කල් දාන්නෙ මේ නඩු ගොන්නක් විභාග වෙමින් තිබියදී.
දෙපැත්තෙන්ම අධිකරණයට ගිහිල්ල තියෙනවා. භාණ්ඩාගාරය කියල තියෙනව මුදල් නැහැ කියල. මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන්න සූදානම් කිව්වා. පසුව මුදල් ලබා නොදුන් බව අධිකරණයට කියල තියෙනවා. අධිකරණය සුදුසු නිගමනයක් දේවි කියල බලාපොරොත්තු වෙනවා. ඒ දෙන ඕනෑම නිගමනයකට කටයුතු කිරීමට අපි බැඳී සිටිනවා. අධිකරණයේ තීරණය අවසන් තීරණය. එතැනින් එහාට තවත් ඉහළ තැනක් නැහැ. ඒ නිසා අධිකරණය දෙන ඕනෑම තීන්දුවකට අපි යටත් වෙනවා.
?ඡන්දයට සල්ලි නැහැ කිව්වට රට බංකොලොක් කිව්වට, තවම රටේ වියදම් පාලනයක් පේන්න නැහැ. ඇතැම් තැන්වල කිසිම පාලනයක් නැතුව පුරුදු විදියටම කටයුතු කරන බවට පැමිණිලි තියෙනවා. විශේෂයෙන් ඛනිජ තෙල්, ගල්අඟුරු වගේ දේ සම්බන්ධයෙන් කොමිස් ගහන බවට පැමිණිලි තියෙනවා. මේවා නතර කිරීමට රජයේ පාර්ශවයෙන් පියවරක් ගෙන තිබෙනවාද?
ගල්අඟුරු, තෙල් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රටට වැඩිපුර ගෙවන්න වෙලා තියෙන්නෙ, ගත්ත ණයවල පොලිය. රටක ආර්ථික හිඟතාවයක් ඇතිවූ විට ගනුදෙනු කරන මිනිස්සු අවදානමක් ගන්න කැමති නැහැ. බොහෝ අවස්ථාවල තෙල්, ගල්අඟුරු වගේ ආනයනයේදි ණයට දෙන්න කැමති නැහැ. L.C. මගින් ගනුදෙනු කරන්නත් කැමති නැහැ. සමහර අය අපේ ටෙන්ඩර්වලට ඉල්ලුම් කරන්නෙත් නැහැ. එවැනි අවස්ථාවලදි අපෙන් වැඩිපුර අය කරනවා. අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට තෙල්, ගල්අඟුරු අත්‍යවශ්‍ය බව සියලු දෙනා දන්නවා. ලෝකෙ කොහෙත් එහෙමයි. වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා. නැව්වලට එකවර ගෙවන්න මුදල් නොදුන්නාම ප්‍රමාද ගාස්තු ගෙවන්නත් වෙනවා. බරපතළ ගැටලු රාශියක් තියෙනවා. මේකට තියෙන එකම විසඳුම විදේශ විනිමය සංචිතය වර්ධනය කර ගැනීමයි. ඩොලර් බිලියන 5ක් දක්වා වත් වර්ධනය කර ගත යුතු වෙනවා. එවිට සාමාන්‍ය ක්‍රමයට ලෝකයා එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙනවා.
?රටේ මූල්‍ය පාලනය විධිමත් නොමැති බවට පැමිණිලි ගණනාවක් අසන්න ලැබෙනවා. ඇතැම් විශ්‍රාමික නිලධාරීන්, යළි සේවයට පත් කරල තියෙනවා. බොහොමයක් ප්‍රධාන පෙළේ ආයතනවල තවමත් අතිකාල ගෙවනවා. ඇතැම් ආයතන අයාලේ යන බවට චෝදනා තියෙනවා. රටේ මූල්‍ය පාලනයක් කෝ?
වැටුප් දෙකක් ගන්න බැහැ. කාටවත් බැහැ. එහෙම දෙයක් තියෙනවා නම් අපට දැනුම් දෙන්න. පළාත් සභා තියෙන්නෙ ආණ්ඩුකාරවරුන් යටතේ. එවැනි දේ කරනවා නම් ඕනෑම කෙනෙකුට නීතිමය පියවර ගත හැකියි. අල්ලස් හා විමර්ශන කොමිසම තියෙන්නෙත් ඔය වගේ දේවල්වලට තීන්දු - තීරණ ගන්නයි.
?රජයට ජනමතයක් නැහැ කියල සමහරු කියනවා.
බලගතු නීතිය වන්නේ ඔය චෝදනා කරන අයගේ මතයද? රටේ ව්‍යවස්ථාවද? ප්‍රබල වැඩි එක මත තීන්දු - තීරණ ගැනීම අවශ්‍යයි. ඔය අදහස් ප්‍රකාශ කරන අය රටේ නීතිය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. පසුගිය කාලයේ උද්ඝෝෂණ කළේ නීතියේ ආධිපත්‍ය රකින්න කියලයි. නීතියේ ආධිපත්‍ය කියන්නෙ ව්‍යවස්ථාවට අනුව කටුයතු කිරීමයි. අපි කියන දේ කරන්න ඕනෑ කියල කියනව නම් රටේ නීතියක් කෝ. වල්බූරු නිදහසක් කතා කරන්නෙ.
?ජනාධිපතිවරයගෙ වැඩපිළිවෙළ ගැන ඔබ සෑහීමකට පත් වෙනවද?
අපි හිටියෙ එළියේ. තනතුරු අතෑරියා. රට වැටිල තියෙන තත්ත්වය මත විපක්ෂ නායකට රට බාර ගන්න කිව්වම හැරිල දිව්වා. එයා ගත්ත නම් මේ රටට මොනවා වේවිද? කවුරු බාර ගත්තත් වගකීම් ඉටු කරන්න බැරි නිසා අපි මේ ජනාධිපති එක්ක අපි කීප දෙනෙක් එකතුවී කැබිනට් මණ්ඩලයක් පත් කරල වගකීම් බාර ගත්තා. මේ කරන වැඩපිළිවෙළ වැරදි නම් ජනමතයක් නැතුව රට බාර ගත්ත කියනව නම් ඔවුන්ට රට බාර ගන්න තිබුණනේ. ජනමතය ඒ අය එක්ක තියෙනවා නම් දීපු වෙලාවෙ රට බාර අරගෙන කරන්න තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. බයේ දිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා යම් මට්ටමකට රට පත් කරන විට දැන් කියනවා ජනමතයක් නැතිලු. මේක හරිම විහිළුවක්.
?සමාජ ගතවූ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ගිය රජයේ දේශපාලනඥයන්ගෙ අතිවිශාල ධනස්කන්දයක් විදේශ බැංකුවල තියෙනවලු. මේවා රටට ලබා ගන්න රජය පියවරගෙන නැහැ. රජය රාජපක්ෂල රකිනවද?
විදේශවල මුදල් තැන්පත් කර තිබෙන බවට සාක්ෂියක් ලබා ගන්න පුළුවන් නම් එම මුදල් ලබාගත හැකියි. දැනට තියෙන නීති යටතේත් පුළුවන්. අපි ඉදිරියටත් නීති පනවනවා. මේ වනවිට අලුතෙන් අල්ලස් පනතක් කැබිනට් එකට ඉදිරිපත් කරල තියෙනවා. දූෂණ විරෝධී පනත, ඒ පනතින් දැනට පවතින අල්ලස් කොමිෂම වෙනුවට අලුත් බලතල සහිත අල්ලස් කොමිසමක් පත් කරනවා. වත්කම් හා බැරකම් පනත අහෝසි කර ඒක නිරන්තරයෙන් අධීක්ෂණයට යටත් වන ආකාරයට වාර්ෂිකව වත්කම් - බැරකම් ප්‍රකාශ කිරීම හා දූෂණයට එරෙහිව පැමිණිලි කරන අයගේ ආරක්ෂාව සහතික කිරීම යන කරුණු අවබෝධ වන ආකාරයටත්, එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ මූල ධර්මවලට ගැලපෙන ආකාරයට එය හදල තියෙනවා.
එවිට අලුත් අල්ලස් කොමිෂන් සභාවක් පිහිටුවනවා. ඊට අමතරව සොරකම් වංචා කරපු දේපළ තියෙනවා නම් එක්සත් ජාතීන්ගේ තවත් ප්‍රඥප්තියකට අනුව ඒ පනතත් ගේනවා. සොරකම් කරල වංචා කරල දේපළ තියෙනවා නම් ඒකට හරි තොරතුරු අවශ්‍යයි. එහෙම තොරතුරු ලැබෙනවා නම් අපි එයට පියවර ගන්නවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් මෙවැනි විදේශවල තියෙන මුදල් පිළිබඳ තොරතුරු ගෙන ඒමට ඩුබායිවලට පිරිසක් යැව්වා.
හිටපු දේශපාලනඥයන්ගෙ වත්කම් විදේශ බැංකුවල ඇති කියල අපිත් දන්නවා. යම් මට්ටමකට ඒ තොරතුරු කතා වෙනවා. නමුත් එවැන්නකින් පමණක් පියවර ගන්න බැහැ. ජාත්‍යන්තර කිසිම බැංකුවක් අපිට තොරතුරු දෙන්නෙ නැහැ. ඇතැම් නිලධාරීන් හා දේශපාලනඥයන් වංචා කළ මුදල් විදේශ බැංකුවල තැන්පත් කරල කියල අපිටත් තේරෙනවා. එවැනි තොරතුරක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පියවර ගන්නවා ප්‍රශ්නය තියෙන්නෙ තොරතුරු නැතිවීමයි. පිටරට බැංකුවලින් අපිට තොරතුරු දෙන්නෙ නැහැ. ලෝකයේ මුදල් වංචා කරන මිනිස්සු ඩුබායි වගේ රටවල ඒ මුදල් තැන්පත් කරනවා. ඒක ප්‍රසිද්ධ රහසක්. පිටරට බැංකුවලින් අපිට තොරතුරු දෙන්නෙ නැහැ. අපිට විතරක් නෙමෙයි. කවුරු බලයෙ හිටියත් ගන්න බැහැ.
?දූෂණ විරෝධී පනත සම්මත වුණත් පියවරක් ගන්න බැරිවේවි.
ඒ හරහා බලතල රාශියක් කොමිසමට ලැබෙනවා. කුමන නීතියක් ගෙනාවත් තොරතුරු සොයා ගැනීම කළ යුතු වෙනවා කියනව විතරයි. තොරතුරක් දෙන්නෙ නැහැ. 2015 රජය කාලෙ මම බ්‍රිතාන්‍ය ඒජන්සියකට ගියා. ඔවුන් බරපතළ වංචා විමර්ෂණ ආයතනයක්. ඔවුන් තොරතුරු හොයල දෙන්නෙ කොමිස් මුදල්වලට. තොරතුරු දුන්නම අපි සියයට 10ක කොමිස් මුදලක් දෙන්න ඕනැ. ඒ අය ලංකාවටත් ආවා. ඒ වැඩපිළිවෙළ දිගට ගෙනියන්න ලැබුණේ නැහැ.
?රට ඉදිරියට යනව කිව්ව. ජනතාවට නම් තවම සහන නැහැ. බඩු මිල බොහොම ඉහළයි.
ජනතාවට වැඩිපුර දුක් විඳින්න සිදු වූයේ, රජයට පාඩු ලබන ආයතනත් නඩත්තු කිරීමට සිදුවීම නිසයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිපුර වෙළෙඳ පොළට ඉන්ධන ලබා දෙනවා. ඉන්දියානු තෙල් සමාගම අපිට වඩා අඩු ප්‍රමාණයක තෙල් බෙදා හැරියත්, බිලියන 10ක විතර ආදායමක් ලබනවා. රජයේ තෙල් සංස්ථාව පාඩු ලබනවා. විදුලිබල මණ්ඩලය වංචා දූෂණ තියෙන තැනක්. ඇතැම් නිලධාරි මට්ටමින් විශේෂයි. මේ වගේ ආයතනවල බරත් ජනතාව පිට. අපි බාර ගන්නා විට උද්ධමනය සියයට 94 යි. දැන් ඒක සියයට 54 කට අඩුවෙලා. ඉදිරි මාස හත - අට වන විට ඒ තත්ත්වය සියයට 10 ක 15 මට්ටමට ගෙනාවොත් පොදු ජනතාවට තිබෙන බර ක්‍රමානුකූලව අඩු කළ හැකි වේවි.
බදු ගෙවීමත් ජනතාවට අසීරු දෙයක්. දියුණුවන රටකට නිවැරදි බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒ බදු ප්‍රතිපත්තියට අපිත් අයිතියි. මුල් වසරක, දෙකක කාලය අමාරුයි. ඒත් ඒ පිම්ම පැන්නට පස්සෙ රට සංවර්ධනයට ගෙන යන ප්‍රතිපත්ති අපි ළඟ තියෙනවා. දියුණු රටවලත් බදු ප්‍රතිපත්ති බොහොම ක්‍රමානුකූලව පවත්වාගෙන යනවා. ඒ රටවල් සංවර්ධනයට යොදා ගන්න මුදල් අතර බදුවලින් ලබන ආදායම ප්‍රධානයි.
?පළාත් පාලන මැතිවරණය කවදා තියාවිද?
ජනාධිපතිවරයට 2024 නොවැම්බර් වනතුරු ඉන්න පුළුවන්. ඒ නිසා ඊට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නෙ නැහැ. පළාත් පාලන මැතිවරණය සඳහා හැකි ප්‍රථම අවස්ථාවෙදි, මුදල් ලබාදීල කඩිනමින් පවත්වන්න කියල අමාත්‍ය මණ්ඩලය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. තවත් කරුණක් මේ ඡන්දය පැවැත්වෙන ආකාරය සංශෝධනය විය යුතු වෙනවා. පළාත් පාලන ආයතන මන්ත්‍රී සංඛ්‍යාව 4000 කට 5000කට අඩු විය යුතුයි. මැතිවරණ තුන තියන්නෙ තුන් විදියකට. ඒක නිවැරදි වෙන්න ඕනෑ. මේ වනවිට ජනාධිපතිවරයා විසින් සීමා නිර්ණය කමිටුවක් පත් කර තිබෙනවා. එහි කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් වෙමින් පවතිනවා. නිවැරදි ක්‍රමයකට ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටද යෝජනාකර තිබෙනවා.
සටහන
දයාසීලි ලියනගේ