(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර, කුරුණෑගල අධිකරණ රවීන්ද්‍ර නෙත්තසිංහ)
රටක් දියුණු කිරීමට නම් විද්වතුන්, බුද්ධිමතුන් හා ව්‍යවසායකයන් මෙන්ම සම්පත් දායකයන් එක්ව නිවැරැදි තීන්දු තීරණ ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (28) පැවැසීය.
එහෙත් මේ රජය දක්ෂයන් බිය වැද්දීම හා දක්ෂයින් නෙරපා හැරීම ආදි ක්‍රියා නිසා රාජ්‍ය පරිපාලනය කඩා වැටී රට එකතැන නතරවූ බවද ඔහු කීය.
කුලියාපිටිය, සිරිමාලි ද නිකේතනයේදී පෙරේදා පැවැති වියත් මඟ කතිකාවට එක්වෙමින් හෙතෙම මේ බව කීය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද කීය.
කාර්මික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, දෙස් විදෙස් ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජනයන් සඳහා සුදුසු පරිසරයක් සැකසීම අපට රජයක් විදිහට කළ හැකියි.
ලෝක ආර්ථික හැකියාව, බලය, යුධ ශක්තිය, ආදිය අද වනවිට ආසියා ප්‍රදේශයට ගලා එමින් තිබෙනවා. ආර්ථික දියුණුව ආදිය පාවිච්චි කරන්නට අපි සූදානම් නොවෙනවා නම් අපි හදන්නේ අපිට නිතැතින්ම ලැබෙන අවස්ථාව අහිමි කරගන්න එක. ඉදිරියේදී වත් එම අවස්ථා ගිලිහී යන්නට නොදී ජනතාවගේ ආර්ථිකය, ජීවන තත්වය වැනි දේ දියුණු කරන්නට නම් මෙවැනි විද්වත් කථිකා අවශ්‍යම වෙනවා.
රජයක් විසින් දියුණු කළයුතු කාර්මික ප්‍රතිපත්ති, මේ රජය විසින් ක්‍රියාත්මක කළේ නැහැ. පසුගිය වකවානුවේ රාජ්‍ය පරිපාලනය කඩා වැටුණා. දක්‍ෂයින් බියවැද්දුවා ඇතැම් දක්‍ෂයින් නෙරපා හැරියා. ඔවුන් ගන්නා තීන්දු තීරණ සීමා කළා. විදෙස් ප්‍රතිපත්ති පිළිබඳව තැකීමක් නෑ. බල අරගලයක් ඇති වුණොත් රටක් ඉදිරියට යන්නේ නැහැ. අද අපි ඉන්නෙත් අන්න එවන් තැනක.
අන්න ඒ නිසයි අපේ විද්වතුන් බුද්ධිමතුන් ව්‍යවසායකයින් මෙන්ම සම්පත් දායකයින් එක්ව සාකච්ඡා කරලා නිවැරදිම තීන්දු ගත යුත්තේ. රට දියුණු කළ හැක්කේ සහ ජීවන තත්ත්වය ඉහළ දැමිය හැක්කේ ඒ විදියට පමණයි.
හිටපු යුද හමුදා 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවැසීය.
වසර 2500ක ඉතිහාසයේ අපේ රට අඳුරු යුග කිහිපයක් පසු කළා. ඉන් බරපතළම අඳුරු යුගය වෙන්නෙ 1983 ජූලි 23 සිට 2009 මැයි 19 දක්වා කාල වකවානුවයි. පෘතුගීසීන් ලන්දේසීන් සමයේදී පූර්ණ වශයෙන් රට යටත්කර ගැනීමට සමත් වුණේ නැහැ. එදා මහා පාවාදීම් කළේ අපේම මිනිසුන් කිහිපදෙනෙක්. ඒත් රටම වසාගත් රුදුරු කොටි ත්‍රස්තවාදය නම්වූ අඳුරුතම යුගය ජාත්‍යන්තර බලවේගයන්ට කිසිසේත් යටත් නොවී වසර දෙක හමාරක් වැනි කෙටි කලකින් නිමාකරපු නායකයා එක රැයින් ගෙදර යැවීමේ මහා පාවාදීම සිදුකළේ 20ක් 30ක් නෙවෙයි ලක්‍ෂ 62ක් ජනතාව එකතුවෙලා.
අද වෙනකොට යුධ හමුදාවට අත්වෙලා තියන ඉරනම හරිම ඛේදනීයයි. මම වසර 35ක් සක්‍රීයව යුධ හමුදාවේ හිටියා විතරක් නෙවෙයි මගේ තරුණ දිවියම කැපකරලා යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම හිටියා. අවසන් අවස්ථාවෙ නන්දිකඩාල් කලපුවට 23 වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා හැටියම ප්‍රභාකරන්ගේ අවසන් අවස්ථාවට මම දායක වුණා මහත් අභිමානයෙන්.
අද වෙනකොට ඒ රුදුරු කොටි ත්‍රස්තයින් මෙල්ල කරපු 53 වැනි සේනාංකය එවනවා නාරම්මල පැත්තේ රිළවු පන්නන්න. පුදුම වේදනාවක් එවැනි සිද්ධින්. අපි අද මේ සේරම කරන්නේ ත්‍රිවිධ හමුදා සිදුකළ අමිල සේවය නිසා. ඒ අය මියැදෙන තුරාවට ස්මරණය කරන්න. අද වෙන්නේ යුධ අපරාධ කළා කියලා හිරේ දාන එක. අද වෙනකොට මහා පිරිසක් ඉන්නවා සිපිරි ගෙවල් ඇතුළේ. ඒ හැමෝම රටට සේවය කරන්න ගිහිල්ලා.
අන්තර් ජාතික ප්‍රජාවගේ බලපෑම හා දෙමළ ඩයස් පෝරාවේ බලපෑමට තමයි ව්‍යවස්ථානුකූලව බලය දෙන්නත් රටේ හමුදාවට දඬුවම් කරන්නත් තීරණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසයි අපි මේ ව්‍යවස්ථාව ගෙන එනවාට විරුද්ධ. අද වෙනකොට ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලා වැඩියෙන් කියන අය අතරට ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. කලබල අස්සේ අතුරුදහන් වූවන් සම්බන්ධ පනතත් සම්මත කරගෙන.
මේ අය දිගන සිද්ධිය දැම්මේ අන්න ඒවා සම්මත කරන්න තමයි. දැක්කනේ මම අණ දීපු 53 සේනාකයේ යුධ ටැංකි පවා ගෙනිහින් මහා භයානක පරිසරයක් මවා පාලා යුද්ධය කරන කාලෙවත් නැති හදිසි නීතිය පවා දාලා තමයි ඒ පනත් සම්මත කරලා තියෙන්නේ. බලහත්කාරයෙන්. අතුරුදන් පනත නම් අපේ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ගිහින් ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා තාවකාලිකව මැඩ පැවැත්වුවා.
මා එක්ක එකට ඉගන ගත්ත වත්මන් යුධ හමුදාපතිවරයා හමුදා කඳවුරකින් වතුර උගුරක්වත් දෙන්න එපා කියලා නියෝග නිකුත් කරලා. ඒකට කමක් නැහැ.
මෙහිදී ආචාර්ය නාලක ගොඩහේවා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, අද්මිරාල් මොහාන් විජේවික්‍රම යන මහත්වරුද සභාව ඇමතීය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය නීතිඥ, වෛද්‍ය, ගුරු, ක්‍ෂේත්‍ර ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කළ විශාල පිරිසක් සහභාගීවූහ.