මහින්ද සුළඟින් පිබිදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිරය පිටුපස සිට ක්‍රියාත්මක වන හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමග මේ සාකච්ඡාව ඔවුන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග සම්බන්ධයෙනි.
ප්‍රශ්නය - ජනවාරියේ පැවැත්ෙවන බව කියන පුංචි ඡන්දෙට සූදානම්ද?
පිළිතුර - තියනවා කියන ඡන්දය තිබ්බොත් ඕනෑම වෙලාවක අපි සූදානම්.
ප්‍රශ්නය - ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම ස්ථීරයි?
පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීම හෝ රැකගැනීම අනිවාර්‌්‍යයෙන්ම පක්ෂයේ සභාපති ඇතුළු නායකයන්ගේ වගකීමක්. අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යෙන්ම තරග කරනවා. අපි තරග කරන්නේ ඡන්ද බෙදන්නවත් කඩන්නවත් නොවෙයි අනිවාර්යයෙන්ම දිනන්නයි.
ප්‍රශ්නය - මේ යන විදියට එහෙම ඡන්ද දිනන්න පුළුවන් කියලා හිතනවද?
පිළිතුර - ඔව්! මේ යන විදියට අපි හිතුවටත් වැඩිය එන්න එන්නම ඒ විශ්වාසය වැඩි වෙනවා. මේ මැතිවරණය රජයට තියෙන සෑම චෝදනාවකටම ජනතාවට උත්තර දෙන්න ලැබෙන පළමු අවස්ථාව. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජීවන වියදම, සංවර්ධනය ඇණ හිටීම, යහ පාලනය බිඳ වැටීම, දූෂණ වංචා, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය කාලයක් අහිමිකර තිබීම වැනි චෝදනා රාශියකට උත්තර දෙන්න ජනතාව අවස්ථාවක් හොයමින් ඉන්නේ. මේක ඒකට හොඳ අවස්ථාවක් වේවි.
ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය ‘මහින්ද සමග නැගිටිමු’ ව්‍යාපෘතිය හරහා ආණ්ඩු විරෝධය මතු කරනවිට රට ගිහින් හිටපු ඔබ ලංකාවට ඇවිත් ඒ සටනට මැදිහත් වුණා. ඒ වෙලාවේ ඔබට චෝදනාවක් ආවා ඔබ ඩීල් එකක් කරනවා කියලා. ඔබට පුළුවන් වුණාද එහෙම නොවෙයි කියලා පෙන්නන්න?
පිළිතුර - එහෙම විශේෂයෙන් ඔප්පු කරන්න දෙයක් නෑ. මොකද මම එහෙම දෙයක් නොකරපු නිසා. පක්ෂය කැඩීම ආරම්භ වුණේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වෙලා ඉඳලා දවල් 1.30ටත් පත්වීම් එක්දහස් ගාණක් දීලා නව නගර ශාලාවට ගිහිල්ලා 2.30ට මාධ්‍ය සාකච්ඡාවක් තියලා විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීම තුළයි. ඒත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂයත් දීලා තිබියදීත් මධ්‍ය බල මණ්ඩල දෙකක් කැඳවලා නැවත පක්ෂය කඩන්න හැදුවා. ඊට පස්සේ පාර්ලිමේන්තු ඡන්දය ආවා. එතැනදීත් මොනතරම් කෙනෙහිලිකම් කළත් හිරිහැර කළත් මෛත්‍රීගේම නායකත්වයෙන් ඡන්දෙට ගියා. ඒ වෙලාවේ එක පිට එක තුන් පාරක් විශේෂ ප්‍රකාශ කළා තමන්ගේම පක්ෂයට විරුද්ධව. පක්ෂයට විරුද්ධව පක්ෂයේ ප්‍රධාන ලේකම්වරු දෙන්නව එළෙව්වා. ඒවට වෙන අයව තාවකාලිකව දැම්මා, නීති විරෝධි ආකාරයට. එහෙම දේවල් කළා පක්ෂය බෙදුවේ එහෙමයි. අද පක්ෂයේ ප්‍රධාන ලේකම් කවුද? පහුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා පක්ෂය කැඩීමේ වගකීම සම්පූර්ණයෙන්ම බාරගත යුත්තේ දැනට ඉන්න පක්ෂයේ නායකයන්.
ප්‍රශ්නය - මෛත්‍රී ඇතුළු පිරිස මහින්ද රාජපක්ෂට එරෙහිව ගියේ ඔබ නිසයි?
පිළිතුර - නෑ. මාත් එක්ක ප්‍රශ්නයක් තියෙන්න කිසිම හේතුවක් නෑ. මොකද මම එයාගේ තනතුරකට තරග කළෙත් නෑ. මට එහෙම ගැටුමක් ඇති කරගන්න හේතුවක් නෑ. අදටත් මට මොනතරම් හිරිහැර බාධා කළත්..... මට කීයක් නඩු දාලා තියෙනවද, රාජපක්ෂ පවුලට මොන තරම් හිරිහැර කරනවද...... මඩ ගහනවද.... ඒත් අපේ හිත්වල කිසිම ක්‍රෝධයක් වෛරයක් නෑ. අද එහෙම නම් එදා එහෙම ඇති වෙන්න හේතුවක් නෑ නේ.
ප්‍රශ්නය - ඔබ යාපනයට ගිහින් කිව්වා ‘අපේ හමුදාව යුද අපරාධ කළා’ කියලා?
පිළිතුර - මම එහෙම කිසිම දෙයක් කිව්වේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු එදා අපේ රජය රණවිරුවන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පෙනී හිටියා. යුද අපරාධ චෝදනා සමහරු එල්ල කරන කොට රණවිරුවන්ගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් බයනැතිව පෙනී හිටියා. ඒ විතරක් නොවෙයි. රණවිරුවන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් අපි කැපවුණා. ඔය මට එරෙහිව කතා ගොතන අය ජිනීවා ගිහින් අපේ හමුදාව පාවා දුන්නා. හමුදාව විතරක් නොවෙයි මුළු රටම පාවා දුන්නා. ආබාධිත රණවිරුවන්ගේ ඇස් ගැලවිලා යන්න පහර දුන්නා. ඔවුන්ගේ දීමනා අහිමි කරලා බොරු චෝදනා නගලා රණවිරුවන් හිරේ දාන අය තමයි අද ඔහොම කතා කරන්නේ.
ප්‍රශ්නය - ඔබ එහෙම ප්‍රකාශයක් නොකළා නම් කොහොමද ඔබට එහෙම චෝදනා කරන්නේ?
පිළිතුර - මම එහෙම දෙයක් කිව්වේ නෑ. පැහැදිලිවම කිව්වේ නෑ.
ප්‍රශ්නය - ඔබ එහෙම නම් කොහොමද කිව්වේ?
පිළිතුර - මෙහෙමයි. අපරාධ කියන ඒවා එදත් වුණා. අදත් වෙන්න පුළුවන්. හෙටත් වෙන්න පුළුවන්. අපරාධ කියන එකයි යුද අපරාධ කියන එකයි වෙනස්. මම කිව්වේ ඇතැම් පුද්ගලයන් යම් යම් වැරදි කරන්න ඇති කියලයි.
ප්‍රශ්නය - ඒ කියන්නේ හමුදාවේ ඇතැම් අය?
පිළිතුර - සත්තකින්ම නැහැ. මම හමුදාව කියන වචනය පාවිච්චි කළේම නැහැ. අපරාධ කියන ඒවා වෙන්න පුළුවන්. දැන් අර විද්‍යා සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් එල්ලුම් ගස් ගිය අය අතර ස්විස් රටේ ඉන්න කෙනෙක් ඉන්නවනේ. ‘ස්විස් කුමාර’ කියලා. ඔහු ඒ අපරාධයට සම්බන්ධයි කියලා මුළු දෙමළ ඩයස්පෝරාවම ඒකට සම්බන්ධයි කියලා කියන්න බෑ. ඒවගේ දේවල් වෙනවා.
ප්‍රශ්නය - දකුණට මොනවා කිව්වත් උතුරට ගිහින් තව එකක් කියන එක දේශපාලන විලාසිතාවක් වෙලා.
පිළිතුර - නෑ. මම දකුණට කිව්වෙත් ඒ කතාවමයි. මම මේ ළඟදී ගාල්ලේ යක්කලමුල්ලට ගිහින් ඔය කතාවම ඔය විදියටම කිව්වා.
ප්‍රශ්නය - හමුදා කඳවුරු ඉවත් කරලා ඒ ඉඩම් ජනතාවට දෙන්න ඕනෑ කියලා ඔබ යාපනයේදී කිව්වා?
පිළිතුර - ඔව්. ජනතාවගේ පෞද්ගලික ඉඩම් මොනම ආකාරයකින්වත් මෙහෙම තියාගෙන ඉන්න කිසිම අයිතියක් නෑ. මොකද මහින්ද රාජපක්ෂ රජයේදී මහා මානුෂික මෙහෙයුමක් කරපු රජයක්. කිසිම ඉඩමක් අපි ගත්තේ නෑ. අපි ආරක්ෂක කලාපය තුළ තිබුණේ ඊට කලින් තිබුණ ආණ්‍ඩු පවරා ගත්ත ඉඩම්. එහෙම නැතිව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක බිම් අඟලක් අලුතෙන් ගත්තේ නෑ. ඒ විතරක් නොවෙයි. එහෙම පවරාගෙන තිබුණ ඉඩම්වලින් සියයට 80ක් අපි නැවත ජනතාවට බාර දුන්නා. ඉතිරි සියයට 20ක් බිම් බෝම්බ ඉවත් කරමින් හිටියේ. දැන් මේ ආණ්ඩුව ඉතිරි සියයට 20 ගැන කතා කරලා බලයට ඇවිත් නොදී ඉන්න එකයි වැරැද්ද. ඒවා වහාම දෙන්න ඕනෑ.
ප්‍රශ්නය - නමුත් එහෙම ඉඩම් දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා කියන්නේ ඒකාබද්ධ විපක්ෂයමයි?
පිළිතුර - ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ඉඩම් දිය යුතුයි. එදා රජයෙත් මම මේ මතය කිව්වා. විශේෂයෙන්ම මං උතුරේ සංවර්ධන කටයුතු කරපු කෙනෙක් හැටියට මම බොහොම පැහැදිලිව හිටපු මතයක් තමයි ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් තියාගන්න එපා. ඒවා ඔවුන්ට දිය යුතුයි කියන එක. දැන් එතැන තියෙනවා ලංකාවේ පළමුවෙන්ම මිදි වවපු වත්ත. ඒක තාම දීලා නෑ. පල්ලි 11ක් තියෙනවා කියලා මම ගිය වෙලාවේ බිෂොප්තුමා කිව්වා. තව කෝවිල් තියෙනවා අහිංසක මිනිසුන්ගේ ගෙවල් දොරවල් තියෙනවා. ඉතින් ඒවා ඔවුන්ට නොදෙන්නේ මොකද? ඒකට කිසිම හේතුවක් නෑ. දැන් හමුදා මූලස්ථානය හදනවා පැලවත්තේ. ඊට අල්ලපු තාප්පයේ ඉන්නේ අපි. එහෙම නම් අපිවත් ඉවත් කරන්න එපැයි. එහෙම ඉවත් කළානම් කොහොමද ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුදා මූලස්ථානය තිබුණ ඉඩම අද නියම ආකාරයට පාවිච්චි කරන්න ඉඩ දිලා තියෙනවා. ආරක්ෂාවට හානියක් නොවන දේවල් කළ යුතුයි. ආරක්ෂාවට ඕනෑ තරම් ක්‍රමවේද තියෙනවා.
ප්‍රශ්නය - නමුත් උතුරේ ආරක්ෂාව සම්බන්ධ කාරණාව සංකීර්ණයි?
පිළිතුර - ඔව්. නමුත් ඔය ඉඩම් නොදී ඉන්නේ ඒකට නොවෙයි.
ප්‍රශ්නය - එහෙනම් මොකටද?
පිළිතුර - මම දන්නෙත් නෑ ඒ මොකටද කියලා. නමුත් මම හිතනවා එහෙම ඉඩම් නොදීම හරහා ඔවුන් උත්සාහ කරනවා මහජනතාවට පෙන්වන්න මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයේදී අපට සලකන්නේ නියම රටවැසියන් හැටියට නොවෙයි. ඒ නිසා අපට ඉඩම් බලතල අපට අවශ්‍යයි කියන කාරණය තහවුරු කරන්න. ඔය ඉඩම් දුන්නොත් ඒ මතය තහවුරු කරගන්න බැරි වෙනවා.
ප්‍රශ්නය - ඔබ ඔය කියන ඔවුන් කවුද?
පිළිතුර - උතුරේ ඉන්න දෙමළ දේශපාලන පක්ෂ නායකයන් හා ඒවාට උල්පන්දම් දෙන සමහර රටවල්. මධ්‍යම ආණ්ඩුවෙන් තමයි මේ ඉඩම් දෙන්නේ නැත්තේ. ඉඩම් බලතල අපිට ඕනෑ. ඒ ඉඩම් බලතල තිබ්බොත් තමයි මේ ඉඩම් ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වෙන්නේ කියන මතය තමයි මේ හදමින් ඉන්නේ.
ප්‍රශ්නය - එදා ආණ්ඩුව තියෙන කාලේ ඔබේ ඔය මතයට විරුද්ධව හිටියේ කවුද?
පිළිතුර - ආණ්‍ඩුවේ හිටියේ නෑ. ඇමැතිවරු මන්ත්‍රීවරු විරුද්ධ වුණේ නෑ. ඒක පැහැදිලිවම කියන්න ඕනෑ.
ප්‍රශ්නය - එහෙම නම් විරුද්ධ වුණේ ඔබේ මල්ලී ගෝ්‍ඨාභය රාජපක්ෂ?
පිළිතුර - විරුද්ධ වුණා නොවෙයි. අපට ප්‍රායෝගික ප්‍රශ්න තිබුණා. බිම් බෝම්බ ඉවත් කරලා තිබුණේ නැහැ. ඉතාම කෙටි කාලයකදී සියයට 80ක් නිදහස් කළා. එතකොට අපේ ආරක්ෂක වළල්ල පස්සට ගෙනියන්න ඕනෑ. ඒවාට අලුතෙන් ඉදිකිරීම් කටයුතු කරන්න ඕන. ඒවා ක්‍රමානුකූලව කරන්න ඕනෑ. ඒ ප්‍රයෝගික ප්‍රශ්න තමයි තිබුණේ. දකුණේ තමයි රජයට අයත් ඉඩම් නැත්තේ. ඒත් උතුරේ රජයට අයත් ඉඩම් ඕනෑ තරම් තියෙනවා. ඇයි ඒ ඉඩම් කඳවුරු හදන්න ගන්න බැරි. චීනයට දෙන්න පුළුවන් නම් අක්කර 15000ක් ඉන්දියාවේ සමාගම්වලට තව දෙන්න පුළුවන් නම් ඇයි මේ රටේ පුරවැසියන්ට පර්චස් 10ක් දෙන්න බැරි.
ප්‍රශ්නය - ෂැංග්‍රිලා හෝටල් ජාලයට සින්නක්කරවම ඉඩම් ලියලා දුන්නේ ඔබේ ආණ්ඩුව?
පිළිතුර - මෙහෙමයි. එහෙම දීලා තියෙන්නේ පර්චස් ගාණක්. ඒ වගේ වාණිජ ඉඩම් ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. නිදහස් වෙළඳ කලාපයේ තියෙන ඉඩම් ඇමරිකන් හඬ කඳවුරට දීලා තියෙන්නේ. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ගත්තත් ඒකත් පිටරට ආයෝජනයක්. එහෙම ලොකු ආයෝජන ගන්න ඕනෑ නම් එහෙම ඉඩම් දෙන්න ඕනෑ. හෝටලයක් හදන්න අපේ රටේ ඉඩම් දෙන්නේ නැත්නම් කොහෙන්ද ඉඩම් දෙන්නේ. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පුද්ගල පවුල, ගම ගොඩනගන ගමන් ආර්ථිකය ගොඩ නඟලා ඊළඟ පාර ඉල්ලුවේ ඊට වඩා ලොකු පියවරකට යන්න. අපි දුප්පත් රටක් විදියට ඉඳලා මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා. ඊළඟ සැලැස්ම හැටියට අපි නාවික, ගුවන්, වාණිජ හා දැනුම කේන්ද්‍රිය ආර්ථිකයකට යන්න. ඇයි නැවත නාවික කේන්ද්‍රයකට යන්න කතා කළේ. අපේ රට පිහිටලා තියෙන්නේ ඉතාම ඉහළ තැනක. ඒක උඩ අපි හම්බන්තොට වරාය හැදුවා. දකුණු කොළඹ වරාය දියුණු කළා.
ඕලුවිල් වරාය හදුවා. කන්කසන්තුරය වරාය නවීකරණය කළා. ත්‍රිකුණාමලය වරායත් එහෙමයි. මේ රට නාවික කේන්ද්‍රයක් කිරීමේ වැඩ පිළිවෙළක් අපට තිබුණා. ගුවන් කේන්ද්‍රයත් එහෙමයි. මොකද ඩුබායි වලින් ගමනාන්තයට එන අය බොහොම අඩුයි. නමුත් ට්‍රාන්ස්සිට් වන අය ඉතා විශාලයි. ගිය අවුරුද්දේ මිලියන හැට අටදහසක් විතර ඇවිල්ලා තියෙනවා. එතකොට මේ එක්කෙනෙක් කෝපි කෝප්පයක් බිව්වොත්, චොක්ලට් එකක් කෑවොත් රටට ඩොලර් කීයක් එනවද. ඒ විදියට අපි හොඳ තැනක ඉන්නවා. එක පැත්තකින් පැසිපික් රටවල් තියෙනවා. ආසියාව තව පැත්තක තියෙනවා. මැද පෙරදිග හා යුරෝපය තියෙනවා. මේ අතරමැද තියෙන රටක් විදියට අපි ගුවන් තොටුපළක් මත්තල හදලා කටුනායකත් ඒ විදියටම දියුණූ කරලා අපි ගුවන් කේන්ද්‍රයක් හදන්න හැදුවා. දැන් ඒ දෙකම මේ සම්පත් විකිණීම තුළින් ආයෙමත් අපේ ආණ්‍ඩුවකට වත් ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න බෑ. ඊළඟට තමයි දැනුම කේන්ද්‍රිය ආර්ථිකයක්. අපට ඉතාම උගත් තරුණ සම්පතක් ඉන්නවා. ඒ නිසා අපි තාක්ෂණ විෂය දහරාව හඳුන්වලා දීලා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම තුන බැගින් තාක්ෂණ විද්‍යාගාර හදලා ඒකටම තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කරලා මේ දැනුම කේන්ද්‍රිය ආර්ථිකයකට අපි යන්න හැදුවේ. ඒත් දැන් බලන්න සයිටම් ප්‍රශ්නය නිසා වෛද්‍ය විද්‍යාල, වෛද්‍ය පීඨ මාස 9ක් තිස්සේ වහලා දාලා. මේවට විසඳුම් දෙන්න ඕනෑ.
ප්‍රශ්නය - ඔය ඔබ කියපු සයිටම් ප්‍රශ්නය ඇති කළේ ඔබේ ආණ්‍ඩුවයි?
පිළිතුර - නෑ. අපි එහෙම ප්‍රශ්නයක් ඇති කළේ නෑ. ඒ කාලේ එහෙම ප්‍රශ්නයක් තිබුණේම නෑනේ.
ප්‍රශ්නය - නමුත් සයිටම් ගේන්නේ ඔබේ ආණ්ඩුව කාලේ.
පිළිතුර - මෙහෙමයි. සයිටම් එක ආරම්භවීමයි ප්‍රශ්නය ආරම්භවීමයි දෙකක්නෙ.
ප්‍රශ්නය - උමාඔය ප්‍රශ්නයත් ඔබේ ආණ්ඩුවේ නිර්මාණයක්.
පිළිතුර - එහෙම කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. අපි උමාඔය පටන් ගත්තට ලීක් එක හැදුණේ මේ ආණ්ඩුව පටන්ගත් තැනින්. එහෙම කියනවා නම් අනුර කුමාර දිසානායක මැතිතුමත් වගකියන්න ඕනෑ එකට. එයා තමයි මේකට අදාළ පළමු වැනි කැබිනට් පත්‍රිකාව දැම්මේ. විදුලිබල යෝජනා ක්‍රමයක් බහුකාර්ය යෝජනා ක්‍රමයකට හැරෙව්වේ එතුමාගේ කැබිනට් පත්‍රිකාවෙන්. ඒ නිසා මේ ප්‍රශ්නයට එතුමා වගකිවයුතු නෑනේ. ඒක හොඳ යෝජනාවක්. මේ ආණ්ඩුවයි ඒකට වගකියන්න ඕනෑ. සයිටම් එකත් ඒ වගේ දෙයක්. තාත්තා කෙනෙක් පුතාට කාර් එකක් අරන් දුන්නාම පුතා බීලා එළවලා අනතුරක් කළාම ඒකට තාත්තා වගකියන්න ඕනෑ නෑනේ. සයිටම් පටන් ගනිද්දීත් යම් යම් මතවාද තිබුණා. ආණ්ඩුව එක මතයක හිටියේ නෑ. ඒකට කැමැත්තෙන් හිටපු පිරිස තමයි දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ.
ප්‍රශ්නය - සිරස විවේචනය කරන්න ගිහිල්ලා ඔබ කන පුරෝලා ගහගත්තා?
පිළිතුර - නෑ. මම කාවවත් විවේචනය කළේ නෑ. ඒ ආයතනය විවේචනය කරන්න නොවෙයි මම කතා කළේ. මම මේ ආණ්ඩුවෙත් අපේ ආණ්‍ඩුවෙත් වෙනස්කම් කිහිපයක් පෙන්නුවා. එකක් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස. යහ පාලනයේ වෙනස. සංවර්ධනයේ වෙනස, ඊළඟට රටේ ආර්ථිකයේ වෙනස. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මම කතා කළේ.
ප්‍රශ්නය - එතකොට සිරසට ගැහුවේ?
පිළිතුර - යහ පාලනය පිළිබඳ ප්‍රශ්නයේ දී මම පෙන්නපු එකක් තමයි මේ ආණ්‍ඩුවේ වංචා කිහිපයක් මම නම් කළා. ලෝක බැංකුව බැලැක් ලිස්ට් කරපු සමාගමට ලංකාවේ තියෙන සම්බන්ධය ගැන කිව්වා. බැඳුම්කරය ගැන කිව්වා. සංඛ්‍යාත දීම ගැන කතා කළේ ඒක ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිද්ධ වීම ගැනයි. ඊට අමතරව නැව් මිලදී ගැනීම් ගැනත් කිව්වා. මම එතැනදී මේ අහවලා මේ දූෂණය කළා කියලවත් මම කිව්වේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම කිවයුතු කාරණයක් තිබුණා. මම ඒක කිව්වා.
ප්‍රශ්නය - ඔබ එහෙම ප්‍රහාරයට ලක්වෙනකොට ඒක මහින්ද කඳවුරට අලාභයක් කියල කියන අයත් ඉන්නවා?
පිළිතුර - වෙන්න පුළුවන්. හැම වෙලාවේදීම දේශපාලනය කරනකොට විතරක් නොවෙයි ව්‍යාපාරයක් කරන කොට වුණත් ලාභ අලාභ දෙකම වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි අලාභ වෙනවා කියලා නොකියා ඉන්නත් බෑ. පැත්ත ගියත් ඇත්ත කතා කරන්න ඕනෑ කියලා කියමනක් තියෙනවනේ.
ප්‍රශ්නය - මින් එහාට මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
පිළිතුර - අපට වැඩ පිළිවෙළක් තියෙනවා. අපේ රජයේ අඩුපාඩු තිබුණා නම් ඒවත් නිවැරදි කරගෙන මේ අලුත් සමාජයට අලුත් තරුණ පරපුරට ගැළපෙන රජයක් බිහිකරන්න ඕන. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා.
ප්‍රශ්නය - විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රී හමුවෙන්න ගියා?
පිළිතුර - ඇත්තටම පක්ෂ ගොඩක් එකතුවෙලා තමයි අපි කටයුතු කරන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඒකාබද්ධ විපක්ෂය හැටියට කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ නැති පක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ සංධානගතව ඉන්නේ. ඒ ඒ පක්ෂවල උපාය උපක්‍රම තියෙනවා. නමුත් අපි හැමෝටම එකම ඉලක්කයයි තියෙන්නේ. ඒ රටට හානිකර නව ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ හෝ නවත්වා ගන්න. ඒ වෙනුවෙන් ගත් එක් ක්‍රියාමාර්ගයක් තමයි විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඇතුළු ඒ පක්ෂයේ නායකයන් ගත්තේ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්