2025 වසරේ පළමු කාර්තුව තුළ වාහන ආනයනයට ඉඩ දෙන සැලැස්මක් ආණ්ඩුව ප්‍රකාශයට පත්කරයි. මගී ප්‍රවාහනය, සංචාරක කටයුතු හා වෙනත් හදිසි අවශ්‍යතා සඳහා පමණක් දැනට වාහන ආනයනයට ඉඩ දී තිබේ. ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට සාමාන්‍ය පරිදි වාහන ගෙන්වන්නට ඉඩ දෙන බව දැක්වේ. වසර තුනකට වඩා පැරණි වාහන ගෙන්වන්නට ඉඩ නොදෙන බව සඳහන් වන තවත් කරුණකි. වාහන ආනයනකරුවන්ට ද කොන්දේසියක් පනවා ඇත. ගෙන්වන වාහන මාස තුනක් ඇතුළත අලෙවි නොකළහොත් - වටිනාකම අනුව සියයට තුනක බද්දක් ගෙවන්නට සිදුවේ. ඉදිරියේ දී ආනයනය කරන වාහන වායු විමෝචන හිතකර තත්ත්ව අනුව ප්‍රමුඛතාවක් දෙන බව ද අභ්‍යන්තර තොරතුරු සඳහන් කරයි.
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව ගොදුරු වී සිටියේය. දැනට තාවකාලික ස්ථාවරභාවයක් ලබාගෙන තිබේ. අර්බුදකාරී කාලය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා බාධා පැනනැගිණ. කොවිඩ් - 19 වසංගත තත්ත්වයෙහි බලපෑමක් වශයෙන් උද්ගත වූ ලෝක ආර්ථික පීඩනය මෙරට විදේශ වෙෙළඳාම බිඳ දමන්නට සමත්විය. විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ධාරා දෙක එනම් සංචාරක ව්‍යාපාරය හා විගමනික ප්‍රේෂණ අවම මට්ටමට පත්වීමෙන් පසු, අත්‍යවශ්‍ය නොවන දේ ආනයනය තහනම් කිරීමට එවකට පැවැති රජය තීන්දු කළේය. 2020 මාර්තු මාසයේ සිට වාහන ආනයනය පවා තාවකාලිකව තහනම් කරන ලද අතර, 2025 මාර්තු වන තෙක් එම තහනම බලපැවැත්වුවහොත් වසර පහක කාලසීමාවක් සම්පූර්ණ පිටරටින් වාහන ගෙන්වීම දීර්ඝතම කාලයක් නතර කර තිබෙන ලෝකයේ එකම රට විය හැකිය.
රථවාහන කර්මාන්තයේ අනෙක් පැතිකඩ
ශ්‍රී ලංකාවේ ධාවන තත්ත්වයේ ඇති වාහන ප්‍රමාණය ලක්ෂ අසූ තුනක් බව දැක්වේ. සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙකුට කිසියම් වාහනයක් ඇත. පොදු ප්‍රවාහනයේ දුබලතාව හේතු කොට ගෙන සෑම අයෙකුම තමන්ටම වාහනයක් අයිතිකර ගැනීමේ නොතිත් ආශාවකින් පසුවේ. ඉහළ මැදි ආදායම් රටවල පොදු ප්‍රවාහනය දියුණුය. ඉතාම සුව පහසුය. එයින් බැහැර වාහන භාවිත කිරීමේ දී අධික බදුවලට යටත් වේ.
වාහන අයිතිකර ගැනීමේ කැමැත්තක් ඇති පුරවැසියන් වෙසෙන රටක් වන ශ්‍රී ලංකාව, එම අභිලාෂය හේතු කොටගෙන රජයට අසීමිත බදු ගෙවන තත්ත්වයක පසුවේ. 2019 වසරේ රජයේ ආදායම සලකා බලන්නේ නම් රුපියල් මිලියන 13,900 ක් රථ වාහන මගින් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය දක්වයි. සුපිරි වාහන ගෙන්වීම හේතු කොටගෙන බද්ද රුපියල් මිලියන 1,331 ක් වන අතර තිබෙන වාහන සඳහා මෝටර් රථවාහන පනතට අනුව ගෙවන බදු, බලපත්‍ර ගාස්තුව හා කාබන් බද්ද රු. මිලියන 6,730 කි.
වාහන ගෙන්වීම නතර කිරීමෙන් පසු මෙම ආදායම රුපියල් මිලියන පන් දහසකින් පමණ පහත වැටී ඇත. කර්මාන්තය ආශ්‍රිතව යැපෙන ශ්‍රම බළකාය ලක්ෂය ඉක්මවන බව දැක්වේ. රජයේ ආදායම පමණක් නොව කර්මාන්තයෙන් ජීවත් වූ පිරිස ද අසරණ බව සඳහන් කළ යුතුය.
ලබන වසරේ සිට පුද්ගල වාහන ගෙන්වීමට ඉඩ දෙන බව ප්‍රකාශකිරීමත් සමග ක්ෂේත්‍රයේ පිබිදීමක් වාර්තා වී තිබේ. බදු නිදහස් බලපත්‍රවලට ඉල්ලුමක් නිර්මාණය වී ඇත. පාවිච්චි කරන ලද වාහනවල මිල ගණන් ද සංශෝධනය වී ඇති බව පෙනේ. විකිණෙන වාහන එකතු කරමින් සිටින අතරමැදියෝ, ඒවායෙන් අලුත් ආදායම් මාර්ග සොයාගෙන ඇත.
වාහන ගෙන්වීම ජනතාවගේ පැත්තෙන් පමණක් නොවේ
රජයේ ආදායම නංවන පියවරක් වශයෙන් වාහන ගෙන්වීමට ඉඩදෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආණ්ඩුවට දන්වා තිබේ. 2019 වාර්තා අනුව වාහන ගෙන්වීම සඳහා සමස්ත පිරිවැය රුපියල් බිලියන 130 කි. 2019 මාර්තු මාසයේ දී එවකට පැවති ආණ්ඩුව වාහන ආනයන බදු වැඩි කරන ලද අතර, එම වසරේ පමණක් වාහන ආනයන බදුවලින් අපේක්ෂා කරන ලද ආදායම රුපියල් බිලියන 48 කි. වාහන ගෙන්වීම සමග විනිමය අනුපාතිකයට ද බලපෑමක් ඇතිවේ. මහබැංකුව මෙම අදහස ප්‍රතික්ෂේප කරන අතර, රටට වාහන ගෙන්වීම සඳහා අවශ්‍ය කරන විනිමය ප්‍රමාණය නිකුත් කිරීම අපහසු නැති බව දක්වා තිබේ. කෙසේ වෙතත් වාහන සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමෙන් පසු විදේශ විනිමය ඉල්ලුම ඉහළ ගියහොත් රුපියලේ අගය අවප්‍රමාණයවීම වැළැක්විය නොහැක. එහි දී අපනයන අංශවලට වාසියක් ලැබේ. මෙරට නිෂ්පාදනවල මිල පහත වැටෙන අතර, එය ජාත්‍යන්තර වෙෙළඳපොළේ දී ඉල්ලුමක් ඇති කරන සාධකයකි.
දැනට පවතින වාහන තොගය හා අලුතින් එකතුවන වාහන ප්‍රමාණය සලකා බලනවිට නගර තුළ දැවැන්ත තදබදයක් ඇති විය හැකි යැයි අනුමාන කළ හැකි වේ. වාහන ගමන් කිරීමේ සාමාන්‍ය වේගය අඩු වූ පසු ඉන්ධන දහනය ඉහළ යයි. ශ්‍රී ලංකාව ආනයනය කරන ද්‍රව්‍යවලින් තුනෙන් එකක් ඉන්ධන වන අතර, එම ඉන්ධන තොගයෙන් සියයට හැත්තෑවක් ප්‍රවාහනය සඳහා බව අමතක කළ යුතු නැත. ආර්ථික බලපෑම කෙසේ වෙතත්, තවත් වැඩිපුර ඉන්ධන ආනයනය කළහොත් රජයට ලැබෙන බදු තවත් වටයකින් වැඩිවේ. පෙට්‍රල් හා ඩීසල් සෑම ලීටරයකින්ම අය කරන බදු ප්‍රතිශතයක් තිබේ. ඒවා වරායට ගෙන්වීමේ සිට සිල්ලරට අලෙවි කිරීම දක්වා වට ගණනාවක දී විවිධ බදු ක්‍රමවලට යටත්වේ. රජයේ ආදායම අඩු අවස්ථාවක රථවාහන ක්ෂේත්‍රයෙන් පමණක් ලැබෙන පිටිවහල සාමාන්‍යයෙන් උපකල්පනය කරන ප්‍රමාණයට වඩා වෙනස් බව පැහැදිලිය.
සිස්ටම් වෙනස් කරන ඉතියෝපියාව
දකුණු අප්‍රිකානු රටක් වන ඉතියෝපියාව එම කලාපයේ දුප්පත්ම රාජ්‍යයන් තුනෙකින් එකකි. අභ්‍යන්තර සිවිල් යුද්ධයක් තිබුණ එහි - සමාජ හා ආර්ථිකය කර්කශ තැනක පැවැතිණ. ජනතාව මහත් පීඩාවකට පත්ව සිටියේය. ණය බර ඉහළ ගොස් තිබුණ අතර, ඉදිරි වසර තුනක කාලයකට ණය ආපසු ගෙවීමට නොහැකි තැනක පසුවේ. අර්බුදයෙන් ගැලවීම අරමුණු කරගෙන - දැඩි කොන්දේසි යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3.4 ක මුදලක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට මෑතක දී ඔවුන් සමත්ව ඇත. ශ්‍රී ලංකාව හා සමානව - එම කොන්දේසි පරිදි, ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන වසර හතරක සැලැස්මකට යටත්ව සිටී.
කෙසේ වෙතත් ඉතියෝපියානු රජය මෙම අවුරුද්ද මුල් භාගයේ එරටට ගෙන්වන වාහන සම්බන්ධයෙන් අලුත්ම රෙගුලාසියක් ප්‍රකාශයට පත් කළේය. ඩීසල් හෝ පෙට්‍රල් භාවිත කරන වාහන ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අවශ්‍යනම් විදුලි බලයෙන් ධාවනය වන වාහන ආනයනය කළහැකි අතර, වාහන ධාවනය සඳහා ආනයනය කරන ඉන්ධන වියදම පාලනය කිරීම මෙහි අරමුණ බව පැවැසේ. පොසිල ඉන්ධනවලින් ධාවනය වන වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ ලෝකයේ පළමු රට බව දැක්වේ. ජාත්‍යන්තර විචාරකයන්ට අනුව එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකි. අලුත් විදුලිය වාහන ලක්ෂ ගණනක් ඉදිරි කාලය තුළ ගෙන්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, පැරණි යල් පැන ගිය වාහන භාවිතයෙන් ඉවත් කෙරේ. අර්බුදයකට පත් වූ පසු අලුත් වටයකින් නැගෙන්නට අනුගමනය කරන නවතම අදහසක් වශයෙන් අවධානයට පත්ව ඇත.
කෙසේ වෙතත් ඉතියෝපියාවේ විදුලිය බලය සැපැයුම ද දුර්වලය. පසුගිය දෙසැම්බර් හත්වැනි දා පැය හතක විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ. රටට අවශ්‍ය විදුලිය සම්පාදනය සඳහා නව යෝජනා ක්‍රම අරඹා තිබේ. කෙන්යාව සමග අධිවේගී විදුලිය හුවමාරු ගිවිසුමකට ද එළැඹ ඇත. විදුලිය අර්බුදය ඉදිරියේ විදුලිය වාහන පමණක් ගෙන්වන නියෝගය හේතුකොටගෙන එරට ජනතාව කුපිතව සිටී. අනෙක් අතට ඉන්ධන අලෙවිසැල් අසල පෝලිම් ඇති අතර, එය විනිමය හිඟය ඉදිරියේ ඉන්ධන සැපයුම ද අඩාළවීමේ ප්‍රතිපලයකි.
යල්පැනගිය තාක්ෂණය කැඳවීමේ අයහපත
අවුරුදු පහකට පසු - වසර තුනක් පැරණි තාක්ෂණය සහිත වාහන රටට ගෙන්වන්නට ශ්‍රීලංකාව තීරණය කර ඇත. ඉතියෝපියාව අනුගමනය කළ රාමුවෙන් එපිට තීරණයක් මගින් විශාල පරිවර්තනයක් කළ හැකිය. නමුත් ජනතාව ඉල්ලන පරිදි වාහන ගෙන්වන්නට ඉඩදී - පැරණි ව්‍යුහයට ඇතුළුවීම හැර අනෙක් ක්‍රමයක් අධ්‍යයනය කර නැත. නූතන රථවාහන විදුලියෙන් ධාවනය වන අතර, ඒවායේ දියුණු තාක්ෂණික උපකරණ තිබේ. ඇමරිකාවේ හා චීනයේ රියැදුරුන් රහිත වාහන මගී ප්‍රවාහන ටැක්සිවලට භාවිත කෙරේ. ඉන්දියාවේ වාහන නිෂ්පාදනය කරමින් සිටි ප්‍රධාන කම්හල් තුනක් පසුගිය කාලයේ වසා දමන ලද අතර, ඉන්ධන වාහනවලට ඇති ඉල්ලුම පහතවැටීම එයට බලපාන ලද බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. ලෝකයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදකයන් පැරණි වාහන ආකෘති හා අමතර කොටස් නිෂ්පාදනය අත්හැර දමා ඇත. ශ්‍රී ලංකාව 2025 වසරට ඇතුළුවන අතර, මෙම පසුබිම අවබෝධ කරගෙන සිටිය යුතුය.
2017 වසරේ අයවැය මගින් එවකට මුදල් ඇමැති මංගල සමරවීර විදුලියෙන් ධාවනය කරන බස් රථ ගෙන්වීම සඳහා රුපියල් මිලියන පනහක් වෙන් කළේය. මගී බස්රථ ගෙන්වන්නට බාධා ඇති වූ අතර, බැටරි නැවත ආරෝපණය කරන ස්ථානවල හිඟය ගැන තර්කයක් තිබුණි. රටපුරා විදුලියෙන් බැටරි ආරෝපණය කරන ස්ථාන සියයක් ස්ථාපිත කිරීම සඳහා පසුව කැබිනට් තීරණයක් ගෙන තිබේ. එහෙත් ව්‍යාපාරයක් වශයෙන් එය ක්‍රියාවට නැගෙන්නේ නැත. ආරෝපණය කිරීමට සමත් විදුලිය වාහන සංචිතයක් රටට නැති බව දැක්වේ. විදුලිය වාහන ගෙන්වන නිල සැපැයුම්කරුවන් ප්‍රමාණයක් ද රටට නැත. එම වාහනවල බැටරි පරිසරයට මුදාහරින ජාත්‍යන්තර ප්‍රමිති ඇති අතර, ඒවා අනුව වෙෙළඳපොළ හැසිරවීම පහසු කර්තව්‍යයක් නොවේ.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා අවසර නිකුත් කරන යෝජනාව තුළ ගැබ්ව ඇති වෙනත් පැති ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව එය හුදෙක් මහා භාණ්ඩාගාරයට ධනය ලැබෙන ක්‍රමයක් පමණකි. ගෙන්වන පිරිවැය පමණක් නොව ඉන්ධන වියදම ද සලකා බලන පසු, ආණ්ඩුව තරවන නමුත් - සමාජය දුප්පත් වේ. තමන්ගේ වාහනයක ගමන් කිරීමේ සිහිනයක් ජනතාවට ඇත. එම සිහිනය උද්දීපනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා තීරණ හරහා පොදු ප්‍රවාහනය තවත් දුෂ්කර තත්ත්වයකට පත්වෙමින් ඇති බව දැක්විය යුතුය.
සාරා කන්දෙගොඩ