රනිල් ගැන අසල්වැසි දනන්ගේ කතා


එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනි වික්‍රමසිංහගේ දෙවැනි පුතු ලෙස 1949 වසරේ කොළඹ උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මූලික අධ්‍යාපනය ලැබුවේ රාජකීය විදුහලෙනි. පසුව ඔහු කොළඹ නීති පීඨයට ඇතුළත්ව අධිනීතිඥයෙකු ලෙස අධිකරණ ක්ෂේත්‍රයට එක් විය.
1972 කැලණිය ආසනයෙහි එජාප සංවිධායක ලෙස දේශපාලනයට පිවිසි ඔහු 1977 මැතිවරණයෙන් බියගම නව ආසනයෙන් තරගකර පාර්ලිමේන්තුවට පිවිසියේය. 
විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කළ ඔහු 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෞවන කටයුතු හා රැකිරක්ෂා ඇමතිවරයා ලෙස දිවුරුම් දෙන විට ඔහුගේ වයස අවුරුදු 27කි. ඔහු එවක පාර්ලිමේන්තුවේ සිටි ළාබාලම ඇමතිවරයා විය. 
1994 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසු අගමැති ධුරයට පත් වූ ඔහු ඉන්පසු අවස්ථා කිහිපයකදීම අගමැති හැටියට කටයුතු කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුර හැර යෑමෙන් පසුව අනුප්‍රාප්තික ජනාධිපති බවට ඔහු පත් වූයේ බොහෝ විවේචන මධ්‍යයේය.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අය අතරින් අත්දැකීම් බහුලම දේශපාලකයා වන්නේ ද ඔහුය.


ඔහු පිළිබඳ අසල්වැසියන්ගේ කතාවලට මෙතැන් සිට ඉඩ වෙන් කෙරේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කලක් සේවය කළ සුජීව සම්පත්ගේ අදහස් මෙසේය.
"ඉතිහාසයේ කිසිදා නොදුටු දරුණු ආර්ථික අර්බුදයකට ඇදවැටුණු මව්බිම සිය පරිණත, දූරදර්ශී නායකත්වයෙන් නැවතත් යහපත් තත්වයක් දක්වා ගෙනගිය නායකයා ඔහුයි. 
වසර දෙකක් පුරා ඇති වූ අරගල සහ කලහකාරී ගැටුම් මැද, කිසිඳු ගැලවුම්කරුවකු නොමැතිව අරාජික වූ දේශයක් ඔහු එදා බාරගත් විට ණයබර ඉහළ යෑම, ගෙවුම් ශේෂයේ අසමතුලිතතාව, විදේශ විනිමය හිඟය හා මුදල් අවප්‍රමාණ වීම වැනි කරුණු අනුව ආර්ථික අගාධයකට රට ඇද වැටී තිබුණා. කිසිඳු දේශපාලකයකුට ප්‍රායෝගික විසඳුමක් පෙනෙන තෙක් මානයක තිබුණේ නැහැ. ඔහුගේ පරිණත බව සහ ගැටලු නිරාකරණය කිරීමේ දූරදර්ශී නායකත්වය ගැන අපට ඇත්තේ පැහැදීමක්. 
බුන්වත් බවට පත්වෙමින් ඇති රටක් ලෙස ලෝකය නම් කළ දේශයක් ඉතා කෙටි කලක් තුළ ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණයකට ලක්කර ආර්ථික අර්බුදයේ අහිතකර ලක්ෂණවලින් මිදී ධනාත්මක වර්ධනයක් කරා ගෙන යෑමට ඔහුට හැකි වුණා. 
2023 මාර්තු සිට IMF විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වුණා. එම එකඟත්වය ගැනීමෙන් පසුව ක්‍රමයෙන් සියයට 30දක්වා ඉහළ ගොස් තිබූ බැංකු පොලිය සියයට 09දක්වා පහතට ගෙන ඒම ද, සියයට 70කට වඩා ඉහළ ගිය උද්ධමනය සියයට 1.7දක්වා අඩුකර ගැනීම ද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට 2024 පළමු කාර්තුව වෙනවිට දළ දේශීය නිෂ්පාදන වේගය සියයට 5.3 දක්වා ධන අගයකට ගෙන ඒමද මුදල් අච්චු ගැසීමෙන් තොරව සීමිත කාලයක් තුළ ගුණාත්මක වර්ධනයක් කරා යෑමට ද ඔහු සමත් වුණා.
වත්මනෙහි එළඹ ඇත්තේ අර්බුදකාරී අවස්ථාවක ඉන්ධන පෝලිම්වල ජනතාව කල්ගෙවද්දී හොර රහසේ පලා ගොස් ජනාධිපතිවරයා වෙනුවෙන් සැලසුම් ඉදිරිපත් කරන නායකයන් නොව ප්‍රායෝගික සැලැස්මක් මගින් ආර්ථික අවශ්‍යතාවලට විසඳුම් සොයා අප ඉදිරියෙහි තැබූ පරිණත නායකයෙකුට රට බාර දීමයි. 


ආධුනිකයන්ට රට බාර දී අත්හදා බැලීම් කරන්නට අපට හැකියාවක් නැත. ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් දැක්මක් සහ පූර්ණ පෞරුෂයක් ඇති නායකයා ඔහුයි. පුළුවන් ශ්‍රී ලංකා යථාර්ථයක් බවට පත් කළ හැක්කේ ඔහුට පමණයි."
ඇමතිවරයකු හැටියටත් අගමැති ලෙසත් ඔහු අනුගමනය කළ ප්‍රතිපත්ති බොහෝ ක්ෂේත්‍රවල බලපෑම් සහගත කාර්යක් වී ඇති බව 
විශ්‍රාමික ගුරුවරියක වන මැටිල්ඩා රණසිංහ පවසයි.
මේ ඇගේ අදහස් ය.
"ඔහු තරුණ වියෙහි සිටම කටයුතු කළ ආකාරය සිත් ගන්නාසුලුයි. අක්‍රිය වී තිබූ ජාතික තරුණ සේවා සභාව සක්‍රිය කරමින් කළ වැඩකොටස ඓතිහාසිකයි. ක්‍රීඩා, සංගීත, නර්තන, නාට්‍ය යනාදී ක්ෂේත්‍රවල විශාල පිබිදීමක් ඇති වුණා. එහි යශෝරාවය තවමත් තියනවා. 
ඇතැම් අවස්ථාවල එම කටයුතුවලට දායකත්වය ලබාදීමෙන් අපද අපමණ සතුටක් ලැබුවා. ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිසම, විද්‍යාපීඨ යනාදී වශයෙන් නවීන අධ්‍යාපනයක් ස්ථාපිත කිරීම සඳහා ඔහු කර ඇති වැඩ කොටස කිසිවකු අතින් නොකෙරුණු බව මගේ විශ්වාසයයි. 
ඔහුගේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව විශාල විරෝධතා පැන නැංගා. එහෙත් අද එම ප්‍රතිපත්තිවල ඵලය විරෝධතාකරුවන්ගේ දරුවනුත් භුක්ති විඳින බව පෙනෙනවා. වැදගත් වන්නේ ඔහු විවේචනවලින් නොසැලී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමයි."
යහපත් ආණ්ඩු කරණයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. 
එක දිගට දශක ගණනාවක් විධායක බලය සහිත නායකත්වයක් ද, එහි දුර්විපාක ද අත්වින්ද රටක එහි වැදගත්කම ගැන කතා කරන්නේ කොළඹ දූවිල්ලේ සමාජ කලබැගෑනි දෙස දශක කිහිපයක් බලා සිටි අභ්‍යාස වෘද්ධ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් පෙරේරාය.
"රනිල් වික්‍රමසිංහගෙ ගෙට ගිනිගත් දවස අප ජීවත්වන ඉසව්වේ මෙතෙක් දුටු ඛේදනීය සිදුවීමයි. එය අපට පාලනය කරගත නොහැකි සිදුවීම් දාමයක් බවට පත්වුණා. පවතින අර්බුදය ගත්තම හැම පාර්ශ්වයකටම අඩුවැඩි වශයෙන් චෝදනා එල්ල විය යුතුයි. අප සියලු අතින් නිවැරදියි කියන්න කිසිම කෙනෙකුට, කණ්ඩායමකට බැහැ. එසේ තිබියදී වැරදිකරුවන් අධිනිශ්චය වීමක් තමයි වුණේ. රනිල් අගමැති ලෙසත්, මංගල මුදල් ඇමති ලෙසත් කටයුතු කළ අවධිය ලංකාව ආර්ථික අතින් ශක්තිමත් වීමේ පදනම දැමූ කාලයක් ලෙස හැඳින්වීම වරදක් නැහැ.


නමුත් ආත්මාර්ථකාමී අය සමාජය අවුස්සලා එම අවස්ථාව නැති කර දැම්මා. වඩාත්ම හාස්‍යයට කරුණ රනිල්ට බෑ කියූ අයම ඔහුට පුළුවන් කියන්නට පටන් ගැනීමයි. එය ඉතිහාසයේ සරදමක්.
ජනරාල් කොබ්බෑකඩුව යුද්ධය වෙනුවට සාමය අපේක්ෂා කළ සේම දේශපාලකයකු හැටියට රනිල්ට ඕනෑ වුණේ අයර්ලන්ත ගරිල්ලන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුළු කරගන්න බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු කළ පරිදිම විශාල මිනිස් ඝාතනයකට ඉඩ නොතබා සාම ක්‍රියාවලියක් ඇති කිරීමයි. විවිධ අඩුපාඩු නිසා එය අසාර්ථක වුවත් එනිසාම රනිල්ගෙ පරමාර්ථය සදොස් වන්නේ නැහැ. 
පශ්චාත් යුද සමයේ ගැටලු රැසකට තවමත් සමාජය මුහුණ දෙනවා. සිංහල ජාතිකවාදී පක්ෂවලට වඩා දෙමළ සහ මුස්ලිම් ජනතාව කවදත් රනිල් කෙරෙහි විශ්වාසය තැබුවා. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම කෙරෙහි ඔහුගේ නායකත්වය බලපෑවා. 
19 සංශෝධනයේ ජයග්‍රහණ ආපසු හැරවූ නායකයන් පලා ගිය සමාජයක රනිල් වික්‍රමසිංහට ඇති වගකීම විශාලයි."
පසුගිය කාලයෙහි අර්බුදයෙන් වැඩියෙන්ම බැට කෑ පාර්ශ්වය කාන්තාවන් බව බොහෝ අය කියති. කාන්තාවන් සවිබල ගැන්වීම වත්මනෙහි ප්‍රධාන පක්ෂවල මූලික කාර්යක් බවට පත්ව ඇති බවද පෙනේ. අගනුවර වෙසෙමින් පුරවැසි ක්‍රියාකාරකම්වල යෙදෙන මංජුලා පෙරේරා මේ ගැන දැක්වූ අදහස් උපුටා දක්වමි.
"පසුගිය අවුරුදු කිහිපයෙහි පැවති අර්බුදයෙන් වැඩියෙම්ම බැට කෑවෙ අපි. දැං යාන්තං ඔලුව උස්සමින් ඉන්නෙ. මේ වෙනස පටන් ගත්තෙ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වූ පසුවයි. 
ප්‍රධාන අපේක්ෂකයො කරන කතා තුන ගැන හිතල බලන්න. අපි ජීවත් වුණේ කොහොමද කියල දන්නැති අයගෙ කතා අතරෙ රනිල් වික්‍රමසිංහ පමණයි ඇත්ත කතා කරන්නේ. අපට වුණේ මොකද්ද, කළ යුත්තේ මොකද්ද ඔහු දන්නවා. ඒ නිසා ඔහුට අපි අපේ ඡන්දයෙන් ඊ ළඟ අවස්ථාව දිය යුතුයි. 
ජීවන බර අඩු කිරීම, තරුණ ප්‍රශ්න විසඳීම, රටේ ආදායම් මාර්ග උත්පාදනය ඔහු ඉදිරියේ ඇති ප්‍රධාන වගකීම්. ඔහු රටට අවශ්‍ය අනාගත වැඩපිළිවෙළ සඳහා පදනම සකස් කර අවසන්. මේ යන ගමන වෙනස් කළොත් රට ආයෙ වැටෙන්නෙ තිබුණාටත් වඩා පහළ තැනකටයි. 
මේ නිසා අප කවුරුත් හදිසි තීරණ නොගෙන බැරෑරුම් ව කල්පනා කළ යුතුයි."
මුද්‍රණ කර්මාන්තයෙහි යෙදී සිටින විජයකාන්තන්, අර්බුද සමයෙහි තම කර්මාන්තය දැඩි සේ පසුබෑවත් අගනුවර අත හැර නොගොස් ගැටලු දරාගෙන ඉවසීමෙන් වැඩ කළේය. තත්ත්වය යහපත් අතට හැරෙමින් ඇති බව ඔහුගේ අදහසයි.
"අපි පුදුම දුකක් වින්දෙ. පළමු වටයෙන්ම මගෙ රුපියල් ලක්ෂ 48ක් ලොස් වුණා. මුද්‍රණ කර්මාන්තයෙ මාත් එක්ක හිටපු සමහරු නැත්තටම නැති වුණා. මම කාගෙන අල්ලගන හිටියා. කඩදාසි හිඟය නිසා අපට කඩදාසි පැකට් පහයි ලැබුණෙ. ඒක දවසටත් මදි. තෙල් ගණන් නිසා වියදම් කරගෙන ගෙනත් වැඩකුත් නෑ. දැං ඒ ගැටලුව ටික ටික විසඳෙනවා. පාඩු වෙච්ච මුදලුත් ලැබෙමින් පවතිනවා. වේදනාව දන්නෙ තුවාලෙ තියෙන අය. 
කර්මාන්ත කරන අපි තමයි දන්නෙ අපි වැටුණු හැටි. නැගිටින්න අවස්ථාව ලැබුණෙ කොහොමද කියන එක. එනිසා අපට නම් මේ යන විදිය හොඳයි. රනිල් වික්‍රමසිංහට හැර වෙන කාටවත් මේ වෙලාවෙ රට බාර දීලා ප්‍රශ්න විසඳන්න බැහැ."
නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ අවස්ථාව ව්‍යවස්ථානුකුලව පැන නැගෙන්නක් බව සත්‍යයකි. වසර කිහිපයක් තිස්සේ තීව්‍ර වෙන සමාජ ගැටලු සංකීර්ණ මූලවලින් හටගෙන ඇති බවට සංවාදයක් පවතී. මෙම ගැටලු විසඳීම සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයකට අසීරුය යන්න ඇතුම් තරුණ පාර්ශ්වවල අදහසයි. මේ එම අදහස් නියෝජනය කරන සරත් එම්. සේනානායක දක්වන අදහස්ය.


"ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා පැවැත්වෙන ඡන්දයට පෙර රට තුළ පැවති තත්ත්වය කවුරුත් දන්නවා. ඒ තත්ත්වය පාලනය වුණේ අනුප්‍රාප්තික ජනාධිපති නිසා යැයි කීම මා පිළිගන්නේ නැහැ. එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුව මහජන කැමැත්ත අහිමිවූ මහජන නියෝජිතයන්ගෙන් සමන්විතයි. 
ඔවුන්ගන්නා තීන්දුවල සැබෑ වලංගුභාවයකුත් නැහැ. සාපේක්ෂව ගත් විට රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වන නායකයෙකු ලෙස සමාජගතව සිටිනවා. එහෙත් අරගලයෙන් පසුව භාරකාර ආණ්ඩුවක් යටතේ මැතිවරණ පවත්වා මහජන ඡන්දයෙන් නව නායකයෙකු සහ නව රජයක් බිහි කරගැනීමේ අවස්ථාව රටට අහිමි කළා. ඒ වරදින් මිදෙන්න ඔහුට බැහැ. 
එනිසා මා නම් තරුණයකු හැටියට සිතන්නේ ඔහුගේ දේශපාලන වලංගුබව අහෝසි වී ඇති බවයි. එවන් අයෙකු රට මුහුණ දී ඇති සංකීර්ණ ගැටලුවලට පිළියම් යොදනු ඇතැයි සිතීම මුළාවක්. ප්‍රශ්නය ඊට වඩා සංකීර්ණයි. 
චෞර දේශපාලනය සහ මහත්මා දේශපාලනය පිළිබඳ බෙදුම්කඩනයකදී රනිල් වික්‍රමසිංහගේ වැදගත්කම කෙනෙකුට පෙනී යාහැකියි. එහෙත් අද සමාජයට පුද්ගලයෙකුගේ විශේෂතාවලට වඩා වැදගත් වෙන්නේ විනාශ වූ සමාජය ගොඩනැගීමේ පුළුල් චින්තනයක් ඇති නායකත්වයක්."
ජනාධිපතිවරණයට ඇත්තේ සති කිහිපයකි. කියන්නට බොහෝ දේවල් බොහෝ අයට ඇතත් ජනමාධ්‍ය‍යෙන් තම නම් ගම් සහිතව පළවෙනු දකින්නට බොහෝ අය අකමැති වෙති. එයද සමාජ අර්බුදයේ එක් පැතිකඩක් වැන්න.
තිඹිරියාගම බණ්ඩාර