ඊබ්‍රාහිම් රයිසි ජීවිතයෙන් සමුගත්තේය. ඉරාන ජනතාව හැඬූ කඳුළෙන් යුතුව ඔහුට සමුදුන්හ. ඔහුගේ දේහය සිය ගම්පියස මෙන්ම ඉරානයේ ශුද්ධ භූමියක් ලෙස සැලකෙන මෂාද්හි මිහිදන් කෙරිණ. රයිසි භූමිකාව ඉන් අවසන්ය. එහෙත් එය ඉරානයට කම්පනයක් පමණක් ගෙනදුන් තවත් එක් සිද්ධියක් පමණක්ම විය. ඊබ්‍රාහිම් රයිසි යනු ඉරානයේ රාජ්‍ය නායකයාය. දෙවැනි ප්‍රධානියාය. ඔහු ගෞරව නාම රැසකට හිමිකම් කියයි. ඒ ගැන කිසිදු විවාදයක් නැත. එහෙත් මේ ලිපියේ පළමු වචනය ලෙස මා සටහන් කළේ ඔහුගේ නම පමණි. ඊට පැහැදිළි හේතුවක් ඇත. එනම් ඉරානයට රයිසි වැදගත් වුවද රයිසි යනු ඉරානය නොවන බව ඔහුගේ මරණයෙන් සනාථ වූ සත්‍යයක් බව පැහැදිළි කර දීමයි.
රයිසි සුවිශේෂ චරිතයක් වුවත් ඉරානයට ඔහු තවත් එක් පුද්ගලයෙක් ම පමණකි. ඉරානය පුද්ගලානුබද්ධ නොව ක්‍රමවේදයක් හා ප්‍රතිපත්තියක් මත පදනම්ව ගමන් කරන රටක් බව රයිසි තම මරණයෙන් ලොවට පැහැදිළි කර තිබේ. රයිසි භූමිකාවට ගරුකරමින් ඉරානය නොවෙනස්ව ඉදිරියට යයි. අභියෝග හමුවේ රටක් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන රයිසි තම මරණ මංචකයෙන්ද ලෝකයට උදාහරණයක් ගෙනහැර දක්වා තිබේ. පැහැදිළි ප්‍රතිපත්තියක් නොමැතිව වැටේ වැනෙන රටවල් ඒ සම්බන්ධයෙන් රයිසිට මෙන්ම ඉරානයටද කෘතඥ විය යුතු අතර, තමන්ද එවැනි ශක්තිමත් ජාතික ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගොඩනගාගැනීමේ අවශ්‍යතාව අවබෝධ කරගැනීමද ඉතා වැදගත්ය. කෙසේ වෙතත් රයිසිගේ නික්මයාම ඉරාන ක්‍රමය පවත්වාගෙන යාමට තිබූ යෝධ ශක්තියක් අහිමිවීමක්ය යන සත්‍යය කිසිසේත් යටපත් නොවේ.
රයිසි හා ලංකාව
ඊබ්‍රාහිම් රයිසි අන් කවර රටකටත් වඩා ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වූ චරිතයකි. ඒ ඔහු සිය දේශපාලන ජීවිතයේ ඉරාන ජනාධිපතිවරයා ලෙස සිදුකළ අවසන් රාජ්‍ය චාරිකාවට තෝරාගත් රට ශ්‍රී ලංකාව වීම නිසයි. රයිසි තම ජීවිතයෙන් සමුගැනීමට පැය කිහිපයකට පෙර අසර්බයිජාන දේශසීමාව වෙත ගොස් එරට ජනාධිපති ඉල්හාම් අලියේව් හමුවී සාකච්ඡා කළ අතර වාරි ව්‍යාපෘති දෙකක් විවෘත කළේය. එහෙත් එය දේශසීමා කලාපයක කෙරුණු කෙටි චාරිකාවක් මිස විදෙස් රාජ්‍ය චාරිකාවක ගනයට නොවැටේ. ඒ නිසා රයිසි උත්තමාචාර ලැබූ අවසන් රට ශ්‍රී ලංකාව ලෙසට ඉතිහාසයට එක්ව තිබේ. ඔහුගේ ශ්‍රී ලංකා චාරිකාව එම දිනවල මෙරට පමණක් නොව සමස්ත ලෝකයේම කතාබහට ලක්වූවකි. ඒ මන්ද යත් ඊශ්‍රායලය සමග මුහුණට මුහුණ ලා හැප්පී සතියක් පමණ ගෙවී ගිය තැන ඔහු පකිස්තානයටත් ශ්‍රී ලංකාවටත් පැමිණීමයි. ඔහු එම චාරිකාව සිදු කරයිද නැද්ද? යන්න ගැන අවසන් මොහොත දක්වා පැවතියේ කුකුසකි. එහෙත් අප රටේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හොඳින් දන්නා පරිදි, ඉරානය එම චාරිකාව බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාමට අතිශය උනන්දුවක් මෙන්ම කැපවීමක්ද දැක්වීය.
එමෙන්ම බටහිර බලවත් රටවල තානාපති අංශ එම චාරිකාව සිදුවීම ගැන විවිධ බලපෑම්කාරී ක්‍රියාකාරකම්වල යෙදුණු බවද මාධ්‍ය තුළ සාකච්ඡාවට ලක්වූ ප්‍රසිද්ධ රහසකි. ඒ චාරිකාව තුළින් ඉරානය මෙන්ම රයිසිද ලෝකයට වැදගත් පණිවිඩ දෙකක් ලබාදුන් බව විද්වත් මතයයි.
අංක එක: ගෝලීය අභියෝගවලට මුහුණ දීමට ඉරානය බිය නොවන බව ලෝකයට පෙන්වා දීමයි. ඊශ්‍රායලය වැනි අතිශයින් දියුණු යුද හා බුද්ධි අංශ තාක්ෂණය සතු රටක් සමග අපේ සාමාන්‍ය භාෂාවෙන් කියන පදිරි “ගේම ඉල්ලා” සතියක් තුළ ගුවන්යානයකට නැගී සැතපුම් දහස්ගණනක් කරක්ගැසීමට චකිතයක් නැති බව පෙන්වා දෙමින් ඉරානයේ ප්‍රතිරූපය ශක්තිමත් කරලීමයි. දෙවැන්න: ඉරානය සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා විවිධ අභියෝග හමුවේ වුවද පවත්වාගෙන යාමට සූදානම් මෙන්ම ඒ සඳහා කැපවෙන බව සිය පිළිමලුන්ට පෙන්වාදීමට මෙන්ම, දිගටම බටහිර නොව නැගෙනහිර බැලීමේ ප්‍රතිපත්තිය පවත්වාගෙන යන බවද පෙන්වාදීමට එම චාරිකාව යොදා ගැනීමයි. 1961 සම්බන්ධතා ස්ථාපනයේ සිට මෙන්ම 1975 තානාපති කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවේ සිට මේ දක්වා ඉරානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ මිත්‍රශීලී ප්‍රතිපත්තියකි. මෙරට යුද්ධය පැවති යුගයේ සිට මෙන්ම බටහිර මානව හිමිකම් අභියෝගය අවස්ථාවේද ඉරානය ශ්‍රී ලංකා පිලේ පසුවූ රටකි. මෙරට ප්‍රධාන තේ ගැනුම්කරුවෙකි. 2018 ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන තෙල් අලෙවියට සම්බාධක පනවන තෙක්ම ශ්‍රී ලංකාව මිලදී ගත්තේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ඉරාන ඛනිජ තෙල්ය. ඒ සහනදායි තෙල් වෙනුවට ‘‘තේ ගිවිසුම්’’ අනුවය. සම්බාධක නිසා උමා ඔය ව්‍යාපෘතියට අපේක්ෂිත මූල්‍ය දායකත්වය ලබාදීමට ඉරානය අපොහොසත් වුවද ඉතා ඉහළ ඉරාන වාරි තාක්ෂණ ක්‍රමවේද පිළිබඳ දැනුම හා දායකත්වය මෙරටට ලබාගැනීමට හැකිවූ බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසයි. වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව ඉරාන සබඳතා පවත්වාගන්නේ එරට ප්‍රධාන පසමිතුරා වන ඊශ්‍රායලය සමගද ක්‍රමෝපායික ආර්ථික සබඳතාවලියක් පවත්වාගන්නා අතරතුරයි.
නැගෙනහිර බලපු රයිසි
ඊබ්‍රාහිම් රයිසි තම ජනාධිපතිත්වය යටතේ ඉදිරියට ගෙනයාමට උත්සුක වූ “නැගෙනහිර බැලීමේ පිළිවෙත” අද වනවිට බෙහෙවින් ශක්තිමත් වී ඇති බවට කදිම උදාහරණයක් වන්නේ බටහිර කඳවුරේ දකුණු ආසියානු බලකණුව වන ඉන්දියාව, අමෙරිකානු සම්බාධක තර්ජනය මැද ඉරානයේ චාබාර් වරාය සංවර්ධනය සඳහා වන ඩොලර් මිලියන 370ක දස වසරක ව්‍යාපෘති ගිවිසුමට එළඹීමයි. ඒ රයිසි මියගොස් දිනකට පසුවයි. චීනය විසින් සංවර්ධනය කරනු ලබන පකිස්ථානයේ ග්වාදාර් වරායට කිලෝමීටර 72ක් තරම් නුදුරින් පිටිහි චාබාර් වරාය, පකිස්තානයට බටහිර දෙසින් ස්ථානගතවීමටත්, එහි සිට මධ්‍යම ආසියාව හා මැදපෙරදිග කලාප වෙත ඉන්දීය වෙළෙඳ මෙහෙයුම් සිදුකිරීමටත් ඉන්දියාවට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. අමෙරිකානු සම්බාධකවලින් සිදුවෙන පාඩුවට වඩා වැඩි වාසියක් බැවින් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් ක්‍රමෝපායික අවතීර්ණභාවයක් වෙත යොමුවන බවක් දක්නට ලැබේ. එය ඉරානයේ වත්මන් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් ගැන අවබෝධ කරගැනීමට ලැබෙන කදිම උදාහරණයකි. නැගෙනහිර බැලීමේ පිළිවෙත යටතේ රුසියාව හා චීනය සමග සබඳතා ද අතිශයින් ශක්තිමත් වී ඇති බව ප්‍රකට සාධකයකි.
අවමංගල්‍යයට සහභාගිවූ ‘හමාස්’ සංවිධානයේ ප්‍රධානීන්
රයිසිගේ දේශපාලන භූමිකාව
ඊබ්‍රාහිම් රයිසි යනු ඉරානයේ ජනාධිපතිවරයා වුවද ඔහු එරට සර්ව බලධාරියා නොවේ. ඉරාන ඉස්ලාමීය ජනරජය ගැන තීන්දු තීරණ ගන්නේ ආධ්‍යාත්මික නායකයා ඇතුළු ඉහළ පූජක මණ්ඩලයයි. ජනාධිපතිවරයා එම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස සැලකෙන මොහොමඩ් කටාමි, ඉරානයේ ජනාධිපතිවරයා වුවද පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනසක් දක්වා යාමට ඔහුට ඉඩකඩ නොලැබුණේ ඉහත සඳහන් කළ රාජ්‍ය පාලන සැකැස්ම නිසාවෙනි. ඉරාන ජනාධිපතිවරයා හුදෙක් රබර් මුද්‍රාවක් පමණක් ලෙස බටහිර විවේචකයන් හුවා දක්වන්නේ මේ නිසාවෙනි. ජනාධිපතිවරයාගේ ස්වභාවය, ඔහු හා ආධ්‍යාත්මික නායකයා අතර පවතින බැඳීම, දැඩි ඉරාන ඉස්ලාමීය ප්‍රතිපත්ති ගෙනයාමට ඇති අභිලාෂය, ඒ වෙනුවෙන් ජනතා මතය යටපත් කිරීමට හා එය මර්දනයට ඇති උත්සුකත්වය යන සාධක මත ජනාධිපතිවරයාගේ ප්‍රබලත්වය හා පැවැත්ම ඉරාන පාලන රටාව තුළ තීන්දු තීරණයට ලක්කරයි.
රයිසි යනු කවුද
ඊබ්‍රාහිම් රයිසි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැඩි මතධාරියෙකි. කැපවූ පූජකවරයෙකි. ආධ්‍යාත්මික නායකයාගේ සුවච කීකරු ගෝලයෙකු මෙන්ම ඔහුගේ මග ගමන් කරන්නෙකි. ප්‍රතිපත්ති සම්පාදක පූජක මඬුල්ලේ විශ්වාසය දිනාගත්තෙකි. මේ නිසාම ඔහුට ආධ්‍යාත්මික නායක පදවිය දක්වා යාමට ඉඩ හසර තිබූ බව නිරතුරුව ඉස්මතු කෙරෙන කරුණකි. එහෙත් ඉරාන දේශපාලන විද්වතුන් පවසන්නේ එය හුදෙක් අනුමානයක් පමණක් බවයි. වත්මන් ආධ්‍යාත්මික නායක ෙකාමෙයිනි 85 වියැති වුවද මනා සෞඛ්‍යයෙන් සිටීමත්, ආධ්‍යාත්මික නායකයා තේරීම හුදෙක් අතිශය අභ්‍යන්තර කටයුත්තක් නිසා, ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් කියවෙන නම් ඉරාන ක්‍රමයට අදාළ නොවන බව 1989 හිටපු ආධ්‍යාත්මික නායක අයතොල්ලා කොමෙයිනි මියගිය අවස්ථාවේ සනාථ වූයේ, එවකට වැඩි ප්‍රසිද්ධියක් නොඉසුලූ වත්මන් නායකයා අලි ෙකාමෙයිනි ආධ්‍යාත්මික නායක වීමෙනි.
ඉරානය දැඩි අන්තර්ජාතික අභියෝගවලට මුහුණ දී ඇති වර්තමානයේ, මෑත කාලීන ජනාධිපතිවරු අතර වඩාත් අයෝමය හා දැඩි මතධාරී ස්ථාවරයක් රයිසි තුළින් දිස්විය. ඔහුගේ අතීතයද මතභේදකාරීය. බටහිර හා බොහෝ අන්තර්ජාතික මාධ්‍ය රයිසි හැඳින්වූයේ “ටෙහෙරානයේ මස්වැද්දා ” ලෙසයි. ඒ විනිසුරු භූමිකාව තුළ ඉරානයේ ප්‍රති විප්ලවවාදීන්, දේශපාලනික ප්‍රතිවාදීන් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රියාකාරීන් සිය දහස් ගණනක් (නිසි සංඛ්‍යාලේඛන නොපෙන්වයි) 1980 දශකයේදී රාජ්‍ය මර්දනය යටතේ එලොව යැවීමට රයිසි අණදුන් බවට පළවී ඇති වාර්තා හේතුවෙනි. රයිසි ජීවත්ව සිටි සමයේ කිහිප විටක් මේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිණ. කෙසේ වෙතත්, ඔහු දැඩි තීන්දු ගන්නෙකු බව ඉරාන ජන සමාජය තුළ ප්‍රකට කරුණකි. මාෂා අමිනි නමැති තරුණිය 2022 වසරේදී ඉරාන සංස්කෘතික පොලිසිය විසින් පහරදී ඝාතනය කෙරුණු බවට මතුවූ චෝදනා හා ඒ නිසා මතුවූ ජනතා විරෝධතා හමුවේ රයිසි හා ඉරාන පාලනය හැසිරුණු ආකාරය ඊට කදිම උදාහරණයකි.
ජනතා උද්ඝෝෂණ මඳක් අඩුවෙන්නට, රයිසි පාලනය ඒවා මැඬලීමට ක්‍රියා කළේ ඉරානය ඉන් පෙරද එවැනි අවස්ථා මෙහෙයවූ ආකාරයෙනි. මේ නිසා ඇතැම් ඉරාන වැසියන් රයිසිගේ මරණය ගැන ප්‍රීති උත්සව පැවැත්වූ බවට සමාජ මාධ්‍ය හා බටහිර මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා හුදෙක් ප්‍රලාප නොවිය හැක. රයිසි භූමිකාව එතරම්ම සංකීර්ණ වූවකි. රයිසිගේ අභාවය ඉරාන දේශපාලනයට විශාල රික්තකයක් වන්නේ එබැවිනි. ඉරාන ප්‍රතිපත්තිමය රාමුව තුළ එම හානිය අවම කරගත්තද, දිගුකාලීනව රයිසි වැනි නායකයන් අහිමි වීම එරට ඉස්ලාමීය පාලනයට අභියෝගයකි. ඒ මන්ද, ඉරානය 1979 ෂියා මුස්ලිම් ඉස්ලාමීය පාලන රටාව වැලඳගෙන, ඉස්ලාමීය සංකල්ප, ඇඳුම් පැලඳුම්, කාන්තා චර්යා හා සමාජමය ගති සිරිත්වලට යොමු වුවද, ඉන් පෙර පැවති ෂා රාජ පාලන සමයේ අතිශයින් බටහිරකරණයට ලක්වූ රටකි. පැරණි ලිබරල් මත දැරූවන් බොහොමයක් මේ ෙවනවිට සිටින්නේ විදෙස්ගතව හා එලොව ගොස් නිසා, පැරණි ලිබරල්වාදී ක්‍රියාකාරකම් සඳහා වර්තමානය සාර භූමියක් නොවූවද එහි බීජ වරින්වර අංකුරලන අතර, රයිසි වැනි උයන්පල්ලන්ගේ කාර්යභාරය එම අංකුර මුලිනුපුටා දැමීමයි. රයිසි තම දේශපාලනික ජීවිතය තුළ එම භූමිකාව හොඳින් ඉටුකර ඇති බව යම් ආකාරයකින් තහවුරු වන්නේ ඔහු ලබා ඇති ගරු නම්බු නිසාවෙනි. එහෙත් රයිසි එය ඉටුකර ඇත්තේ ඉරාන ඉස්ලාමීය පාලනය පවත්වාගැනීමට මිස පෞද්ගලික කෝන්තර නිසා නොවන බවද සත්‍යයකි.
ජනතා බුහුමන් මැද අවසන් ගමනේ
හෙලිකොප්ටර් කතා බහ
රයිසිගේ අභාවය හා ඊට මුල් වූ හෙලිකොප්ටර අනතුර ඉරානයේ දුර්වල පැති ගණනාවක් ලෝකය හමුවේ එළිදැක්වූ අවස්ථාවක් ලෙසද පෙන්වා දිය හැක. ප්‍රථමයෙන්, ඔහු වසර 40ක් පැරණි ඇමෙරිකානු හෙලිකොප්ටරයක ගමන් කළේ ඇයි ? ඉරාන අභ්‍යන්තර ආරංචි අනුව ඉරානය, සම්බාධක නිසා ඇතැම් යටිතල පහසුකම් ඉතා අවදානම් සහිත තත්ත්වයක පවතින බව තහවුරු වෙයි. රාජ්‍ය ප්‍රධානීන්ගේ පරිහරණයට ඇති හෙලිකොප්ටරද ඊට අයත් බව කියනු ලැබේ. ඇමෙරිකානු සම්බාධක රයිසිගේ මරණයට වගකිවයුතු බවට ඉරාන රජය සහ රුසියාව ප්‍රකාශ නිකුත් කළේ මේ නිසාවෙනි. කෙසේ වෙතත්, ඉරාන පාර්ශ්වයෙන් සිදුකෙරුණු මේ හෙලිකොප්ටර චාරිකාව ගැන නොවිසඳුණු ගැටලු රැසක් පවතී. අයහපත් කාලගුණය තුළ පියාසර කිරීමට අපොහොසත් බෙල් 212 යානයක් මේ චාරිකාවට යොදා ගැනීම හා දැඩි මීදුම මධ්‍යයේ එම යානය පියාසර කරවීමට නියමුවා උත්සුක වීම හා ආරක්ෂක බලධාරීන් ඊට අනුමැතිය දීම එක් කරුණකි. පරිවාර හෙලිකොප්ටර දෙක එම අයහපත් කාලගුණය මධ්‍යයේම නිරුපද්‍රිතව පියාසර කිරීම තවත් කරුණකි. එම යානය අනතුරට පත් ස්ථානය සොයාගැනීමට ඉරාන පාර්ශ්වයට නොහැකි වීම හා තුර්කි ඩ්‍රෝන යානයක් එය සොයාගැනීම ඉරානයේ වැඩිපුර කතාබහට ලක්වන තාක්ෂණික දියුණුව හා ඩ්‍රෝන තාක්ෂණය වැනි සංකල්පවලට අභියෝග කරයි. මේ අවස්ථාවේ ඉරානය තමන්ගෙන් උපකාර ඉල්ලා සිටි බව ඇමෙරිකාව කියයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉරානය අපේක්ෂා කළ උදව් ඒ අවස්ථාවේ තමන්ට දීමට නොහැකි වූ බවයි. මෙයද ඉරානයේ ප්‍රතිරූපයට එල්ල වන අභියෝගයකි.
කමෙයිනි පුත්‍ර භූමිකාව
රයිසිගේ හෙලිකොප්ටර අනතුර අභ්‍යන්තර කුමන්ත්‍රණයක් බවට හැඟෙන වාර්තා බටහිර මාධ්‍ය ඔස්සේ එළිදකින්නේ ඉහත සාධක පදනම් කරගනිමිනි. ඊළඟට ආධ්‍යාත්මික නායකයා වීමට සිටි රයිසි මකා දමා, අයතොල්ලා ෙකාමෙයිනි තම දෙවැනි පුත්‍රයා වන මොජ්තබා ෙකාමෙයිනි එම පදවිය දක්වා ගෙනඒමට දරන උත්සාහයේ එක් වැදගත් පියවරක් ලෙස මෙය බටහිර මාධ්‍ය හුවා දක්වයි. මෙවැනි වාර්තා, අන්තර්ජාලයට පිවිසුන හොත් ඔබට දැකගත හැක. මොජ්තබා ෙකාමෙයිනිගේ බලය මෑතකාලීනව ඉහළ ගොස් ඇති අතර, ඔහු හා ඉරානයේ තීරණාත්මක ජනරජ බලකාය අතර සබඳතා ශක්තිමත් වීමද පිළිගත් සත්‍යයකි. එහෙත් ඉරාන දේශපාලනික ආරංචි මාර්ග පවසන්නේ මොජ්තබා තවමත් ප්‍රබල චරිතයක් ලෙස සැලකිය නොහැකි බවයි. කෙසේ වෙතත්, කමෙයිනි දැන්ම ඉවත්වෙන ලකුණු නැති නිසා තත්ත්වය විවෘත ලෙස සැලකිය හැක. ‘‘Truth is out there’’
රයිසි හා ඊශ්‍රායලය
රයිසි අවසන් ගමන් ගියත් ඔහුගේ පාලන කාලය තුළ සුවිශේෂී තත්ත්වය වන්නේ ඊශ්‍රායලයට දැනෙන අභියෝගයක් කිරීමට ඉරානය සමත්වීම යන සාධකයයි. මැදපෙරදිග කලාපයේ හිස්බුල්ලා, හමාස්, හෞති, ජිහාඩ් හා ෂියා සන්නද්ධ කල්ලි ශක්තිමත් කරමින් හා එම කලාපය තුළ විකල්ප බලවේගය ලෙස නැගී සිටිමින් ඉදිරියට එන ඉරානයේ මූලික අපේක්ෂාව, ඊශ්‍රායලය දුර්වල කොට පලස්තීන පාර්ශ්වය ශක්තිමත් කරමින් මැදපෙරදිග අරාබි හා සෙසු ගෝලීය ඉස්ලාමීය ප්‍රජාව අතර සූරයා වීමයි. සුන්නි මුස්ලිම් බලවේගයේ අවධානය තමන් වෙත යොමුවන ආකාරයෙන් පලස්තීන ප්‍රශ්නය කරළියට ගෙන ඒමට ඉරානය සමත්ව තිබේ. ඒ රයිසි පාලනය යටතේය. ඊට හොඳම උදාහරණය ඔක්තෝබර 7 වැනිදා හමාස් කල්ලිය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයයි. එවැනි අතිසූක්ෂ්ම හා බිහිසුණු ප්‍රහාරයක් සැලසුම් කිරීමට හමාස් කල්ලියට තනිව හැකියාවක් තිබේද යන්න අන්තර්ජාතික ආරක්ෂක විශේෂඥයන් මතුකරන ප්‍රශ්නයකි. එහිදී, හමාස්ලාගේ ‘ගෝඩ්ෆාදර්’ ඉරානය බව ප්‍රකට කරුණකි. ඉරාන සහාය මීට ලැබුණු ප්‍රමාණය කොතෙක්ද යන්න ගැන ගැටලුවක් තිබුණද, වර්තමානයේ ඊශ්‍රායලය හිරවී ඇති රාජ්‍ය තාන්ත්‍රික උගුල දෙස බලන කළ එය ඉතා සැලසුම් සහගත ක්‍රියාවක් පමණක් බව කිව හැක. දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර් යුදෙව්වන් ඝාතනය කළාට පසු, දිනකදී වැඩිම යුදෙව්වන් පිරිසක් ඝාතනය කළේ ඔක්තෝබර් 7 වෙනිදා හමාස් කල්ලියයි. එපමණක් නොව, තම කුරිරු බව ලොවට පෙන්වමින් ප්‍රසිද්ධියේ යුදෙව් කාන්තාවන්ට අතවර කිරීම, මහල්ලන් හා රෝගීන් මෙන්ම දරුවන්ද ඝාතනය කිරීම, කිරිදරුවන් සහ මව්වරුන් පවා ප්‍රාණ ඇපයට ගැනීම වැනි අතිශය තිරශ්චීන ක්‍රියා සමුදායක් ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය තුළ අන්තර්ගත විය. ඒ ඊශ්‍රායල් ප්‍රතික්‍රියාව අතිශය කුරිරු වන බව අපේක්ෂා කරමින් යැයි උපකල්පනය කළ හැක.
අපේක්ෂා කළ පරිදිම, ඊශ්‍රායලය වළං කඩේට පැන්න ගවයා මෙන් ගාසා තීරයට පහරදී පලස්තීනුවන් 35000ක් මරා දැමීය. හමාස්වරුද අනේ අපොයි කියමින් ලේ පෙරෙන දරුවන්ගේ දසුන් ලොව පුරා විකාශය කිරීමට උත්සුක වූවා මිස, ප්‍රහාරයට ලක්වෙන සාමාන්‍ය පලස්තීනුවන් බේරාගැනීමට අඩු තරමින් තම උමං බංකර් පද්ධතියේ ආධාරය හෝ දුන් බවට එකදු වාර්තාවක්වත් අප දැක නැත. අද වනවිට හමාස්, ඊශ්‍රායලයට ගසා යුදෙව් සාමාන්‍ය වැසියන් 1400 අධික ගණනක් මරාදැමූ බව කවුරුත් කතා නොකරති. ඒ ඊශ්‍රායලය ගාසා තීරයට පහර දී ලෝකයාගේ ඇස් හමුවේ ඊට වඩා වැඩි විනාශයක් සිදු කිරීම නිසාය. අද සම්පූර්ණ වැරදිකරුවා ලෙස දැක්වෙන්නේ ඊශ්‍රායලයයි. ඔවුන්ගේ යුද ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් ලෙස එය තහවුරු වෙයි. ඇමෙරිකාවට පවා අද කෙළින් ඊශ්‍රායලයට සහාය දැක්වීමට නොහැකිව සිටී. අන්තර්ජාතික වේදිකාවලදී ඇමෙරිකාව දැඩි දෝෂදර්ශනයට ලක්වෙයි. මේ ප්‍රශ්නය නිසා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ජන්ද පදනම පවා දෙදරා යන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඇමෙරිකානු දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි. ඊශ්‍රායලය වැලඳගෙන සිටි බටහිර යුරෝපා රටවල් අද පලස්තීන රාජ්‍යය පිළිගනී. ඊශ්‍රායල් අගමැතිවරයා අද අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවේ වරෙන්තු ලබන තත්ත්වයට පත්ව ඇත. හමාස් නායකයන් කොහොමත් ත්‍රස්තවාදී වරෙන්තු මත සිටින නිසා ඔවුනට එය ප්‍රශ්නයක් නැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ඍජුවම ඊශ්‍රායලයට එරෙහිව සිටී. ඇමෙරිකාවේ හා බටහිර යුරෝපයේ සරසවි සිසුහු ජාති ආගම් බේදයකින් තොරව පලස්තීනයට සහාය පළකරමින් ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ පවත්වති. ඊශ්‍රායලය සමග සබඳතා පැවැත්වූ අරාබි රටවල් දැන් එරටින් ඈත්ව සිටී. ඒ වෙනුවට සවුදි අරාබිය වැනි මැදපෙරදිග දැවැන්තයන් තම සාම්ප්‍රදායික පසමිතුරා වන ඉරානය කෙරෙහි යම් අවධානයක් යොමු කරන ලකුණු පෙනේ. ජනපති රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වූ විට එය සෙවීම සඳහා සවුදි අරාබිය ඉරානයට සහාය පළකිරීමත්, සවුදි රජු හා ඔටුන්න හිමි කුමරු ඉරාන නායකයාගේ අභාවය ගැන ශෝක පණිවුඩ යැවීමත් ඊට කදිම උදාහරණයි. මේ සියල්ල බලන කල, ඊශ්‍රායලය අද අන්තර්ජාතික උගුලකට කොටුවෙන බවක් පෙනී යන අතර ඉරානය මෙතෙක් නොලැබූ සාධනීය ප්‍රතිචාර ලබමින් සිටී. ජනාධිපතිවරයා ලෙස රයිසි මේ ගෞරවයට අයිතිවාසිකම් කියයි.
රයිසි මැරුවේ මොසාඩ්ද
මෙය නිරන්තරයෙන් නැගෙන ප්‍රශ්නයකි. අනතුර පිළිබඳ ගැටලු ඇතත් මෙය ඊශ්‍රායල් ඔත්තු සේවය වන මොසාඩ් හි ක්‍රියාකාරකමක් බවට මේ දක්වා සාධක පෙන්නුම් නොකරයි. ඉරානය තුළ මොසාඩ් හොඳින් සක්‍රීය බව තහවුරු වන්නේ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයන් මරා දැමූ අධිතාක්ෂණික ක්‍රමවේද පදනම් කරගනිමිනි. එහෙන් රයිසිට දිවි අහිමි කළ අනතුර ගැන නිශ්චිත තීරණයක් දිය නොහැකි බව ඉරාන රජය පවසා ඇති අතර විධිමත් පරීක්ෂණයක් කැඳවා ඇත. හේතු කිසිදා හෙළි නොවීමටද ඉඩ ඇත.
ඊබ්‍රාහිම් රයිසි අතිශය තීරණාත්මක හා මතබේදාත්මක ගෝලීය භූමිකාවක් ඉටුකොට දිවියෙන් සමුගෙන තිබේ. ඊළඟ ප්‍රශ්නය වන්නේ ඉරානයේ අනාගත නායකයා කවරෙකු වුවත් ඔහු ගෝලීය හා දේශීය අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.