රාජපක්ෂ පවුලට අවස්ථාව ලැබුණොත් ඒ අවස්ථාව කාට ද කියා අපි තීන්දුවකට ආවා


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ

ජනාධිපතිධුර අපේක්ෂකයා ගැන බැසිල් කෙළින් කතා කරයි

මහින්ද රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ප්‍රකාශයට පත් වී තිබේ. මෙතරම් හදිසියේ අපේක්ෂකයා නම් කිරීමට හේතු වූයේ ඇයි? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් ​රෝහණ රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.

• පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ස්ථීර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ?   


එහෙමම කියන්න බෑ එක පාරටම. අපේ ජනාධිපති අපේක්ෂකයා තේරිය යුත්තේ අපේ පක්ෂයෙන්. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැස්වෙච්ච වෙලාවක අපේ පක්ෂයෙන් යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව.   


• නමුත් මහින්ද රාජපක්ෂට ඉල්ලන්න බැහැ?   


ඔව්. එතුමාට ඉල්ලන්න බැරි නිසා ඒ සඳහා සුදුස්සා නම් කිරීමේ අයිතිය එතුමාට දීලා තියෙනවා. එතුමා සුදුසු අපේක්ෂකයා නම් කළාට පස්සේ ඒ නාම යෝජනාව අපේ පක්ෂයේ සම්මේලනයට ද‌ාලා සාමාජිකත්වයේ අනුමැතිය ගත යුතුයි.   


• පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා රාජපක්ෂ සහෝදරවරු රැස්වෙලා ගෝඨාභය රාජපක්ෂගේ නම ස්ථීර කරගත්තා කියලා?   


ඇත්තටම මතවාදයක් ගියා රාජපක්ෂ සහෝදරයන් අතර අපේක්ෂකයා පිළිබඳ විවිධ මත තියෙනවා කියලා. එහෙම කතාවක් නිතර නිතර කියැවෙන කොට ඒ සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි පවුලේ පිරිස හමුවෙච්ච වෙලාවක අපි කතා කරලා පැහැදිලි කර ගත්තා රාජපක්ෂ කෙනෙකුට යම් අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව දිය යුත්තේ කාටද කියන එක මතයකට ආවා.   


• ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ?   


ඔව් ඇත්තටම. එතුමා තමයි කැමති වුණේ ඉදිරිපත් වෙන්න.   


• ඔබ ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය දෙනවට විරුද්ධ මතයක හිටියා.   


ඇත්තටම ඒ වැරදි මතය නිසා තමයි අපි ඒ විදියට හමුවෙලා ඒ තීරණය ගත්තේ.   


• ඔබත් අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් හිටියා?   


ඇත්තටම නැහැ. ඒකට පෞද්ගලික කාරණාත් තියෙනවා. දේශපාලන කාරණාත් තියෙනවා. ඊටත් අමතරව මට හිතෙනවා මට වඩා සුදුස්සෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ. ඒ මම හිතන විදිය.   


• නමුත් සමහරු කියනවා මහින්ද කඳවුරේ වැඩකාරයා හා මොළකාරයා බැසිල් රාජපක්ෂ ඔහු තමයි සුදුසු කියලා? 

 
සමහරු එහෙම කිව්වට මම ඒක පිළිගන්නේ නෑ.   


• පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නිල සාකච්ඡාවක් ඇරැඹිලා තියෙනවා. ඒ සාකච්ඡාවේ ප්‍රගතිය?   


ඒ සාකච්ඡා වටයෙන් සාකච්ඡා වට දෙකයි පැවැත්වූවේ. ඒ කමිටුවේ අදහස් එනකම් අපි විවෘත මනසකින් ඉන්නවා. 

 
• ජනාධිපති මෛත්‍රි පසුගිය ජනාධිපතිවරණයේදී කිව්වේ ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා ගෙදර යනවා’ කියලා. මොකක් වෙයිද? 

 
ඒක ඇත්තටම එතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්.   


• නමුත් ඔබලා තීරණයක් ගන්නකොට ඒ තත්ත්වයත් සැලකිල්ලට ගත යුතුයි?   


ඔව්. නමුත් එතුමා නිහඬයිනේ. ඒ සමහර විට එතුමා මුල් මතයෙම ඉන්න නිසා වෙන්නැති.   


• ජනාධිපති මෛත්‍රි තීරණය කළොත් ඉදිරිපත් වෙන්න?

   
එහෙම වුණොත් එතුමා ජනතාවට දීපු තවත් එක් පොරොන්දුවක් කඩ කළා වෙනවනේ.   


• ඔබ කලින්ම කිව්වා ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන් කියලා. ඇයි ඉක්මන් වුණේ?    


මෙහෙමනේ. අපේක්ෂකයෙක් පැමිණිය යුත්තේ බලවේගයක් හරහනේ. අපේ පක්ෂය තමයි අද ලංකාවේ තියෙන ප්‍රබලතම දේශපාලන පකෂය. ඒ වගේම අංක එකේ පක්ෂය. ඉතින් අංක එකේ පක්ෂය හැටියට එහෙම කියන්න අපට අයිතියක් තියෙනවා.   


• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මහ ලේකම් මන්ත්‍රී දයාසිරි ජයසේකර කිව්වා ‘අපේ පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියලා. දැන් කියනවා තාම අපේක්ෂකයා තීරණය කරලා නෑ කියලා. මෙයින් කුමක් ඇත්ත විය හැකි ද?   


එතැන මම හිතන්නේ ඔහු ඉතාම සාධාරණ ප්‍රකාශයක් කළේ. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තේරුවත් ඔහු සන්ධානයක් හැදුවොත් ඔහුට අපේක්ෂකයා තෝරන්න බැහැ. ඒක වෙන්නැති ඔය කියන්න ඇත්තේ. අපි එහෙම හිතමු.   


• එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහත් කෙළින්ම කිව්වා ‘අපේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රි’ කියලා.   


මම අගය කරන එකක් තමයි තමන් අපේක්ෂකයකු නම් ඔහු මුලින් රටට කිව යුතුයි මම තමයි අපේක්ෂකයා කියලා. එතකොට ඒ පක්ෂවලට වගේම ජනතාවට කාලයක් තියෙනවා ඔහු සුදුසු ද නැද්ද කියලා තීරණය කරන්න. මෙතැනදී ඔබම කියනවා ‘මම ආපහු එන්නේ නෑ. මේ පාර විතරයි එන්නේ’ කියලා. කියපු කෙනා ඉදිරිපත් වෙනව ද නැද්ද කියලා. ඒ වගේ සැකයක් තියෙන කෙනෙක් අපේක්ෂකයෙක් හැටියට නම් කරන්නේ කොහොමද? අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරයි ‘මම ඉදිරිපත් වෙන්න සූද‌ානම්’ කියලා කියල තියෙන්නේ. ඒක මම අගය කරන හොඳ ලක්ෂණයක්. එතකොට ඔහු ගැන අපේ පාක්ෂිකයන්ට අනික් අයට ජනතාවට සිවිල් සමාජයට හැදෑරීමක් කරන්න පුළුවන්.   


• මම ඔබෙන් නැවතත් අහනවා යම් හෙයකින් ජනාධිපති මෛත්‍රි ඉදිරිපත් වුණොත්?   


ඒක ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක්.   


• නමුත් ඔහු ඉදිරිපත් වුණොත් ගෝඨාභයට අවාසියි. ඔබේ ඡන්ද දෙකට කැඩෙනවා?   


ඔය තර්කය පළාත් පාලන ඡන්දෙදිත් කිව්වා. එකම ඡන්ද දෙකට කැඩෙනවා කියලා. මම නම් හිතන්නේ නැහැ. ඔය ගැන විවිධ මත තියෙනවා. එහෙම වෙන එකක් නෑ කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. 

 
• එහෙම වෙන්නේ නෑ කියලා කිව්වේ?   


එහෙම වෙන්නේ නැහැ කියලා කිව්වේ ඒ විදියට දෙන්නෙක් තරග කරන එකක් නෑ කියලයි?   


• ජනාධිපති මෛත්‍රිට පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. මේ ඡන්ද ලක්ෂ 15 තීරණාත්මක නැද්ද?   


දැන් එයා හැට දෙලක්ෂයක් ගත්තනේ ජනාධිපතිවරණයේදී. එතකොට ඒකනේ ඡන්ද ලක්ෂ 15 කට වැටුණේ. දැන් එතැනින් කොච්චර පල්ලෙහාට ඇවිල්ල ද කියන්න දන්නේ නෑ. ඒවා ජනතාවගේ තීන්දු. ඒ නිසා පූර්ව මැතිවරණ ප්‍රතිඵලයක් අරගෙන දැන් තීන්දු තීරණ ගන්නවා නම් ඒත් ඒවා එහෙමම වෙන්නේ නැහැ.   


• ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා තීන්දු කරන්න පෙර හෝ පසු ජනාධිපති මෛත්‍රි එක්ක සාකච්ඡාවක් කළා ද?   


මම නම් සාකච්ඡා කළේ නැහැ. 

 

  • ජනපති මෛත්‍රි ඉදිරිපත් වෙන්න තීන්දු කළොත් එතුමා ජනතාවට දීපු තවත් එක් පොරොන්දුවක් කඩ කළා වෙනවා'
  • අපි සුළු ජාතිකයන් ළඟට යා යුතුයි
  • ඡන්ද කැඩෙන්න දෙන්නෙක් තරග කරන එකක් නෑ

 


• එතකොට මහින්ද රාජපක්ෂ?  


ඒ පිළිබඳව මම ඇත්තටම දන්නේ නෑ.  


• ඔක්තෝබර් 26 වැනිද‌ා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමේදී ජනාධිපති මෛත්‍රි ළඟ ජනාධිපති අපේක්ෂත්වය පිළිබඳ හැඟීමක් තිබුණා.  


එහෙම මතයක් සමාජයේ තියෙන්න ඇති. මම අවංක වෙන්න ඕන. ඇත්තටම මම සාකච්ඡා වට දෙකකටයි සම්බන්ධ වුණේ. ඒ සාකච්ඡා වට දෙකේදි එහෙම අදහසක් ආවෙම නැහැ.  


• ජනාධිපතිවරණ ඉතිහාසය ගත්තොත් සුළු ජාතික ඡන්ද තීරණාත්මකයි. ඒ ඡන්ද දිනා ගැනීමේ ක්‍රියාන්විතයක් තියෙනවද?  


ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විතරක් නොවෙයි අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කඳවුරටම පොහොට්ටුවටම සුළු ජාතික ඡන්දවලින් ලැබිය යුතු ප්‍රතිශතය ලැබිලා නැහැ. ඒක නිසා අපි ඔවුන් ළඟට යා යුතුයි. ඔවුන්ගේ හදවත් අඳුරගෙන ඔවුන් සමග සංවාද‌ාත්මක විය යුතුයි.  


• තමන්ට සාධාරණය ඉටුවුණේ නෑ කියලා උතුරේ ජනතාව කියනවා. ඔවුන්ට සාධාරණය ඉටුකරන්න ඔබලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද?  


ඒකත් අපි බලාපොරොත්තු වුණා සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ වෙනුවෙන් යම් යම් දේවල් කළා. නමුත් ඒ ජනතාව ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා අපි තීන්දු කරපු එක වැරැදියි. ඒකත් ඔවුන්ගෙන්ම අහලා ක්‍රියාත්මක කළ යුතුයි.  


• ඇයි උතුරේ ජනතාව ඔබලා ප්‍රතික්ෂේප කළේ?  


උතුර ගත්තොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙදි තරම් සංවර්ධනයක් පසුගිය නිදහසෙන් පස්සේම සිදුවුණේ නැහැ. පළමුවැනිම දේ තමයි එහෙ තමන්ගේ කරේ සයනයිඩ් කරල එල්ලගෙන පි​ටේ ටී පනස්හය එල්ලගෙන හිටපු දරුවන්ට ළමා සොල්ද‌ාදුවන්ට නැවත අර සයනයිඩ් කරල වීසි කරලා පොත් බෑගය අරගෙන ස්කෝලෙ යන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අද උතුරේ කිසිම තැනක මාර්ග බාධකයක් නැහැ. මාළු අල්ලන අයට එද‌ා අශ්වබල 10 ට වැඩි යාත්‍රාවලින් මුහුදු යන්න බෑ. ගොවි කර්මාන්තයට අවශ්‍ය වතුර පොම්පයට අවශ්‍ය භූමි තෙල් ටික ඩීසල් ටික අද ගන්න පුළුවන්. කුප්පි ලාම්පුවෙන් නොවෙයි අද විදුලි බුබුළෙන් අධ්‍යාපනය ලබනවා. ස්කෝල සියල්ල විවෘත වෙලා. රෝහල් සියල්ල විවෘත වෙලා. ගොවිජන සේවා කාර්යාල ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවල තියෙන සෑම රජයේ කාර්යාලයක්ම අපි විවෘත කළා. උතුරට සමෘද්ධිය දීලා තිබුණේ නෑ. අපි ඒක නැවත ලබා දුන්නා. ඒ ඔක්කොටම වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය. පළාත් පාලන ආයතන පළාත් සභාව සමුපකාර ජනතාවට වඩාත් කිට්ටු සියලු ආයතන යළිත් ක්‍රියාත්මක වුණා. ඒ තත්ත්වය ඇති වුණේ මහින්ද රාජපක්ෂ යුගයෙදි. යාල්දේවි දුම්රිය නැවත යාපනයට ගියා. ඒ වගේම සියලු මාර්ග විවෘත කළා විතරක් නොවෙයි ඉතාම නවීන ක්‍රමයට හැදුවා. වාරිමාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කළා. ඉරණමඩු ජලාශයත් ප්‍රතිසංස්කරණය කළා. ඒ වගේම ඔවුන්ගේ ජීවනෝපායට අවශ්‍ය සියලුම දේවල් දුන්නා. බිම් බෝම්බ අතුරපු භූමිය ගොවිබිම් බවට පත් කළා.  


• මගේ ප්‍රශ්නය එහෙම කරලත් ඒ ජනතාව ඔබලා ප්‍රතික්ෂේප කළේ ඇයි කියලයි?  


ඒවා කළාට.... ඒවා අපි හිතාගත්ත දේවල්. අපි හිතුවා මේ අයට අවශ්‍ය මේවා කියලයි. නමුත් ඒක ඔවුන් තේරුම් ගත්තේ වැරැදි විදියට. යාල්දේවි දුම්රිය යාපනයට එන්නේ සොල්ද‌ාදුවෝ ගේන්න කියලා ඔවුන්ට කිව්වා. අලිමංකඩ පාලම හදලා සංගුපිටිය පාලම හදලා මාර්ග නවීකරණය කළේ යුද ටැංකි අරගෙන එන්න කියලා කිව්වා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උතුරේ තිබුණා.  


• ඒ ජනතාවට අවශ්‍යයි තමන්ගේ දරුවට, ඥ‌ාතියාට මොකද වුණේ කියලා දැනගන්න.මේ ආණ්ඩුව එ්කට වැඩපිළිවෙළක් හදනකොටත් මහින්ද කඳවුර ඒකටත් විරුද්ධයි?  


ඇත්ත වශයෙන්ම එහෙම විරුද්ධ වීම සම්බන්ධයෙන් මට මගේ මතයක් තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයවත් මේ ආණ්ඩුවවත් හරි දේ කරන්නේ නැහැ. උද‌ාහරණයක් වශයෙන් අතුරුදන් වූවන්ට වන්දි දෙනවා කියනවා. නමුත් එක කෙනෙකුට වන්දි ගෙවලා තියෙනවද? එහෙම ගෙවපු කෙනෙක් ඉන්නවද? හැබැයි දේශපාලන වීඩියෝ පට හදන්න. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී ප්‍රයෝජන ගන්න හදපු වීඩියෝ පටවලට මිලියන ගණන් වියදම් කරලා තියෙනවා. හැබැයි අර අහිංසක පවුල්වලට වන්දි ගෙවලා නෑ. මම නම් කිව්වේ කාටවත්ම වන්දි ගෙවලා නැහැ කියලා. හැබැයි කාර්යාල ද‌ාලා නිල වාහන අරගෙන මිලියන ගණන් එ්වට වියදම් කරනවා. එක වීඩියෝ එකක් හදලා තියෙනවා සුදුවෑන් පිළිබඳව. ඒ විදියේ වීඩියෝ පට පහක් මේ වෙනකොට හදා කෝටි ගාණක් වියදම් කරනවා. දේශපාලන කාර්යයක් එතැන කරන්නේ. මට නම් විරුද්ධ ඒකට. යම් කෙනෙකුට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඔහුට සාධාරණය ඉටුවිය යුතුයි. ඒ වගේම මම කියනවා අපේ පැත්තෙන් නම් අසාධාරණයක් වුණේ නෑ කියලා.  


• පැහැරගෙන යාම්, අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ඔබේ රජයට උතුරෙන් බරපතළ චෝදනා එල්ල වුණා?  


ඇත්තටම ළමයින් පැහැරගෙන ගියෙ එල්ටීටීඊ එකෙන්. ගෙවල්වලට ගියාම ඒ ළමයින්ගේ පින්තූර තියෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න ඉන්නකොට එල්ටීටීඊ එකෙන් අරන් ගියා කියනවා. සමහරු සාමාන්‍ය පෙළ කරලා ඉන්නකොට පැහැරගෙන ගිහින් තියෙනවා. එල්ටීටීඊ එකෙන් පැහැර ගෙන ගියේ. හැබැයි ඉල්ලන්නේ අපෙන්. මම උතුරේ ගිය එක වෙලාවක වයසක අම්මා කෙනෙක් කෑ ගහගෙන මගේ ඉස්සරහට එන්න හදනවා. මගේ ආරක්ෂක නිලධාරීන් ඒ අම්මව නැවැත්තුවම මම එන්න දෙන්න කියලා කිව්වා. ඒ අම්මගෙ අතේ කොළයක් තිබුණා. ඒක මට දීලා කියනවා එයාගේ රත්තරන් බඩු ටික දෙන්න කියලා. මම ඒ රිසිට් එක ගත්තා. ඒක තිබුණේ දෙමළෙන්. කොටි ලාංඡනයත් තිබුණා. මගේ දෙමළ නිලධාරියෙකුගෙන් මම ඇහුවා ‘මේකෙ මොකක්ද ලියලා තියෙන්නේ’ කියලා. ඒ නිලධාරියා කිව්වා ‘මේක ඊළාම් බැංකුවෙන් දීපු රිසිට් එකක් කියලා. ඒ අම්මා ඊළාම් බැංකුවට ගිහින් රත්තරන් බඩු උගස් තියලා. හැබැයි ඒ රත්තරන් බඩු ටික ඉල්ලන්නේ අපෙන්.  


• ඔබ මොකද කිව්වේ?  


මම කිව්වා ‘එල්ටීටීඊ එකත් එක්ක මගේ සම්බන්ධයක් නෑ. ඒ ගොල්ලත් එක්ක සම්බන්ධයක් තියෙන සම්බන්ධන් මහත්තයා ඉන්නවා. එයාගෙන් ඉල්ල ගන්න කියලා. මේ ජනතාව සාධාරණය ඉල්ලන්නේ ආණ්ඩුවෙන්.  


• ඇත්තෙන්ම ඔය වගේ ප්‍රශ්නවලට ආණ්ඩුවකට උත්තර තියෙනවද?  


ආණ්ඩුවක් වුණාම සමස්ත ජනතාවගේම ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. එහෙම නැත්නම් ඒක යුක්ති ධර්මයට ගැළපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ හොඳ මිනිසුන්ට විතරක් නොවෙයිනේ ධර්මය දේශනා කළේ. අංගුලිමාල වගේ අයටත් ධර්මය දේශනා කළා. අපි ආණ්ඩුවක් හැටියට සියලු දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කළේ ඒ විදියට තමයි. නමුත් යම් යම් අඩුපාඩු තිබුණා. මම කියන්නේ ඊළඟ රාජ්‍ය නායකයා වැඩි දෙනාටම නොවෙයි සියලු දෙනාට සේවය කරන යුක්තිය ඉටු කරන කෙනෙක් විය යුතුයි. අපේ අපේක්ෂකයා නියත වශයෙන්ම එහෙම කෙනෙක්.  


• ඔබ එහෙම කිව්වත් ඔබේම කඳවුරේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියනවා ‘අපට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජාතික ඇඳුම අඳින නායකයෙක්’ කියලා.?  


ඇඳුම ගැන නම් මම දන්නේ නෑ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තමයි එන්නේ ස්ථීරවම.  


• විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ගෝඨාභය වෙනුවට මෛත්‍රිපාල අවශ්‍යයි කියන මතයේ ඉන්න බවට රාවයක් යනවා?  


ඒක රාවයක් පමණයි. එහෙම නැතිව කිසිම ඇත්තක් නෑ.  


• ඒ රාවය පිටිපස්සේ ඉන්නේ ඔබ?  


එහෙම අහන්​නේ ඇයි කියලයි මම මේ කල්පනා කරන්නේ. එහෙම කිසිම දෙයක් නෑ. විමල් මන්ත්‍රීතුමා හා උදය මන්ත්‍රීතුමා තමයි මුලින්ම රටට කිව්වෙත් අපට ගෝඨාභය අවශ්‍යයි කියලා. එතුමන්ලා දෙන්නම දේශපාලනඥයෝ. පක්ෂ නායකයෝ. පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියන එක පොහොට්ටුවටත් කලින් වගේම රාජපක්ෂ පවුලටත් කලින් රටට කිව්වේ ඒ නායකයන් දෙන්නා. ඒ නිසා ඔබ ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නෑ. විවිධ මත තියෙනවා. ඒවා ප්‍රකාශ වෙනවා. නමුත් අවසානයේ අපේ එකම ධජය අරගෙන සටන් බිමේ ඉන්නවා. එහෙම තමයි දේශපාලකයා.  


• ඔබ හිතනවද මේ ජනාධිපතිවරණ සටන පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා?  


ස්ථීවරම අපි ජයගන්නවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ජයගත යුත්තේ රට වෙනුවෙන්. ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් තමයි මේ පාලනය පෙරළා දැමිය යුත්තේ. ජනතාව හා රට වෙනුවෙන් නව වැඩපිළිවෙළක් නව ඇරැඹුමක් අවශ්‍යයි. අලුතෙන් හිතලා වැඩි දෙනාට නොව සියලු දෙනාට වැඩකරන රජයක් පිහිටුවා ගත යුතුයි.  


• ඔබේ ප්‍රතිවාදියා කවුරු කියලද ඔබ අනුමාන කරන්නේ?  


ප්‍රතිවාදියා ගැන මත කිහිපයක් තියෙනවා. අපට වැරදිච්ච තැනක් තමයි 2015. එතැනදි අපි හිතපු නැති අපේක්ෂකයෙක් තමයි ආවේ. අපි හිතුවේ නෑ එහෙම අපේක්ෂකයෙක්. දැනට අපේ ප්‍රතිවාදියා සම්බන්ධයෙන් කියැවෙන නම් කිහිපයක් තියෙනවා. ඒ නම්වලින් එකක් ඒවි.  


• ‘මෙන්න මෙයා ආවොත් නම් භයානකයි’ කියලා හිතෙන නමක් තියෙනවද?  


ඔය කියවෙන නම්වලින් එකක් නම් එන්නේ කියන්න දෙයක් නැහැ. ඒත් කියන්න බැහැනේ. ගියපාර වගේ මොකක් හරි වෙනසක් වුණොත්. කොහොම වුණත් අපි මේ පාර යන්නේ ආණ්ඩු විරෝධි ඡන්ද ගන්න පමණක් නොවෙයි. රටේ අනාගතය වෙනුවෙන් සැකසූ වැඩපිළිවෙළකට ප්‍රසාද ජනක ඡන්දත් බලාපොරොත්තුවෙන්. ඒ නිසා කවුරු ආවත් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ආසියාවේ චීන කොමියුනිස්ට් පක්ෂයට පස්සේ ඉතාම සංවිධානාත්මකම දේශපාලන පක්ෂය අපේ පක්ෂයයි. ඒ පක්ෂය ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරනවා. ඒක තමයි ඇත්තම තත්ත්වය.

 

 

 

සාකච්ඡා කළේ :
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්