|
මේ දිනවල බංග්ලාදේශයේ ඇවිළෙමින් තිබෙන දේශපාලන ගින්න අපට සිහිගන්වන්නේ 2022 දී ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන අරගලයයි. අගමැතිනි ෂෙයික් හසීනාගේ ඉවත් වීම හා රටින් පලායෑම ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉවත් වීම හා පලායෑම පිළිබඳ මතකය අවදි කරයි. සන්දර්භය අතින් යම් යම් වෙනස්කම් තිබුණද ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ජනතා නැගිටීම්වලින් කර ඇත්තේ පාලක ප්‍රභූ තන්ත්‍රය තියුණු අර්බුදයකට ලක් කිරීමකි. අරගලයෙන් පසු ශ්‍රී ලංකාවේ මැතිවරණයක් නොපැවැත්වූයෙන් වෙනස් වූ ජනමතය ගැන අපි තවම නොදනිමු. එහෙත් ෂෙයික් හසීනාගේ ඉවත් වීමෙන් පසු බංග්ලාදේශ පාර්ලිමේන්තුව ද විසුරුවා හැරිණි. මේ වෙනවිට අන්තර්වාර ආණ්ඩුවක්ද පිහිටුවා ඇත. සිදුවීම් පෙළගැසෙන්නේ කෙසේ දැයි තව දින කිහිපයකදී දැනගැනීමට හැකි වෙනු ඇත.
ශ්‍රී ලංකා හා බංග්ලාදේශ අරගල මාදිලීන් සන්සන්දනාත්මක සාකච්ඡාවකට හසු කරමින් අපි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග විවේචනාත්මක සාකච්ඡාවක නිරත වූයෙමු. මේ ජනතා නැගිටීම්වල ඉදිරි දිශානතියද සාකච්ඡාවට හසු කළෙමු. මේ
එහි සටහනයි.
බංග්ලාදේශයේ උද්ගතව ඇති තත්ත්වය හැඩයෙනුත්, ක්‍රියාකාරීත්වයෙනුත් ශ්‍රී ලංකාවේ 2022 ඇති වූ මහජන නැගිටීමට සමාන බවක් පෙනෙනවා. සිද්ධිමය වශයෙන් මේ දෙකෙහි මූලික වෙනස ඔබ කොහොමද හඳුනගන්නෙ?
දැන් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රකාශ වෙන මූලික අදහසක්නෙ එය ජනතාවගේ පාලන ක්‍රමයක් කියන එක. ජනතාව විසින් ජනතාව සඳහා ගෙන යන පාලනය කියලා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් කිව්වෙත් මේ නිසානෙ. ඒ අර්ථයෙන් ගත්තහම ජනතාවගේ මැදිහත්වීම නැත්නම් ජනතා නැගිටීම් කියන ඒවා මූලික දේවල්. නූතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එන්න කලින් ජනතා නැගිටීම් සුජාත දේවල් හැටියට පිළිගත්තෙ නෑ. ඒවා බොහෝවිට සැලකුවෙ අපරාධමය ක්‍රියා හැටියට. ඒ නිසා ඒවා පාලකයන් විසින් මර්දනය කළා. ඊටත් පෙර ඉතිහාසය සලකා බැලුවොත් රාජ්‍ය බිහිවූ මුල් කාලයේ මහජන මැදිහත්වීම් වැදගත් කාර්ය කොටසක් ඉටු කළ බවට බොහෝ ඓතිහාසික මූලාශ්‍ර, ප්‍රබන්ධ කතා උදාහරණ සපයනවා. උදාහරණයක් විදියට සිංහබාහු කතාවට අනුව සිංහබාහු රජුගෙ රාජධානියෙ ජනතාව එකතු වෙලා රජුට කියනවා රජුගෙ පුත්‍රයා ඒ කියන්නෙ විජය කුමාරයා නරක විදියට හැසිරෙන නිසා ඔහුව රටින් එළවා දමන්න කියලා. පස්සෙ කියනවා මරලා දාන්න කියලා. සිංහබාහු රජතුමා වැසියන්ගෙ ඒ අදහසට සවන් දෙනවා. ඒක මිථ්‍යා ප්‍රබන්ධයක් වුණත් මහජනයාගේ මැදිහත්වීම නිසි කාර්ය කොටසක් ඉටු කළා කියන එකට හොඳ උදාහරණයක්. ඊට පසුකාලීනව රාජාණ්ඩු පාලන ක්‍රම බිහිවුණාට පස්සෙ ඒ මහජන මැදිහත්වීම දුර්වල වුණා. ඒ වුණත් මනුෂ්‍ය ඉතිහාසය පුරාවටම විවිධ මහජන නැගිටීම් සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම නූතන දේශපාලන ක්‍රම බිහිවෙන්න ඒ මහජන නැගිටීම් විශාල වශයෙන් හේතු වුණා. උදාහරණයක් විදියට ප්‍රංශ විප්ලවය සහ යුරෝපයේ ඇති වූ ජනතා නැගිටීම් දක්වන්න පුළුවන්. මේ විදියට බැලුවම මහජන නැගිටීම් කියන්නෙ වර්තමාන දේශපාලන ක්‍රමයෙ සුජාත අංගයක්.
දකුණු ආසියානු රටවල දේශපාලන සන්දර්භය ගතානුගතික එකක් හැටියට සලකන්න පුළුවන්. මේ විදියෙ මහජන නැගිටීම්වලින් අභ්‍යන්තර පාලන තන්ත්‍ර වෙනස් කිරීමට මේ කලාපයේ රටවල වැඩි නැඹුරුවක් තිබුණෙ නෑ. එහෙත් 2022 දී ශ්‍රී ලංකාවත් මේ වෙන විට බංග්ලාදේශයත් ඒ සඳහා යොමු වුණා. මේ නව නැඹුරුව ඔබ තේරුම්
ගන්නෙ කොහොමද?
ඕක තේරුම් ගන්න ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙ ප්‍රධාන උභතෝකෝටියක් තියෙනවා. ඒක තමයි රාජ්‍ය බලයේ මූලික ප්‍රභවය ජනතාව කියලා පිළිගැනීම සහ ඒ බලය ලබා ගන්නා පාලක ප්‍රභූ තන්ත්‍රයේ හැසිරීම. ලංකාවේ රාජ්‍ය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන තියෙනවා. රාජ්‍ය බලය දේශපාලන ප්‍රභූන් පිරිසක් වටා සංකේන්ද්‍රණය වීමකුත් වෙලා තියෙනවා. රාජ්‍ය බලයට පත් වෙන ප්‍රභූන් උත්සාහ කරනවා ඒක තමන් අතේ රඳවා ගන්න. මැතිවරණවලින් බලයට පත්වුණාට පසු මේ දේශපාලන ප්‍රභූන් ඔවුන්ගෙ අභිලාෂ මත වෙනම පාලනයක් පවත්වාගෙන යනවා. මේ ප්‍රභූ දේශපාලන සංස්ථාපිතයයි, මහජන දේශපාලන අඩවිය (Political domain of the people) යි අතර ආතතියක් තියෙනවා. ලංකාවේ අත්දැකීම බැලුවොත් ඒ අරගලය ගොඩනැගුණෙ කුඩා විරෝධතාවලින්. මිනිස්සු එකා දෙන්නා හා කණ්ඩායම් බැගින් රැස්වෙලා කරපු විරෝධතාවලින් තමයි ඒ අරගලයට පදනම වැටුණෙ. ඒවා දේශපාලන විරෝධය දැක්වීමේ සුජාත ක්‍රම හැටියට සලකන්න පුළුවන්. ඒවා මර්දනය කරන්න බෑ. ඒ විදියෙ කුඩා දේශපාලන විරෝධතා දැක්කම අනිත් අයටත් ඒවා කරන්න නැත්නම් ඒවට එකතු වෙන්න උත්තේජනය සැපයෙනවා. එතකොට ප්‍රභූ දේශපාලන සංස්ථාපිතයයි මහජන දේශපාලන අඩවියයි අතර තියෙන ආතතිය තවත් වැඩි වෙනවා.
මේ විදියෙ මහජන නැගිටීම්වලට ජනයා වැඩි වශයෙන් එක් රොක් වෙන්න ඉහළ ජනගහන ඝනත්වයත් හේතුවක් වෙනවා. මේ විදියෙ ජනතා නැගිටීම්වලට විරුද්ධව අදහස් දක්වන අය මතු කරන කාරණයක් තමයි දේපොළ කොල්ලකෑම් වගේ දේවල්. විශේෂයෙන්ම නාගරික වශයෙන් මුඩුක්කු වැනි දිළිඳු ජනාවාසවල ජීවත්වෙන ජනයාගේ අසහනයත් වැඩියි. ජන අරගලයෙදි ජනාධිපති මන්දිරය වැනි ස්ථාන වැඩි වශයෙන් කොල්ලකෑවෙත් නාගරික දිළිඳු ජනාවාසවල ඉන්න ජනයා. ඒවා සාමාන්‍යයෙන් කෙරෙන දේවල්. 1983 ජාතිවාදී කෝලහලවලදිත් මේ තත්ත්වය දකින්න ලැබුණා. දෙමළ ජනයාගේ ව්‍යාපාර ආයතන හා බඩු භාණ්ඩ කොල්ලකන සිදුවීම් වාර්තා වුණේ ඒ නිසා.
ශ්‍රී ලංකාවේ ගත්තත් බංග්ලාදේශයේ ගත්තත් මහජන අරගලවලින් බලයෙන් පහකෙරුණු ගෝඨාභය රාජපක්ෂ සහ ෂෙයික් හසීනා සෑහෙන අධිකාරි බලයක් සහිතව පාලන ගෙන ගිය නායකයන්. එවැනි නායකයන් බලයෙන් පහකිරීමෙන් රාජ්‍ය පාලනයේ අධිකාරී බලය විශාල දෙදරීමකට ලක්කිරීමට මෙවැනි මහජන අරගල හේතුවක් වී තිබෙනවා කියලා ඔබ කල්පනා කරනව ද?
ඔව්. දේශපාලන ස්ථාවරභාවය මේ විදියෙ මහජන අරගලවලින් අභියෝගයට ලක් වෙනවා කියලා අරගලවලට විරුද්ධ අය ප්‍රකාශ කරනවා. මම කියන්නෙ දේශපාලන ස්ථාවරභාවය විතරක් නෙවෙයි දේශපාලන ප්‍රභූ සංස්ථාපිතයෙ තියෙන සම්මුතියෙ ස්වභාවයත් අභියෝගයට ලක් වෙනවා. දේශපාලන ක්‍රමවල ස්ථාවරභාවයක් පවත්වා ගෙන යන්න නම් ඒ සම්මුතිය ඉතා ශක්තිමත් එකක් වෙන්න ඕන. දේශපාලන ප්‍රභූන් ගොඩක් වෙලාවට මේ සම්මුතිය අවභාවිත කරනවා. බංග්ලාදේශයේ ෂෙයික් හසීනාගේ පාලන තන්ත්‍රයෙ වුණත් ඒ ලක්ෂණය දකින්න තිබුණා. ලංකාවේ රාජපක්ෂවරුන්ගේ පාලන තන්ත්‍රයත් ඒ සම්මුතිය අවභාවිත කළා. නිදහසින් පසු පත්වුණු ජනප්‍රියම ආණ්ඩුව ගෝඨාභයගෙ ආණ්ඩුව කියලා කියන්න පුළුවන්. ඒගොල්ලො ඒ ජනප්‍රියත්වයෙන් ගිනිකන වැටිලා හිටියෙ. ඒ කියන්නෙ ඒ ජනප්‍රියත්වය අවභාවිත කළා. මහජන දේශපාලන අඩවිය කොයිවෙලේ හරි පුපුරන්න පුළුවන් කියලා ඒ අයට අවබෝධයක් තිබුණෙ නෑ. ඒ පිපිරීම යථාර්ථයක්. ගොඩක් අය ඒකට බණිනවා. ඒක දේශපාලන නොදැනුම්වත්භාවය පිළිබිඹු කිරීමක්. ඒකට බැණලා වැඩක් නෑ. මහජන නැගිටීම් තර්කානුකූලව පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව තමයි ප්‍රභූන් දේශපාලනය පාවිච්චි කරන විදිය.
මේ විදියෙ අරගලවලදි ඇතැම් ජනයා දේපොළ කොල්ලකනකොට පාලකයො ඒවා විවේචනය කරනවා. ඒත් ජනයා එසේ කොල්ල කෑමට පෙලඹෙන්නෙ ඇයි ඔවුන්ගෙ අසහනය වගේ දේවල් ගැන පාලකයන්ට වගක් නෑ. ගොඩක් පාලකයො බලයෙ ඉන්න කොට දේපොළ විශාල වශයෙන් රැස්කරලා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. මිනිස්සු ඒවා දිහා බලනවනෙ. ඔතන තමයි ගැටලුව.
ලංකාවෙ අත්දැකීම දිහා හැරී බැලුවොත් අරගලයක් තිබුණා, ජනාධිපතිවරයා රටින් පලා ගියා. නමුත් ඒ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයෙන්ම නියෝජනයක් බලයට එනවා. ඒක කොහොමද තේරුම්
ගත යුත්තෙ?
එහෙම තමයි. ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. අරගල වුණා කියලා එහෙම දේශපාලන පරිවර්තන සිද්ධ
වෙන්නෙ නෑ.
එහෙම බැලුවම යුරෝපයේ ඇතිවුණු ආකාරයේ විප්ලවවලින් මේ මහජන නැගිටීම් වෙනස් වෙනවාද?
නෑ. ඕක අනවබෝධයක්. යුරෝපයෙත් ඔහොම තමයි වුණේ. ප්‍රංශ විප්ලවයෙදි රාජාණ්ඩුව බලයෙන් පහවුණා කියලා ජනතාව අතට බලය ගියෙ නෑ. බලය ගත්තෙ හමුදාවෙ පහළ නිලයක හිටපු නැපෝලියන් කියන නිලධාරියා. ඊට පස්සෙ ඔහු ඒකාධිපතියෙක් වෙලා අධිරාජ්‍යයක් පිහිටෙව්වා. නැපෝලියන් පැරදුණාට පස්සෙ පරණ පන්නයෙ රාජාණ්ඩුවක් යළි පිහිටෙව්වා.
පස්සෙ ඒවත් වෙනස් වුණා. ප්‍රංශ විප්ලවයෙන් ඉදිරියට දැමුණු ඉල්ලීම් ඉෂ්ට වුණේ ඊට අවුරුදු සීයක් එකසිය පනහක් විතර ගියාට පස්සෙ. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගොඩනැගුණු පාලන තන්ත්‍රයක් බිහිවුණේ. ඒ නිසා යුරෝපයෙත් ජනතා නැගිටීම්වලින් පස්සෙ ජනතාවගේ පාලනයක් ඇති වුණා කියන එක බොරුවක්. රුසියාවෙත් එහෙම වුණේ නෑ. ඒ නිසා ජනතා නැගිටීම්වලින් ජනතාවගේ පාලනයක් ඇති වෙනවා කියලා එකක් නෑ. නමුත් ජනතා නැගිටීම් නිසා පාලනයේ ස්වභාවය
වෙනස් වෙනවා.
ඒ කියන්නෙ පාලනයෙහි ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන්න බලපෑමක් වෙනවා?
ඔව්. දැන් වුණත් ඒකනෙ වෙන්නෙ. ලංකාවෙ අරගලයෙන් පස්සෙ දේශපාලන නායකත්වයේ විශාල වෙනසක් වුණානෙ. 2022 න් පස්සෙ තවම මැතිවරණයක් පැවැත්වුවෙ නැති නිසා ඒ වෙනස මොකක්ද කියලා අපි හරියටම දන්නෙ නෑ. ඒත් විවිධ පෙළගැසීම් ඔස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මීළඟට පවත්වන මැතිවරණයේ ප්‍රතිඵලය 2022 ට කලින් පවත්වපු මැතිවරණයක ප්‍රතිඵලය වෙන්න ඉඩක් නැති බව. ඒ කියන්නෙ ජනතා නැගිටීම්වලින් පස්සෙ ව්‍යුහාත්මක වෙනස්කම් වෙනවා. ඒවා වෙන්නෙ සමහර පිරිස් බලාපොරොත්තු වෙන විදියට නෙවෙයි. ඇතැම් මාක්ස්වාදීන් කියන විදියට මේක විප්ලවයක් විදියට වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑ. ඒත් බලය ගන්න ප්‍රභූන්ටත් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට ඉන්න ප්‍රභූන් වෙනුවට වෙන ප්‍රභූන් පිරිසක් එනවා. ඒ අය පහළ මට්ටමේ අය වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අයට වෙන විදියට හැසිරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ පරිවර්තන වෙනවා.
බංග්ලාදේශයේ ලංකාවේ තරම් දේශපාලන නවීකරණයක් තවම වෙලා නෑ. ලංකාවේ පක්ෂ ක්‍රමය, සංවිධාන ව්‍යුහය, දේශපාලන සාකච්ඡා බංග්ලාදේශයට වඩා තරමක් දියුණුයි. ලංකාවේ හමුදාව වුණත් දේශපාලනයට මැදිහත් නොවෙන තරම්. ඒ කියන්නෙ අපේ සිවිල් දේශපාලන අඩවිය බංග්ලාදේශයට වඩා ශක්තිමත්. බංග්ලාදේශය ඒ පරිවර්තන අවධියට මොන විදියට ගමන් කරයිද කියන්න අපි දන්නෙ නෑ. නමුත් අනිවාර්යයෙන් යම් යම් ප්‍රතිසංස්කරණ නම් කරන්න සිද්ධ වෙයි.
බංග්ලාදේශ ජනතා නැගිටීමේ ක්‍රියාකාරී කොටසක් වෙන ශිෂ්‍ය ව්‍යාපාරය අලුතින් පිහිටුවන භාරකාර ආණ්ඩුවේ උපදේශක තනතුරට නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යූනුස් පත් කළ යුතු බව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ලංකාවේ මහජන නැගිටීමේදි අලුතින් පිහිටුවිය යුතු පාලනයේ සංයුතිය ගැන ශිෂ්‍ය ව්‍යාපාරයට අදහසක් තිබුණෙ නෑ නේද?
ඕනෑම සමාජයක දේශපාලන පෙළගැසීම්වල වෙනස්කම් තියෙනවා. බංග්ලාදේශයට වඩා ලංකාවේ දේශපාලන පරිමණ්ඩලය ශක්තිමත්. ඒකෙ විවිධ ක්‍රියාකාරීන් සිටිනවා. ශිෂ්‍ය ව්‍යාපාරයත් එක ක්‍රියාකාරිකයෙක්. ඒත් ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය සංවිධානාත්මක වශයෙන් ගත්තහම එච්චර ශක්තිමත් එකක් නෙවෙයි. ලංකාවේ ප්‍රභූ දේශපාලනය බංග්ලාදේශයට වඩා ශක්තිමත්. අරගලය නිසා ගෝඨාභය බලයෙන් ඉවත් වුණාට පස්සෙ ඇති වුණු තත්ත්වය හසුරවන්න ඒගොල්ලන්ට පුළුවන් වුණේ ඒ හින්දා. ඒ හැසිරවීමේ ප්‍රතිඵලය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණු එක. රනිල් වික්‍රමසිංහ ආපු එකට මම එකඟ නෑ. ලංකාවෙ පශ්චාත් ජන අරගල තත්ත්වය කළමනාකරණය කළ හැකි මට්ටමක තියෙනවා.
බංග්ලාදේශයේ අගමැති-වරිය ඉවත් වී දවස් කිහිපයකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. නමුත් ලංකාවේ එවැනි තත්ත්වයක් ඇති වුණේ නෑ. මේ වෙනස ඔබ කොහොමද හඳුන ගන්නෙ?
ඒකට හේතුව තමයි ලංකාවේ දේශපාලන පද්ධතිය බංග්ලාදේශයට වඩා ශක්තිමත් වීම. ජන අරගලයෙ ප්‍රධාන භූමිකාව බංග්ලාදේශයේ ශිෂ්‍ය ව්‍යාපාරය හසුරුවන නිසා ඒ අයට ඒක ඇතුළෙ විශාල භූමිකාවක් තියෙනවා. ලංකාවේ ඒ හැකියාව තියෙන්නෙ රාජ්‍ය හා මහජනයා අතර තියෙන අතරමැදි අවකාශයට. ඒක හඳුන්වන්නෙ සිවිල් සමාජය නමින්. නමුත් ඒ අවකාශය මම හඳුන්වන්නෙ මහජන පරිමණ්ඩලය කියලා. සමහරු ඒ අදහසට එකඟ වෙන එකක් නෑ. ඒ මහජන පරිමණ්ඩලය බලවත් නිසා තමයි පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැතුව රනිල් වික්‍රමසිංහට බලයට එන්න පුළුවන් වුණේ. රනිල් වික්‍රමසිංහ ආපු එක නරක ප්‍රතිඵලයක් වුණත් ඔහුගේ පැමිණීම අර මම කියපු අතරමැදි අවකාශය බලවත් නිසා සිද්ධ වුණු දෙයක් හැටියටයි මම දකින්නෙ.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා යම් දුරකට වෙනිසියුලාව වැනි රටවල මතු වුණු මේ අරගල මාදිලීන් නව දේශපාලන ප්‍රවණතාවක් විදියට ලෝකයේ වෙනත් රටවලටත් පැතිර යෑමේ හැකියාවක් ඇතැයි ඔබ සිතනවාද?ඒක හොඳට පේනවනෙ. අරාබි වසන්තය එක උදාහරණයක්. ඊටත් කලින් සෝවියට් සංගමය යටතේ තිබුණු රටවල ඇති වුණු නැගිටීම්. ඒ විතරක් නෙවෙයි යුරෝපයේ ඇතැම් රටවල හා ඇමෙරිකාවෙත් මෙවැනි නැගිටීම් ඇති වුණා. ජනතාවගේ දේශපාලන අඩවියෙ විශාල ක්‍රියාකාරීවීමක් තියෙනවා. ඒකට බලපාන හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි දේශපාලන සන්නිවේදනය. සමාජ මාධ්‍ය නිසා දේශපාලන සන්නිවේදනය තියුණු වෙලා තියෙනවා. එක් රටක වෙන දේවල් වේගයෙන් තවත් රටවලට යනවා. මෙවැනි ලෝකයක මහජන නැගිටීම් ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රවණතාව ඉදිරියට යෑමක් සිද්ධ වෙන්නෙ. මේ ජනතා නැගිටීම්වලින් ඉල්ලා සිටින පණිවුඩයක් තියෙනවා. ඒ තමයි රාජ්‍ය බලය පරිහරණය කරන ක්‍රමයෙ රැඩිකල් වෙනසක් අවශ්‍යයි කියන එක. එක් පිරිසක් රාජ්‍ය බලය උපයෝගී කරගෙන ධනය ගොඩගසාගෙන ඉද්දි සමාජයේ තව පිරිසක් අන්ත දුප්පත්භාවයට ඇද දමලා තවදුරටත් ස්ථාවරභාවය පවත්වා ගෙන යන්න බෑ කියන පණිවුඩයත් මේවයෙන් ලබා දෙනවා.