ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති
මහින්දානන්ද අලුත්ගමගේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‘බදු හොරුන්’ ගැන පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. එහි නිධාන කතාව මොකක්ද? මේ ඒ ගැන විමසමින් ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි
ප්‍රශ්නය- බදු හොරු ගැන ඔබ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා. මොකද්ද ඇත්ත අරමුණ?
පිළිතුර- ඇත්තෙන්ම මම පෞද්ගලිකව කෙනෙක් ඉලක්ක කරගෙන කරපු දෙයක් නොවෙයි. මේ මොහොතවනවිට රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයත් සමගයි මම මේ මාතෘකාව කරළියට ගෙනාවේ. අද ගත්තොත් රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 2200යි. අපේ වියදම 4400යි. අපට තෙල් ටික ගේන්න ඩොලර් නෑ. අපට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා ගන්න බෑ. අපට ණය ගෙවාගන්න බෑ. අපේ රාජ්‍ය ආදායම හරි විදියට කළමනාකරණය කර ගත්තොත් අපේ තියෙන ක්ෂේත්‍ර ටික හරියට කළමනාකරණය කරගත්තොත් අපට අයි.එම්.එෆ්. යන්න ඕනෑ වෙන්නෙත් නෑ. අපට මේ විදියට බඩුමිල වැඩි කරන්න ඕනැ වෙන්නෙත් නෑ. ඩොලර් හිඟයක් වෙන්නෙත් නෑ. ඒකෙ එක පැත්තක් විතරයි මම කතා කළේ රාජ්‍ය ආදායම් පිළිබඳව.
ප්‍රශ්නය- ඇත්තටම මෙතැන තියෙන ප්‍රශ්නය මොකද්ද?
පිළිතුර- අපේ රටේ ජනගහණය මිලියන 22යි. අපේ රටේ පවුල් වශයෙන් ගත්තොත් ඉන්නවා මිලියන 5.8ක්. අපේ රටේ ප්‍රධාන සමාගම් තියෙනවා එක් ලක්ෂ පන්දාහක්. අපේ රටේ ජනගහණය මිලියන 22ක් හිටියට බදු ගෙවන්නේ තිස් දාහයි. අපේ රටේ දෙලක්ෂ අසූ දෙදාහක් ආදායම් බදු ලිපි ගොනු තියෙනවා. ‘රිටන්ස්’ එවලා තියෙන්නේ එක් ලක්ෂ විසිදාහයි. 2021 අවුරුද්දේ බදු ගෙවන්නේ තිස් දාහයි. මිලියන 22ක ජනගහණයක් ඉන්න රටක තිස් දාහයි නම් බදු ගෙවන්නේ අපි මේ කොහේද යන්නේ.
ප්‍රශ්නය- ඇයි ආණ්ඩුවට බැරි මේ බදු හරි විදියට අයකර ගන්න?
පිළිතුර- මට තත්පරයක් දෙන්න. අපේ රටේ ප්‍රධාන සමාගම් එක් ලක්ෂ පන්දාහක් තියෙනවා. එතකොට මේකෙන් හැටදාහයි ‘රිටන්ස්’ එවලා තියෙන්නේ. දහසය දාහයි 2021 අවුරුද්දෙ බදු ගෙවලා තියෙන්නේ. 2020-2021 අවුරුද්දෙ බදු ආදායම මිලියන 622යි. ඉතින් මෙන්න මේ ගැන තමයි මම අවධානය යොමු කළේ.
ප්‍රශ්නය- මෙතැන අඩුපාඩුව තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙ මිසක් පුද්ගලයන්ගෙ නොවෙයි.
පිළිතුර- මම පිළිගන්නවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අඩුපාඩුකම් තියෙනවා කියලා. ඒ නිසා තමයි මම රජය ඇතුළේ ඉඳගෙන මේ ගැන කතා කළේ. අපි නිවැරැදි වෙන්න එපැයි කොහේ හරි තැනක. ඒ නිසා තමයි අපි කිව්වේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ කියලා.
ප්‍රශ්නය- 2021 අවුරුද්ද ගැන ඔබ කතා කළා. ඒ වෙනකොට කොවිඩ් වසංගතයට අපේ රට බරපතළ විදියට ගොදුරුවෙලා.
පිළිතුර- 2020 අවුරුද්දෙත් මේකම තමයි. කිසිම වෙනසක් නෑ. 2019 ත් එකයි. මම මේ ආදායම් බදු ගෙවීම ගැන කතා කරන්නේ කොවිඩ් අවුරුද්ද ගැන විතරක් නොවෙයි. 2020 සියලු ආදායම් සැලකිල්ලට අරගෙනයි මම මේ කියන්නෙ. දැන් ගත්තොතින් 2020 අවුරුද්දෙ බදු ආදායම මිලියන 532යි. 2021 දි 623යි. කොවිඩ් එකේදී ටිකක් වැඩිවෙලා තියෙනවා. ඇයි අපි පොඩි මිනිහට හැම වෙලේම කරදර කරන්නේ. ලාභ ලබන මිනිසුන්ට බදු ගෙවන්න කියලයි අපි මේ කියන්නේ.
ප්‍රශ්නය- අපේ රටේ බදු අය කරන ක්‍රමයෙත් අවුලක් තියෙනවා?
පිළිතුර- හරියටම හරි! අපි කළුතර යන ගමන් කළුතර බෝධියට කීයක් හරි දාලා යනවා. ඇයි! හිතනවා ‘මේක පන්සලනේ. මං කීයක් හරි දානවා’ කියලා. ඔන්න ඔහොමයි අපේ රටේ මිනිස්සු බදු ගෙවන්නේ. ‘මං බදු ගෙවන්න ඕනැ නිසා මං කීයක් හරි ගෙවනවා’ එහෙමයි බදු ගෙවන්නේ. එහෙම නොවෙයි තමන් උපයන ශුද්ධ ලාභයට තමන් බදු ගෙවන්න ඕනෑ. එහෙම තමයි ලෝකයෙ අනික් හැම රටකම. අපි ගත්තොත් එංගලන්තයේ ඇමරිකාවේ වැඩ කරන අයගෙන් සීයට 60ක් බදු අයකරනවා. එහෙම තමයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. එහෙම තමයි ඒ රටවල් ගෙනියන්නේ. අපේ රටේ මොකක්ද වෙලා තියෙන්නේ. බිලියන ගණන් ආදායම් ලබන අය බදු ගෙවන්නේ නෑ. ඒක හරිම අසාධාරණයි.
ප්‍රශ්නය- ඔබ කියලා තිබුණා රටේ ඉන්න ප්‍රධාන වී මෝල් හිමියෙක් අවුරුදු පහක් තිස්සේ බදු ගෙවලා නෑ කියලා. කවුද මේ?
පිළිතුර- මම පුද්ගලයන්ගේ නම් ගම් කියන්න කැමැති නෑ. මම උදාහරණ දෙන්නේ අධික ලාභ ලබන පුද්ගලයන් බදු ගෙවන්නේ නෑ කියන එක ඔප්පු කරන්නයි. අපේ රටේ ප්‍රධානම වී මෝල් හිමියා පසුගිය අවුරුදු පහේම වැට් එක හෝ ආදායම් බදු ශත පහක් ගෙවලා නෑ. හැබැයි වාර්ෂිකව ලාභ ලබනවා බිලියන 50ක්. ඒ වගේම තවත් වී මෝල් හිමියෙක් අරයට වඩා ගොඩක් පහළින් ඉන්න වී මෝල් හිමියෙක් මිලියන 30ක් බදු වශයෙන් ගෙවනවා.
ප්‍රශ්නය- ඔහු රාජ්‍ය ඇමැතිවරයෙක්?
පිළිතුර- ඔව්. ඔහු වී මෝල් හිමියන් අතර ලංකාවේ හතර වැනියා හැටියට මිලියන 30ක් ගෙවනකොට පළමුවැනියා ශත පහක්වත් ගෙවන්නේ නැති එක සාධාරණද කියන්නකෝ.
ප්‍රශ්නය- එතකොට දෙවැනියයි තුන්වැනියයි
පිළිතුර- දෙවැනියා ගෙවන්නේ ලක්ෂ 9යි. වී වලට විතරක් ගහන්න එපා. තව තියෙනවා. ලංකාවේ වැඩිම ලාභ ලබන්නේ කැසිනෝ. කැසිනෝ බලපත්‍ර පහකට වැඩිය තියෙනවා. ඒ ගොල්ලෝ ගෙවන්නේ බලපත්‍ර ගාස්තුව විතරයි.
ප්‍රශ්නය- ‘රේස් බයි රේස්’ ගෙවන්නෙත් එච්චරයි
පිළිතුර- අනිවාර්යයෙන්ම ඔව්. රේස් බයි රේස් එක පුද්ගලයකුට ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔහුගේ වත්කම් හොයලා බිලියන දෙකක් ඔහුට දඩ ගැහුවා. ඔහු අන්තිමට ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඇවිත් ලක්ෂ 10ක් බදු ගෙවලා ඒක ඉවර කරගත්තා. ලංකාවේ තේ අපනයනය කිරීමේදී යූ එස් මිලියන 650ක් විතර අවුරුද්දට කරනවා. ඒකෙන් සීයට 80ක් අපනයනය කරන්නේ එක සමාගමක අයියයි මල්ලියි. යූඑස් මිලියන 650න් ඒ ගොල්ලෝ ටැක්ස් එකට පෙන්වන්නේ යූඑස් මිලියන 150යි. යූඑස් මිලියන 300ක ආදායම පෙන්වන්නේ නෑ.
ප්‍රශ්නය- නිමි ඇඳුම් ව්‍යාපාරය ගැනත් ඔබ කතා කරලා තිබුණ.
පිළිතුර- ඔව් ඇමරිකාවට වැඩිම නිමි ඇඳුම් අපනයනය කරන සමාගමක් තියෙනවා යූඑස් මිලියන 150ක ඒ අය අපනයනය කරනවා. නමුත් යූඑස් මිලියන 1යි පෙන්වන්නෙ. 149ක් ‘ඉන් ඩිරෙක්ට්’ යවනවා. ලංකාවේ නිමි ඇඳුම් චේන් ගණනාවක් තියෙනවා. සමහරුන්ට ලංකාව පුරා ෂොපින් මෝල් 30-40ක් තියෙනවා. නමුත් ශත පහක් බදු ගෙවන්නේ නෑ.
ප්‍රශ්නය- එහෙම කරන්නේ කොහොමද?
පිළිතුර- ඒකට හේතුව රෙදි ආනයනය කරන්නේ වෙන කෙනෙක්. මේ ගොල්ලෝ මහලා දෙනවා. ඒක ඇතුළෙ තමයි මේ සියලු දේ කරන්නේ. සුපර් මාර්කට් චේන් එක ගත්තාම එක්තරා සුපර් මාර්කට් එකක් තියෙනවා ඒකට සුපර් මාර්කට් 424ක් තියෙනවා. 2020 අවුරුද්දෙ ශතයක්වත් බදු ගෙවලා නෑ. ඒ වගේම තමයි එක ටියුෂන් ගුරුවරයෙක් ඉන්නවා ඔහු සති අන්තයෙ පන්තියකට එනවා කුරුණෑගලට දවල් 11ට. ළමයි තුන් දාහක් ඉන්නවා. ඔහු දවල් 1ට ළමයි තුන්දාහක් ඉන්න ගාල්ල පන්තියට යන්න ඕනැ. ඔහු යන්නේ චොපර් එකේ. ශත පහක් බදු ගෙවන්නේ නෑ.
ප්‍රශ්නය- නීතිඥ ප්‍රජාවටත් ඔය චෝදනාව එල්ල වෙනවා.
පිළිතුර- ඒක තමයි. නීතිඥවරු, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු දවසකට කීයක් උපයනවද? ඒ අයගෙන් කී දෙනෙක්ද බදු ගෙවන්නේ. අපේ රටේ බදු අයකරන ක්‍රමවේදයක් නෑ.
ප්‍රශ්නය- ඉතින් ඒව හදන්න ඕනැ ආණ්ඩුවනේ?
පිළිතුර- ඔව්! ආණ්ඩුව ඒකට ‘ක්‍රයිටීරියා’ එකක් හදන්න ඕනැ. දැන් අපේ රටේ තියෙන්නේ මම දැන් කෝටි ගණන් හොයනවා ඒත් මම ගණන් හදලා පෙන්නනවා මට මේකෙන් පාඩුයි. ඒක ආදායම් බදු දෙපාර්තමේන්තුව පිළිගන්නවා. ආදායම් බදු හදන ප්‍රබලම සමාගම් තියෙනවා. ඒ ගොල්ලන්ට තමයි මේ වැරැද්ද යන්නේ. ඒ ගොල්ලෝ තමයි මේ හොර විදියට ෆයිල් හදන්නේ.
ප්‍රශ්නය- ඔබ පාර්ලිමේන්තුවේදි කිව්වා ‘බාර් හා ෂෙඩ් අවුරුද්දට ගෙවන්නේ දවසේ ලාභය’ කියලා?
පිළිතුර- ඔබට කිව්වොතින් බාර් පන් දහස් තුන්සියයක් තියෙනවා. එක බාර් එකක් දවසක ශුද්ධ ලාභය රුපියල් පනස් දාහයි. ඒ කියන්නේ මාසෙට ලක්ෂ 15යි. එතකොට අවුරුද්දට රුපියල් මිලියන 180යි. බාර් හිමියෙක් වැඩිම වුණොත් ගෙවන්නේ රුපියල් ලක්ෂ දෙකයි. ඒ කියන්නේ දවස් හතරේ ලාභය. දවස් 365ක් හම්බ කරලා දවස් හතරක ලාභය ගෙවනවා. ඉන්ධන පිරවුම්හල් 1800ක් තියෙනවා. එක බවුසර් එකකින් අනූ හතර දාහක් ලාභයි. සමහර ඉන්ධන පිරවුම්හලකට දවසකට බවුසර් 5ක් විතර එනවා.
ප්‍රශ්නය- ඔබ ඔය ලාභය ගණනය කරන්නේ කොහොමද?
පිළිතුර- මේ සියල්ල මම කියන්නේ බාර් හිමියන්ගෙන් ගණන් අහලා. මගේ ගණන් නොවෙයි. මේ සියලු තොරතුරු ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අරගෙන.
ප්‍රශ්නය- ඒ තොරතුරු පිට අයට ගන්න බෑ, ඒ කියන්නේ ඔබ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ‘බඩු පන්නලා’.
පිළිතුර- මට කියන්න බෑ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මට කවුද මේ තොරතුරු දෙන්නේ කියලා. හැම ක්ෂේත්‍රයකම ලිපි ගොනු මා ගාව තියෙනවා. ආදායම් බදු දෙපාර්තමේන්තුව රහස්‍ය භාවය රකින්න ඕනෑ. ඒක හරි. ඒත් මට තොරතුරු ලැබෙනවා. ඔබලා මේවා දැන ගන්න ඕනැ කිසිම රාජ්‍ය බැංකුවක උපයනවිට ගෙවීමේ බද්ද ඒ නිලධාරින් ගෙවන්නේ නෑ කියලා. ඒක ගෙවන්නෙත් බැංකුව. ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකුගේ පඩිය දොළොස් ලක්ෂ හතළිස් අට දාහයි. උපයනවිට ගෙවීමේ බද්ද එක් ලක්ෂ පනස් නව දාහයි. බැංකුව කරන්නේ බැංකුව ඇතුළෙම වෙන හොර කම්පැණියක් හදලා ඒ කොම්පැනිය මෙයාගේ පඩියට ගෙවනවා අර එක් ලක්ෂ පනස් නව දාහ. දැන් මහ බැංකුවනේ අපේ රටේ මුදල් නියාමනය කරන ආයතනය 2019 වෙනකම් මහ බැංකුව උපයන විට ගෙවීමේ බද්ද ගෙව්වේ නෑ.
ප්‍රශ්නය- කෝප් එකෙන් ප්‍රශ්නය ඇදුණ නිසයි ගෙවන්න පටන් ගත්තේ.
පිළිතුර- ඔව්! කෝප් එක කිව්වට පස්සේ තමයි ඒ බද්ද ගැහුවේ. මේ රටේ මුදල් නියාමනය කරන ප්‍රධාන ආයතනය පවා බදු ගෙවන්නේ නෑ.
ප්‍රශ්නය- ඔය බදු නොගෙවන අය අතර දේශපාලනඥයො නැද්ද?
පිළිතුර- මම ඒකනේ කිව්වේ ‘අපි මේක පාර්ලිමේන්තුවෙන් පටන් ගමු කියලා.’
ප්‍රශ්නය- ඔබ ආදායම් බදු ගෙවනවද? එහෙම නෑ කියලත් කියනවා.
පිළිතුර- එහෙම බදු පැහැර හරිනව නම් මට මෙහෙම කතා කරන්න පුළුවන්ද? මෙහෙම කතා කරන මම ආදායම් බදු ගෙවන කෙනෙක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 150ක් විතර ආදයම් බදු ගෙවන මන්ත්‍රීවරු. මම යෝජනා කළා කතානායකතුමාට ‘පාර්ලිමේන්තුවේ ඉන්න 225ම තමන්ගේ වත්කම් බැරකම් හෙළිකරන්න ඕනෑ. ආදායම් බදු ගෙවන් ඕනැ කියලා. මහ බැංකුවේ සියලු දෙනාම බදු ගෙවන්න ඕනැ. ඒක ප්‍රදර්ශනය කළ යුතුයි’ කියලා අපේ රාජ්‍ය සේවයේ වැඩ කරන හැම කෙනෙකුගේම බද්ද වදින්නේ මූලික වැටුපට. ඒක වැරැදියි. මූලික වැටුප නොවෙයි මේ ගොල්ලන්ට හම්බවෙන ලොකු දීමනා. ගොඩාක් සමාගම්වල රුපියල් ලක්ෂ 2 දෙනවා දීමනා හැටියට. විදුලිබල මණ්ඩලය ගත්තොත් එතැන වැඩිය තියෙන්නේ පඩිය නොවෙයි දීමනා. නමුත් ටැක්ස් එක හදන්නේ මූලික දීමනාවට. ඒක වැරැදියි.
ප්‍රශ්නය- දැන් ඔබලගෙනේ ආණ්ඩුව?
පිළිතුර- ඔව්! ඒ නිසා මම ජනාධිපතිතුමාට යෝජනා කළා රාජ්‍ය මූල්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඇමැතිවරයකු පත් කරන්න කියලා.
ප්‍රශ්නය- ඒ ඇමැතිකම එහෙනම් ඔබට ලැබේවි?
පිළිතුර- අනේ නෑ නෑ. මට එපා. ආදායම් බදු දෙපාර්තමේන්තුවයි සුරාබදු දෙපාර්තමේන්තුවයි රේගුවයි ඒ අමාත්‍යංශයට එකතු කරන්න ඕනෑ. ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවට එළියෙන් නියාමනයක් හදන්න ඕනෑ. එහෙම නැත්නම් මේක ගොඩදාන්න බෑ. මේ තියෙන්නේ මගේ යෝජනා. එක තමයි රාජ්‍ය ණය කළමනාකරණ ඇමැතිවරයෙක් පත් කරන්න. දෙක තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිටින් නියාමන ආයතනයක් පත් කරන්න ඕනෑ.
ප්‍රශ්නය- ඒ ආයතනය හදන්නේ කොහොමද?
පිළිතුර- ඒකට ඕනැ පනස් දෙනයි. ඒ අයට ගෙදර යන්න බෑ මාස 10ක් එකතැන ඉඳලා වැඩ කරන්න ඕනෑ. ලෝකයෙ අනිත් රටවල එහෙමයි. සමහර රටවල කසාද බඳින්න දෙන්නෙත් නෑ. ඒ විදියට අපේ යෝජනා රාශියක් අපි ජනාධිපතිතුමාට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය- ඔබ මෙතැන අපි කියලා කිව්වේ කාටද?
පිළිතුර- මේ සම්බන්ධයෙන් අපි කණ්ඩායමක් විදියට රැස්වුණා. රමේෂ් පතිරණ ඇමැතිතුමා, මම, රාජ්‍ය ඇමැති සීතා අරඹෙපොළ, රාජ්‍ය ඇමැති අනුෂ පැස්කුවල්, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, මධුර විතානගේ මන්ත්‍රීතුමා අපි තමයි රැස්වුණේ. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ ගණනාවක් මේ වැඩ පිළිවෙළ හොඳයි කිව්වා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් මට පාර්ලිමේන්තුවේදි හමුවෙලා කිව්වා ‘මේක ඉතාම හොඳයි. මම ඉන්නෙත් එතැන’ කියලා. කරු ජයසූරිය මැතිතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ‘මේක තමයි වෙන්න ඕනැ. අපි සාධාරණ සමාජයක් හරහා කරන්න ගියෙත් ඒකම තමයි’ කියලා අපි පාර්ලිමේන්තුවේ 225ක් ඉඳගෙන හැමදාම එක එක්කෙනාට බණිනවා. බලය ගන්න හදනවා. නමුත් අපි කවුරුවත් මේ රට ගොඩදාන වැඩක් ගැන කතා කරන්නේ නෑ. වාහන බලපත්‍ර ගන්න බලනවා. පඩි වැඩි කරගන්න බලනවා. හැබැයි අපි කවුරුවත් රට ගොඩගන්න වැඩක් ගැන කතා කරන්නේ නෑ. අපි ලබන 23 වැනිදාට පාර්ලිමේන්තුවේ දිනක විවාදයක් ඉල්ලලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවලින් මේක ගොඩගන්න අපි සියලුම දෙනා එකට එකතුවෙමු කියල. මේක හරියට හැදුවොත් රාජ්‍ය බදු ආදායම බිලියන 3000ක් අවුරුද්දකට ගන්න පුළුවන්.
ප්‍රශ්නය- ඇයි අපේ රටේ බදු අය කර ගැනීම මේ තරම් දුර්වල තත්ත්වයට පත් වුණේ?
පිළිතුර- ඒක තමයි කියන්නේ. මේ සියලු දෙනා අල්ලගෙනනේ තියෙන්නේ. මේ ව්‍යාපාරිකයො දේශපාලන අධිකාරිය අල්ලගෙන. ආදායම් බදු දෙපාර්තමේන්තුව අල්ලගෙන ඒක තමයි කියන්නේ. මේ ආයතන සියල්ල දූෂිත වෙලා. මේ පැත්ත විතරක් නොවෙයි අපේ අවධානය යොමු වෙච්ච පැති ගණනාවක් තියෙනවා. පළමු දේ තමයි රාජ්‍ය ආදායම වැඩි කරන එක. දෙවැනි එක අපි යෝජනා කරනවා කාරණා කිහිපයක්. යැපුම් ආර්ථිකයෙන් මිදිලා අපි නිෂ්පාදන ආර්ථිකයට යා යුතුයි. අපේ රටේ වගා කළ හැකි හැම භෝගයක්ම අපි වගා කළ යුතුයි.
ප්‍රශ්නය- ඔබ හිටපු කෘෂිකර්ම ඇමැති. ඒ කාලයේ මේවා හිතුණෙ නැත්තෙ ඇයි?
පිළිතුර- මම කෘෂිකර්ම ඇමැතිවෙලා ඉන්න කාලේ පොහොර එකට මඩ ගැහුවා හැබැයි මම කරපු හොඳ දේ එළියට ආවේ නෑ. අපේ රටේ අල ටික ලූනු ටික මිරිස් ටික කොච්චර ආදායමක්ද? මුගුණුවැන්න අපි තාම පිටරටින් ගේනවා. අපි කව්පි, මුං ඇට පිටරටින් ගේනවා. ඒ නිසා ලංකාවේ වගා කළ හැකි සියලු භෝග ආනයනය කරන එක නවත්වන්න ඕනෑ. ඒ වගේම අපේ රටේ මිලියන 5ක් දරුවෝ පිටරට අධ්‍යාපනයට යනවා. මේක නවත්වලා අපි අපේ රටේ විදේශීය විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕනැ. එහෙම ආරම්භ කරලා විදේශීය දරුවන්ටත් අපි අවස්ථාව දෙන්න ඕනෑ. අපේ කර්මාන්ත අංශයට ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ අපි උදව් කරලා නෑ. ඒ නිසා අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේ නිෂ්පාදනය කළ යුතුයි. රාජ්‍ය සේවයෙ සියලු දෙනාම තමන් ගන්නා වැටුපට සමාන බදු මුදලක් රජයට ගෙවන්න ඕනෑ. මේ වගේ කරුණු කාරණා ගණනාවක් අපේ කමිටුව සාකච්ඡා කරගෙන යනවා.
ප්‍රශ්නය- ජනාධිපති රනිල්ගෙන් මොනවගේ ප්‍රතිචාරයක් ලැබෙයිද?
පිළිතුර- එතුමා ඉතාම හොඳ ස්ථාවරයක ඉන්නවා. ඒ විතරක් නොවෙයි. දැන් බලන්න මේ රටේ පාඩු ලබන ආයතනවලින් ‘ට්‍රිලියනයක් අවුරුද්දට පාඩුයි.’ රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. පඩි ගෙවන්න විතරක් ට්‍රිලියනයක් යනවා. ලක්ෂ 16ක් අපේ රාජ්‍ය සේවයට අවශ්‍යද? අපේ රටේ හමුදාව ඉන්නවා දෙලක්ෂ හතළිස් හත්දාහක්. යුද්ධය ඉවරවෙලා අවුරුදු 10යි. ඒ හමුදාව තාම එහෙමම ඉන්නවා. වෙන රටවල ස්වෙච්ඡා හමුදාව ගන්නේ. මේ හමුදාව නඩත්තු කරන්න යන වියදම? ඒ නිසා අපි කියන්නේ බදු විතරක් නොවෙයි මේ හැම ක්ෂේත්‍රයක් දිහාම බලන්න ඕනෑ.
ප්‍රශ්නය- ඔබේ කටින් ඔය එළියට එන්නේ අයි එම් එෆ් යෝජනා?
පිළිතුර- නෑ. මම වැඩ කරන මිනිහෙක්. දුවන මිනිහෙක්. මට නිකම් ඉන්න පුළුවන් මිනිහෙක් නොවෙයි. ඒක නිකම් අසනීපයක් වගේ මට නිකම් ඉන්න බෑ. පහුගිය මාස පහේ කරන්න දෙයක් තිබ්බේ නැති නිසා මම මේ ගැන හොඳ අධ්‍යයනයක් කළා. මම ගොඩාක් දෙනෙක් එක්ක කතා කළා. මම ගොඩාක් දේවල් කියෙව්වා. ඊට පස්සේ තමයි රමේෂ් ඇතුළු කණ්ඩායමත් එකතු කරගෙන මේ සාකච්ඡාව පටන් ගත්තේ. ඒ සාකච්ඡාව තුළින් තමයි මේ කරුණු එළියට ගත්තෙ.
ප්‍රශ්නය- ඔබ රාජ්‍ය ආදායම වැඩ කරගන්න කතා කරනවා. ඊයෙ පෙරේදා රාජ්‍ය ඇමැතිවරුන් 38ක් දිවුරුම් දුන්නා. මේ අයගේ නඩත්තුව?
පිළිතුර- මෙහෙමයි. රාජ්‍ය ඇමැතිවරු 38ක් පත් කරලා තියෙනවා. ලංකාවේ ආයතන ගෙනියන්නත් කැබිනට් මණ්ඩලයක් තියෙන්න ඕනෑ. රාජ්‍ය ඇමැතිවරු ඉන්න ඕනෑ, දැන් ගත්තොත් රමේෂ් පතිරණ ඇමැතිතුමාට ආයතන 60ක් තියෙනවා. ජීවිතේට ඇමැතිතුමාට බලන්න බෑ. අඩු තරමේ රාජ්‍ය ඇමැතිවරුන් දෙන්නෙක්වත් ඕනෑ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ ‘රාජ්‍ය ඇමැතිවරුන් දාන්න ඇමැති වැටුප් නෑ. වාහන වැඩිය ගන්න බෑ තනතුරු දෙන්න බෑ. විශාල කාර්ය මණ්ඩල බෑ.’ කියලා මේ යාන්ත්‍රණය යන්නත් එපැයි.
ප්‍රශ්නය- ළඟදිම තවත් කැබිනට් ඇමැතිවරුන් පිරිසක් දිවුරුම් දෙන්න ඉන්න බව වාර්තා වෙනවා.
පිළිතුර- මම ඒ ගැන දන්නේ නෑ තාම දිවුරුම් දුන්නේ නැති නිසා. ඒ නිසා ඒ ගැන මුකුත් කියන්න බෑ. ඒ වගේම මම මේකත් කියන්න ඕනැ. බදු හොරු ගැන මම පාර්ලිමේන්තුවේ කතා කළාට පස්සේ මට බරපතළ තර්ජන ගණනාවක් ආවා. මේ වෙනකොට යූ ටියුබ් නාළිකා තුනකින් ප්‍රබල ව්‍යාපාරිකයෙක් සල්ලි ගෙවලා මට මඩ ගහන්න පටන් අරගෙන තියෙනවා. අද ඒ කියන්නේ බදාදා ගුවන් විදුලි සංස්ථාවෙනුත් ඒක කිව්වා. මේ බදු නොගෙවන පිරිස් විශාල මඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
ප්‍රශ්නය- ඔබට බාර් 15ක් තියෙනවා කියලත් කියනවා?
පිළිතුර- රටේ තියෙන නීතිය අනුව මොවුන්ට විරුද්ධව නඩු දාන්න බෑ. සාපරාධී අපහාස නීතිය අයින් කරලනේ. මට පෞද්ගලිකව තමයි නඩු දාන්න වෙන්නේ. ඒවට නම් මම භය නෑ. ඔය මෝල්කාරයො එක්කවත්, කැසිනෝ කාරයෝ එක්කවත් මගේ ගනුදෙනු නෑ. ඒ නිසා මම කාටවත් ණයත් නෑ භයත් නෑ.
ප්‍රශ්නය- ඉදිරියේදි දිවුරුම් දීමට නියමිත කැබිනට් ඇමැති ලිස්ට් එකේ ඔබේ නමත් තියෙනවා.
පිළිතුර- ඒක මම දන්නේ නෑ. මට එහෙම ලොකු බලාපොරොත්තු නෑ. මම මහජන නියෝජිතයෙක් හැටියට මගේ වගකීම ඉටු කරමින් යනවා. මම හිතන්නේ මේ වෙලාවේ අපි ඔක්කොම එකතු වෙලා හරි සැලැස්මක් හදාගෙන ඉදිරියට යා යුතු කියලයි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්