දිනෙන් දින ගිනියම් වෙන දේශපාලනය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- මෙවර ඇතිවූ ස්වභාවික විපතේදීත් ආණ්ඩුව ෆේල්?
පිළිතුර:- ඒ වගේ අදහසක් තිබීම කනගාටුවට කරුණක්.
ප්‍රශ්නය:- ඇයි ඔබ එහෙම කියන්නේ?
පිළිතුර:- රාජ්‍යයක් හැටියට ලෝකයේ කිසිම රටක් අවම ප්‍රාථමික තාක්ෂණ ද නැතිව මෙච්චර හොඳින් ආපදා කළමනාකරණය කරලා නෑ. අපි ඒක හොඳින් කළා.
ප්‍රශ්නය:- නමුත් ජනතාව නම් කියන්නේ හමුදාව නැත්නම් තවමත් ගංවතුරේ කියලයි?
පිළිතුර:- රාජ්‍ය කියන්නේ මොකක්ද? ආගමික නායකයන්. ඊළඟට රාජ්‍ය හැටියට මේකට නායකත්වය දෙනවා ජනාධිපතිතුමා. ඒ වගේම අගමැතිතුමා. ඊළඟට කැබිනට් මණ්ඩලය. සමස්ත රාජ්‍යයම මේකට සම්බන්ධ වෙන්නේ එහෙමයි. සමහරුන්ට තේරෙන්නේ නෑ රාජ්‍ය කිව්වම ඒක මොකක්ද කියලා. දැන් ඔබත් කියනවනේ වැඬේ කළේ හමුදාව කියලා. සමහරු කියනවා ඒක කළේ නාවික හමුදාව කියලා. තවත් සමහරු කියනවා දිසාපතිතුමිය කියලා. තවත් සමහරු කියනවා ඒක කළේ ග්‍රාමනිලධාරි කියලා. ඉතින් ඒක තමයි රාජ්‍ය යාන්ත්‍රණය කියලා කියන්නේ. ඔය මම කියපු පිරිස මනා කැපවීමකින් මේ මෙහෙයුම දියත් කළා. එතකොට එහෙම වැඩකරන අය නොවෙයි වේල් දෙකම කාලා බුදියගෙන ඉඳලා නැගිටින අය ගෙවල්වල ඉඳගෙන ඔය වගේ මත කියනවා. ඒක හරිම කනගාටුදායක කරුණක්.
ප්‍රශ්නය:- විපතට පත් ජනතාව ඉක්මන් සහන අපේක්ෂා කරනවා. මොකක්ද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ?
පිළිතුර:- මාසයක් යනකොට සියයට අසූවක් වැඩ අවසන් කරනවා. මාස තුනක් යනකොට සම්පූර්ණයෙන්ම විපතට පත් අය 2003 දී නැවත යථා තත්ත්වයට පත් කළා වගේ අපි නඟා සිටුවනවා.
ප්‍රශ්නය:- දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා ගාල්ල යට වුණා කියලා ආණ්ඩුවේ ඇමැතිවරු කියනවා. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඔබ ඒ කතාව පිළිගන්නවා ද?
පිළිතුර:- නෑ. ඇත්ත වශයෙන්ම අධිවේගී මාර්ගය සහ මේ මහා දැවැන්ත ගංවතුර අතර සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් වතුර යම් යම් තැන්වල රැඳී තිබීමට.
ප්‍රශ්නය:- ඒ හැරෙන්න වෙන සම්බන්ධයක් නෑ?
පිළිතුර:- ඔව් ඇත්ත වශයෙන්ම. කිසිම සම්බන්ධයෙක් නෑ. මේ ගංවතුරට ප්‍රධාන කාරණය වෙනස්. උදාහරණයක් විදියට ඇමෙරිකානු ආණ්ඩුව සහ 1960 දශකයේ දී එවකට තිබුණ වාරිමාර්ග විදුලිබල ඉඩම් අමාත්‍යාංශය ඒකාබද්ධ වෙලා මේ රටේ වාරිමාර්ග සිතියම පිළිබඳව ඉතාම පැහැදිලි ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් කරලා තියෙනවා. ඒ වාර්තාවට දැන් අවුරුදු 60ක් විතර පරණයි. ඒත් එහෙම පරණයි කියලා ඒකේ කිසිම තාක්ෂණික දෝෂයක් නෑ. ඒ වාර්තාවේ ඉතාම පැහැදිලිව තියෙනවා රත්නපුර, කළුතර, ගාල්ල, මාතර විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්ක හතරේ මහා වේලි 6ක් ඉදි කරන්න ඕන කියලා. රන්දෙණිගල වගේ, වික්ටෝරියා වගේ මහා විශාල වේලි 6ක් ඉදිකළ යුතුයි කියලා ඒ ස්ථාන නම් කරලා තියෙනවා. ඒ ස්ථානවල අදත් ජලාශවල වගේම වතුර පිරෙනවා.
ප්‍රශ්නය:- මම ඔබට බාධා කරනවා. විපත්වලින් පස්සේ විවිධ සැලසුම් ගැන කතා කරනවා. විසඳුම් ගැන කතා කරනවා. දැන් ඇමැතිවරුම කියනවා උස් කඳු මුදුන්වල ඉන්න ජනතාව ඉන් අයින් කරන්න ඕනෑ කියලා. ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- ඇත්තටම එහෙම කියන්නේ තාක්ෂණය ගැන අබමල් රේණුවක් තරමින්වත් අවබෝධයක් නැති අයයි.
ප්‍රශ්නය:- එහෙම කියන්නේ ඇමැතිවරුමයි?
පිළිතුර:- කවුරු කිව්වත් මගේ උත්තරය ඒක තමයි. රටක් හැටියට අපි කරන්න ඕනෑ මහා ජල කඳ හරියට හසුරුවන එකයි. අපේ මහා පරාක්‍රමබාහු රජතුමා කිව්වෙත් ඔය කතාවම තමයි. “එක දිය බිඳක්වත් අපතේ යවන්න එපා.” කියලා එතුමා කිව්වා. පහුගිය 25 වැනිදා රාත්‍රියේ රටට ලැබුණේ මහා සම්පතක්. හැබැයි ඒ සම්පත හසුරුවන්න දන්නේ නැති නිසා සමස්ත ජනතාවම මහා දුකකකට පත්වුණා.
ප්‍රශ්නය:- හොඳයි ඔබ එහෙනම් විසඳුම කියන්න?
පිළිතුර:- ඔය මම කියපු දිස්ත්‍රික්ක සියල්ලෙහිම අර මම කියපු වේලි හැදිය යුතුයි. ගාල්ල දිස්ත්‍රික්කයේ නම් වාරුකන්දෙණිය ප්‍රදේශයේ රන්දෙණිගල වගේම උසින් වැඩි පළලින් අඩු මහා ජලාශයක් ඉදිකළ යුතුයි. පහළට ගඟ ගලාගෙන එනකොට තව ස්ථාන කිහිපයක තව ජලාශ ඉදිකළ යුතුයි. මේ ජලාශ ඉදි නොකර හිටියොත් අනාගතයේදී ද ඒ කඳු මුදුන්වල ඉන්න ජනතාවට ජීවත්වෙලා ඉන්න අයට ජීවත්වෙන්න බැරි බව අර ශක්‍යතා වාර්තාවේ ඉතා පැහැදිලිව සකස් කරලා තියෙනවා. මොකද ඒ ජලය නිසියාකාරයෙන් හැසිරුවේ නැති වුණාම කඳු නාය යනවා. රටේ පස අස්ථාවර වෙනවා. රටේ සාරය සම්පූර්ණයෙන්ම ගහගෙන ගිහින් මුහුදට එකතු වෙනවා. දැන් ගිංගඟේ පළමු අදියර ක්‍රියාත්මකයි. ගාල්ල නගරයේ ඉඳලා බද්දේගමට හැතැප්ම 12 යි. ඉස්සර නම් බද්දේගම නගරයේ ඉඳලා හැතැප්ම නවයකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙනවා. අන්තිම කෙළවර අඩි 8ක් 10ක් උසයි ජලය. නමුත් ගිංගඟ පළමු අදියර ක්‍රියාත්මක කළාට පස්සේ බද්දේගම නගරයේ ඉඳලා ගාල්ලට එනකම් ප්‍රධාන පාර යට වෙන්නේ නැහැ. ඒ නිසා දැන් කළ යුතු වන්නේ වහාම මේ වේලි හය ඉදිකිරීම.
ප්‍රශ්නය:- ඇයි ඉතින් නොකරන්නේ?
පිළිතුර:- විවිධ අවස්ථාවල ආණ්ඩු මේවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා තියෙනවා. මට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාම මට චීන ආණ්ඩුව සම්බන්ධ කරලා කිව්වා “මේ ජලාශය හදන වැඬේ පටන් ගන්න” කියලා. අපි මේකේ මූලික ගමන යනකොටම දේශපාලන පක්ෂවල අය මහජනයා උසි ගැන්වූවා. මහජනයා විරුද්ධ වුණා. ඒක ඇතුළේ ව්‍යාපෘතිය නතර වුණා. එතකොට නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2012-2015 රත්නපුර මහවේල්ල ඉදිකරන්න උත්සාහ කළා. මහජනයා විරුද්ධ වුණා. විරුද්ධ පක්ෂ විරුද්ධ වුණා. වැඬේ නතර වුණා. ප්‍රතිඵලය තමයි දහස් ගණන් ජනතාව මියයාම. අපි කොහොම හරි මේ පාර මේ මහජනතාව නැගිටවනවා. එහෙම කරලා තව අවුරුදු නවයකින් දහයකින් මේ ජනතාව මරලා දාන එක නොවෙයි කරන්න ඕන. මගෙන් ඇහුවොත් මේ ගංවතුරට විසඳුමක් තියෙනව ද කියලා මම කියනවා “ඔව්” කියලා. ඔබේ විසඳුම ක්‍රියාත්මක කළොත් ගංවතුර එන්නේ නැද්ද කියලා ඇහුවොත් මම කියනවා “නෑ” කියලා. එහෙම නම් මේ ජලාශ හය අනිවාර්යයෙන්ම ඉදිකළ යුතුයි. පූර්වාදර්ශ තියෙනවා. කොත්මලේ හදන්න කලින් බෙලිහුල්ඔය යට වුණා. ගැටඹේ යටවුණා.
පේරාදෙණිය යට වුණා. දැන් යට වෙන්නේ නෑ. වික්ටෝරියා ජලාශය හැදුවට පස්සේ යට වෙච්ච ප්‍රදේශ යට වුණේ නෑ. මහා ජලාශයකුත් තියෙනවා. විදුලියත් නිෂ්පාදනය වෙනවා. වාරිමාර්ගවලට අවශ්‍ය ජලයත් තියෙනවා. මහවැලියත් එහෙමයි. ඉඟිනිමිටියත් එහෙමයි. ඒ නිසා මේ ව්‍යාපෘති වහාම පටන් ගත යුතුයි. ජනාධිපතිතුමා කිව්වා මේක පටන් ගන්නවා කියලා. අගමැතිතුමාට මේ ගැන මනා අවබෝධයක් තියෙනවා. මේ ගැන විවේචනය කරන පුද්ගලයන්, පක්ෂ හා සංවිධාන මේ ඔක්කොම එකතු වෙලා අපට සහයෝගය දුන්නොත් අපට ලබන සිංහල අවුරුද්ද වෙනකොට මුල්ගල තියන්න පුළුවන්. වැඩ පටන් ගන්න පුළුවන්. 2022 වෙනකොට වැඩ අවසන් කරන්නත් පුළුවන්. එතකොට මහජනයා එවැනි විපතකට යළිත් මුහුණ දෙන්නේ නෑ. ඒක කරනවා වෙනුවට වෙනත් ඒවාට ගියොත් රටත් ජනතාවත් අමාරුවේ වැටෙනවා. මේ පාර බිලියන 300ක විතර හානියක් වෙලා තියෙනවා. මං යළිත් කියනවා මේ තත්ත්වයෙන් ජනතාව මුදා ගන්නවා. ඒ නිසා මෝඩ කතා කියන්නේ නැතිව හැට වසරක් පැරණි මේ වාර්තාව අරගෙන ක්‍රියාත්මක කළ යුතුයි.
ප්‍රශ්නය:- මැති ඇමැතිවරු හැප්පෙන හැප්පිල්ල දිහා බැලුවම ඔය වගේ ලොකු වැඩ කරන්න පුළුවන් ද කියන සැකයක් මතුවෙනවා.
පිළිතුර:- කිසිම මැති ඇමැති කෙනෙක් හැප්පෙන්නේ නෑ. විවිධ මත තියෙනවා. අදහස් තියෙනවා. විවිධ යෝජනා තියෙනවා. එයාගේ මතය වෙනස්. මගේ මතය වෙනස්. ඒවා සාකච්ඡා කරලා එක තැනකට ආවම ඒකම ප්‍රජාතන්ත්‍රවාදයට මහා ශක්තියක් වෙනවා. ඔය ඔබ කළේ වැරදි අර්ථකථනයක්.
ප්‍රශ්නය:- කොහොම වුණත් කැබිනට් සංශෝධනයෙන් වුණේ යූ.එන්.පීයේ අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වීම නේද?
පිළිතුර:- නෑ... ඔය පුවත්පත්වල තියෙන කැරැල්ලක්. ඉතින් ඕනෑම කෙනෙක් ගත්තාම ගිහියන් හැටියට තණ්හාව තියෙන එක සාමාන්‍ය ස්වභාවයක්. තණ්හාව නිසා ඇතිවන අදහස් සාමාන්‍යයෙන් වෙනස්. දේශපාලනඥයෝ තුළත් තණ්හාව තියෙනවා. මොකද රහත් වෙලා නෑනේ. ඒ නිසා තණ්හාව මුල් වුණාම පොඩි පොඩි සිද්ධි වෙන්න පුළුවන්. ඒවා පාලනය කිරීම තමයි ආණ්ඩුවක් විදියටත් පක්ෂයක් හැටියටත් අපේ පළමුවැනි අරමුණ.
ප්‍රශ්නය: ඔය ඔබ කියන තණ්හාව තියෙන්නේ කාටද? ඇමැති රවි කරුණානායකට ද? වෙනත් ඇමැති කෙනෙකුට ද?
පිළිතුර:- නෑ... එහෙම දෙයක් නොවෙයි. සියලු දෙනාටම. මටත් තණ්හාව තියෙනවා. තණ්හාව නිසා තමයි ඇතිවන්නේ අතහැරීමට නොහැකිකම.
ප්‍රශ්නය:- ආසියාවේ හොඳම මුදල් ඇමැති ඇයි මේ ආණ්ඩුවට එපා වුණේ?
පිළිතුර:- ඒක ඉතින් මගෙන් අහලා තේරුමක් නෑ. ඒක අහන්න ඕනෑ.... ම්ම්ම්..... ඔබ ඔය ප්‍රශ්නය ඇහුවේ වැරදි කෙනෙක්ගෙන්. මගෙන් අහලා ඵලක් නෑ.
ප්‍රශ්නය:- රවි කරුණානායක කියන්නේ යූ.එන්.පියේ නියෝජ්‍ය නායකයා. මුදල් ඇමැතිකමින් ඔහු ඉවත් කිරීම යූ.එන්.පියට කණට ගැහුවා වගේ කියලා අර්ථකථන කරන අයත් ඉන්නවා.
පිළිතුර:- මං හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක්. ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ පක්ෂයත් මේ දේවල් තේරුම් ගන්නේ වෙනස් විදියට. යම් යම් අවස්ථාවල කැබිනට් සංශෝධන කිරීම සිද්ධ වෙන දෙයක්. රාජ්‍ය නායකයන්ට හිතෙන විදියට ඒක වෙනස් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය නායකයන්ට ඒ බලය දීලා තියෙනවා. පුවත්පත් උත්සාහ කරන්නේ ඒවා ගැටුම් බවට පත්කිරීමටයි. ඒත් එහෙම කරන්න එපා.
ප්‍රශ්නය:- ජනතා පදනමක් නැති ජාතික ලැයිස්තුවෙන් ආපු ඇමැතිවරයෙක් එක්සත් ජාතික පක්ෂය විනාශ කරමින් ඉන්නවා කියලා ඇමැති රවි කෙලින්ම කියනවා?
පිළිතුර:- ඒකත් ඉතින් වැරදි මතයක්නේ. දැන් ලෝකයේ ජපානයේ මට මතක විදියට ජපන් රටේ ආණ්ඩුවක් ආවම ඒ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙන්න ඕන පක්ෂයේ මහලේකම්. ඉතින් ඒ බලන්න ඕන දේශපාලන පක්ෂ මහජනතාවගේ සිතුම් පැතුම් සහ පක්ෂයේ අරමුණු ගැන අවබෝධයක් සහිතව එතැන් සිට රට මෙහෙයවන්න ඕනෑ. ඒක ලෝකෙත් කරලා තියෙනවා. ලංකාවෙත් කළ යුතුව තිබෙනවා.
ප්‍රශ්නය:- ඔබ මගේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ නෑ?
පිළිතුර:- ඔබ අහපු ප්‍රශ්නයට තමයි මම උත්තර දුන්නේ.
ප්‍රශ්නය:- පන්සල්වලට එන මුදල් තමන්ගේ පෞද්ගලික අරමුදලට බැර කරගන්නා යහපාලන ආණ්ඩුවේ ඇමැති කෙනෙකු ගැනත් ඇමැති රවි කිව්වා?
පිළිතුර:- ඒක මම දන්නේ නෑ. ඒක එතුමගෙන් අහන්න ඕන.
ප්‍රශ්නය:- වංචාවට, දූෂණයට, හොරකමට එරෙහිව හදපු ආණ්ඩුව තුළ එවැනි ඇමැතිවරුන් ඉන්නවා කියලා ඇමැතිවරයෙක්ම කියන කොට?
පිළිතුර:- ලෝකයේ කිසිම තැනක වංචාව, දූෂණය, හොරකම, මැරකම සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. ඒවා පාලනය කරන්න විතරයි පුළුවන්. ඒවා නැති වුණොත් එහෙම පොලිසි වහන්න වෙයි. ඒවා නැති වුණොත් නඩුකාර මහත්වරුන්ට අහන්න නඩු නැති වෙයි. ඒවා නැති වුණොත් නීතිඥ මහත්වරුන්ට රස්සා නැති වෙයි. ඒවා නැති වුණොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වහන්න වෙයි. මේක සමාජ යාන්ත්‍රණයක්. ඒ සමාජ යාන්ත්‍රණයේ කොටස් අරවා. මේක පවතින්න අරවත් අඩුවැඩි වශයෙන් පවතිනවා. ඒවා පාලනය කරනවා. අඩු කරනවා. වෙනස් කරන්න බෑ. නීති ගේනවා ඉදිරියට යනවා. මේක තමයි ඉතින් සමාජය කියලා කියන්නේ.
ප්‍රශ්නය:- හොරකම නැත්තටම නැති කරන්න ගිහිල්ලා මට මෙහෙම වුණා කියලා ඇමැති රවි කිව්වා?
පිළිතුර:- නෑ. ලෝකයේ කොහේවත් ඕවා නතර කරන්න බෑ. ඒවා පුද්ගලයන් මත තියෙන ක්‍රියාදාමයන්. පුද්ගලයාගේ හැසිරීම, පුද්ගලයා සකස්වුණු ව්‍යුහය. ඒ අය පුරුදු පුහුණු වෙච්ච විදියට තමයි ඒ අය සමාජයේ ඉස්සරහට යන්නේ. ඕවට අවශ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඒවට කලබලවෙන්න අවශ්‍ය නෑ.
ප්‍රශ්නය:- ඔබේ පක්ෂයේ මහලේකම් ඇමැති කබීර් හෂීම් සහ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අතර කාමර ප්‍රශ්නයක්. ලක්ෂ්මන් යාපා තවම දිවුරුම් දුන්නෙත් නෑ.
පිළිතුර:- ඒක මේ පොඩි ප්‍රශ්නයක්. එච්චර ගණන් ගතයුතු ප්‍රශ්නයක් නොවෙයි.
ප්‍රශ්නය:- තව ටික කාලයකින් මහා ප්‍රශ්න බවට පත්වෙලා පුපුරලා යයි කියලා ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර:- තණ්හාව ඉතින් දුරුකර ගන්න අපි පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. එහෙම වෙයි. බයවෙන්න එපා.
ප්‍රශ්නය:- මෙහෙම ගියොත් 2020 වෙනකම් යන්න පුළුවන් වෙයි ද?
පිළිතුර:- එහෙම බෑ. අඩුම තරමින් මේක 2030 වෙනකම් යන්න ඕනෑ.
ප්‍රශ්නය:- එජාප - ශ්‍රීලනිප ගිවිසුම සැප්තැම්බරයේදී අවසන්.
පිළිතුර:- නෑ. එහෙම එකක් නෑ. මේ අවුරුදු පහම එකට යන්න අපි එකඟවෙලා තියෙන්නේ.
ප්‍රශ්නය:- ඡන්දයක් එනකම් බලාගෙන ඉන්නවා කියලයි මහින්ද රාජපක්ෂ කියන්නේ?
පිළිතුර:- එතුමත් ඉතින් මොනවා හරි කියන්න එපැයි එතුමගේ පැවැත්මට. ඒකේ වරදක් නෑ.
ප්‍රශ්නය:- ඇත්තටම ඡන්ද නොතියන්නේ බය නිසා නේද?
පිළිතුර:- ඡන්ද නොතියන්නේ බය නිසා නොවෙයි. සීමානිර්ණ ප්‍රශ්න නිසානේ. ඒවා ඉවර වෙච්ච ගමන් ඡන්ද තියනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්