වෙනස් වෙන්න අනුරගෙන් ඉගෙන ගන්න


ජනතාවට ලබාදෙන සහනාධාර සහ රාජ්‍ය සේවය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන මෙම කරුණු අතිශය වැදගත්ය. ‘රාජ්‍ය සේවාව ලබා ගැනීම සඳහා දැරිය යුතු විශාල පිරිවැයක් තිබෙනවා. සමහර ආයතනවල දැන් කළ යුත්තක් නැහැ. එක් ක්ෂේත්‍රයක් සඳහා රාජ්‍ය ආයතන විශාල ගණනක් තිබෙනවා. ඒ සියල්ල ඒකාබද්ධ කළ යුතුයි. ජනතාව ආකල්ප වශයෙන් වෙනස් විය යුතුයි. දේශපාලන අධිකාරියේ ගුණාංග අප ගෙනැවිත් තිබෙනවා. එහෙත් ඔබගේ පරිවර්තනීය වෙනසක් ඇති නොකර රටක් හැටියට ඉදිරියට යන්න බැහැ....’ ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඉකුත්දා පැවැති ආර්ථික සමුළුවේදීය.
විපක්ෂයේ දී කුමක් කීවත් ආණ්ඩු බලය හිමිවීමෙන් පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය හැසිරෙන ආකාරය සියලු දේශපාලන පක්ෂවලට අධ්‍යයනය කිරීමට වටිනා හැසිරීමකි. විපක්ෂයේදී වීදි සටන්කරුවන් වූ ඔවුහු ආණ්ඩුකරණයේ දී ආණ්ඩුවේ සම්ප්‍රදාය රකින කණ්ඩායමක් බවට පත්ව සිටිති. විපක්ෂයේ දී දෝත පුරා වැටුප් වැඩිකිරීම්, බදු අඩුකිරීම් ගැන කතා කළ ඔවුහු ආණ්ඩුකරණයේ දී පඩි වැඩි කිරීමේ අවාසි ගැනත් රාජ්‍ය සේවකයන් ප්‍රමාණය වැඩිවීම ගැනත් එතරම් විශාල රාජ්‍ය සේවක පිරිසකට වැටුප් ගෙවීමේ දුෂ්කරතාව ගැනත් කියා සිටිති. එම ප්‍රකාශ වඩාත් වැදගත් වන්නේ හෙට ඉදිරිපත් කරන අය වැය හේතුවෙනි.
වාමාංශික දේශපාලන ව්‍යාපාරයක සිට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් බවට පත් වූ ජාතික ජනබලවේගයේ නායකයා වන ජනාධිපතිවරයා දශක ගණනාවක් තිස්සේ දේශපාලන ගැලරිය පිනවූ ජනප්‍රිය කථිකයෙක් වූයේය. රාජ්‍ය යාන්ත්‍රණය හා රජය කරවන දේශපාලකයන් ගැන ගැලරියෙන් ප්‍රීති ඝෝෂා නැගෙන ආකර්ෂණීය කතාකරුවකු ලෙස සිටි අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු රාජ්‍ය සේවයේ යථාර්ථය මනාව අධ්‍යයනය කර ඇති බව එම ප්‍රකාශයෙන් පැහැදිලිව පෙනෙයි. ගැලරිය පින වූ අනුර සහෝදරයා ලෙස නොව ඔහු එම අදහස් පළකරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙසය. නිසි රාජකාරියක් නොමැති සේවකයන් දහස් ගණනක් ද ඇතුළත් ලක්ෂ දහතුනක රජයේ සේවකයන් පිරිසකට වැටුප් ගෙවන මුදල් ඇමැතිවරයා ලෙසය. ජනාධිපතිවරයා එම සභාවේදී සහනාධාර ගැන ද පැවසුවේය. නිරෝගී ශරීරයක් ඇතත් රැකියාවක් නොකර රජයේ සහනාධාර ලබන දහස් ගණනක් ජනතාවට සෑම අයවැයකදීම වෙන් කරන කෝටි ගණනක මුදල තවදුරටත් මේ රටට දැරිය හැකි ද යන ප්‍රශ්නය ජනාධිපතිවරයා මෙසේ මතු කරන්නේ පළමුවතාවටය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නිතර පෙනී සිටියේ දැනට ලැබෙන සමෘද්ධි, අඩුආදායම් සහන ආදිය කප්පාදු කිරීමට එරෙහි මතයකය. පැවැති ආණ්ඩු සමෘද්ධිලාභීන් ප්‍රමාණය ගණනය කිරීමට පසුගිය කාලයේ ගත් උත්සාහයේදී ජවිපෙ සුවිශාල විරෝධයක් මතු කළේ සහනාධාර කප්පාදු කරන්නට යන බව කියමිනි. එහෙත් මේ වන විට ජවිපෙ නායකයා ජනාධිපතිවරයා බවට පත් වී සිටින වාතාවරණයේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ඇති අසීරුව මෙන්ම සහනාධාර සඳහා රජය වැය කරන මුදල් ප්‍රමාණය සහනාධාර සඳහා සුදුසුම අය තෝරා ලබා දෙන බවට කරන ප්‍රකාශයෙන් ජනාධිපතිවරයාගේ මතය වෙනස් වී ඇති බව තේරුම්ගත හැකිය. විපක්ෂයේදී කුමක් කීවත් ජනාධිපතිධුරය දරන විට වැඩ කළ යුතු වන්නේ එම ධුරයට ගැළපෙන පරිදිය. ජවිපෙ නායකයා ලෙස පක්ෂය ගැන බැලීම ප්‍රමාණවත් වන අතර රාජ්‍ය නායකයා ලෙස පාක්ෂිකයා ගැන නොව රට ගැනම බැලිය යුතුය. සියලු ජනාධිපතිවරුන් ඉකුත් කාලයේ කටයුතු කළේ ඒ ආකාරයටය. මහා භාණ්ඩාගාරය තමන් භාරයේ තිබූ පළියටම දෝත පුරා පිනට දිය නොහැකිය. ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා සහ රජයට ඒ බව තේරුම්ගැනීමට බලයට පත් වනතුරුම සිටින්නට සිදුවීමය. අනුරගෙන් ඉගෙන ගන්න කියා අප කියන්නේද ඒ නිසාය. බලය ගැනීම සඳහා මගකුත් බලය ලබා ගත් පසු තවත් මගකුත් අනුගමනය කිරීම බලය ස්ථාවර කර ගැනීමේ ලක්ෂණයකි. කුඩා පක්ෂයක නායකයා ලෙස ගත් මග වෙනස් කරමින් රටේ ජනාධිපතිවරයා ලෙස අලුත් මගක් තෝරාගැනීම සැබැවින්ම අගය කළ යුතුය. රජයේ ප්‍රතිපත්තිවලට අනුගත වී මහා භාණ්ඩාගාරය පාලනය කිරීම. බදු ගෙවන රටවැසියන්ට සාධාරණයක් උදාකරයි. එසේ නොමැතිව ජවිපෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් රටේ සංවර්ධනය කෙසේ වෙතත් රට අවුලෙන් අවුලට පත්වීම වැළැක්විය නොහැකය.
මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපතිවරයාගේ පළමු අය වැය යෝජනාවලිය හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී ජනාධිපතිවරයා රාජ්‍ය සේවය හා රාජ්‍ය සහනාධාර පිළිබඳව කරන ප්‍රකාශ අයවැයේ හැඩරුව ගැන චිත්‍රයක් මවා ගැනීමට ප්‍රමාණවත්ය.


නොමිලේ දුන් සහල්එපා කීවේ කවුද?


ඉන්දීය රජය නොමිලේ පිරිනමන්නට සූදානම් වූ සහල් ටොන් හැත්තෑදහසක ප්‍රමාණය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවේ දේශපාලකයකු සහ ලේකම්වරයකු පිළිබඳව විපක්ෂය නගන චෝදනාව ආණ්ඩුවේ පැවැත්මට සුබදායක නැත. මිල ඉහළ නගිමින් සහල් හිඟවෙමින් අර්බුදයක් බවට පත් වූ අවස්ථාවේ වත්මන් රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයකු සහ අමාත්‍යාංශ ලේකම්වරයකු මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා හමු වූයේ සහල් ආනයනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටය.
මුල දී අවශ්‍යතාව වූයේ සහල් ටොන් හැත්තෑදහසකි. මෙහිදී මහකොමසාරිස්වරයා සහල් ටොන් හැත්තෑදහසම රජයට නොමිලේ ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.
එම යෝජනාව ප්‍රතික්ෂේප කළ දේශපාලකයා ප්‍රකාශ කර ඇත්තේ සහල් නොමිලේ අවශ්‍ය නැති බවත් සති දෙකක් ඇතුළත මුදලට ලබාදෙන ලෙසත්ය. එයට එකඟ වූ පසු ශ්‍රී ලංකා රජයේ බලධාරීන් කොන්දේසි විශාල ප්‍රමාණයකින් යුතු ලිපියක් තානාපති කාර්යාලයට යවා තිබේ. සහල්වල පිරිසුදු බව, සහල්වල ගුණාත්මක භාවය, සාම්පල් තිබිය යුතු ආකාරය ඇතුළු කොන්දේසි ගණනාවක් එයට අයත් විය. මෙම ලිපියට පිළිතුරු දුන් තානාපති කාර්යාලය එම කොන්දේසි යටතේ සති දෙකකින් සහල් සැපයිය නොහැකි බවට දැනුම්  දුන්නේය. මෙම දැනුම් දීමෙන් පසු රජය තීන්දු කළේ සහල් ගෙන්විය හැකි ඕනෑම අයකුට සහල් ගෙන්වීමේ අවසරය ලබා දීමටය. විවෘතව සහල් ගෙන්වන අවස්ථාවක දී රජයට බදු ගෙවීම, පොරොත්තු ලේඛනවල සිටීම, ලියාපදිංචි වීම ආදී කිසිදු නිර්ණායකයක් අවශ්‍ය නොවේ. ලංකාවට ආහාර ගෙන්වන ක්‍රියාදාමයෙන් සියයට හැටපහක් සිදුවන්නේ රජයට බදු අහිමිවන හදිසි මිලදී ගැනීමේ මෙම ‘හොර පාර’ හරහාය. සහල් ගෙන්වීම ද සිදු වූයේ එම පාරෙන් වූ අතර වත්මන් රජය යටතේ හිතවත් ව්‍යාපාරිකයන් පිරිසකට සහල් ආනයනයට එමගින් අවස්ථාව හිමිකර දුන් බව විපක්ෂය චෝදනා කරයි. පැරැණි ආණ්ඩුවල දේශපාලකයන් මුදල් හරි හම්බකරගත් අයථා ක්‍රමවලට තිත තබන බවට මැතිවරණ වේදිකා පුරා සිය ගණනක් පොරොන්දු දුන් ජාතික ජනබලවේග රජය යටතේ ද පැරැණි ආණ්ඩුවල දේශපාලකයන් භාවිත කළ ක්‍රමයම ක්‍රියාත්මක වේ නම් එම ආණ්ඩුවේ සුජාත භාවය ගැන ජනතා පිළිකුලක් ඇතිවීම වැළැක්විය නොහැකිය.


 රවිගේ යෝජනාවෙනුත් විශ්‍රාම වැටුප අහෝසි නොවේ.


 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් සම්මත විය. මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂය ද සහාය ලබාදුන් අතර අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය රවිගේ යෝජනාව අගය කරමින් කතා කළාය. එහෙත් මෙම යෝජනාව අනුමත වූ පමණින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි වන්නේ නැත. ඒ සඳහා සුදුසු අණපනත් ගෙන එමින් එම යෝජනාව නීතිය බවට පත් කිරීමට කටයුතු කළ යුත්තේ රජය විසිනි.
මෙරට දේශපාලකයන් අසීමිත පහසුකම් භුක්ති විඳින බව රහසක් නොවේ. තීරු බදු රහිත වාහන බලපත්‍රයේ පිහිටෙන් ලොව මිල අධිකම වාහන ඇනවුම් කළ මෙරට දේශපාලකයෝ වසර පහක මන්ත්‍රී ධුර කාලයක් ගතකිරීමෙන් පසු විශ්‍රාම වැටුපකට ද හිමිකම් කියති. රටේ පොදු සෑම කටයුත්තකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාමණක් නොව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පවා උත්සාහ කරන්නේ තමන් පොදු මහජනතාවට උඩින් සිටින වරප්‍රසාද ලැබූ පිරිසක් බව පෙන්වන්නටය. අවසානයේ මහා සුළි කුණාටුවක්ව සම්මත දේශපාලන පක්ෂ ප්‍රවාහයම ඇද වැටෙන තුරු ඔවුන් ඒ බව වටහා ගත්තේ නැත. 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම පිළිබඳව දැනට සමාජයේ ඇති දුර්මතයක්ද මෙහිදී නිවැරැදි කිරීමට සිදුවෙයි. බොහෝ දෙනාගේ අදහස වන්නේ මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දුන්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා බවය. එය වැරදිය. මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකර දුන්නේ 1970 – 1977 සමගි පෙරමුණු රජය විසිනි. එනම් ශ්‍රීලනිප සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සභාගය විසිනි. හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන්නේ ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මගිනි. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ 1976 අගභාගයේය. කතානායක අනුමැතියෙන් නීතියක් බවට පත්වූයේ 1977 ජනවාරි 7 වැනිදාය.
ජේ.ආර්. ජයවර්ධන රජය බලයට පත්වූයේ 1977 ජූලි මැද භාගයේය. ඒ අනුව ජේ.ආර්ගේ රජය බලයට පත්වන විටත් මෙම පනත අනුමතව තිබිණි. ජේ.ආර්. 1978 සම්මත කළ නව ව්‍යවස්ථාවට සමගි පෙරමුණු රජය අනුමත කර තිබූ මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතද අඩංගු කළා හැරෙන්නට මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දුන්නේ ජේ.ආර්. නොව බණ්ඩාරනායක මැතිනිය ය.
පනතේ මෙසේ සඳහන් වේ.
‘‘‘‘“ශ්‍රී ලංකා ජනරජයේ ජාතික රාජ්‍ය සභාව විසින් මෙසේ පනවනු ලැබේ.
1931 ජූලි මස 7 වැනිදායින් පසු ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කළා වූද මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටින්නා වූද යම් තැනැත්තෙක් මෙහි මින් මතු සලස්වා ඇති විධිවිධානවලට යටත්ව මේ පනත යටතේ විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන්නේය.’
අවුරුදු පහක සේවා කාලයක් සැපිරූ මන්ත්‍රීවරයකුට මාසිකව ලැබුණු මන්ත්‍රී දීමනාවෙන් තුනෙන් එකක් වූ විශ්‍රාම වැටුපක් ද මන්ත්‍රීවරයකු ලෙස වසර 15 ක සේවා කාලයක් සැපිරූ අයකුට මාසික දීමනාවෙන් තුනෙන් දෙපංගුවක් ද විශ්‍රාම වැටුප ලෙස හිමිවේ. ඔහු යළිත් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන්නේ නම් එම කාලයේ විශ්‍රාම වැටුප අත්හිටවෙනු ඇති අතර මන්ත්‍රීධුරයෙන් විශ්‍රාම ලැබූ පසු යළි සුපුරුදු ලෙස විශ්‍රාම වැටුප ලැබේ. විශ්‍රාම වැටුප් ගෙවන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසිනි. ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් ඔහු වෙත අරමුදල් සැපයේ’ යැයි පනතේ සඳහන් වේ. මේ වනතුරුත් මන්ත්‍රී විශ්‍රාම වැටුප ගෙවන්නේ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු රජය 1977 ජනවාරියේ පැනවූ එම පනතේ විධිවිධාන අනුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනාව ගැන මන්ත්‍රීවරයා පවසන්නේ තමා එම යෝජනාව සංකල්පයක් ලෙස ඉදිරිපත් කළ බවය. අතීතයට බලපාන පරිදි අහෝසි කරන්නේද, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපාන පරිදි අහෝසි කරන්නේද එසේත් නැතිනම් අනාගතයේ පත්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බලපාන පරිදි පනවන්නේ ද යන්න රජය ගෙන එන පනත් කෙටුම්පත් අනුව තීරණය වනු ඇත. ‘නලින්ද ඇමැතිතුමා මේකට සහාය පළ කළා.’ අගමැතිනිය කීවා රජයේ එකසිය පනස් නවදෙනාගේම අනුමැතිය තියෙනවා කියලා.’ රවි කරුණානායක මන්ත්‍රීවරයා සඳහන් කරයි.
වර්තමාන රජය ඉකුත් මැතිවරණ කාල සීමාමේ ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වන ජනාධිපතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන බවට වූ පොරොන්දුවට සාර්ථක ආරම්භයක් රවි කරුණානායක මන්ත්‍රීවරයා විසින් ලබා දෙනු ලැබ තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ මන්ත්‍රී වැටුප හා විශ්‍රාම වැටුප ඔවුන්ට ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු ප්‍රතිපාදන මත වීමය. අහෝසි කිරීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් පමණක් කළ හැකි වේද? නැතිනම් ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට සිදුවේද? යන්න අනාගතය විසින් විසඳිය යුතු ප්‍රශ්න වේ. ඒ සියල්ලටම පෙර රජය මේ සම්බන්ධයෙන් අණපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර ආණ්ඩුවට එවැනි වුවමනාවක් තිබේද යන්න තවමත් ප්‍රකාශයට පත්කර නැත.


එජාප – සජබ සාකච්ඡාවේ මිථ්‍යාව


ජයග්‍රහණය අතේ තිබූ ජනාධිපතිවරණය
බන්දේසියක තබා ජාතික ජනබලවේගයට පිළිගැන් වූ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දය දිනා ගැනීම සඳහා එකතුවීමේ සාකච්ඡා පැවැත්වීම දේශපාලන විහිළුවක් බවට පත්ව තිබේ. එය විහිළුවක් වන්නේ දෙපාර්ශ්වයම එකතු වීම සඳහා නොව තවදුරටත් වෙන්ව සිටීම සඳහාම මෙම සාකච්ඡා පවත්වාගෙන යන බැවිනි. සාකච්ඡා කණ්ඩායම් දෙක අවංක අරමුණකින් සාකච්ඡා පැවැත්වුව ද දෙපාර්ශ්වයේම ප්‍රබලයන්ගේ සහායක කණ්ඩායම් සාකච්ඡා කඩාකප්පල් කරන එම පක්ෂ දෙකටම පොදු ක්‍රියාදාමය යටින් ආරම්භ කර ඇත.
එජාප – සජබ එකඟතාවක් ඇතිවීම වැළැක්වීම සඳහා දෙපාර්ශ්වයෙන්ම සැලකිය යුතු පිරිසක් කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. එයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ පළාත් පාලන මැතිවරණයේ දී දෙපාර්ශ්වය එකතු වුවහොත් ගම් මට්ටමේ දී හිටපු ප්‍රාදේශීය සභා සභිකයන් ඇතුළු අපේක්ෂකයන් විශාල පිරිසකට අපේක්ෂකත්වය අහිමි වීමය. මතුපිටින් ඒ බව පෙන්වුව ද විරෝධතාවට සැබෑ හේතු එයට වෙනස්ය.
හේෂා විතානගේ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට එජාපය විරෝධය දක්වන අතර හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට සමගි ජනබලවේගය විරෝධය දක්වයි. එකතුවීමක් සිදුවිය යුත්තේ අලුත් සන්ධානයකට නොව සමගි ජනබලවේගයේම බවට හේෂා විතානගේ පැවසූ ප්‍රකාශය සාකච්ඡා කඩාකප්පල් කිරීමේ වෑයමක් බව එජාපයේ මතයයි. එමෙන්ම මෙතෙක් සාකච්ඡාවට නොපැමිණි හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා එක්වරම සාකච්ඡාවට පැමිණීමත් ඔහු මෙතෙක් සාකච්ඡාවට භාජනය නොවූ කරුණක් වන දුරකනය හා අලියා ලාංඡන දෙකම නැතිව අලුත් ලාංඡනයකින් තරග වැදිය යුතු බවට කළ ප්‍රකාශය සාකච්ඡා කඩාකප්පල් කිරීමේ වෑයමක් බව සමගි ජනබලවේගයේ අදහසය. මේ හේතුවෙන් සාකච්ඡා පැවැත්වීම තාවකාලිකව ඇණ හිටියේය. විපක්ෂනායකවරයා පැහැදිලිවම කියා සිටින්නේ දෙපාර්ශ්වය තරග වදින්නේ සමගි ජන සන්ධානයෙන් සහ දුරකතනය ලාංඡනයෙන් බවය. එජාප නායකයා සඳහන් කර ඇත්තේ කොළඹ නගර සභාවට අලියා ලාංඡනයෙන්ම තරග වැදිය යුතු බවය. මේ කතා සියල්ල එකතු කළ විට දෙපාර්ශ්වයම නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටය සොයන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
ප්‍රේමකීර්ති රණතුංග