ව්‍යවස්ථා සංශෝධනය කා වෙනුවෙන්ද?



ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය පැවැත්වීමට ඉතා ආසන්න කාලයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වැනි වරටත් සංශෝධනය සඳහා ආණ්ඩුව ඉකුත් ජූලි 12 වැනිදා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත (22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය) සම්බන්ධයෙන් නීති හා දේශපාලන අංශවල උද්ගත වූ ව්‍යාකූලත්වය තවමත් අවසන්ව නැත. එය ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් වෙන හෙයින් එයින් ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා මතු විය හැකි බවට විවිධ අදහස් ඉදිරිපත් වේ. මේ කාරණා සාකච්ඡාව සඳහා ප්‍රවේශයක් කර ගනිමින් අපි මේ ලිපියෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය විවේචනාත්මක විමසුමකට ලක් කළෙමු. ඊට අඩුවැඩිය එක්කරමින් විධායකය හා අධිකරණය අතර මෝදු වෙමින් පවතින ඝට්ටනය හා එයින් ප්‍රජාතන්ත්‍රවා දී දේහයට එල්ල විය හැකි අහිතකර ප්‍රතිවිපාක ද සාකච්ඡාවට ගත්තෙමු. මේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ නිසංකා මධුභාෂිණී ජයරත්න සමග කළ එම සාකච්ඡාවේ සටහනයි.

ප්‍රස්තුත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ කාරණයට ප්‍රවිෂ්ට වීමට පෙර 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය කෙටියෙන් විමසා බැලීම මෙහි දී වැදගත් වේ. වර්තමාන ව්‍යවස්ථාව ඒකීය, ලිඛිත සහ අනම්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. අනම්‍ය යන්නෙන් අදහස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාමාන්‍ය බහුතරයකින් සංශෝධනය කළ නොහැකි, ඒ වෙනුවට විශේෂ ප්‍රතිපාදන අනුව සංශෝධනය කළ යුතු ව්‍යවස්ථාවක්ය යන්නයි. 1978 සිට අද දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථා 21 කදී සංශෝධනය කර තිබේ. දැන් ඉදිරිපත් කර තිබෙන්නේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතයි. ගැසට් කර ඇති එම ව්‍යවස්ථා සංශෝධනයෙන් මූලිකව යෝජනා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටය. එහි සඳහන් වෙන්නේ ව්‍යවස්ථාවේ 30 (2) අනුවගන්තියෙහි සහ 62 (2) අනුවගන්තියෙහි දැක්වෙන විධිවිධාන සංශෝධනය කරන්නේ නම් හෝ පරිච්ඡින්න කරන්නේ නම් හෝ ප්‍රතියෝජනය කරන්නේ නම් හෝ අනුගමනය කළ යුතු පටිපාටියයි. ඒවා සංශෝධනය කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වේ.

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියෙහි ජනාධිපති ධුරයේ නිල කාලය වසර 6 ක් ලෙස ද, 62 (2) උපවගන්තියෙහි පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6 ක් යනුවෙන් ද දැක්වේ. එහෙත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම වගන්ති සංශෝධනය කෙරුණු අතර, ඒ අනුව ජනාධිපති පදවියේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 දක්වා අඩු කෙරිණි. එපරිදි එම සංශෝධනයෙන් ඉතා පැහැදිලිව ජනාධිපති ධුරයේ නිල කාලය වසර 5 දක්වා අඩු කර තිබිය දී, පසුගිය ජූලි 12 වැනිදා ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් ව්‍යවස්ථාවේ 83 වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කරයි. ඒ අනුව, “ජනාධිපති ධුරයේ නිල කාලය සාවුරුද්දක් දක්වා ඉක්මවා දීර්ඝ කරන්නා වූ හෝ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා යන්නා වූ” වචන වෙනුවට “ජනාධිපති ධුරයේ ධුර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය පස් අවුරුද්දක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් එම වගන්තිය සංශෝධනය කරන බව එහි දැක්වේ. එහි සරල අදහස නම් ජනාධිපති තනතුරේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හය ඉක්මවා යනුවෙන් මුල් ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදනය පස් අවුරුද්දක් ඉක්මවා යනුවෙන් සංශෝධනය කරන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2‌, 3, 6, 7, 8, 9, 10, 11, 30 (2) සහ 62 (2) යන වගන්ති සංශෝධනය කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය සහ ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමතය ද අවශ්‍ය වේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීමේ දී ජනමත විචාරණයකට තුඩු නොදෙන ආකාරයට එම සංශෝධන කිරීමට අදාළ සංශෝධන කෙටුම්පත සකස් කළ අය වගබලා ගත්හ. එහෙත් මතුවෙන ප්‍රශ්නයක් තිබේ. එනම්, ජනාධිපති ධුරයේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 දක්වා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩු කර තිබිය දී සහ එය නීතියක් බවට පත්ව තිබිය දී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එය නැවත තහවුරු කරන්නේ ඇයි ද යන්නය. ජනාධිපති නිලයේ ධුර කාලය වසර 5 ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයක දී තහවුරු කර තිබීම ද අපේ අවධානයට ලක් විය යුතුය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටිය දී ධුරයේ නිල කාලය වසර 5 ක්ද 6 ක්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකර‌ණයෙන් විමසීමක් කළ අතර, එහි දී අධිකරණය දැනුම් දුන්නේ ධුර කාලය වසර 5 ක් බවය. ඒ අනුව සිරිසේන ජනාධිපතිවරයා නියමිත වසර 5 ක කාලය අවසන් වීමෙන් පසු ධුරයෙන් ඉවත් විය. නීතිඥවරියක හා නීතිය උගන්වන කථිකාචාර්යවරියක වශයෙන් මේ සම්බන්ධ මගේ මතය වෙන්නේ ජනාධිපති ධුරයේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 ක් ලෙස ව්‍යවස්ථානුකූලව තහවුරු වී ඇති පසුබිමක නැවත එය තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ අවශ්‍යතාවක් නැති බවය.

ජනා‌ධිපතිවරණයක් කැඳවීමට ඉතා ආසන්න කාලයක ජනමත විචාරණයකට තුඩු දෙන මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට නීතිමය බාධා මතු විය හැකි ද යන්න ගැන සමාජයේ යම් ව්‍යාකූලත්වයක් උද්ගතව ඇති බවක් පෙනේ. ජූලි 17 වැනිදායින් පසු ඕනෑම දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන දින නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබී තිබේ. එවැනි සන්දර්භයක ජනමත විචාරණයකට තුඩු දෙන මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ගැන ජනතාව අතර යම් වික්ෂිප්තභාවයක් ඇති විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති කාරණයක් සම්බන්ධයෙන් නැවත තහවුරු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ ඇයි ද යන්න ගැන නීතිඥ ප්‍රජාව අතර පවා ප්‍රශ්නකාරී බවක් මතුව තිබිය දී, සාමාන්‍ය ජනයාට ඊට වඩා ගැටලුකාරී තත්ත්වයක් තිබිය හැකිය. මෙපරිදි යළි ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළේ දේශපාලනික උපක්‍රමයක් වශයෙන් ද නැතහොත් ජනතාව අතර යම් ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ අරමුණින් ද යන්න ප්‍රශ්න සහගතය.

මේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග අපි මෙහි විශාල චිත්‍රය කියැවිය යුතු වෙමු. එනම්, ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියා පිළිවෙතයි. මා මේ සාකච්ඡාව ආරම්භයේ දී පැවසූ පරිදි, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනම්‍ය එකක් වුව ද එහි අනම්‍යභාවය ප්‍රශ්නකාරීය. ඒ බව වඩාත් හොඳින් පෙනෙන්නේ වර්තමානය වෙනවිට අපේ ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වී ඇති පසුබිමේය. 

ඇතැම් ජනාධිපතිවරුන් ව්‍යවස්ථා සංශෝධන ගෙනැවිත් තිබෙන්නේ ඔවුන්ට වාසි සහගත තත්ත්ව නිර්මාණය කර ගැනීමටය. ඊට උදාහරණ කිහිපයක් දැක්විය හැකිය. 1982 දී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනා අතර එයින් කළේ ජනාධිපති නිල කාලයෙන් වසර 4 ක් සම්පූර්ණ වූ පසු ජනාධිපතිවරයාට අභිමත අවස්ථාවක ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබා ගැනීමයි. ජනාධිපතිවරයා ඉතා ජනප්‍රිය අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවා නැවත ධුරයට පත්වීමට ඉඩහසර සලසා ගැනීම එම ව්‍යවස්ථා සංශෝධනයෙහි යටි පෙළ බව සිතිය හැකිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් සම්මත කරගන්නා ලදි. එයින් ජනාධිපතිවරයෙකුට එම ධුරයට පත්විය හැකි උපරිම වාර ගණන දෙකක්ය යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනය සංශෝධනය කර ඕනෑම වාර ගණනක් පත්විය හැකි ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය කෙරිණි. එම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල බලපෑමක් එල්ල කෙරිණි.

යහපාලන ආණ්ඩු සමයේ දී සම්මත කෙරුණු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමාකර අගමැතිවරයාගේ බලතල පුළුල් කිරීමක් සිදුවිය. විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමේ පදනම මත, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස පොදුවේ හඳුනා ගත්ත ද, එම සංශෝධනයෙන් යම් ආකාරයක දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය විණි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පක්ෂ දෙකකින් පත්වීම නිසා එවක යම් දේශපාලන අස්ථාවර තත්ත්වයක් උද්ගත වූ බව අපට මතකය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු, රටේ මූලික නීතියයි. ජනතා පරමාධිපත්‍ය බලය මත නිර්මාණය වෙන නීතියේ උල්පත එයයි. එය එසේ වුව ද ඉහතදී දැක්වූ උදාහරණ ද ඇතුළත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය විමසා බැලීමේ දී පැහැදිලි වෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙන්නේ පුද්ගල කේන්ද්‍රීය පදනමක් මත බලයේ සිටින පාලකයන්ගේ බල දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගැනීමට බවයි.

බලතල බෙදීමේ සිද්ධාන්තය අනුව, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන අතර බලතල පැහැදිලි ලෙස බෙදා වෙන් කර තිබීම රාජ්‍ය පාලනයට අත්‍යවශ්‍ය වේ. එසේ නොවී එක් ආයතනයකට බලය අධික ලෙස හිමි වුවහොත් උදාවිය හැකි ප්‍රතිවිපාක ඉතා නරකය. එමෙන්ම මේ ආයතන අසීමිත ලෙස ස්වාධීනව කටයුතු කළහොත් එහිදී ද පාලනය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව උද්ගත විය හැකිය. එබැවින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන ආයතන අතර සංවරණ හා තුලන සිද්ධාන්ත නිසිලෙස ක්‍රියාත්මක වීම අවශ්‍යය. ප්‍රායෝගික දේශපාලනයේ දී ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බලතල නිශ්චිත ලෙස බෙදීමකට වඩා යම් සමීපස්ථභාවයකින් කටයුතු කරන ප්‍රවණතාවක් දැකිය හැකිය. ඊට සාපේක්ෂව නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පිණිස අධිකරණය ස්වාධීන වී ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ හැසිරීම අධීක්ෂණය කළ යුතුය. 

රටක ජනතාවගේ අයිතිවාසිකම්වල අවසන් ආරක්ෂකයා ලෙස හඳුනාගන්නේ ද අධිකරණයයි. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. එහෙත් මෑතක සිට විධායකය විසින් අධිකරණය ලබා දෙන ඇතැම් තීන්දු පාර්ලිමේන්තුවේ දී විවේචනය කරනු ලබන ප්‍රවණතාවක් දකින්නට තිබේ. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අධිකරණය විවේචනය කරන අවස්ථා දැකගත හැකිය. මේ තත්ත්ව දුරදිග ගොස් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන අතර ගැටුමක් උද්ගත වුවහොත්, එයින් නීතියේ ආධිපත්‍යයට අයහපත් බලපෑම් එල්ල වේ. ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලටද දැඩි බලපෑම් එල්ල වේ. එමෙන්ම පෙර පැවති ආකාරයේ ව්‍යාකූලත්වයක් සමාජයේ ඇති වීමටද එය හේතුවක් වෙනු ඇත. එය ජනයාගේ අසංතෘප්තභාවයට ද ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීමට ද නිමිත්තක් වීමට පිළිවන.