ව්‍යවස්ථාද‌ායකයේත් වෙනසක් කරන්න ඡන්දය යොද‌ාගනිමු


(*** නාලක සංජීව දහනායක)

ජනාධිපතිවරණය ජයගනිමින් රටතූළ ඇතිකළ වෙනස ව්‍යවස්ථාදායකයේ වෙනසක් දක්වා පරිවර්තනය කිරීමට මෙවර මහමැතිවරණය යොදාගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරාපේක්‍ෂක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (14) පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (14) පැවැති ජනහමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මහාචාර්යවරයා මෙසේද පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කර ගනිමින් ආරම්භ කළ දේශපාලන දැක්ම මහ මැතිවරණයේදීත් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය හා මහමැතිවරණය වෙන්කරල ගන්න බැහැ. අපට දැනට ලැබී තිබෙන වාර්තා අනුව මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයක් ලබා ගන්නවා. ඇතැම්විට එය මේ රටේ තනි දේශපාලන පක්‍ෂයක් ලබාගත් අතිවිශිෂ්ට ජයක් විය හැකියි.

මේ රට ව්‍යවස්ථාමය අර්බුදයකට හා සංවර්ධනය පිළිබඳව අර්බුදයකට මැදිවෙලා ඉන්නවා. මේ අර්බුදවලින් රට මුදවා ගන්න මහමැතිවරණයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. විශේෂයෙන් 78 වසරෙදී සම්මත කර ගත්ත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට අර්බුද රාශියක් ඇතිකර තිබෙනවා. දැනට මෙය 19 වතාවක් සංශෝධනය කර තිබෙනවා. ඒ සංශෝධන එකකට එකක් ගැළපෙන්නේ නැහැ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිකළ පළාත් සභා ක්‍රමය අවුරුදු තුනක් තිස්සේ තනි පුද්ගලයකු අතට පත්වෙලා. ඒ වගේම 19 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇතිකර තිබෙන අර්බුද කාටවත් විසඳිය නොහැකි තත්ත්වයකට පත්වෙලා. මේවා වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්‍ෂක, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ පැවැසීය.

රටතුළ හිඟන ආර්ථිකයක් බිහිව තිබෙන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා අපි දැක්කා. ඒ සඳහා සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ එතුමයි. 2010 - 2014 කාලයේදී සියයට 6.8ක්ව තිබූ ආර්ථික වර්ධන වේගය සියයට 2.3 දක්වා පහත වැටුණේ ඔහුගේ කාලයේදියි. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධන වේගය අඩුකර ගන්න එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. නමුත් එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුව ඒක කළා.

2005 වසර වනවිට අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222 යි. නමුත් යුද්ධයක් කරමින් ජනතාවට සහන දෙමින් අපි ක්‍රමානුකූලව ඒ ණය ප්‍රමාණය අඩුකර ගත්තා. නමුත් ඉකුත් යහපාලන ආණ්ඩුව ගතහැකි සෑම ආකාරයකටම ණය ලබා ගත්තා. ඒ නිසා රටේ ණය පොලී අනුපාතය හිතාගන්න බැරි ආකාරයට ඉහළ ගියා. අපේ රජය සමයේදී රටේ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 24.7 යි. නමුත් 2015 -2019 යුගයේදී එය ඇමරිකානු ඩොලර් බිලියන 227 දක්වා පහළ වැටුණා. ඒ වගේම රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,891 දක්වා අඩුවුණා.   

මහජනතාව හා ව්‍යාපාරිකයන්ට අසීමිතව බදු බර පටවමින් යහපාලන ආණ්ඩුව පීඩාකාරී පාලනයක් ගෙනගියා. යහපාලන ආණ්ඩුව සමයේදී රටේ බදු බර සියයට 80න් වැඩි වුණා. රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටුණේ යහපාලන යුගයේදියි. ඉකුත් ආණ්ඩුව රටට කිසිම භෞතික සම්පතක් එකතු කළේ නැහැ. ඒ නිසා ණය තොගය රුපියල් බිලියන 1,772 දක්වා වැඩිවුණා. එම මුදලින් හම්බන්තොට වරාය මෙන් වරායන් 13ක් හදන්න තිබූ බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්‍ෂක, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.  

එක්සත් ජාතික පක්‍ෂය හා සමඟි ජන බලවේගය පක්‍ෂ උත්සාහ ගන්නේ සුබසාධන ක්‍රම මගින් ආර්ථිකය ගොඩනගන්නයි. නමුත් තහඩු, උළු, වැසිකිළි කටවල් බෙදන දේශපාලනය ජනතාව ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඔවුන්ගේ වැඩපිළිවෙළ කිසිම ප්‍රායෝගිකත්වයක් නැහැ.

අපි පසුගිය ජනාධිපතිවරණයට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ මූලික කරුණු තුනක් පදනම් කර ගෙනයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම, තරුණ අපේක්‍ෂාවන් බලගැන්වීම, ආර්ථිකය ශක්තිමත් කිරීම එම කරුණු තුනයි. එමෙන්ම මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙනුත් අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. මේ සියලු අභියෝගයන් ජයගැනීමට නම් මහමැතිවරණයේදී බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.