වාද බේද අමතකකර දුප්පත්කම තුරන් කිරීමේ ආහාර නිෂ්පාදන යුද්ධයට එක්වෙන්න


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

බඩගින්න දේශපාලන, භාෂා, ආගම් භේදයක් නැති සියලුදෙනාට එක සමාන දෙයක් බැවින් සියලු වාදභේද අමතක කර රටේ දුප්පත්කම තුරන් කිරීමට, ආහාර නිෂ්පාදනය වර්ධනය කර ආහාරවලින් ස්වයංපෝෂිත, සමෘද්ධිමත් රටක් බවට පත්කරන්නට, දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය හා එක්වන්නැයි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළ තුළ ගොවියා ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් ඇතිකිරීම ආදිය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වර්තමානයේ සහල්, පොල් මිල ඉහළයාමට බලපා ඇත්තේ නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව පොල් වගා ඉඩම් හා කුඹුරු ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගැනීමෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ‘එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව කැකිරාව තිබ්බටුවැව වෙල්යායේ දී ඉකුත් 6 වැනිදා පැවැති වප්මඟුල් උත්සවය සඳහා සහභාගී වෙමිනි.

ගොයම් සිටුවීමේ යන්ත්‍රයක් භාවිතයෙන් පැළ සිටුවීමේ කාර්යය සඳහා ද මෙහිදී එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ගොවීන් සඳහා ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි පවුල්වල දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ද එක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.

“ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු අනිකුත් පූජකතුමන්ලාගේත් ආශිර්වාදය ලබාගෙන මේ ඓතිහාසික රජරට උරුමයේ හිමිකරුවන් වන ගොවි ජනතාව ප්‍රමුඛව ඔබ සියලුදෙනා හා එක්වී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ගොවිජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහාත් මේ රටේ නිදහස් ආර්ථිකයත් සමඟ රට පුළුල් ලෙස සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම සඳහාත් විවිධ බාධාවන්, ගැටලු, අභියෝග සියල්ල යටපත් කර ගනිමින්, රටේ පොදු මහජනතාවගේ ප්‍රධාන අරමුණු, ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම සඳහා ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඔබ අප සියලුදෙනා එක්ව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

මෙම ආහාර නිෂ්පාදන සංග්‍රාමය උත්සවයක් නෙවෙයි. මෙය ජාතියේ යහපත සඳහා අනාගතය වෙනුවෙන් ගොවිජන ජීවිතය ශක්තිමත් කිරීමටත් රටට නිදහස් ගොවි කෘෂි ආර්ථික පදනමක් ඇති කිරීම සඳහාත් ගොවි ජනතාව පෙරටු කර ගත් පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් විදියටයි මා මෙය හඳුන්වන්නේ.

කෘෂිකර්මාන්තයේ සමෘද්ධිය තුළයි අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කතාන්දරය කියැවෙන්නේ. එදා දේශීය කෘෂිකර්මාන්තය මුල් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම තුළයි අනුරාධපුර යුගයේ සිට මේ දක්වාම මෙරට ආර්ථිකය ශක්තිමත් වුණේ. ඒ නිසා කෘෂිකර්මාන්තයට අදාළ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය පිළිබඳව ඔබටත් මටත් අත්දැකීම් ඇත්තේ අද ඊයේ දවසේ පමණක් නොව වසර දහස් ගණනක් අතීතයට ඇදී ගිය මේ ශ්‍රේෂ්ඨ වූ ඉතිහාසයත් සමඟයි.

අපේ රටේ පළාත් 09ක වැව් 10,000කට වැඩිය තිබෙනවා. රජරට, වයඹ මේ ප්‍රදේශ ඉතිහාසයේ සිට හඳුන්වන්නේ වැව් බැඳි රාජ්‍යය විදියටයි. රටේ ජන ජීවිතය ශක්තිමත් කළ ප්‍රධාන වශයෙන් ආර්ථික සමෘද්ධිය ඇති කරන්න පෙරමුණ ගත්තේ කෘෂිකර්මාන්තයයි. වැවයි කෙත් යායයි පන්සලයි සැමවිටම එක්වූ බව ඔබ දන්නවා. දාගැබත් වැවත් කෙත්යායත් මේ රටේ ජන ජීවිතයේ මහා සංස්කෘතිය ගොඩනැගූ බව ඔබ දන්නවා. ඒ නිසා ඉතිහාසයේ අත්දැකීම් සමඟ ඉතිහාසයේ මතක සටහන් සමඟ අද තිබෙන්නා වූ අභියෝග ජයගැනීම සඳහා නව තාක්ෂණයත් සමඟ බද්ධ වෙමින් ගොවි ජනතාව ශක්තිමත් කරමින්, මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අඛණ්ඩව ඉදිරියට ගෙනියන පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් වශයෙන් අද මේ වැඩසටහන පැවැත්වෙන්නේ.

 අද මේ රටේ ජනතාවට තිබෙන්නා වූ අභියෝග මොනවා ද? අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාත් දැනුවත් පරිදි රටේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව අවුරුදු එකහමාරක් තිස්සේ දැඩි නියඟයකින් පෙළෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ සියයට 50ක නිෂ්පාදනය පහළ වැටීමක් ඇති වෙලා තිබෙනවා. වී, ධාන්‍ය, එළවළු, පලතුරු මේ සියල්ල මේ මහා නියඟය නිසා නිෂ්පාදනයේ පසු බැසීමක් ඇති වුණා. ඒ වගේම ගංවතුර තත්ත්වය සමඟ ඒ ප්‍රදේශවල ගංවතුර විනාශයෙන් කෘෂි ආර්ථිකයට බරපතළ හානි සිදු වුණා. මේ කලාපයේ අපේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් මේ තත්ත්වයට මුහුණ පාලා තිබෙනවා. බටහිර රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මුළු ලෝකය පුරා සිදුවන කාලගුණික දේශගුණික විපර්යාසයන් තුළ සෑම රටකම අද විශාල ව්‍යසනයන් සහ බරපතළ ඛේදවාචකයන් සිදුවෙනවා. මුළු ලෝකය පුරාම සිදුවන මහා ගංවතුර, සුළි සුළං, ලැව් ගිනි, භූමිකම්පා වැනි ස්වභාවික ව්‍යසන ඔබ මාධ්‍ය තුළින් දකිනවා. ඒ නිසා මේ ස්වාභාවික ව්‍යසන අපට පමණක් සීමා වූ දෙයක් නොවෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් මේ දිස්ත්‍රික්කයේ මොනතරම් ජල හිඟයක් තියෙනව ද කියලා ඔබ දන්නවා. නියඟය නිසා මේ දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුදු එකහමාර තුළ සංවර්ධනය කෙතරම් පසුබෑමකට ලක්වුණා ද. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තත්ත්වයත් එයයි. කුරුණෑගල තත්ත්වයත් එයයි. උතුරු පළාත බරපතළ ලෙස මේ නියං තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම නැගෙනහිර පළාත, ඌව පළාතේ කොටසක්, දකුණු පළාතේ කොටසක් මේ තත්ත්වයට මුහුණ දුන්නා. බස්නාහිර, සබරගමුව ප්‍රදේශ තමයි නියඟයෙන් බේරුණේ. එහෙත් ගංවතුරත් එක්ක බරපතළ ව්‍යසනයන්ට එම පළාත් මුහුණ දුන්නා. පසුගිය අවුරුදු එකහමාරක ඇති වුණ තත්ත්වයන් එක්ක විශාල වශයෙන් සහල් පිටරටින් ගෙන්වන්න සිද්ධ වුණා. දැනුත් සහල් පිටරටින් ගේනවා.

මම පසුගිය සතියේ නිලධාරී මහත්වරුන්ට උපදෙස් දුන්නා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් වරින් වර ගෙන්වීමට. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ මස අන්තිම සිට අපේ භූමිය සාරවත් සහ සමෘද්ධිමත් කරන්න අපිට වර්ෂාව ලැබෙයි කියලා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්, උතුම් දළදා වහන්සේගෙන්, ත්‍රිවිධ රත්නයේ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපේක්ෂා කරනවා මේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරලා දුගී බවෙන් රට නිදහස් කරලා සමෘද්ධිමත් ශක්තිමත් ආර්ථික පදනමක් රට තුළ ගොඩනගන්න ස්වභාවධර්මයාගේ ආශිර්වාදය ලැබේවායි කියලා.

මේ කාර්යය කෘෂිකර්ම අමාත්‍යාංශයට, මහවැලි හා පරිසර අමාත්‍යාංශයට, වාරිමාර්ග අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා අපේ රජය තීන්දුවක් ගත්තා සියලු රාජ්‍ය ආයතන, සියලු අමාත්‍යාංශ, සියලු දෙපාර්තමේන්තු, සියලු සංස්ථා සියල්ල මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට එක් කර ගැනීමට. අපේ සටන් පාඨය වුණේ ‘එක්වෙමු නැගිටිමු’ කියලා, ‘සිය රට දේ සිරි සැපදේ’ කියලා වගේම, ‘අපි වවමු රට නගමු’ වගේම ‘අපි යළි නැගිටිමු’ කියන සටන් පාඨයත් එක්ක මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අපි ආරම්භ කළා.

ඒ තුළ දේශපාලන පක්ෂ භේදයක් නැහැ. භාෂාව, ආගම් කියලා භේදයක් නැහැ. කිසිදු සංස්කෘතික භේදයකුත් නැහැ. බඩගින්න සියලුදෙනාට එක හා සමානයි. ඒ නිසා අපි සියලු වාදභේද අමතක කරලා මේ රටේ දුප්පත්කම තුරන් කරන්න මේ රටේ ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න පිටරටින් ගේන ආහාර නවත්වන්න මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න සමෘද්ධිමත් රටක් බවට පත් කරලා, මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අප සියලුදෙනාම එක්වී දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද සිට ඉදිරියට ගෙනිහිල්ලා ජයග්‍රහණය කරමුයි කියලා රටේ සමස්ත ජනතාවගෙන්ම මා ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා.

අපේ ගොවි ජනතාවට මොනතරම් ප්‍රශ්න තියනව ද මොනතරම් ණය බර තියනව ද කියන එක අපි දන්නවා. අපි බැංකුවලින් ඇහුවොත් අපේ ගොවි ජනතාවගේ ණයවල තත්ත්වය අපි ඉතා හොඳින් දන්නවා. ගෙදර දරුවන්ගේ බිරිඳගේ රත්තරන් බඩු බැංකුවලට උකස් තියලා දෛනික ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ගොවි ජනතාව කියන්නේ සැප විඳින ජනතාවක් නොවෙයි. ඔවුන්ගේ දහඩියෙන්, කඳුළෙන්, සුසුමෙන්, ලෙයින් සහ ජීවිත පරිත්‍යාගයෙන් සැමවිටම මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සපයන්නේ ඈත අතීතයේ සිටයි.

ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළවල් තුළ මූලික වශයෙන්ම ගොවියාව ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් එක්ක ප්‍රබුද්ධ සමාජයක කොටස්කරුවන් බවට අපේ ගොවි ජනතාව පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

ආහාර නිෂ්පාදනය පහත වැටීම පිළිබඳව අද මුහුණ දෙන අභියෝගයන්වලදී කරුණු කිහිපයක් සිතට ගත යුතු වෙනවා. තවත් පැත්තකින් අධ්‍යයනය කළ යුතු වෙනවා. තවත් පැත්තකින් ඒවාට විසඳුම් සෙවිය යුතු වෙනවා. නියඟය අවුරුදු එකහමාරක් අපේ ගොවිතැන් බත් නැති කෙරුවා. ආහාර නිෂ්පාදනය පහත දැම්මා. මේ දිනවල දේශපාලන වශයෙන් මම දැක්කා සමහර තැන්වල පෝස්ටර් ගහලා තියෙනවා, හාල් සීයයි පොල් සීයයි කියලා. ඇත්ත. ඒවා ඒ ගාණට ගියා.

අපි පසුගිය සතියේ හදිසියේ ජීවන වියදම් අමාත්‍යාංශ කමිටුව රැස් කළා. මම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට කිව්වා ඒ අයගේ ආයතනවල තිබෙන පොල් ගෙනැල්ලා කොළඹ දාන්න කියලා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පොල් ලොරිවල ගෙනැල්ලා සතොසට රුපියල් 65 ගාණේ විකුණන්න දැම්මා. ඒ වගේම සතොස විකුණන සහල් මිල අඩු කෙරුවා. පුද්ගලික අංශයට අපි කිව්වා හාල් ගෙන්වන අයටත් රටේ සහල් දෙන ආයතනවලටත් මිල පහත හෙළන්න නැත්නම් අපිට පාලන මිලකට යන්න සිද්ධ වෙනවයි කියලා. ඒ අතරේ තමයි සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 05ක් ගෙන්වන්න අපි තීන්දු කළේ.

පොල් නිෂ්පාදනය සහල් නිෂ්පාදනය පහළ වැටුණේ ආණ්ඩුවේ වැරැද්දක් නිසා ද? රටේ පසුගිය ආණ්ඩු ගණනාවක් මේ දක්වාම පැහැදිලි නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසයි මෙහෙම වුණේ. පොල් ත්‍රිකෝණය ඇතුළු සියලු පළාත්වල මහා පොල් වතු නිවාස හදන්න, ඉඩම් වෙන්දේසිය කරමින් පසුගිය අවුරුදු 25ක 30ක කාලය තුළ බරපතළ තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නැතිව පොල් අක්කර ලක්ෂ ගණනක් සම්පූර්ණයෙන්ම කඩලා ඒවා නිවාස යෝජනා ක්‍රම බවට පත් වුණා. තවම මේ රටේ නිවාස ඉදිකිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ.  ඕනෑම තැනක ගෙයක් හදනවා. නමුත් ලෝකයේ සංවර්ධනය වුණු රටවල් එහෙම පුළුවන්කමක් නැහැ. වෙල්යායක් තිබෙනවා නම් ඒ වෙල්යාය සම්පූර්ණයෙන් නිදහස් කරනවා. මහා වතු ඉඩකඩම්වලට සැලසුම් සකස් කරනවා නිවාස ඉදිකළ යුත්තේ මේ මේ ප්‍රදේශවල පමණයි කියලා. කිසිදු වගකීමක් නැතිව රජයේ ආයතන මේ සඳහා ඉඩ දෙනවා. දේශපාලනඥයෝ මේවාට ඉඩ දෙනවා. රජයේ නිලධාරීන් මේවාට ඉඩ දෙනවා. ඒ නිසා පසුගිය අවුරුදු විසිපහකට තිහකට වැඩි කාලය තුළ පොල් අක්කර ලක්ෂ ගණනක් රටට අහිමි වෙලා තිබෙනවා. මේ නිසා ගෙවල් හදන්න ඉඩම් දීමේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි. ගෙවල් සෑදීම ඉතාමත් අත්‍යවශ්‍ය නමුත් ඒ සඳහා රජය විසින් තීන්දු කළ යුතු වෙනවා. රටේ නිවාස සෑදිය යුත්තේ කුමන ප්‍රතිපත්තියක් තුළ ද කුමන වැඩපිළිවෙළක් තුළ ද කුමන සැලැස්මක් තුළ ද කියලා.

කවුරුවත් කතා නොකරන ගොවි මහත්වරු සහ රජයේ නිලධාරීන් නිතර කියන ප්‍රශ්නයක් තමයි අපිට වවන්න පුළුවන්. නමුත් අපි කොහොම ද ඒවා සත්තුන්ගෙන් බේර ගන්නේ කියන ගැටලුව. මේ රටේ වඳුරන් සහ රිළවුන් ලක්ෂ 10කට වැඩිය සිටිනවා. තමුන්නාන්සේලා දන්නවා වඳුරන්, රිළවුන් පොල් ගහකට නැග්ගහම විශේෂයෙන්ම පොල් ඇට්ටි කාලා මුළු පොල් වල්ලම විනාශ කරනවා. දවසකට වඳුරන් රිළවුන් ලක්ෂයක් පොල් වලු ලක්ෂයක් විනාශ කළොත් පොල් නිෂ්පාදනයේ තත්ත්වය කුමක් ද? මේවා ගැන කතා කරන්නේ නැහැ. මේවාට සැලසුම් නැහැ. ඒ වගේම තමයි වල් අලින්ගෙන් වන විනාශය. වල් ඌරන්ගෙන් වන විනාශය. ඒ වගේම දෙවියන්ගේ වාහනය විදියට අපි බොහොම ගරු කරන සතෙක් මොනරා. මොනරුන් දහස් ගණනක් මේ රටේ ඉන්නවා. මේ මොනරුන් පීදිලා තියෙන කුඹුරකට බැස්සහම වී බුසල් දෙකක් කටට දාගෙන තමයි ඉගිලිලා යන්නේ. රටේ ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම සතුන් විසින් විනාශ කරනවා.

ඒ වගේම ගොවි ජනතාවට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. නියඟයත් එක්ක බොහෝ ප්‍රදේශවල බිත්තර වී නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදියට ලංකාවේ මාස් කන්නයට හෙක්ටයාර් අට ලක්ෂයක් වගා කළ යුතුයි. ඒ සඳහා බිත්තර වී තිබෙනවා. බිත්තර වී නොමැති ප්‍රදේශවලට රජය බිත්තර වී දෙන්න බලාපොරොත්තු වෙනවා. නියඟයෙන් පිඩා විඳි ප්‍රදේශවල ගොවි මහත්වරුන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය එක්වී යම් සහනදායී තත්ත්වයකින් බිත්තර වී සැපයීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

මම කලින් කිව්වා වගේ අද දවස පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක්. මෙය ගොවි සතිය, කෘෂි සතිය, මහවැලි සතිය ආදී ලෙස නම් කරලා තිබෙනවා. මේක සතියකට දෙකකට සීමා වෙන දෙයක් නෙවෙයි. මේක තුන් අවුරුදු සැළැස්මක් එක්ක සම්පූර්ණයෙන් අඛණ්ඩව ඉදිරියට යන වැඩපිළිවෙළක්. ඒ තත්ත්වය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම්, සම්පත් ලබාදීලා ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීලා මේ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ආණ්ඩුවක් විදියට ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අපි සියලු අමාත්‍යාංශවලට සියලු දෙපාර්තමේන්තුවලට අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. දිසාපතිතුමාලත් එක්ක දිසාපති සමුළුවේ සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් දීලා තිබෙනවා. මේ රටේ සියලු ප්‍රාදේශීය ලේකම්තුමාලා, සියලු දිසාපතිතුමාලා ප්‍රමුඛව සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්,  ආයතන ප්‍රධානීන් තමන්ගේ කාර්යය මණ්ඩල සමඟ මේ ආහාර නිෂ්පාදන වැඩසටහනට එක්වෙලා තමාගේ වගකීමට වඩා යුතුකම ඉෂ්ට කරන්නැයි කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.

මේ වැඩසටහනේදී රජයේ සියලු ඉඩම් වගා කළ යුතු වෙනවා. අපි මේ පිළිබඳ අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. එක් පැත්තකින් රජයේ ගොඩනැගිලි පරිශ්‍ර තුළ ගෙවතු වගාවට ප්‍රමුඛත්වයක් දීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ක්‍රියාකාරකම් පිළිබඳව මේ වනවිට උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ඇමැතිතුමා පාසල් දරුවන් ප්‍රමුඛව ගෙවතු වැඩසටහන් සහ අනිකුත් කෘෂිකාර්මික වැඩසටහන් පිළිබඳව පුළුල් කෘෂිකාර්මික සැලැස්මක් මේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකත කරන්නට අවශ්‍ය මූලික තීන්දු තීරණ අරන් තිබෙනවා. මෙහිදී කිසියම් දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, ආයතනයක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අපි අදාළ නැහැයි කියලා නිදහස් වෙන්න පුද්‍වන්කමක් නැහැ.

මේ රටේ රාජ්‍ය ආයතනවලට විශාල වශයෙන් ආයතනික වශයෙන් වෙන්වුණු ඉඩම් තිබෙනවා. ඒ සියලුම ඉඩම්වල වගා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ පුරන් කුඹුරු නොයෙකුත් සමාගම්, වතු සියල්ලම අනිවාර්යයෙන් වගා කළ යුතු බවට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. අනිවාර්යයෙන්ම වගා කරන්නේ නැත්නම් ගොවිජන සේවා පනත යටතේ තිබෙන බලතල පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කිරීම සඳහා වගා කරන අයට ලබාදීමට. ඒ ගැන අපි පසුබට වන්නේ නැහැයි කියන එක විශේෂයෙන්ම මතක් කළ යුතුයි.

ඒ නීති රීති ප්‍රමාණවත් නැහැයි කියලා පෙනී ගියොත් වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ තිබෙන වගන්ති පාවිච්චි කරලා ගැසට් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව කිසි කෙනකුට ඉන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ.

වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය නොකරන, පුරන් වෙලා තිබෙන කුඹුරු වගා නොකරන ගොඩඉඩම් විශාල වශයෙන් තිබෙනවා. කොළඹ ඉන්න මහා ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් ඇතැම් අය ඒ අයගේ ඉඩකඩම් තිබෙන ප්‍රදේශ දන්නෙත් නැහැ. නමුත් රාජ්‍ය අංශය වගේම අක්කර දෙක තුනක් තිබෙන දුප්පත් ගොවි ජනතාව ඒවායේ වගා කටයුතු කරනවා. නමුත් වගා නොකරන ඉඩම් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ අරගෙන මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරමින් බලාපොරොත්තු වන ඉලක්ක කරා යන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයිති පෞද්ගලික සමාගම්වල සියලුදෙනාට මේ වැඩසටහනට එක්වන්නැයි කියලා අපි ආරාධනා කරලා තිබෙනවා.

රාජ්‍ය බැංකු හා රාජ්‍ය නොවන බැංකු සියල්ලටම මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ගොවීන්ට දෙන පහසුකම් මොනවා ද? ගොවීන්ට දෙන සුබසාධන ණය පහසුකම් මොනවා ද? ඒ වගේම කෘෂි භාණ්ඩ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවා ද? ආහාර නිෂ්පාදන සංග්‍රාමය සම්බන්ධයෙන් බැංකුවල වැඩසටහන කුමක් ද කියන එක රජයට ඉදිරිපත් කරන්න කියලා ඒ සෑම බැංකුවකටම අපි දන්වලා තිබෙනවා. ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවා ද? අලෙවිකරණ කෘෂිකර්මාන්තයට නියමිත උපකරණ, භාණ්ඩ, තාක්ෂණික භාණ්ඩ, ඒවායේ මිල අඩු කිරීම්, ඒවා වැඩි පහසුවට ලබාදීම ඒ කටයුතු පිළිබඳව කෘෂි ක්ෂේත්‍රයේ පෞද්ගලික ව්‍යාපාරික අංශවලට අපි උපදෙස් දීලා තිබෙනවා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා රටට පිටරටින් ගෙන්වන සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයන් බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට අපි කටයුතු කරනවයි කියන එක මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එහිදී ට්‍රැක්ටර්, වතුර පොම්ප, ඒ වගේම අනිකුත් යන්ත්‍ර සූත්‍ර කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනයට බලපාන කෘෂි උපකරණ විශාල වශයෙන් අඩු මිලකට දෙන්න පුළුවන්.

මෙය සෑම කෙනෙක්ම එකට එකතු වෙලා ජාතියේ යහපත සඳහා ඉටු කළ යුතු කාර්යයක්, පෙළපාළි යන, පෝස්ටර් ගහන, විරෝධතා කරන සත්‍යග්‍රහ කරන, උපවාස කරන, කොළඹ නගරය කළම්බන ඒ සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔය වැඩ නෙවෙයි මේ රටට ආදරයක් තියෙනවා නම් මිනිස්සුන්ට ආදරයක් තියනවා නම් මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරන්න ඔබේ කාලය සම්පූර්ණයෙන් යොමු කරන්න කියලා. මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ වැඩසටහන සාර්ථක කරනවා නම් මේ රට වෙනුවෙන් ඉතාම විශිෂ්ට වූ මෙහෙවරක් ඉටු කරන්නට පුළුවන්.

මේ 2017 වසර දුගී බවෙන් නිදහස් කිරීමේ වර්ෂය විදියට නම් කරලා කටයුතු කළේ. 2018 රජය නම් කරනවා දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය කියලා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය එක්ක දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්මාන්තයට බලපාන, ගොවියා ශක්තිමත් කරන ඉතා වැදගත් යෝජනා කිහිපයක් ලබන මාසේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලට ඉදිරිපත් කරන්න මේ වනවිට තීරණය කරලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සමෘද්ධිමත් රටක් විදියට මේ රට ගොඩනගලා මේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් එක්ක ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් විදියට තවත් රටකට දෙවැනි වෙන්නේ නැතිව පස්සට යන්නේ නැතිව පුංචි රටක් වුණත් ගෞරවනීය රටක්, විශිෂ්ට රටක්, ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදමු. දුගී බවෙන් නිදහස් වෙමින් අපි නැගිටිමු. සමෘද්ධිමත් මව්බිමක් ගොඩනගමු. ජාතියේ අනාගත යහපත සඳහා සාමූහිකත්වයෙන් යුතුව එක්වෙමුයි කියලා ඉල්ලා සිටිමින් මේ වැඩසටහන සාර්ථක කරන්න එක්වුණු සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා.”


එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා

“පසුගිය දවස්වල එක පැත්තක මේ මහ පොළව ඉරි තලලා තියෙන කොට, තවත් පැත්තක් ජලයෙන් පිරිලා ඉතිරිලා ගියා. ඉතිහාසයේ සිටම මේ වැනි දුර්භික්ෂයන්වලට මෙවැනි ආපදාවලට මුහුණ දී තිබෙනවා. ජනපතිදුන් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් සකස් කළා. එහි ආරම්භක උත්සවයයි මේ රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙන්නේ.

රටේ රාජ්‍ය නායකයාගේ ඇල්ම බැල්ම ගොවියාට තියෙනවා නම්, රටේ රාජ්‍ය නායකයාගේ උනන්දුව වුවමනාව ගොවියා වෙනුවෙන් හා අනාගත පරපුර රැකගන්න තියෙනවා නම් ඒක තමයි මේ රටේ අනාගතය. රටේ රාජ්‍ය නායකයා අභියෝගවලින් පැනලා යන්නේ නැතිව, අභියෝගවලට අභියෝගයක් වෙන වැඩපිළිවෙළක් සූදානම් කරලා තියෙනවා.

 මෙම වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සැලසුම් හදලා තිබෙනවා. වගා සංග්‍රාමයේ පළමු මෙහෙයුමයි මේ දියත් කරන්නේ. වසර 3ක් ඇතුළත මේ රටේ කෘෂිකාර්මික පවුලක දැනට ලැබෙන ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. රටේ අටුකොටු පිරවෙනවා පමණක් නොවෙයි, ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ අරමුණ බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ 27,000ක් පමණ වන සියලුම නිලධාරීන්ගේ ගෙවතු වගා කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිතමු ගොවි කාන්තා සමිති යටතේ රටේ කාන්තාවන් ලක්‍ෂ 05ක් සිටිනවා.

මේ කාන්තාවන් ලක්‍ෂ 05ක් තමන්ගේ ගෙවතු වගා කරන්න ආරම්භ කරනවා. පුරන් කුඹුරු තිබුණා ඒක ලක්‍ෂ තිස්දහසක්. ඒ පුරන් කුඹුරු වගා කරවන්න අපි සූදානම්. මේ වනවිට විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපි ආරම්භ කරලා තියෙනවා. බඩඉරිඟු හෙක්ටයාර් 80,000ක් වගා කරන්න, ඉපනැල්ල වගා කරන්න, තුන්වැනි කන්නය වගා කරන්න, මේ රටේ ගොවිජනතාවගේ ආර්ථිකය දෙගුණ කරන්න සියලු සැලසුම් හදලා ක්‍රියාත්මක කරමින් යනවා. මේ වගා සංග්‍රාමය රටේ රාජ්‍ය නායකයාට පමණක් කරන්න බෑ. ආණ්ඩුවට පමණක් කරන්න බෑ. සියලු ගොවි මහත්වරු මේක හදවතට ගත යුතු වෙනවා. මේක ජාතික වැඩපිළිවෙළක්, ජාතික සංග්‍රාමයක්, අනාගත ආයෝජනයක් කියලා හිතාගෙන ජාති ආගම්, කුල මළ බේදයකින් තොරව, පක්‍ෂ භේදයකින් තොරව සියලු ජනතාව වගා කිරීම ආරම්භ කළ යුතුයි. වගා කිරීම ගොවියාට පමණක් සීමා නොකර මල් පැළයක් වෙනුවට ආහාර භෝගයක් වගා කරන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අයට කාලය, දැනුම නැත්නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්” යැයිද පැවසීය.

වප් මඟුල් කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගෙවිලියන් ගෙන එනු ලැබූ ඇඹුල ගොවි ගෙදරදී ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් විසින් රස බැලීමට ද එක්විය.

මෙම උත්සවය අමතමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ද අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළුව පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරු ද උතුරු මැද පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.