මුදල් රාජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය
ඇමෙරිකාව, ඉන්දියාව වගේ රටවලත් රාජ්‍ය ආදායම්වලින් සීයට 95 ක් ලැබෙන්නෙ බදුවලින්. අපේ සටන තියෙන්නෙ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ඍජු බදුවලින් අය කරගන්න. උපයන විට ගෙවීමේ බද්ද කියන්නෙ මීට අවුරුදු තුනකට විතර කලින් ඉඳලා තිබුණු එකක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද ඩොලර් බිලියන 3 ක් වන ණය පහසුකමට අදාළ අවසන් අනුමැතිය ලැබීම සහ රටේ ඉදිරි ආර්ථික ගමන් මග ගැන මේ සාකච්ඡාව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමගයි.
ප්‍ර:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ අවසන් අනුමැතිය රටට ලැබුණා. මේ ගැන මොකද හිතෙන්නෙ?
මූල්‍යමය වශයෙන් ගත්තහම මේක ඉතාම ධනාත්මක කාරණාවක්. ඇතිවුණු ආර්ථික අර්බුදය නිසා 2022 අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 12 වැනිදා අපට කියන්න සිද්ධ වුණානෙ තාවකාලිකව විදේශ ණය අත්හිටුවනවා කියලා. සරල භාෂාවෙන් කිව්වොත් රට බංකොළොත් කියන එක. එහෙම කියපු රටකට යන්න තිබුණෙ එකම එක මාර්ගයයි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ ආයතනයෙන් ලැබෙන ණය මුදලක් ඇරෙන්න මේ වේලාවේ අපිට කවුරුවත් උදව්වට එන්නෙ නෑ. ඒ නිසා අපට අයිඑම්එෆ් එකට යනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණෙ නෑ. ඒකත් දුෂ්කරයි. මොකද අපි ඒ ආයතනයට ගියෙත් ප්‍රමාද වෙලා. මීට අවුරුදු දෙකකට කලිනුයි අපි ඒ ආයතනයට යා යුතුව තිබුණෙ. මීට කලින් අපි අයිඑම්එෆ් ගිය 16 වතාවම ගියෙ ප්‍රශ්නේ පේන කොට. මේ පාර ගියෙ ප්‍රශ්නෙ අපේ ඔළුව උඩ තියාගෙන. ඒ නිසා අපිට හුඟක් දුෂ්කර වුණා. එකක් තමයි එයාලා අපිට ලබා දුන් කොන්දේසි ඉෂ්ට කරන එක. දෙවැනි එක තමයි අපේ ද්වීපාර්ශවික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟ කරවා ගැනීම. ඩොලර් බිලියන 17 ක ණය අඩු කර ගැනීමක් ඉලක්ක කරගෙන තමයි අපි ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ඉදිරියට අරන් යන්නෙ. ඒකට ණය හිමියන් එකවර කැමති කරවා ගැනීම අමාරුයි. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු නිලධාරීන් ජනාධිපතිවරයා සමග මේ සඳහා විශාල කැපකිරීමක් සිදු කළා.
ප්‍ර:ඩොලර් බිලියන 50 කට ආසන්න විදේශ ණය කන්දරාවක් තියෙන රටකට ඩොලර් බිලියන 3 කින් මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරගන්න පුළුවන්ද?
බෑ. අපේ විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 41 ක් විතර. ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කරන්නනෙ දැන් අපි මේ කාලය ගන්නෙ. ඒ ණය මුදලෙන් බහුපාර්ශවික ණය අපි දැනටත් ගෙවා ගෙන යනවා. වැදගත් වෙන්නෙ මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 3 නෙවෙයි ගොඩනැගෙන විශ්වාසය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ මේ ණය පහසුකමත් සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් තවත් ඩොලර් බිලියන 7 ක විතර ණය මුදලක් අපිට ඉක්මනින් ලැබෙනවා. මේ සියල්ලත් එක්ක අපේ රටට ජාත්‍යන්තරයේ විශ්වාසය ලැබෙනවා.
ප්‍ර:ඔය විශ්වාසය හරහා අපට නැවත ලැබෙන්නෙ ණය. ණයවලින් තවදුරටත් අපිට මේ ආර්ථිකය පවත්වා ගෙන යන්න පුළුවන්ද? නැතිනම් අපනයන ආදායම් වැඩි කර ගැනීමේ වැඩපිළිවෙළකට යා යුතු නැද්ද?
මේ ණය ගන්නෙ ඒවා මත යැපෙන්න නෙවෙයි. ණය ගත්තට පස්සෙනෙ අපේ නිෂ්පාදනය වුණත් වැඩි කරගන්න පුළුවන් වෙන්නෙ. කාලයක් තිස්සෙ ණය ගැනීම් සිදු කරපු නිසා විශාල ණය ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා. බලයේ සිටි හැම ආණ්ඩුවක්ම මේ දේ කරලා තියෙනවා. ණයක් අරගෙන ණය ගෙවනවා. මේක තමයි අපි දිගටම කරගෙන ආවෙ. 2020 වෙන කොට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය මේ ආදියෙන් අපේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඊට අමතරව අපි වැරැදි ආර්ථික තීරණ කිපයකුත් අරගත්තා. එකක් තමයි රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය. එයින් අපේ කෘෂිකර්මය කඩාගෙන වැටුණා. ඊළඟට අපි විසින්ම අපේ බදු ආදායම අඩු කර ගත්තා. ලක්ෂ 18 ක් විතර තිබුණු බදු ලිපි ගොනු ප්‍රමාණය ලක්ෂ 4 දක්වා අඩු කර ගත්තා. මේ සියල්ල මේ විදියට වෙද්දි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ණය ලබා දෙන රටවලට කිව්වා ලංකාවේ ආර්ථිකය වැටෙන්න යන්නෙ කියලා. ඊට පස්සෙ අපිට කවුරුවත් ණය දෙන්න ඉදිරිපත් වුණේ නෑ. සංචාරක කර්මාන්තයත් ඒ වෙන කොට කඩා වැටිලා තිබුණෙ. රටේ පැවැති දේශපාලන අස්ථාවරත්වය නිසා රටට එවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයත් අඩු වුණා. අපනයන ආදායමුත් අඩු වුණා. මේ ප්‍රශ්න ඔක්කොම එකට ආවහම අපි හිර වුණා. දැන් සමහරු අහනවනෙ මේ ණය ගන්නෙ මොකටද කියලා. ඒ හිරය නැති කර ගන්න තමයි මේ ණය ගන්නෙ. පළමුව රටට අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍යවලින් වැඩි හරියක් අපේ රටෙන්ම නිෂ්පාදනය කරනවා. පොහොර නොමැතිකම නිසා තේ අපනයනය සියයට 50 කින් විතර අඩු වෙලා තියෙන්නෙ. ඒකට අවශ්‍ය පොහොර ගෙන්වීම හරහා තේ අපනයනය වැඩි කරනවා කියන්නෙ අපේ අපනයන නැවත ඉහළ යනවා. මේ විදියට එකිනෙක බැඳිච්ච සුවිශේෂ ක්‍රියාවලියකට තමයි අපි මේ ණය මුදල ගන්නෙ.
ප්‍ර:මේ වෙන කොට අයිඑම්එෆ් ණය පහසුකමෙහි පළමු වාරිකය වන ඩොලර් මිලියන 333 ක මුදල ලැබී තිබෙනවා. මේ මුදල යොදා ගන්නෙ කුමක් සඳහාද?
මේ පාර වෙනසක් තියෙනවා. වෙනදට අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලැබුණහම ඒක මහා භාණ්ඩාගාරයට ගන්න බෑ. ඒක මහ බැංකුවට දෙන්නෙ ගෙවුම් ශේෂ තුලනය සඳහා. ඒ කියන්නෙ අපිට තියෙන ණය ගෙවීම් හිර වෙලා තියෙන ඒවා ගෙවා ගන්න විතරයි. ඒත් මේ පාර ලබා දුන් ණය මුදලට අදාළ වැඩසටහනෙහි සමාජ සංරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි කියන එකත් ඇතුළත් වෙලා තියෙනවා. මේක රටේ ජනතාව දැන ගත යුතුයි. ඒ කියන්නෙ මූල්‍ය අරමුදල රටේ තත්ත්වය තේරුම් අරන් තියෙනවා. ඒ නිසා අපිට මේ අවස්ථාවේ මේ ණය මුදල ඩොලර් හෝ රුපියල් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට මාරු කරගන්න පුළුවන්. අපේ අනුපිළිවෙළෙහි උඩම තියෙන්නෙ ඖෂධ, රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, ආබාධිත දීමනා, වකුගඩු දීමනා, පොහොර ආදිය සඳහා වෙන වියදම්. අපි ඒ දේවල් දැන් ගෙවන්නෙත් අමාරුවෙන්. මම කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ඒ සඳහා යොදා ගන්නවා කියලා නෙවෙයි. මේ අසීරු තත්ත්වය හමුවේ අපි හොඳ පෙළගැස්මක් සහිතව කටයුතු කළ නිසා තමයි රටේ මේ වෙන කොට තෙල්, ගෑස් පෝලිම් නැත්තෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පිළිඅරන් තියෙනවා අපි හොඳ අනුපිළිවෙළක් සහිතව කටයුතු කරගෙන යනවා කියලා. අද සමහරු අහනවා ඇයි ඡන්දෙට සල්ලි දෙන්නෙ නැත්තෙ කියලා. ඊට කලින් බොහෝ දේවල්වලට මුදල් වියදම් කරන නිසා තමයි. සමහරුන්ට අමතක වෙලා තියෙනවා ලොකු ප්‍රශ්නයක් තියෙන රටක් බව මේක. ණය පොලී ගෙවීම ඇතුළුව තවත් අවශ්‍යතා කීපයක් තියෙනවා. ඒවට මේ මුදල් යොදවන්න පුළුවන්.
ප්‍ර:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අනුමැතිය ලැබීමත් සමග ශ්‍රී ලංකාව තවදුරටත් බංකොළොත් රටක් ලෙස හැඳින්විය යුතු නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ තියෙන තත්ත්වයත් එක්ක ඒ කතාව හරිද?
හරියටම හරි. තාවකාලිකව ණය ගෙවන්නෙ නෑ කියන එක එක්තරා විදියක බංකොළොත් තත්ත්වයක්. මොකද ඊට පස්සෙ අපිට කිසි කෙනෙක් ණය දෙන්නෙ නෑනෙ. ඒත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ණය වැඩසටහනට අනුමැතිය දුන්නා කියන එකෙන් අදහස් වෙන්නෙ ශ්‍රී ලංකාව නිවැරැදි පීල්ලට වැටුණා කියන එක. දැන් අපි කරගෙන යන වැඩපිළිවෙළත් එක්ක අපිට තව ණය ගන්න පුළුවන්. ඒ වගේම ණය ගෙවන්න පුළුවන්. ඒ නිසා තමයි ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් හෙට අනිද්දා වෙන කොට අපිට තව ඩොලර් බිලියන 7 ක මුදලක් දෙන්න පටන් ගන්නෙ. ඒක අනිකුත් ණය හිමියන්ට ලබා දෙන කොළ එළියක් හැටියට සලකන්න පුළුවන්. නමුත් අපි හිටපු තැනට එන්න කාලයක් යයි. ඒත් අපි දැන් බංකොළොත් නෑ. අපි දැන් ක්‍රමයක් ගෙනියනවා. ඒ ක්‍රමය අනුගමනය කළහම අපි උපයන දෙයින් ගෙවීමේ ශක්තියක් අපිට ඇති වෙනවා.
ප්‍ර:මේ ණය පහසුකම සඳහා මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමත් සමග නව බදු වර්ග කිහිපයක් පැනවෙන බව පැවසෙනවා. ඒක ඇත්තද?
දේපළ බද්දක් සහ ධන බද්දක් ගහනවා කියලා කලබල වෙලා ඉන්නවනෙ. ඒවා එන්නෙ ඉතා ඉහළ මට්ටමේ දේපොළ හුවමාරුවලදි. අපි කියනවනෙ අපේ ඍජු බදු ප්‍රමාණය වැඩි කර ගත යුතුයි කියලා. ආදායම් බෙදී යාමේ විෂමතාවක් තියෙන තත්ත්වයක අපි සියයට 80 ක් වක්‍ර බදු අය කරනවා. ඍජු බදු ගෙවන්නෙ සීයට විස්සයි. අපි කරගෙන යන මේ වැඩපිළිවෙළත් එක්ක ඍජු බදු ප්‍රමාණය සියයට 40 දක්වා වැඩි වෙලා වක්‍ර බදු ප්‍රමාණය සියයට 60 දක්වා අඩු වෙනවා. 2022 වසරේ අපේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8.2 යි. මේ අවුරුද්දෙ ඒ අගය සියයට 11 දක්වා වැඩි කිරීම අපේ අරමුණ. ඊළඟ අවුරුද්දෙ සීයට 12 ගාණක්. ඔහොම යන්න ඕන. ලක්ෂයට වඩා ආදායම් උපයන අය බද්දට යටත් කළහමත් අපේ සහෝදරවරු බැහැලා දඟලනවනෙ.
ප්‍ර:පුද්ගල ආදායම් බද්ද ඉදිරියේදී සංශෝධනය වෙනවද?
අපේ ආදායම ගැන තෘප්තිමත් නම්.... රජයක් කැමති නෑනෙ කොයිම අවස්ථාවකවත් ජනප්‍රියභාවය හීන කරගන්න. බද්දක් අය කරනවා කියන්නෙ ජනප්‍රියභාවය හීන වීමක්. මේක නොකර බෑනෙ. 37 ලක්ෂයක් පවුල් කියනවා ජීවත් වෙන්න උදව් කරන්න කියලා. ලක්ෂයකට වඩා ආදායම් ලබන අයගෙන් බදු අය කරන්නෙ නැතුව කොහොමද උදව් කරන්නෙ. නමුත් අපි ඒ අයට උදව් කරන්න එපැයි. මුදල් මුද්‍රණය කරන්නත් බැරි නම් අපිට ණය දෙන්නෙත් නැති නම් කොහෙන්ද අපි මේ මිනිස්සුන්ට සල්ලි දෙන්නෙ. හැබැයි අපි දන්නවා මේ බද්දට යටත් වෙන අයටත් අමාරුයි කියලා. ලක්ෂයත් ලක්ෂ එකහමාරත් අතර වැටුප් ගන්න අයට ලොකු අමාරුකම් තියෙන බව අපි දන්නවා. මොකද 15% ක මට්ටමේ තිබුණු බැංකු පොලිය 30% දක්වා එකපාර වැඩි වුණා. උද්ධමනය වැඩි වුණා. පහුගිය කාලේ මේ රටේ තිබුණෙ වියදමට පෙලඹවීමේ රටාවක්නෙ. හැම පුරවැසියෙක්ම ගැළපෙන ප්‍රමාණයට වඩා වියදම් කරන රටාවකට හුරු වුණා. ඔවුන්ට අමාරුයි. හැබැයි වෙන කරන්න දෙයක් නෑ. නමුත් පුළුවන් ඒවට සහන ලබා දෙන්න අපි උත්සාහ කරනවා.
ප්‍ර:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර නියෝජිතයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවෙදි ඔවුන් පෙන්වා දුන්නෙ ලංකාව මේ දක්වා දූෂණය වැළැක්වීමට අදාළ රාමු සහ ප්‍රතිපත්ති හඳුන්වා දී නැති බව. ආණ්ඩුවට ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙනවද?
පැහැදිලිවම. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කාරණාවල තියෙන 5 වැනි එක තමයි දූෂණ විරෝධී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම. ඒ නිසා තමයි ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන්නෙ ඊට අදාළ පනත ඉක්මනින් ඉදිරිපත් කරන්න කියලා. රජයට අහිමි වූ දේපළ ගත හැකි නම් ඊට අදාළ විධිවිධාන වගේම වත්කම් හෙළි කිරීමට අදාළ ප්‍රශ්න ගැනත් ඒ පනතෙන් පිළිතුරු හොයන බව ජනාධිපතිවරයා කිව්වා.
ප්‍ර:2022 වසර අවසානය වෙද්දි අපේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 108 ක මට්ටමේ පැවති බවටත් ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ වුණා. ඒ අගය අඩු කර ගැනීමට ක්‍රමවේදයක් තියෙනවද?
අඩු කරනවා කියන්නෙ අපි ඒ ණය ගෙවන්න එපැයි. ගෙවන ප්‍රමාණය වැඩි කරලා ණය ගන්න ප්‍රමාණය අඩු කරන්න ඕනැ. දැන් අපේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 128 ක අගයක තියෙන්නෙ. ඒක ඉතාම දරුණු තත්ත්වයක්. මේ අගය සියයට 95 දක්වා අඩු කරන ඉලක්කගත ගමනක තමයි අපි නිරත වෙලා ඉන්නෙ. ඒ හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙනවා.
ප්‍ර:තවදුරටත් ණය අරගෙන රට ගෙනියන්න බැරි තත්ත්වයක රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම ඉතාම වැදගත්. මේ සඳහා ආණ්ඩුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?
ඒක එක්කනෙ මහ ගැටුම යන්නෙත්. රාජ්‍ය ආදායම් වැඩි කරන්න තියෙන්නෙ බදුනෙ. රාජ්‍ය ආදායම් වැඩි කරනවා කියලා ඉස්සර වගේ රජයට ව්‍යවසායයන් පවරන්න බෑනෙ. ඇමෙරිකාව, ඉන්දියාව වගේ රටවලත් රාජ්‍ය ආදායම්වලින් සීයට 95 ක් ලැබෙන්නෙ බදුවලින්. අපේ සටන තියෙන්නෙ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ඍජු බදුවලින් අය කරගන්න. උපයන විට ගෙවීමේ බද්ද කියන්නෙ මීට අවුරුදු තුනකට විතර කලින් ඉඳලා තිබුණු එකක්. ඒකෙ යම් ප්‍රමාණයක් දැන් වැඩි වෙලා තියෙනවා. බදු ලිපි ගොනු ලක්ෂ 18 ක් ලක්ෂ 4 ක් දකවා අඩු කරගෙන තියෙනවා. අපි මේ ආර්ථික අර්බුදයකින්නෙ ගොඩ යන්න හදන්නෙ. ඒකෙදි කාටවත් කියන්න බෑ මට මේකෙන් බලපෑමක් වෙන්න බෑ කියලා. මොන මට්ටමේ හිටියත් යම් පීඩනයක් දරා ගෙන තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ.
ප්‍ර:ජනතාව මේ පීඩනය දරාගෙන සිටියට රජයේ නාස්තිකාර වියදම් මේ දක්වා අඩු කරලා නැති බවට චෝදනා එල්ල වෙනවා නේද?
අනවශ්‍ය වියදම් කරන්න බැරි වෙන විදියට භාණ්ඩාගාරය මේ වෙන කොට චක්‍රලේඛ තුනක් නිකුත් කරලා තියෙනවා. ඒ අතරින් කවුරුහරි හිදැස් තියාගෙන ඉන්නවද කියන්න මම දන්නෙ නෑ.
සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ