(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
විනාශකාරී කටුපොල් වගාවට මින් ඉදිරියට මේ රටේ එක් බිම් අඟලක් නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.
වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 10.30ට රැස් විය.
වාර්තා හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.
නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකරයෙකු පත්කර ප්‍රචාර කටයුතු විධිමත් කරනවා. තේ මණ්ඩලය වඩා විධිමත් කිරීම අරමුණයි.
පත්කළ මන්ත්‍රී (ජවිපෙ) සුනිල් හඳුන්නෙත්ති මහතා:-
ආයතනවල ප්‍රචාරණ කටයුතු කියා වැඩිපුර වෙන්නේ ඇමැතිවරයාගේ ප්‍රචාරණ කටයුතුයි. එමෙන්ම දේශපාලන ප්‍රචාරණ කටයුතුත් වෙනවා. තේ මණ්ඩලය ගතහොත් ප්‍රචාරණ කටයුතු එහි දියුණුව උදෙසා විය යුතුයි.කනක හේරත් මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.
හඳුන්නෙත්ති මහතා:-
තේ මණ්ඩලය මගින් තේ මංගල්‍යය කියලා කරන්නෙත් දේශපාලන මංගල්‍යයක්. එහි ප්‍රවර්ධන නොවෙන්නේම තේ පමණයි. තේ නැවත වගාව පහළ වැටිලා. ඒනිසා අලුත් පැළ ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.
එමෙන්ම තේ ප්‍රවර්ධන අරමුදල හැදූ දා සිට එය භාවිතයට ගත් ආකාරය ගැනත් සොයා බලන්නැයි මා ඉල්ලා සිටිනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:-
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන්නේ ඍණාත්මක කතා. ඔවුන් මොනවා කීවත් අද තේ මණ්ඩලයේ නිලධාරීන් සාමූහිකව කටයුතු කරනවා. 2015 දී අඩුවූ තේ නිෂ්පාදනය හා මිල මේ වන විට ඉහළ නංවා ගැනීමට අපට හැකිවී තිබෙනවා. එය සිදුකළේ පොහොර සහනාධාරයේ කප්පාදුවක් හා ග්ලයිෆොසෙට් තහනමක් තිබියදීයි.
ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට අහිතකර බලපෑමක් සිදුවුණා. මේ සම්බන්ධව ජපානය කීවේ ග්ලයිෆොසෙට් නිසා ඔවුන්ගේ ජනතාවට හානි නොවූ බවයි. එමෙන්ම ග්ලයිෆොසෙට්වලට විකල්ප ලෙස අප යොදාගත් එම්.ආර්.සී.පී. වල් නාශකයෙන් ජනතාවට හානියක් නොවන බව කීවා. ජනාධිපතිතුමා හමුවී එය පැහැදිලි කිරීමෙන් පසු තේ වගාවට පමණක් ග්ලයිෆොසෙට් භාවිතයට අවසර ලැබී තිබෙනවා. ඉදිරියේ දී එහි ගැසට් නිවේදනය නිකුත් කරනවා.
නැවුම් තේ මංගල්‍යය අපි ඇරඹුවේ දේශපාලකයින් ප්‍රවර්ධනයට නොවන බවත් කිව යුතුයි.
මහනුවර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී මහිදානන්ද අලුත්ගමගේ මහතා:-
තේ කර්මාන්තය විශාල විදේශ විනිමයක් ගෙනෙන ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටින ක්ෂේත්‍රයක්. නමුත් අපේ රජය ඇතුළු මේ රට පාලනය කළ කිසිම රජයකට මේ ක්ෂේත්‍රය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ තේ වගාව අඩුවෙමින් තිබෙනවා.
ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.
ගම්පහ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා:-
අද අපේ රට ගොඩ නැගීමට ණය බර බාධාවක් වී තිබෙනවා. එම බර අඩු කරගැනීමට නම් විදේශ විනිමය ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා තේ නිෂ්පාදනය වෙළෙඳපොළ අපනයනය රැක ගැනීම අපේ ජාතික යුතුකමක්.ඇමැතිතුමා අද තේ කර්මාන්තයේ දියුණුවට තවත් එක් පියවරක් ගෙන තිබෙනවා. එය ඉතිහාසගත පියවරක් වේවි. එමෙන්ම එතුමා පක්ෂ ජාතික සංවිධායක ලෙස පක්ෂයත් ශක්තිමත් කරාවි යන විශ්වාසය අපට තිබෙනවා.
වන්නි දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා:-
තේ මණ්ඩලයට වැඩ අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම ඉතා වැදගත්. තේ කර්මාන්තයේ නියුතු අයගේ ගැටලු විසඳිය යුතුයි. තනතුරු සඳහා පත් කිරීමේ දී රට වෙනුවෙන් කටයුතු කරන අය පත් කළ යුතුයි.
කෑගල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී කනක හේරත් මහතා:-
පොහොර සහනාධාරය කප්පාදුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම වතු හිමියන් නියමිත ආකාරයෙන් පොහොර නොයෙදීමත් ගැටලුවක්. සමහරු ඒ සඳහා අජිනමොටෝත් යොදනවා.
මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:-
තේ කර්මාන්තය නැංවිය යුතුයි. දැනට විනාශ වී යන තේ වතු කොටස් කර කම්කරුවන්ට හෝ වගා කිරීම සඳහා ලබාදිය යුතුයි. එමෙන්ම වගා නොකළ ඉඩම් කම්කරුවන්ට නිවාස තනාදීම සඳහා පර්චස් 7 බැගින් ලබාදීමට තීන්දු කර තිබෙනවා.
මඩකළපුව දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී ජී. ශ්‍රීනේෂන් මහතා:-
මෙය රටේ කාන්තාවන් වැඩි වශයෙන් නියැලී සිටින ක්ෂේත්‍රයක්. ඒ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිකිරීමත් තේ නිෂ්පාදනය වැඩිකිරීම සමගම සිදුවිය යුතුයි. ක්ෂේත්‍රය දියුණු වන්නේ කම්කරුවන් තෘප්තිමත් වූ විටයි.
පත්කළ මන්ත්‍රී (එජාප) මහාචාර්ය ආශු මාරසිංහ මහතා:-
තේ මණ්ඩලය නියෝජනය කරමින් පිටරට යන අපේ සමහර නිලධාරීන් ඒ රටවල දී බොන්නේ කෝපි. තේ බොන නිලධාරීන් යැව්වා නම් හොඳයි. ලංකා තේ ප්‍රචලිත කරන්න ලෝකය පුරා සිලෝන් ටී ඇම්බසිඩර්ස් පත් කරන්න.
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):-
තේවල කළු පැහැය ඇති කිරීමට දාන සෝඩියම් නිසා දියවැඩියාව හැදෙනවා. බාල තේ වැටලීමට ක්‍රියා කළ යුතුයි. සීනි කළවම් කරන කම්හල් 82 ක් හඳුනා ගෙන තිබෙනවා. මේවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවා ද?
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප):-
සමහර වතු සමාගම් තේ වවන්න ඉඩම් අරගෙන වෙනත් කටයුතුවලට ඒ ඉඩම් බදු දෙනවා. අද කවුරුත් තේ මිල කතා කරන්නේ නැහැ. අද තේ සීයයි. එකසිය පහයි.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):-
එදා තේ පර්යේෂණාගාරය හොඳ තේ පැළ හැදුවා. අද ඒක නැවතිලා. තේ කර්මාන්තය රැඳිලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අතේයි. තවම දලු කඩන්නේ පරණ ක්‍රමයටමයි. නාය යෑම නිසා සමහරුන්ගේ තේ වතු අද තියෙන්නේ වෙනත් අයගේ තේ වතුවලයි.
ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා:-
තේ නාමය ආරක්ෂා කර ගැනීමට අපට අද සිදුවී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තේ, රබර් වගා ඉවත් කර කටුපොල් වගාව සිදු කරනවා. එයින් වගාවන්ට මෙන්ම ජන ජීවිතවලටත් අහිතකර බලපෑම් ඇතිවෙලා.
රත්නපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:-
පෞද්ගලික සමාගම්වලට දී ඇති රජයේ වතුවලට අත්වූ ඉරණම අප දන්නවා. ඒවායේ ලාභය ඔවුන් ආයෝජනය කළ ආකාරය සෙවිය යුතුයි. ඒනිසා රැකියා අවස්ථා අඩුවෙලා. වගා කරන්න බැරි සමාගම් කාරයින්ට මේවා දුන්නේ ඇයි? ඔවුන් රටේ ජාතික සම්පත් වංචා කරනවා.
ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.
වාසුදේව නානායක්කාර මහතා:-
කටුපොල් වගාකිරීම රටට සාපයක්. කටුපොල් වගාවට දී ඇති සීමාව තවත් අඩු කළ යුතුයි.
නවීන් දිසානායක මහතා:-
ඒ අනුමැතිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේයි. එතැනින් එහා අඟලක්වත් දෙන්නේ නැහැ. දැනට අක්කර 20,000ක තිබෙනවා.
ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):-
ග්ලයිෆොසෙට් තහනම තේවලට අහිතකර ලෙස බලපෑවා. එදා කටුපොල්වලට අත උස්සපු අය අද ඒවට විරුද්ධ වෙනවා.
පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.
වර්ෂාව සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් තිබුණත් දකුණු පළාතේ පවතින උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩ බලන අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මෙසේ පැවසීය.
මෙවැනි රෝගයක් පැතිරෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශය එය මැඩපැවැත්විය යුතුයි. වසංගත රෝග අංශය හරහා නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැ. අපි දන්න විදියට අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තිබෙනවා. වසංගත රෝග අංශයට එන අය ඉල්ලා අස්වෙනවා. ඇමැතිතුමා ජනාධිපති වගේ හැම අමාත්‍යාංශයකම දේවල් සොයමින් ඉන්නවා. ගං වතුර සමග තවත් වසංගත ඇතිවිය හැකියි.
ගම්පහ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය:-
යෝජනාව ස්ථිර කරනවා. කරාපිටිය, කඹුරුගමුව දකුණු පළාතේ රෝහල් රැසක උණ රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වසංගත රෝග අංශයේ ප්‍රධානියා වසංගත රෝග ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්. අපි සෞඛ්‍ය දර්ශකවලින් ලෝකයේ ඉදිරියට ගියේ විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය සුදුසු තැන්වලට පත් කළ නිසයි.
අද රෝග වැළැක්වීමේ අංශය කඩා වැටිලා. පවුල් සෞඛ්‍ය අංශයේ ප්‍රධානියාත් ඊට නොගැලපෙන පරිපාලන සේවයේ විශේෂඥ වෛද්‍යවරයෙක්.
මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:-
අපි ආසියාවේ ඉහළ සෞඛ්‍ය මට්ටමක් හිමි රටක්. මෙවැනි වසංගත පාලනයට රජය සියලු පහසුකම් ලබාදී තිබෙනවා.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා (එජනිස):-
මේ රෝගය ජාතික මට්ටමින් පැතිර යා හැකියි. බෝ වෙන රෝග මර්දනය කිරීමේ ජාත්‍යන්තර ක්‍රම හුවමාරු කර ගැනීමත් වැදගත් වෙනවා.
ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි:-
දරුවන් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා. නමුත් මේ වන විට රෝගීන් ප්‍රමාණය අඩුවෙලා.
ගාල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්දිම වීරක්කොඩි:-
කුඩා දරුවන් අට දෙනෙකුට අත්වූ ඉරණම කනගාටුදායකයි. මෙම තත්ත්වය පාලනයට කටයුතු කිරීම ගැන කරාපිටිය ඇතුළු රෝහල්වල වෛද්‍යවරුන්ට ස්තුති වන්ත වෙනවා. රෝහල්වල ඖෂධ හිඟයක් තිබියදීයි ඔවුන් කටයුතු කළේ.
වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා:-
ඉන්ෆ්ලුවන්සා වෛරසය වසරකට දෙවරක් පැතිරෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් පිහිටුවා ඒ ගැන අධ්‍යයනය කරනවා. රෝගය පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත් බවට සහතිකයක් දෙනවා.
මෙය පාසල්වලින් පැතිරීමේ අවදානම වැඩියි. මහජනතාවගේ සහය නැතිව පාලනය කරන්න බැහැ. වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වසංගත රෝග අංශයේ 2011 වසරේ සිට කටයුතු කළා. විදේශගතවී ඇය නැවත ආවත් රාජ්‍ය සේවා කොමිසම ඒ තනතුරට වෙනත් අයෙකු පත් කර තිබුණා. අපට එය අවලංගු කරන්න බැහැ. එය අමාත්‍යාංශයේ වරදක් නෙවෙයි.