- ජවිපෙත් සජබයත් අද නිරතව සිටින්නේ රට තුළ පවතින ආණ්ඩු විරෝධී ඡන්ද ප්‍රමාණය හිමි කර ගැනීම පිළිබඳ සටනකය.
දේශපාලන වේදිකාවේ විවිධ මතවාද ආසන්නව ලැබුණත් සමීප නිරීක්ෂණවලින් පෙනෙන්නේ ජනාධිපතිවරණයක් පැමිණෙන බවය. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් අවශ්‍ය බව නිරතුරුවම කියා සිටියත් ජනාධිපතිවරයා වටා නැඹුරුව සිටින දේශපාලකයන්ගේ තීරණය වී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය. විවිධ මුට්ටි එළියට දමා බලමින් තෝරා ගැනීමක නිරතව සිටින ජනාධිපතිවරයාගේ නැඹුරුව ද ජනාධිපතිවරණයට බව දේශපාලන අංශ සඳහන් කරයි. ඒ අනුව රනිල්, සජිත් හා අනුර අතර තුන්කොන් තරගයක් ඇතිවෙන බවත් එහිදී වැඩිම මනාප ගණන ලබන අපේක්ෂකයා බවට ජනාධිපතිවරයා පත්කරගත යුතු බවත් ජනපතිට සමීප දේශපාලකයන්ගේ මතය වී තිබේ.
මේ මොහොතේ රටේ සිටින ජනප්‍රියතම දේශපාලකයන් දෙදෙනා වෙන්නේ සජිත් සහ අනුර ය. එමෙන්ම ආණ්ඩුවට එරෙහිව මේ දෙදෙනා සතුව අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ගොනුවී තිබේ. එහෙත් මේ දෙදෙනාට ඇති එකම අවාසිය ද එයම ය. අන් හැමදාම ආණ්ඩුවට එරෙහිව තිබුණේ එක ශක්තිමත් විපක්ෂයකි. ඒ හැමදාම විපක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළේය. එහෙත් මෙදා ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ පක්ෂ දෙකක් තිබේ. මේ පක්ෂ දෙකට වෙන වෙනම ගොනුවෙන්ගේ විපක්ෂයට ඇති ඡන්ද ය. එක ශක්තිමත් තනි පක්ෂයක් වෙනුවට ශක්තිමත් පක්ෂ දෙකකට විපක්ෂයට ඇති ඡන්ද ප්‍රමාණය බෙදී යාම වූ කලී කිසිවෙකුටවත් බහුතරයක් නොලැබීමය.
එහෙත් සජබ නායකයන්ගේ මතය වෙන්නේ ඉහළම ජනප්‍රියතාව ඇත්තේ සජිත් ප්‍රේමදාසයට බව ය. සාම්ප්‍රදායික එජාපයේ වත්මන් හිමිකාරයා වෙන්නේ සජිත් ප්‍රේමදාසය. 2019 ජනපතිවරණය පරාජයට පත්වූවද ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයට සජිත් ඉදිරිපත් වුණේ තම පියාගේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් සමගි ජන බලවේගය නමින් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමෙනි. එම දේශපාලන පක්ෂය පිහිටුවා ගත් පසු එක්සත් ජාතික පක්ෂය බිංදුවටම වැටුණේය. 2020 මහා මැතිවරණයේදී එජාපයට හිමිවුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණය. සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂයට අද වෙනතුරුත් පැවති ඡන්ද ගොනුව යළි හිමි කර ගැනීමට නොහැකිව ඇති අතර එජාපයට හිමිව තිබූ වෘත්තීය සමිති බලය ඇතුළු එජාපයේ පවුරු පදනම් හිමිකර ගෙන ඇත්තේ සජිත්ය. තමා මෙවර ජනාපතිවරණයට තරග කරන බව විපක්ෂ නායකවරයා ද වන සජිත් ප්‍රේමදාස දැනටම ප්‍රකාශ කර තිබේ. මේ වෙන විට ආණ්ඩුව වඩා ඉහළ ජනප්‍රියත්වයක් ජන සමාජය තුළ සජිත්ට හිමිවී තිබේ. ජනාධිපතිවරණයකදී ඔහු වටාද විශාල ඡන්ද ප්‍රමාණයක් ඒකරාශී වෙන බව සිතිය හැකිය. එම පක්ෂයේ මතය අනුව මුස්ලිම් කොංග්‍රසයේ සහ වතුකරයේත් කොළඹ දෙමළ සමාජයේත් සහාය ඇත්තේ සජිත්ටය. මෙම ඡන්ද සියල්ල එකතු වූ කල වැඩිම මනාප ලබාගන්නේ සජිත් බව සජබ ප්‍රධානීන්ගේ ගණන් බැලීම වේ.
සජිත් දේශපාලනය ඇරඹුවේ හම්බන්තොටෙනි. ඔහුට තම පියාගේ ජයග්‍රාහී බල කොටුව වූ මැදකොළඹින් දේශපාලනය කරන්නට ඉඩ ලැබුණේ නැත. එජාපයේ බලවතුන් ප්‍රේමදාසගේ පුතාට තෝරා ගන්නට ඉඩ ලබාදුන්නේ ඈත රුහුණේ අතිශය දුෂ්කර හම්බන්තොට ආසනයකි. සජිත් ඒ අභියෝගය භාර ගත්තේය. සූරියවැව ගමක කාර්යාලයක් අරඹා ප්‍රාදේශීය එජාප අංකුරකයක් වූ දිලිප් වෙදආරච්චිත් සමඟ දේශපාලනය පටන් ගත්තේය. මුලදී සජිත් ගැමි කතුන්ට මහන මැෂින් බෙදුවේය. ධීවරයන්ට උපකරණ බෙදුවේය. දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමුවේය. දිනෙන් දින හම්බන්තොට ආයතනයක් ආසනයක් පාසා දුප්පතුන්ට මොනවා හෝ බෙදමින් ප්‍රේමදාසගේ පුතා හැසිරුණ ද හම්බන්තොටින් පිට ජනයා මේ බව දැනගත්තේ බොහෝ කාලයකට පසුවය.
ජනතා විමුක්ති පෙරමුණ යනු ලේ සෙලවූ විප්ලව දෙකක් සහ දැවැන්ත මර්දන දෙකකට මුහුණ දුන් පක්ෂයකි. 1989 මර්දනයෙන් පසු පක්ෂයේ ඉදිරි පෙළ පමණක් නොව දෙවැනි පෙළ නායකත්වයද මිහිමතින් තුරන් කරන ලදී. අද පවතින්නේ ඒ දැවැන්ත මර්දනයෙන් පසු ඉතා අසීරුවෙන් ගොඩනගාගත් දේශපාලන ව්‍යාපාරයකි. ලංකාවේ අන් කිසිම පක්ෂයක් මෙවන් මර්දනයකට මුහුණ දී නැත. එහෙත් එය යළිත් වැඩි වර්ධනය වී අන් පක්ෂ අභිභවන තරම් ජනප්‍රසාදයක් මේ වෙනවිට දිනාගෙන තිබේ.
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ උගත් අනුර කුමාර දිසානායකගේ කාලයේ තරම් ජනතා විමුක්ති පෙරමුණ වෙනත් කිසිම කාලයක මෙතරම් ජන ප්‍රසාදයක සිටියේ නැත. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර යටතේ ජවිපෙ වැඩිපුර කාලයක් ගත කළේ තහනම් කළ පක්ෂයක් හැටියටය. විජේවීරගේ අභාවයෙන් සහ රාජ්‍ය මර්දනයට මුහුණ දීමෙන් ඉක්බිතිව ජවිපෙ නායකයා වූ සෝමවංශ අමරසිංහ යටතේ ජවිපෙ මැතිවරණ ගණනාවකට මුහුණ දුන්නද අද තරම් ජනතා කැමැත්තක් එදා මතුපිටින් පෙනෙන්නට තිබුණේ නැත. චන්ද්‍රිකාගේ සහ රනිල්ගේ 2001 ආණ්ඩුව සමයේ ‘උනුත් එකයි - අපි ජවිපෙට’ වැනි ජවිපෙ විසින්ම හදාගත් සටන් පාඨ යටතේ වුවද අද තරම් ජනතා කැමැත්තක් එකල පෙනෙන්නට නොතිබිණි. ජවිපෙ සිය ඉතිහාසය තුළ උපරිම ජනප්‍රියභාවය ලබා සිටින්නේ මේ මෙහොතේය. එම ජනප්‍රියභාවය ඡන්ද බවට පත් කර එමඟින් සැලකිය යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් දිනාගැනීම මත ජවිපෙ අනාගත ජනප්‍රියභාවය රඳා පවතී. සජබය සහ ජවිපෙ නායකයන් අතර මත ගැටුම එසේත් නැතිනම් විවාදයක් පිළිබඳ දෙපාර්ශ්වයේ මතවාද නිරීක්ෂණය කරන්නට සිදුවෙන්නේ ඉහත කී තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
ජවිපෙත් සජබයත් අද නිරතව සිටින්නේ රට තුළ පවතින ආණ්ඩු විරෝධී ඡන්ද ප්‍රමාණය හිමි කර ගැනීම පිළිබඳ සටනකය. ආණ්ඩු විරෝධී ඡන්ද ඉතා විශාල ප්‍රමාණයක් රට තුළ සංසරණය වෙමින් පවතින බව රහසක් නොවේ. මෙම ඡන්ද ජවිපෙ හෝ සජබයේ ස්ථාවර ඡන්ද නොවන අතර ගෝඨාභයට එරෙහිව ආ අරගලයේ ශේෂ පත්‍රය ලෙස ප්‍රධාන පක්ෂවලින් ගැලවී ගිය ඡන්ද ප්‍රමාණයයි. මැතිවරණයක් අබිමුව සිටින විට සාමාන්‍යයෙන් පවතින පාවෙන ඡන්ද ප්‍රමාණයට වඩා මෙම ඡන්ද ප්‍රමාණය විශාලය. මෙම ඡන්ද ආණ්ඩුවට කිසිදා හිමි නොවන අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක නිරතව සිටින්නේ එම සුවිශාල ඡන්ද ප්‍රමාණය තමන්ට හිමිකර ගැනීමේ අරගලයක ය.
විපක්ෂයේ බෙදීම ආණ්ඩු පක්ෂය විසින් තම වාසියට හරවා ගත් එක් අවස්ථාවක් වූයේ 1982 ජනාධිපතිවරණය ය. මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 1983 අගභාගයේ වුවත් වසරකට කලින් 1982 අගභාගයේ ජනාධිපතිවරණය පැවැත්වීමට ජයවර්ධන ආණ්ඩුව තීරණය කළේ ඒ මොහොත වෙනවිට විපක්ෂය බරපතළ බෙදීමකට ලක්ව සිටි නිසාය. ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක මැතිනියට ප්‍රජා අයිතිය අහිමිව තිබිණ. ඇයට මැතිවරණවලට තරග කළ නොහැක. චන්ද්‍රිකා හා විජය කුමාරතුංග සිටියේ මැතිනියට විරුද්ධව ය. අනුර බණ්ඩාරනායක චන්ද්‍රිකාට හා විජයටත් දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටියේය. එමෙන්ම 1970-77 රජයේදී ශ්‍රීලනිප හවුල්කරුවන් වූ සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රීලනිපය සමඟ දැඩි ලෙස විරසකව සිටියේය. ජවිපෙ මේ සියලුම පක්ෂවලට විරුද්ධව සිටියේය. ජයවර්ධන රජය ප්‍රයෝජනයට ගත්තේ විපක්ෂයේ මෙම භේදභින්නකාරී තත්ත්වයයි. ජනාධිපතිවරණයේ දී ලංකා සම සමාජ පක්ෂයෙන් කොල්වින් ආර්. ද සිල්වා, නව සම සමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර, ජවිපෙන් රෝහණ විජේවීර තරග කළ අතර ශ්‍රීලනිප අපේක්ෂකයා වුණේ හෙක්ටර් කොබ්බෑකඩුව ය.
ජනපතිවරණයේ දී කිසිම කරට කර සටනක් නොතිබිණි. ජේ.ආර්. ජයවර්ධන යළිත් ජයග්‍රහණය කළේය. එහෙත් මෙම ජනපතිවරණයෙන් පසු එජාප රජය දීර්ඝ විග්‍රහයක යෙදුණේ ජනපතිවරණයේ දී ඡන්ද හැසිරුණු ආකාරය පිළිබඳවය. ඔවුන්ට එහිදී ජවිපෙ වේගවත් පිබිදීමක් නිරීක්ෂණය වී තිබිණි. අනුපාත ඡන්ද ක්‍රමය මත ජවිපෙට ආසන කිහිපයක් දිනාගත හැකි බව එජාපය තේරුම් ගත්තේය. එමෙන්ම තුනෙන් දෙකේ බහුතරයක් වෙන එජාප ආසන ගණන ඊට වඩා අඩුවෙනු ඇත. ශ්‍රීලනිපයට හිමිව තිබූ ආසන අට තවත් වර්ධනය වී ආසන පනහක්වත් ලබාගනු ඇත. ජයවර්ධන රජය මේ තත්ත්වය ඇතිවෙනවාට කැමති වූයේ නැත. ඒ නිසා මහ මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් පවත්වා එමඟින් එතෙක් තිබූ පාර්ලිමේන්තුවේ ධූර කාලය 1989 දක්වා දීර්ඝ කිරීමට එජාප රජය තීන්දු කළේය.
එකල එජාප රජය කිසිදු තැනක දී නිල වශයෙන් නොකීව ද ඔවුන්ට තිබූ බිය වුණේ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය යටතේ පාර්ලිමේන්තුවේ ආසන කිහිපයක් හෝ ලබාගැනීමය. හිලෑ කරගත් දුර්වල විපක්ෂයට පිබිදීමක් ගෙන ඒමට රෝහණ විජේවීරගේ ආකර්ෂණීය කතා විලාශය හේතු වෙනු ඇතැයි රජය තේරුම් ගෙන තිබිණ. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෙන් වැල් වටාරම් කතා කරනවා වෙනුවට විජේවීරගේ කතා ශෛලීය හා එහි අඩංගු දෑ ජනතා මනස තදින් ග්‍රහණය කරගන්නා බව බාහිර සමාජයේදී ලැබුණු ජනතා ප්‍රතිචාර අනුව පෙනී ගොස් තිබිණි. ඒ නිසා ජයවර්ධන රජය විජේවීර ඇතුළු උතුරේ සංවිධානවලිනුත් ඒමට නියමිත තරුණ කථිකයන්ට පාර්ලිමේන්තුවේ දොර වසා දැමීය.
ජවිපේ අද වෙන විට ද ජනතාවගේ යම් ආකර්ෂණයකට ලක්ව ඇත්තේ එම පක්ෂ නායකයාගේ ආකර්ෂණීය කතා විලාසය නිසාය. පළමුව මහා මැතිවරණය පැවැත්වුවහොත් වඩාත් වාසිදායක වෙනු ඇත්තේ ජවිපෙට වුවත් ජවිපෙ ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයකි.
ජනාධිපතිවරණයක දී තුන්කොන් සටනක් ඇතිවීමේ වාසිය පළමුවරට ලබා ගත්තේ ප්‍රේමදාසය. ජයවර්ධන ජනාධිපතිවරයා මෙම තත්ත්වය ඇති වෙන ආකාරය බලා සිටියේ සන්තෝෂයෙන් බව ඔහුගේ චරිතාපදානයේ සඳහන්වෙන්නේ මේ අයුරිනි.
“මේ අවස්ථාවේ දී ශ්‍රීලනිපයේ ප්‍රධාන වුවමනාව වූයේ තුන්කොන් තරගයක් වළක්වාලීම ය. මේ සඳහා එක්සත් සමාජවාදී සන්ධානය තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමෙන් වළක්වාගත යුතු විය. මේ ප්‍රයත්නය දෙස ජේ.ආර්. බලා සිටියේ බණ්ඩාරනායකවරුන් සිය පවුල තුළ තවත් දේශපාලන තරග වාරයක නිරතවීම ගැන සෝපහාසයෙන් යුතුව ය. තරගය දෙපක්ෂයක් අතර නොව තුන්කොන් එකක් වුණේ නම් ඔහු සතුටු විය.
එය එසේ විය. උගුලේ රඟ දන්නේ උගුල ඇටවූ පුද්ගලයාය. විධායක ජනාධිපති තරගය සඳහා ඡන්ද හැසිරවීමේදී තුන්කොන් තරගයක දී වඩාත් වාසිදායක වෙන්නේ කාටදැයි ඡන්ද ක්‍රමය නමැති උගුල ඇටවූ පුද්ගලයා ලෙස ජයවර්ධන ජනාධිපතිවරයා හොඳින්ම දැන සිටියේය.
වර්තමානයේ ද ජනාධිපතිවරණයක දී ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන්ට එරෙහිව විපක්ෂයේ ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනකු තරග වදින්නේ නම් තරගයේ අවසන් ප්‍රතිඵලය ගැන කල් තබා පුරෝකථන ඉදිරිපත් කිරීම අසීරුවෙනු ඇත. එහෙත් රටේ වත්මන් තත්ත්වය අනුව ආණ්ඩු පක්ෂ අපේක්ෂකයාට එරෙහිව විපක්ෂයේ එක් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වෙන්නේ නම් තරගයේ ප්‍රතිඵලය විපක්ෂයට වඩාත් වාසිදායක වෙනු ඇත්තේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ සජබය තුළ සිටින මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කඩා ගැනීම තුළ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් වෙනු ඇති බව එජාපයේ කල්පනාව ය. ඔවුන් ගණන් හදන්නේ විශාල පිරිසක් රනිල් වටා එකතුවීමට දැනටම තීන්දු අරගෙන වගේය. එහෙත් ඒ වගක් දේශපාලන භූමිය මත නම් සිදුවෙන පාටක් වත් පෙනෙන්නට නැත. සුළු ජාතික පක්ෂ වෙන මුස්ලිම් කොංග්‍රසය සහ වතුකරයේ පක්ෂ කිසිදා තම පක්ෂය හැර නොයන බව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තහවුරු කරයි. ඔහුට අනුව මෙම ජනපතිවරණයේ දී සුළු ජාතික පක්ෂ සිටින්නේ සජිත් සමග ය. එහෙත් උතුරේ පක්ෂ ගැන සජබය පැහැදිලි ස්ථාවරයක් නොදරයි. විපක්ෂයේ හරීන් හා මනුෂ හැරෙන්නට වෙනත් කිසිම මන්ත්‍රීවරයකු මේ දක්වා ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමඟ එක්ව නැත.
එජාප – පොහොට්ටු
ශ්‍රීලනිප සංධානයක්
ලංකාවේ දේශපාලනයේ හැටියට මැතිවරණ සමයක ‘පිකප්වීම’ සිදුවෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පැනිල්ලෙනි. ඒ කියන්නේ පක්ෂ මාරුවෙති. නිද්‍රෝපගතව සිටින ජනතාව අවදිවෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පැනිල්ලත් සමඟය. පසුගිය කාලයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ළඟට පැන්නේ මැතිවරණ සමයක් නුදුරේම එළඹෙන බව ජනතාවට සංඥා කරමිනි. මහාචාර්ය ජී.එල්.පීරිස්, නාලක ගොඩහේවා ඇතුළු කිහිපදෙනෙක් දැන් සජිත්ගේ දෑත ශක්තිමත් කරමින් සිටිති.
එජාපයේ ප්‍රධානියා කියන්නේ තමන් හදන පුළුල් සන්ධානය ජුලි මුල වෙනවිට බිහිවෙන බවත් එයට පෙර පිල් මාරු ගණනාවක්ම සිදුවෙන බවත්ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එජාපය, ශ්‍රීලනිපය සහ නිමල් ලන්සාගේ පක්ෂය අතර මෙම සංවිධානය බිහිවෙන බව ඔවුහු කියති.
සියයට පනහ නැතිව
දිනන වෑයමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක දී ජයග්‍රාහකයා ප්‍රකාශිත මුළු ඡන්ද ගණනින් අඩකට වඩා ලබා ගත යුතු බවට සඳහන්ව ඇතත් ජනාධිපතිවරයාගේ හිතවතුන් මෙම ව්‍යවස්ථා වගන්තිය දැන් නොසලකා හැරීමකට ලක්කර තිබේ. ඔවුන් කියා සිටින්නේ යම් අපේක්ෂකයකු සියයට පනහේ සීමාව ඉක්මවා ගියේ නැතත් යළිත් ජනපතිවරණයක් පැවැත්විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් නොවන බව ය. ඒ නිසා සියයට පනහේ කඩඉම පැනගත්තේ නැතත් ඒ වෙනවිට වැඩිම මනාපය ලබා සිටින අපේක්ෂකයාට ජනාධිපති ධුරය හිමි වෙන බව ඔවුහු කියති. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග කිරීමට සැරසෙන්නේ මෙම පදනමිනි. දැනට විපක්ෂය සඳහා රට තුළ පෙළගැසී ඇති නැඹුරුවේ වාසිය ලබාගැනීම ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ. ජනාධිපතිවරයාගේ හිතවතුන් කියන්නේ විපක්ෂ ඡන්ද කුට්ටිය වත්මන් ජනාධිපතිවරයාට කිසිදා නොලැබෙන අතර, එය බෙදාගැනීම සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර දිසානායක අතර උණුසුම් සටනක් ඇතිවෙන බවය. ඒ අනුව කිසිවෙකුටත් සියයට පනහක ඡන්ද බහුතරයක් නොලැබෙන අතර විපක්ෂයේ ඡන්ද බෙදීයාමේ වාසිය ලබාගෙන වැඩිම ඡන්දලාභියා බවට පත්වීම ජනාධිපතිවරයාත් ඔහුගේ පාර්ශ්වයෙත් සැලසුම බවට පත්ව තිබේ.
ඒ අතරම වෙනස් මතකයක් දරන දේශපාලකයෝද වෙති. ඔවුන් කියන්නේ මේ වෙනවිට කඳවුරු තුනක් වටා සිදුවෙන පෙළගැස්ම අවසාන මොහොතේ කඳවුරු දෙකක් බවට පත්වෙන බව ය. සටන ඇති වෙන්නේ කඳවුරු දෙකක් අතර බව ඔවුහු කියති. බෙදී සිටීමෙන් තම තමන්ට සිදුවෙන හානිය සලකා අවසාන මොහොතේදී කඳවුරු දෙකක් එකතුවෙන බව ඔවුන්ගේ මතය වේ. එම කඳවුරු දෙක ගැන කතා කිරීමට තවමත් වේලාසන වැඩි ය.