විමල් සහෝදරයා නිදහස් කරන්න කියන එක නීතියට අත පෙවීමක් නොවෙයි


 

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හිරගෙදර සිට උපවාසයක් ආරම්භ කළේය. ඒකාබද්ධ විපක්ෂයේ සටන් ක්‍රියා මාර්ග මින් කුමන දිශාවකට ගමන් ගනීද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර මහතා සමඟ මේ කතාබහ ඒ සම්බන්ධයෙනි. 

 


ප්‍රශ්නය- ඔබ හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවුණා?
පිළිතුර-
ඒකාබද්ධ විපක්ෂයෙ නියෝජිත කණ්ඩායමක් ජනාධිපතිතුමා 
මුණගැසුණා. ඒ හමුවට මමත් සහභාගි වුණා. අගමැතිතුමා හමුවීමට මම ගියේ නෑ.


ප්‍රශ්නය- හමුවේ අරමුණ?
පිළිතුර-
විමල් වීරවංශ සහෝදරයගේ උපවාසය අවසන් කිරීමට වුවමනා කරන සහයෝගයක් රජයෙන් ලබාගැනීම.


ප්‍රශ්නය- ඒ කියන්නේ ඔබලාම රජයට ආරාධනා කරනවා නීතිය නමන්න කියලා?
පිළිතුර-
නෑ. නෑ. ඒක වැරැදියි. අපි කතා කළේ නීතිපති දෙපාර්තමේන්තුව ගැනයි. උසාවියට නොවෙයි. නීතිපති දෙපාර්තමේන්තුවනේ රජයේ නීතිපති අංශය. ඒ නීතිපති අංශයට කියන්න ඇප ලබාදීමට වුවමනා යම් මැදිහත්වීමක් හෝ උපදේශනයක් ලබාදෙන්න කියලා. 


ප්‍රශ්නය- එය නීතියට අත පෙවීමකින් වෙනස් වෙන්නේ කොහොමද?
පිළිතුර-
නීතියට අත පෙවීමක් වෙන්නේ අධිකරණයේ ක්‍රියාදාමය වැළැක්වීමට ක්‍රියා කිරීම හෝ අධිකරණය ගන්නාවූ තීරණයකට යම් බලපෑමක් කිරීමයි. නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා වූ තීරණය වෙන්නේ චෝදනා ඉදිරිපත් කරන්න. නඩු ඉදිරියට ගෙනියන්න. ඒවා ගැන අපි බලපෑමක් කරන්න කියන්නේ නෑ.


ප්‍රශ්නය- එහෙමනම් ඔබේ ඉල්ලීම? 
පිළිතුර-
අපි ඉල්ලන්නේ ඔහු මේ උපවාසය කිරීමේ තත්ත්වය තුළ ඇප ලබාගැනීමට අපට නීතිපති දෙපාර්තමේන්තුවේ සහායක් 
ලබාගැනීමයි. ඊට අමතරව පොලිසියේ සහාය ලබාගැනීම.


ප්‍රශ්නය- ඇතැමුන්ට අනුව විමල්ගේ උපවාසයේ අරමුණ අධිකරණයට බලපෑම් කිරීමයි.
පිළිතුර-
නෑ, කිසිසේත්ම නෑ. විමල් සහෝදරය උපවාස කරන්නේ ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය මේ වනවිට ඇණ හිටලා තියෙන්නේ මේ සිරගත කිරීම තුළ. ප්‍රධාන දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු මේ උපවාසය කරන්නේ ආණ්ඩු විරෝධි උපවාසයක් හැටියටයි. ඒ දේශපාලන අරමුණු වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඔහුට වෙන කරන්න දෙයක් නෑ. ඔහු හිරගතව ඉන්නේ. ඒ නිසා ඔහු අවියක් ලෙස උපවාසය පාවිච්චි කරනවා. ඔහු එමගින් කරන්නේ දේශපාලන විරෝධය පළ කිරීමයි.


ප්‍රශ්නය- ඒකාබද්ධ විපක්ෂය විමල්ගේ උපවාසයට විරුද්ධයි කියලා වාර්තා වුණා.
පිළිතුර-
අප ඔහුට උපදෙස් දුන්නා උපවාස කරන්න එපා කියලා. නමුත් ඔහු උපවාසය ආරම්භ කළා. නමුත් ඔහුගේ උපවාසයෙන් ඔහුගේ ශරීර සෞඛ්‍යයට ඇතිවන හානිය නිසා මෙහි අවසන් කිරීමට ඔහුට උපකාරයක් වීමට අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඇප ලබා ගැනීමට රාජ්‍ය අංශයේ ඒ කියන්නේ නීතිපතිවරයාගේ හා පොලිසියේ සහාය ලබාදෙන්න කියලා.


ප්‍රශ්නය- උපවාස කරලා ඇප ගන්න බෑ කියලා ආණ්ඩුවේ ඇමැතිවරු කියනවා?
පිළිතුර-
සමහර ඇමැතිවරු බොහොම නරක විදියට ඒ ගැන කටයුතු කළා. ක්‍රියා කළා. හරි වේවා වැරැදි වේවා මන්ත්‍රී කෙනෙක් උපවාස කරනවා. අපේ වගකීම තමයි මේ උපවාසය අවසන් කරවීම.


ප්‍රශ්නය- ඔබ මුලින් කිව්වා විමල්ට උපවාස කරන්න එපා කිව්වා කියලා. ඇයි එපා කිව්වේ?
පිළිතුර-
එදා කිව්වේ මොකද එම ක්‍රියාව නිසා ඔහුගේ ශරීරයට වෙන හානිය 
ගැන සළකා බලලයි. අපි ගෙවල්වල ඉඳිමින් දිගටම අරගල කරනවා විනා තමන්ගේ ශරීරයට හානියක් කර ගන්න එපා කියලයි අපි ඉල්ලුවේ.


ප්‍රශ්නය- ඔබ කියලා තිබුණා ආණ්ඩුවේ පිපුරුමක් ඇති වුණොත් මෛත්‍රිගේ පැත්ත ගන්නව කියලා?
පිළිතුර-
ඒක වෙනම මාතෘකාවක්නේ. ආණ්ඩුවේ පිපුරුමක් ඇතිවෙන්න පුළුවන් කියලා ආණ්ඩුවේ උපදේශකයෙක්ව ඉන්න වික්ටර් අයිවන් රාවයට කියලා තිබුණා. දැන් ඒ සීතල යුද්ධය පිපිරෙන්න ළං වෙලා කියලා ඔහු කියලා තිබුණා. ඉතින්  මගේ ස්ථාවරය වෙන්නේ එහෙම පිපුරුමක් වෙන්න ඉඩ තියෙනවා නම් ඒ පිපිරීම කරවන්න ඒකාබද්ධ විපක්ෂය සිරිසේන මහත්තයාගේ පැත්තට බර තියන්න ඕනැ.


ප්‍රශ්නය- ඔය ඔබ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයෙ පොදු මතයද? ඔබේ පෞද්ගලික මතයද?
පිළිතුර-
නෑ. නෑ. මේක මගේ මතය. මගේ යෝජනා ඒකාබද්ධ විපක්ෂයට. ඒක මගේ පෞද්ගලික මතය. ඒ වගේම මහජන පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය ඒ වගේ පක්ෂ අපිත් එක්ක එකට වැඩ කරනවා. අපි ඒ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කරනවා. සිරිසේන මහත්තයාගේ පැත්තට බර තියලා මේ පිපුරුමට ඉඩ ලබාදිය යුතුයි. මේ පිපුරුම වෙනකොට අපි යූඑන්පී විරෝධි එක්සත්කමක් ඇති කරගන්න පාර්ලිමේන්තුවේ බලමු.


ප්‍රශ්නය- ඒ කියන්නේ මේ ආණ්ඩුව වට්ටලා අලුත් ආණ්ඩුවක් හදනවා?
පිළිතුර-
ඔව්! නමුත් අපි ඒ අලුත් ආණ්ඩුවට යන්නේ නෑ.


ප්‍රශ්නය- ඔබේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිචාරය කොහොමද?
පිළිතුර-
තාම නෑ. ප්‍රතිචාර ඇවිල්ලා. සමහර මන්ත්‍රීවරු මට කතා කරලා තියනවා. යෝජනාව හොඳයි කියලා. නිල වශයෙන් ප්‍රතිචාරයක් ලබාගන්න මං බලාපොරොත්තු වෙන්නෙත් නෑ. දැනට මම අදහසක් තමයි මම දියත් කරලා තියෙන්නේ. 


ප්‍රශ්නය- එතකොට මහින්ද රාජපක්ෂට මොකද වෙන්නේ? 
පිළිතුර-
නෑ. අපි ඔක්කොම ඒකාබද්ධ විපක්ෂය හැටියට එකට ඉන්නවා. ආණ්ඩුව පිපිරෙන කොට ඒ පිපිරීමේදී අපි සිරිසේන මහත්තයාගේ පැත්තේ ඉඳන් ඒ පිපිරීමට බර තියනවා. ඊළඟට ඒ පිපිරීමෙන් පස්සෙ ඇතිවන ආණ්ඩුවට අපි එකතු වෙන්නේ නෑ. නමුත් ඒ ආණ්ඩුවට පවතින්න උවමනා කරන සංඛ්‍යාව අපි විපක්ෂයේ ඉඳන් අරන් දෙනවා.


ප්‍රශ්නය- ඔබ එහෙම කිව්වත් පාර්ලිමේන්තුව ඇතුළේ යූඑන්පියට ආසන 108ක් තියෙනවා.
පිළිතුර-
ඔව්, නමුත් ඒකට ප්‍රතිවිරුද්ධව 94ක් ඉන්නවා අපේ. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ රනිල්ට එරෙහිව එකතුවන කණ්ඩායමටත් ඉඩ තියමින් තමයි මම ඕක කිව්වේ.


ප්‍රශ්නය- ඔබ එජාපයෙ රනිල් විරෝධි කණ්ඩායමක් ගැන කියනවා. ඔහොම කියන්නේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඉන්න බලවේග දිගටම තියාගන්නයි.
පිළිතුර-
නෑ. එහෙමම නොවෙයි. බොරුවක් ගොතලා පිරිස් දිරිමත් කරන්න කියනවා නොවෙයි. මේ තත්ත්වය මෝරාගෙන එනවා. ඒක වික්ටර් අයිවන්ගේ ලිපිය අනුවත් තේරුම් ගන්නයි මම ඒ ලිපිය ගැන කිව්වෙත්.  අපි දැනට මේ එන්නාවූ වාද විවාද හා විරසකයන් මැද අපි සිරිසේනගේ පාර්ශ්වයෙන් එන්නාවූ තර්කනයන් එක්ක එකට ගමන් කරමින් අපි රනිල්ගේ ආණ්ඩුව කැඩීම සඳහා අපට යෙදිය හැකි හැම උපක්‍රමයක්ම හඳුනාගන්නට ඕනැ. රනිල්ගේ ආණ්ඩුව කැඩීමෙන් පසුව හැදෙන ආණ්ඩුව ගැන අපට වගකීමක් නෑ. නමුත් එවැනි ආණ්ඩුවක් පැවැතීමට වුවමනා කරන සංඛ්‍යාත්මක බලය ලබාදීමට අප ඒකාබද්ධ විපක්ෂයේ සහාය දිය යුතුයි කියන එකයි මගේ යෝජනාවේ තේරුම. 


ප්‍රශ්නය- ඔබ හිතනවද පුපුරා යාමට තරම් හේතු ආණ්ඩුව ඇතුළේ තියෙනවා කියලා?
පිළිතුර-
මම විතරක් නොවෙයි හැමෝම වගේ එවැනි අනුමානයක ඉන්නවා එවැනි පිපුරුමක් ඇති වෙන්න පුළුවන් කියලා.


ප්‍රශ්නය- ඔබේ අනුමානවලට පදනම් වන සාධක?
පිළිතුර-
ප්‍රධාන වශයෙන්ම ජිනීවා යෝජනා අනුව මේ රටේ ඇතිවන්න ඕනෑ ව්‍යවස්ථාව හා ඡන්ද ක්‍රමය ගැන ප්‍රතිවිරුද්ධ මත එක්සත් ජාතික පක්ෂය තුළත් මෛත්‍රී පාර්ශ්වය තුළත් තිබෙනවා. දෙවැනුව ජාතික දේපොළ පෞද්ගලීකරණය කිරීම පිළිබඳවත් මත භේද තියෙනවා. ඒ වගේම මේ රටේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිය සමස්තයක් වශයෙන් ගත්තාම ඒක රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බටහිර බලවතුන්ට නතුවූ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් තියෙන්නේ. මේවා හැම එකකදීම සිරිසේන මහතාගේ පාර්ශ්වය අද වෙනස් මත දරන බව ප්‍රසිද්ධ කරුණක්.


ප්‍රශ්නය- විමල්ගේ ප්‍රශ්නය උපුටා දක්වමින් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ආණ්ඩු විරෝධීන් දරුණු විදියට දඩයම් කරනවා කියලා. ඒ පරිසරය තුළ ආණ්ඩුවෙන් එළියට ඇවිත් කැමැත්තෙන්ම දඩයම් වෙයිද?
පිළිතුර-
මම කියන්නේ නෑ එයි කියලා. “එනවයි” කියලා නොවෙයි මම කියන්නේ. එහෙම “වෙනවා නම්” අපි අපේ බර සිරිසේන පැත්තට එකතු කරලා රනිල්ගේ ආණ්ඩුව කැඩිය යුතුයි. පැහැදිලිව කිව යුත්තේ එයයි.


ප්‍රශ්නය- ඔබලා මොන උද්ඝෝෂණ කළත් හම්බන්තොට වරාය විකිණීම ක්‍රියාත්මකයි?
පිළිතුර-
නෑ. තාම ඒක ඇණහිටලා තියෙන්නේ. ඒ පිළිබඳව සාකච්ඡාව විවෘතව තාමත් ඉතුරුව තියෙනවා. ඒකේ කොන්දේසි මොනවද විකිණීමට එකඟද නැද්ද නැත්නම් යම් මෙහෙයුම් ගිවිසුමකට යනවද මේවා ගැන තියෙනවා තවමත් ආණ්ඩුව තුළ එකඟතාවයක් නැති තත්ත්වයක්. 


ප්‍රශ්නය- හම්බන්තොට වරාය ගැන ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය?
පිළිතුර-
අපි කියන්නෙත් විකුණන්න එපා කියලයි.


ප්‍රශ්නය- විකල්පය?
පිළිතුර-
අපේ විකල්ප යෝජනාව වරායේ මෙහෙයුම් කටයුතුවලට 
ගිවිසුමක් දාමු කියලයි. එය පමණයි කළ යුත්තේ. 99 අවුරුද්දක් කියන්නේ ශත වර්ෂයක්. මේ රටේ භූමිය හා දේපොළ වගේම ආර්ථිකයේ මර්මස්ථාන මේ රටට අහිමි වෙනවා. ඒක වෙන්න දෙන්න බෑ.


ප්‍රශ්නය- මහින්ද රාජපක්ෂ කාලෙදි කරන්න ගියෙත් ඕකමයි?
පිළිතුර-
නෑ. මහින්ද රාජපක්ෂ ගෙනාපු යෝජනාවෙ තිබුණේ තිස් අවුරුදු යෝජනාවක්. වරායේ මෙහෙයුම් කටයුතුවලට වුවමනා ආයෝජන සිදු කරමින් වරායෙ මෙහෙයුම් කටයුතුවලට සහභාගිත්ව ගිවිසුමක් තමයි එතුමා යෝජනා කළේ. ඊට අමතරව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ඒ කර්මාන්තවලට වුවමනා කරන බිම් ප්‍රමාණයක් සඳහා 
ගිවිසුමක් යෝජනා කළේ. එහෙමයි අපි ලෑස්ති කරලා තිබුණ වැඩපිළිවෙළ.


ප්‍රශ්නය- අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. මේ අලුත් ව්‍යවස්ථාව ගැන ඔබේ ස්ථාවරය.
පිළිතුර-
මම ඉන්නේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීම කළ යුතුයි කියන ස්ථාවරයෙ. පළාත් බලය තවත් තහවුරු කරමින් ඒකීය රාජ්‍යය තවත් තහවුරු කළ යුතුයි. මේකේ අන්ත දෙකක් තියෙනවා. සමහරු ඒකීය රාජ්‍යය ගැන විතරයි කතා කරන්නේ. ඒකීය රාජ්‍යයකින් රටේ ඒකීයභාවය පවත්වාගෙන යා යුතුයි කියන අදහස. තවත් ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අය සන්ධීය රාජ්‍ය තත්ත්වයට වුණත් මේ රටේ රාජ්‍ය ස්වභාවය ගමන් කිරීමට ඉඩ ඇතිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ඔවුන් කල්පනා කරනවා. ඒ කියන්නේ මධ්‍යම රජයේ කේන්ද්‍රීය බලයට ඒ ලෙසම නොබැඳුණ රාජ්‍ය ප්‍රාන්ත බල තත්ත්වයක් ගැන රජයේ විශේෂයෙන්ම ඔය ජිනීවා යෝජනා අනුව බටහිර බලවතුන්ගේත් ඩයස්පෝරාවෙත් ඉල්ලීම අනුව එබඳු මධ්‍යම කේන්ද්‍රයට අවම වශයෙන් බැඳුණු නාමික වශයෙන් බැඳුණ ප්‍රාන්තිය බල තත්ත්වයක් ගැන කතා කරනවා. ඒක මේ රටේ බෙදීමක් ඇතිවීමට, රාජ්‍ය බෙදී කැබලි වී යාමට ඉඩ තියෙන යෝජනාවක් හැටියටයි අපි දකින්නේ. 


අනික් අතට ඒකීය රාජ්‍ය ගැන පමණක් කතා කරන අය මේ රටේ දෙමළ හා මුස්ලිම් මෙන්ම ප්‍රාන්තීයව බහුතර ජන තත්ත්වයක් තියෙන ඒ ජන කණ්ඩායම් ගැන නොසළකා කතා කරනවා. මේ දෙකම ඇතුළත්වන විදියට තමයි අපි මේ ගැන අදහස් දක්වන්නේ.


ප්‍රශ්නය- ඔබට තියෙන තොරතුරුවලට අනුව නව ව්‍යවස්ථාව හදලද? තාම නැද්ද?
පිළිතුර-
අපට ආරංචි හැටියට ඒවා රහසිගතව හදාගෙන තිබෙනවා කියලයි දැනගන්න තියෙන්නේ. නමුත් තාම අපි ඉදිරියේ කෙටුම්පතක් නෑ. උපකමිටුවල යෝජනා තියෙනවා. ඒ උප කමිටුවල යෝජනා අනුව බැලුවම මේ මධ්‍ය කේන්ද්‍රීය බලය දුර්වල කිරීමේ යෝජනාවක් තියෙනවා.


ප්‍රශ්නය- ජනපති මෛත්‍රි කියනවා. මේ හදපු නැති ව්‍යවස්ථාවකටයි මේ ගෝනි බිල්ලා මවන්නේ කියලා?
පිළිතුර-
නෑ. හදපු නැති ව්‍යවස්ථාවක් ගැන අපට මුකුත් කියන්න බෑ තමයි. නමුත් උප කමිටුවල යෝජනා අනුව ආණ්ඩුව ගෙන එන්නේ කෙබඳු ව්‍යවස්ථාවක් ද කියලා අපට නිගමනවලට එන්න පුළුවන්. ඒ අනුවයි අපි මේ අදහස් දක්වන්නේ. අන්ත දෙකකට මැදින් ස්ථාවරයකයි අප ඉන්නේ. 


ප්‍රශ්නය- ඔබ හිතනවද ඔබේ ඔය ස්ථාවරය ඒකාබද්ධ විපක්ෂය තුළ ජයග්‍රහණය කරවන්න පුළුවන් කියලා. 
පිළිතුර-
මම උත්සාහ කරනවා මට කියන්න බෑ මට පුළුවන් වෙයිම කියලා.


ප්‍රශ්නය- බැරි වුණොත්?
පිළිතුර-
බැරි වුණොත් ඒකාබද්ධ විපක්ෂයේම ඉන්නවා. වෙන දේශපාලන තෝරා ගැනීමක් නෑනේ.


ප්‍රශ්නය- මහින්ද රාජපක්ෂ කිව්වා 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා. දැන් අප්‍රේලයත් ආවා. 
පිළිතුර-
අපි ගෙනියන විරෝධතා ක්‍රියාකාරිත්වය නිසාත් ආණ්ඩුව ඇතුළේ වර්ධනය වෙන පරස්පරතාත් නිසාත් ආණ්ඩුව අද මුහුණදෙන අර්බුද නිසාත් ආණ්ඩුව බිඳ වැටීමේ හේතු මතු වෙමින් තියෙනවා.


ප්‍රශ්නය- රට පුරා හර්තාල් තත්ත්වයක් ඇති කරන්න ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් ඉන්නවා කියලා ආරංචියි.
පිළිතුර-
ඔව්, අපට අපේ ඡන්ද බලය නොදුන්නොත් අපි ජාතික මහා විරෝධතා දිනයක් සංවිධානය කරනවා ආණ්ඩුව හිර කරන, ආණ්ඩුව ඇණ හිටවන.


ප්‍රශ්නය- අද දෙහිවල පවත්වන සමුළුව මොකද්ද? 
පිළිතුර-
ඔව්, අද ජාතික සමුළුව පවත්වන්නේ ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානයෙන්. ඒ මධ්‍යස්ථානයට සම්බන්ධව වෘත්තිය සමිති ජනතා සංවිධාන හා විවිධ වෘත්තියවේදී සංවිධාන අපි ඔක්කොම එකතු වෙලා දෙහිවල ජයසිංහ ශාලාවේ පවත්වන සමුළුවේදි යෝජනාවක් සම්මත කරගන්නවා ජාතික සම්පත් විකිණීමට එරෙහිව. මහින්ද රාජපක්ෂ මහත්තයත් එහි මුල් ආමන්ත්‍රණයක් කරනවා. එයත් තවත් එක් අරගලයක ආරම්භයයි. 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්