විස්ස සම්මත කරගන්න මගේ නම් කිසිම උනන්දුවක් තිබුණේ නෑ


වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

රටේ මොකද වෙන්නෙ. මේ ඒ ගැන විමසමින් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- කොවිඩ් 19 දෙවැනි රැල්ල මැඩ පැවැත්වීමේදී ආණ්‍ඩුව අසමත්. ඇයි එහෙම වුණේ?


පිළිතුර:- ලෝකයේ අනෙකුත් රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී එහෙම ඉක්මන් නිගමනයකට එන්න බෑ. මෙය ලංකාවට හුදකලා වූ තත්ත්වයක් නොවෙයි. මේක ලෝක ඉතිහාසය තුළ දරුණුතම වසංගතය. ලෝකයේ බලවත්ම රාජ්‍ය තමයි අමෙරිකා එක්සත් ජනපදය. එහි ලක්ෂ ගණනින් ජනයා මිය යන විට ලංකාවේ මරණ සංඛ්‍යාව ඉලක්කම් දෙකක සීමාවේ රඳවා ගෙන සිටීම විශාල ජයග්‍රහණයක්. සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ හා ජනතාවගේ කැපවීම මත ඒ ජයග්‍රහණය ලැබුවා.


ප්‍රශ්නය:- ඒ ජයග්‍රහණය අපේ. මේ අසමත්වීම තොපේ කියලා ආණ්ඩුව කියන බවයි විපක්ෂය කියන්නේ.


පිළිතුර:- එහෙම නෑ. පළමු රැල්ලේදී ඉතා වගකීමෙන් ක්‍රියා කරන අපේ සියලු දෙනා ඊට පස්සෙ කොරෝනා දෙවැනි රැල්ල හැදෙන කොටත් අපි එවැන්නක් නැති විදියටයි කටයුතු කළේ. සෞඛ්‍ය අංශ ලබාදුන් නියෝග අප පිළිගන්නේ නැහැ. මමත් ඔබත් ඒ කවුරුත් කටයුතු කළේ එහෙමයි. මුඛ ආවරණ පැලඳුවේ නැහැ. අත් සෝදන ක්‍රියාවලිය අභාවයට ගියා. දුරස්ථභාවය පවත්වාගෙන ගියේම නෑ. ඒ විදියට අපි කවුරුත් යුතුකම හා වගකීම ඉටු නොකිරීම නිසයි මේ තත්ත්වය ඇති වුණේ. මේ තත්ත්වයට ජනාධිපතිතුමාටත් සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවලට දොස් කියන්න බැරි අර ක්‍රියාමාර්ග ගන්න කාලෙදි දිගින් දිගටම විපක්ෂය ඇතුළු අනෙක් පාර්ශ්‍ව කිව්වේ ඒක නිදහසට තර්ජනයක්. හමුදාවෙන් නිරෝධායන ක්‍රියාවලිය ඉවත් කරන්න මිනිසුන්ට අනවශ්‍ය බාධා දාන්න සීමා පනවන්න එපා. නිදහසේ ඉන්න දෙන්න. අනෙක් රටවල්වල පාසල් ඇරලා. අනික් රටවල් කොවිඩ් සමග ජීවත් වෙනවා. අපිටත් එහෙම ජීවත් වෙන්නයි වෙන්නෙ ඒකට ඉඩහරිමින් කියලයි.


ප්‍රශ්නය:-විපක්ෂ එහෙම කියපු නිසා පුළුවන්නම් බේරියල්ලා කියන තැනට ආණ්‍ඩුව ආවා.


පිළිතුර:- සත්තකින්ම නෑ. කැබිනට් මණ්‍ඩලයේදී ගුවන් තොටුපොළ විවෘත කරන්න කියලා ඇමැතිවරු ඉල්ලීමක් කළාම කිසිසේත්ම බැහැ කියන තීන්දුව ගත්තේ ජනාධිපතිතුමා. අපට ආර්ථික වශයෙන් වාසිදායක තත්ත්වයක් තිබියදීත් රජය ගුවන් තොටුපළ විවෘත කළේ නෑ. කොවිඩ් මඩින මෙහෙයුමට බාධාකාරී විය හැකියැයි හැඟෙන කිසිම යෝජනාවකට ජනාධිපතිතුමා එකඟ වුණේ නෑ. එහෙම නොවුණා නම් තත්ත්වය බොහෝ දරුණු වෙන්න තිබුණා. හඹා ගොස් නිරෝධායනය කිරීමේ ශ්‍රී ලාංකේය ක්‍රමවේදය මෙවරත් ක්‍රියාත්මක වෙනවා.


ප්‍රශ්නය:- 20 සම්මත කර ගන්න තිබුණ උනන්දුව කොවිඩ් මර්දනයට නැහැ කියලයි ජනතාව කියන්නේ.


පිළිතුර:- 20 සම්මත කරගන්න මගේ නම් කිසිම උන්නදුවක් තිබ්බේ නැහැ. අපේ උනන්දුව තිබුණේ 19 තිබුණ අහිතකර වගන්ති ඉවත් කර ගැනීමයි. මොකද අවසාන දින දෙක තුන ඇතුළත මතුවූ මතවාදී ගැටුම් නිරාකරණය කර ගැනීමේ තත්ත්වයක් මතු වුණා.


ප්‍රශ්නය:-එතැනදි වුණෙත් ජාතිකවාදී බලවේගවලට ඇහුම්කන් නොදීමයි.


පිළිතුර:- විවිධ මත තිබුණ. විශේෂයෙන්ම මෙම රජය බලයට ගේන්න දායක වුණු මහා සංඝරත්නය ඇතුළු අපේ කැබිනට් මණ්‍ඩල සහෝදරවරු මන්ත්‍රීවරු අතර සමහර කරුණු ගැන විරෝධයක් තිබුණා.


ප්‍රශ්නය:-ඔබට කිසිම විරෝධයක් නෑ.


පිළිතුර:- නෑ නෑ මටත් විරෝධයක් තිබුණා. ඒ පිළිබඳව අපි වගකිවයුතු දේශපාලන පක්ෂ නායකයන් විදියට ජනාධිපතිතුමා සමග අගමැතිතුමා සමග සාකච්ඡා කරලා බොහෝ කරුණු වෙනස් කරගන්න ලැබුණා. ඒ සාකච්ඡාව නිසා තමයි 20 ට විශාල උනන්දුවක් තිබුණා කියලා පෙනුනේ. නමුත් එහෙම දෙයක් නැහැ.


ප්‍රශ්නය:-විපක්ෂය කියනවා අපේ සහයෝගය දෙන්නම් කියලා. නමුත් ආණ්ඩුව ඒ සහයෝගය ගන්න බවක් පේන්න නෑ.


පිළිතුර:- ඔය විපක්ෂයේ ඉන්න අයගෙන් ගන්න පුළුවන් සහයෝගයක් හෝ ඔවුන්ට දෙන්න පුළුවන් සහයෝගයක් හෝ බුද්ධිමය දායකත්වයක් ලබාදිය හැකි බවක් පේන්න නෑ. ඒක ඕනෑම පාර්ලිමේන්තු විවාදයක් නරඹන ලංකාවේ ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණක්. පාර්ලිමේන්තුව ඇතුළේ බුද්ධිමය දායකත්වයක් ලබාදෙන්න කතා කරන විපක්ෂනායකතුමා ඇතුළු පිරිස කටයුතු කරන්නේ කොහොමද කියන එක මේ රටේ ජනතාවට හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් රූපවාහිනී විවාදයක් නැරඹුවොත්. ඒ වගේම ඔවුන් ඔප්පු කරලා තියෙනවා වසර පහක් තිස්සේ මේ රටේ කර්මාන්ත කෘෂිකර්මාන්ත සේවා සියලු අංශ වට්ටල ජාතික ආරක්ෂාව ඇති කරන්න බැරිව පාස්කු ප්‍රහාරය වෙන්න ඇරලා මිනිස් ජීවිත 277 ක් නැති වෙනකම් බලාගෙන හිටපු තක්කඩියන්ට කොවිඩ් මර්දනයට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ. මේ අය මැරිලා ඉපදිච්ච අය නොවෙයි. මේ අයගේ යහපාලන ආණ්‍ඩු කාලය පුරාම සිද්ධ වුණේ රාජ්‍ය භීතියෙන් හා රාජ්‍ය වෛරයෙන් ඒ ආණ්‍ඩුවටයි රණවිරුවන්ටයි. රට පැත්තේ හිට ගත්ත සියලු දෙනාට එළව එළවා පහර දෙමින් මුළු රටම අගාධයකට ගෙන යෑම පමණයි. මේ අය ඇති කරපු ආර්ථික විනාශය ගැන පමණක් අයවැයට පෙර මම පොතක් ලියනවා. මම ඒකේ සංඛ්‍යා දත්ත සහිතව ඔප්පු කරනවා නිදහසින් පස්සෙ ලංකා ඉතිහාසයෙ මෙතරම්ම රටක් ආර්ථික වශයෙන් විනාශ කරපු යුගයක් නෑ කියලා. ඉතින් ඒකේ හවුල්කාරයෝ තමයි විපක්ෂයේ ඉන්නේ. අනුර කුමාර මහත්තයා ඇතුළු ඒ තුන් දෙනා ඒ යමපාලන ආණ්ඩුවේ ආරක්ෂකයෝ. ඒ අයගෙන් මොකක්ද මේ කොරෝනා මඩින මෙහෙයුමට ගන්න පුළුවන් දායකත්වය.


ප්‍රශ්නය:-ඡන්දයක් නැති නිසා පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව ගැන සොයලා බලන්න මැති ඇමැතිවරුන් කවුරුත් නෑ කියලත් ජනතාව කියනවා.


පිළිතුර:- අපි හැම කෙනෙක්ම අපට පැවරිලා තියෙන වගකීම් ඉටු කරමින් ඉන්නේ. නව කැබිනට් මණ්ඩලය පත් කරලා ජනාධිපතිතුමා කැබිනට් ඇමැතිවරුන්ට රාජ්‍ය ඇමැතිවරුන්ට වෙන වෙනම වගකීම් ගැසට් කරලා තියෙනවා. එතැනදි එකිනෙකාට පේන විදිය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන සාධාරණ විදියට බෙදා දීම අරමුණු කරගෙන ආර්ථික මධ්‍යස්ථාන ජාලයක් විවෘත කළේ මම. නුවරඑළිය, තඹුත්තේගම, ඇඹිලිපිටිය, වැලිසර, ​වේයන්ගොඩ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන යනාදී වශයෙන් මේ ආර්ථික මධ්‍යස්ථාන වැලිකැටේ ඉඳන් අලුතෙන් නිර්මාණය කළේ මම. නමුත් මේ ආර්ථික මධ්‍යස්ථාන මේ පාර ගැසට් කරලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට එතකොට මම එක ආර්ථික ම්‍යස්ථානයකටවත් ගිහින් බලන්නේ නැහැ කියලා චෝදනාවක් එන්න පුළුවන්. නමුත් මම යන්නේ නැහැ. මොකද දැන් ඒක මගේ කාර්යභාරය නොවෙයි. ඒක ගැසට් කරලා තියෙන්නේ රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාට. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාව. එතුමන්ලා ආර්ථික මධ්‍යස්ථානවලට යනකොට මම ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සලසලා දෙනවා. මගේ මැතිවරණ කොට්ඨාසයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය බදාදා මහින්දානන්ද ඇමැතිතුමා යනවා කිව්වා. මීට අවුරුදු 17කට පෙර මම පළමුවෙන්ම හදපු ආර්ථික මධ්‍යස්ථානය. නමුත් මම ගියේ නෑ. මගේ ලේකම්වරු යැව්වා. මගෙන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ ඒ ආර්ථික මධ්‍යස්ථාන ජාලය පසු කාලය වන විට ව්‍යාපාරික එකක් බවට පත්වුණු නිෂ්පාදකයාගේ භාණ්‍ඩ සාධාරණ මිලට විකුණාගන්න තැනක් වෙනුවට ව්‍යාපාරිකයන්ගේ ස්ථානයක් බවට ඒක පත්වුණා. ජනාධිපතිතුමා මට කැබිනට් එකේදි කිව්වා ඔබතුමා අලුත් ජාලයක් හදන්න කියලා. මම කරන්නේ අලුත් අලුත් දේවල් නිර්මාණය කරලා අනිත් අයට බාර දීමයි. දැන් පසුගිය සිකුරාදා මම මිහින්තලයට ගියා. ඊළඟ සතියෙ යනවා ජනක බණ්‍ඩාර තෙන්නකෝන් ඇමැතිතුමා එක්ක ගලේවෙල. නිෂ්පාදකයාටම ගොවියාටම තමන්ගෙ නිෂ්‍පාදන අතරමැදියෙක් නැතිව කෙළින්ම ගැණුම්කරුවන්ට ලබාගත හැකි අලුත් කෘෂි කාර්මික මධ්‍යස්ථාන ජාලයක් මම නිර්මාණය කරනවා. ඒ නිසා මේ අලුත් වැඩකිරීමේ ක්‍රමවේදය අනුව අප එකිනෙකාට පවරා දී තිබෙන වගකීම් තමයි ඉෂ්ට කරන්නේ.


ප්‍රශ්නය:- ඇඳිරි නීතිය දාපු ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එන්නෙත් නෑ.


පිළිතුර:- ඒකට මම වග උත්තරකරුවෙක් නොවෙයි. මක්නිසාද යත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙනම ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවලා තියෙනවා. අපට කරන්න තියෙන්නේ ඒකට උදව් කිරීම පමණයි. ඒ ඒ අංශ ඉතාම උනන්දුවෙන් වැඩ කරනවා. ජනාධිපතිතුමා හැමදාම උදයවරුවේ කොවිඩ් මර්දන විශේෂ බළකායත් සමග රැස් වෙනවා. හැමදාම බැසිල් රාජපක්ෂ මැතිතුමා භාණ්‍ඩ බෙදා හැරීමේ ජාලය හා අනෙකුත් ආර්ථික ක්‍රමවේදය ගැන හැමදාම රැස්වෙලා තීන්දු තීරණ ගන්නවා ඒ රැස්වීම්වල වගකීම් එක් එක් කෙනාට බෙදලා දීලා තියෙනවා.


ප්‍රශ්නය:- ඔබ මුදල් ඇමැති නොවෙයි. වෙළෙඳ ඇමැති. ඒත් මේ ප්‍රශ්නය ඇසිය යුතුමයි. බඩු මිල නම් දරා ගන්න බෑ.


පිළිතුර:- ඔබ හරි. වෙළෙඳ ඇමැතිට බඩු මිල ගැන වගකීමක් නෑ. අනිත් කාරණය තමයි මුදල් ඇමැතිටවත් වෙළෙඳ ඇමැතිටවත් වෙනත් රජයකටවත් බඩු මිල අඩු කරන්න බෑ. බඩු මිල අඩු කරන්න ලෝකයේ තියෙන එකම න්‍යාය හා ක්‍රමවේදය රටේ නිෂ්පාදනය වැඩි කිරීම පමණයි.


ප්‍රශ්නය:- පොල් කෝ ඇමැතිතුමාv මිනිස්සු කියන්නේ පොල් මිල ඇහුවම එලොව පොල් පේනවා කියලා.


පිළිතුර:- පොල් මිල රුපියල් 70 ට වඩා වැඩිවෙන්න දෙන්නේ නැහැ. එහෙම උපරිම මිලක් නියම කරලා තියෙන්නේ. ඕනෑම මිලකට පොල් විකුණාගන්න දුන්නොත් පොල් ආශ්‍රිත විවිධ ව්‍යාපාර තියෙනවා. පොල් අපනයනය කරනවා. අපට වැදගත් වෙන්නේ විදෙස් විනිමය. අපේ රටේ තියෙන දැවැන්තම අර්බුදය තමයි විදේශ ණය පිළිබඳ අර්බුදය. කිසිවෙකුටත් කිසි කලෙකත් නොවූ විරූ දැවැන්ත රට සල්ලි පිළිබඳ අර්බුදයකට 2030 වෙනකම් රට මුහුණ දීලා තියෙනවා.


මහින්ද රාජපක්ෂ අවුරුදු 10 ක් තුළදී වෙළෙඳපොළට ගිහිල්ලා ස්වෛරීත්ව බැඳුම්කරයට ගිහිල්ලා ගන්නා මුළු ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 යි. යහපාලන ආණ්ඩුව අන්තිම අවුරුද්දෙ විතරක් 2019 දි පරදින බව හොඳටම දැන දැනත් ලබාගන්න ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක්. ඒ කියන්නේ 2030 වෙනකම් කාගේ ආණ්‍ඩුවක් තිබුණත් අප කාටවත් හුස්ම ගන්න බැරි විදේශ ණය උගුලකට ගිය ආණ්‍ඩුව හිර කරලා තියෙනවා. සෑම වසරකදීම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් හෝ 5 ක් ඕනෑ අර විදේශ ණය වාරිකයයි පොලියයි ගෙවන්න. ඒක කොයිතරම් ලොකු ගාණක්ද කියලා තේරෙන්නේ උපනූපන් පරම්පරාවන්ට අයිති විය යුතු හම්බන්තොට වරාය චීනයට එක්සත් ජාතික පක්ෂය විකුණලා ලබාගන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4 යි. වරාය චීනයට දුන්නේ අවුරුදු 199. ඒවා දෙනකම් හැබැයි හැම අවුරුද්දකම ගෙවන්න ඕන ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5 ක් හෝ 5 ක්.


ප්‍රශ්නය:-ආරංචියක් යනවා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එනවා කියලා. ඒක ඇත්තද?


පිළිතුර:- බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි ඒක තීරණ කළ යුත්තේ එතුමා පාර්ලිමේන්තුවට ආවයි නාවයි කියලා නෑ එතුමාට ජනාධිපතිතුමා පවරා තිබෙන වගකීම් නිසි පරිදි එතුමා ඉටු කරනවා. එතුමාට අවශ්‍ය නම් ඒකට තව ශක්තියක් ලබාගන්න පාර්ලිමේන්තුවට ආ යුතුයි කියලා ඒකට අපේ කාගෙවත් විරුද්ධත්වයක් නෑ. නමුත් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධව අපේ විරෝධය තවම එලෙසින්ම තියෙනවා.


ප්‍රශ්නය:- ඒකට මොකද කරන්නේ?


පිළිතුර:- ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට ඒම වලක්වන විධි විධාන අලුත් ව්‍යවස්ථාවට ඇතුල් කරන බවට ජනාධිපතිතුමා ස්ථිර ප්‍රතිඥාවක් ලබාදීලා තියෙනවා.


ප්‍රශ්නය:- ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වෙලාද?


පිළිතුර:- එතුමා පාර්ලිමේන්තුවේදී මගෙත් එක්ක කිව්වා හොඳ නරක වුණත් මාධ්‍යයෙන් මට ප්‍රසිද්ධිය ලැබෙනවා කියලා.


ප්‍රශ්නය:- ඔහු ඉල්ලා අස්වුණා කියලා පුවත් පළ වුණා.


පිළිතුර:- මේ මොහොත වනතුරු නිල වශයෙන් එහෙම දෙයක් දැනගන්න නෑ. ඒත් විය නොහැක්කක් නොමැත කියන කියමන මට මතක් වෙනවා.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්