වී සහ සහල් වෙළෙදපොළට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි


ආහාර වියදම 
අද වනවිට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව පාරිභෝගිකයෙකුගේ මාසික පුද්ගල වියදමින් සියයට35 ක් ආහාර සඳහා වැයකරන විට සියයට 65 ක්ම වැයකරනුයේ ආහාර නොවන භාණ්ඩ හා සේවා සඳහාය. මෙය ග්‍රාමීය මෙන්ම වතු අංශයන්හි සියයට 50 බැගින් බෙදීයයි. මෙම ආහාර සඳහා වන වියදමින් සියයට 14 කට ආසන්න ප්‍රමාණයක් සහල් සඳහාද, එළවළු සඳහා සියයට 10ක්ද, සකස් කළ ආහාර සඳහා සියයට 12ක්ද, පොල් සඳහා සියයට 6ක්ද, කිරිපිටි සඳහා සියයට8 ක්ද, හා මාළු සඳහා සියයට 9. 5ක්ද, වශයෙන් වැය කරයි. වාර්ෂිකව පුද්ගලයෙකු සහල් සහ සහල් ආශ්‍රිත නිෂ්පාදන කිලෝග්‍රෑම් 115 කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර - ඒ තුළ අවම වශයෙන් වසරකට පුද්ගලයෙකුට සහල් සඳහා පමණක් අවම වශයෙන් රුපියල් 25,000 ක පමණ මුදලක් වැය වේ.  
රටේ ප්‍රධානතම ආහාර භෝගය වන වී වගාව සඳහා වාර්ෂිකව විශාල ආයෝජනයක් රජය විසින් දරනු ලබයි.  රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක ප්‍රමාණය මහ කන්නයෙන් සියයට65 ක් ලැබෙන විට ඉතිරි සියයට 35 ක ප්‍රමාණය යල කන්නයෙන් ලබා ගනී.  හෙක්ටයාර් ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයක් සාර්ථක මහ කන්නයක් තුළ වගාකරන විට, යල කන්නය තුළ  හෙක්ටයාර් ලක්ෂ 5 කට ආසන්න භුමි ප්‍රමාණයක් වගාව සඳහා වෙන් කෙරේ. රටේ සමස්ත වී වගා බිම් ප්‍රමාණය මුළු භූමිප්‍රමාණයෙන් සියයට 15කට ආසන්න වනවිට, හෙක්ටයාර් ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් මෙම වී වගාවටම පමණක් රටතුළ වෙන්ව පවතී. රටේ ගොවි පවුල් ලක්ෂ 16 ක් පමණ වී ගොවිතැනේ නියැළී සිටිති. මෙම වගාබිම් ප්‍රමාණයෙන් වර්තමානය වනවිට සියයට 75 ක් පමණම රතු සහ සුදු නාඩු වී වගාව සිදුවන අතර, සියයට 25 ක සම්බා කීරිසම්බා මෙන්ම අනෙකුත් සාම්ප්‍රදායික වීවර්ග වගා කෙරෙති. පාරිභෝජනය ද මේ අයුරින්ම බෙදීයන අතර, කීරිසම්බා  සහ සම්බා වැඩි පාරිභෝජනය බස්නාහිර  පළාත තුළ  සහ අනෙකුත් ප්‍රධාන නගරාශ්‍රිත ප්‍රදේශයන්ගේ සිදුවෙයි.


වී මෙන්ම සහල් සඳහා ද තාර්කික පදනමකින් යුතු මිලක්


මෙම වී වගාව සඳහා සිදුකරන ආයෝජනයන්හි අපේක්ෂිත ප්‍රතිඵල සමාජයේ සෑම ජනකොටසකටම ගෙන යාමට නම් - මේ තුළින් ලැබෙන අවසන් පාරිභෝගික ද්‍රව්‍ය වන සහල් සඳහා, වී නිෂ්පාදනය සිදුකරනු ලබන සෑම කන්නයක්ම ආරම්භවන විට, වී සඳහා මෙන්ම සහල් සඳහා ද නිසි පදනමකින් යුතුව මිල තීරණය කළ යුතුව ඇත. එනම් රජය ඒ ඒ කන්න සඳහා නිෂ්පාදන වියදම පදනම් කරගනිමින් ඒ ඒ වී වර්ග සඳහා සහතික මිල ගණන් තීරණය කරන අවස්ථාවේදී අවම වශයෙන් එම කන්නයට අදාළ වන පරිදිවත් සහල් වර්ග සඳහා ද උපරිම සිල්ලර මිල ගණන් ලබාදිය යුතුමය. මෙම සහල්මිල ගණන් තීරණය කිරීමේදී එක් වර්ගයක් පමණක් ඉලක්කකර නොගෙන වෙළෙඳපොළේ අලෙවි වන සහල් වර්ග අනුව එනම් නාඩු, කැකුළු, සම්බා, කීරිසම්බා, වැනි සහල් වර්ග සඳහා නිෂ්පාදන වියදම් පදනම් කරගෙන වෙනවෙනම මිලගණන් ලබාදිය යුතුය. එසේ නොමැති වුවහොත් - එම අතාත්වික මිල ගණන් ඉදිරි කන්නයන්හි නිෂ්පාදන වගාබිම් ප්‍රමාණය වෙනස්වීමට සෘජුවම බලපායි. එනම් මෙම වර්ගයන්හි ඒකක අස්වැන්න, නිෂ්පාදන මිල ගණන් වෙනස් බැවින් සහල් වෙළෙඳපොළ අසමතුළිතතාවකට සෘජුවම බලපානු ඇත. මන්ද දැනට කන්න කිහිපයකට පෙර රජය නාඩු වී වර්ගය සඳහා පමණක් මිල නියම කිරීම - ඉන්පසු කන්නයේ වගාවට බලපෑ අතර, එය වෙළෙඳපොළ සහල් අසමතුලිතතාවට ද බලපාන ලදි. එසේම මෙම මිල ගණන් තීරණය කිරීමේදී කැකුළු සහ නාඩු යන වර්ග දෙකට ඒවායේ සහල් කිලෝවකට වැයවන නිෂ්පාදන මිල පදනම්කරගෙන මිල ගණන් සැකසිය යුතුය. මන්ද නිෂ්පාදන මිලගණන් අනුව නිරන්තරයෙන්ම කැකුළු සහල් මිලගණන් නාඩු මිලට වඩා පහළින් තිබිය යුතුය.  එසේ නොමැතිනම් වෙළෙඳපොළ මිලගණන් විකෘතිතාවයක් ඇතිව එක් සහල් වර්ගයක් හිඟවනු ඇත. උදාහරණයක් ලෙස වර්තමානයේ සහල් මිල තීරණය කිරීමේදී ඇති වූ අතපසුවීමකදී තැම්බූ සම්බා සහල් කිලෝවකට පමණක් රුපියල් 230 ක මිලක් තීරණය කළවිට, සම්බා කැකුළු සහල් සඳහා මිලක් ලබානොදීම හේතුවෙන් - අද එම සම්බා කැකුළු සහල් විවෘත වෙළෙඳපොළ තුළ විශේෂයෙන් සුපිරි වෙළෙඳසල් තුළ කිලෝවක් රුපියල් 260ක් වැනි මිලකට අලෙවි වේ. ඒ සඳහා කිසිදු නීතියක් ක්‍රියාත්මක කළ නොහැකි වී ඇත. මන්ද එම සහල් වර්ගය සඳහා පාලන මිලක් නොමැත. එම නිසා මෙම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සමස්ත ආර්ථිකයටම නිශ්චිතවම බලපාන සංවේදී කරුණක් වන බැවින් - විෂය දැනුම ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහය ඇතිව, පර්‌යේෂණ අත්දැකීම් සහිතව, සියලු කරුණු අධ්‍යයනය කර මිල ගණන් සැකසිය යුතුය. වී මිල මෙන් දෙගුණයකින් සහල් මිල පවතින්නේ නම් එය අතාත්වික තත්ත්වයක් නොමැති සාධාරණ සහල් මිලක් ලෙස දැක්විය හැකිය. නමුත් අස්වනු සමය තුළ ඉතාඅඩු මිලකට වී ගබඩාකර අස්වනු රහිත කාලසීමාවන්හි පවතින වී මිල ගණන් සමග සහල් මිල ගැළපීම සාධාරණ නොවේ. එසේම ප්‍රශ්නයක් ඇතිවීම කලින් හඳුනාගෙන ඒවා විසඳීම සඳහා නව තාක්ෂණය භාවිත කිරීම හා නවීන දත්ත පද්ධතියක අවශ්‍යතාවය ජනාධිපතිතුමන්, අගමැතිතුමිය ප්‍රමුඛ රජය මේ වන විටත් තේරුම් ගෙන සිටීම අතිශය අගය කළ යුතුය. ඩිජිටල්කරණය, කෘෂිකර්ම  ක්ෂේත්‍රයේ විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාවය - වර්තමාන සහල් ප්‍රශ්නය හරහා මැනවින් ප්‍රක්ෂේපණය වෙයි. රට තුළ නිෂ්පාදනය ප්‍රමාණවත් ව පැවතිය ද ඒවා කුමන තැන්වල ගබඩා කර තිබෙන්නේ ද යන්න රාජ්‍ය අංශයේ ආයතන පද්ධතිය භාවිතකර ඒකාබද්ධ ප්‍රවේශයකින් කළයුතුව ඇත.


වී වගාව සහ  වී අලෙවි මණ්ඩලයේ කාර්යභාරය කාලීනව වෙනස්විය යුතුයි


වී අලෙවි මණ්ඩලයේ  කාර්යභාරය ද අද වන විට කාලීනව වෙනස්විය යුතුමය. වී සහ සහල් වෙළෙඳපොළ අදවන විට පෙරට වඩා වෙනස්ය. ඒ වෙනසට අනුව අපද වෙනස් විය යුතුය. එය පාලනය කරන කාලසීමාව සලකමු. එම කාලය දැවැන්ත නිෂ්පාදනය කඩාවැටීමක් තිබුණ අවස්ථාවක්, ඒ වගේම කොවිඩ් වසංගතයෙන් මුළු රටම වෙලාගෙන හිටපු කාල සීමාවකි. 
නමුත් මෙම කාලසීමාව තුළ සැලකියයුතු වී ප්‍රමාණයක් මිලදී ගෙන රටේ සහල් ප්‍රශ්නයට ඉතාමත් සාර්ථක විසඳුමක් දීමට වී අලෙවි මණ්ඩලයට හැකියාව ලැබුණි. එයින් පසු පසුගිය වසර 10 ක කාලසීමාව තුළ වැඩිම වී ප්‍රමාණයක් එක් කන්නයක් තුළදී මිලදී ගැනීම දක්වා මෙම ආයතනය දියුණු විය. එහිදී වී මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරය මැදිහත්ව, ලංකා බැංකුවෙන් ලබා දුන් රුපියල් මිලියන 6,500 ක මුදලින් සියයට 98 පමණම මෙම ලියුම්කරුගේ පාලන කාලසීමාව තුළදීම ගෙවල අවසන් කරන්න හැකිවිය. මෙම ලියුම්කරු මේ  අදහස් දක්වන්නේ දිගුකාලීන පර්‌යේෂණ  සහ අත්දැකීම් සමග විධිමත් සැලසුම් සහිතවය. සාම්ප්‍රදායික වී මිලදී ගැනීමේ රටාවෙන් බැහැරව මෙතෙක් අසාර්ථක වූ තැන් පිළිබඳ පූර්ණ අවබෝධයකින් හා වෙනස්ම මානයකින් යුතුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරි වසර තුළ ආරම්භ කළ යුතුය. විධිමත් අධීක්ෂණය, පර්‌යේෂණ තොරතුරු මගින් සහ සහල් වෙළෙඳපොළ ප්‍රදේශ පවා හඳුනාගෙන වෙළෙඳපොළ තුළ අතිරික්ත වී අස්වැන්නක් පවතින, රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි වී ගබඩා සහල් මෝල් සීමිත ඉලක්කගත ප්‍රදේශ ලෙස ගොවියාගේ වී මිල පහළ යන ප්‍රදේශයන් හඳුනාගත යුතුය. එම ප්‍රදේශ වී මිලදී ගැනීමේ දී ඉලක්කගත ප්‍රදේශ විය යුතුය. සහල් වෙළෙඳපොළ තුළද ප්‍රදේශ සහල් වර්ග සහ අවශ්‍යතාවන් අනුව විශේෂයෙන් නාඩු සහල් බහුලව පරිභෝජනය කරන ප්‍රදේශ ඉලක්කකොට මෙම වැඩසටහන ආරම්භ කළ යුතුය. මෙම වී මිලදී ගැනීමේ සිට සහල් වෙළෙඳපොළට ලබාදීම දක්වා ක්‍රියාදාමය තුළ රජයට ප්‍රමාණවත් ලොරි රථ මෙන්ම සහල් මෝල් අවශ්‍ය නොවේ. මන්ද ඒවා රජය සතුව පැවතිය ද, ඒවා කන්නයක් තුළ ඇතිවන මාස කිහිපයක අවශ්‍යතාවයට වසරක් නඩත්තු කිරීමට ඉතා අධික පිරිවැයක් වැයවන නිසා - පෞද්ගලික අංශයෙන් මෙම අවශ්‍ය පහසුකම් රාජ්‍ය අංශයට වඩා ලාභදායී ලෙස භාවිත කළ හැකිය. පළපුරුදු දක්ෂ ප්‍රාදේශීය නිලධාරීන් කණ්ඩායමක් වී අලෙවි මණ්ඩලය සතු අතර, ඔවුන් ද ඉලක්කගත අභිප්‍රේරණයකට ලක්කර විධිමත් සැලසුමක් තුළින් උපරිම සේවය මේ සඳහා ලබාගත හැකිය. රජය පෙන්වන මිලදීගත යුතු ඉලක්කගත වී ප්‍රමාණය මහ කන්නයෙන් පමණක් නොව යල කන්නයත් සමග ගළපා මිලදී ගැනීමට සැලසුම් කළ යුතුයි. එනම් අපේක්ෂිත වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණයෙන් කොටසක් යල කන්නයෙන් ද මිලදී ගැනීමට සහ ඒ ඒ කන්නයන්හි වී මිල පහළ අගයක් ගනු ලබන ප්‍රදේශ පදනම් කරගෙන සැලසුම් සැකසිය යුතුයි. මේ සඳහා නව මානයකින් යුතුව විධිමත් අධීක්ෂණයක් සහිතව කාර්යක්ෂම ක්‍රමවේදයක අවශ්‍යතාව පවතී. 


මේ වසරේ ප්‍රශ්නය 


මෙම 2024 වසර තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ වාර්ෂික පාරිභෝජන අවශ්‍යතාවටත් වඩා මාස කිහිපයකට ප්‍රමාණවත් සහල් වෙනුවෙන් වී නිෂ්පාදනයක් සිදු කළ ද සෑම වසරකම මෙන් මෙම වසරේද අවසන් මාස තුළ රජය සතුව ආරක්ෂිත වී තොගයක් නොමැතිවීම තුළ පාරිභෝගිකයාට සහල් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත. මෙම සහල් මිල පිළිබඳ ප්‍රශ්නයට ආරක්ෂිත වී තොගයක් පැවතිය යුතුම වන අතර, එහි සම්පූර්ණ වැය බර රජය දැරිය යුතු නොවේ.  ඉදිරියේදී මෙම රාජ්‍ය යාන්ත්‍රනයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පෞද්ගලික අංශයත් සමග ඒකාබද්ධ වී  පෞද්ගලික අංශයේ ආයෝජනද සමග ඉදිරියට යා යුතුව ඇත. මේ සඳහා සුපිරි වෙළෙඳසල් ජාලය සම්බන්ධ කරගෙන වී මිලදී ගැනීමේ සිට සහල් ලබාදීම දක්වා වැඩසටහනක් මණ්ඩලයේ පරිපාලනය මගින් ක්‍රියාත්මක කළයුතු අතර, එය කඩිනමින් ආරම්භ කළයුතුවෙයි. ඒ තුළ සුපිරි වෙළෙඳසල් ජාලයට ද අඛණ්ඩ සහල් සැපයුමක් පවත්වාගෙන යමින් තම පාරිභෝගිකයා සඳහා නිශ්චිත මිල ගණන් යටතේ සහල් ලබා දීමට හැකි වනු ඇත. මේ සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු, කාර්යක්ෂම, දෙපාර්ශ්වයටම වාසිදායක, රජයට වැයබරක් නොවන වැඩසටහනක් ආරම්භ කළ යුතුය.  විධිමත් කළමණාකරණයකින් යුතුව රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වී මිලදී ගැනීමේ ක්‍රියාදාමයට සම්බන්ධ විය යුතුව ඇත. ඒසේම වී අලෙවි මණ්ඩලය රාජ්‍ය ධාන්‍යාගාරය ලෙස වී වලට පමණක් සීමා නොවී, බඩ ඉරිඟු, රටකජු, මුං, උඳු, හා කව්පි වැනි අනෙකුත් ධාන්‍ය වර්ගවල අතිරික්ත අස්වැන්න මිලදී ගැනීමේ ශක්තිමත් මඨ්‍යස්ථානය බවට කාලීනව වෙනස්විය යුතුව ඇත. ඒ තුළ වී ගොවියා මෙන්ම අනෙකුත් අතිරේක ආහාර භෝග නිෂ්පාදනය කරන ගොවියා ද ආරක්ෂා කළ හැකි වනු ඇත. අදියර කිහිපයක් යටතේ පවතින ගබඩා පද්ධතිය නවීකරණය කර  ඩිජිටල්කරණ ක්‍රියාදාමයත් සමග - පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව මෙවැනි අතිරික්ත අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කළයුතුව ඇත.  නව ප්‍රවේශයක් සහිතව මෙම ආයතනය කාලීන අවශ්‍යතාව මත වෙනස්විය යුතු බව පෙන්වා දෙන අතර, තවදුරටත් මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි වී සහ සහල් වෙළෙඳපොළ ක්‍රියාදාමයට අවතීර්ණ විය යුතුය. ඒ සඳහා නව වෙළෙඳපොළ නීතිරීති සමග පෞද්ගලික අංශයේ ශක්තිමත් හඳුනාගත් සුපිරි වෙළෙඳසල් ජාලයත් සමග එක්ව කටයුතු කළ යුතුව ඇත. මෙහි ඇති ප්‍රධාන ගැටලුව නම් - වී මිල තීරණය කිරීමටවත්, සහල් මිල තීරණය කිරීමටවත්, වී අලෙවි මණ්ඩලයට තීරණයක් ගැනීමට සෘජුවම පවතින අපහසුතාවයි. ඒ නිසා රජය තීරණය කරන වී සඳහා වන සහතික මිලත් සහල් සඳහා වන උපරිම සිල්ලර මිලත් අතර මිල ගණන් වී සහ සහල්වලට තීරණය කිරීමේ හැකියාව වී අලෙවි මණ්ඩලය සතුවිය යුතුය. වෙනත් බාහිර පාර්ශ්වයන් විසින් තීරණය කරනු ලබන වී  සහ සහල් මිල ගණන් නිසා වීඅලෙවි මණ්ඩලයට නිරන්තරයෙන් අලාභ ලැබීමට සිදුව ඇත. එම නිසා මෙම යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්ව නව වෙළෙඳපොළ දැක්මකින් යුතුව විධිමත් ක්‍රමවේද නව තාක්ෂණයකින් යුතුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයට ප්‍රවේශ විය යුතුව ඇත. එසේ නොමැතිව මෙතෙක් කලක් සිදුකළ වී මිලදී ගැනීමේ ක්‍රියාදාමයම තවදුරටත් සිදුවන්නේ නම්, ඉතා විශාල අලාභයකට වී අලෙවි මණ්ඩලයට මුහුණ දීමට සිදුවනු ඇත. මේ සඳහා සිදුකර ඇති පර්‌යේෂණයන්හි ප්‍රතිඵල අධ්‍යයනය කළ යුතුව ඇත. එවැනි ක්‍රමවේදයන් සමග විධිමත් ආරක්ෂණ තොගයක් රැස්කරගැනීම තුළ මෙම සහල් මිල පිළිබඳ ගැටලුවට විසඳුම් ලබා ගත හැකිය. එනම් සෑම වසරකම අවසන් මාස 03 ක කාලයක පමණක් පැන නගින මෙම ගැටලුව පාලනය කර ඒ තුළ සාර්ථක විසඳුම් ලබා ගත හැකි වනු ඇත. රාජ්‍ය යාන්ත්‍රණය පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් ඉලක්ක කරගතයුත්තේ ප්‍රශ්නගත මෙම මාස තුනක කාලය පමණි. 
අනෙක් අතට මේ වනවිට පොහොර සහනාධාරය ලෙස විශාල මුදලක් වැයකරනු ද ලබයි. ඒ අනුව හෙක්ටයාර් එකකට මේ වනවිට රුපියල් 25,000 ක මුදලක් ලබාදෙන අතර, මෙම සහනාධාර මුදලින් කොටසක් හෝ සමස්ත පාරිභෝගිකයාට ද ගලා යා යුතුව යුතුව ඇත. ඒ අනුව රටේ සමස්ත පරිභෝගිකයින් ගැන අවධානය යොමුකර, සමාජමය වගකීමක් ලෙස සලකා, මහ කන්නයේ වගා කරනු ලබන හෙක්ටයාර් ලක්ෂ 07 ක ප්‍රමාණයෙන් එක් ගොවියෙකු තම අස්වැන්නෙන් සුළු ප්‍රමාණයක්  හෝ අවම වශයෙන් රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලයට ලබාදීමට කටයුතු කළහොත්, රජයට වී ආරක්ෂිත තොගයක් පවත්වාගතහැකිය. මේ සඳහා විධිමත් සැලසුමක් සකස්කළ යුතුව ඇත.


විධිමත් ඩිජිටල්කරණය වූ රටම ආවරණය වන දත්ත පද්ධතියක අවශ්‍යතාව 


සහල් මෝල් වලට කඩාපැනීම වැනි ක්‍රියා මාර්ග නූතන ආර්ථික රටාවන් තුළට කොහෙත්ම නොගැළපේ. වර්තමාන රජයද මෙවැනි ක්‍රියාමාර්ග අනුමත නොකරනු ඇත. මේ සඳහා තාක්ෂණික මෙවලම් භාවිත කළ යුතු බවට වත්මන් ජනාධිපතිතුමන් ද පෙන්වා දී තිබේ. රජයකට කිසිසේත්ම කළ නොහැකි මෙරට සහල් වෙළෙඳපොළ තුළට දැවැන්ත තාක්ෂණයක් හඳුන්වාදී නවතම ක්‍රමවේද හරහා ආසියාවේ හොඳම තත්ත්වයෙන් යුතු සහල් හඳුන්වා දුන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් ළඟට කඩාවැදී අභියෝග කිරීමෙන් තවදුරටත් පලක් නොමැත. මේ නිසා ව්‍යාපාරිකයින්ට අභියෝග කරන තත්ත්වයකට රජයක් පත්විය යුතු නොවේ. ප්‍රශ්නයක් ඇතිවූ අවස්ථාවේ පමණක් මහා පරිමාණ මෝල් හිමියන් යැයි තරවටු කරන මෙම මෝල් 10 කට අඩු ප්‍රමාණය - සතියක් වී මිලදී ගැනීම හෝ සහල් සැකසීම නවතා දැමුවහොත්, එම හිඩැස පියවීමට රජයට හෝ කිසිදු සුළු හා මධ්‍ය පරිමාණ මෝල් සංගමයකටවත් හැකිකමක් නැත. ඒ නිසා  තරගකාරී පරිසරය තුළ මෙවන් ව්‍යාපාරිකයින් තව තවත් ඇතිවිය යුතුය. එවිට දැනට සහල් සඳහා පවතින කෘත්‍යාධිකාරී වෙළෙඳපොළ පූර්ණ තරගකාරී තත්ත්වයකට දිගුකාලීනව පත්වනු ඇත. මන්ද දැනට සහල් අවශතාවයෙන් සියයට 30ක් පමණ සපයන මෙම විධිමත් සංවිධිත කණ්ඩායම සැලකියයුතු කාර්යභාරයක් ආර්ථිකයට සිදුකරමින් සිටී. අනෙක් සියයට 70 ක සහල් ප්‍රමාණය මෙරට අසංවිධිත සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් කණ්ඩායම සැපයුව ද ඔවුන්ගෙන් බොහොමයක් මෝල් හිමියන්ට වෙළෙඳපොළ තුළින් දෛනිකව වී මිලදී ගැනීමට සිදුව ඇති නිසා, වී මිල ඉහළ යන අවස්ථාවේ ඒ සඳහා මුහුණදීමට නොහැකිව ඇත. එසේම රටේ සමස්ත සහල් අවශ්‍යතාවයෙන්  සියයට 30 ක්ම අවශ්‍ය වනුයේ බස්නාහිර පළාතට වන අතර, මෙම පළාත නිෂ්පාදන ප්‍රදේශයක් නොවන  පාරිභෝගික ප්‍රදේශයක් වන - ඉහළම ජනගහණයක් වාසය කරන පළාත ලෙස යහපත් වෙළෙඳපොළක් පවතින බැවින්,  අවම වශයෙන් මෙම ප්‍රදේශයන්හි සහල් අවශ්‍යතාවයෙන් කොටසක් හෝ ඉලක්ක කොට රජය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව වී මිලදී ගැනීමේ වැඩසටහනකට යා යුතුව ඇත. ඒ තුළ මෙවන් අසාමාන්‍ය මිල ඉහළ සහ පහළ යාම් පාලනය කර - ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂාකර, පවත්නා රජයන්ට දේශපාලනික වශයෙන් ඇතිවන විවේචන ද අවම කරගත හැකි වනු ඇති බව පෙන්වා දීමට කැමැත්තෙමි.