වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා


(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්.හේවා හැටන් සිට)

ඡායාරූපය - ශාන්ත රත්නායක

ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන් හිදී ඊයේ 29 වැනිදා පැවැසීය.

ශ්‍රී ලාංකිකයන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ යුද්ධයෙන් පසු බලාපොරොත්තු වූ සංහිඳියාව ගොඩ නැගීම සඳහා බව කී අග්‍රාමාත්‍යවරයා සිංහල, දෙමළ, මුස්ලිම් බහුතරයක් ජනතාව දුන් ජනවරම ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකම බව ද අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අපටම අයිති ඉඩමක් අපටම අයිති නිවසක් තේමාව යටතේ වැවිලි ප්‍රජාවට පර්චස් හත බැගින් වන ඉඩමක් සඳහා නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ තෙවැනි අදියර ලෙස සහ ඉතිහාසයේ ප්‍රථම වතාවට එකවර නිරවුල් ඔප්පු 2864ක් නිවාසලාභීන්ට තිළිණ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මේ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ලබා දීම සිදු විය. මෙම නිරවුල් ඔප්පු හිමිවන වැවිලි ප්‍රජාවට බැංකු ණය මගින් ණය ලබා ගැනීමේ හැකියාව ද පවතී.

හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) මෙම උත්සවය පැවැතියේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙනි.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“අපේම ඉඩම, අපේම නිවස වැඩසටහන යටතේ මේ ප්‍රදේශයේ 700 දෙනකුට ඉඩම් ඔප්පු ලැබෙනවා. වතුකරයේ 2600කට පමණ ඉඩම් ඔප්පු ලබාදීමට මෙමගින් ක්‍රියා කරනවා. මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දිගම්බරම් ඇමැතිතුමන්ට ස්තුතිය පළ කළ යුතුයි. වසර 20කට 30කට පසුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන අමාත්‍යවරයකු ලැබීම පිළිබඳව අප සතුටට පත්විය යුතුයි.

1993-1994 වසරවලත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර සිටියදීත්, ඩී.බී. විජේතුංග මහතා යටතේත් සෞම්‍යමූර්ති තොන්ඩමාන් මහතා සමඟ මේ ප්‍රෙද්ශවලට පැමිණ කටයුතු කළා. ඉන් පසුව අපට ආණ්ඩු බලය අහිමි වුණා. විවිධ ආණ්ඩු ඇති වුණත්, විවධ ඇමැතිවරුන් සිටියත්, ඉඩම්, නිවාස ලබා දෙනවා යැයි පොරොන්දු ලබා දුන්නත් මේ ජනතාවට සැබෑ සේවයක් වුණේ නැහැ. දෙමළ භාෂාවෙන් පවසනවා නම් කීමට ඇත්තේ ඉල්ලේ යන වචනය පමණයි.

මෙවර කඳුකර යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිගම්බරන් මහතා පත් කර වගකීම් ලබා දීමට අප කටයුතු කළා. වසර විසි ගණනකට පසුව මේ ප්‍රදේශයට සැබෑ ලෙස සේවය කළ හැකි අමාත්‍යවරයකු බිහි වී තිබෙනවා. තවත් මේ ආකාරයට ඉඩම් නිවාස ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

පළමු වරට ඉන්දීය අගමැතිවරයකු මෙහි පැමිණියා. මෝදි අගමැතිතුමන් සමඟ මෙහි සංවර්ධන කටයුතු සම්න්ධයෙන් අප සාකච්ජා කළා. මෝදි අගමැතිතුමා මේ ප්‍රදේශයේ තවත් නිවාස දස දහසක් ඉදිකිරීමට පොරොන්දු වී තිබෙනවා. මෙහි නිවාස 5000ක් ඉදිකර තිබෙනවා. ඉතිරි නිවාස ප්‍රමාණය ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් අප සොයාගත යුතුයි.

දැන් නිවාස ලබා දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. වතුකරයේ පාසල් රජයට පවරා ගත්තේ මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේදියි. දැන් පාසල් තිබෙනවා. එහෙත් විද්‍යාව උගන්වන පාසල් අඩු නිසා වතුකරයේ පාසල්වල උසස් පෙළ විද්‍යාව උගන්වන පාසල් ඇරැඹීම සඳහා රාධක්‍රිෂ්ණන් අමාත්‍යතුමාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුන්නා. එදා මා ශ්‍රීපාද විද්‍යා පීඨය ආරම්භ කළා. අද රාධක්‍රිෂ්ණන් මහතාට මෙහි අධ්‍යාපනය දියුණු කිරීමේ වගකීම ලබා දී තිබෙනවා.

තරුණ සේවා සභාවේ යෞවන සමිති මෙහි තිබෙනවා. එම ආයතනවලිනුත් සෙසු අමාත්‍යාංශවලිනුත් අප අදාළ කටයුතු කරගෙන යනවා.

වතුකරයට ඉඩම් ලබාදීම අප සීමා කර නැහැ. මේ ප්‍රදේශයේ සෙසු ප්‍රදේශවලටත් ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන් කේ.කේ. පියදාස මහතා විසින් ක්‍රියාත්මක කරනවා. ඇතැම් ස්ථානවලට අවශ්‍ය නිවාස පහසුකම් තිබෙනවා. අවශ්‍ය කරන්නේ ඔප්පු පමණයි. මේ සියල්ල කරන්නට හැකි වුණේ ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා අමාත්‍යාංශය භාර ගෙන සෑම ප්‍රදේශයකටම ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසහටන ඇරැඹීම නිසයි. මා ඔප්පු ලබා දීමේ රැස්වීම් කිහිපයකටම සහභාගි වුණා. රජයෙන් ලැබුණු හැම ඉඩමකටම නිවසකටම දැන් ඔප්පුවක් තිබෙනවා. එසේ නම් දැන් ඔප්පුව නිසා ඔබේ භුක්තිය තහවුරු වෙනවා.

මෙරට ඉඩමක් නොතිබූ ජන කොටසකට ඉඩම් ඔප්පු, නිවාස ලබා දෙන්නේ මේ උත්සවයේදීයි. වැදගත්කම පවතින්නේ එතැනයි. මෙවැනි ඔප්පු ප්‍රදානයක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.

1986 වසරේදී වතුකරයේ ජනතාවට සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ පුරවැසිකම ලබා දුන්නා. එහිදී ඔවුන්ට ඡන්ද අයිතිය ලැබුණා. කොළ කැබැල්ලකින් ලබාගත හැකි අයුරින් අප ඡන්ද අයිතිය ලබා දුන්නා. එපමණක් නොව සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් පිට සියලුම දෙනාට ලංකාවේ පුරවැසිකම ලබා දී එම වැඩකටයුතු ආරම්භ කළා.

එදා පුරවැසි බව ඡන්ද බලය තිබුණත් ඉඩමක්, නිවසක් තිබුණේ නැහැ. ඔවුන්ට ලැයිම් කාමරවල ජීවත් වී ලැයිම් කාමරවලම මිය යන්න සිදු වුණා. අද පුරවැසියන් ලෙස අනෙක් සෑම ජනකොටසකට මෙන් ඉඩමක්, නිවසක් තමන්ට ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වතුකරයේත් අනෙක් සෑම ප්‍රදේශයකමත් අප ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙළ බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ අනෙක් සෑම කෙනකුටම තිබෙන පහසුකම් අද වතුකරයේ ජනතාවට ලබා දී තිබෙනවා. එම භුක්තිය, ලබන ජනතාව තවත් ශීඝ්‍රයෙන් වැඩිකර  ගැනීම අපේ අරමුණයි. වර්තමානයේ මේ පියවර සම්බන්ධයෙන් කිසිවකුගේ විරුද්ධත්වයක් නැහැ. 1986 වසරේ මෙහි ජනතාවට ඡන්ද බලය ලබා දෙන විට විවිධ කෝලාහල ඇති වුණා. අද එවැනි කිසිම කෝලාහලයක් නැහැ. අද මෙරට ජනතාවට අවශ්‍ය කරන්නේ සංහිඳියාවයි. එකට එකතු වී ජීවත් වීමයි. එක්සත්ව ජීවත් වීමයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අයිතිය භුක්ති විඳීමයි.

වත්මන් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනෑම ජන කොටසක් එකතු වී ගමනක් යා යුතු බව මෙරට ජනතාවගේ අදහසයි. වත්මන් ලෝකයේ බි්‍රතාන්‍යයේ, ස්පාඤ්ඤයේ, ඉරාකයේ වෙන්විය යුතු යැයි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. වෙන් වීම සඳහා සටන් කරනවා. උණ්ඩය අතට ගන්නවා. නැතිනම් ඡන්ද නවත්වා වෙන් වීමට උත්සාහ කරනවා. ලංකාවේ පමණක් 2015 වසරේදී ගත් පියවර කුමක් ද?

සිංහල බහුතරයක්, දෙමළ ජනතාව බහුතරයක්, මුස්ලිම් ජනතාව බහුතරයක්, බර්ගර් ජනතාව බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන මහත ජනාධිපති ධුරයට පත් කර අප සියලු දෙනා එකතු කරන්නැයි ජනවරමක් ලබා දී තිබෙනවා. අප දැන් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ජනවරමයි.

අපේ අතීතය දෙස බලන්න. ඉතිහාසයේ අප යුද්ධවලට මුහුණ දුන්නා. වසර 30ක යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වූ පසුව දිගු කාලීන සාමයක් සඳහා අවශ්‍ය සංහිඳියාව සහ එකඟත්වය තිබුණේ නැහැ. මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගත්තේ එම සංහිඳියාව ලබා ගැනීමට නොහැකි වූ නිසයි.

අද ජනතාව එකතු වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එකතු වී තිබෙනවා. අපට එකතු වී යන්නට ගමනක් තිබෙනවා. ඒ සඳහා කාලයක් අප එකතු විය යුතුයි. අප ක්‍රියාත්මක කරන්නේ මේ ජාතීන් සියල්ල එකතු කරන ජනවරමයි.

නීතියකින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා බිම් මට්ටමේ ප්‍රතිඵල තිබිය යුතුයි. වචනවලින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. උතුරේ යුද්ධයෙන් පසුව දැන් අප සහන ලබා දෙනවා. නැවත ඉඩම් ලබා දෙනවා. පන්සල් දියුණු කරනවා. මුස්ලිම් දේවස්ථාන දියුණු කරනවා. මේ සියලුම දේ අප විසින් ඉටු කරනවා. මේ සියල්ල කරන්නේ අප එකතු වන්නේ කෙසේදැයි සලකා බැලීම සඳහායි.

ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකතු වන ලෙස සියලු දෙනා ඉල්ලා සිටිනවා. ප්‍රධාන පක්ෂ දෙක මේ ක්‍රියාවලිය සඳහා එකතු වුවහොත් අපත් සූදානම් බව ද්‍රවිඩ සන්ධානය ද පවසා තිබෙනවා. උතුරේ දෙමළ පක්ෂ එවැනි දෙයක් පැවැසුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

එසේ නම් අප ටිකෙන් ටික විසඳුමක් කරා ළංවෙමින් සිටිනවා. ඒ විසඳුම ලබා දීම සඳහා ජනපතිට වරමක් තිබෙනවා. ආණ්ඩුවට මෙන්ම අපේ පක්ෂවලට වරමක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂවලට වරමක් තිබෙනවා.

එසේ නම් අප මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ද? එවිට ජනතාවට කියන්නේ කුමක් ද? එම ප්‍රශ්න ලංකාවේ ඇතිවුණේ ඇයි? භාෂාව නිසාද? එදා විසඳන්නට තිබූ ප්‍රශ්නයක් විසඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කවුරුන් බලයේ සිටියත් විරුද්ධ විවිධ ව්‍යාපාර පටන් ගත්තා. එදා තිබූ භාෂා ප්‍රශ්නය පසුව වෙනම රාජ්‍යයක් බවට පත් වුණා. ෆෙඩරල් ප්‍රශ්නයක් බවට පත් වුණා. භාෂා ප්‍රශ්නය ෆෙඩරල් ප්‍රශ්නයක් වුණා. ෆෙඩරල් ප්‍රශ්නය මෙනම රාජ්‍යයක් ඉල්ලීම දක්වා දුරදිග ගියා. වෙනම රාජ්‍යයක් නිසා උතුරේ යුද්ධයක් ඇති වුණා. දකුණේ භීෂණයක් ඇති වුණා. රට විනාශ වුණා.

අතීත සිද්ධි නිසා දුක් විඳ අප අද මෙතැනට පැමිණ  තිබෙනවා. අප මේ ගමන පැමිණ ඇත්තේ සියලුම දෙනා ඒකීය රාජ්‍යයක් ලෙස එකතු වීමටයි. අප ක්‍රියාත්මක කරන්නේ එයයි.

අලුත් ව්‍යවස්ථාව ගැන සමහරුන් කථා කරනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන කියනවා. නමුත් ඒ එකක්වත් අප තවම සිදුකර නැහැ. ඒ දේ කරන්නට තව වෙලා තිබෙනවා. තවම අපට ඇත්තේ දේශපාලන පක්ෂවල අදහස් ප්‍රකාශ කළ නීති බලයක් නැති වාර්තාවක් පමණයි. ඒ ලියැවිල්ලේත් විවිධ අදහස් තිබෙනවා. එයින් සුදුසු විකල්ප තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. දේශපාලන පක්ෂවලට ජනතාව වරමක් ලබා දුන්නා. ප්‍රශ්නය විසඳා ගැනීමට ජනතාවට අවශ්‍යයි. එසේ නම් අප මේ ප්‍රශ්නය විසඳීමට දේශපාලන පක්ෂ ලෙස අපේ යුතුකම ඉටු කරමු.

මෙරට සිංහල බෞද්ධ ජනතාවත්, දෙමළ, ක්‍රිස්තියානි, ඇතුළු සියලු දෙනා විසඳුමක් අපේක්ෂා කරනවා. මෙරට බහුතරය සිංහල බෞද්ධ ජනතාවයි. සිංහල බෞද්ධ බහුතරයක් සිටින ලොව එකම රට ලංකාවයි. ඔවුන්ගේ අයිතිවාසිකම්වලට කිසි ලෙසකින්වත් හැනි කරන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරනවා.

දෙමළ, මුස්ලිම්, හින්දු, බර්ගර් හැම දෙනාටම තම සංස්කෘතිය, භාෂාව, ආගම අදහන්නට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි. මේ එකතුව ලබාගෙන අප ඉදිරි ගමන යන්නේ කෙසේද? මෙරට භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. අපට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. පාර්ලිමේන්තුව මෙන්ම රටක් හැටියට අපේ අදහස් ප්‍රකාශ කර ජනවරමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වාතාවරණය ඇති කරමු.
මේ ඉදිරිපත් කරන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් බව කියමින් අවාසනාවකට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. තවම එවැනි ව්‍යවස්ථාවක් නැහැ. තිබෙන්නේ වාර්තාවක් පමණයි.

මීට පෙරත් අප උත්සාහ කළා. ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ ආදීන් යටතේ උත්සාහ කළා. මහින්ද රාජපක්ෂ සමයේ 13 වැනි සංශෝධනයටත් ඉදිරියට යන ක්‍රමයක් ගැන කතා කළා. ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. නමුත් ජනතා වරමක් දී ඇති අවස්ථාවේ ජනතාවගේ නියෝජිතයා ලෙස ජනතාවගේ මාධ්‍ය ලෙස ජනතාව නියෝජනය කරන සමිති ලෙස අපේ යුතුකම අපි ඉටු කරමු.”


කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:
“කඳුරට ජනතාවට අද ඉඩම් සහ නිවාසවල අයිතිය ලබා දෙන ඓතිහාසික අවස්ථාවක්. අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම වැඩසටහන දියත් කිරීමට ලැබුණා. වතුකරයේ ජනතාව අගමැතිතුමා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරනවා. ඉදිරියේ එන ඡන්දවලදීත් මෙහි ජනතාව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දෙනවා. එම ඡන්ද සියල්ලම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.
එක්සත් ජාතික පක්ෂය කවදත් වතු ජනතාවට සහන සලසා දෙනවා. මීට පෙර සිටි රජය එම සහන ලබා දුන්නේ නැහැ. එම නායකයන් මේ ප්‍රදේශයට සැබෑ සේවයක් සිදු කළේ නැහැ. අප එම සේවය සිදු කරනවිට පෙර සිටි අය ඒවා දරා ගන්න බැරිව චණ්ඩිකම් කරන්න හදනවා. ඉදිරියේදී ජනතාවගේ සල්ලි සොරකම් කළ අයට සිරගෙට යන්න සිදු වෙනවා.”


ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා:
“වතුකරයේ විශාල පිරිසකට අද ඉඩමක සහ නිවසක අයිතිය ලැබෙනවා. වසර 150ක් පරම්පරා 5ක් තිස්සේ සීතල වතුකරයේ රට වෙනුවෙන් දහදිය හෙලූ පිරිසක් ලෙස අප වතුකරයේ ජනතාව දකිනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කම්කරු ජන ජීවිතය ඉහළට එසැවීමට කටයුතු කෙරෙනවා. පේලි ගෙවල් වෙනුවට නව ගම්මාන ඉදිවෙමින් පවතිනවා. වතුකරයේ ජනතාව මහ පොළොවට ණය නැහැ. එයට උපහාරයක් ලෙස අද මේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරෙනවා. මෙමගින් දරුවන් පාසලකට ඇතුල් කරන්න පුළුවන්. කැමති අයකුට පවරා දෙන්න පුළුවන්. මේ ප්‍රදේශයට දිගම්බරම් ඇමැතිවරයා විශාල සේවයක් කරනවා.”


නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා:
“අපේ ආණ්ඩුව පත් වූ පසු වතුකරයේ ජනතාව වෙනුවෙන් වෙනම ඇමැතිවරයෙක් පත් කළා. ඒ අමාත්‍යාංශය යටතේ අද ක්‍රියාත්මක වූ වැඩසටහනක් යටතේ අද වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකම් ලබා දෙනවා.

1993 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිනවිට ප්‍රථම වතාවට වතුකරයේ ජනතාව වෙනුවෙන් මේ වැඩසටහන ආරම්භ වුවත් පසුව එය නතර වුණා. දුප්පතාගේ දුක දන්නා අමාත්‍යවරයෙක්ට එම වැඩකටයුතු භාර දී තිබෙනවා. වතුකරයේ ජනතාව වෙනුවෙන් කිරීමට හැකි උපරිම දේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ සිදු කර තිබෙනවා.”

අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ මහලේකම් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලුකුමාර් මහත්වරුන්, කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රන්ජනී නඩරාජාපිල්ලේ මහත්මිය ද උත්සව සභාව ඇමතීය.

මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.