වෙන වැඩක් නැති සති 7 ක්


මෛත්‍රී.... අනේ මන්දා....

පසුගිය සිකුරාදා (26දා) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ හමුවකට හිටපු ජනාධිපති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පැමිණ තිබුණේ ත්‍රීරෝද රථයකින්. මැතිවරණ නීති රීතිවලට ගරු කළ යුතු නිසා තමන්​ රජයේ වාහන භාවිත නොකර මෙසේ පැමිණි බවයි ඔහු කිව්වේ. ත්‍රීවීලයෙන් පැමිණි මෛත්‍රීට ආරක්ෂාව සපයන ආරක්ෂක ඩිෆෙන්ඩර් රථය ත්‍රීවිලයට පසුපසින් පැමිණ තිබෙනු දැක ගන්නට ලැබුණා. 

ඒවා ඉතින් වෙන කතානේ.....


  පොලිස්පති නිසා 
  ඇති වූ ගැටුම 

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දිනය නියම කිරීමත්, දේශබන්ඳු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වළක්වනු ලැබීමත් දේශපාලන කරළිය ගිනියම් කළ ප්‍රධාන මාතෘකා දෙකක් බවට පත්ව තිබේ. දේශබන්දු  තෙන්නකෝන්  පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග එය දේශපාලන අර්බුදයක් මෙන්ම ව්‍යවස්ථාමය අර්බුදයක් දක්වා දුරදිග ගොස් ඇත. දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසය. එහෙත් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ආණ්ඩුවේ සූදානමක් පෙනෙන්නට නැත. 

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබීමත් සමග කැබිනට් මණ්ඩලය ඉකුත් බදාදා හැන්දෑවේ රැස්වී සාකච්ඡා කළේය. එහිදී තීරණය කර තිබුණේ මේ සම්බන්ධයෙන් අධිකරණය දී ඇති තීන්දුව සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන්නටය. ඒ අනුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින්, වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශයට පත් කළේය. ඔහු කීවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැති බවය.

මේ අතර කථානායක මහින්දයාපා අබේවර්ධන ද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ව්‍යවස්ථා සභාව පොලිස්පතිවරයා පත් කිරීමට ගත් තීරණය නිවැරදි නීත්‍යනුකූල සහ  ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති බවය. එබැවින් පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය ජනාධිපතිවරයාටවත් මේ මොහොතේ විසඳිය නොහැකි බව ඔහු කීවේය.

කතානායකවරයා කීවේ එය අධිකරණය මගින්මවිසඳාගත යුතු බවය. විපක්ෂයේ චෝදනාව වී ඇත්තේ ආණ්ඩුව වැඩ බලන පොලිස්පතිවරයකු පත් නොකර මේ අර්බුදය දිග්ගස්සවන බවය. ආණ්ඩුවේත් විපක්ෂයේත් එහාට මෙහාට කෙරෙන තර්ක විතර්ක වලින් පෙනෙන්නේ වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීම තවදුරටත් කල් යනු ඇති බවය.

පොහොට්ටුවේ 
අර්බුදය 
නාමල්ගෙන් එළියට

මේ අතර ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය සඳහා දින ප්‍රකාශයට පත් කිරීමත් සමග වඩාත්ම අර්බුදයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පැහැදිලිය. ඊට හොඳම සාක්ෂිය නම් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර දින මාධ්‍යයට කළ ප්‍රකාශයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උදව් කිරීමෙන් ලැබුණු දායාදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකට කැඩීම යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය.

 ‘‘රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි පුරුද්දට. එතුමා ගේනකොටත් අපි ඒක දන්නවා. එතුමා එක්සත් ජාතික පක්ෂය කැඩුවා; ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා; යහපාලන ආණ්ඩුව කැඩුවා; ජනතා විමුක්ති පෙරමුණ කැඩුවා; එල්ටීටීඊ, කැඩුවා. ඒ තමයි එතුමාගෙ පුරුද්ද’’ නාමල් කීවේය.
නාමල්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත්  පොහොට්ටුව මේ මොහොතේ පත්ව ඇති අසරණ භාවයයි. පොහොට්ටුවේ අනුදැනුමකින් තොරව, පොහොට්ටුවේ ප්‍රබලයන් මේ වෙන විට වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් ද පවත්වමින් සිටී. පළමුවැන්න පැවැත්වුණේ මාතර දීය ඒ කංචන විජේසේකර ඇමතිවරයාගේ මූලිකත්වයෙනි. එහි දෙවැන්න ඉකුත්දා  මහනුවරදී පැවැත්වූ අතර එහි මූලිකත්වය ගත්තේ මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා ය. එහි තුන්වැන්න මේ සති අන්තයේ ගාල්ලේ පැවැත්වෙන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ රමේෂ් පතිරණ ඇමතිවරයාය. මෙයින් පෙනෙන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු එහි නායකයන්ට අවනත නැති බවය. ඔවුන් සිටින්නේ පොහොට්ටුව සමග නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව පැහැදිලිය.

තැන තැන 
පොහොට්ටු සාකච්ඡා

පොහොට්ටුවේ ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරුද මන්ත්‍රීවරුද පසුගිය සතියේ කොළඹදී තැන් කිහිපයක වෙන වෙනම හමුවූහ. ඒ ජනාධිපතිවරණයේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු ඉකුත් විසි දෙවැනිදා රාත්‍රියේ කොළඹ මලලසේකර මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ දී හමුවූහ. ඊට දිස්ත්‍රික්ක දොළහක පොහොට්ටු නායකයෝ සහභාගි වී ඇත. එහිදී ඔවුන් සාකච්ඡා කර ඇත්තේ පොහොට්ටුව බහුතර මතයට පිටින් යමින් වෙනත් අපේක්ෂකයෙකු නම් කළහොත් ඊට එරෙහිව ගොස් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමටය.

පළාත් පාලන ආයතනවල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්, හිටපු ප්‍රධානීන් සම්බන්ධකරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර  ඇත. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එදිනම රාත්‍රියේ තලවතුගොඩ හෝටලයක දී රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එහිදී ද සාකච්ඡා වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සම්බන්ධයෙනි. 

පොහොට්ටුවෙන් 
අපේක්ෂකයෙක් එපා 

මේ අතර පොහොට්ටුවේ මැති ඇමතිවරුන් තිස් දෙනකු පමණ ඉකුත් බ්‍රහස්පතින්දා සවස පාර්ලිමේන්තුවේ පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයට ගොස් ඔහු හමුවී ඇත. මෙම හමුවේ අරමුණ වී තිබුණේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලීමටය.

රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, ශෙහාන් සේමසිංහ, අනුරාධ ජයරත්න, ලොහාන් රත්වත්තේ, සීතා අරඹේපොළ, අලි සබ්‍රි, මහින්දානන්ද අළුත්ගමගේ, සිරිපාල ගම්ලත්, පිල්ලෙයාන්, කාදර් මස්ථාන්, ජානක වක්කුඹුර, ඩී.බී.හේ‍රත් ඇතුළු පිරිසක් ඊට සහභාගි වී ඇත. එදී ඔවුන්  හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන ලෙසය. මේ මොහොතේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් පක්ෂය දෙකඩ වෙන බව එම පිරිස පෙන්වා දී ඇත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පොහොට්‍ටුවේ  කවුරුවත් දමනවා කියා තමන් නොකියන බවය. පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් නැති බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

මේ අතර දේශපාලන කරළියෙන් වාර්තා වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා  සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර ද ගිය සතියේ සාකච්ඡාවක් පැවැති බවය. එහෙත්  ඒ සාකච්ඡාවේ දී  කතාබහ කෙරුණු කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට වාර්තා නොවීය.

නාමල් රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ ඉහළම නායකයන් කිහිප දෙනෙකු අතර ද මතගැටුමක් ඇතිව තිබෙන බව වාර්තාවේ. නාමල්  රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බව යැයි දැනගන්නට ඇත. පොහොට්ටුවේ ඉහළම නායකයකු සඳහන් කර ඇත්තේ එවැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානමක් නැති බව යැයි වාර්තා වේ.

කෙසේ වුවද නාමල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් මන්ත්‍රීධුර දරන පිරිස් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කතා කළ ද, පොහොට්ටු පාක්ෂිකයන්ගේ අදහස වී ඇත්තේ පක්ෂයක් ලෙස ස්ථාවර වී තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම බවයි. මේ සම්බන්ධයෙන් තවමත් අදහස් හුවමාරු වෙන අතර පසුගිය සිකුරාදා වෙන විටත් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන මතයේ නාමල් රාජපක්ෂ මහතා සිටි බව වාර්තා වේ. 

ජනපති කරගත් 
වැරැද්ද 

පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙකු ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ශ්ව කියන්නේ ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ දී වැරදි දෙකක් කරගත් බවයි. ඉන් පළමුවැන්න ගම්පහ රැස්වීමේ දී පොහොට්ටු නායකයන් හෝ බහුතර පාක්ෂිකයන් නොදැන ජනාධිපතිවරයාට සහාය පළකරන යෝජනාවක් සම්මත කර ගැනීමයි. මේ යෝජනාව සම්බන්ධයෙන් පොහොට්ටුවේ නායකයන් දැනුම්වත්ව නොසිටි බව තහවුරු වෙයි. මේ ආකාරයෙන් තමන්ගේ පක්ෂයේ සහයෝගය ගැන යෝජනා සම්මත කර ගැනීම ජනාධිපතිවරයා විසින් මෙහෙයවූ බවට පොහොට්ටු නායකයන් පිරිසකගේ අදහස වී තිබේ. 

අනෙක් අතින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේම ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීමෙන් පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය දෙනවාද? නැද්ද ? යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ. ජනාධිපතිවරයා ස්වාධීනව ජනාධිපති වුවහොත් එයින් පසු පක්ෂයක් ලෙස ඔහු සමග කටයුතු කරන්නේ කෙසේද ? යන්න ගැන පැහැදිලි කරගත යුතු බවද පොහොට්ටු නායකයන්ගේ අදහස වී තිබේ. 

ලංසා කණ්ඩායම 
ගිවිසුමකට


අනුර ප්‍රියදර්ශන  යාපා, නිමල් ලංසා ඇතුළු කණ්ඩායමේ හමුවක්ද ඉකුත්  සතියේ පැවැත්වුණේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. මේ කණ්ඩායමේ ඉලක්කය වී ඇත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනාධිපති කරවීමය. අනුර යාපලා ලන්සලා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පිරිසක් සහ තවත් පිරිසක් සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටි. ඒ සඳහා එම පක්ෂ අතර  අවබෝධතා ගිවිසුමක්  අත්සන් කිරීමටද නියමිතය. එම සාකච්ඡාවට  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද සහභාගි විය. ලසන්ත කීවේ අපි පුළුවන් තරම් ඉක්මනට මේ ගිවිසුම අත්සන් කළ යුතු බවය. අනුර යාපා ද එය අනුමත කළේය. ඔහු කීවේ ඔව් ඉක්මන් කරන තරමට හොඳයි මොකද අලු‍ත් කණ්ඩායමුත් අපට එකතු කරගන්න පුළුවන් කියාය. ඒ අනුව නව සන්ධානය අත්සන් කිරීමෙන් පසුව එහි විධායක සභාව සහ සභාපතිවරයා පත් කර ගැනීමට ද නියමිතය.

විජයදාස ජාතික 
ඇඳුමට බහි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ජනාධිපතිවරණයට වෙනම ඉදිරිපත් වීමට සැලසුම් කරමින් සිටියි. විජයදාස රාජපක්ෂ මහතා ඉකුත්  බ්‍රහස්පතින්දා නිදහස් චතුරස්‍රයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පත්වමින් ප්‍රකාශ කළේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවය. විජයදාස එදින සුපුරුදු බටහිර ඇඳුම වෙනුවට ජාතික ඇඳුමින් සැරසී මාධ්‍ය හමුවට එක්ව සිටීම ද විශේෂයෙන් කැපී පෙනුණි.

සති 7 ක් අපතේ 
යවන්න එපා 

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට තීරණය කිරීමත් සමග ඉදිරි සති හතේ දී රට පුරා වෙනස් කිසිදු කටයුත්තක් නොවී ජනාධිපතිවරණය ගැනම අවධානය යොමුවීමට ඉඩ තිබේ. එහෙත් මේ රට තිබෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ කතා අසමින් කාලය කා දැමිය හැකි තැනක නොවේ. එහෙයින් ඔබේ ප්‍රතිපත්ති සහ සිතුම් පැතුම්වලට ගැළපෙන අපේක්ෂකයා තෝරාගෙන ඔහුට ඡන්දය දීමට කාලය ගත කරනු විනා ඒ වෙනුවෙන් කාලය කෑමට, කෝලාහල කිරීමට හෝ දිවි හානිකර ගැනීමට නොයා වෙනදා මෙන් තමන්ගේ වැඩකටයුතු සඳහා මුල් තැන දෙන්න යැයි ඔබට මතක් කරමු. 

■ රාජ-දූත