වෙස් තට්ටුවට පෙම් බැඳි දේශපාලඥයා


මෙරට හිටපු කැබිනට් ඇමැතිවරයකු මෙන්ම හමුදා නිලධාරියකු ද වූ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ පාසල් යන අවධියේ ප්‍රසිද්ධ වී සිටියේ තරමක පෙරැළිකාරයකු වශයෙනි. ඔහු එකල සමවියේ කොල්ලන් සමග අනන්තවත් ගුටි බැට හුවමාරු කර ගත්තේය. එවැනි ඇතැම් අවස්ථාවලදී ඔහු ද කොල්ලන්ගෙන් බඩ පුරා ගුටි කා තිබුණේය.

“ඒවා චැලේන්ජ් ෆයිට්...! ගැහුවා... නැත්නම් ගුටි කෑවා... දෙන්න අතට අත දීලා දෙපැත්තට ගියා. එතනින්ම ෆයිට් එක ඉවරයි. ආයෙ ප්‍රින්සිපල්ට රිපෝට් කරන්නෙත් නෑ. ගෙදර ගිහින් කියන්නෙත් නෑ...!”

ඔහු පැවසුවේ එසේ කියන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ තමන්ගේ දෛනික ක්‍රියාකාරකම් ආවර්ජනය කරමිනි. උසට සරිලන මහතකින්ද යුත් ඔහු රූප සම්පත්තියෙන් අනූන සිසුවකු වූයෙන් අවට බාලිකා විද්‍යාලවල ඉගෙනුම ලැබූ විසේකාර සිසුවියන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ මේ හැඩකාර කොලුගැටයා වෙතටය.

එකල තමන් පාසල ඇරි නිවෙසට යමින් සිටියදී අතරමගදී මුණගැසෙන ඇතැම් සිසුවියන් ආපසු හැරී තමන් දෙස බැලූ බව හෙතෙම පවසයි. මේ අතර ඔහු එවකට ත්‍රිත්ව විද්‍යාලයීය නැටුම් කණ්ඩායමේ සිටි දක්ෂ නැට්ටුවෙක් ද විය. එකල මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පහළ පන්තිවල සිසුන්ට නර්තනය පාසල් විෂයයක් වශයෙන් හැදෑරීමට ඉඩ ලබා දී තිබුණේය. එහිදී ඔවුන්ට උඩරට නැටුම් ශිල්පය උගන්වනු ලැබුවේ ප්‍රවීණ නැටුම් ශිල්පියකු වන නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ සොහොයුරකු වන උක්කුවා ගුරුන්නාන්සේ විසිනි.

ගුණයා ගුරුන්නාන්සේ හෝ උක්කුවා ගුරුන්නාන්සේ ත්‍රිත්ව විද්‍යාලයේ ස්ථිර ආචාර්ය මණ්ඩලයට අයත් නොවුණද විද්‍යාලයීය පාලක මණ්ඩලය මුදල් ගෙවා ඔවුන් දෙදෙනාගේ සේවය තම පාසලේ සිසුන් වෙනුවෙන් ලබාගෙන තිබුණේය. ඒ සිසුන්ගේ මාපියන්ගේ ඉල්ලීමකට අනුවය.

“කොහොම හරි මම අවුරුදු පහක් විතර උඩරට නැටුම් සහ පහතරට නැටුම් ඉගෙන ගත්තා. මට හොඳට අඩව්, කස්තිරම අල්ලන්නත් පුළුවන්...!”යි කියන රත්වත්තේ සඳහන් කළේ එකල ත්‍රිත්ව විද්‍යාලයේ පැවැති වාර අවසාන විවිධ ප්‍රසංගවල දී තමන් අනන්තවත් අඩව් සහ කස්තිරම් අල්ලමින් වේදිකාව දෙවනත් කළ බවයි. එකල මහනුවර නගරයේ පැවැති බාලිකා පාසල්වලින් ද ඔවුන්ගේ වාර අවසාන විවිධ ප්‍රසංග වර්ණවත් කරන ලෙස රත්වත්තේලාගේ නැටුම් කණ්ඩායමට අනන්තවත් ආරාධනා ලැබී තිබුණේය. ඔහු සඳහන් කරන අන්දමට එවැනි ආරාධනා වැඩිපුරම ලැබී තිබුණේ හිල්වුඩ්, මහාමායා සහ හයි ස්කූල් වැනි බාලිකා පාසල් වෙතිනි.

“ඒ දවස්වල මගේ යාළු කෙල්ලන් වැඩිපුරම හිටියේ හිල්වුඩ් එකේ. ඉතින් අපි ඒ ඉස්කෝලවලට ගිහින් ස්ටේජ් එකේ අඩව්, කස්තිරම් අල්ලමින් වැඩ දාල නටන කොට අර ළමයින්ට හරි හිනා... මගදී හම්බවුණොත් බේරෙන්න බෑ නටල අඩව්වක් අල්ලලා පෙන්නන්න කියනවා...”
ඔහු එසේ කියන්නේ සිනාසෙමිනි. හරියටම වසර පහක් උක්කුවා ගුරුන්නාන්සේ සහ ගුණයා ගුරුන්නාන්සේ වෙතින් නැටුම් ශිල්පය හැදෑරූ රත්වත්තේ ගුණයා ගුරුන්නාන්සේ වෙතින් වෙස් බැඳි නැට්ටුවෙක් ද වේ. 

“එදා ගුණයා ගුරුන්නාන්සේගේ පුතකුත් මාත් එක්ක වෙස් බැන්දා. එදා ඒ උත්සවයට අපේ අම්මයි, අප්පච්චියි, අක්කයි, අයියයි සේරමල ආවා. මම එදා හරියටම පැයක් වේදිකාව උඩ අඩව් කස්තිරම් අල්ලමින් නටපු හැටි දැකලා අපේ අප්පච්චිගේ දෑස්වලින් කඳුළු කඩා හැලුණා. සතුට වැඩිකමට අපේ අම්මත් ඉකි ගහ ඇඬුවා...”

රත්වත්තේ එසේ කියන්නේ සිනාසෙමිනි. කෙසේ වෙතත් පසු කාලයක දී ඔහු නැටුම් කලාවෙන් ඉවත් වී රගර් ක්‍රීඩාවට යොමු වූවේය. පාසලේ ඉහළ පන්තිවල දී රගර්, ක්‍රිකට් සහ බොක්සිං ක්‍රීඩාවට සහභාගි වූ රත්වත්තේ පසුව ක්‍රීඩා අංශයට ද සමු දුන්නේ ඒ කිසිවක් නැටුම් ශිල්පය තරම් තමන්ගේ සිතට නෑල්ලූ බැවිනි. අනතුරුව ඔහු දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා සේනාංකයට එක් වූ අතර හදිසියේ සිදු වූ තම පියාගේ අභාවයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ පවුල් සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. 

“හැබැයි මම තවමත් නැටුම් කලාවට ආදරෙයි. අදටත් මගේ කනට ගජගා වන්නම, තුරඟා වන්නම, එහෙමත් නැත්නම් උකුසා වන්නම වූයේ වන්නමක් ඇහෙනකොට, නැත්නම් නිසි තාලයට ගහන බෙර පදයක් ඇහෙනකොට මගේ ඇඟ ඉබේටම නැටවෙනවා...!”

ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ එසේ කියා තිබුණේ ඔහු අභාවප්‍රාප්ත වීමට වසර දෙකකට පමණ පෙර ‘මහයායේ කතාව’ නමින් පළ වූ ඔහුගේ චරිතාපදානය සැකසූ කතුවරයා සමගය. ඔහු ඒ බව ප්‍රකාශ කරනු ලැබුවේ ද ගජගා වන්නාමේ තාලයට අත් පා සොලවමින් බව හෙතෙම පවසයි.

නිහාල් ජගත්චන්ද්‍ර