එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හිටපු සභාපති, මහාචාර්ය, කිෂෝර් මහ්බුබානි, ඉරිදා ලංකාදීප සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව
සිත් ඇදගන්නාසුලු අව්‍යාජ බුද්ධියක් ඇති මේ මිනිසා සමග මිනිත්තු කිහිපයක් ගත කිරීම පවා අසාමාන්‍ය වරප්‍රසාදයක් ලෙස හැඟේ. තමන් අහඹු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස හඳුනාගත් ඔහු, කලක් එක්සත් ජාතීන්ගේ සිංගප්පූරු තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද සේවය කළේය. ගෞරවනීය විද්වතෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ කර්තෘවරයෙකු වන කිෂෝර් මහ්බුබානි, ගෝලීය භූ දේශපාලනය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණ
සඳහා සුප්‍රසිද්ධය.
1960 ගණන්වල කලබලකාරී කාලපරිච්ඡේදය තුළ, සිංගප්පූරුවේ හැදී වැඩුණු, නව ස්වාධීන ජාතියක් මුහුණ දෙන අරගල සහ අපේක්ෂාවන් සියැසින් දුටුවේය. අධ්‍යාපනය ඉමහත් ලෙස අගය කළ ගෘහණියක වූ ඔහුගේ මව, ඉගෙනීමට සහ විවේචනාත්මක චින්තනයට ඇය තමන් තුළ ගැඹුරු උද්‍යෝගයක් ඇති කළ අයුරු ඔහු සිය රචනාවල ආවර්ජනය කර ඇත. “වෙනස් කිරීමේ බලවත්ම මෙවලම අධ්‍යාපනය බව මගේ මව මට ඉගැන්නුවා” ඔහු සඳහන් කළේය. අධ්‍යාපනයේ ඇති අපූර්ව පරිවර්තනීය බලය පිළිබඳ මෙම විශ්වාසය, ඔහුගේ වෘත්තීය ජීවිතයට මාර්ගය පෙන්වීය.
ආසියාවේ මතුවෙමින් පවතින ගැටලු කිහිපයක්, මහාචාර්ය කිෂෝර් මහ්බුබානි සමඟ සාකච්ඡා කිරීමට පසුගිය සතියේ මට අවස්ථාව ලැබුණි. එහිදී ඔහු, සිංගප්පූරුවේ ආර්ථික සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධක පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කළ අතර, එය ශ්‍රී ලංකාව වැනි අනෙකුත් කුඩා ජාතීන් මුහුණ දෙන අභියෝග ජයගැනීමට වැදගත් වෙන්නේ කෙසේදැයි පැහැදිළි කළේය. ඔහුගේ විග්‍රහය, සිංගප්පූරුවේ විශිෂ්ට ජයග්‍රහණ පිළිබඳව පැහැදිළි කිරීමක් පමණක් නොව, එහි සාර්ථකත්වය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරන අනෙකුත් රටවල් සඳහා අවශ්‍ය උපාය මාර්ග ඉදිරිපත් කිරීමක්ද විය.
1965 දී සිංගප්පූරුව නිදහස ලබන විට එහි අනාගතය වටා ඇති වූ මූලික සංශයවාදය ගැන මතක් කරමින් අපි අපේ සංවාදය ආරම්භ කළෙමු. ‘‘ලී ක්වාන් යූ සහ ගෝ කෙං ස්වී ඇතුළු ආරම්භක නායකයින් විශ්වාස කළේ, ඔවුන් ජයගත නොහැකි අභියෝගවලට මුහුණ දෙන බවයි. ශ්‍රී ලංකාව සාමකාමී සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාවේ සාධනීය වර්ධනය දැක ඊට බොහෝ ඇලුම් කළා. ඇතැම් විට ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්ට සාධනීය ඊර්ෂ්‍යාවකුත් තිබුණා. ශ්‍රී ලංකාව සාමකාමී සහ සමෘද්ධිමත් නිසා ඔවුන්ගේ සිහිනය වූයේ ශ්‍රී ලංකාව හා සමානව දියුණු වීමටයි. කෙසේ වෙතත්, ඉතිහාසය වෙනස් ආකාරයකින් දිග හැරුණා. සිංගප්පූරුව සාර්ථක රාජ්‍යයක් ලෙස ඉස්මතු වූණා. ශ්‍රී ලංකාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී බංකොලොත් වුණා, ” මහ්බුබානි සිහිපත් කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය. ‘‘ශ්‍රී ලංකාව, සිංගප්පූරුවේ සාර්ථකත්වයේ රහස් සූත්‍රයම අනුගමනය කළේ නම්, සිංගප්පූරුවට එහා ගියේ නැතත් අඩුම තරමේ සිංගප්පුරුව තරම් හෝ පහසුවෙන් සාර්ථක විය හැකිව තිබුණා.” ඔහු මෙම රහස් සූත්‍රය MPH (එම්පීඑච්) සූත්‍රය ලෙස සංක්ෂිප්ත කළ අතර, එහි මූලික සිද්ධාන්ත තුනකි; එනම් කුසලතාව (මෙරිටෝක්‍රසි), ප්‍රායෝගිකත්වය (ප්‍රැග්මටිසම්) සහ අවංකභාවය (ඔනස්ටි).
කුසලතාවට මූලික තැන දීම යනු, ඔවුන්ගේ වාර්ගික පසුබිමට වඩා ඔවුන්ගේ හැකියාවන් මත පමණක් නායකත්ව භූමිකාවන් සඳහා පුද්ගලයන් තෝරා ගැනීමය. සිංගප්පූරුවේ ජනගහනය ප්‍රධාන වශයෙන් චීන ජාතිකයන් වුවද, ශ්‍රී ලාංකික දෙමළ ජාතික එස්. රාජරත්නම් වැනි නායකයින් පරිපාලනය සඳහා තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ නිපුණතාව මත බව පෙන්වා දෙමින් මෙසේ කීවේය.
‘‘අපි සුදුසුම අපේක්ෂකයා පමණක් තෝරා ගත්තා. ඥාති සංග්‍රහයට සහ අනිසි අනුග්‍රහයට (අයථා පක්ෂපාතකම) මුල්තැන දෙන බොහෝ රටවලට වඩා මෙම ප්‍රවේශය හාත්පසින්ම වෙනස්. සිංගප්පූරුවේ සාර්ථකත්වයට පළමු හේතුව කුසලතාවට
ප්‍රමුඛත්වය ලබාදීමයි”.
MPH සූත්‍රයේ දෙවැනි අංගය වෙන ප්‍රායෝගිකවාදය, ගැටලු විසඳීම සඳහා සිංගප්පූරුවේ ප්‍රවේශය ඉස්මතු කරන්නේය. ‘‘සිංගප්පූරුවට කුමන ගැටලුවකට මුහුණ දීමට සිදුවුවද, කොතැනක හෝ එම ගැටලුවට යමෙකු මීට පෙර මුහුණ දී ඇති බව ආචාර්ය ගෝ කෙං ස්වී විශ්වාස කළා. මෙම දර්ශනය සිංගප්පූරු නායකයින් විවිධ රටවල හොඳම භාවිතයන් අනුගමනය කරමින්, සාර්ථක ලෙස නවීකරණය වූ අනෙකුත් ජාතීන්ගෙන්, විශේෂයෙන්ම ජපානය වැනි රටවල අත්දැකීම්වලින් ඉගෙනගැනීමට දිරිමත් කළා. ශ්‍රී ලංකාව හෝ වෙනත් රටවල් සිදුකළ යුතුව තිබුණේද මීට සමාන උපායක්. මොකද, නව පාලන ආකෘති ප්‍රතිනිර්මාණය කරනවාට වඩා, සාර්ථක ආකෘතිවලින් ඉගෙනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම පහසුයි.”
MPH සූත්‍රයේ අවසාන අංගය වෙන අවංකකම පවත්වා ගැනීම වඩාත්ම අභියෝගාත්මක කාරණය බව මහ්බුබානි ප්‍රකාශ කළේය . ‘‘කිසිදු සමාජයක් දූෂණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් නොවූවත්, සිංගප්පූරුව කැපී පෙනෙන ලෙස ලබා ඇති ප්‍රගතිය ප්‍රසංසනීයයි. ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය මූලධර්මයක් වෙන විශ්වාසය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීමේදී, අවංකත්වය සඳහා වූ මෙම කැපවීම ඉතා වැදගත් වෙනවා.”
කෙසේ නමුත්, සිංගප්පූරුවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ ද? සංවර්ධනයට වැදගත් වෙන්නේ යම් ආකාරයක සොඳුරු ආඥාදායකත්වයක් ද? යන්න මා ඔහුගෙන් විමසූ විට, ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.
‘‘සෑම වසර පහකට වරක්ම සිංගප්පූරුවේ ජනතාව මැතිවරණයට යන ආකාරය කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නෑ. පාලක, පීපල්ස් ඇක්ෂන් පක්ෂය (පීඒපී) බලයේ සිටින්නේ ඒකාධිපති ක්‍රම නිසා නෙවෙයි. සිංගප්පූරුවේ ජනතාව ආණ්ඩුවට රැඳී සිටීමට ඡන්දය දී ඇති නිසා. ඒ නිසා සිංගප්පූරුවේ සාර්ථකත්වය තනිකරම අත්තනෝමතික පාලනයේ ප්‍රතිඵලයක් ලෙස නැගෙන ආඛ්‍යානයට කිසිසේත්ම නොගැළපෙන අදහසක්.”
පාලනයේ වගවීම පිළිබඳ සංකල්පය විස්තර කරමින් ඔහු කියා සිටියේ, යහපාලනය සහජයෙන්ම රාජ්‍ය පරිපාලනයේ ඵලදායිතාව හා බැඳී පවතින බවයි. ‘‘ඵලදායී පාලනය සියුම් ලෙස සකස් කරන ලද එන්ජිමක් වගේ. ඒ සඳහා නිරන්තර අවධානය සහ නඩත්තුව අවශ්‍ය වෙනවා. එහිදී නායකත්වය අවශ්‍ය අවස්ථාවේ ප්‍රතිචාර දැක්වීම ඉතාම තීරණාත්මකයි. එය සිංගප්පූරුවට, වේගයෙන් වෙනස් වෙන ගෝලීය පරිසරයකට අනුවර්තනය වී සමෘද්ධිමත් වීමට අවශ්‍ය තීරණාත්මක සාධකයක් වුණා”
මීළඟට, චීනය ගෝලීය බලවතෙකු ලෙස නැගී සිටීම සම්බන්ධයෙන් මතුවී ඇති පුළුල් භූ දේශපාලනික සංවාදය සහ මෙම සන්දර්භය තුළ කුඩා ජාතීන් මුහුණ දෙන සංකීර්ණතා ගැන විමසුවෙමි. එහිදී මහ්බුබානි මෙසේ සඳහන් කළේය.
“චීනය නැඟී එන විට, චීනයේ නැගීම එක්සත් ජනපදයට අභියෝගයක් බව තීරණය කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි එක්සත් ජනපදයමයි. කෙසේ වෙතත්, ආසියාන් රටවල් මෙම එදිරිවාදිකමේ පැත්තක් නොගනිමින්, මෙම සුපිරි බලවතුන් දෙකම සමග මිත්‍රශීලී සබඳතා තර කර ගැනීමේ අරමුණින් කටයුතු කිරීම වැදගත්. මන්ද, බල ගතිකත්වය අඛණ්ඩව මාරු වෙන, බහු ධ්‍රැව ලෝකයක රාජ්‍යය සබඳතා සමතුලිත කරගැනීමට වගේම, ගැටුම් වළක්වාගැනීමට රාජ්‍යතාන්ත්‍රික කඩිසරකම වැදගත් වෙනවා.”
කෙසේ නමුත්, චීනයේ වර්ධනය වෙන මිලිටරි ශක්තිය සම්බන්ධයෙන්, ජෝර්ජ් ෆ්‍රීඩ්මන් වැනි ඇමෙරිකානු භූ දේශපාලන විශ්ලේෂකයින් විසින් කරන ලද විවරණ පිළිබඳව මහ්බුබානිගේ අවධානය යොමුකළ විට ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය. ”ජෝර්ජ් ෆ්‍රීඩ්මන් විසින් ඇසිය යුතු ප්‍රශ්නය තමයි, එක්සත් ජනපදය සිය වාර්ෂික අයවැයෙන්, ඊට පසුව තියෙන රටවල් දහයේ අගය එකට එකතු කළාම එන අගයටත් වඩා මුදලක් සිය ආරක්‍ෂාව සඳහා වියදම් කරන්නේ ඇයි ද කියන එක? මේ බොහෝ විචාරකයින් චීනයට සාපේක්ෂව එක්සත් ජනපදයේ අසාමාන්‍යය මිලිටරි වියදම් සැඟවීම විහිළුවක්. චීනයේ ආරක්ෂක වියදම් ඉහළ ගොස් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙත් එය එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින අගයක්. එය, චීනයේ මිලිටරි බලය පිළිබඳ බටහිර අය කරනා සාකච්ඡාවලදී බොහෝ විට සූක්ෂ්මව නොසලකා හරින කාරණයක්.”
“ගෝලීය යුද ශක්තිය පවත්වාගැනීම නිසා, සාමාන්‍ය ආදායම පහත වැටී ඇති එකම ප්‍රධාන සංවර්ධිත රට එක්සත් ජනපදයයි. ඒ නිසා එක්සත් ජනපදය, සිය සම්පත් ලොව පුරා විශාල මිලිටරි බලය පවත්වාගෙන යෑමට වඩා, ස්වකීය පුරවැසියන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා නැවත වෙන් කළ යුතුයි,” ඔහු යෝජනා කළේය.
මේ දිනවල ආසියාන්-නේටෝ සන්ධානයක් පිළිබඳ කතාබහට යළිත් ප්‍රමුඛත්වයක් ලැබී ඇති හෙයින් මම ඒ ගැන මහ්බුබානිගෙන් විමසුවෙමි. ”ආසියානු-නේටෝව කියන්නේ ආසියාවේ අද්විතීය භූ දේශපාලන සන්දර්භය පිළිබඳ අවබෝධයක් නොමැති සංකල්පයක්. යුරෝපීයයන් භූ දේශපාලනික පැත්තෙන් ඉතාම අදක්ෂයි. ආසියාන් සහ යුරෝපානු සංගමයේ ඇති වෙනස බලන්න. යුරෝපා සංගමයට එකට ඉන්න බැරුව කරන අරගලය දිහා බලන්න. මොවුන් ආසියානු රටවලට දේශනා පැවැත්වීම වෙනුවට යුරෝපීයයන් ආසියාන් සංවිධානයේ සාර්ථකත්වයෙන් ඉගෙන ගන්න ඕනැ. එහෙත්, යුරෝපීයන්ගේ ඛේදවාචකය නම්, සෙසු ලෝකයට දේශනා පැවැත්වීම වෙනුවට, ඔවුන් සෙසු ලෝකයෙන් ඉගෙන ගත යුතු බව ඔවුන් තේරුම් නොගැනීමයි,” ඔහු ප්‍රකාශ කළේය.
“මෙම සන්දර්භය තුළ අපි තේරුම් ගන්න ඕනැ මූලික දේ තමයි, කලාපීය ආරක්ෂාවේ අනාගතය පවතින්නේ සහයෝගීතාව මත මිස ගැටුම් මත නොවන බව. ප්‍රගතිය සඳහා මාවත පවතින්නේ එක් එක් ජාතිය මුහුණ දෙන අද්විතීය අභියෝග හඳුනාගැනීම තුළ පමණක් නෙවෙයි, දේශසීමා ඉක්මවා යන සහයෝගීතාවයේ ආත්මය පෝෂණය කිරීම තුළයි.” ඔහු තරයේ කියා සිටියේය.
එසේම ආසියාව පිළිබඳ බටහිර ආඛ්‍යාන පිළිබඳ අවබෝධ කරගැනීමේදී, ඇමෙරිකානු සහ යුරෝපීය දෘෂ්ටිකෝණයන් අතර පැහැදිලි වෙනසක් පෙන්නුම් කරන බව කිෂෝර් මහ්බුබානිගේ අදහසයි. ඔහු ඇමෙරිකානු ආඛ්‍යානය “චීන අභියෝගය” කෙරෙහි පටු අවධානයක් යොමු කිරීම කෙරෙහි කේන්ද්‍ර ගතකොට ඇති බව පෙන්වා දෙන අතර, එය ආසියාව පිළිබඳ පුලුල් අවබෝධය වසන් කරන බව සඳහන් කළේය. ‘‘ආසියාවේ බිලියන 4.8 ක ජනතාවක් සිටින බව ඇමෙරිකානුවන්ට නොතේරෙන අතර චීනයේ බිලියන 1.4 ක් වෙත පමණක් ඔවුන්ගේ අවධානය යොමු කොට තිබෙනවා. ඔවුන් ආසියාවේ සෙසු ප්‍රදේශ ද තේරුම් ගෙන, අනෙකුත් ආසියානු රටවල් සමග කටයුතු කළ යුතුයි. ඒ වගේම ඇමෙරිකාවට අයිතියක් නෑ. ආසියානු රටවල් කටයුතු කළ යුත්තේ කා සමග ද කියලා අණ කිරීමට. මෙවැනි හැසිරීම් ඵලදායී සංවාදයට සහ සහයෝගීතාවට බාධා කරන වැරදි වැටහීම් නිදර්ශනය කරනවා.”
මේ අතර, යුරෝපීය ආඛ්‍යාන වෙත ඔහුගේ අවධානය යොමු කරමින් මහ්බුබානි කියා සිටියේ, ඔවුන් ආසියාව ඉදිරිපත් කරන ආර්ථික අවස්ථා ප්‍රයෝජනයට ගත යුතු බවයි. මධ්‍යම පන්තියේ විශාලතම වර්ධනය චීනය, ඉන්දියාව සහ ආසියාන් රටවල සිදුවී ඇති බව ඔහු සඳහන් කළේය. ‘‘ඔබ දන්නවා, චීනය, ඉන්දියාව සහ ආසියාන් හි ඒකාබද්ධ ජනගහනය බිලියන 3.5 ක් වෙනවා. 2000 දී මධ්‍යම පාන්තික ජීවන තත්ත්වයන් භුක්ති වින්දේ ඉන් මිලියන 150 ක් විතරයි. නමුත් 2020 වන විට එම සංඛ්‍යාව බිලියන 1.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2030 වන විට බිලියන 2.5 සහ 3 අතර වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. යුරෝපීයයන් බුද්ධිමත් නම්, ඔවුන් ආසියාව සමඟ සම්බන්ධ වී ආසියාව සමග වැඩ කරන්නේ කෙසේදැයි ඉගෙන ගනිවී.”
කෙසේ වෙතත්, ‘‘යුරෝපීය සංගමයේ රටවල් නිහතමානී ලෙස කටයුතු කරන ආකාරය නොදන්නා” බව යළිත් අවධාරණය කළ ඔහු, බොහෝ විට ආසියානු ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කරනවාට වඩා ඔවුන්ට දේශනා පැවැත්වීමට කැමැත්තක් දක්වන බවත් මෙය සැලකිය යුතු වැරදි පියවරක් බවත් ” ඔහු අවධාරණය කළේය. “1980 දී යුරෝපීය සංගමයේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතය චීනයට වඩා දස ගුණයකින් විශාල වුණා. දැන්, එය එක හා සමානයි. එය 2050 වන විට චීනයේ අගයෙන් අඩක් වීමට නියමිතයි. මේ නිසා, ඔබ 10 ගුණයක් විශාල වීමේ සිට ප්‍රමාණයෙන් අඩක් බවට පත් වූ විට, ඔබ නිහතමානී විය යුතු ආකාරය ඉගෙන ගත යුතුයි,” එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ නමුත්, බහු ධ්‍රැවීය අනුපිළිවෙළක් කරා ගමන් කරන ලෝක සන්දර්භයක, එක්සත් ජනපදය හා චීනය අතර භූ දේශපාලන තරගය ඉදිරි දශකය තුළද දිගටම පවතිනු ඇතැයි ඔහු විශ්වාස කරන්නේය. මහ්බුබානි මෙම තරගය විවේචනය කරන අතර, එය අනුවණ බව, චීනය සමඟ සහජීවනය සඳහා මාර්ග සොයාගැනීම අත්‍යවශ්‍ය බව තර්ක කරන්නේය.
“අපි බහු ධ්‍රැවීය ලෝකයක ජීවත් වීමට ඉගෙන ගත යුතුයි. එක්සත් ජනපදය සහ චීනය අතර යුද්ධයක් ඇති නොවන බවට මට සාධාරණ විශ්වාසයක් තියෙනවා. මන්ද, න්‍යෂ්ටික ගැටුමකදී සැබෑ ජයග්‍රාහකයන් නෑ. සිදුවෙන්නේ අන්‍යෝන්‍ය විනාශයක් විතරයි. එවැනි යුද්ධයක් ඇතිවුණොත්, චීනයට ප්‍රධාන නගර අහිමි වුවද, නිව් යෝර්ක් හෝ වොෂින්ටන් ඩීසී වැනි නගරවල ව්‍යසනකාරී අලාභය එක්සත් ජනපදයට දරාගන්නත් අමාරුයි. ඒ නිසා මේ ජාතීන් දෙක අතර ප්‍රබල තරගයක් දිගටම තියෙන්න පුළුවන්, ඒත් යුද්ධයක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි.”
ඉන් පසු මා මහ්බුබානිගෙන් විමසා සිටියේ, රුසියානු-යුක්රේන යුද්ධයේ වත්මන් තත්ත්වය පිළිබඳවය.
මෙම ගැටුමට මැදිහත් වීමට ඉස්සල්ලා, ජෝර්ජ් කෙනෙන් සහ හෙන්රි කිසිංගර් වැනි මූලෝපායික චින්තකයින්ගේ උපදෙස්වලට ඇමෙරිකානු නායකයින් අවනත විය යුතුව තිබුණා. නේටෝ ව්‍යාප්තිය පිළිබඳ කෙනන්ගේ අනතුරු ඇඟවීම සුළුවෙන් තකන්න බෑ. එය රුසියාව විරසක කර කෝපයට පත් කරන, ‘වරදක්‘ ලෙස ඔහු සැලකුවා. සීතල යුද සමයේ ප්‍රධාන මූලෝපායඥයෙකු වූ කෙනන්, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ දිගුකාලීන ඇඟවුම් තේරුම් ගත් කෙනෙක්. අවාසනාව නම්, ඇමෙරිකානු සහ යුරෝපීය නායකයින්, දිගුකාලීනව උපායමාර්ගිකව සිතන්නේ නැති පිරිසක් බවට පත්වෙලා,” මහ්බුබානි සිය කනස්සල්ල පළ කළේය.
එසේම, යුක්රේන යුද්ධය යුරෝපයේ ඇමෙරිකානු බලපෑම ශක්තිමත් කර ඇති අතර, එය දිගු කාලීනව යුරෝපීය සංගමයට අහිතකර ප්‍රතිවිපාක ලබාදී ඇති බව ඔහු නිරීක්ෂණය කරන්නේය. එහිදී, වැඩිදුරටත් ඔහු මෙසේ කීවේය; ‘‘මෙම යුක්රේන යුද්ධය යුරෝපීය සංගමයට උපකාර කර ඇත්තේ කෙසේදැයි මට පෙන්නේ නෑ. රුසියාව නැති කරන්න පුළුවන් කියලා මේ රටවල් හිතනව ද? ඊළඟ ශතවර්ෂය හෝ ඊට වැඩි කාලයක් රුසියාව සමඟ ජීවත් වීමේ අවශ්‍යතාව යුරෝපා සංගමය පිළිගන්න ඕනැ. රුසියාව යුක්රේනයේ කළ ආක්‍රමණය නීති විරෝධීයි, ඒ වගේම, අපි රුසියානු ආක්‍රමණය හෙළා දැකිය යුතුයි. නමුත් ඒ සමගම, රුසියාවේ ජාතික අවශ්‍යතා සහ මෙම ගැටුමට පාදක වූ මූල බීජයන් සැලකිල්ලට ගෙන සාමය සඳහා විසඳුමක් සෙවීමට අප උත්සාහ කළ යුතුයි.”
ජෝර්ජ් ෆ්‍රීඩ්මන් සමඟ මා මීට දින කිහිපයකට පෙර කළ සංවාදයේදී, රුසියාව සම්බන්ධයෙන් එක්සත් ජනපද උපායමාර්ග පිළිබඳ මාතෘකාව මතු වූ අතර, එහිදී ෆ්‍රීඩ්මන් පෙන්වා දුන්නේ, යුද්ධය දීර්ඝ කිරීම එක්සත් ජනපදයේ සැලසුම බවත්, එය දිගු කාලීනව ඇමෙරිකාවට වාසිදායක ලෙස ස්ථානගත වෙන බවත්ය. මහාචාර්ය කිෂෝර් මහ්බුබානිගෙන් ඒ ගැන විමසූ විට, ඔහු යුද්ධය පිළිබඳ වඩාත් පරිස්සම්සහගත දෘෂ්ටිකෝණයකින් ප්‍රතිචාර දැක්වීය. යුද්ධ කිසිම විටක නුවණට හුරු නැති බව, ඔහු ප්‍රකාශ කළේ යුද්ධ බොහෝ විට “අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට” තුඩු දෙන බව අවධාරණය කරමිනි. ”දිගුකාලීන ගැටුමක් පසුපස හඹා යෑම වෙනුවට, යුද ගැටුම් අඩු කිරීමේ මාර්ග සොයාගැනීමයි වැදගත්. මන්ද, ඊට වඩා ප්‍රබල අභියෝග අපි හමුවේ තිබෙනවා. අද ලෝකයට සටන් කිරීමට අවශ්‍ය වැදගත්ම දෙය කුමක්දැයි ඔබ ඇසුවොත්, එය දේශගුණික විපර්යාසයයි. ඔබ එක් එක් භූමි සම්බන්ධයෙන් සටන් කිරීම සඳහා කාර්යබහුල නම්, ඔබට දේශගුණික විපර්යාසයට එරෙහිව සටන්
කළ නොහැකියි.”
“අපි සියල්ලම දැන් එකම බෝට්ටුවේ මගීන්. බෝට්ටුව ගිලෙනවා නම්, විශාල කුටිය කාට ද? යන්න ගැන තර්ක කිරීමෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? අපේ පැවැත්ම අභියෝගයට මුහුණ දෙන විට, ඒවා විසඳීමට සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය වන, විවිධ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා භෞමික ආරවුල්වල පැටලීම නිෂ්ඵල දෙයක්.”
මීළඟට අපේ අවධානය යොමුවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් තත්ත්වය කෙරෙහිය. විශේෂයෙන් මෙම ජගත් සංවිධානය බටහිර ජාතීන්ගේ බලපෑම්වලට යටත් වීම නිසා, එහි විශ්වසනීයත්වය පලුදු වී සඵලතාව අභියෝගයට ලක්වී ඇත. මහ්බුබානි, එක්සත් ජාතීන්ගේ සිංගප්පූරු තානාපතිවරයා ලෙස කලක් සේවය කළා පමණක් නොව, පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙසද සේවය කළේය.
“මම මීට මාස කිහිපයකට කලින් Financial Times (ෆිනෑන්ෂල් ටයිම්ස්) පුවත්පතට තීරු ලිපියක් ලිව්වා. එහිදී මා අවධාරණය කළා, එක්සත් රාජධානිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර ආසනය ඉන්දියාවට ලබා දීමට කාලය පැමිණ ඇති බව. මන්ද, එක්සත් ජාතීන්ගේ ආරම්භක මූලධර්ම මගින් නිෂේධ බලය පැවැත්වීමට අදහස් කළේ පැරණි මහා බලවතුන්ට නොව අද දවසේ මහා බලවතුන්ට. එක්සත් රාජධානිය පැරණි මහා බලවතෙකු වුණාට ඉන්දියාව අදත් හෙටත් මහා බලවතෙකි,” මහ්බුබානි සඳහන් කළේය.
මහ්බුබානි තවදුරටත් සඳහන් කළේ, “එක්සත් රාජධානිය සතු නිෂේධ බලය ඉන්දියාවට ලබා දීම, එක්සත් රාජධානියේම යහපතට හේතු වෙනවා. එක්සත් රාජධානියට තිබූ ගෝලීය ස්ථාවරය හැකිළී ගොස් ඇති නිසා එහි නිෂේධ බලය භාවිත කිරීම බොහෝ දුරට නතර කර තිබෙනවා. ඒ වගේම, බ්‍රිතාන්‍යයන් දන්නවා ඔවුන් නිෂේධ බලය පාවිච්චි කළොත් අනෙකුත් රටවල් කියයි, ඔබ කවුද? ඔබ නිෂේධ බලය භාවිත නොකළ යුත්තේ ඇයි? කියලා. ඒ විතරක් නෙවෙයි, එක්සත් රාජධානියේ දේශපාලනය විහිළුකාරයන් සහ විහිළු කරන අගමැතිවරුන්ගෙන් පිරෙන කොට, ඔවුන් මුලින්ම ලෝකය බේරාගැනීමට උත්සාහ නොකර ඔවුන් ඔවුන්ගේ රට ගැන සැලකිලිමත් විය යුතුයි.”
එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය මුහුණ දී සිටින දැවැන්ත අභියෝග සම්බන්ධයෙන් මහ්බුබානි සිය කනස්සල්ල පළ කළ අතර, එක්සත් ජනපදයේ සහ එහි මිත්‍ර රටවල ක්‍රියා නිසා මෙම ගෝලීය සංවිධානය දුර්වල වෙමින් ඇති බව ප්‍රකාශ කළේය. ”එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් බහුපාර්ශ්වීය පද්ධතිය දුර්වල කිරීමට, ගෝලීය ජනගහනයෙන් 12% ක් පමණ අයත් බටහිර රටවල් උත්සාහ කිරීම වැරැද්දක්”, ඔහු කීය.
එක්සත් ජනපදය හා බටහිර ජාතීන් ඔවුන්ගේ සුපුරුදු බලකාමී ප්‍රවේශය නැවත විමසා බැලිය යුතු බව මහ්බුබානි දැඩි ලෙස විශ්වාස කරන අතර, මෙම රටවල පිළිවෙත, එක්සත් ජාතීන්ගේ සංවිධානයට වළ කැපීමේ සිට එය ශක්තිමත් කිරීම දක්වා මාරු විය යුතු බව අවධාරණය කළේය. බටහිර රටවල් විසින් සිදුකරන මෙම අසාධාරණ ඇඟිලිගැසීම බ්‍රික්ස් (BRICS) වැනි විකල්ප සංවිධාන බිහිවීමට හේතු වී ඇත. ”සාම්ප්‍රදායික බහුපාර්ශ්වික සංවිධානවල කැපවීම ප්‍රමාණවත් නොවීම, විකල්ප ගොඩනැගීමට හේතු වී තිබෙනවා. එසේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) වැනි කලාපීය ආර්ථික ගිවිසුම් මේ නිසා
පුළුල් වී තිබෙනවා”.
මේ අතර මියන්මාරය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මෙන්ම අප්‍රිකාවේ රටවල ණය උගුල් සම්බන්ධයෙන් චීනයට එරෙහිව පැතිරී ඇති චෝදනා ගැන මහ්බුබානි, “ණය උගුලේ මිථ්‍යාවට” එරෙහිව සාක්ෂි සපයා ඇති ඇමෙරිකානු විද්‍යාඥවරියක වෙන ඩෙබොරා බ්‍රෞටිගම් උපුටා දක්වමින්, මෙම ආඛ්‍යාන හිතලු ලෙස බැහැර කළේය. ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙසේය.“අප්‍රිකානු ණයවලින් වැඩි ප්‍රමාණයක් චීනයට අයත් ඒවා නෙමෙයි, ඒවා බටහිර රටවලින් ලබාදුන් ඒවා. අනෙකුත් රටවල තත්ත්වයත් එහෙමයි. අප්‍රිකානු ජාතීන් බටහිර බලවතුන් විසින් දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් යටත් විජිතකරණයට ලක් කර ඇති ඓතිහාසික සන්දර්භය වසා දැමීමට චීනයට එරෙහි ප්‍රචාර භාවිත කරනවා. ඒත් ඇත්ත ඊට වඩා වෙනස්. බොහෝ අප්‍රිකානු රටවල් චීනයේ මැදිහත්වීම අගය කරනවා. මන්ද, ඒ නිසා බටහිර රටවල් සමග ඔවුන්ගේ කේවල් කිරීමේ බලය වැඩිකරලා තියෙනවා. මේ නිසා ඉතිහාසයට වඩා දැන් තත්ත්වය වෙනස්. අප්‍රිකානු රටවලට, තේරීමක් නොමැතිව හිරිහැරයට ලක්වූ කාලය අවසන් වී තිබෙනවා.”
මෙම සංවාදයේ අවසාන වශයෙන්, පවතින දේශසීමා ආතතීන් සැලකිල්ලට ගනිමින් ඉන්දියාව සහ චීනය අතර සාමයේ ඇති වැදගත්කම පිළිබඳව මම විමසා සිටියෙමි. මහ්බුබානි මෙම ආසියානු දැවැන්තයින් දෙදෙනා අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් ඔවුන්ගේ සබඳතාවල වර්තමාන තත්ත්වය ගැන සිය අසතුට ප්‍රකාශ කළේය. ‘‘අග්නිදිග ආසියාවේ බොහෝ රටවල් අද චීනය සහ ඉන්දියාව අතර සබඳතා යහපත් නොවීම ගැන කනගාටු වෙනවා. චීනයට සහ ඉන්දියාවට එකට හැදී- වැඩීමට තරම් අහස විශාලයි, කියලා හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කළා ඔබට මතක ඇති. මේ නිසා සිය වෙනස්කම් ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට ඉගෙනගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්.”
එසේම ඉන්දීය-පකිස්ථාන විරසකය ගැන සිය කනගාටුව ප්‍රකාශ කරමින්, එය විසඳීමේ ඇති වැදගත්කම අවධාරණය කරමින් ඔහු මෙසේ කීවේය. ‘‘අග්නිදිග ආසියාව ජනවාර්ගික, සංස්කෘතික, ආගමික, භාෂාමය වශයෙන්, දකුණු ආසියාවට වඩා බෙහෙවින් විවිධ වුවත්, දකුණු ආසියාවට වඩා සාර්ථක කලාපීය සහයෝගීතාවක් පවත්වාගෙන යනවා. ආසියාන් සාර්ථක වුණේ ඒ නිසා, ඉන් දකුණු ආසියාතික රටවල්
ඉගෙන ගත යුතුයි.”