ශ්‍රීලනිපය අටට වැටුණ හැටි



1977 වසරේ ආරම්භයේ සිටම මෙරට පැවතියේ අයහපත් වාතාවරණයකි. ඒ වනවිට ජනතාවගේ රැකියා ප්‍රශ්නය අහස උසට නැග තිබුණු අතර රට තුළ ආහාර හිඟයක්ද පැවතිණි. 

ඒ හැර එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් දෙපළක් වූ ලංකා සමසමාජ පක්‍ෂයත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයත් 1976 වනවිට ආණ්ඩුවෙන් හැළී ගොස් සිටියහ. මේ අතර 1977 වසරේ මහ මැතිවරණය පැවැත්විය යුතු කාලය ද අතළඟටම පැමිණෙමින් තිබුණේය. 

තත්ත්වය වඩාත් බරපතළ වූයේ ආණ්ඩුව හැර ගොස් සිටි ල.ස.ස.ප. ය සහ කො.ප. ය ඒකාබද්ධ වී රට පුරා වර්ජන රැල්ලක්ද දියත් කර තිබූ බැවිනි. ඊටත් අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාල මණ්ඩපයේ පැවැති ශිෂ්‍ය අරගලයක දී පොලීසිය විසින් තබන ලද වෙඩි පහරකින් වීරසූරිය නමැති ශිෂ්‍යයෙකු මියගොස් තිබුණේද මේ කාලය තුළ ය. වීරසූරිය ශිෂ්‍යයා ගේ ඝාතනයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාව ද රජයට එරෙහිව පාරට බැස තිබුණේය. 

ආණ්ඩුවට එරෙහිව පැන නැගුණු මේ සියලු විරෝධතාවලින් උපරිම ප්‍රයෝජන ගෙන තිබුණේ එ.ජා.ප. නායක ජේ. ආර්. ය. ඔහු රටපුරා ගොස් රැස්වීම් සංවිධානය කරමින් ජනතාව ඒකරාශී කළේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිත්සතන් අවුලෙන් අවුලට පත්කරමිනි. 

එම තත්ත්වය වඩාත් උග්‍ර අතට හැරුණේ එතෙක් ආණ්ඩුව සමග රැඳී සිටි නන්ද එල්ලාවල, ටී. බී. සුබසිංහ සහ තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද ල.ස.ස.ප. ය සහ කො.ප. ය සමග අත්වැල් බැඳගත් බැවිනි. 

මේ අතර අගමැතිනියට පමණක් නොව එම ආණ්ඩුවේ සිටි මහ බලවතා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට ද උද්ගතවෙමින් පවතින තත්ත්වයේ ඇති බරපතළකම පෙනී ගොස් තිබුණේය. 

“තමුන්නාන්සේලා තම තමන්ගේ ආසනවලට ගිහින් ජනතාව සංවිධානය කරන්න...!” යි කියනවා හැරෙන්නට ඔවුන්ට ද වෙනත් විකල්පයක් නොතිබිණි. 

මේ කාලය වනවිට ලේක්හවුස් ආයතනය රජයට පවරාගෙන සිටි අතර සීමාසහිත ටයිම්ස් ඔෆ්. සිලෝන් ආයතනය ද අනුර බණ්ඩාරනායක හරහා රජයට අවශ්‍ය පරිදි හීලෑ කරගෙන තිබුණි. ඒ අනුව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වීම් ලබා සිටි ධර්මසිරි ජයකොඩි මහතා තම ශක්ති ප්‍රමාණයෙන් ආණ්ඩුවට හුළං ගැසුවේය. 

“ඒත් මෙදා සැරේ ආණ්ඩුව ටක්කෙටම පරදිනවා!” යි සිතූ ඔහු චීන තානාපති කාර්යාලය හරහා හොර රහසේ වීසා ලබාගෙන ඊට අවශ්‍ය ගුවන් ටිකට්පත්ද සූදානම් කරගෙන සිටියේ මහ මැතිවරණයෙන් පසු බරපතළ තත්ත්වයක් පැනනැගුණහොත් රහසේම රටින් පැන යාමට ය. තමන් විසින් ‘අර්ජුන’ නමින් ‘සිළුමිණ’ පත්‍රයට ලියන ලද ලිපි පෙළ නිසා තමන් යූ.ඇන්.පී. කාරයන්ගේ උදහසට ලක්වී ඇතැයි ඔහු දැනසිටීම ඒ සඳහා මුල්වූ ප්‍රධානතම හේතුව විය. 

ආණ්ඩුවේ තරමක් විසේකර පසුපෙළ මන්ත්‍රීවරුන් කීපදෙනෙකු අගමැතිනිය හමුවීමට ගොස් තිබුණේ මේ අතරතුරය. පසුකාලයක දී මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දිවංගත දි. මු. ජයරත්න මහතා ඒ අතරින් එක් අයෙකි. 

“අගමැතිතුමියනි, මෙහෙම ගියොත් අපි බොහොම බරපතළ විදියට පරදින්න ඉඩ තියෙනවා. ඒ නිසා මහ මැතිවරණය ලබන ජූලි මාසයේ නොපවත්වා අවුරුදු දෙකකින් කල් දමන්න. රටේ පවතින අයහපත් වාතාවරණය නිසා, මැතිවරණය කල් දමන්න ඔබතුමියට ලේසියෙන්ම පුළුවන්...!” යි කී ඔවුන් සිරිමාවෝ මැතිනියගෙන් උදක්ම ඉල්ලා සිටියේ එම ජූලි මාසයේ මහ මැතිවරණය නොපවත්වා අවුරුද්දකින් කල් දමන ලෙසය. 

තම පසුපෙළ මන්ත්‍රීවරුන් කියන ඒ කතාවේ ඇති සත්‍යතාව අගමැතිනියට ඒ වනවිටත් අවබෝධ වී තිබුණේය. එහෙත් එම අදහස පිළිගැනීමට නොහැකිවූයේ ඇය ඒ වනවිටත් ල.ස.ස.ප. ය ඇටවූ උගුලක හිරවී සිටි බැවිනි. 

“තමුන්නාන්සේලා කියන ඔය කතාව ඇත්තක් වෙන්න පුළුවන්. එහෙම වුණයි කියල මේ අවුරුද්දේ ජූලි මාසයේ පැවැත්විය යුතු මහ මැතිවරණය මොනම හේතුවන් නිසාවත් කල් දමන්න මම කැමැති නෑ. මොකද 1975 පැවැත්විය යුතුව තිබුණු මහ මැතිවරණය 1972 සම්මත කරපු ජනරජ ව්‍යවස්ථාව නිසා තවත් අවුරුදු දෙකකින් කල් දැමුවේ කොල්වින් ලා. එයා අපේ ෆීලික්ස්වත් අල්ලගෙන මට බල කෙරුවා. අන්තිමේදී ඒ අදහස පිළිගන්න මටත් සිද්ධවුණා....!” කී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවධාරණය කළේ තම පක්‍ෂය පැරදුණොත් 1977 ජූලි මැතිවරණය මොනම හේතුවක් නිසාවත් කල් දැමීමට තමන්ට නොහැකි බවය. එසේ වන්නේ තමන් දිවිහිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නිසා බවද එතුමිය කීවාය.

එහෙයින් දැන් කළයුතුව ඇත්තේ එවර ලැබෙන පරාජය අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම යැයි කී අගමැතිතුමිය තම තමන්ගේ ආසනවලට ගොස් අද සිටම ජනතාව සංවිධානය කළ යුතු යැයි තම හිතවත් මන්ත්‍රීවරුන් කීප දෙනාගෙන් උදක්ම ඉල්ලා සිටියාය. 

එසේ වුවද තමන් විසින් 1970 දී පත්කරගත් සමගි පෙරමුණු ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන අන්තයටම කලකිරී සිටි රටේ බහුතර ජනතාවගෙන් ඒ සඳහා බුරුලක් නොලැබිණි. 

ඒ අනුව එම ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය වූයේ ජේ. ආර්. ගේ එ.ජා.ප.යට 5/6 ක පාර්ලිමේන්තු බලයක් ලැබී එතෙක් ආණ්ඩු බලය දැරූ ශ්‍රී ල.නි.ප.ය ආසන අට දක්වා පහළට රූටා යාමය.


රුක්මණී ජයතිලක