තෙල් වර්ජනයෙන් රටම රත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් ඉවත් කිරීම හරහා දේශපාලන ලෝකය උණුසුම් වෙමින් තිබේ. මැයි දිනය හෙටය. මේ සියලු කාරණා සම්බන්ධයෙන් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සමග කළ සංවාදයකි.
ප්‍රශ්නය: ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු සංවිධායකයන් තුන් දෙනෙකුගේ ආසන සංවිධායකකම් අහිමි කරලා තියෙනවා.
පිළිතුර: ඔව්.
ප්‍රශ්නය: ඔබට මොකද හිතෙන්නේ?
පිළිතුර: ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සභාපතිට පුළුවන් ඕනෑම සංවිධානයකවරයෙක් පත් කරන්න. ඕනෑම සංවිධායකවරයෙක් ඉවත් කරන්න. ඉතිහාසයෙන් එහෙම වෙලා තියෙනවා. මේක තවත් ඒ වගේ සිදුවීමක් තමයි.
ප්‍රශ්නය: සංවිධායකවරු ඉවත් කිරීම මධ්‍යම කාරක සභාව ගත්ත තීරණයක්ද? එහෙම නැත්නම් පක්ෂයේ සභාපති ජනාධිපතිවරයා ගත්ත තනි තීරණයක්ද?
පිළිතුර: මං ඒකයි කිව්වේ මධ්‍යම කාරක සභාවෙන් තීරණයක් ගන්න අවශ්‍ය නෑ. පක්ෂ ව්‍යවස්ථාව යටතේ පක්ෂයේ සභාපතිවරයාට ඒකට බලය තියෙනවා.
ප්‍රශ්නය: ජනක බණ්ඩාර තෙන්නකෝන් කියන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්. ඒ වගේ අය ඉවත් කිරීම පක්ෂයට පාඩුවක් නොවෙයිද?
පිළිතුර: ඕනෑම නායකයෙක් ඉවත් කිරීම පක්ෂයට පාඩුවක් තමයි. දැන් මාව සන්ධානයේ ලේකම්කමින් ඉවත් කළාම කවුරුවත් කතා කළේ නැහැ. මේ වගේ සාකච්ඡාවකදීවත් මගෙන් ඇහුවේ නෑ.
ප්‍රශ්නය: ඉරිදා ලංකාදීපය වෙනුවෙන් මමම ඔබත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා තියෙනව.
පිළිතුර: ඒක හරි. මම කියන්නේ ඔබ දැනුත් මගෙන් මේ ගැන ප්‍රශ්න අහනවනේ. මම ඔබ අහන නිසා උත්තර දෙනවා. හැබැයි මං ගැන වෙනත් අයගෙන් අහලා තියෙනවා මම දැක්කේ නෑ. මම කියන්නේ දැන් මේ ප්‍රශ්නය තියෙන උනන්දුව. මැතිවරණයට දවස් පහක් තියෙද්දී සන්ධානයේ ලේකම්කමින් මාව ඉවත් කළාම ඔය කාගෙවත් ඒ ගැන උනන්දුවක් තිබුණේ නෑ ඒ ඇයි?
ප්‍රශ්නය: ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ?
පිළිතුර: මම දන්නෑ ඒ ඇයි කියලා. අපි ඊළඟ ප්‍රශ්නයට යමුද?
ප්‍රශ්නය: මෙහෙම ගියොත් මේ පක්ෂයට මොකක් වෙයිද?
පිළිතුර: නෑ ඉතින් ඕනෑම පක්ෂයක ඔහොම දේවල් වෙනවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගත්තත් මෙහෙම දේවල් වෙලා තියෙනවා. ඒ අය නැවත ඇවිත් තියෙනවා. ඒ අය නැවත බඳවාගෙන තියෙනවා. එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒවා කල්ක්‍රියාව හරියට වෙනකොට ඒවා නැවත එකතු කර ගන්න බැරිකමක් නෑ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනෑ පුළුවන් තරම් අපේ ඉන්න පිරිස එකතු කර ගන්න මිසක ඒ අයට පක්ෂය එපා වෙන විදියට වැඩ කිරීම නොවෙයි.
ප්‍රශ්නය: පසුගිය අවුරුදු දෙක ගත්තොත් ඔබ හිතන විදියට පක්ෂය ශක්තිමත් වුණාද? දුර්වල වුණාද?
පිළිතුර: නෑ ඉතින් මෙහෙමනේ. පක්ෂය කොහොමත් පසුගිය අවුරුදු දෙක තුළ විශාල අභියෝගයකටනේ මුහුණ දීලා තියෙන්නේ. ඉතින් ඒ අභියෝගය හරියට වටහාගෙන ඒවට දේශපාලන වශයෙන් උපක්‍රමිකව වැඩ කරන්න ඕනෑ.
ප්‍රශ්නය: එහෙම වැඩ කරන බවක් පේනවද?
පිළිතුර: මම කළා නම් ඔය විදියට කරන්නේ නෑ. මම තනතුරුවල හිටියා නම් මෙහෙම කරන්නේ නෑ.
ප්‍රශ්නය: තනතුරුවල ඔබ හිටියා නම් ඔබ කරන විදිය කොහොමද?
පිළිතුර: මම සන්ධානයේ ලේකම් හැටියට අවුරුදු 11ක් ඉන්නකොට අපි තව තව එකතු කර ගත්තා මිසක..... ජනතා විමුක්ති පෙරමුණ 2004දී සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළ කරල ඉවත් වෙච්ච අවස්ථාව හැර කිසිම දේශපාලන පක්ෂයක් හෝ සාමාජිකයෙක් ඉවත් වුණේ නෑ. ඒ සියලු දෙනාවම එකට එකතු කර ගත්තා. ඒ නිසා තමයි අපට පුළුවන් වුණේ ඒ ජයග්‍රහණය රැකගෙන ජයග්‍රහණය වර්ධනය කරගෙන ඉදිරියට යන්න.
ප්‍රශ්නය: මැයි රැලි 2ක් තියෙනවා. ඔබ යන්නේ නුවර ගැටඹේද? ගෝල්ෆේස්ද?
පිළිතුර: මෙහෙමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තියෙන තැනටනේ අපි යන්න ඕනෑ. ඔය ප්‍රශ්නයේදී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වෙලා මුලින්ම ක්‍රියාකාරී දේශපාලනයට ආවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පක්ෂ නායකත්වයෙ ඉන්න කාලේ. 91දී තමයි මම තරග කළේ. නමුත් 88 ඉඳලා මම වැඩ කරගෙන ගියා. තරුණ සංවිධානයේ ඊට කලින් ඉඳලා හිටියා. ඊට පස්සේ චන්ද්‍රිකා ජනාධිපතිනියත් එක්ක. ඊටත් පස්සෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක පක්ෂයේ හිටියා. පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ පක්ෂයේ ඇති වෙනස්වීමත් එක්ක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂේ සභාපති වුණාම ඒ පක්ෂයේ සාමාජිකයෙක් විදියට මම ඉන්නවා. ඒ නිසා පක්ෂයේ නිල රැලිය තියෙන්නේ නුවර ගැටඹේ. මම යන්නේ ඒකට.
ප්‍රශ්නය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පහක් හයක් ගෝල්ෆේස් වේදිකාවට ගොඩ වෙනවා කියලා රාවයක් යනවා.
පිළිතුර: ඒකනම් මම දන්නේ නෑ.
ප්‍රශ්නය: ඔබ යන්නේ නෑ.
පිළිතුර: නෑ. මම යන්නෙ නුවර ගැටඹේ රැලියට.
ප්‍රශ්නය: ගෝල්ෆේස් එන්න කියලා ආරාධනාවක් ලැබුණද?
පිළිතුර: නෑ නෑ එහෙම ආරාධනාවක් නෑ.
ප්‍රශ්නය: ආරාධනාවක් ලැබුණොත්?
පිළිතුර: මම යන්නේ නුවර ගැටඹේට.
ප්‍රශ්නය: ශ්‍රී ලංකා ඇමැතිවරු ගෝල්ෆේස් යයිද?
පිළිතුර: මම නම් හිතන්නේ නෑ. අපි ඊළඟ ප්‍රශ්නයට යමුද?
ප්‍රශ්නය: ගොල්ෆේස් යන ඇමැතිවරුන්ට මේ පාර නම් වැඩ වරදිනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොක්කන් කියනවා.
පිළිතුර: එවැනි ප්‍රකාශ ඔයවගේ අවස්ථාවලදී කරනවා. ඒවා එහෙම ලොකුවට ගණන් ගන්න අවශ්‍ය නෑ. ඒවා ඉතින් අවස්ථානුකූලව බලන් ඉන්න පුළුවන්.
ප්‍රශ්නය: තෙල් වර්ජනයෙන් රටම රත් වුණා.
පිළිතුර: ඔව් පැහැදිලිවම
ප්‍රශ්නය: අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තේ?
පිළිතුර: ඔව්. තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය 2003 දි නේ මතු වුණේ. 2003 දී එල්.ඕ.අයි.සී. එකට සම්පූර්ණයෙන්ම ඔය අද උත්සාහ කරන විදියටම එදා චරිත රත්වත්තේ භාණ්ඩාගාර ලේකම් හැටියට අත්සන් කරල දුන්නා.
ප්‍රශ්නය: එහෙම ගිවිසුමක් නැහැ කියලත් කියනවා.
පිළිතුර: ඒගොල්ලෝ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරලා තිබුණා. ඒකේ ඕක තිබුණා. හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ ඒ වෙලාවේ කරු ජයසූරිය මැතිතුමා තමයි හිටියේ තෙල් විෂය බාර අමාත්‍යවරයා හැටියට. 2004 අප්‍රේල් මාසයේ රජය වෙනස් වුණා.
ප්‍රශ්නය: ඊට පස්සේ ඒ ඇමතිකම ඔබට ලැබුණා.
පිළිතුර: ඔව්. මට තමයි විෂය පැවරුණේ. මම ඇමැතිකම අරගෙන බැලුවම තෙල් සංස්ථාව පවුම් දෙලක්ෂ පනස්දහසක් 1962දී බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවට නාමික වශයෙන් ගෙවලා තිබුණාට තෙල් සංස්ථාවට භුක්තිය මිසක් අයිතියක් ලැබිලා තිබුණේ නෑ. තෙල් ටැංකි විහිදිලා තියෙනවා අක්කර 625ක තෙල් ටැංකි 102න් 49 ක් භාවිත කරන්න පුළුවන් කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට එම තෙල් ටැංකිවල අයිතිය තිබුණේ නෑ, භුක්තිය තිබුණා. එතකොට 2003දී ඔය ඉන්දියන් තෙල් සමාගමට ගිවිසුමෙන් දුන්නම ඒ ගිවිසුම නීත්‍යානුකූල ද කියන ප්‍රශ්නය මම මතු කළා. මොකද භූමිය අයිති කොටසෙනේ අයිතිය තියෙන්නේ. අයිතියක් නැති කෙනෙක් කොහොමද ඒක බදු දෙන්නේ. එහෙම කරන්න බෑනේ. ඊට පස්සේ මම නීතිපතිගේ උපදෙස් අරගෙන අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා මම කිව්වා මේ අත්සන් කරලා තියෙන ගිවිසුම වලංගු ගිවිසුමක් හැටියට මම පිළිගන්නේ නෑ කියලා. ඒ නිසා ඉන්දියන් සමාගමත් ඒ තෙල් ටැංකි ප්‍රයෝජනයට ගන්න උත්සාහ කළේ නෑ. එතකොට තිබුණේ තෙල් ටැංකි තුනයි. ඔය අතරවාරයේ එතැන දැම්මා ලිහිසි තෙල් ෆැක්ටරිය. සේවෝ කියලා එන්නේ ඒක. ඒ විතරක් නොවෙයි ඉස්සර තෙල් නැව ඇවිල්ලා නළ දාලා ගන්න තියෙන අට්ටාලත් ඉවත් කරලා ඒවත් ඒ අය අලුතෙන් හැදුවා. දැන් මුල් ගිවිසුමේ තිබුණේ සී.පී.එස්. කියන සමාගමට. ඒකේ තුනෙන් එකක් තෙල් සංස්ථාවේ. තුනෙන් එකක් ඉන්දියන් තෙල් සමාගමේ. තුනෙන් එකක් විකුණන්න දාලා තිබුණා භාණ්ඩාගාරය. ඒක අපි ආපහු තෙල් සංස්ථාවට දුන්නා. දැන් තියෙන්නේ තෙල් සංස්ථාවට තුනෙන් දෙකයි. ඉන්දියන් ඔයිල් සමාගමට තුනෙන් එකයි. මේක මේ පොදු පහසුකම් සපයන තැන. හැමෝටම ඇවිත් මේකේ තෙල් දාන්න පුළුවන්. තමන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය බෙදා හැරීම ඒ අය හරහා කර ගන්න පුළුවන්. ඒ නිසා මං කිව්වා මේක දෙන්න පුළුවන් හොඳම එක තමයි ෂෝරින් සමාගම. ඒගොල්ලොනේ ගබඩා කරන්නේ. මේක ලංකාවේ සමාගම් නීතිය යටතේ ලියාපදිංචි සමාගමක්. එහෙම කළොත් මේක රාජතාන්ත්‍රික වශයෙන් විසඳාගන්න පුළුවන්. ඔය ප්‍රශ්නය ඔහොමම තිබුණා. ඒත් විසඳුනේ නෑ.
ප්‍රශ්නය: මලික් සමරවික්‍රම සහ චන්දිම වීරක්කොඩි ඇමැතිවරුන් ඉන්දියාවට ගිහින් එකඟතාවකට ආවා කියලත් වාර්තා වුණා.
පිළිතුර: මම දන්නෙත් නෑ. ඊයේ තමයි මමත් දැන ගත්තේ ඒ ඇමැතිවරුන් දෙන්නම ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරලා තමයි ඇවිත් තියෙන්නේ. මේක ෂෙයා කර ගන්න තමයි එකඟවෙලා තියෙන්නේ.
ප්‍රශ්නය: ඒ කොහොමද?
පිළිතුර: පාර්ට්නර්ෂිප් හැටියට සමාගමක් අලුතෙන් හදලා ඒක යටතේ මේ තෙල් ටැංකි සංවර්ධනය කරන්න.
ප්‍රශ්නය: කැබිනට් එකේදී ඔබ ඒකට විරුද්ධ වුණා.
පිළිතුර: මගේ තර්කය වුණේ එහෙම කරන්න ඕනෑ නෑ කියලයි. එහෙම කරන්නේ මොකටද තුනෙන් දෙකයි තුනෙන් එකයි කොටස් අයිතිය තියෙන සමාගමක් තියෙනවනේ. ඒ සමාගමටම දුන්නම ඉවරනේ. අලුත් සමාගමක් මොකටද? මම මතු කළේ ඒ තර්කය. එතැනදී පනහට පනහද කියන ප්‍රශ්නය නැවත එනවනේ. ඉතින් ඒ මුකුත් ඕනි නැහැනේ. අර සමාගමටම දුන්නානම් ඉවරනේ.
ප්‍රශ්නය: ප්‍රශ්නයේ අලුත් තත්ත්වය කොහොමද?
පිළිතුර: අගමැතිතුමා ඉන්දියාවට ගියානේ.
ප්‍රශ්නය: ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරනවා කියලා ප්‍රවෘත්ති පළ වුණා.
පිළිතුර: නෑ එහෙම අත්සන් කරන්නේ නෑ. රටක රාජ්‍ය නායකයෙක් ගියාම ඒ නායකයා ගිවිසුම් අත්සන් කරන්නේ නෑ. ඒවා අත්සන් කරන්නේ එක්කෝ තානාපති. එහෙම නැතිනම් විෂයබාර ඇමැති යනවා නම් එයා තමයි අත්සන් කරන්නේ. ඕක ව්‍යපාරයක්නේ. විෂය භාර ඇමැති මලික් සමරවික්‍රම එයා තමයි අත්සන් කරන්නේ. මේවාට කියන්නේ අවබෝධතා ගිවිසුම් කියලයි. ඒවා නීතිමය වශයෙන් බලාත්මක කළ හැකි ගිවිසුම් නොවෙයි. ඊට පස්සේ තව කටයුතු ගණනාවක් තියෙනවා. ඉන්දියාවේ තෙල් සමාගම එවන්න ඕනෑ බිස්නස් ප්‍රොපෝෂල් එකක්. ඒකට තෙල් සංස්ථාව එකඟ වෙන්න ඕනෑ. ඒවා අපේ රටේ නීතියට එකඟ වෙන්න ඕන. නීතිපතිට යන්න ඕනෑ. මේ විදියට අදියර ගණනකට ගිහින් තමයි ව්‍යාපාරික ගිවිසුමකට අත්සන් කරන්නේ. එතැනට එනකොට අපේ තර්කය භූමියේ අයිතිය රජයට තියෙන නිසා ඒක ඇමැති මණ්ඩල තීන්දුවක් අරගෙන ජනාධිපතිතුමා අත්සන් කරනකම් කාටවත් ඕක දෙන්න බෑ.
ප්‍රශ්නය: ඔය ඔබ කියන ක්‍රමවේදය වෙයිද?
පිළිතුර: ඒක ඉතින් අනාගතයට බාරයි.
ප්‍රශ්නය: එතකොට වැඩ වර්ජනයක් ආවේ.
පිළිතුර: වැඩ වර්ජනයක් ආවේ තෙල් සංස්ථාවේ සේවකයෝ හිතුවා මේක මම මුලින් කිව්වා වගේම ඉන්දියන් තෙල් සමාගමට ටැංකි ටික යනවා කියලා. ඒ අය විරුද්ධයි අලුතෙන් සමාගමක් හදලා මෙහෙම කරනවාට. මගේ තව තර්කයක් තියෙනවා. ඉන්දියන් තෙල් සමාගම ලංකාවේ තෙල් වෙළඳාම කරන්නේ සියයට 10ත් 15ත් අතර. එතකොට ඔතැන තෙල් ටැංකි 99ක් තියෙන්නේ. ටොන් දසදහස් නවලක්ෂ අසූ දහසක්. එච්චර තෙල් ගබඩා කරලා තියන්නේ පිස්සුවටය. මොකටද?
ප්‍රශ්නය: එහෙම නම් ඔබ සැක කරන හේතුව මොකක්ද?
පිළිතුර: මම කියන්නේ මේ අයට අවශ්‍ය වෙන්නේ තෙල් ටැංකි නොවෙයි. තෙල් ටැංකි පිහිටා තිබෙන භූමියේ භුක්තියයි.
ප්‍රශ්නය: ඒක ස්වෛරීත්වයට තර්ජනයක්.
පිළිතුර: ස්වෛරීත්වයට තර්ජනයක් වන තත්ත්වයක් අනාගතයේ දී එන්න පුළුවන්.
ප්‍රශ්නය: ඔය ඔබ කියන විදියේ අනතුරුදායක දේවල් මේ රටේ වෙන්නේ?
පිළිතුර: රටේ එහෙම දේවල් වෙන්නේ මේවා මෙහෙයවන පිරිස දැනගන්න ඕනා. 2003 දී තිබිලා තියෙන්නේ ඔය ආණ්ඩුවමයි. එදා ඒ ඉටු කරගන්න බැරි වෙච්ච අරමුණ අද ඉටු කරගන්න හදනවා. මට තියෙන ප්‍රශ්නය සම්මුතිවාදී ආණ්ඩුවක ඉඳගෙන එදා විරුද්ධ වුණ එකකට අද එකඟ වෙන්න පුළුවන්ද කියලා. මට නම් බෑ.
ප්‍රශ්නය: නමුත් රටේ නායකයා ජනාධිපති මෛත්‍රීයි.
පිළිතුර: ජනාධිපතිතුමා රටේ නායකයා. හැබැයි ආණ්ඩුවේ නායකයා වෙලා තියෙන්නේ අගමැතිනේ. ආණ්ඩුව මෙහෙයවන්නේ අගමැතිවරයානේ.
ප්‍රශ්නය: අවසානයේදී වගකිව යුත්තේ ජනාධිපතිද? අගමැතිද?
පිළිතුර: මම ඒකයි කිව්වේ අන්තිමට කැබිනට් තීන්දුවක් අරන් ජනාධිපතිතුමා අත්සන් කළ යුතුමයි. ඉතින් එතැනට මේක එයිද කියලා බලමු අපි.
ප්‍රශ්නය: මට කෙළින් උත්තරයක් දෙන්න. අවසානයේ වගකීම බාරගන්න ඕනෑ ජනාධිපතිද? අගමැතිද?
පිළිතුර: දැන් වෙලා තියෙන්නේ 19 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාට තිබුණ බලතල අඩු වුනා. 19 වැනි සංශෝධනය ගේන්න කලින් ජනාධිපතිවරයාට පුළුවන් වුණා ඕනෑම ඇමැතිවරයෙක් පත් කරන්න. අයින් කරන්න. අද එහෙම කරන්න බෑ. අද කරන්න වෙන්නේ අගමැති විමසලා එකඟතාවෙන්. ඒක තමයි 19න් වෙච්ච දේ. එතැනින් එහාට යන්න බැරි වුණා. මුලින්ම යෝජනා කරලා තිබුණේ විධායක අගමැතිවරයෙක් නිර්මාණය කරගන්නනේ. ඒක කරගන්න බැරි වුණා.
ප්‍රශ්නය: ඇමැති රාජිත කියලා තිබුණා මේ අවුරුද්දේ මුලින්ම එන්නේ ජනමත විචාරණයක් කියලා?
පිළිතුර: එතුමාගේ අදහසනේ ඒක. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් මේ අවස්ථාවේ දී ජනමත විචාරණයෙන් මෙහා එකක් මිසක් ජනමත විචාරණයකට යන එකකට අපි එකඟ නෑ කියලා බොහෝම පැහැදිලිව අපි පක්‍ෂයක් හැටියට කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැතිව ජනමත විචාරණයකට යන්න ඕනෑ නම් ගිය දෙන්. අපි නෑ.
ප්‍රශ්නය: ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට විශේෂ බලතල සහිත වගකීමක් බාර දෙන්න යනවා කියල ප්‍රවෘත්ති පළ වෙනවා?
පිළිතුර: එහෙම තීරණයක් ගත්තේ නෑ. නිකම් කතාබහක් ඇති වුණා විතරයි.
ප්‍රශ්නය: ඔබ ඉන්නේ සතුටෙන්ද? වේදනාවෙන්ද?
පිළිතුර: ඒ ඔක්කොටම වඩා කලකිරීමක් තියෙන්නේ.
සාකච්ඡා කළේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්