රට ගමන් කරමින් තිබෙන දිශාව සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් කළ සතියක් ගෙවී ගියේය. සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලා මෙහෙයුම් වාත වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව කීවද, ආරක්ෂක විධි විධාන තරකර ඇතැයි ද ප්‍රකාශ වුවද අණක් ගුණක් නැති පාතාලයන්ගේ ගිනි අවි මහ දවාලෙත් පත්තු වේ. එපමණක් නොව එය ගොදුර දඩයම් කරගත් පාතාලයන්ට නිරුපද්‍රිතව තමන්ට අවශ්‍ය තැනට පලා යාමට ද හැකි වී තිබේ.
මේ ලියැවෙන්නේ ඉකුත් සඳුදා රටම හොල්ලමින් අතුරුගිරියේ දී සිදුවූ ද්විත්ව ඝාතනය හා ඉන් පසු ඇති වූ සිද්ධි දාමයන් සම්බන්ධවය. කෝටිපති ව්‍යාපාරිකයකු බව කියන රාජපක්ෂ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ ප්‍රහාරකයන්ගේ ඉලක්කය වූ බව පැහැදිලිය.
එම වෙඩි ප්‍රහාරයෙන් ක්ලබ් වසන්ත සමග එතැනට ආරාධිතයකු ලෙස පැමිණි බව කියන නයන වාසුල නමැති පුද්ගලයා ද ඝාතනය විය. ඔහු ප්‍රසිද්ධ ගායිකා කේ. සුජීවාගේ සමීපතමයෙකු බව ද වාර්තා වේ. කේ. සුජීවා හා නයන වාසුල ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වී ඇත්තේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ ආරාධනයෙන්
බව ද සඳහන්ය.
අතුරුගිරිය වෙඩි තැබීම කිසි ලෙසකින් හෝ චිකාගෝ පන්නයෙන් වෙනස් නොවන්නකි. රටින් බැහැරව සිටිය ද තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව පාතාල නායකයන් සතුව තිබෙන බවද, අවශ්‍ය තුවක්කුකරුවන් සොයාගැනීමට බාධාවක් නොමැති බවත් මෙම ‘‘අතුරුගිරිය ප්‍රහාරයෙන්’’ ඔප්පු වේ. අප රටක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කොතැනට ද යන්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුව තිබෙන්නේ එහෙයිනි.
‘‘ක්ලබ් වසන්ත’’ සමග වෙඩිකා මියගිය නයන වාසුල නමැත්තා උපැවිදි අයකු බවත් පැවිදිව සිටි සමයේ විචිත්‍ර ධර්ම කථිකයකු බවත් පුන පුනා කියැවෙමින් තිබේ. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය තුළත් මෙම කරුණ රස මසවුලක්ව තලු මරමින් තිබෙන බව ද පැහැදිලිය.
නයන වාසුලගේ ‘‘අතීත ජීවිතය’’ වෙඩි කා මිය යාමට හේතුවක් වූයේ නම් ඒ සම්බන්ධයෙන් කතා කිරීම වරදක් නොවේ. එහෙත් එවැන්නක් තවමත් වාර්තා වී නැත. ඔහු ගෞරවනීය පැවිදි ජීවිතයක් ගත කළ බවත් ඉන් පසුව එම ජීවිතයට ‘‘ආයුබෝවන්’’ කියා ගිහි ජීවිතයට ඇතුළත් වූ බවත් කියති. ගිහි ජීවිතයට ඇතුළු වූ ඔහු නීති විරෝධී ක්‍රමයෙන් මුදල් ඉපයූවකු හෝ පාතාලයට හා මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වූවකු බවට කිසිදු තොරතුරක් නැත.
තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැමෝටම අයිතියක් තිබේ. එම අයිතිය නයන වාසුලට ද තිබේ. ඒ සම්බන්ධයෙන් අන් අය උදහස් වීමෙන් තේරුමක් නැත.
අප මෙම කාරණය මෙලෙසින් අවධාරණය කරන්නේ සහේතුකවය. එම හේතුව නම් නයන වාසුලගේ අතීත ජීවිතය හරහා ඔහුට මඩ ගැසීමට මෙන්ම එයට සමාන්තරව බුදු දහමට ද අපහාස කිරීමේ දුෂ්ට පිළිවෙතක් දක්නට තිබීමය. බුදු දහමට ප්‍රහාර එල්ල කිරීම සංවිධානාත්මකව සිදුවන්නකි. එමෙන්ම එය විවිධ වේශයෙන් ක්‍රියාත්මක වන්නකි. චීවර ධාරියකුගේ යම් අමන වැඩක් වාර්තා වුවහොත් එය සියවසේ සිදු වූ බරපතළම සිද්ධියක් සේ සිතා උලුප්පා දක්වමින් ‘‘ප්‍රචාරණ කටයුතු’’ කිරීම
දැකිය හැකිය.
බුදු දහමට පමණක් නොව කිසිදු ආගමකට නිගරු නොකළ යුතුය. එය ශිෂ්ට සම්පන්න ජනයා බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින්නකි. අප ශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වය කරා ගමන් කළ යුතුය. එහෙත් පෙන්නුම් කරන්නේ අප ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වය කරා ගමන් කරමින් තිබෙන බවය.
ඝාතනය රසවත් කටගැස්මක් බව පත් වූ සමාජයක මෙයට වඩා ශිෂ්ටත්වයෙන් අපේක්ෂා කළ නොහැකිය. මහජනයාට පෙන්විය යුතු දෑ මොනවා ද. නොපෙන්විය යුතු දෑ මොනවාද යන්න ඉරක් ගසා වෙන් කර ගත් ප්‍රශස්ත මාධ්‍ය භාවිතයෙන් අප රට තුළ තිබිණි. එහෙත් වර්තමානය වන විට ඒ සියලු සම්මතයන් සීමාවන් බිඳ වැටී ඇති බව පැහැදිළිය. මරණය රමණීය අත්දැකීමක් බවට පත් වූ සමාජයක විනාශය, ප්‍රමෝදයට හේතුවක් වීම වැළැක්විය නොහැක. අප මේ ගත කරමින් සිටින නිමේෂය යනු ‘‘විනාශය’’ ප්‍රමෝදයට හේතුවක් කරගත් නිමේෂයක් නොවේ ද, යන්න එළැඹ ගත් සිහියෙන් වැඩිය යුතු භාවනා කමටහනකි.
සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නියාමනයක් අවශ්‍ය බවට මතයක් සමාජය තුළ වේ. එබඳු නියාමනයක් අවශ්‍ය නොවන බවට ද මතයකි. ‘‘ඔබ අත රැඳි යෂ්ටිය වැනීමට ඔබට ඇති අයිතිය අනෙකාගේ නාසය අගින් කෙළවර වේ’’ යන්න මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සුපතළ කියමනකි.
එය නොදන්වා නම් මතක් කර ගතයුතුය. සමාජ කතා බහවන සියල්ල මාධ්‍යයේ යායුතු නොවේ. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර වෙනස එයයි.