සජිත්ගේ උපන් ගමෙන් ඇසෙන කතා


හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස උපන් මැද කොළඹ, අවවරප්‍රසාදලාභී බහුතර ජනගහනයකින් යුත් ජනවර්ග විවිධත්වය කැපීපෙනෙන සුවිශේෂ ප්‍රදේශයකි. අධිජන පීඩනයට සරිලන යටිතල පහසුකම් නොමැතිකම ඇතුළුව ගැටලු‍ සමුදායකට විසඳුම් සොයා පොරබැදූ නායකයෙකුගේ වියෝවෙන් පසුව ඔහු විසූ නිවහන “සුචරිතය”‍ සංරක්ෂණය කර ඒ බිමෙහිම පිහිටි කාර්යාලය සහ ශාලාව දැන් මහජනයාට විවෘත අවකාශයක් බවට පත්කර ඇත. එය අවට මහල් නිවාස පද්ධතියකි. පැල්පත්වාසීන් දහස් ගණනක් මහල් නිවාසවල ජීවත්වෙන්නන් බවට පත් කළ ඓතිහාසික පසුබිමක දෛනික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පොරබදන තරුණ පරම්පරාවක්ද එය නියෝජනය කරයි.
සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මෙවන් පසුබිමකය. සජිත්ගේ උපන් ගම හෙවත් මැද කොළඹ ජනතාවගේ සිත්වලට ඔහු දැනෙන්නේ කෙසේ ද? 
සුචරිතය සෙවනෙහි ටේලර් සාප්පුවක් පවත්වාගෙන යන සුනිල් පියදාස පිය පුතු දෙපළම ගැන සංවේදීකම් ඇති මිනිසෙකි. ඔහු මෙසේ පැවසීය.
“සජිත් මහත්තයට නූලට තියෙන්න ඕනෑ. නැත්තං සතුටු වෙන්නෙ නැහැ. ඔහුගේ විශේෂ අවස්ථාවලට අවශ්‍ය ඇඳුම් මැහුවෙ මම. මම දන්නව ඒ ගැන. තාත්තගෙ පුතානෙ ඉතින්. ඒ ගුණ තමයි පිහිටලා තියෙන්නෙ. හැම වැඩක්ම හරියට නිවැරදිව අවශ්‍ය වෙලාවට තියෙන්න ඕනැ.”‍


එවක ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා තම ඇඳුම් මසන්නට බාර දුන්නේ මරදාන ජෝන් බ්‍රදර්ස් වෙතටය. ඇඳුම් පිළිවෙළට මසා තිබෙනු දැකීමෙන් ඔහු සතුටට පත්විය.
”‍මම නෙවෙයි සර් මෙන්න 
මෙයයි මහන්නෙ”‍
ආයතනයෙහි හිමිකරු තරුණයෙකු පෙන්නුවේය. සුනිල් පියදාස නම් ඒ තරුණයා සුචරිතයට කැඳවාගෙන ඒමට ප්‍රේමදාස ජනාධිපතිවරයා තීන්දු කළේය. ඉන්පසු ඔහු තම මහන මැෂිමත් රැගෙන සුචරිත නිවස ඉදිරිපිට ගොඩනැගිල්ලෙහි කාමරයට ආවේය.
“මම අවුරුදු 15ක් එතුමගෙ ඇඳුම් මැහුවා. සජිත් මහත්තයගෙ ඒවා ඊට පස්සෙ මහන්න පටන් ගත්තා.”‍
සුනිල් පැරණි ඡායාරූප 
පෙන්වමින් කියයි.


“තාත්තාගේ අඩි පාරේ යන සජිත් මහත්තයටත් පොඩි මිනිස්සුන්ගේ අවශ්‍යතා හොඳින් දැනෙනවා. ඔහු රටේ ජනාධිපති වුණොත් අනාගතය හොඳයි”‍ සුනිල් පවසයි.
නගර සභාවෙහි සේවය කර විශ්‍රාම ගිය උපාලි විජේවර්ධන ගුණසිංහපුර පදිංචිකරුවෙකි. ඔහු මෙසේ කියයි.
“සජිත් මහත්තයා ඉදිරිපත් වුණු එක අපේ වගේම රටේම භාග්‍යයක්. විපක්ෂ නායක හැටියට ඔහු දැනට කරමින් තිබෙන මහජන සේවා අනුව රටේ නායකයා වුණොත් ලොකු වැඩක් කළ හැකි බව අපට විශ්වාසයි.
ආර්. ප්‍රේමදාස මහත්තය මේ ගමට, කොළඹට සහ රටටම ලොකු වැඩක් කළ නායකයෙක්. එතුමා නවත්තපු තැන ඉඳලා සජිත් මහත්තයට ඉදිරියට යන්න පුළුවන්. මේ මිනිස්සු පැල්පත්වල ගාල්වෙලා දුක් වින්දා. සුචරිත මහල් නිවාස, ඩැනිස්ටර් ද සිල්වා මාවත මහල් නිවාස, කොළඹ 14 ඩිමෙල් නිවාස, කොස්ගස් හන්දිය, විතානගේ මාවත, සෝන්ඩර්ස් නිවාස, මාලිගාවත්ත නිවාස, සාංචිආරච්චි වත්ත, ගුණසිංහපුර මහල් නිවාස පද්ධතිය වගේ ඒව ගත්තොත් එය තනි ඔළුවකින් සැලසුම් කළ බරපතළ වැඩ. කිසිම නායකයෙක් එහෙම වැඩ 
කළේ නැහැ. 
ක්‍රීඩාංගණ, ළමා උද්‍යාන, රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, පාසල් ඉදිකර කොළඹ ලොකු වෙනසක් කළේ ආර්. ප්‍රේමදාස මහත්තයා. මාපිය කැපකරු ක්‍රමය කොච්චර වටිනා වැඩක්ද? සජිත් රටේ නායකයා වුණේ නැහැ තවම. ඒත් ඇමතිවරයෙක් හැටියට, විපක්ෂ නායක හැටියට මන්ත්‍රීවරයෙක් හැටියට ඔහු කළ, කරමින් සිටින වැඩ කොටස සුළුපටු නැහැ. සමහරු සරදමට ලක් කළත් සේවය ලබපු අය ඒ වටිනාකම දන්නවා. සුචරිත ශාලාවෙ පාසලෙන් නොමිලේ ඉගෙනගත්තු ගුණසිංහපුර දරුවන් වගේම උගන්නපු ගුරුවරු, මේ සියලු‍ අය දන්නවා ප්‍රේමදාසලගෙ වටිනාකම. ඒ නිසා සජිත් තමයි මීළඟ නායකත්වයට සුදුස්සා.”‍
ඩබ්. එල්. එස්. චන්ද්‍රසේකර ඩයස් පෙදෙසෙහි පදිංචිකරුවෙකි. මැද කොළඹ ඉතිහාසයෙහි පරිවර්තන දෑසින් බලා සිටි, හදවතින් දරා සිටි ඔහු 
මෙසේ කියයි.
“සජිත් මුලින්ම මන්ත්‍රීවරයෙක් වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ඔහු ඒ පළාතට ගියේ කැමැත්තෙන්. පුදුම කැපවීමකින් සේවය කළේ. අගනුවරට වෙලා සැප විඳින්න පුළුවන්කම තියෙද්දි ඈත ගම්වල දුක් විඳින මිනිස්සුන්ට පුළුවන් හැම විදියෙම්ම වැඩ කළා. මන්ත්‍රී ධුරයෙන් එහා ගිය වගකීම් ඉටු කළා. ඔහුගේ සේවය නොලබපු එකම පවුලක්වත් ඒ පළාතේ නැති බවයි මගේ වැටහීම. හුස්ම වැඩසටහන, සක්වළ, පාසල්වලට බස් රථ ලබාදීම, ස්වයං රැකියා මාර්ග සාදා දීම යනාදී වැඩ ගොඩක් කරගෙන ආවා. මේවා ගැරහීමට ලක් කිරීම ගැන කනගාටුයි. ආර්. ප්‍රේමදාස මහත්තයා 71 කැරැල්ලෙ හිටපු උගතෙකු වන සුසිල් සිරිවර්ධනට නිසි තැන දීලා රටට ලොකු වැඩක් ගත්තා වගේම සජිත් දක්ෂ කණ්ඩයාමක් ළඟට අරගෙන වැඩ කරනවා. සුදුසු අයට වගකීම් දෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අය අතරින් වැඩ කර ඇති, වැඩක් කළ හැකි නායකයා 


සජිත් ප්‍රේමදාසයි.”‍
ගුණසිංහපුර, ඩයස් පෙදෙසෙහි පදිංචි ලියනගේ ශිරෝමා පවසන්නේ ප්‍රේමදාස පවුල තරම් පීඩිත මිනිසුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් දේශපාලන පවුලක් නොමැති බවය.
“රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගමේ මනුස්සයෙක් හැටියට අප අමතක නොකර අපේ හැමදේම ගැන හොයා බැලු‍වා. මහල් නිවාස හදලා අපට පදිංචිය දුන්නට පස්සෙත් නිතර ආවා. අඩුපාඩු බැලු‍වා. කුණු රොඩු තියෙන්න බෑ කොහෙවත්. වහාම ඒකට පියවර ගත්තා. අඩුපාඩු හදන්න නිලධාරීන්ට උපදෙස් දුන්නා. එතුමා මියගියාට පසු සජිත් සහ දුලාංජලී පුළුවන් හැටියට ඇවිත් මිනිස්සුන්ගෙ අවශ්‍යතා හොයලා බලනවා. හැබැයි ඔප්පු ලැබුණට පස්සෙ සමහර මහල් නිවාස විකුණලා තියනවා. සමහර ගැටලු‍ත් තියනවා. පොදුවේ නඩත්තු කිරීම්වල අඩුපාඩු තියනවා. රාජ්‍ය අංශයේ ආයතනවල ක්‍රියාකාරිත්වය වෙනදා වගේ නැහැ. මේ ප්‍රදේශය දියුණු කළේ තමන්ගෙ පක්ෂයේ අය නොවන නිසා වරින්වර බලයට පත්වුණු පක්ෂවල වගකිව යුතු අය හිතාමතාම වගකීම් පැහැර හැරියා. ඒ ගැටලු‍ අදටත් ඉතිරි වෙලා. පොදු පහසුකම් මණ්ඩලය වගේම සහාධිපත්‍ය කළමනාකරණ ආයතනය ක්‍රියාත්මක වන්නෙ නැහැ. නගර සභාව සමග පොදු පහසුකම් මණ්ඩලය එක්ව කළ කටයුතු නැවතිලා. සජිත් මහත්තයා බලයට පත්වුණාම තිබෙන පළමු වගකීම තමයි අක්‍රීය වූ එම ආයතන සක්‍රීය කරන එක.”‍ මොහොමඩ් ඩීන් නුර්ජාන්ගේ පවුලේ කිහිප දෙනෙකු 1994 ජනාධිපතිවරණ සමයේ තොටළඟ බෝම්බයට ගොදුරුවී තිබේ. බිඳවැටුණු ජීවිත ඔවුන් නැවත ගොඩනගාගෙන ඇත්තේ අමාරුවෙනි.
“මගේ මහත්තයා මල් කඩයක් කරගෙන යනවා. වතුවල දුක් විඳපු අපි මිනිස්සු හැටියට ඔලු‍ව කෙළින් කරගෙන ජීවත් වෙන්නෙ ප්‍රේමදාස මහත්තයලා නිසයි. තාත්තා මියගියත් දුලංජලී සහ සජිත් අප අමතක කර නැහැ. කවුරු මොන දේශපාලනය ගැන කීවත් මහපොළොවේ පය ගහලා ඉන්න නායකයන් ගැන විතරයි අපට විශ්වාසය තබන්න පුළුවන්.”‍ ඒ ඔවුන්ගේ සිත්වල ඇති 
අචල විශ්වාසයයි.
“ප්‍රේමදාස මහත්තයා ජීවතුන් අතර ඉන්න කාලෙ විශාල වැඩ කොටසක් මේ පළාතට වගේම රටටම කළ බව ඇත්ත. ඒත් අද තියෙන්නෙ වෙනස් සමාජයක්. ඒ කාලෙ සැලසුම් කළ විදියට සැලසුම් කරලා දැන් හරියන්නෙ නෑ. උදාගම් නිවාස සංකල්පය වුණත් වෙනසකට ලක් විය යුතු බවයි මගේ හැඟීම. නිවාසවල ආකෘතිය පවා වෙනස් විය යුතුයි. හැම තැන එකවර ක්‍රියාත්මක නොකර කරන තැන් හරියට කර වැඩ අවසානයක් දැකිය යුතුයි. උදාගම්වල දැනට ඇතිවෙලා තියෙන ගැටලු‍ අපට පෙනෙනවා. අලු‍ත් පරම්පරාව හිතන විදිය, රැකියා අපේක්ෂා වෙනස්. ඒ ගැනත් හිතන්න වෙනවා. සක්වළ වැඩසටහන මා ඉහළින්ම අගය කරනවා.”‍
තොරතුරු තාක්ෂණ උපාධිය හදාරන සිසුවෙකු වන එස්. අමීන් මෙසේ පවසයි.
1980 දශකයෙහි රට අරාජික වූ සමයේ අමිහිරි අත්දැකීම්ද අළු යට ගිනි මෙන් ඇති අයුරු ඇතැම් අයගේ ප්‍රකාශවලින් පැහැදිලි විය.
“කැරැල්ල මර්දනය කළායින් පස්සෙ ජනාධිපති ප්‍රේමදාස තරුණ අසහන කොමිෂන් සභාවක් පත් කරලා නැවත එවැනි තත්වයක් ඇති නොවන්න අවංකව පියවර ගත්තේ ඔහු නැතිවූ තරුණ ජීවිත ගැන කම්පා වූ නිසයි. 
මන්ත්‍රී ලැයිස්තුව වෙනුවට තරග විභාගවලින් රැකියාවලට බඳවා ගත යුතු බව කොමිසමේ නිර්දේශයක්. හැබැයි ප්‍රේමදාස මහත්තයගෙ මරණින් පස්සෙ එම පක්ෂේ අය ඒක අමතක කළා. සජිත් ප්‍රේමදාස වුණත් ඒ ගැන නොසලකා හැර ඇති බවයි මගේ හැඟීම. ඒ නිසා ඔහු බලයට පත්වුණොත් පියාටත් ගෞරව පිණිස ඔහු කළ යුතු පළමු කටයුත්ත තමයි තරුණ අසහන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම.”‍
ගුණසිංහපුර පදිංචි එස්. එච්. මුදලිගේ මෙසේ පවසයි.
“අසූ ගණන්වල විජේවීර ජනාධිපති ධුරයේත්, ප්‍රේමදාස කැරලි නායකත්වයේත් හිටියා යැයි අපි අනුමාන කරමු. එහෙම වුණා නම් ඝාතනයට ලක් වන්නෙ කවුද කියලා හිතා බලන්න. රාජ්‍ය විරෝධී කැරැල්ලක් ආවම කිසිම පාලකයෙක් අතගගා ඉන්නෙ නැහැ. 1971දී සිරිමා බණ්ඩාරනායක කළෙත් ඒකමයි.”‍ සුචරිත මාවතෙහිදී හමුවූ රූපරත්න ලියනගේ පැවසීය.
අප සමග කතා කළ ඇතැමෙක් නමින් පෙනීසිටින්නට අකමැති වූහ. ප්‍රේමදාස පවුලේ දේශපාලනයට විරුද්ධව අදහස් දැක්වූ අයෙක් මෙසේ පැවසීය.
“මේ නාන ළිඳේ අදටත් 500ක් විතර නානවා. මේකෙන් තමයි රණසිංහ ප්‍රේමදාස මහත්තයත් නෑවේ. එතුමා ඉහළ ම තනතුරට ගියත් පුංචි මිනිහාගේ ගතිය තමයි තිබුණේ. ඒක නං අමතක වෙන්නෑ.”‍
සජිත් පහේ පන්තිය දක්වා ඉගෙන ගත්තේ සාන්ත තෝමස් විදුහලෙනි. ඉන් පසු සාමාන්‍ය පෙළ දක්වා රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. කොළඹ විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් සජිත්ගේ  පාසල් මිතුරෙකි. ඔහු තම පන්ති මිත්‍රයාගේ මිත්‍රශීලී බව අගය කරයි.
“හයේ පන්තියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සජිතුත් මමත් රාජකීය විද්‍යාලෙ එකම පන්තියෙ ඉගෙන ගත්තේ. ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වූ මා රාජකීය විදුහලට බඳවා ගැනීමේ පරීක්ෂණයෙන් දිවයිනෙන් ප්‍රථමයා හැටියට සමත් වුණා. 1978 ජනවාරි 8දා තමයි බඳවාගැනීමේ උත්සවය තිබුණේ. සජිත් මට හමුවුණේ ඊට පසුවදා එනම් ජනවාරි 9දා. ඔහු ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහලේ සිට පැමිණියේ.
අප එකට ඇසුරු කළ වසර හතරක පමණ පාසල් ජීවිත කාලයේත්, ඉන්පසු අද දක්වාත් මා ඔහුගේ දකින විශේෂත්වය තමයි මිත්‍රශීලී බව, සුහදත්වය හා සමානාත්මතා සංකල්පය. අප සමග දේශපාලඥයන්ගේ සහ විවිධ ප්‍රභූවරුන්ගේ දරුවන් ඉගෙන ගත්තා. ඒ කාලේ රාජකීය විද්‍යාලයේ තිබුණු සංස්කෘතිය සහ ගුරුවරුන්ගේ සිරිත සෑම දරුවෙකුටම සමාන කොට සැලකීම, කාටවත් විශේෂත්වයක් නෑ. සජිත්ගෙ පියා එකල අගමැති. සජිත් කිසි ම විටෙක තමා අගමැතිගෙ පුතා බව සිතට අරන් කටයුතු කළේ නැහැ. ඔහු පන්තියේ කැපී පෙනෙන දක්ෂයන් අතර එක් කෙනෙක්. නිල ඇඳුම අප කාටත් පොදු වුණත් ඔහුගේ නේවි බ්ලූ කලිසම, කළු පාට බ්‍රීෆ් කේස් එක, පාට පාට බීම වර්ග දාපු බෝතලය අමුතු ආකර්ෂණයක් පෙන්නුම් කළා.
ඉංග්‍රීසි සහ දෙමළ ඉගෙන ගන්න අතරෙ අමතර භාෂාවක් අප ඉගෙන ගත යුතුයි. ඔහු ඉගෙනගත්තෙ ජර්මන් බස. මම ඉංග්‍රීසි සාහිත්‍යය. ඉංග්‍රීසි භාෂාවට අමතරව ඉංග්‍රීසි උච්චාරණය වෙනම ඉගැන්නුවා. ඔහු ඒ දෙකෙහිම දක්ෂයෙක්. ඔහු අපරදිග සංගීතයත් ඉගෙන ගත්තා. ඔහු දක්ෂ ගායකයෙක්. ගිටාර් වාදකයෙක්. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. අපේ පන්තිවල ක්‍රිකට් කණ්ඩායම් තිබුණා. ඔහු වමත් වේග පන්දු යවන්නෙක්. දකුණත් පිතිකරුවෙක්. ඔහුගේ පන්දුවලින් මා දැවී ගිය අවස්ථා මට මතකයි.
ආර්. ප්‍රේමදාස අගමැතිවරයගෙ පුතා වගේම ජෝර්ජ් රාජපක්ෂගෙ පුතා ශ්‍යාම් ලාල් ඉගෙන ගත්තෙත් අපේ පන්තියෙ. මට මතකයි නවම් මහේ පෝයට අපි සිල් ගත් දවසක දවල් කෑම ගෙනාවෙ සජිත්ගෙ ගෙදරින්. සජිත් තමයි අපි හැමෝටම කෑම බෙදුවෙ. ශ්‍යාම් ලාල් තමයි 
අතුරුපස ගෙනාවෙ.
අනෙක් ළමයි වගේම අප දෙදෙනා අතරත් රණ්ඩු සරුවල් නොතිබුණාම නොවෙයි. දවසක් අපි දෙන්නා අතර උදේ ඉඳලම බැණ ගැනීමක් තිබුණ. කෘෂිකර්ම පීරියඩ් එකේ අපි ගෙවත්තට ඇවිත් වැඩ කරන්න පටන්ගත්තා. 
ඒ අතරෙ රණ්ඩුව දුර දිග ගිහින් අපි දෙන්නා ගහහගත්තා. මම ඔහුට වඩා සිරුරෙන් කුඩයි. මට ඔහු සමග ගහගන්න බැහැ. මම ගඩොල් කැටයක් අතට ගත්තා. උඩ තට්ටුවෙ ඉඳලා අපි දිහා බලාන හිටපු අමරදාස සර් කෑගහලා අපි දෙන්නා ගෙන්නුවා. ගැටුම විභාග කළා. ශිෂ්‍ය වාර්තා පොතේ ලියැවුණොත් ඒක අපේ අනාගතයට බලපානවා. ශිෂ්‍ය නායකකම් ලැබෙන්නෑ. අමරදාස සර් ඒක පොතේ නොලියා අපට කොළ දෙකක් දුන්නා. ගෙදරින් අත්සන් කරගෙන ඇවිත් පහුවදා ඩිටෙන්ෂන් රූම් එකට යන්න ඕනෑ. මම හොඳටම බයවුණා. ඒත් පහුවදා අපි දෙන්නා ඒකට යද්දිත් යාළුවෙලා කතා කරමින් එතෙන්ට ගියෙ. ඒකෙ ඉන්නෙ ශිෂ්‍ය නායකයො. වචන තුන්දාහක් ලිවීම වගේ දඬුවම් තමයි ලැබෙන්නෙ. ඩිටෙන්ෂන් රූම් එකෙන් එළියට ආවම සජිත් මට මෙහෙම කීවා.
“දැං යද්දි හවස් වෙනවා. මං උඹ ගෙදරට දාන්නම්.”‍
ඒ කාලෙ සජිත් ආවෙ කාර් එකක. මම කෝට්ටේ, මහප්පගෙ ගෙදර ඉඳන් ස්කූල් බස් එකේ ආවෙ.
“මම බස් එකේම යන්නම්.”‍ මම සජිත්ට කීවා. ඔහු මාව අරලින්නමයි 
උත්සාහ කළේ.
අපි දෙදෙනාම ශිෂ්‍ය නායකයො හැටියට තෝරාගත්තා. මම බාහිර වැඩ හැටියට සාහිත්‍ය කලාවලට උනන්දු වෙද්දි ඔහුත් ක්‍රිකට් ඇතුළුව විවිධ හැකියාවන් පෙන්නුවා. වගකීම් දැරීමේ හැකියාව, නායකත්ව ලක්ෂණ 
ඔහුට තිබුණා.
වසර හතළිස් ගණනකට පෙර එවැනි අත්දැකීම් රැසක් සිහිවෙනවා.
පස්සෙ කාලෙ විවිධ සාහිත්‍ය උත්සවවලදි සජිත් මට හමුවූ අවස්ථාවල ඔහු සභාවේ අමුත්තන්ට මා හඳුන්වා දෙන්නෙ මේ අපේ පන්තියේ පළවෙනියා බව කියමින්. මා සාහිත්‍ය අනුමණ්ඩලයෙ සභාපති හැටියට කටයුතු කරද්දි උත්සවයෙ ප්‍රධාන අමුත්තන් හැටියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාසත් වේදිකාවට එනකොට සාමාන්‍යයෙන් අනුගමනය කරන අනුපිළිවෙළ නොතකා මට ඉදිරියෙන් යන්න සැලැස්සුවා. එවැනි ඕනැම අවස්ථාවක ඔහු මා දුටුවම ඉස්සර හමුවූ පාසල්, මිතුරා හැටියට කරට අත දාගැනීම ඔහුගේ සිරිතක්.”‍
තිඹිරියාගම බණ්ඩාර