සිහින විජිතේ
ආණ්ඩුවේ ප්‍රකාශකයා වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. වර්තමාන ආණ්ඩුවේ ප්‍රකාශකයා වී සිටින විජිත හේරත් අමාත්‍යවරයාට මේ අලුත් රස්සාව ලෙහෙසි පහසු එකක් වී නැත්තේ දවසින් දවස අලුත් ප්‍රශ්න ගොඩගැහෙන නිසාය. මීට පෙර මාධ්‍ය ප්‍රකාශක වූ බන්දුල ගුණවර්ධන ඓතිහාසික කතා කියූවෙකි. ඔහු ඇතැම් විට ප්‍රශ්නයෙන් පැන යන්නට ගොන් කතා කියූ බව අපි අත්දුටුවෙමු. වර්තමාන අණ්ඩුවේ කණ්ඩායම ඒ කාලයේ මේ කතා සමච්චලයට ලක් කළේය. එහෙත් බැලනස් කිරීමේ දී ඇතැම් ප්‍රශ්නවලට ගොන් කතා කියා පැනයාම හොඳ ක්‍රමයක් බව දැන් දැන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයාට තේරුම් ගොස් ඇති බව පැහැදිලිය.
මුදල් අච්චු ගැසීම ගැන කතාව බරපතළ තැනකට තල්ලු වෙමින් තිබේ. මේ ගැන කියන මාධ්‍යයට, ජනාධිපතිවරයා තර්ජනය කළ බව නැගෙන චෝදනාවායි. මේ රටේ ඕනෑම ජනාධිපතිවරයෙක් එසේය. මාධ්‍යයේ පීඩනය වැඩිවන විට සැර කතාවක් කියයි. හිටපු ජනාධිපති රනිල්, මහින්ද, චන්ද්‍රිකා මේ සියලු දෙනාම එකය. එවැනි තර්ජන කරන්නට ආවේ නැත්තේ සිරිසේන ජනාධිපතිය. අනෙක් පැත්තෙන් ඔහුගේ තර්ජන මාධ්‍ය ගණන් ගත්තේද නැත.
වර්තමාන ජනාධිපතිවරයා නිරන්තරයෙන් මාධ්‍ය සමග කටයුතු කළ අයෙකි. ප්‍රධාන නූතන මාධ්‍ය ධාරාවේ සියලුම අංශ සමග ඔහුට සමීප බවක් තිබුණි. මාධ්‍යවේදීන් “අනුර අයියා” යන පොදු නමින් ඔහුට ඇමතුවේය. එහෙත් එදා අනුර දැඩිව විශ්වාස කළේ සමාජ මාධ්‍යයයි. තමන්ට බලය ලැබෙන්නට හේතුව සමාජ මාධ්‍ය යැයි ඔහු බලය ලැබෙන්නට පෙරම කීවේය. එහෙත් සමාජ මාධ්‍ය නියාමනයක් නොමැති තැනක තිබෙන බවත්, වැඩි දෙනෙකු බලන තැනට ඇල්ගෝරිදම් වෙනස්වෙන බවත් ජාජබ අමතක කළ කරුණයි. මේ නිසා සමාජ මාධ්‍ය තුළ තමන්ගේ ජනප්‍රියතාව වැඩි කරන්නට නම් ඡන්දයට පෙර මෙන්ම තමන්ගේ සමාජ මාධ්‍ය කණ්ඩායම් සක්‍රීය කරන්නට ජාජබට සිදුවෙයි.
විජිත හේරත් ඇමතිතුමා, මුදල් අච්චු ගැසීමේ ප්රශ්නය ගත්තේද සමාජ මාධ්‍යයේ දැක්කා කියමිනි. අවසානයේ ඔහු ප්‍රශ්නයට උත්තර ලෙස දුන්නේ ‘‘අපි මුදල් අච්චු ගහලා නැහැ, මුදල් ඇමති අනුරගේ අත්සන තියන මුදල් නෝට්ටු තියනවා නම් පෙන්වන්න, අපිත් ආසයි එතුමගේ අත්සන තියන මුදල් නෝට්ටු දකින්න’’ ආදිය කීමෙනි. අවසාන කතාව රජයේ මාධ්‍ය ප්රකාශකවරයෙකුගේ කතාවකි. එසේම ඊට පෙර කතාද එවැනිමය.
කෙසේ වුවත් බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ න්‍යායාත්මක පිළිතුරකි. ලැබෙන්නේ බන්දුල ගුණවර්ධන පන්නයේ පිළිතුරුය. විජිත ඇමතිතුමා දැන් හදාගත යුත්තේ ඇතැම් ප්‍රශ්නවලට මුහුණ වෙනස් කර නොගෙන පිළිතුරු දීමයි. එවිට පෙර ආණ්ඩු සහ දැන් ආණ්ඩුව අතර වෙනසක් නැති බව බොහෝ දෙනාට දැකගත හැකිවනු ඇත. කියද්දී එහෙමයි - කරද්දි මෙහෙයි කියා මේ රටේ ජනතාව සහසුද්දයෙන්ම දනිති. ඒ නිසා මේ ආණ්ඩුව ඇතැම් ප්‍රශ්න සරළව ගත්තා කියා කිසිවෙකු තවම මැසිවිලි කියන්නේ නැත. එහෙත් හිටපු ජනාධිපති ගෙදර යැව්වේ හැම දේම සරලව ගන්නට නොවන බව ද අමතක කළ යුතු නැත.
කෙසේ වුවද ජනතාව අමතක නොකළ යුත්තේ මේ ආණ්ඩුව පත්කළේ ආර්ථිකය හදන්නට නොව දේශපාලන සංස්කෘතිය වෙනස් කර ඒ හරහා වෙනසක් ඇති කර ගැනීමටය. ජනතාව කළ යුත්තේ ඒ වෙනුවෙන් වැඩ කිරීමට ඇමැතිවරුන් පෙලඹවීමයි. ආණ්ඩුවේ හඬ වෙන විජිත හේරත් ඇමතිතුමා මේ ගැන සිතා උත්තර දුන්නා නම් අපි උත්සාහ කරන්නේ මුදල් ඇමතිතුමාගේ අත්සන ඇති මුදල් නෝට්ටු කිසිදාක නොදකින්න යැයි කියනු ඇත. එහෙත් තාමත් තත්ත්වය ඩාම්ය. ඩූම්ය.
රනිල්ගේ බෝම්බ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණයට සිලින්ඩරය ලකුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද සටන පටන්ගත්තේ ගිය සතියේය. ඔහුගේ රැස්වීම් මාලාව මුලින්ම ආරම්භ වූයේ මීගමුවෙනි. සංවිධානය කර තිබුණේ එජාප නියෝජ්‍ය නායක මෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සිලින්ඩරයෙන් තරග කරන කණ්ඩායමේ නායක, රුවන් විජයවර්ධන හිටපු රාජ්‍ය ඇමැතිවරයා සහ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නියෝජ්‍ය නායකයා වන නිමල් ලංසාගේ මූලිකත්වයෙනි. මීගමුව ඩිලන්රෝ හෝටලයේ පැවති රනිල්ගේ මුල්ම රැස්වීමට දිස්ත්‍රික්කයෙන් තරග කරන රුවන් විජයවර්ධන, නිමල් ලන්සා, ලසන්ත අලගියවන්න ඇතුළු සියලුම අපේක්ෂකයෝ සහභාගී වී සිටියහ.
තමා වෙනුවෙන් ජනපතිවරණයට වෙහෙස මහන්සි වූ හිටපු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රට වටා සංචාරය කරන්නට රනිල් කටයුතු කළේය. ඒ අනුව රනිල් ඉකුත් සතියේදී මීගමුව මෙන්ම අතුරුගිරිය, පන්නල, දඹුල්ල සහ මහනුවර ජන හමු සඳහා සහභාගී වී දේශපාලන බෝම්බ කිහිපයක්ම
පත්තු කළේය.
“සර් ඡන්දෙ ඉල්ලන්නේ නැති වුනත් අපි වෙනුවෙන් රට වටේ ගිහින් කතා කරන එක ගැන අපිට ලොකු කෘතඥතාවක් තියෙනවා. සජිත් එයාගේ අපේක්ෂකයෝ දිනවන්න රටේ කිසිම තැනකට යන්නේ නෑ කියලා සජබෙ අය කලකිරීමකින් ඉන්නෙ” මහින්දානන්ද පැවසුවේ රනිල් මහනුවර ජන හමුවට පැමිණි අවස්ථාවේදීය.
රාජ්‍ය සේවක වැටුප්
රනිල් එම ජනහමුවලදී පත්තු කළ පළමු බෝම්බය වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ප්රශ්නයයි.
කොළඹ ගෑස් සිලින්ඩර කාර්යාලයේදී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවේදී, මුලින්ම අදාළ ප්රශ්නය ගැන සාකච්ඡා කළ රනිල් ,ආණ්ඩුව එම ප්රශ්නය විසඳන තුරු ප්රශ්නය ගැන කතා කිරීම අත් නොහරින බවට ආණ්ඩුවට අභියෝගයක්ද කළේය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කර, ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා පත්කළ උදය සෙනෙවිරත්න කමිටු නිර්දේශ මාධ්‍ය හමුවේ ගෙනහැර දැක්වූ රනිල්, වත්මන් ජනපති අනුර දිසානායකගේ ආර්ථික උපදේශකයෙකු වන දුමින්ද හුලංගමුවද එම කමිටුවේ සාමාජිකත්වය දැරූ බව ප්‍රකාශයට පත් කළේ ආණ්ඩුවේ කටවල් බොහොමයක් නිරුත්තර කරමිනි.
රාජ්‍ය සේවකයන්ගේ අදාළ වැටුප් වැඩි වීම කර තිබෙන්නේ නීත්‍යනුකූල පදනමකට නොවේ යැයි අගමැති හරිනි ප්‍රසිද්ධ වේදිකාවක කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්, රනිල් ප්‍රති අභියෝගයක් කළේ අදාළ වැටුප් වැඩිවීම අනීතික ලෙස කර ඇතැයි ඔප්පු කරන ලෙසටයි. අදාළ වැටුප් වැඩි කිරීමට රාජ්‍ය නිලධාරීන් යෙදූ අත්සන් බොරු යැයි ඔප්පු කරන ලෙසද රනිල් අගමැතිවරියට අභියෝග කළේය.
එම කරුණ ඔප්පු කරන්නට බැරි වුවහොත් අගමැතිවරිය ලෙස බොරු කීමේ පදනම අනුව අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද රනිල් පැවසුවේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ලේඛනද රනිල් මාධ්‍යයට නිකුත් කළේය.
“මං පත්තු කරන පහන් වලින් මේ අය නිවන් දකින්නයි යන්නේ”
රනිල් මහනුවර ජන හමුවේදී එසේ පැවසූයේ එහි සිටි පාක්ෂිකයන් සියලු දෙනාම සිනා සයුරේ ගිල්වමිනි.
“සර් කියපු කතාව සැහැල්ලුවෙන් හිනාවෙලා ඉවතලන්න සුදුසු කතාවක් නෙමෙයි. මේ ආණ්ඩුව තාම යන්නේ රනිල් හදපු අඩි පාරේ. ඒ අඩි පාර නැත්නම් මේ අය නන්නත්තාර වෙලා” කතාව පවත්වා වේදිකාවෙන් බැස අසුනට පැමිණි රනිල්ට අනුරාධ ජයරත්න පැවසීය.
“මම ඉතිහාසේ කවදාවත් පෞද්ගලික ලකුණු දාගන්න දේශපාලනය කරලා නෑ. ළමයි වඩාගෙන, බොරු පුරාජේරු සටන් පාඨ දේශපාලනයට වඩා මේ ගමන අමාරුයි. කටුකයි. රනිල් පැවසූයේ අනුරාධට පිළිතුරක් වශයෙනි.
මුදල් අච්චු ගැහීමේ කතාව
මහනුවර රැස්වීමේදී රනිල් ආණ්ඩුව දෙසට ප්‍රබල තර්ජනාංගුළියක් විසි කළේ උපහාසයද කැටි කර ගනිමිනි.
ඒ, ආණ්ඩුව මුදල් අච්චු ගැසුවා යැයි පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජනපති අනුර කළ විවේචනය පදනම් කර ගනිමිනි.
“රටේ මේ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ ආණ්ඩුව නිසා නොව මාධ්‍ය නිසා බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළා. පරණ ඇබ්බැහි කම් අතහැරගන්නට බැරි මාධ්‍ය කිහිපයක් තිබෙන බව ඔහු කියනවා. කුණු ඇඳුම් විසිකර ප්රජාතන්ත්රවාදී ඇඳුම් ඇඳගන්නැයි ඔවුන්ට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා කියනවා. මේ කතා කරන්නේ කවුද? කුණු ඇඳුම් අතහැර ප්රජාතන්ත්රවාදයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණයි.”
පළමු කොට මුදල් අච්චු ගැසූ බව කියා දෙවැනිව මුදල් අච්වු නොගැසූ බව මාධ්‍ය කියා ඇතැයිද ජනාධිපතිවරයා පවසනවා.
මුදල් අච්චු ගැසුවා යයි මාධ්‍යය කියන විට, විජිත හේරත් අමාත්‍යවරයා මුදල් අච්චු නොගැසූ බව පැවසුවා. ද්‍රවශීලී බව ආරක්ෂා කර ගැනීම සඳහා මුදල් අච්චු ගැසූ බව මහ බැංකුව පැවසුවා. ඉතින් ද්‍රවශීලී බව කියන එක ඒ අය නොදැන සිටියා නම් මාධ්‍යයට දොස් කියන්නේ කොහොම ද? බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද ඊයේ පෙරේදා ද්‍රවශීලී බව පිළිබඳ කතා කළා. ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් තුන් දෙනා ඒක දන්නේ නැහැ. මේ පළපුරුදු නැති අය. පළපුරුදු ඇති අය මීට අවශ්‍ය යැයි මා කියන්නේ ඒකයි” රනිල් පිට පිට වේදිකාවට නැග එල්ල කරන මේ හයේ පහරවල්වලට මුහුණ දෙන්නට බැටෑලියන් එකක් ආණ්ඩු පාර්ශ්වයේ නැතැයි ආණ්ඩුවේම නියෝජිතයෙක් ගෑස් සිලින්ඩර ප්‍රබලයෙක් සමග පවසා තිබිණි.
මහ මැතිවරණ සටන ඇරැඹුමේදී ඉතා මන්දගාමීව පැවතුනද, රනිල් පොරපිටියට බැසීමත් සමග ගෑස් සිලින්ඩර අපේක්ෂකයන්ද අමුතු උද්යෝගයකින් මැතිවරණ ව්‍යාපාර කටයුතුවල යෙදෙනු දැකගත හැකිය.
රන්ජන්ගේ හඬ ප්රශ්නය
රන්ජන් රාමනායකගේ පක්ෂයේ මහ සමුළුව අවසානයේ ගාලගෝට්ටියක් වූයේ කිසිවෙකු නොසිතූ ලෙසය. පසුගිය සතියේ සෙනසුරාදා, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති මෙම සමුළුවෙන් පසුව නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූයේ, සමුළුවට සහභාගී වූ පිරිසකට ගෙවිය යුතු මුදල් ගෙව්වේ නැතැයි කියා ඔවුන් කලබල කරන්නට වීමත් සමගය. තමන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බවත්, රුපියල් දෙදහසක් සහ දිවා අහාරය දෙන බව කියා තමන්ට මෙතැනට පැමිණෙන ලෙස කියූ බවත්, සමුළුව අවසානයේ මුදල් ගෙවන විට එම මුදල් ගෙවමින් සිටි තැනැත්තිය අත වූ මුදල් අවසන් වූ බවත්, එයින් පසු පොලීසිය ඇයව රැගෙන ගිය බවත් එල්ල වූ චෝදනාව විය. මෙයින් පසුව පොලීසිය කලබල කළ පිරිස හරවා යැවූ බව කියැවුණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන්ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශ, රවි කුමුදේශ් කියා සිටියේ, එම සිද්ධිය තම පක්ෂයේ ජනප්‍රියත්වය දරාගත නොහැකිව සිටින පිරිසක් රඟ දැක්වූ නාට්‍යයක් බවයි. එම තොරතුරු සත්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කළේය.
ඒ අතරේ, රන්ජන්ගේ පක්ෂයට තවත් බාල්දියක් පෙරළුවේ එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රසන්න අධිකාරිය. මාධ්‍යවේදියෙකු, මාධ්යලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති ප්‍රසන්න අධිකාරි, පසුගිය 30 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රන්ජන්ගේ පක්ෂයේ නීත්‍යනුකූල භාවය පිළිබඳ ප්‍රශ්න ඇති බවය. එසේම සමුළුවක් තැබුවද කිසිදු නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීම හෝ වෙනත් කිසිදු නීත්‍යනුකූල කටයුත්තක් සිදු නොවූ බව ඔහුගේ චෝදනාව විය. ඒ අනුව මේ පක්ෂයේ නීත්‍යනුකූල බව පිළිබඳව මැතිවරණ කොමිසම කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව
ඔහු පැවසුවේය.
ඇල්මැරුණු මැතිවරණය
මැතිවරණය වෙනුවෙන් සියලුම දේශපාලන පක්ෂ මේ වෙනවිට කරළියට බැස සිටී. ඒ ඒ දේශපාලන පක්ෂවල නායකයන්ද පසුගිය සතියේ සිට කරළියට බැස අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා යමින් සිටින නමුත්, වෙනදා මහමැතිවරණවලදී දකින්නට ලැබෙන උණුසුමක් මෙවර නම් පෙනෙන්නේ නැත. එපමණක් නොව, මෙවර මැතිවරණයේ ප්රචණ්ඩ ක්‍රියාද වාර්තා නොවෙන තත්ත්වයක් දක්නට ඇත. මැතිවරණයද ඉතාම සාමකාමී ස්වරූපයක් ගෙන තිබෙන බව
ඉන් පැහැදිලිය.
ජාතික ජන බලවේගය හෙවත් මාලිමාවේ ඡන්ද සටන මෙහෙයවන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ය. ඔහු දවසකට රැස්වීමකට හෝ දෙකකට සහභාගි වී මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා මැතිවරණ සටන
මෙහෙයවමින් සිටී.
හිටපු ජනාධිපතිවරුගේ වරප්‍රසාද
මේ අතර, ගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්ෂක රැකවලුන් ඉවත් කිරීමය. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක් ලබාගැනීමෙන් අනතුරුව, එම ආරක්ෂක සංඛ්‍යාව අඩු කළ බව ආණ්ඩුව කීවේය. නමුත් හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනා සම්බන්ධයෙන් කතාබහක් එහිදී ඇති නොවූ නමුත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක රැකවලුන් සහ ආරක්ෂක වාහන ඉවත් කිරීම සම්බන්ධයෙන් තරමක කතාබහක් ඇති විය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පසුගිය කාලයේ ආරක්ෂකයෝ එකසිය හැත්ත පස් දෙනෙක් යොදවනු ලැබ සිටියහ. ගිය සතියේ එය 60 දක්වා අඩු කළ අතර, ඔහුට ලබා දී තිබූ ආරක්ෂක වාහන සංඛ්‍යාවද සැලකිය යුතු මට්ටමෙන් අඩු කරන්නට ආණ්ඩුව පියවර ගත්තේය. ඒ අනුව මහින්දගේ ආරක්ෂකයන් සඳහා ලබා දී ඇත්තේ ජීප් රථ දෙකක්, යතුරු පැති දෙකක් සහ ත්‍රී රෝද රථයක් පමණය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුවද ඔහුගේ ආරක්ෂාවට රැකවලුන් විශාල පිරිසක් මෙන්ම ආරක්ෂක වාහන රැසක් යොදවා තිබිණි. එපමණක් නොව, පසුගිය කාලය පුරාම ගිලන් රථයක්ද ඔහුගේ කටයුතු සඳහා යොදවා තිබිණි. පසුගිය සතියේ එම ගිලන් රථයද ආණ්ඩුවට භාර දෙන ලෙස දැනුම් දී තිබූ අතර, ඒ අනුව යමින් හිටපු ජනාධිපතිවරයා ගිලන් රථයද ආණ්ඩුවට භාර දුන්නේය.
මේ අතර මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක රැකවලුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකු වන මනෝජ් ගමගේ, මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ මහින්දගේ ආරක්ෂකයන් ඉවත් කළේ ඩයස්පෝරාව පිනවීමේ අරමුණින් බවටය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් ඇති වුවහොත් රජය එහි වගකීම බාරගත යුතු බවද ඔහු කීවේය. රටේ පැවති තිස් වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව මෙසේ අඩු කිරීම බරපතළ ගැටලුවක් බවද ඔහු කීවේය.
මේ අතර, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඡන්ද ප්රචාරක රැස්වීමකදී කීවේ, තමාගේ ආරක්ෂාව ඉවත් කළාට කමක් නැත, එහෙත් කොටින්ගේ තර්ජනයට ලක් වූ මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග යන දෙදෙනාට ආරක්ෂකයින් වැඩි වශයෙන් ලබාදීමට ආණ්ඩුව පියවර වෙත ගත යුතු බවය.
පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය තුළද කැපී පෙනෙන වෙනසක් දකින්නට නැත. රාජපක්ෂලා වෙනුවෙන් වෙනදා ජීවිතය වුවත් පුදන්නට සිටි බොහෝ දෙනෙකු මේ වෙන විට රාජපක්ෂවරුන් අතහැර ගොස් ඇති අතර, ඒ නිසාම පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය ද බරපතළ ඇල්මැරුණු ස්වභාවයක් දකින්නට ලැබේ. වෙනත් මැතිවරණවලදී පොහොට්ටුවේ ආකර්ෂණීයම නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. එහෙත් මහින්ද මේ වෙන විට දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින බැවින් , කිසිදු රැස්වීමක දකින්නටත් නැත. වෙනදා පොහොට්ටුවේ ඡන්ද රැස්වීම් සැලසුම් කරන්නේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ අනුදැනීමෙනි. බැසිල්ද මැතිවරණ සටනින් කර ඇර මේ වෙන විට ඇමෙරිකාවට ගොස් සිටින අතර, ඡන්ද ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔහුගේ කිසිදු දායකත්වයක්ද පෙනෙන්නට නැත.
අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනි තත්ත්වයකි. එදා දේශපාලන වේදිකාවල දකින්න ලැබුණු කථිකයින් මෙවර දකින්නට නැත. දකින්නට ඇත්තේ මැතිවරණයටත් කලින්, ජයග්‍රහණය මාලිමාවට දී තම පක්ෂයට හෝ කණ්ඩායමට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ පත් කර ගැනීමට මාන බලන මැතිවරණ ව්‍යාපාරයක් මිස, තරගකාරී ඡන්ද සටනක් නොවේ. ඉන් පෙන්නුම් කරන්නේ මැතිවරණ ව්‍යාපාරයම ඇල්මැරුණු ස්වරූපයක පවතින බවය.
ගම්මන්පිලගේ සටන දිගටම
ආණ්ඩුවට එරෙහිව සටන් කරන එකම දේශපාලනඥයා ලෙසින් පෙනෙන උදය ගම්මන්පිල පසුගිය සතියේ දීත් එම සටන ඉදිරියට ගෙන ගියේය. සඳුදා දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉමාම් කමිටු වාර්තාව ඉදිරිපත් කළ ගම්මන්පිළ පසුගිය සිකුරාදා දිනයේ චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරුවලින් වහා ඉවත් කරනු යනුවෙන් මහජන පෙත්සමක් අත්සන් කිරීමට පටන් ගත්තේය. මෙහිදී අදහස් දක්වමින් අනුර කුමාර, ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මැතිවරණයෙන් පසුව ජාජබට එකතු වෙන බවත් එම්.ඒ . සුමන්දිරන් එම ආණ්ඩුවේ විදේශ ඇමති වන බවත් කියා සිටියේය. මෙය මේ සතියේ දී කතාබහට ලක්වන කරුණක් වී තිබේ.
ගම්මන්පිළ මෙවර සර්ව ජන බලයෙන් තරග කරන අතර ඔහු ආණ්ඩුවට එරෙහිව මේ ගෙන යන සටනින් කිසිදු වියදමක් නොදරා අති විශාල ප්‍රසිද්ධියක් ලබා ගන්නා බව එක් පාර්ශ්වයක අදහස වී තිබේ. එහෙත් ගමන්පිළගේ ස්ථාවරය වී ඇත්තේ තමන් නීත්‍යානුකූල සටනක් ගෙන යන බවය.