සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා


(අංජුල මහික වීරරත්න, නිවිතිගල ආරියරත්න මාමුහේවා සහ පැල්මඩුල්ල ඉන්දික නිරෝෂණ)

වැඩිවන බඩු මිලට මුහුණදීම සඳහා රජය දෙන සහන බඩුමල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලෙන් මෙන්ම ගමේ සිල්ලර කඩයෙන් ද ගැනීමට හැකි ක්‍රමවේදය තව සති තුනක් ඇතුළත සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවිතිගල දී පෙරේදා (16) පැවැසීය.

දේශගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාවේම ආහාර නිෂ්පාදනය පහත බැස ඇති බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු කාලයක් වුවද රජයේ මූලික යුතුකම ඉටුකරමින් සාධාරණ මිලට අත්‍යවශ්‍ය ආහාර වර්ග දීමේ වැඩසටහන ඇරඹුයේ යැයි ද කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ නිවිතිගල සති පොළ සහ බස් නැවැතුම්පොළ විවෘත කිරීම නිමිත්තෙන් පැවැති ජනහමුවේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.

නිවිතිගල සතිපොළ භූමියේ දී ජන හමුව පැවැත්විණි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය රුපියල් ලක්ෂ 1600ක ප්‍රතිපාදන වැයකර සති පොළ සහ බස් නැවැතුම්පොළ ඉදිකර තිබිණි.

ජනහමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

නිවිතිගල සතිපොළ ගොඩනැගිල්ල සහ බස් නැවැතුම්පොළ විවෘත කරන්නේ 2015 වසරේදී දුන් පොරොන්දුවට අනුවයි. මෙහි පැවැති මැතිවරණ රැස්වීමේ දී මේ වැඩකටයුත්ත ඉටුකර දෙන බව මා පොරොන්දු වුණා. ඒ පොරොන්දුවට දීර්ඝ ඉතිහාසයක්ද තිබෙනවා.

මගේ මිත්‍ර නිවිතිගල නියෝජනය කළ ගාමිණී අතුකෝරළ මහතාට ප්‍රදේශය දියුණු කිරීමට විශාල උවමනාව තිබුණා. 1977 සමයේදීත් මා එතුමා සමග නිවිතිගලට පැමිණියා. එකල නිවිතිගල ඉතා නොදියුණු ප්‍රදේශයයි. මෙවැනි දියුණුව තිබුණේ නැහැ.

ගාමිණී අතුකෝරළ මහතාගේ  ජීවිත කාලයේ කහවත්ත ප්‍රදේශය දියුණුවට පත් වුණා. අවසාන වශයෙන් 2000-2001 වසරවල නිවිතිගල දියුණු කරන බව එතුමා පැවැසුවා. නමුත් ඊට පෙර ඔහු අප අතරින් වියෝ වුණා.
නිවිතිගල දියුණු කරන වැඩසටහන මට අමතක වූයේ නැහැ. තලතා අතුකෝරළ ඇමැතිතුමිය ඒ වැඩකටයුතු ඉදිරියට ගෙන ගියා. දැන් එතුමියට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. එක් පැත්තකින් නීතිය ආරක්ෂා කිරීමයි. විදේශ රැකියා අංශයෙනුත් විශාල වැඩකොටසක් පැවරිලා.

නීතිය ක්‍රියාත්මක කරන අතරතුර එතුමියට තවත් වගකීමක් පැවරී තිබෙනවා. ලංකාවේ පළමු අධිකරණ ඇමැතිනිය වන්නේ ඇයයි. කාන්තාවන් සාමාන්‍යයෙන් පිරිමි අයට වඩා තදින් කටයුතු කරන නිසා අධිකරණ අමාත්‍ය ලෙස කාන්තාවක් පත් කරමු යැයි මා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන විටත් පැවැසුවා. දැන් සාර්ථකව වැඬේ කර පෙන්වීම එතුමියට බාරයි.

සිංහරාජ අඩවියට අයත් ප්‍රදේශ දියුණු කිරීම සඳහා වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සිංහරාජය ආරක්ෂා කරන අතරතුර වටේ ඇති ගම්මාන දියුණු කළ යුතුයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන මත මේ ගොඩනැගිලි ඉදිවූවා. ප්‍රතිපාදන ලැබුණේ තලතා අතුකෝරළ මහත්මිය රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා මහතාගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලය ලෙසයි.
මමත් ඉතා සතුටින් ඉදිකිරීම් සඳහා ආධාර උපකාර කරන්න එකඟ වුණා. බස් නැවතුම් පොළ සහ සතිපොළ ඉතා අලංකාර අයුරින් ඉදිකර තිබෙනවා. නමුත් එක් අඩුපාඩුවක් පවතිනවා.

සතිපොළ ගොඩනැගිල්ල පාවිච්චි කරන්නේ සතියට එක් දිනක් පමණයි. ඉතිරි දින හය කරන්නේ මොනවාද? එසේ නම් මේ ගොඩනැගිලිවලින් සම්පූර්ණ ප්‍රයෝජනය ගත යුතුයි. මෙයින් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන නිවිතිගල වෙළඳ සංගමයට තීරණය කළ හැකියි.

වෙළඳාමට අමතරව වෙනත් වැඩසටහන් කරනවාද? මෙතරම් මුදලක් වියදම් කළ විට එයින් මුළු සතිය පුරාම ප්‍රයෝජන ගන්න. ඒ වැඩකටයුත්ත තිරණය කරන්න නිවිතිගල ජනතාවටත් වෙළෙඳ සංගමයටත් බාර දෙන්නම්. ඇමැතිතුමිය සමග සාකච්ඡා කර යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.

මෙවැනි වෙළෙඳ සල් සතිපොළ දියුණු කිරීම ඉතා වැදගත් කාර්යයක් වන බව කිව යුතුයි. ජනතාවට ආහාර ලැබෙන්නේ ඒ මාර්ගයෙනුයි. ජනපතිගේත්, මගේත් කැබිනට් මණ්ඩලය ඇතුළු රජයෙත් එක් පරමාර්ථයක් වී ඇත්තේ මෙරට ජනතාවට සාධාරණ මිලක බඩු භාණඩ දීමයි. එය අපේ වගකීමයි. ඒ සඳහා බඩු භාණ්ඩ බෙදා හැරීමේ හොඳ ක්‍රමවේදයක් අවශ්‍යයි.

මේ දිනවල බඩු මිල ඉහළ ගිහිල්ලා. බොහෝ අය ජීවත් වන්නේ අමාරුවෙනුයි. හාල් මිල, පොල් මිල ගැන බොහෝ අය කතා වෙනවා. මෙවැනි දෙයක් කාලෙකින් වුණේ නැහැ.

තම රජය බලයට පත්වූ විට අපේ ප්‍රතිපත්තිය වුණේ බඩු මිල අඩු කිරීමයි. ලෝකවෙළෙඳ පොළෙහි මිල අඩු වූ විට එහි වාසිය ජනතාවට දීමත් ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වූ විට ඒ අනුව මිල වෙනස් කිරීම අපේ ප්‍රතිපත්තියයි. ඉන්ධන මිල අඩු කළේ ඒ ප්‍රතිපත්තියට අනුවයි.

නමුත් අද එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ මිල ශිඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා. මේ සමයේ දී මිල අඩු වේවි යැයි බලාපොරොත්තු වුණා. නමුත් දැන් රජයට දේශගුණයට සම්බන්ධ ප්‍රශ්නයකට මුහුණදීමට වෙලා.
හාල්, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාළු, අර්තාපල්, ලූනු ආදි භාණ්ඩ සඳහා සහන මිලක් නියම කිීමට අප තීරණය කළා. මේ තීරණය ලබන සිංහල, හින්දු අවුරුද්ද දක්වා ක්‍රියාත්මකයි.

පසුගිය සඳුදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් අනු කමිටුව රැස්වුණා. ඉන්පසුව මගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වී සහන මිලට මේ භාණ්ඩ දීමට තීරණය කළා.

දැන් ඒ වැඩ කටයුත්ත ඇරඹිලා. මේ ගමට තවම අඩු මිලට බඩු ඇවිත් නැතිව ඇති.

අතීතයේ අප බඩු භාණ්ඩ බෙදා හැරියේ සතොස මාර්ගයෙනුයි. නමුත් රට පුරා සතොස ශාඛා ඇත්තේ තුන් දහසයි. ඒ නිසා කාගිල්ස්, කීල්ස්, ලාෆ්ස්, රිචඞ් පීරිස් ආදී වෙළෙඳ ආයතන ද හවුල් කරගෙන බඩු බෙදා හැරීමට මා තීරණය කළා. සියලුම ආයතන එකතු කර ගැණුනද බඩු බෙදා හැරීමට හැකි වන්නේ රටෙන් තුනෙන් එකක ජනගහනයකට පමණයි. එනම් නගරයේ සිටින මධ්‍යම පන්තියේ අයට පමණයි.

මේ නිසා බෙදාහැරීමේ සමාගම් සමග ද අපේ අය සම්බන්ධ වුණා. බිස්කට්, දත් බෙහෙත්, ආදිය ගම්මානවලට ගෙනෙන්නේ බෙදා හැරීමේ සමාගම් හරහායි. සියලු ආර්ථික මධ්‍යස්ථාන එකතු කර ඊළඟ සති දෙක තුන ඇතුළත භාණ්ඩ සියල්ල ගම්වලට ගෙනයාමට වැඩසටහනක් සකස් කෙරෙනවා.

අඩු ගණනේ ගමේ එක් සිල්ලර කඩයකින් බඩු භාණ්ඩ අලෙවි කිරීමේ පසුබිම නිර්මාණය කිරීම අපේ අරමුණයි. එවිට හැම ගමකටම සහන මිලට බඩු ලැබෙනවා.

කාගිල්ස් සමාගම සැනෙකින් ඉහත භාණ්ඩවල මිල අඩු කරන බව දැනුම් දුන්නා. මෙරට ඇති රජයේ සහ පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් සියලුම දෙනා එකතු කරගෙන සහන ජනතාවට දීමට මම කටයුතු කරනවා. ලබන අප්‍රේල් මාසය දක්වා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා.

සාමාන්‍යයෙන් ජනවාරියේ බඩු මිල වැඩි වෙනවා. ඒ කාලයේදී තවත් බඩු මිල වැඩි වෙනවා නම් ආදායමට විශාල ප්‍රශ්නයක් විය හැකියි. විශාලතම ණය ප්‍රමාණය ගෙවා දමන්න වන්නේත් ලබන වසරේ සහ ඊළඟ වසරේදීයි.

ලංකාවේ විශාලතම ණය බර ගෙවා දමන්න මුදල් සොයන අවස්ථාවේ දී උද්ධමනය වැඩි විය හැකියි. නමුත් ණය බරින් ජනතාව කෙසේ හෝ මා නිදහස් කරනවා. එය අතපසු කළොත් විශාල හානියක් විය හැකියි.

මෙරට කෘෂිකර්මාන්තය රඳාපවතින්නේ වැස්ස මතයි. ශ්‍රී ලංකාවේ වගා කරන්නේ මෝසම් වැසි ක්‍රමයට අනුගතවයි. මෝසම් වැස්ස මත වසරකට වරක් හෝ දෙවරක් හෝ වගා කරනවා. දැන් අපේ දේශගුණික රටාවේ අර්බුද ඇතිවෙලා. පසුගිය වසර කීපයේදී බලාපොරොත්තු වූ පරිදි වර්ෂාව ලැබුණේ නැහැ. දේශගුණික රටාව සිතූ පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කාරණය 2015 වසරේදී මෙන්ම 2016 වසරේදීත් අත්දුටුවා. ඒ තත්ත්වය මේ වසරේදී තවත් උග්‍ර වුණා.

තිබූ නියඟය මේ වසරටත් පැමිණියා. කන්න හතරක් ගොවිතැන් කිරීමට නොහැකි වූ ප්‍රදේශ පවා තිබෙනවා. පොල් වගාවටත් ඒ ප්‍රශ්නය බලපෑවා.

වැස්ස තිබිය යුතු කාලයේ නියඟය තිබුණා. නියඟය තිබිය යුතු කාලයේ ගංවතුර උවදුර ඇති වුණා. මේ ප්‍රදේශයත් ගංවතුරට යට වුණා. දේශගුණ රටාවේ විශාල වෙනසක් ඇති වුණා.

මෙරට දේශගුණ විපර්යාසය වෙනවාද? නැද්ද යන කාරණය හරියටම කියන්න බැහැ. මේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව සමග මා සාකච්ඡා කරනවා. අපේ දේශගුණය පැරණි ක්‍රමයට නැවත පරිවර්තනය වේ යැයි බලාපොරොත්තු තබා ගන්න බැහැ. එලෙස පරිවර්තනයක් වෙනවා නම් හොඳයි.

බලාපොරොත්තු නොවූ ආකාරයට ගොවිතැන් කිරීමේ රටාව බිඳවැටුණා. රජරට ජල හිඟකම නිසා වී ගොවිතැන නැවතුණු අතර, නුවරඑළිය ජල හිඟය නිසා ඇතැමුන් එළවළු වගාව අතහැරියා. විවිධ ප්‍රදේශවල මේ ආකාරයේ ප්‍රශ්න මතුවුණා.

මේ සංසිද්ධි වාර්තා මත ටික කලක් ගත වුණා. ලංකාවේම සමස්ත ආහාර නිෂ්පාදනය අඩුවුණා. අද වෙළෙඳපොළෙහි අත්දකින්න වී ඇත්තේ ඒ කාරණයයි.

නිෂ්පාදනය අඩුවීමත් සමග වී මිල ඉහළ යනවා. ඉල්ලුම වැඩි වෙනවා. අප උත්සාහ කරන්නේ නිෂ්පාදනය වැඩි කිරීමටයි. නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේ ද? නිෂ්පාදනය වැඩි කිරීමට නොහැකි වුවත් මූලික ආහාර ද්‍රව්‍ය ලංකාවේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා විදේශයන්ගෙන් ආනයනය කරන්න වෙනවා.

සහල් අවශ්‍ය තරම් ගෙනෙන්න අප තීරණය කළා. දැනටමත් ටොන් 50,000ක් ගෙනෙනවා. අවශ්‍ය නම් තවත් ගෙන්වනවා. එළවළු අවශ්‍ය නම් ගෙන්විය හැකියි. එලෙස අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ආනයනය කරන්න ජනතාවට අප සහන දෙනවා.

නමුත් පොල් ආනයනය කිරීමට හැකියාවක් නැහැ. පොල් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තහනම් කරලා. අනෙක් සෑම භාණ්ඩයක්ම ආනයනය කිරීමට හැකියි. අවශ්‍ය නම් ආනයන කළ යුතු භාණ්ඩ වර්ග වෙනස් කරන්න හැකියාව තිබෙනවා.

බෙදාහැරීමේ ඒකාබද්ධ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කළොත් අනාගතයේදී අවශ්‍ය බඩු භාණ්ඩ පහසුවෙන් දිය හැකියි. මීට පෙර එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. රජය ලෙස ක්‍රියා කර ඇත්තේ සහනදායක ආහාර මිලක් ජනතාවට දීම සඳහායි.

එමෙන්ම සැමට සමාන අධ්‍යාපනයක් දීම සඳහා ද අප කටයුතු කරනවා. යහපත් සෞඛ්‍ය සේවය ඇති කිරීම සඳහා ක්‍රියා කර තිබෙනවා.

නිවාස පහසුකම් වර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා. ඒ පහසුකම් දෙනවා නම් දක්ෂයාට ඉදිරියට යාමට හැකියි. අදක්ෂයා හාමතේ මැරෙන්නේ නැහැ. සෑම දෙනාටම ඉදිරියට යාමට හැකි සමාජය මා ඇති කරනවා.
සාධාරණ මිලට ප්‍රධාන ආහාර වර්ග දීමේ වැඩසටහන ආරම්භ කළා. අසීරු කාලය වුවත් ආණ්ඩුවේ මූලික යුතුකම වන්නේ එයයි. රජය කැපවී ඉන්නේ ඒ යුතුකම ඉටු කරන්නයි.

දෙසැම්බරයේ ඇරැඹූ මේ වැඩසටහන මාසය අවසන් භාගය එළැඹෙන විට නිවිතිගල වැනි ගම්මානවලට ව්‍යාප්ත කිරීමට මා බලාපොරොත්තු වෙනවා. සිංහල හින්දු අවුරුද්ද දක්වා එහි වාසිය භුක්ති විඳින්න හැකියාව ලැබෙනවා.
සිංහල අවුරුදු සමයේ දී අපට නැවතත් බඩු මිල පිළිබඳව සලකා බලන්න වේවි.

මේ කන්නය සඳහාත් බලාපොරොත්තු වුණ වැස්ස ලැබී නැහැ. කෙසේ හෝ අපේ වී ප්‍රමාණය මීට වඩා වැඩි විය යුතුයි. සමහර ප්‍රදේශවල එළවළු වගාවද දියුණු කළ යුතුව තිබෙනවා.

ලංකාවේ පොල් නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා 2019-2020 දක්වා බලා ඉන්න වේවි. එතෙක් ගත යුතු පියවර කුමක් දැයි මේ වන විට සාකච්ඡා කරනවා.

සෙසු අංශවලින් සාධාරණ මිලකට ආහාර දීමේ වැඩසටහන කොතරම් ප්‍රශ්න තිබුණ ද ඉදිරියට ගෙන යනවා. අනාගතයේ දී මීටත් වටා හොඳ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න හැකිවේවි. මෙරට මෙන්ම සෙසු රටවලත් දේශගුණය කෙරෙහි අවධානය යොමු කර නිෂ්පාදන නාස්තිය දෙස අවධානය යොමු කර ආහාරදීමත්, සැපයුම් ක්‍රමවේදය සකස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

රජය කැපවී ඉන්නේ ඒ මූලික වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි. සාධාරණ මිලකට ආහාර දීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා” යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නිවිතිගල සංවිධායක අධිකරණ සහ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ

මහත්මිය:-
“කෙටි කාලයක් තුළ නිවිතිගල නගරයේ වෙනසක් ඇති කරන්න හැකි වුණා. මහ මැතිවරණය සමයේ හිස් ඉඩමක අප රැස්වීම් තැබුවා.

1994දී මේ ඉඩම රජයට පවරා ගත්තා. 2002 වසරේ ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවා ඉඩම අත්පත් කර ගත්තා. මැණික් පුරය වුවත් මේ ප්‍රදේශයේ ජනතාවට පහසුකම් තිබුණේ නැහැ.

ජනතා සිතුම්-පැතුම් ඉටු කර ගන්න හැකි වුණේ අගමැතිතුමා දුන් යෝධ ශක්තිය නිසයි.

මෙහි තිබුණු මහජන පොළෙහි තත්ත්වය ගැන කවුරුත් දන්නවා. වසර 20ක් කරගන්නට නොහැකි වූ දේ වසර දෙකෙන් කරන්න අපට හැකි වුණා. ලක්ෂ 1600කට ආසන්න මුදලක් මේ ව්‍යාපෘති සඳහා වැය කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ ලස්සනම සති පොළ මෙයයි.

ස්වභාවික උවදුරුවලට පසුගිය කාලයේ අපට මුහුණදීමට සිදුවුණා. අගමැතිතුමා මැදිහත් වී මිනිස් ජීවිත සිය ගණනක් බේරා ගැනීමට හැකියාව ලැබුණා. 2015 ජනවාරි 8 වැනිදායින් පසු ස්වභාවික විපතකින් මියයන අයකුට ගෙවන මුදල ලක්ෂය දක්වා වැඩි කළා”

සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා:- නිවිතිගල බස් නැවතුම්පොළ සහ සති පොළ ඉතා අලංකාර ලෙස ඉදිකර තිබෙනවා. මේ කටයුතු කරන්නේ දේශපාලන නායකයන්ගේ හෝ නිලධාරීන්ගේ හෝ සුබසිද්ධිය සඳහා නොවෙයි. පොඩි මිනිසුන්ගේ සුබසිද්ධිය සඳහායි. දේශපාලන බේදයකින් තොරව මෙවැනි කටයුතු සඳහා සහාය දිය යුතුයි”

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් අවන්ති සේනාරත්න මහත්මිය පිළිගැනීමේ කතාව කළාය.
ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, එක්සත් ජාතික පක්ෂ රත්නපුර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග, රක්වාන සංවිධායක හේෂා විතානගේ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද, විශාල ජනතාවක් ද ජන හමුවට සහභාගි වූහ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර