ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබද පනත ගැන ජනපති කිව්වේ ඇත්තද?


පසුගිය ජූනි 18 වෙනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍ය බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය. එම දිනයේදී ම සිරිකොතේ දී එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු අමතා ඔහු කීවේ, “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව නම් කාන්තාවන්ට මේ රටේ සමානාත්මතාවක් ලබාගන්නට බැරි” බවය. එම තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නිසාත්, එමගින් බුද්ධාගමට තිබෙන ආරක්ෂාව ඉවත්වන නිසාත් එය පිළිගන්නට බැරි බව ඔහු කීවේය. ජනාධිපතිවරයා වශයෙන් ඔහුට අයත් සම්පූර්ණ ගෞරවය ඇතිව මා සඳහන් කරන්නේ, පාර්ලිමේන්තුවේදීත් සිරිකොතේදීත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු විසින් ප්‍රකාශ කරන ලද කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එමගින් පාර්ලිමේන්තුවත්, ජනතාවත් නොමග යවා ඇති බවත්, ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මුක්තියට මුවා වී අධිකරණයට අපහාස කර තිබෙන බවත් ය.


පනත් කෙටුම්පත


පනත් කෙටුම්පතේ ප්‍රධාන ඉලක්කය වන්නේ වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව තහවුරු කිරීම ය. මෙහි සිංහලෙන් ඇති යෙදුම් ව්‍යාකූලය. එහෙත් ලිපියට ප්‍රවේශයක් ගැනීම සඳහා කෙටුම්පතේ ඇති වැදගත් යෙදුම් කිහිපයක් සඳහන් කරමි. 
එහි “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව” යන්නෙන්, ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ වෙනස්කමකට භාජනය කිරීමෙන් තොරව ස්ත්‍රී පුරුෂභාවය සහ වෙනස් වූ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාවක් සහිත තැනැත්තන් අතර සමානාත්මතාව අදහස් වන බවත්, එයට (අ) අධ්‍යාපනය (ආ) සේවානියුක්තිය (ඇ) සෞඛ්‍ය රැකවරණය සහ සෞඛ්‍ය රැකවරණ තොරතුරු (ඈ) පෞද්ගලික සහ පවුල් ජීවිතය (ඉ) සාධාරණත්වය සහ ආරවුල් විසඳීම (ඊ) පොදු ස්ථාන සහ ගොඩනැගිලි (උ) පොදු සේවා (ඌ) මාධ්‍ය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (එ) ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාවීම සහ (ඒ) ආර්ථික, දේශපාලනික සහ සමාජ ක්‍රියාකාරකම්, භුක්තිවිඳීමේ සහ ඒවාට ප්‍රවේශවීමේ සමාන අවස්ථා ඇතුළත් වෙන බවත් සඳහන් ය. එහි ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාව යනු කාන්තාවන්, පුරුෂයන් සහ වෙනත් තැනැත්තන් සමාජීය ලෙස සැකසී ඇගයීමට ලක්ව ඇත්තා වූ සංස්කෘතික, ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික ගතිලක්ෂණ, කාර්යභාර සහ අවස්ථා ය.  එහි 3 වන වගන්තිය මගින් ප්‍රථම වතාවට අලුත් අයිතිවාසිකමක් හඳුන්වා දී තිබේ. එනම් “සෑම තැනැත්තෙකුටම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සඳහා අයිතියක් තිබිය යුතු අතර, කිසිදු තැනැත්තෙකුට එම අයිතිය අහිමි කරනු නොලැබිය යුතුය.” යන්න ය. 


ස්ත්‍රී හෝ පුරුෂ නොවන තැනැත්තන්


මෙහි වැදගත් වන්නේ ස්ත්‍රී හෝ පුරුෂ නොවන වෙනත් තැනැත්තන් වශයෙන් කොට්ඨාසයක් හඳුනාගැනීම ය. ඒ අනුව ස්ත්‍රීන් හා පුරුෂයින් සමග සමාන අයිතිවාසිකම් ස්ත්‍රී පුරුෂ නොවන තැනැත්තන් යනුවෙන් හඳුනාගත් කොටසකට ලබා දීම සිදුවේ. ඒ සඳහා සෑම රාජ්‍ය හා පුද්ගලික ආයතනයක්ම බැඳී සිටියි. එසේ අයිතිවාසිකම් ලබා දීම සහතික කිරීමට ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය නමින් තැනැත්තෙක් ආයතන මට්ටමින් පත් කළ යුතු ය. එසේ සම අයිතිවාසිකම් නොදීම දඬුවම් ලැබිය හැකි වරදකි. පනත ක්‍රියාත්මක කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ සභාව නමැති බලතල ඇති ආයතනයක් ද පිහිටුවීමට අදහස් කර තිබේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්‍ය තැනැත්තන්ට ඇති පිළිගැනීම


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය හා සෙසු වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කරන ලද්දේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ පුද්ගලයන් ලෙස පිළිගෙන තිබෙන්නේ ස්ත්‍රීන් හා පුරුෂයින් SEX පමණක් බවයි. ස්ත්‍රි හෝ පුරුෂ නොවන අන් පුද්ගලයින් වර්ගයක් ව්‍යවස්ථාව මගින් පිළිගෙන නොමැත. මෙම අන් වර්ගය හඳුනා ගැනීම යෝජිත පනතේ සඳහන් වන්නේ “ස්ත්‍රීරුෂභාවය පිළිබඳ අනන්‍යතාව” යනුවෙනි. මෙම සිංහල යෙදුම නොමග යවනසුලු ය. ඒ වෙනුවට ඉංග්‍රිසි භාෂාවෙන් ඇත්තේ Gender Identiry යන්න ය.  Gender යන්නෙන් අදහස් වන්නේ ස්ත්‍රීන් හා පුරුෂයින්  SEX පමණක් නොවේ.
ස්ත්‍රී - පුරුෂ බෙදීම හුදෙක් කායික / ශාරීරික බෙදීමකි. අන් තැනැත්තන් Gender වර්ගීකරණය වන්නේ ස්වයං පිළිගැනීම හා හැඩගැසීම අනුවත්, එකී පුද්ගලයා ස්ත්‍රීන්ගෙන් හා පුරුෂයින්ගෙන් වෙන්කොට සමාජය විසින් පිළිගනු ලබන ආකාරයත් මතය. මෙම කාණ්ඩයට සමලිංගිකයින් හා ලිංග භේදයක් නොමැති තැනැත්තන් නිසැකයෙන් ම ඇතුළත් වේ. යෝජිත පනත මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ගරු අධිකරණය විසින් තීරණය කරන ලද්දේ එමගින් ව්‍යවස්ථාවෙන් පිළිගෙන නැති පුද්ගල කණ්ඩායමක් හඳුන්වා දීම නිසා ය. දැනට සියලු පුද්ගලයන්ට ව්‍යවස්ථාවේ 12 (1) යටතේ සම සැලකීම සඳහා අයිතිය ඇත- එහෙයින් විශේෂ පුද්ගල කණ්ඩායමක් ස්ත්‍රී-පුරුෂ නොවන තැනැත්තන් ලෙස වර්ගීකරණය කර එම වර්ගීකරණය මත විශේෂ නීතියක් සෑදීම ව්‍යවස්ථාවට පටහැණිය. මෙය ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක් හා සමාන ය. ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කළ යුතු නිශ්චිත ආකාරයක් ඇත. මෙම පනත් කෙටුම්පත එම පටිපාටිය උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇත.


කාන්තාවන්ට ඇති සම අයිතිවාසිකම් අහෝසි වී තිබේ ද?


පනත් කෙටුම්පතේ පරමාර්ථ අතර කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් කිසිවක් සඳහන්ව නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතාම සියුම් ලෙස පනතේ සැබෑ අරමුණ විශ්ලේෂණය කර ඇත. තීන්දුවේ කිසිදු ස්ථානයක කාන්තා අයිතිවාසිකම් අහෝසි කිරීමක් සම්බන්ධයෙන් සඳහන් කර නැත. අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හා 12(2) වගන්ති මගින් ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සම අයිතිවාසිකම් ලබා දී ඇති බව මෙම තීන්දුවෙන් පිළිගෙන තහවුරු කර ඇත. කාන්තාවන්ට හා ළමුන්ට විශේෂ අයිතිවාසිකම් ලබා දිය හැකි නීති ද ව්‍යවස්ථාව යටතේ සෑදිය හැකි ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යනුවෙන් පනතේ සඳහනක් තිබුණ ද එය කුමක් ද යන්න නිශ්චිතව කෙටුම්පතට ඇතුළත් කර නොමැත. යෝජිත පනතට ඇතුළත් නොකරන ලද කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බවට ප්‍රකාශ කිරීම හාස්‍යජනක ය. 
කාන්තාවන් සවිබල ගැන්වීමේ වෙනම පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව ඔහු නොදැන සිටියා විය හැකිය. එය කිසිවෙකු විසින් අභියෝගයට ලක් කර නොමැත. කාන්තාවන් සවිබලගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම, කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණ පිහිටුවීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම එකී දෙවැනි පනතේ අරමුණු ය. එම පනත 2024.06.21 දින සම්මත විය. (එය සම්මත වූයේ පාර්ලිමේන්තුවේ කුඩා මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියදීය) එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කාන්තා අයිතිවාසිකම් යටපත් කරන තීන්දුවක් ලබා දී නැත.


සමලිංගික විවාහ


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇත්තේ ස්ත්‍රීන් හා පුරුෂයින්ගේ පැවැත්ම පමණි. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව විවාහයක් සිදුවන්නේ ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර පමණි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත, උඩරට විවාහ හා දික්කසාද පනත, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත හා තේසවලාමේ නීතිය යටතේ විවාහයට අදාළ කාරණා ගැඹුරින් සලකා බලා තිබේ. යෝජිත නීතිය මගින් මෙම සියලු නීති උල්ලංඝනය වේ.
එසේ තිබියදී වෙනස් වූ ස්ත්‍රී හා පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාවක් සහිත (අන්‍ය) තැනැත්තන්ට ද ස්ත්‍රී හා පුරුෂයින් මෙන් ම පෞද්ගලිකත්වය හා පවුල් ජීවිතය පිළිබඳ සම අයිතිවාසිකම් යෝජිත පනත මගින් ලබා දී තිබේ. 
සමලිංගික සම්බන්ධතා පිළිගනිමින් යුරෝපා මානව අයිතිවාසිකම් අධිකරණය ECTHR  විසින් ලබා දී ඇති නඩු තීන්දු ආශ්‍රයෙන් සමලිංගික පුද්ගලයින්ට පුද්ගලික ජීවිතයට හා පවුල් ජීවිතයට ඇති අයිතිවාසිකම් යටතේ විවාහ වීමට ඇති අයිතිය පිළිගෙන තිබේ. එහි දී සලකා බලා ඇත්තේ යුරෝපා මානව අයිතිවාසිකම් සම්මුතියේ 8 වැනි වගන්තියේ සඳහන් කර තිබෙන පුද්ගලික ජීවිතය හා පවුල් ජීවිතය යන සමාන යෙදුම් ය. එම යෙදුම් ඒ ආකාරයට ම යෝජිත පනතට යෙදීමෙන් ස්ත්‍රි-පුරුෂ නොවන තැනැත්තන්ට ද (ඊට සමලිංගිකයින් හා ලිංග බේදයකින් තොර තැනැත්තන් ඇතුළත් වේ) පෞද්ගලික පවුල් (විවාහ) ජීවිතයක් ගත කිරීමට අයිතියක් ඉල්ලා සිටිය හැකි වේ. ස්ත්‍රීන් හා පුරුෂයින් අතර විවාහයක් පමණක් පිළිගෙන තිබෙන ව්‍යවස්ථාවක් හා නීති ක්‍රමයක් ඇති රටක සමලිංගික විවාහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වේ.


බුදුදහමට ඇති ආරක්ෂාව


ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ අධිකරණ තීන්දුව මගින් බුදුදහමට ඇති ආරක්ෂාව ඉවත්ව ගොස් ඇති බව ය. සැබැවින්ම සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්තය. 

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය යටතේ සලකා බැලුවේ යෝජිත පනත මගින් බුද්ධ ශාසනයට සිදුවන හානිය ය. එහිදී භික්ෂුත්වය ලබාදීමේදී ලිංගිකත්වය මත පනවා ඇති විනය සීමා පිළිබඳ සැලකිලිමත් වී ඇත. එපමණක් නොව භික්ෂු විශ්වවිද්‍යාල, පිරිවෙන, කන්‍යාරාම, මුස්ලිම් හා හින්දු දේවස්ථානවලට සිදුවන හානිය ද සැලකිල්ලට ගෙන යෝජිත පනත සියලු පුරවැසියන්ගේ ආගමික නිදහස හා සිතීමේ හා හෘද සාක්ෂියේ නිදහස උල්ලංඝනය කරන බවට තීරණය කර ඇත.  


ජනතාවට ඇති අයිතිය


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය යටතේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට පළමුවර ඉදිරිපත් කිරීමෙන් දින   14 ක් ඇතුළත එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කිරීමට සෑම පුරවැසියෙකුටම අයිතිය ඇත. එහි දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පනත හා එහි ඇති වගන්ති ව්‍යවස්ථාවට පටහැණි ද නැද්ද යන්න පිළිබඳව තීරණය කර එය නීතියක් වීමට නම් අවශ්‍ය වන්නේ සාමාන්‍ය බහුතරයක්ද, 2/3 ක බහුතරය හා/හෝ ජනමත විචාරණයක් ද යන්න තීරණය කරනු ලැබේ. මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුගමනය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති ක්‍රමවේදය පමණි. එවැනි තීරණයක් ප්‍රතික්ෂේප කළ යුතු බවට ප්‍රකාශ කිරීම මගින් ජනාධිපතිවරයා විසින් සිදුකර ඇත්තේ ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතියක් ප්‍රතික්ෂේප කිරීමකි. ඔහු පවසන්නේ අධිකරණය පාර්ලිමේන්තුවේ බලයට මැදිහත් වී ඇති බව ය. එවැන්නක් සිදුව නොමැත. සිදුවී ඇත්තේ ගරු ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් කිරීම පමණකි. පාර්ලිමේන්තුව තුළදී සිදුකරන ලද එම ප්‍රකාශය වරප්‍රසාදවලට යටත් ය. එහෙත් සිරිකොතේදී සිදුකළ ප්‍රකාශය පර්ලිමේන්තු වරප්‍රසාදවලින් ආවරණය නොවේ. එබැවින් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමක් සිදු වී ඇත.
ඓතිහාසික තීන්දුවක් 
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳහන් කර ඇත්තේ සෑම පුරවැසියෙකුටම සමානත්වයේ නිදහස හා අයිතිය ඇති බවයි. එබැවින් මෙම පනතින් අස්වභාවික වර්ගීකරණයකට ලක්වන්නේ දැනට සමාන සැලකීමකට අයිතිවාසිකම් ඇති කණ්ඩායමකි. (මෙම කෙටුම්පත ඇත්තෙන් ම ඔවුන්ට සිදුකරන්නේ අසාධාරණයකි). 
මෙම තීන්දුව මගින් ජනතාවගේ සංස්කෘතීන් හා ආගම් අතර ඇති බැඳියාවත්, ඒවා ව්‍යවස්ථාවට හා නීතියට ඇති බැඳියාවත් පිළිබඳව මනා විශ්ලේෂණයක් කර තිබේ. එබැවින් මෙම තීන්දුව ශ්‍රී ලංකාව තුළ කුමන්ත්‍රණකාරීව සිදු කරනු ලබන මතවාදී හා සංස්කෘතික පෙරළියකට Ideological and cultural subversion වැට බඳින්නකි. එය රටක් ආක්‍රමණය කර එහි සම්පත් සූරාගැනීමට හා එහි භූමිය අල්ලා ගැනීමට ජාත්‍යන්තර ආක්‍රමණිකයින් විසින් යොදාගන්නා මානසික-සමාජයීය මෙවලමකි (මෙය වෙනත් විෂයකි). නීතිය, අධ්‍යාපනය, ආගම, ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය යනාදී හැම අංශයකම විකෘතියක් නිර්මාණය කර සමාජය බිඳදැමීමෙන් දුර්වල හා ස්ව-වටිනාකම් ප්‍රතික්ෂේප කරන සමාජයක් ඇති කිරීමත්, එසේ ජනතාව දුර්වල වූ පසු තමන්ට හිතවත් පාලකයින් පත්කරවාගෙන රටේ සම්පත් හා භූමිය අත්කර ගැනීමත් එකී උපාය මාර්ගයයි. 
එවැනි පරමාර්ථ ඇතිව ගෙන ආ හානිකර නීති කෙටුම්පත් බොහෝ ගණනක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම මත වැළකී තිබේ. ඇතැම් බටහිර ආක්‍රමණවාදී රාජ්‍යයන් හා ඒවායේ අනුග්‍රහය ලබන සංවිධාන විසින් බල රහිත කළ යුතු බවට කියා සිටින සිංහරාසා නඩු තීන්දුව හා සමාන රටේ ආරක්ෂාව තහවුරු කරන හා නූතන මතවාදී හා සංස්කෘතික පෙරළියකට වැට බඳින මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය. එසේම මෙම තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත කටයුතු කරන්නන් දේශද්‍රෝහීන්ගේ අතකොළු ය. ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව සම්බන්ධයෙන් සලකා බැලීමට කාරක සභාවක් පත්කිරීමේ සැබෑ අරමුණ පිටුපස ඇති බලවේග ජනතාවට නොපෙනෙනවා විය හැකි ය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව පිළිබඳව ජනතාවටත් පාර්ලිමේන්තුවටත් අසත්‍ය ප්‍රකාශ කර ඇති බව නම් පැහැදිලි ය.