පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති
අරුන්දික ප්‍රනාන්දු
පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බවට නම කියැවුණු පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පසුව ප්‍රකාශ කළේ තමන් තීරණය වෙනස් කළ බවය. මේ ඒ ගැන හා රටේ ගිනියම් දේශපාලන තත්ත්වය ගැන ඒ මහතා සමග කළ සාකච්ඡාවකි.
අපි මේ සාකච්ඡාව කරන්නේ බ්‍රහස්පතින්දා හවස. ආණ්ඩුවේ අලුත්ම තත්ත්වය මොකක්ද?
ප්‍රධාන වශයෙන් ආණ්ඩුව හැටියටත්, රට හැටියටත් විශාල අර්බුදයක අපි ඉන්නේ. එක පැත්තකින් ආර්ථික අර්බුදයක් තියෙනවා. අනික් අතට දේශපාලනික අර්බුදයක් තියෙනවා.
අර්බුදයක් තියෙන බව කවුරුත් දන්නවා. මොකක්ද හොයාගෙන තියෙන උත්තරය?
ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරන්නත් දේශපාලන ස්ථාවරභාවය තියෙන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් හැටියට අපි විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන මේ අංශ තුන එකට වැඩ කරන්න ඕනැ. ඒ පළමුවැනි කාරණය තමයි පාර්ලිමේන්තුව තුළ තිබෙන අස්ථාවර බව ඒක අපි පිළිගන්න ඕනැ.
ආණ්ඩුවට අද තුනෙන් දෙකක බලය නෑ?
ඔව්, ඒ බලය ගිලිහී ගියා. නමුත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ආණ්ඩුවත් එක්ක ඉන්නවා.
ඔබ හිතනවද ඒක දිගටම තියෙයි කියලා?
දැනට තියෙන තත්ත්වය තමයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් රැඳෙන්නේ එක් කාරණාවක් මතයි.
ඔබත් යනවා කියලා ගියේ නෑ?
ඔව්, මම ගත්තොත් මම ආණ්ඩුවත් එක්ක රැඳෙන්නේ මේ දැන් ඇතිවෙලා තියෙන මහජනයාගේ ප්‍රශ්න විසඳුවොත් විතරයි. ඒ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට බැරි වුණොත් ආණ්ඩුවේ ඉඳීමෙන් ඵලක් නෑ.
ඔබ ස්වාධීන නොවුණේ ඇයි? ආණ්ඩුව ගැන තාම විශ්වාසයිද?
මම ඒ ගොල්ලෝ එක්කත් සාකච්ඡා කළා. පළමුවැනි කාරණය තමයි අපි ස්වාධීන වෙනවා නම් එහෙම ස්වාධීන වීම තුළ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්න ඕනැ. ආණ්ඩුව තුළ ඉන්නවා නම් ඒත් ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ. මේ ස්වාධීන වෙච්ච කණ්ඩායමත් ආණ්ඩුව තුළ තවම ඉන්නවා. ඒ අය විපක්ෂය ශක්තිමත් කරන්න යන්නේ නෑ. එහෙම විපක්ෂය ශක්තිමත් කරන්න යන්නෙත් නැත්නම්, ආණ්ඩුව තුළම ඒ ස්වාධීන කණ්ඩායම් ඉන්නවා නම්, එහෙම ස්වාධීන වීම තුළින් බලාපොරොත්තු වෙන දේ තමයි අවසානයේදී මහජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම.
මගේ මුල් ප්‍රශ්නය වුණෙත් මොකක්ද විසඳුම කියලයි?
මං හිතනවා ආණ්ඩුවට තව අවස්ථාවක් දිය යුතුයි කියලා.
එහෙම අවස්ථා දීලා තමයි ජනතාව පාරට බැස්සේ?
මේකේ කාරණා කිහිපයක් තියෙනවා. මේක තුනෙන් දෙකක බලයක් සහිතව හදපු ආණ්ඩුවක්.
ජනාධිපතිවරයා ගත්තොත් එහෙම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉතා හොඳ සංකල්ප කිහිපයක් මේ රටට හඳුන්වා දීලා තියෙනවා.
කාබනික පොහොර ව්‍යාපෘතිය මේ අර්බුදය තීව්‍ර කළා කියලා කිව්වොත්?
මම එකඟයි. පොහොර ප්‍රශ්නය බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීමේදී ලොකු ප්‍රශ්න මතුවුණා. එක පාරටම මේක කරන්න යෑම තුළ හා නිලධාරීන් වගේම මේකට උපදෙස් දුන්න අය මේක කරන්න තිබුණ ක්‍රමවේදයෙන් බැහැරව එක පාරටම කරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම අවුල් වුණා. මම ගත්තොත් මගේ පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ජනාධිපතිතුමා ඉතා හොඳ සංකල්ප ගණනාවක් හඳුන්වා දුන්නා. අපි ඒ අනුවම වැඩ කිරීම තුළ ඩොලර් මිලියන 900 ගිය අවුරුද්දේ අපි භාණ්ඩාගාරයට දීලා තියෙනවා. එතකොට මට දුන්න අමාත්‍යාංශය තුළ අපි එහෙම වැඩ පෙන්වලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා ගෙනාව සමහර සංකල්ප එදා සිරිමා බණ්ඩාරනායක රජයෙන් පස්සේ අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න දේශීය කෘෂිකර්මාන්තය හා දේශීය වැවිලි කර්මාන්තය ශක්තිමත් කරන්න ජනාධිපතිතුමා ගෙනාව වැඩපිළිවෙල සාර්ථකයි. නමුත් ක්‍රියාත්මක කිරීමේදී සමහර අංශ අසාර්ථක වුණා. පොහොර වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණේ ඒක එකපාරටම කරන්න ගිය නිසයි. එහෙම ගියෙත් සමහර උපදේශකයන්ගේ වැරැදි උපදෙස් නිසයි.
නමුත් ජනාධිපතිවරයා කවුරුවත් කියන දෙයක් අහන්නේ නෑ කියලා චෝදනාවක් තියෙනවා?
අපේ අමාත්‍යාංශවල වැඩ කටයුතුවලදී අපට නම් එහෙම දෙයක් පෙනුණේ නෑ. එතුමා නම්‍යශීලී වෙලා අපට අවශ්‍ය සහයෝගය දුන්නා. මම දන්නෙ නෑ කවුද? එහෙම චෝදනා කරන්නේ කියලා.
අපි කෙළින්ම ප්‍රශ්නයට එමු. රටේ ඩොලර් හිඟය ඇතිවුණේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ නිසා?
අපි දීර්ඝ කාලයක් පුරා ණය අරගෙන තියෙනවා. සුබසාධනය සඳහා ණය අරගෙන තියෙනවා. ආණ්ඩු පවත්වාගෙන යන්න ණය අරගෙන තියෙනවා. සමහරක් ණය අරගෙන කරපු ව්‍යාපෘතිවල ගසාකෑම් සිදුවෙලා තියෙනවා.
ඇමැති කෙනෙක් එහෙම පිළිගත්තමයි?
ඇත්ත කියන්න එපැයි. පැහැදිළිවම පිළිගත යුතුයි. ඒ වගේම ණයවලින් රටට ලැබුණු වත්කම් ප්‍රමාණයකුත් තියෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග පද්ධතිය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඒවා ගත්තොත් රටට ලැබුණු වත්කම්. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය මහින්ද ජනාධිපතිතුමා හැදුවේ නැත්නම් අද එහෙනම් විදුලිබලය සම්පූර්ණයෙන්ම ඉවරයි. යහපාලන සමයේදී එකම එක විදුලි බලාගාරයක්වත් හදාගන්න බැරිවුණා. එහෙම වුණේ දේශපාලන අස්ථාවර බව නිසයි. ණය ගෙවන්න ඕනෑ බව ඇත්ත.
මම කෙළින්ම අහපු ප්‍රශ්නයට ඔබ කෙළින් උත්තරයක් දුන්නේ නෑ.
මම මේ දෙන්නේ ඒ පිළිතුර තමයි. ණය ගත්තට ගෙවන්න ඕනෑ. මම ණයක් ගත්තා කියලා හිතන්න. ඒ ණය ගෙවන්න තියෙන මොහොත වන විට මම කඩා වැටිල නම් මම ණය දීපු කෙනෙක් එක්ක කතා කරන්න එපැයි. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම මෙහෙම ගෙවන්නම්’ කියලා. මගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වට්ටගෙන ණය ගෙවලා හරියන්නේ නැහැනේ.
ඔබ හරි තැනට ආවා. ණය ගැන කතා කරන්න අයි.එම්.එෆ්. එකට යන්න කිව්වා. නමුත් උද්ධච්ඡකමට ගියේ නෑ?
ඔව්. එතැන අනිවාර්යයෙන්ම වැරැද්දක් තියෙනවා. මම දකින වැරැද්ද තමයි ඒකටත් හේතුවක් තිබුණා. සමහරු අයි.එම්.එෆ්. එක බිල්ලෙක් කරලා පෙන්නුවා. අද යන්න කියන්නේ අර්බුද ගොඩක් ඇවිත් තියෙන නිසානේ. එදා යන්න කියන වෙලාවෙදි මේ අර්බුදවල මුල. කවුරුවත් අර්බුදය මෙච්චර විශාල වෙයි කියලා හිතුවෙ නෑ. අයි.එම්.එෆ්. ගියොත් දැඩි කොන්දේසි දායි කියලා බිල්ලො මැව්වා. කොහොම වුණත් එදා අයි.එම්.එෆ්. එකට ගියා නම් සාකච්ඡා කරලා අපට ගෙවන්න තියෙන ණය වාරික ටික ප්‍රතිව්‍යුහගත කරගන්න තිබුණා. එහෙම වුණා නම් අපේ ඩොලර් සංචිත නැති වෙන්නේ නැහැ.
මගේ අමාත්‍යාංශයෙන් සොයා දුන්න ඩොලර් මිලියන 900 මහා භාණ්ඩාගාරයට දුන්නා. හැබැයි ඊට පස්සේ එයට මොනවා වුණාද අපි දන්නේ නෑ.
ඩොලර් සංචිතයට මොකද වුණේ? සමහරු ඒ ගැනත් සැක කරනවා?
කවුරුවත් ඒවා පිටට අරන් ගිහින් නෑ. නමුත් ගසා කෑම් සිද්ධවෙලා තියෙනවා. රජයේ ව්‍යාපෘතිවල ටෙන්ඩරයෙ ගාන නොවෙයි ඊට වැඩියෙන් දාලා එහෙම ගසා කෑම් වෙලා තියෙනවා.
එහෙම නම් මිනිසුන්ගේ සටන්පාඨය ඇත්තක්. ‘හොරු පන්නමු’ කියලයි ජනතාව කියන්නේ.
ඒවා පුද්ගලානුබද්ධයි. සමස්ත රජයක් හැටියට මේ කියන කාරණාව එනම් ඩොලර් සංචිතයෙ මුදල් අරන් ගිහින් කියලා ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඩොලර් සංචිතයට මුදල් නැතිවෙන්න හේතුවක් තමයි කොරෝනා නිසා සංචාරක කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ඩොලර් අඩු වුණා. ප්‍රවාහන ප්‍රශ්න ඇතිවුණා. මේ සියලු ප්‍රශ්න නිසා තමයි සංචිත කඩා වැටෙන්නේ.
ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න තමයි ජනතාව ආණ්ඩුවක් පත්කර ගන්නේ?
මගේ පැහැදිලි කිරීම තවම ඉවර නෑ. නියඟය ආවා. මට තියෙනවා ප්‍රශ්නයක් මාස හයක් හතක් වහිනවා. ඒත් ඉතුරු මාස ටිකේ වතුර නෑ. ජල විදුලි බලාගාර අවුරුද්ද පුරාම පවත්වාගෙන යන්න බැරි නම් ඒක අපේ ලොකු දුර්වලතාවයක්. පුනර්ජනනීය බලශක්තිය නිපදවන්න දෙන්නේ නෑ. ඒකට ආයෝජකයන් ආවම ඒ අයව දිරිමත් කරන්නේ නෑ. එතැන ලොකු මාෆියාවක් තියෙනවා. ඩීසල්වලින්ම විදුලිය දෙන්න ඕනෑ කියන තැන ලොකු හොරකමක් තියෙනවා. අද අපි පැහැදිළිවම පිළිගන්න ඕනෑ. මහා භාණ්ඩාගාරය ගත්තාම මහා භාණ්ඩාගාරයෙ හිටපු ප්‍රධාන නිලධාරීන් ණයවලට පොලිය ගෙවලා තියෙනවා. හැබැයි මම හිතනවා ඒ කොමිෂන් ගන්න කියලා. ඒක කලට වෙලාවට ගෙවලා තියෙනවා. ඒක පෙන්වන්නේ ලෝකයේ රටවල් එක්ක සම්බන්ධය වැඩිදියුණු කරගන්න කියලයි.
නමුත් ඇත්ත හේතුව ඒක නොවෙයි?
ලෝන් එක ගෙවන්න ඉස්සෙල්ලා පොලිය ගෙවන්න ඉස්සෙල්ලා හිතන්න ඕනැ මෙතැන තියෙන සල්ලි ඔක්කොම දාලා ගෙව්වම කොහොමද අනෙක් අත්‍යවශ්‍ය දේවල් ගේන්නේ කියලා.
ඔබ කියන්නේ මේ අර්බුදයට මුදල් ඇමැතිවරයා වගකිව යුතුයි කියලයි?
මම හිතනවා එතුමා විතරක් නොවෙයි. අපි එතුමට කිව්වා ‘අයින්වෙන්න’ කියලා. රටේම ජනතාවගේ බලපෑමත් එක්ක මුදල් ඇමැතිවරයාට අයින්වෙන්න කියලා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙ ලේකම්වරයට ඉවත් වෙන්න කිව්වා. එයා අයින් වුණා.
මහ බැංකු අධිපතිකමින් අජිත් නිවාඩ් කබ්රාල්ට යන්න කිව්වෙත් ඔබලා?
ඔව්. අයින් වෙන්න කිව්වම අයින් වුණා. සමහර විට ඒ අයට විකල්ප වැඩපිළිවෙලක් තියෙන්න ඇති.
තිබුණා කියලා පේන්නේ නෑනේ?
ඒ වැඩපිළිවෙල ඉදිරිපත් නොකරන්න ඇත්තේ ඒක කඩාකප්පල් කරයි කියලා වෙන්නැති. ඒගොල්ලන්ගේ පැත්තෙනුත් තියෙනවානේ කතාවක්. මේ බලශක්ති අර්බුදය ඇතිවෙන්න එක හේතුවක් කියලා, දැවි තෙල් ටික විකිණීම කියලා. ඒ අයට වැඩපිළිවෙලක් තියෙන්න ඇති. නමුත් දැන් ඒ අයගේ අසාර්ථක බව නිසානේ මේ ප්‍රශ්න ආවේ. ඒකට ඒ අය වගකියන්න ඕනැ.
මේ මොහොත වන විටත් දිග ඉන්ධන පෝලිම්. කෝ උත්තර?
ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඉන්ධන ගන්න කොට ඒ නැව් එන්නේ කාල රාමුවකට අනුවයි. ඒ අතර ගැප් එකක් තියෙනවා.
දැන් නැව් දෙකක් ඇවිත් තියෙනවා. නමුත් සල්ලි නෑ?
ඩොලර් මිලියන 50 ක් ඕනෑ එක නැවකට. අද ඩොලර් මිලියන 50 ක් වත් හොයලා දෙන්න මහ බැංකුවට පුළුවන් කමක් නෑ. මහා ඛේදවාචකයක්. රජයට වැඩපිළිවෙලක් තිබ්බා. මම කිව්වනේ මගේ අමාත්‍යාංශයෙන් ඩොලර් මිලියන 900 ක් ලැබුණා. හැබැයි ඒවට මොකද වුණේ කියලා ඒකට මොනවා වුණා ද කියලා මහ භාණ්ඩාගාරයට බාර දුන්නට පස්සේ අපි දන්නේ නෑ. ඒ අයගේ වැඩපිළිවෙළ අසාර්ථකයි. ඒක අපි පිළිගන්න ඕනැ.
එහෙම නම් ජනතාව පාරට බැසීම සාධාරණයි?
පිළිතුර:- අනිවාර්යයෙන්ම සාධාරණයි. අසාර්ථක වැඩපිළිවෙලක් තුළ වුණත් ඒ අය කිසියම් උත්සාහයක් ගත්තා. බැසිල් රාජපක්ෂ මහත්තයටත් වැඩපිළිවෙලක් තිබ්බා. ඒවා ගැන සාකච්ඡා කරලා දැන් වැඩක් නෑ.
බැසිල් රාජපක්ෂ යළිත් මුදල් ඇමැති වෙයිද?
නෑ.
වෙන ඇමැති ධුරයක්?
නෑ. දැනට තියෙන තත්ත්වය අනුව රාජපක්ෂවරුන්ගෙන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා විතරයි ඉන්නේ.
ඒකත් ඔබලාගේ ඉල්ලීමක්ද?
නෑ ඒක ජනාධිපතිතුමාගේ ඉල්ලීම. ජනතාව හිතනවනේ මේ අසාර්ථකත්වයට හේතුව රාජපක්ෂවරු කියලා. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයට බලය දුන්නේ ජනතාවනේ. පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයට බලය ලැබෙන්නේ ලබන අවුරුද්දේදි. ජනාධිපතිවරයට බලපෑම් කරලා එළියට දානවට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනාධිපතිවරයව ඉවත් කරන්න වෙන්නේ ඊළඟට එන ජනාධිපතිවරණයෙන්. එහෙම නැත්නම් ජනාධිපතිවරයට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕනැ.
දෝෂාභියෝගයක් ගේනවද?
අපෝ නෑ.
ආණ්ඩුව මෙහෙම දෙදරුවේ විමල් - ගම්මන්පිල එළියට දැමීමෙන්. ගැටුම හැදුණේ බැසිල් නිසා?
ඔව් ඒක හරි. ඒ ගොල්ලෝ කිව්වේ බැසිල් ඇමැතිතුමා එපා කියලනේ. අද බැසිල් ඇමැතිතුමා එළියට ඇවිත් තියෙනවා. ඒ එක්කම අනෙකුත් රාජපක්ෂවරුත් එළියට ඇවිත් තියෙනවා.
ඇයි මේ ගැටුම් නිරාකරණය කරගන්න බැරිවුණේ?
ඇත්තටම ඒක මහා ඛේදවාචකයක්. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව මේ තැන්වල දුර්වලතාවයක් තිබ්බා. හැබැයි ඒ අයට වැඩපිළිවෙලක් තිබුණා කියලත් ඒ අය කියනවා.
විරෝධතාකරුවන් කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලයි. ජනාධිපතිවරයා ගෙදර යනකම් සටන් නතර නොවේවි?
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. සියල්ල සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණොත් අගමැති මහින්ද මහත්තයට ජනාධිපතිවෙන්න බෑ. එතුමා දෙවරක් ජනාධිපතිවෙලා හිටපු නිසා. එතකොට අපිට ජනාධිපති කෙනෙක් හදාගන්න වෙන්නේ පාර්ලිමේන්තුව තුළින්. මේක ප්‍රශ්නයක්. විධායක බලතල අඩු කරලා හරි එතුමා තනතුරේ ඉන්නවා. දැන් සියලු පක්ෂවලට ආරාධනාවක් තියෙනවනේ ආණ්ඩුවක් හදන්න එන්න කියලා. අනිවාර්යයෙන්ම රටට ආදරෙයි නම් එන්න ඕනැ.
හරි මේ ආණ්ඩුවම නම් තියෙන්නේ. ඔබත් ඉන්නවා.
මම ඉන්නේ මේ ජනතාවගේ ප්‍රශ්නවලට දෙන විසඳුම තුළයි.
සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්